වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය කාන්තාවන්ට බලපාන්නේ කෙසේද?
How global financial crisis threatens women?
පොහොසත් රටවල්වලින් ඉස්මතුවූ වර්තමාන මූල්‍ය අර්බුදයේ (global financial crisis) අතුරු ප්‍රථිපල ලෙස මේවනවිට බොහෝ දිළිඳු හා සංවර්ධනයවන රටවල්ද ආර්ථික කඩාවැටිම්වලට මුහුණදෙමින් සිටී. ඇමෙරිකාව හා යුරෝපය වැනි පොහොසත් කලාපවල රටවල් මේවනවිට ඩොලර් බිලියන සිය ගණන්වල මූල්‍ය උත්තේජක පැකේජයන් (stimulus packages) මගින් තම රටවල ආර්ථිකයන් පනගණ්වමින් සිටී. එහෙත් 2007 වර්ෂයේ ඉස්මතුවූ ආහාර අර්බුදයෙන්ද (food crisis) බැටකෑ ඇති සංවර්ධනයවන රටවල්වලට 2008 ඉස්මතුවූ වර්තමාන ආර්ථික අර්බුදය දරාගත නොහැකි ලෙසින් බලපා ඇත.
බොහෝ අන්තර්ජාතික සංවර්ධන ආයතන පෙන්වා දෙන අන්දමට එකපිට එක මතුවූ ආහාර හා මූල්‍ය අර්බුදය සංවර්ධනයවන රටවල් පසුගිය දශකයක පමණ කාලයක සිට ලබා තිබූ දිළිඳුකම පිටුදැකීමේ යහපත් ප්‍රථිපල ආපසු හැරවීමට තරම් සමත්වී ඇත. මේ නිසාම 2015 වනවිට සංවර්ධනයවන රටවල් අත්පත්කර ගැනීමට අපේක්ෂා කළ දිළිඳුකම පිටු දැකීමේ සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals – MDGs) කරාද ලඟාවීමට නොහැකිවනු ඇත.
ගෝලීය මූල්‍ය අර්බුදයේ විපාකවල තවත් පැතිකඩක් කෙරෙහි අවධානය යොමු කරණ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක බැංකුව වැනි ආයතන පෙන්වා දෙන්නේ මෙම ගෝලීය මුල්‍ය අර්බුදය කාන්තා සංවර්ධනය කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපානු ඇති බවත් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ විෂමතා (gender imbalances) දුරුකිරීම සම්බන්ධයෙන් සමහර රටවල් වර්ෂ කිහිපයක සිට ලබාගත් ප්‍රගතිය නිෂේධනයවීමටද මෙම තත්වය හේතුවිය හැකි බවත්ය.
සාමාන්‍ය සමාජ ස්වභායෙන්ම සංවර්ධනයවන රටවල කාන්තාවන්ගේ රැකියා නියුක්තභාවය පුරුෂයන්ට වඩා අඩු අතර, විරැකියා අවස්ථාවකදී හෝ වෙනත් අවදානමකදී ස්ත්‍රීන්ට ඇති සමාජ ආරක්ෂණ පහසුකම්ද (විශ්‍රාම වැටුප්, සේව අර්ථසාධක ගෙවීම්, රක්ෂණයන් වැනි) සාපේක්ෂකව අඩුය. එපමණක්ද නොව ආර්ථික හෝ මුල්‍ය වත්කම් ලබා ගැනීමට (access) හෝ පාලනය (control) කිරීමට කාන්තාවන්ට ඇති අවස්ථාද විරලය. රැකියාවල නියුතු කාන්තාවන්ගෙන්වුවද බෙහෝ දෙනෙක් අයත්වන්නේ සුරක්ෂිතතාවයෙන් තොර (insecure) අවිධිමත් (informal) ආර්ථික ක්ෂේත්‍රයන්ටය. එම නිසා වර්තමාන ආර්ථික පසුබෑම තුළ සමාජ හා ආර්ථික වශයෙන් කාන්තාවන් කොන්වීම වැඩිවිය හැක. මේ බව සනාථ කිරීම සඳහා තවමත් නිශ්චිත දත්තයන් නොමැතිමුත් 1996-97 දී ඉස්මතුවූ ආසියානු මුල්‍ය අර්බුදය අවස්ථාවේදී පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ රැකියා අහිමිවූ බවට නම් සාධක ඇත.
වර්තමාන ආර්ථික අර්බුදය නිසා බොහෝ සංවර්ධනයවන රටවල්වල දළ ජාතික ආදායමේ (GDP) වර්ධනය සැළකිය යුතු ප්‍රමාණයකින් පහත වැටෙන බව දැනට ගණන් බලා ඇත. රටක දළ ජාතික ආදායමේ වර්ධන වේගය අඩුවනවිට ළදරු මරණ අනුපාතයද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන අතර ළදරු මරණ සිදුවනවිට තවත් දරු උපත් ලබා ගැනීමට මවුපියන් කරන උත්සාහයේදී ගැබිනිබව හා සම්බන්ධ සෞඛ්‍ය ගැටළුවලට මුහුණදීමට මවුවරුන්ට සිදුවීමද දිළිඳු පවුල් මුහුණදෙන අවදානමක් ලෙස සැළකිය හැක.
ශ්‍රී ලංකාව, බංග්ලා දේශය, පිලිපීනය වැනි සංවර්ධනයවන රටවල්වල ඇඟළුම් වැනි අපනයන කර්මාන්තශාලාවල රැකියාවල නියුතු අයගෙන් විශාල ප්‍රමාණයක් කාන්තාවන්ය. මෙම භාණ්ඩ ආනයන කරණ පොහොසත් සංවර්ධිත රටවල්වල ආර්ථිකය කඩා වැටිම හේතුවෙන් පහත බසිමින් ඇති අපනයන ආදායම මෙම කර්මාන්තවල පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත. රැකියා අවිනිශ්චිතතාවය හා රැකියා අහිමිවීම නිසාද බොහෝවිට පිඩාවට පත්වන්නේ කාන්තාවන්ය.
ආර්ථික වශයෙන් සමෟද්ධිමත් සංවර්ධිත හා මැදපෙරදිග රටවල්වල නොයෙකුත් ගෘහ හා කර්මාන්ත අංශවල විදේශ සේවාවන් නියුක්තිකයන්ගෙන් ඉතා විශාල ප්‍රමාණයක් දිළිඳු හා සංවර්ධනයවෙමින් පවතින රටවල්වල කාන්තාවන්ය. වර්තමාන ආර්ථික අර්බුදය තුළ හීනවී ඇති සමෘද්ධිමත්බව නිසා සංවර්ධිත රටවල විදේශ සේවකයින් සඳහා ඇති රැකියා අවස්ථාද අඩුවීමේ ප්‍රවනතායක්ද මේවනවිට ඉස්මතුවෙමින් පවතින අතර සංවර්ධනයවන රටවල විදේශ සේවා නියුක්තික කාන්තාවන්ට මෙය ඉතා අශුභ තත්වයක් වනු ඇත.
දිළිඳු ප්‍රජාවන්ගේ ආර්ථික කටයුතු සඳහා ඉමහත් ලෙසින් ඉවහල්වන කුඩාමූල්‍යකරණ අංශයෙන් (microfinance sector) වඩාත් ප්‍රතිලාභ ලබාගන්නේ කාන්තාවන්ය. 2006 වර්ෂයේ දත්තයන්ට අනුව විවිධ රටවල කුඩාමූල්‍යකරණ ආයතනවලින් ණය පහසුකම් ලබා ගත් ඉතාමත් දිළිඳු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 93 ක්වන අතර එයින් 85% ක්ම පමණ කාන්තාවන්ය. කාන්තාවන් තමන් ඉතා අපහසුවෙන් ලබාගන්නා ආදායම හා ඉතිරිකිරීම් බොහෝවිට යොදවන්නේ කුඩා ළමුන්ගේ ආහාර හා වෙනත් සුභසිද්ධිය උදෙසාය. එම නිසා මෙම ආර්ථික අර්බුදය කාන්තාවන්ට යම්සේ බලපාන්නේද ඊටත් වඩා කිහිප ගුණයකින් එහි අනිසි විපාක අනාගත ළමා පරපුර කෙරෙහි බලපානු ඇත.
