නැවත වරක් අහාර මිල ඉහළ යෑමේ ප්‍රවනතාවයක්
Food prices moving up again
(2009 දෙසැම්බර් 21)

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව 2007 – 2008 අවධියේදී ලෝකය පුරා පැතිරගිය ආහාර මිල ඉහළ යෑමේ අර්බුදය නැවත වරක් හිස එසවීමේ ලක්ෂණ ඉස්මතුවෙමින් තිබේ. FAO සංවිධානය මගින් නිරන්තරව පවත්වාගෙන යන ආහාර මිල දර්ශක අගය පසුගිය මාස 4 තුළ ක්‍රමානුකූලව වර්ධනයවිමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කිරීම මගින් මේ බව අනාවරණයවේ. මෙම ආහාර මිල දර්ශකය නිර්මාණය කරන්නේ ධාන්‍ය (cereals), තෙල් භෝග/බීජ (oil seeds), කිරි ආහාර (dairy), මස් (meat) හා සීනි (sugar) යන මූලික ආහාර ද්‍රව්‍යයන් පහක ජාත්‍යන්තර මිල සංකලනය කිරීමෙනි.
2007 දි ඉස්මතුවූ ආහාර අර්බුදයට (මිල ඉහළ යෑමට) මූලික වශයෙන් දායකවූයේ ලෝක ධාන්‍ය සංචිතවල ඇති ධාන්‍ය ප්‍රමාණය පහළ බැසීම (low cereal stocks), ආහාර අපනයන කරන රටවල කෘෂි අස්වැන්න කඩාවැටීම (crop failures in major exporting countries), ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා කෘෂි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම වැඩිවීම (demand for food crops to make bio-fuels) හා ඉන්ධන මිල වැඩිවීමයි (rise of oil price). ආහාර මිල ඉහළ යෑමේ වාසිය ලබා ගැනීමේ අදහසින් ආයෝජකයින් විසින් ආහාර තොග ගබඩා කරගැනීමට පෙළඹීම (portfolio investments in food commodities) හා තම රටවල ආහාර හිඟයන් ඇතිවිම වැළැක්වීමේ අරමුණින් කෘෂි නිෂ්පාදන අපනයනය සඳහා සමහර රජයන් මගින් තහංචි පැනවීම (export restrictions on agricultural products by governments of exporting countries) නිසා ආහාර මිල ඉහළයෑමේ අර්බුදය වඩාත් තීව්‍රවිය.
FAO සංවිධානයට අනුව පසුගිය ආහාර අර්බුද වකවානුවට සාපේක්ෂකව වර්තමානයේ ධාන්‍ය සංචිත අවශ්‍ය ප්‍රමාණයකින් ඇති අතර ආහාර අපනයනිකයන් අතරද ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් ධාන්‍ය තොග ඇති බැවින් ආහාර මිල ඉහළ යැමේ අර්බුදයක් ඇතිවේයැයි සිතිය නොහැක. එහෙත් ලෝකයේ සියළුම රටවල්වල පාහේ පොලී අනුපාත පහළ බැස ඇති බැවින් ආහාර ද්‍රව්‍ය මත ආයෝජනය කිරීමට මුල්‍ය ආයෝජකයින් පෙළඹිය හැකි අතර ආහාර මිල ඉහළ යෑමට එය හේතුවක් විය හැකි බව FAO සංවිධානය අනතුරු අඟවයි. එම නිසා ආහාර මිල ඉහළ යෑමේ වර්තමාන ප්‍රවනතාවය පිළිබඳව විමසිල්ලෙන් සිටින බව FAO සංවිධානය පවසා සිටී.