එපමණක්ද නොව දිළිඳු හා අඩු ආදායම් පවුල්වල ආර්ථිකය පසුබාන අවස්ථාවලදී එම පවුල්වල ළමුන්ට පාසැල් යෑමට තරම් වත්කමක් නොමැතිවිට පාසැල් යැවීමෙන් මුලින්ම වළකින්නේ ගැහැණු දරුවන්ය.
වර්තමාන ආර්ථික අර්බුදය නිසා කාන්තාවන්ට හා කුඩා ළමුන්ට සිදුවන මෙම හානිය වළක්වා ගැනීමට නම් ආරක්ෂණ හා සුභසාධක පිළියම්වලට අමතරව ආර්ථික (ආදායම් උත්පාදන) කටයුතු සඳහා කාන්තාවන්ට වැඩි ඉඩකඩ සැලසීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය යටිතල හා මූල්‍ය ආයෝජන පහසුකම්ද සැලසීමද අනිවාර්යවනු ඇත.
මූලාශ්‍ර:
http://www.infozine.com/news/stories/op/storiesView/sid/34543/
http://siteresources.worldbank.org/NEWS/Images/WomensDayVuln.png
http://ipsnews.net/news.asp?idnews=45965
කුඩා ව්‍යාපාරවලට පිවිසීමේ දොරටුව ස්වයං රැකියාද?
Can self-employments blossom to become enterprises?
සංවර්ධනයවන රටවල් තුළ නොයෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මගින් සවයං රැකියා ප්‍රවර්ධන (self employment promotion) හා කුඩා ව්‍යවසාය සංවර්ධන (small enterprise development) වැඩ සටහන් බොහොමයක් පසුගිය දශක දෙකක කාලයක් පටන් ක්‍රියාත්මකවෙමින් පවතී. මෙම වැඩ සටහන්වල ප්‍රධාන අරමුණවී ඇත්තේ අඩු ආදායම්ලාභීන්ගේ පවුල් තුළ තිරසාර ආදායම් මාර්ගයන් ලෙස කුඩා ව්‍යාපාරික කටයුතු (small business activities) ස්ථාපනය කිරීමයි.
සංවර්ධනයවන රටවල ඇති එතරම් හොඳින් සංවිධානය නොවූ ආර්ථික කටයුතුවලින් (informal economy) අඩකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ සවයංරැකියා අංශයයි. මෙහිදී බොහෝවිට ස්වයංරැකියා ලාභියා (self employee) මගින්ම එම කටයුතු පවත්වාගෙන යෑම හැරුණු කොට වෙනත් පුද්ගලයින් වේතන පදනමක් මත බඳවා ගන්නේ නැත. එහෙත් කුඩා ව්‍යවසායන් (small enterprises) තුළ ව්‍යවසායකයාට අමතරව තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා ලැබේ. එපමණක්ද නොව ලාභ හෝ පාඩු ලැබීමේ අවදානම (risk taking) ගැනීම හා නව තාක්ෂණික, අලෙවි හා ව්‍යාපාරික ක්‍රම (innovation) අනුගමනය කිරීමටද ව්‍යවසායකයා නැඹුරුවේ.
බොහෝ ව්‍යවසාය සංවර්ධන වැඩ සටහන්වල ඉල්කකය වන්නේ ස්වයංරැකියා ලාභීන්ය. එයට හේතුවවී ඇත්තේ සවයං රැකියාවක් ඉතා පහසුවෙන් ව්‍යවසායක් බවට පරිවර්තනය කළ හැකිය යන මතය හා අපේක්ෂාවයි. එහෙත් සවයං රැකියාවක් තුළින් සත්‍ය වශයෙන්ම ව්‍යවසායකට එළඹිය හැකිදැයි යන ප්‍රශ්නය පිළිබඳ ප්‍රධාන මතධාරා දෙකක් ඇත. පුද්ගලයකු ස්වයං රැකියාවකට පිවිසෙන්නේ වෙනත් වේතන ලබන රැකියාවක් සොයා ගැනීමට පවතින ආර්ථික වට පිටාව තුළ නොහැකි නිසාය යන්න එක් මතයක්වන අතර එම මතයට අනුව වෙනත් රැකියා අවස්ථාවක් ලැබෙනතුරු පමණක් බොහෝ දෙනෙකු තාවකාලික ස්වයං රැකියාවල කල් මරන බව ප්‍රකාශවේ. අනිත් මතය වනුයේ ස්වයං රැකියාවක් යනු කුඩා ව්‍යාපාරයකට පිවිසීමේ දොරටුව යන්නය. එම මතයට අනුව බොහෝ ස්වයං රැකියාලාභීන්ට කුඩා ව්‍යසායකයින් බවට පත්විය හැකි නමුත් ප්‍රාග්ධනය හිඟකම හා ඒ සඳහා අවශ්‍ය ව්‍යාපාරික දැණුම හා සබඳතා නෙමැති කම ඒ සඳහා බාධකයන්වේ. එම නිසා ස්වයං රැකියාලාභීන් ඉලක්ක කරණ ව්‍යවාසාය සංවර්ධන වැඩ සටහන් බොහොමයක් ප්‍රාග්ධනය (ණය පහසුකම්) හා ව්‍යාපාරික පුහුණු සේවා ලබාදීමට වෙහෙසක් ගනී.
මෙම මතධාරා දෙක පිළිබඳ ප්‍රත්පත්ති සාධකයින් උනන්දුවිය යුත්තේ, පළමු මතය පිළිගන්නේ නම් වඩාත් උත්සුකවිය යුත්තේ රැකියා ජනනය කිරීමට ඉවහල්වන ප්‍රතිපත්ති සෑදීමට හා දෙවන මතය නිවැරදි නම් ප්‍රාග්ධනය සැපයීම හා ව්‍යාපාරික සංවර්ධන සේවා (Business Development Services - BDS) ප්‍රවර්ධනය මගින් ස්වයං රැකියා ව්‍යවසාය මට්ටමට පරිවර්තනය කිරීම සඳහාය. එහෙත් එක් එක් රටවල පවතින ආර්ථික පරිසරයන් එකිනෙකට වෙනස් නිසා ස්වයං රැකියා හරහා ව්‍යවසාය ගොඩ නැඟීමට ඇති හැකියාවද ඒ අනුව වෙනස්වීමට ඉඩකඩ තිබේ.
ස්වයං රැකියා ලාභීන්ට කෙතෙක්දුරට ව්‍යවසායකයින් බවට පත්වෙන්නට හැකියාවක් ඇත්ද යන්න පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට උපකාරීවිය හැකි පර්යේෂණ සමීක්ෂණයක් 2005 – 2007 කාලය තුළ ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් තුළ පවත්වා ඇති අතර එහි වාර්තාව 2008 මැයි මාසයේදී පළකර ඇත. මෙම සමීක්ෂණ වාර්තාවට අනුව ස්වයං රැකියා පවත්වාගෙන යන බොහෝ දෙනා (තුණෙන් දෙකක් පමණ) තුළ ව්‍යවසායක ගුණාංග නොමැති අතර ඔවුන්ට ඇත්තේ වේතන රැකියාවල නියුතු අයවළුන්ගේ ලක්ෂණය. තම කාර්යය (work) පිළිබඳව ස්වයංරැකියාවල නියුතු බොහෝ අයට ඇත්තේ වේතන රැකියාවක නියුතු අයටත් වඩා අඩු උනන්දුවකි. එපමණක්ද නොව ඔවුන් තුළ ඇති මනෝ විශ්ලේෂණාත්මක හැකියාව (cognitive ability), අරමුණ හා කාර්ය සඳහා පෙළඹවීම (motivation) සහ දියුණුවීමට ඇති අභිලාෂය (ambition) ව්‍යවසායකින්ට වඩා අඩුය. මේ කරුණුවලින් පෙනී යන්නේ ස්වයං රැකියාවල නියුතු බොහෝ අය ව්‍යවසායකයින් බවට පත්වීමට වඩා රැකියාවක් සොයා ගැනීමට වැඩි ප්‍රවනතාවයක් දක්වන බවයි.
බොහෝ සවයංරැකියාලාභීන් ඒ සඳහා පිවිසෙන්නේ වේතන රැකියා අවස්ථා නොමැති බැවින් හා එවැනි අවස්ථා ලැබුණුවිට සවයං රැකියාවලින් ඉවත්ව වේතන රැකියාවකට යැමට ඇති ඉඩකඩ වැඩිය යන මතය මෙම සමීක්ෂණය මගින් තහවුරු කරයි.
මේ සියළු කරුණු වලට වඩා මෙම සමීක්ෂණයෙන් ඉස්මතුකරන වැදගත් කරුණ වන්නේ ව්‍යවසාය මට්ටමට දියුණුවීමට සවයංරැකියාවලට නොහැකි ප්‍රධාන බාධාව ප්‍රාග්ධනය හිඟවීම (shortage of capital) නොවන බවය. ප්‍රාග්ධනය යනු ස්වයංරැකියාවල ප්‍රගතිය සඳහා බලපාන ප්‍රධාන සාධකයයැයි අප බොහොවිට දරා සිටි මතයට ඉහත නිගමනය පටහැනිවේ. එම සමීක්ෂණ වාර්තාවට අනුව දියුණුවීමට අභිලාෂයක් ස්වයංරැකියා ලාභීන් තුළ නොමැතිවීම ප්‍රාග්ධනය හිඟකමට වඩා එවැනි ස්වයං රැකියාවල මන්දගාමී වර්ධනයට (growth) හේතුවේ.
ස්වයං රැකියා සඳහා නිරන්තරයෙන් ණය පහසුකම් ලබා දෙන කුඩාමූල්‍යකරණ ආයතනවලට (microfinance institutions – MFI) හා ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩ සටහන්වලට ඉහත නිගමනය ඉතා වැදගත් වනු නිසැකය. එයට හේතුව කිසිදු වගවිභාගයකින් හෝ නිසි තෝරා ගැනීමකින් තොරව ස්වයං රැකියාවලට ණය (ප්‍රාග්ධන) පහසුකම් සැපයීමෙන් ඒවායේ ප්‍රගතියක් අපේක්ෂාකළ නොහැකිවීමයි. එම නිසා ණය ලබා දීම සඳහා ස්වයංරැකියාලාභීන් තෝරා ගතයුත්තේ ඔවුන්ගේ මනෝ විශ්ලේෂණාත්මක හැකියාව (cognitive ability), ස්වයං රැකියාවේ අරමුණ හා කාර්ය සඳහා ඔවුන්තුළ ඇති පෙළඹවීම (motivation) සහ දියුණුවීම සඳහ ඔවුන් තුළ ඇති අභිලාෂය (ambition) පිළිබඳ යම් ඇගයීමක් කිරීමෙන් පසුවය.
ලොව පුරා ඇති කුඩාමූල්‍යකරණ ආයතන විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව ස්වයං රැකියාලාභීන් මිලියන ගණනකට ණය පහසුකම් සපයන නමුදු එම ස්වයං රැකියා බොහොමයක් සැළකිය යුතු ප්‍රගතියක් ලබා නොගන්නා බව රහසක් නොවේ. එම නිසාම ඔවුන් දිගින් දිගටම ණය ලබා ගනිමින් එම ස්වයං රැකියා නිරන්තර යැපුම් මට්ටමේ (subsistence) පවත්වාගෙන යෑමට උත්සහ කරයි. මෙම පසුබිම තුළ ස්වයං රැකියා සඳහා විශාල මුදල් (ණය) සම්භාරයක් කුඩාමුල්‍යකරණ ආයතන මගින් ලබා දීමෙන් ජාතික ආර්ථික වර්ධනයට (national economic growth) එතරම් බලපෑමක් ඇති නොවන බව පෙනී යයි.
ඉතා ආසන්න වශයෙන් මෙම මතයම තහවුරු කරමින් 2007 ජනවාරි මාසයේදී Employment, not microcredit යන මැයින් පර්යේෂණ ලිපියක් ලියන ඇමෙරිකාවේ මිචිගන් සරසවියේ අනීල් කර්නානි පවසන්නේ කාන්තාවන් 500 කට ගෘහස්ථ මැහුම් මැසීම සඳහා ඩොලර් 200 බැගින් ණයට දෙනවාට වඩා මධ්‍යම ප්‍රමාණයේ එක් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ඩොලර් ලක්ෂයක් ණයට දී 500 දෙනෙකුට රැකියා අවස්ථා සැපයීම මගින් ජාතික ආර්ථික වර්ධනයට වැඩි දායකත්වයක් සැපයිය හැකි බවයි.
http://ssrn.com/abstract=962941
වායුගෝලයට කාබන් මුදාහැරීම පාලනය කෙරෙන ‘කියෝටෝ සම්මුතිය’ 2012 න් පසු කොයිබටද?
The uncertain fate of Kyoto Protocol after 2012
වායු ගෝලයට හරිතාගාර වායු මුදාහැරීම පාලනය කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සාමාජික රටවල් 1997 දී ගිවිස ගත් ‘කියෝටෝ සම්මුතිය’ (Kyoto protocol) 2012 දි අවසන්වීමට නියමිතය. මෙම සම්මුතියට අනුව වායු ගෝලයට කාබන් මුදා හැරීම (carbon emissions) අඩුකිරීමට කාර්මික රටවල් නෛතිකව බැඳී සිටින අතර අනෙකුත් සාමාජික රටවල්ද ස්වේච්ඡාවෙන්ම එසේ කිරීමට පෙළඹිය යුතුය. ඒ අනුව 2012 වනවිට වායුගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය 1990 දී මුදා හැරුණු කාබන් ප්‍රමාණයට වඩා 5.2% න් අඩුවිය යුතුය. මෙම සම්මුතියට අනුව තම රටවල්වලින් මුදා හැරෙන කාබන් ප්‍රමාණය අඩුකිරිමට නොහැකි කාර්මික රටවල් එයට හිලව්වක් වශයෙන් වායු ගෝලයට මුදාහැරෙන කාබන් අඩු කෙරෙන වෙනත් රටවල් වල ප්‍රයත්නයන් සඳහා ගෙවීම් කළ යුතුය. කාබන් වෙළඳාම (carbon trading) නමැති සංකල්පය ගොඩ නැඟුනේද මෙම පසුබිම තුළය.
එහෙත් 2012 දී මෙම කියෝටෝ ගිවිසුම අවසන්වීමෙන් පසු මෙම කාබන් මුදාහැරීම පාලනය කිරීම කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳ තවමත් එකඟතාවයක් නොමැතිවීම ඉතා භයානක තත්වයක් ලෙස පෙනීයයි. මෙය තවත් භයානක වන්නේ කාබන් මුදාහැරිම පාලනය කිරිම පිලිබඳව කාර්මික හා සංවර්ධනයවන රටවල් අතර දැනටමත් මතභේද පැනනැඟී ඇති නිසාය. 2007 දෙසැම්බර්හිදී ඉන්දුනිසියාවේ බාලි දුපත්වල පැවති සමුළුවේදී මෙම මතභේදාත්මක තත්වය වඩාත් පැහැදිළිවිය. මෙම සම්මුතිය අළුත්කරගත නොහැකිවුවහොත් හා ඉන්පසුව පාලනයකින් තොරව වායුගෝලයට කාබන් මුදාහැරීම සිදුවනහොත් ඉන් ඇතිවිය හැකි විපාක ඉතා භයානක හා අසීමීතවනු ඇත.