මූලාශ්‍රය:
http://www.fao.org/news/story/en/item/38040/icode/
සාගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට ආහාර සැපයීම සඳහා ආධාර ඉල්ලා ලෝක ආහාර වැඩසටහන ආයාචනයක් කරයි
World Food Programme –WFP launches internet appeal for funds to feed the hungry
(2009 දෙසැම්බර් 03)
ලෝකය පුරා සාගින්නට ගොදුරුවී සිටින බිලියනයක් පමණ ජනගහණයකට අවශ්‍ය ආහාර සැපයීමේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන ජාත්‍යන්තර ආයතනවලින් එකක්වූ එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර වැඩසටහන (World Food Programme – WFP) තම සංවිධානයේ වැඩකටයුතු සඳහා වාර්ෂිකව අවශ්‍යවන මූල්‍ය ප්‍රතිපාදනවල හිඟය මඟහරවා ගැනීමේ අටියෙන් අන්තර්ජාලය හරහා ආධාර ඉල්ලා සිටීමේ (internet appeal for funds) ප්‍රයත්නයක් අරඹා ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 72 ක් තුල උද්ගතවී ඇති යුද, ගැටුම්කාරී හා ව්‍යසන තත්වයන් හේතුකොටගෙන සාගින්නට හා අවතැන්භාවයට පත් පුද්ගලයින් මිලියන 100 කට පමණ ආහාර සැපයීමේ මූලිකත්වය ගන්නා ලෝක ආහාර වැඩසටහනට ඒ සඳහා වාර්ෂිකව අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇ. ඩොලර් 6.7 ක් වන නමුත් 2009 වර්ෂය සඳහා ආධාර වශයෙන් ලැබෙතැයි විශ්වාස කරන්නේ ඇ. ඩොලර් බිලියන 3.7 ක් පමණි. අන්තර් ජාලය මගින් ආධාර ලබා දෙන්නැයි යන ආයාචනය කිරිමට සිදුවී ඇත්තේ ඉතිරි ඩො. බිලියන 3.0 සොයා ගැනීම සඳහාය.
සංවර්ධිත රටවල පුද්ගලයින් බිලියනයක් සතියකට යුරෝ 1 බැගින් මෙම තම අරමුදලට ආධාර කලහොත් මෙම අරමුදල් හිඟය මඟහරවා ගිනීමට හැකිවෙතැයි ලෝක ආහාර වැඩසටහනට අනුමාන කරයි. සංවර්ධිත රටවල් කිහිපයක අරමුදල් ප්‍රදානයන් මගින් තම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෝක ආහාර වැඩසටහන මුදල් සොයා ගැනීම සඳහා මුදල් ඉල්ලා මෙවැනි ආයාචනයක් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒ මගින් සමස්ථ ලෝකය පුරා ඇතිවී තිබෙන ආර්ථික පරිහානිය කෙතරම්දැයි වටහාගත හැක.
වර්ෂ 2050 දී බිලියන 9 ඉක්මවන ගෝලීය ජනගහණයේ ආහාර අවශ්‍යතා සපුරාලීමට නම් වාර්ෂිකව වැඩිපුර ඩොලර් බිලියන 83 ක කෘෂි ආයෝජනයන් කලයුතුය
Additional annual agricultural investments of US$ 83 billion required to fulfill food needs of world population of 9.1 billion in 2050
(2009 ඔක්තෝම්බර් 11)
දැනට දින කිහිපයකට පෙර (සැප්තැම්බර් 8) ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව වර්ෂ 2050 වනවිට බිලියන 9.1 ක් පමණවන ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නම් ගෝලීය කෘෂි නිෂ්පාදනය 70% කින් වැඩිකලයුතු අතර ඒ සඳහා වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 83 ක වැඩිපුර ආයෝජනයක් කළයුතු වේ.
මෙම වැඩිපුර අවශ්‍ය ආයෝජනයන් කළයුතු ප්‍රධාන ත්‍රිවිධ ක්ෂේත්‍රයන් වන්නේ:
- කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන (Research & Development – R&D)) වැඩසටහන් දියත් කිරීම
- කෘෂිකාර්මික ඵලදායිතාවය (agricultural productivity) ඉහළ නැංවිමට ඉවහල්වන කෘෂි ව්‍යාප්ත සේවා, මාර්ග, විදුලි බල, වරාය, ගබඩා, ශීත කිරීමේ පහසුකම් හා වාරිපහසුකම් සංවර්ධනය
- ඍජුව කෘෂිකාර්මික නොවන එහෙත් සාගින්න හා මන්දපෝෂණය පිටුදැකීමට ඉවහල්වන මානව සංවර්ධනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය විශේෂයෙන්ම කාන්තාවන් මුල්කරගත් අධ්‍යාපනික, සෞඛ්‍ය, ජලය හා සනීපාරක්ෂක වැඩසටහන් දියත්කිරීමයි.
කලාපීය වශයෙන් සැළකුවහොත් ඉදිරියේදී වාර්ෂිකව වැඩිපුර කළයුතු ඇ. ඩොලර් බිලියන 83 ක් පමණවන කෘෂි-ආයෝජනය බෙදී යා යුත්තේ පහත සඳහන් ආකාරයටය.