කියෝටෝ සම්මුතිය 2012 න් පසු අළුත්කරගෙන පවත්වා ගැනීම සඳහා ඇති එකම අවස්ථාව ලෙස හැඳින්වෙන්නේ 2009 නොවැම්බර්වලදී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ සමුළුවයි. මෙම සමුළුව කෙතරම් වැදගත්වනුද යත් සමහරකුගේ මතය අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව අන්තර්ජාතිකව පැවැත්වෙන වැදගත්ම සමුළුව එයවනු ඇත. එහිදී කාර්මික හා සංවර්ධනයවන රටවල්වලට යම් එකඟතාවයට එළඹීමට නොහැකිවුවහොත් දැනට ක්‍රියාත්මකවන කාබන් වෙළඳාම හා ඊට සම්බන්ධ ආයෝජනයන් බරපතළ කඩාවැටීමට භාජනයවනු ඇත.
2009 කෝපන්හේගන් සමුළුවේදී කාබන් මුදාහැරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමට ඇති බාධාවන් අතුරින් ප්‍රධානවනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය හා මහජන චීනය අතර මේ පිළිබඳ ඇති මතභේදාත්මක ස්ථාවරයන්ය. එම නිසා නව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම මෙම කාබන් ප්‍රශ්නය තිබෙණු ඇති අතර කෝපන්හේගන් සමුළුවට පෙර ඔහු හා චීන ජනාධිපති එකිනෙකා හමුවී මේ පිළිබඳ යම් එකඟතාවයක් ඇති කරගනු ඇතැයිද බොහෝ දෙනා විශ්වාස කරයි.
ව්‍යාපාරික ප්‍රජාවෙහි සමාජ වගකීම් පිලිබඳ සංකල්පයේ යථාර්ථය
Reality of Corporate Social responsibility -CSR
සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය උදෙසා දායක ආයතනවලින් සිදුවන කාර්ය භාරය අති මහත් වුවද එම රටවල නිෂ්පාදන ආයෝජනය, රැකියා උත්පාදනය, නව්‍ය තාක්ෂණ භාවිතය සහ වත්කම් ඉහළ නැංවීම මගින් සිදුවන ආර්ථික වර්ධනය පිටු පස සිටින්නේ පෞද්ගලික ව්‍යාපාරික අංශයයි.
සංවර්ධනයවන රටවල්වල සංවර්ධන මාවතේ මූලික අඩිතාලමක් බවට පත්ව තිබෙන සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals – MDGs) සඳහා මෙතෙක් අනුග්‍රහය ලැබුනේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවර්ධන හා දායක ආයතන වලින් වුවද 2007 ජූලි මාසයේදී අන්තර් ජාතික ව්‍යාපාරික නායකයින් 21 දෙනෙකු විසින් අත්සන් කරනු ලැබූ ප්‍රකාශනයක් මගින් එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ඉලක්ක වැඩ සටහණෙහි කොටස් කරුවන් බවට අන්තර් ජාතික ව්‍යාපාරික ප්‍රජාවද එක්විය.
එසේවුවද සංවර්ධනයවෙමින් පවතින රටවල්වල සේවකයින්ගේ ශ්‍රමය සූරා කෑම, පරිසර දූෂණය සහ අසාධාරණ ලෙස සම්පත් සූරා කෑම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව - විශේෂයෙන්ම බහු ජාතික සමාගම් තදබල ලෙස විවේචනයට ලක්වේ. මේ විවේචනයන්ගෙන් ගැලවී තම ප්‍රතිරූපය ආරක්ෂා කිරිම සඳහා බෙහෝ ව්‍යාපාරික සමාගම් විසින් විවිධ අන්දමේ ‘සමාජ වගකීම්’ ප්‍රයත්නයන් (Corporate Social Responsibility – CSR initiatives) ක්‍රියාත්මක කිරීමට පෙළඹී සිටී. මේ සඳහා එම සමාගම් බොහෝවිට උපයෝගී කරගනු ලබන්නේ පාසැල් ගොඩනැඟිලි, සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන, ප්‍රජා ශාලා වැනි ඉදිකිරීම් කිරිමටත්, පුණ්‍යාධාර ලබාදීමටත් සහ විවිධ පාරිසරික සහ කම්කරු ප්‍රඥප්තීන් පිළිබඳ අනුකූලතා ගිවිසුම්වලට එළඹීමත්ය. තවද මෙවැනි CSR ප්‍රයත්නයන් සඳහා බහුජාතික සමාගම්වලට දැරීමට සිදුවන පිරිවැය එම සමාගම් මගින් දරාගන්නවා වෙනුවට බොහෝවිට සිදුවන්නේ එවැනි වියදම් සංවර්ධනයවන රටවල්වල නිෂ්පාදකයින්ට හෝ පාරිභෝගිකයින්ට පැටවීමයි.
එහෙත් එවැනි පුණ්‍යාධාර (charity) මගින් සංවර්ධනයට දායකවීම සඳහා ඇති ඉඩකඩ ඉතා සීමාසහිත වන අතර ව්‍යාපාරික සමාගම් තම ව්‍යාපාරවල මූලික අරමුණු සමගම සමාජ වගවීම් අරමුණුද එකට ඈඳා ගන්නේ නම් සංවර්ධනයට දායක වීමට ඇති ඉඩකඩා වඩා පුළුල්වනු ඇත. සමහර සමාගම් තම ව්‍යාපාරික කටයුතු නිසා ඉස්මතුවන ශුභවාදී සංවර්ධනාත්මක බලපෑම් හඳුනා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගන්නා අතර ඒවා තම සමාජ වගකීම් ඉටු කිරිමේ සාක්ෂි ලෙසද හඳුන්වා දිමට පෙළඹී ඇත. එහෙත් ඔවුන් අවංකවම උත්සහ කළ යුතු තවත් කරුණක් වන්නේ තම ව්‍යාපාරික කටයුතු නිසා සිදුවිය හැකි අශුභවාදී බලපෑම් හඳුනාගෙන ඒවා වෙනස් කිරීමට අවශ්‍ය පිළියම් යෙදීමයි.
සංවර්ධනයට මිත්‍රශීලි (development friendly) ලෙස ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම තරමක් වියදම් අධික කාරණයක් බව නිසැකය. උදාහරණයක් ලෙස සංවර්ධනයවන රටක් තුළ ව්‍යාපාරයක් මෙහෙයවීමේදී අවශ්‍යවන අමුද්‍රව්‍ය දේශීය වශයෙන් ලබා ගැනීම හෝ නිෂ්පාදනය කිරීම ඒවා පිටතින් ආනයනය කිරීමට වඩා වියදම් වැඩි කටයුත්තක් විය හැක. එසේම දේශීය සේවකයින් පුහුණු කරණවාට වඩා දැනටමත් පුහුණුව ලැබූ වෙනත් රටක සේවකයින් ගෙන්වා ගැනීමද ලාභදායි පියවරක්විය හැක. එහෙත් ව්‍යාපාරික සමාගම් උත්සහ කළ යුත්තේ එවැනි සංවර්ධන වැය (development costs) දරණ අතරම ලාභ ලැබීමේ ක්‍රමවේදයනද් හඳුනා ගැනීමයි. ව්‍යාපාරික අංශයේ සමාජ ආචාර ධර්ම වගකීම (CSR) යනුවෙන් සත්‍ය වශයෙන්ම අදහස්විය යුත්තේ ‘සංවර්ධන පුණ්‍යාධාර’ බෙදීම නොව ලාභදායි ලෙසින්ම සංවර්ධනයට දායකවීමයි.
මේ සදහා ව්‍යාපාරික ආයතන මුලින්ම කළ යුත්තේ තම ව්‍යාපාරික කටයුතු නිසා අදාළ ප්‍රජාවන්ට හෝ රටවලට අත්වන සංවර්ධනාත්මක ප්‍රතිඵල (development impacts) මොනවාදැයි පිළිබඳ ඇගයිම් කිරීමයි. ඉතා ප්‍රසිද්ධ බහු ජාතික සමාගමක්වන යුනිලීවර් සමාගම දැනටමත් තම ව්‍යාපාරික කටයුතු නිසා දකුණු අප්‍රිකාවේ ආර්ථික සංවර්ධනයට සිදුවන දායකත්වය පිළිබඳ ඇගයීම් වාර්තාවක් නිකුත් කොට ඇත. මීට අමතරව එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන ආයතනය මගින් (Overseas Development Institute – ODI) ඛණිජ තෙල් සහ ගෑස් වැනි විවිධ ව්‍යාපාරික කටයුතු නිසා සංවර්ධනයවන රටවලට අත්වන සංවර්ධනාත්මක ප්‍රථිපල නොහොත් වාසි ඇගයීම සඳහා විශේෂිත ඇගයීම් රාමුවක් (assessment framework) හඳුන්වා දී ඇත. මේ අනුව ව්‍යාපාරික ආයතනවලින් ලබාදෙන පුණ්‍යාධාරවලට අමතරව එම ආයතන දායකවිය යුතු තවත් වැදගත් සාධකයන් කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවනු ඇත. එවායින් සමහරක් නම්:
- කෙතක් දුරට දේශීය යෙදවුම් (local inputs) භාවිතා කරන්නේද?
- දේශීය ව්‍යාපාර සමග සංකලනයක් (integration) තිබේද?
- දේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීම සහ පුහුණුව සිදු කරන්නේද?
- රටක් තුළ කරන ඉපැයුම් නැවත එම රටේම ආයෝජනය කරන්නේද?
- දේශීය යටිතල සංවර්ධනය සඳහා ආයෝජන කරන්නේද?
- පවතින පාරිසරික සහ කම්කරු ප්‍රඥප්තීන් කෙතෙක් දුරට සුරකින්නේද?
- ආදායම් මාර්ග කෙතෙක් දුරට විනිවිදභාවයෙන් යුක්තද? එම ආදායම් සඳහා බදු වෙන්නේද?
- නව තාක්ෂණයන් ප්‍රචලිත කිරීමට කෙතෙක් දුරට දායක වන්නේද?
- ප්‍රජා කටයුතු සඳහා කෙතරම් පුණ්‍යාධාර ලබා දෙන්නේද?
මෙම සාධක හඳුනාගැනීමෙන් පසු ඒවායේ ආර්ථික සහ සමාජ කාර්යඵල සාධනය (economic and social performance) මැණ බැලීම සඳහා අවශ්‍ය දර්ශකද (indicators) නිර්ණය කරගත යුතුය.
මීලඟ පියවරවිය යුත්තේ එසේ ලබා ගන්නා සමාජ කාර්යඵල සාධන ඇගයීම් ප්‍රථිඵල (economic and social performance assessment findings) විගණන වාර්තා හා වාර්ෂික ගිණුම් වාර්තා එළි දක්වන්නාසේම ප්‍රසිද්ධියට පත් කිරීමයි. ඒ මගින් අදාළ ව්‍යාපාරයේ පාරිභෝගිකයින්ට මෙන්ම එම ව්‍යාපාරයේ ආයෝජනය කිරිමට බලාපොරොත්තුවන්නන්ටද තීරණ ගැනීමට එම වාර්තා ඉවහල්වනු ඇත.
ව්‍යාපාරික ආයතන කෙතරම් දුරට සමාජ වගකීම් ඉටුකරන්නේද යන්න පාරිභෝගිකයින්ට දැන ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩවල ‘සංවර්ධනයට ඉවහල්ය’ (Good for Development) යන ලේබලයක් තිබිය යුතුය යන යෝජනාව මේ වනවිටත් ඉස්මතුවෙමින් පවතී. එවැනි ලේබලයකට පසුබිම් විය යුත්තේ ඉහත් සඳහන් කළ ආර්ථික සහ සමාජ කාර්යඵල සාධන ඇගයීම් වාර්ථාය.
සමාජ වගකීම් ඉටු කිරීම ඇගයීම් වාර්තාවක් මගින් හෝ භාණ්ඩ ලේබලයකින් තහවුරු කිරීමට තරම් දුරකට යෑම තරමක් සංකීර්ණ කාරණයක් වුවද එවැනි ක්‍රමයක් මගින් ව්‍යාපාරික ප්‍රජාවෙහි සමාජ වගකීම් (CSR) සංකල්පය වඩා යථාර්ථවත් වනු ඇත. එපමණක්ද නොව සමාජ වගකීම් ඉටු කිරීම තහවුරු කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් බොහෝ රාජ්‍ය නොවන ආයතන හෝ දායක ආයතන තුළ පවා නොමැති විටක පෞද්ගලික ව්‍යාපාරික අංශය ගන්නා එවැනි ප්‍රයත්නයන් අනිකුත් ආයතනවලටද මග පෙන්වීමක්වනු නිසැකය.
මූලාශ්‍රය: http://www.odi.org.uk/publications/opinions/100_private_sector_karen_ellis_apr08.pdf
කුඩා මූල්‍යකරණයෙන් මගහැරෙන කුඩා හා මධ්‍යම ව්‍යවසාය ක්ෂේත්‍රය
What microloans miss
1970 දශකයේ ඉතා සුළුවෙන් ආරම්භවූ දුප්පතුන් සඳහා කුඩා ප්‍රමාණයේ ණය (microloans) ලබාදීමේ ක්‍රමය පසුගිය දශක කිහිපය තුළ විශාල විපර්යාසයන්ට භාජනයවෙමින් පරිනාමයවී වර්තමානය වනවිට ‘කුඩා මූල්‍යකරණය’ නමැති විශේෂිත අංශයක් ලෙස උච්චස්ථානයකට එළඹ ඇත. එම උච්චස්ථානය සනිටුහන් කරණ වැදගත්ම අවස්ථා දෙක වන්නේ එක්සත් ජාතීන් විසින් 2005 වර්ෂය කුඩා මුල්‍යකරණ වර්ෂය (2005 as Year of Microcredit) ලෙස නම් කිරීමත් ග්‍රාමීන් බැංකුව ආරම්භකළ ආචාර්ය මොහොමඩ් යූනුස්ට 2006 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගය ලැබීමත්ය. කුඩා මුල්‍යකරණ අංශය මෙසේ ලබාගත් පිළිගැනීමත් සමගම මිලියන ගණනින් ඩොලර් ගලා ඒමේ සංවර්ධන රැල්ලක් මේවනවිට ගොඩ නැගෙමින් පවතී. මේ වනවිට ලොව ධනවත් සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සහ සිනමා තරු රැසක්ද කුඩාමූල්‍යකරණය ප්‍රවර්ධනය සදහා ඉදිරිපත්වී ඇත.