- දකුනු ආසියානු කලාපයට - ඩොලර් බිලියන 20 ක්
- උපසහරානු අප්‍රිකා කලාපයට - ඩොලර් බිලියන 10 ක්
- ලතින් ඇමෙරිකානු / කැරීබියානු කලාපයට - ඩොලර් බිලියන 20 ක්
- නැගෙනහිර/ උතුරු අප්‍රිකානු කලාපයට - ඩොලර් බිලියන 10 ක්
- නැගෙනහිර ආසියානු කලාපයට - ඩොලර් බිලියන23 ක්
කෘෂිකාර්මික ක්ෂේත්‍රයතුල මෙසේ සිදුකළ යුතු ආයෝජනයන් සඳහා අවශ්‍ය අරමුදල් ලැබෙන්නේ රාජ්‍ය වියදම් (public spending), විදේශ සංවර්ධන ආධාර (Overseas Development Assistance – ODA) හා පෞද්ගලික (ගොවීන්ගේ) අයෝජනයන්ය. එහෙත් අවාසනාව වන්නේ සමස්ථයක් ලෙස සංවර්ධනයවන රටවල මුළු රාජ්‍ය වියදම්වලින් කෘෂිකර්මය සදහා වෙන්වන්නේ 7% ක් පමණක්වීම හා සංවර්ධනවන රටවලට ලැබෙන විදේශාධාරවලින් 3.8% ක් පමණක් කෘෂිකාර්මික සංවර්ධනයට වෙන්කර තිබීමයි. ශ්‍රී ලංකාවේද කෘෂිකර්ම ක්ෂේත්‍රයතුළ කෙරෙන රාජ්‍ය ආයෝජනය 4.5% ක් වැනි සුළු ප්‍රමාණයකි.
එපමණක්ද නොව වාණිජ බැංකුවලින් කෘෂිකාර්මික ආයෝජනයන් සඳහා ලබදෙන ණය ප්‍රමාණය මුළු ණය ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩු බව පෙන්වාදෙන මෙම වාර්තාව වාණිජ බැංකු පද්ධතියද කෘෂිකාර්මික කටයුතු සඳහා දැනට වඩා උනන්දුවක් නොදැක්වුවහොත් කෘෂිකර්මාන්තය තුළ දැනට කෙරෙන පෞද්ගලික ආයෝජනයන්ද පහත වැටෙනු ඇතැයි අනතුරු අඟවයි.
සංවර්ධනයවන රටවල්වල රජයන්, විදේශාධාර ලබා දෙන දායක හා ජාත්‍යන්තර සංවර්ධන ආයතන හා වාණිජ බැංකු කෘෂිකර්මය සඳහා ලබාදෙන්නේ මෙවැනි ඉතා පහළ ප්‍රමුඛතාවයක් නම් 2050 වනවිට අනිවාර්යෙන්ම ගෝලීය සාගිනි හා මන්දපෝෂණ අර්බුදයක් ඉස්මතුවීම වළක්වාගත නොහැකිවනු ඇත.
කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා ගෝලීයව හා විශේෂයෙන්ම සංවර්ධනයවන රටවල කෙරෙන ආයෝජනය ඉහළ දැමිය යුතු බවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙතරම් බලපෑමක් කරන්නේ දැනට ඇති දත්තයන්ට අනුව කෘෂිකාර්මික ආයෝජනය වැඩිවත්ම ඕනෑම රටක සාගිනි තත්වය අඩුවන බවට සාධක තිබීමයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙම නවතම ප්‍රකාශනයට අනුව මන්දපෝෂණ ජනගහණ අනුපාතය 2.5% වන රටක් එම අනුපාතය 35% කට තිබෙන රටකට වඩා 20 ගුණයකින් කෘෂිකාර්මික ආයෝජනයන් කරනු ලබයි.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කර ඇති මෙම වාර්තාව තව දින කිහිපයකින් (ඔක්තෝම්බර් 12 සහ13) විශේෂඥයින් 300 කගේ පමණ සහභාගිත්වයෙන් රෝමයේදී පැවැත්වෙන සමුළුවක අවධානයට යොමු කෙරෙන අතර ඉදිරි කාලයේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයතුළ සිදුකල යුතු ආයෝජනයන් හා එම ආයෝජනයන් සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිළිබඳවත් මෙම සමුළුවේ අවධානය යොමුවනු ඇත.