දුප්පතුන්ගේ අභිවෘද්ධිය සඳහා කුඩාමූල්‍යකරණය මගින් සිදුවන අතිමහත් මෙහෙය පිළිබඳ කිසිදු සැකයක් හෝ විවාදයක් නැතත් රටක ආර්ථික සංවර්ධනය උදෙසා කුඩා මුල්‍යකරණයෙන් සිදුවන දායකත්වය නම් සැක සහිතය. මෙයට හේතුව දුප්පතුන් ලබා ගන්නා කුඩා ණය ඔවුන්ට වැදගත්නොවීම නොව ඒ ණය ආර්ථික ව්‍යවසායකයින් ලෙස ගොඩ නැගීම සඳහා ඔවුන් කෙතරම් දුරට ඉවහල් කරගන්නේද යන ප්‍රශ්නයයි. ව්‍යවසායික වර්ධනයක් සඳහා නම් ලබා ගන්නා ණය භාවිතා කළයුත්තේ අමු ද්‍රව්‍ය සහ වෙනත් ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහාවන අතර ක්‍රමක්‍රමයෙන් ආයෝජනය වැඩිකර ගනිමින් අදාළ ව්‍යාපාරවල වර්ධනයක් අත්පත්කරගත යුතුය. ඒ මගින් අළුත් රැකියා කිහිපයක් බිහි කළ යුතුය. එහෙත් කුඩා මූල්‍යකරණ ආයතනවලින් ණය ලබාගන්නා බොහෝ දුප්පතුන් එම ණයවලින් වැඩි කොටසක් භාවිතා කරන්නේ පරිභෝජනය, ලෙඩරෝග සහ ළමයින්ගේ අධ්‍යාපනය ආදි දේවල් සඳහා මතුවන හදිසි අවස්ථාවලින් ගැලවීම සඳහාය. ඩොලර් 100 ක් (රුපියල් 10,000 ) පමණවන කුඩා ණය ප්‍රමානයක් ආයෝජනය කළ හැක්කේ ඉතා කුඩා ආදායම් උත්පාදන කාර්යකට වන අතර ඒ සදහා 30% ක් පමණ වැනි අධික පොලියක් ගෙවනවිට එමගින් ලැබෙන ලාභංශද ඉතා අල්පය. එම නිසා නැවත වරක් ණයක් ගත්විට නැවතත් මුල් කාර්යටම මුදල් යොදනවා ඇරෙන්නට ව්‍යවසායික වර්ධනයක් ලබා ගැණිම කුඩා මූල්‍යකරණය මගින් ඉතාමත්ම අපහසුය. එම නිසාම කුඩා ණයලාභීන්ගෙන් අතිමහත් බහුතරයක් ස්වයං රැකියා මට්ටමේ සිටිනවා විනා අළුත් රැකියා බිහිකරන බවක් නම් පෙනෙන්නට නැත.
මේ නිසාම දිළිඳු රටවල් සඳහා වැඩි වශයෙන්ම අවශ්‍යවන්නේ කුඩා මූල්‍යකරණය මත යැපෙන ඉතා කුඩා ස්වයං රැකියා පරිමාණයේ ආදායම් මාර්ග නොව කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන්ය (Small and Medium Enterprises). විශාල පරිමාණ ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් ලබා දිමට නොයෙකුත් වාණිජ බැංකු පද්ධති ඇති අතර ඉතාම කුඩා මට්ටමේ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය ප්‍රසාරණය වෙමින් පවතී. එහෙත් අවාසනාවකට මෙන් මෙම වර්ග දෙක අතර ඇති මධ්‍යම ව්‍යවසායන් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා කෙරෙහි දිළිඳු රටවල්වල තුළ ඇත්තේ ඉතා අල්ප අවධානයකි. මෙම තත්වය වඩාත් උත්සන්නවී ඇත්තේ කුඩා මූල්‍යකරණය කෙරෙහි පවතින අධිඅවධානයයි.
කුඩා ණය ලබා ගැනීමෙන් පමණක් ස්වයං රැකියා මට්ටමේ ව්‍යවසායන් පවත්වාගෙන යාහැකිවුවත් වඩා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා ණය පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව එවැනි ව්‍යවසායන්ගේ වර්ධනය සඳහා ප්‍රතිආයෝජනයන් (reinvestment) කිරීම අවශ්‍ය නිසාය. මෙවැනි මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායන්ට අවශ්‍ය ආයෝජන කිරිමට සූදානම් ආයෝජක පැලැන්තියක් (venture capitalists) සංවර්ධිත රටවල්වල බිහිවී ඇතිමුත් සංවර්ධනයවන රටවල මෙම අවශ්‍යතාව දැඩි අඩුපාඩුවක් ලෙස තවමත් දැනෙන්නට තිබේ.
මෙම තත්වයේ තරමක වෙනසක් ඇතිකරණ සිදුවීම් කිහිපයක් වාර්තාවන අතර ඒ අතුරින් Google සමාගම සහ කෝටිපති ව්‍යාපාරික ජෝර්ජ සොරෝස්ගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්‍ට අවශ්‍ය ආයෝජනයන් ලබා දීමේ ආයෝජන සමාගමක් (investment company) ඉන්දියාවේ පිහිටුවීම පිළිබඳ ප්‍රවෘත්තිය (http://www.domain-b.com/management/general/20080222_smes.html) ඉතා වැදගත්ය. එහෙත් දිළිඳු රටවල ආර්ථික වර්ධනය ඇති කිරීමට නම් එවැනි ප්‍රයත්නයන් බොහොමයක් සිදුවිය යුතු අතර එසේ නොවුනහොත් කුඩා මුල්‍යකරණ අංශය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයන්ගෙන් අපේක්ෂිත ප්‍රථිඵලද නොලැබී යනු ඇත.
මූලාශ්‍රය: www.newyorker.com/talk/financial/2008/03/17/080317ta_talk_surowiecki
ගෝලීය ආර්ථිකයේ පාරිභෝගිකයින් බවට දුප්පතුන් පෙළඹවීම: ආර්ථික පිරමිඩයේ පතුල සොයා යන ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව
Corporate sector pursuing the Base of the (economic) Pyramid
සංවර්ධනයවන බොහෝ රටවල් තුළ සමාජ ප්‍රශ්න ඉස්මතුවීමට වඩාත් තුඩුදි ඇත්තේ දිළිඳු ජනගහණයේ අධික බවට වඩා දිළින්දන් සහ පොහොසතුන් අතර ඇති ආදායම් විෂමතාවයයි (income inequality). වැඩි ආදායම් සහිත පොහොසතුන්ගේ අධි පරිභෝජන රටාව සහ එමගින් ඔවුන් අත්කරගන්නා සමාජ තත්වය මෙම විෂමතාවය වඩා තීව්‍ර කිරීමට සමත්වී ඇත. මේ තත්වය කෙතරම් භයානක වීද යත් 1960 දී ගෝලීය ජනගහණයෙන් වැඩිම ආදායම් ලබන 20% කොටස ගෝලීය ආදායමෙන් 70% ක් ඉපයූ අතර එම වර්ෂයේදී අඩුම ආදායම් ලබන 20% කොටස ඉපයූවේ ගෝලීය ආදායමින් 2.3% ක් පමණි. 2000 වනවිට ඉහළම ආදායම් ලබන 20% ජනගහණ කොටසේ ආදායම් ප්‍රතිශතය 85% කට වැඩිවූ අතර, එම වර්ෂයවනවිට අඩුම ආදායම් ලබන 20% ජනගහණ කොටසේ ආදායම් ප්‍රතිශතය 1.1% දක්වා පහළ බැසීය.
|
1960 දී ලැබූ අදායම් ප්‍රතිශතය |
2000දි ලැබූ ආදායම් ප්‍රතිශතය |
ඉහළම ආදායම් ලබන 20% |
70% |
85% |
පහළම ආදායම් ලබන් 20% |
2.3% |
1.1% |
මෙම ආදායම් විෂමතාවය නිසාම අඩු ආදායම්ලාභින්ට ගෝලීය වෙළඳ ආර්ථිකය හා බද්ධවීමට හෝ එහි පාරිභෝගිකයින් විමටවත් නොහැකියයි යන මතය ගොඩනැඟුණා පමණක් නොව ක්‍රම ක්‍රමයෙන් සමාජ ආර්ථික සහ දේශපාලන වශයෙන්ද කොණ්වන්නට ඔවුන්ට සිදුවිය. මේ නිසාම ගෝලීය වෙළඳ ආර්ථිකයේ නියමුවන් සහ අයිතිකරුවන් ලෙස සැළකෙන පෞද්ගලික ව්‍යාපාර අංශය සහ විශේෂයෙන්ම බහුජාතික ව්‍යාපාර පද්ධතිය විසින් ඉහළ ආදායම් ලබන සමාජ ස්ථරය පමණක් තම පාරිභෝගිකයින් ලෙස සැළකූ අතර, ව්‍යාපාරික වශයෙන් වාසිදායි නොවන කණ්ඩායමක් ලෙස අඩු ආදායම් ලබන සමාජ ස්ථරය බැහැර කරනු ලැබීය. එසේ බැහැර කිරිමට හේතුපාදකවූ උපකල්පනයන් වන්නේ:
- අධික මිල සහිත උසස් තත්වයේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට නොහැකිය, ඔවුන් සාමාන්‍යයෙන් මිලට ගන්නේ තාක්ෂණය යල්පැනගිය අඩු මිල සහිත ඒවාය.
- පෞද්ගලික අංශය විසින් නිෂ්පාදනය කෙරෙන උසස් තත්වයේ භාණ්ඩ හා සේවාවන්ද එම භාණ්ඩ ප්‍රවර්ධනයට (promotion) හා බෙදා හැරීමට (distribution) අනුගමනය කරන සාම්ප්‍රදායික ව්‍යාපාර ක්‍රමවේදයන්ද අඩු ආදායම්ලාභීන්ට නොගැලපේ.
- පෞද්ගලික ව්‍යාපාර අංශයේ පිරිවැය රාමු (cost structures) සාමාන්‍යයෙන් සැකසී ඇත්තේ ඉහළ ආදායම් ස්ථරය සඳහාවූ භාණ්ඩ හා සේවා සඳහාය. ඒවා වෙනස්කිරීම පහසුවෙන් කළ නොහැක.
- ආර්ථික හා සමාජීය වශයෙන් අඩු ආදායම් සහිත සමාජ ස්ථරය ව්‍යාපාර ලෝකයේ තිරසාරත්වය සඳහා තීරණාත්මක සාධකයක් නොවේ. එම ස්ථරය වැදගත්වන්නේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන්ට පමණි.
ලෝකයේ සහ විශේෂයෙන්ම සංවර්ධනයවන රටවල්වල අඩු ආදායම්ලාභී ස්ථරයට අයත් ප්‍රජාව මෙසේ ගෝලීය ආර්ථිකයෙන් බොහෝ කලක් බැහැරව සිටියද පසුගිය වර්ෂය කිහිපයක සිට මෙම ස්ථරය බහු ජාතික මෙන්ම ජාතික ව්‍යපාර ප්‍රජාවගේත් දැඩි අවධානයට සහ ආකර්ෂණයට හසුවෙමින් පවතී. ‘ආර්ථික පිරමිඩයේ පතුල’ (Base of the Pyramid) නොහොත් BoP යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම අඩු ආදායම්ලාභි ස්ථරය කෙරෙහි ව්‍යාපාරික ප්‍රජාව මෙතරම් අවධානයක් යොමුකිරීමට පාදකවූ සාධක කිහිපයක් ඇත. ඒ සාධක නම්:
අ) සීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙන දුප්පතුන් සහ පොහොසතුන් අතර ඇති ආදායම් විෂමතාවය තුළින් පැනැගී ඇති සමාජ විෂමතාවයන් සහ කළකිරිම් නිසා ගෝලීය වශයෙන් උත්සන්නවෙමින් පවතින සමාජ-දේශපාලනික ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා ව්‍යාපාරික ප්‍රජාවගේම පැවැත්මට ඉතා අහිතකරලෙස බලපෑ තිබීම.
ආ) ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රධානතම පාරිභෝගිකයින්වන ආර්ථික පිරමිඩයේ මුදුන්ම ස්ථරයේ සිටින ඉහළ ආදායම්ලාභීන් සහ මැද ස්ථරයේ සිටින ඉහළ මධ්‍යම ආදායම්ලාභින් ටිකදෙනාගේ අවශ්‍යතා පූර්ණවීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ගේ ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් අඩුවීම.
ඇ) ආර්ථික පිරමිඩයේ මුදුන්ම ස්ථරයේ සිටින ඉහළ ආදායම්ලාභීන් සහ මැද ස්ථරයේ සිටින ඉහළ මධ්‍යම ආදායම්ලාභින්ගේ (ගෝලීය වශයෙන් බිලියන 2 ක් පමණ) ජනගහණ වර්ධන වේගය ඉතා අඩු අතර, පහළම ස්ථරයේ සිටින අඩු ආදායම්ලාභින්ගේ (ගෝලීය වශයෙන් දැනට බිලියන 4 ක් පමණ) ජනගහණ වර්ධන වේගය අධිකවීම. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව තව වර්ෂ 40 කදී මෙම අඩු ආදායම්ලාභි පහළම ස්ථරයේ ජනගහණය බිලියන 6 ක් පමණ වනුඇත. ව්‍යපාරික ප්‍රජාවට මෙය ඉතා ආකර්ෂණීය තත්වයකි.
ගෝලීය ආර්ථික පිරමිඩය

මූලාශ්‍රය: The Fortune at the Bottom of the Pyramid (By- C.K. Prahalad and Stuart L. Hart), Strategy+ Business 26: (p.54-67)
ඈ) පසුගිය වර්ෂ 50 ක පමණ කාලයකදී බහු ජාතික ව්‍යාපාරික ප්‍රජාව හැදී වැඩුණේ ස්වාභාවික සහ බලශක්ති සම්පත් අසීමිත ලෙස පරිහරණය කිරීමෙනි. එහෙත් වර්තමානයේදි හා අනාගයේදී ඒ සඳහා ඔවුන්ට සීමාවන් පැණවෙමින් පවතින නිසා අඩුවියදම් භාණ්ඩ නිෂ්පාදනයට ඔවුන් යොමුවිය යුතු අතර එවැනි භාණ්ඩ අඩු ආදායම්ලාභි කොටස්වලටද ගැලපෙනු ඇත.
ඉ) අඩු ආදායම්ලාභී ප්‍රජාවන් ව්‍යාපාරික වශයෙන් වැදගත් නැති පාරිභෝගික කොටසක් යන්න සාමාන්‍ය මතය වුවද සංවර්ධනයවන රටවල්වලින් ලැබෙන තොරතුරු අනුව එම රටවල අවිධිමත් සහ අඩු ආදායම්ලාභීන් විසින් මෙහෙයවන ආර්ථික ක්‍රියාවලිය (informal economy) ජාතික ආදායම්වලින් 40% - 60% කට පමණ දායකවන වන පෙනීගොස් ඇත. මෙය ඉතාමත් වාසිදායක තත්වයක් බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කරගෙන ඇත.
ඊ) ගෝලීයකරණය හා බැඳුණු සන්නිවේදනය (විශේෂයෙන්ම රූපවාහිණී මාධ්‍ය) නිසා දිළිඳු ප්‍රජාවන්ගේවුවද අභිලාෂයන් තම ආදායම් හා වත්කම්වලට සාපේක්ෂකව ඉහළ තත්වයේ පවතී. උදාහරණයක් වශයෙන්: ඉතා දුප්පත් අඩු ආදායම්ලාභී නාගරික පැල්පත් වල පවා රූපවාහිණී යන්ත්‍ර, ශීතකරණ, ජංගම දුරකථන භාවිතවීම.