මූලාශ්‍රය:
http://www.fao.org/news/story/en/item/36107/icode/
http://www.fao.org/fileadmin/templates/wsfs/docs/Issues_papers/HLEF2050_Investment.pdf
ආහාර ආධාර අඩුවීම නිසා සාගින්නෙන් පෙළෙන පුද්ගලයින් බිලියනයක් පමණ අවදානමේ
Hungry gets hungrier with falling world food aid
(2009 සැප්තැම්බර් 17)
එක්සත් ජාතීන්‍ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක ආහාර වැඩසටහනට (World Food Programme - WFP) අනුව ලොව පුරා දිළිඳු හා සාගින්‍නෙන් පෙළෙන පුද්ගලයින්ට ආධාර වශයෙන් ලබාදෙන ආහාර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉතා අඩු මට්ටමට වැටි ඇත. එයට හේතුව එවැනි ආධාරවල අවශ්‍යතාවයන්‍හි අඩුවීමක් නොව ආහාර ආධාර (food aid) සඳහා ඇති තරම් මුදල් නොතිබීමය. ආහාරවල මිල වැඩිවීම හා ආධාර ලබාදෙන පොහොසත් රටවල් ගෝලීය මූල්‍ය අර්බුදය නිසා අපහසුවට පත්වීම මෙම මුදල් හිඟයට හේතුවවී ඇත.
පසුගිය සතියේ ප්‍රකාශයක් කළ ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂකවරිය පවසා සිටියේ තම සංවිධානය මගින් 2009 සඳහා ලබාදිය යුතු ආහාර ආධාර සඳහා ඇස්තමේන්තුකර ඇති වැය ප්‍රමාණය ඩොලර් බිලියන 6.7 ක්වුවද මේවනතුරු ඒ සඳහා ලැබෙතැයි තහවුරුවී (confirmed to receive) ඇත්‍තේ ඩොලර් බිලියන 2.6 ක් පමණක් බවය. මෙම තත්වයතුළ 2009 දී ලබාදිය හැකි ආහාර ආධාර ප්‍රමාණයද සැළකියයුතු ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි ඇය ප්‍රකාශකර ඇත. ඇයගේ ප්‍රකාශයට අනුව පසුගිය වර්ෂ 20 තුළ ආහාර ආධාර ප්‍රමාණය පහතටම වැටෙන වර්ෂය 2009 වීමට ඉඩ තිබේ.


දිනකට ඩොලර් එකකට වඩා අඩු ආදායමක් ලබන දිළිඳු පුද්ගලයෙකුට ලැබෙන්‍නේ අවශ්‍ය ආහාර ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණය. එවැනි ශෝචනීය තත්වයක් තුළ ගෝලීය මූල්‍ය අර්බුදය නිසාත්, ආහාර මිල වැඩිවීම නිසාත් හා දේශගුණික විපර්යාස (climate change) හේතුවෙන් කෘෂි අස්වැන්න අඩුවිම නිසාත් දරිද්‍රතාවයෙන් හා සාගින්‍නෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව ඉහළ යෑම හමුවේ හා ඔවුන්ට ලබාදෙන ආහාර ආධාර ප්‍රමාණයත් අඩුකිරීම මගින් බරපතළ මානුෂීය අර්බුදයක් (humanitarian crisis) මතුවීමටද ඉඩ ඇති බව පෙනේ. ලෝකයේ සාගින්නෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව බිලියනයේ කඩඉම පසුකළ ඓතිහාසික වර්ෂයවූ 2009 දී එම පුද්ගලයින්ට ආහාර ආධාර ලබාදීම සඳහා මුදල් නොමැතිවීම කණගාටුවට කරුණකි.
මෙහි දැක්‍වෙන ග්‍රැෆික් සටහන් දෙකින් සාගින්නෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව වැඩිවීමත් ලෝක ආහාර ආධාර ප්‍රමාණයේ අඩුවීමත් පෙන්නුම් කරන අතර මෙම ප්‍රතිවිරෝධී ප්‍රවනතා දෙක නවතා දැමීමට ගෝලීය ප්‍රජාව අපොහොසත්වුවහොත් ඉදිරියේදී බරපතල මානුෂීය ගැටළුවක් උද්ගතවීම නෙවැළැක්විය හැකිවනු ඇත.