එ) බොහෝ බහු ජාතික සමාගම් අත ගැසීමට මැලිවූ අඩු ආදායම්ලාභීන්ට ගැළපෙන එහෙත් තත්වයෙන් උසස් භාණඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ නව්‍යකරණ (innovations) හා ව්‍යාපාරික මොඩල (business models) හඳුන්වාදීමට සංවර්ධනයවන රටවල කුඩා ව්‍යාපාරිකයින් සමත්වී ඇත. මෙම නව්‍ය හඳුන්වාදිම් නිසා ආර්ථික පිරමිඩයේ පහළම ස්ථරයේ සිටින බිලියන 4 ක පමණ ප්‍රජාව තම පාරිභෝගිකයින් කරගැනීමට බහු ජාතික සහ මහ පරිමාණ ව්‍යාපාරිකයින් තදින්ම පෙළඹී ඇත. මෙම නව්‍ය අත්දැකීම් සඳහා උදාහරණ වන්නේ:
- සුළු ව්‍යාපාරිකයෙක් මගින් වැව් සහ ගංගා ජලයේ හොඳින් දියවන ‘නිර්මා’ නම් සබන් සහ රෙදි සෝදන කුඩු වර්ගයක් අඩු මිලකට ඉන්දියානු ග්‍රාමීය ප්‍රජාවට හඳුන්වාදීම. ඉතා සුළු කලකදීම බ්‍රිතාන්‍ය බහුජාතික යුනිලීවර් සමාගමද මේ ක්‍රමයම අනුගමනය කරමින් තම වෙළඳපල රැකගැනීමට උත්සහ ගත්තේය. මේ වනවිට ‘නිර්මා’ සහ යුනිලීවර් සමාගම එක සමාන වෙළඳපොල මට්ටමක් පවත්වාගෙන යයි.
- දුප්පතුන්ට මූල්‍යසේවාවල් පවත්වාගෙන යෑමට නොහැකිය යන මතයේ සිටි ප්‍රධාන පෙළේ බැංකුකරුවන් (blue chip Banks) මවිතයට පත්කරමින් බංග්ලාදේශ මහාචාර්ය මොහොමඩ් යූනුස් විසින් ග්‍රාමීන් බැංකුව හරහා අන්ත දුප්පතුන්ට පවා කුඩා මූල්‍යකරණය (microfinance) හඳුන්වාදීම. ඒ සඳහා ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණා පමණක් නොව මේ වනවිට ‘සිටි බැංකුව’ (Citi Bank) හා චාටඩ් බැංකුව (Chartered Bank) වැනි ගෝලීය බහු ජාතික බැංකුද, ෆෝබ්ස් සඟරාව (Forbes Magazine) වැනි ගෝලීය මූල්‍යකරණය ප්‍රවර්ධනයේ පුරෝගාමීන්ද කුඩා මූල්‍යකරණයට තදින්ම පිවිස ඇත.
- ග්‍රාමිය පවුල් මගින් කරන ගව කිරි නිෂ්පාදනය පදනම්කොට ආචාර්ය වර්ගීස් කුරියන් විසින් හඳුන්වා දුන් ඉන්දියාවේ ‘අමුල්’(Amul) කිරි සමාගම. කිරි නිෂ්පාදනය සඳහා නෙස්ලේ (Nestle) වැනි බහුජාතික සමාගම් අනුගමණයකළ ව්‍යපාර ක්‍රම වෙනුවට දුප්පතුන්ට සහාභිගිවිය හැකි, දේශීය ජන ජීවිතය හා ගැලපෙන එහෙත් උසස් තාක්ෂණය අනුගත කරගත් ‘අමුල් මොඩලය’ (Amul model) කෙරෙහි මේවනවිට නෙස්ලේ වැනි සමාගම්වලද අවධානය යොමුවෙමින් පවතී.
- උසස් තාක්ෂණික හා සන්නිවේදන ක්‍රම අන්ත දුප්පතුන්ට ගැළපේයැයි බහුජාතික ජංගම දුරකථන සමාගම් විශ්වාස නොකළ අවදියක බංග්ලා දේශයේ ග්‍රාමීන් බැංකුව අන්ත දුප්පත් ණය ලාභීන්ට ජංගම දුරකථන හදුන්වාදීමෙන් ඇරඹුණ ග්‍රාමීන් ෆෝන් (Grameen Phone) සමාගම මේ වනවිට බංග්ලා දේශ ජංගම දුරකථන වෙළඳපොලේ ඉදිරියෙන්ම සිටියි.
- ඩොලර් 2500 ක් වැනි සුළු මුදලකට ටාටා නැනෝ (TATA Nano) නමැති කුඩා මෝටර් කාර්රථයක් නිෂ්පාදනය කර අඩු ආදායම්ලාභින්ට අලෙවි කිරිමට සැලැස්වීමට ඉන්දියානු ටටා සමාගම ගත් පියවර බහුජාතික මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල මවිතයට හේතුවී ඇත. දැනට මාස කිහිපයකට පෙර ආරම්භකළ මෙම නිෂ්පාදන ක්‍රමය හැදෑරීමට මේවනවිටත් බහුජාතික මෝටර් රථ සමාගම් උත්සාහයන්වල යෙදෙමින් පවතී.
ඉහත සඳහන් කළ බොහෝ කරුණුවලින් වලින් ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව තේරුම් ගෙන ඇත්තේ ආර්ථික පිරමිඩයේ මුදුනේම ඇති ධනවත් අතලොස්සට හෝ පිරමිඩයේ මැද ස්ථරයේ ඇති මධ්‍යම පාංතිකයින්ටත් වඩා පිරමිඩයේ පතුලේම සිටින වෙලඳ ආර්ථිකයට පිවීසීමේ අභිලාෂයන් පුරවා ගත් බිලියන 4 ක් පමණවන අතිමහත් දුප්පතුන් පිරිස තම ව්‍යාපාරයන්ගේ පැවැත්මට වඩා ප්‍රයෝජනවත් බවය.
මෙලෙස ආර්ථික පිරමිඩයේ පතුල ඉලක්කකර ආයෝජනයන් කිරීමට ගෝලීය ව්‍යපාරික ප්‍රජාව යොමුවීම එම ස්ථරයට අයත්වන බිලියන 4 ක්වන දිළිඳු ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ඉමහත් පිටුවහළක් වනු ඇතැයි පවසන ඇමෙරිකාවේ වෝටන් සරසවියේ මහචාර්ය සී.කේ. ප්‍රහලාද් මේ සංකල්පය ඉතා ශුභවාදී ආකල්පයකින් ප්‍රවර්ධනය කිරිමේ ප්‍රයත්නයක යෙදී ඇත. තවද මෙම දිළිඳු පාරිභෝගික කොට්ඨාශය වෙනුවෙන් භාණ්ඩ හා සේවා නිර්මාණයේදී සහ අලෙවියේදී සාම්ප්‍රදායික ලෙස අධික ලාභාංශ බලාපොරොත්තු නොවිය යුතුබව පවසන මහචාර්ය ප්‍රහලාද් ‘අඩු මිලකට අධික සංඛ්‍යාවකට’ අලෙවිකිරීමන් ලාභ ලැබීමේ තේමාව මූලික කරගතයුතුය යන්න අවධාරණය කරයි. එහෙත් ‘අඩු මිල’ යනුවෙන් අදහස් කරන්නේ තත්වයෙන් බාල භාණ්ඩ හා සේවා නොවිය යුතුය යන්නද ඔහු අවධාරණය කරයි.
ධනවත් පාරිභෝගිකයින් අරභයා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුරුදුව සිටින සාම්ප්‍රදායික ව්‍යාපාරික මොඩලය (traditional business model) ඉහත දැක්වූ අභියෝගයන්ට මුහුණ දීමේදී කිනම් ආකාරයේ විප්ලවකාරි වෙනසකම්වලට භාජනයවේදැයි නුදුරු අනාගතයේදී දැකිය හැකිවනු ඇත.
මූලාශ්‍රය: www.digitaldividend.org/pdf/bottompyramid.pdf