මූලාශ්‍ර:
http://www.reuters.com/article/topNews/idUSTRE58F1MJ20090916
http://www.wfp.org
කෘෂිකර්ම අංශයේ ආයෝජනය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානයවන ලෝක ආහාර සුරක්ෂිතතා සමුළුව 2009 නොවැම්බර් මස රෝමයේදී
World Food Security Summit aimed to increase agricultural investments to be held in Rome this year
(2009 අගෝස්තු 27)
මෙම වර්ෂයේ නොවැම්බර් 16 – 18 යන දින තුන තුළ පැවැත්විමට සැළසුම් කර ඇති ආහාර සුරක්ෂිතතාවය (food security) පිලිබඳ ලෝක සමුළුවේදී (World Summit) නිකුත් කිරීමට අපේක්ෂා කරන ප්‍රකාශනය පිළිබඳ අදහස් විමසීමටත් ඒ පිළිබඳව සංවාදයකට එළඹෙන ලෙසත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සාමාජික රාජ්‍යයන්ට ආරාධනා කර ඇත. එම සංවාදය ආරම්භ කිරිම සඳහා ඉවහල්වන පත්‍රිකාවක්ද එම රටවලට යවන FAO සංවිධානය කියා සිටින්නේ 2025 වන විට සාගින්න මුළුමනින්ම දුරැලීමට හා වර්ෂ 2050 වන විට බිලියන 9.2 ක් පමණ වන ලෝක ජනගහණයේ ආහාර සුරක්ෂිතභාවයත් තහවුරු කිරීමට මෙම ලෝක ආහාර සමුළුව ඉවහල් කරගත යුතු බවය.
මෙම දින තුනේ ලෝක සමුළුවේදී ලඟාකර ගැනිමට අපේක්ෂිත අරමුණු පිළිබඳ ඉඟියක් දෙමින් එම සමුළුව අවසානයේදී නිකුත් කිරීමට අපේක්ෂිත ප්‍රකාශනයේ පූර්ව කෙටුම්පතක් පිළියෙල කරන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එම කෙටුම්පත සියළුම සාමාජික රාජ්‍යයන්ට යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට ඉල්ලා සිටී. මෙම කෙටුම්පත පහත සඳහන් ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ සමුළුවේදී අපේක්ෂිත අරමුණු ඉදිරිපත් කර ඇත.
- ආහාර සුරක්ෂිතතා වැඩ සටහන කළමනාකරණය සඳහා අවශ්‍යවන පාලන ව්‍යුහයක් (food security governing structure)
- සංවර්ධනයවන රටවල රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආයෝජනයන් කළයුතු ආකාරය
- හදිසි ආපදා තත්වයන්තුළදී අවශ්‍යවන ආහාර ආධාර
- ආහාර අර්බුදයන්හිදී ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතු අන්දම
- ගොවීන්ට අවශ්‍ය අලෙවි හා තාක්ෂණික ව්‍යාප්ති සේවා
- කෘෂිද්‍රව්‍ය සඳහා වෙළඳපල පුළුල් කිරීම
- ආහාර සුරක්ෂිතතාවය සඳහා අවශ්‍ය ආයතනික ධාරිතාවන් වර්ධනය
- ආහාරවල ගුණාත්මක බව තහවුරු කිරීම
- දේශ සීමා හරහා සිදුවන පළිබෝධ හා සත්ව ලෙඩ රෝග පැතිරීම හා වැළැක්වීම
- දේශගුණික විපර්යාස වලින් කෘෂිකර්මයට වන හානි අවම කරගැනීම (mitigation) හා එම විපර්යාසවලට අනුගතවීම (adaptation)
දැනට සති කිහිපයකට පෙර ඉතාලියේ පැවති G8 සමුළුවේදී සැකසුණ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් කරුණුද මෙම කෙටුම්පතට පදනම්වී ඇත. ඉදිරි වර්ෂ 3 දී දිළිඳු රටවල කෘෂිකර්මය තිරසාර ලෙසින් නඟා සිටුවීම සඳහා ඩොලර් බිලියන 20 ක් මෙම G8 සමුළුවේදී අනුමතවු අතර ලෝක ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා එම තීරණයද ඉමහත් රුකුළක් විය.
මේ වසරේ නොවැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිත ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ මෙම ලෝක සමුළුව තුළින් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සංවිධානය මූලික අපේක්ෂා කරන්නේ පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ක්‍රමයෙන් අඩුවුන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනයන් (investments in agriculture) නැවත වැඩි කිරීමයි. පසු ගිය දශක දෙක තුළ දිළිඳු හා සංවර්ධනයවන රටවලට ලබා දුන් විදේශාධාර (Overseas Development Assistance - ODA) තුළ කෘෂිකර්මය සඳහා වෙන්වූ මුදල් ප්‍රමාණයද සැළකිය යුතු අන්දමින් පහළ යෑම කෘෂිකර්මය අඩාලවිමට ප්‍රධාන හේතුවක් ලෙස සැළකිය හැක. 1980 දී සියළුම සංවර්ධනයවන රටවලට ගලාගිය විදේශීය සංවර්ධන ආධාරවලින් 17% ක් පමණම අඩංගුවූයේ කෘෂි ව්‍යාපෘති තුළය. එහෙත් 2006 වන විට විදේශාධාර තුළ අඩංගුවූ කෘෂිකාර්මික ආධාර ප්‍රමාණය 3.8% ක් පමණ තරමට පහළ බැස තිබුණි. මෙම කෘෂි-ආධාර අඩුවීම වැඩි වශයෙන්ම සිදුවුනේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවික දායක අයතනවලින් (multilateral donor agencies) ලැබෙන විදේශාධාර තුළය (දකුණු පස ප්‍රස්ථාරය බලන්න).
මෙයට ප්‍රධාන හේතුව වූයේ සංවර්ධනයවන රටවල ආර්ථික වර්ධනය සඳහා කෘෂිකර්මයෙන් ලැබිය හැකි දායකත්වය ඉතා සුළුයැයි යන මතය දැරූ ලෝක බැංකුව ඇතුළු බොහෝ දායක ආයතන කෘෂි ක්ෂේත්‍රයට වඩා කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර සඳහා වැඩි ආධාර මුදලක් වෙන් කිරීමයි. එම නිසා ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය කෙරෙහි වඩා සංවර්ධිත රටවල රජයන්ගේ හා ජාත්‍යන්තර දායක ආයතනවල අවධානය යොමු කිරීම මෙවැනි ලෝක සමුළු පැවැත්වීමේ අරමුණවී ඇත.
මෙම (2009) වර්ෂයේ නොවැම්බර්වල පැවැත්වෙන ලෝක ආහාර සමුළුව 1945 බිහිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්වන ආහාර සමුළුව වීමෙන් එය කෙතරම් වැදගත්ද යන්න සිතා ගත හැකිය. ඊට පෙර ආහාර සමුළු පැවැත්වූ අවස්ථාවූයේ 1996 දී හා 2002 දීය. වර්ෂ 2015 වන විට ලෝකයේ සාගින්නෙන් පෙළෙන ජනසංඛ්‍යාව හරි අඩක් කළයුතුයැයි යන ඓතිහාසික තීරණය ගනු ලැබුයේ 1996 දී පැවැත්වූ ආහාර සමුළුවේදීය. එහෙත් එවකට (1996 දී) මිලියන 840 ක් පමණවූ සාගිනි ජනගහණය 2009 වනවිට මිලියන1000 ක් ඉක්මවා ගොස්ය. 2007 දී ඉස්මතුවු ආහාර අර්බුදයත් ඉනපසුව පැනනැඟුන ගෝලිය මූල්‍ය අර්බුදයත් සාගිනි තත්වය උත්සන්න කිරීමට හේතුවුවද කෘෂිකර්මය ගෝලීය ආර්ථික සිතියමෙන් කොන්කිරීමට උත්සහ දැරූ ජාත්‍යන්තර දායක හා මූල්‍ය ආයතනද වර්තමාන සාගිනි ප්‍රශ්නයට වගකිව යුතුය.
නොවැම්බර් මස පැවැත්වෙන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ලෝක සමුළුව සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වන අතර මෙම මුදල ලබා දීමට සවුදි අරාබි රජය එකඟවී ඇත.
මූලාශ්‍ර:
http://www.fao.org/news/story/en/item/29219/icode/
http://www.fao.org/fileadmin/user_upload/newsroom/docs/Secretariat_Contribution_for_Summit%20.pdf
දිනෙන් දින උග්‍රවන ලෝක සාගිනි තත්වය මානුෂීය අර්බුදයක් බවට පත්විය හැකියැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
Hungry population exceeds one billion – UN warns of human catastrophe
(2009 ජූනි 14)
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව අධික ආහාර මිළ නිසා 2009 මුල් මාස 3 දී පමණක් පුද්ගලයින් මිලියන 105 ක් සාගින්නෙන් පෙළෙන ජනගහනයට එක්විය. මේ අනුව 2008 අවසාන වන විට මිලියන 963 ක්වූ සාගිනි පුද්ගල ජනගහණය බිලියනය ඉක්මවීය. මෙසේ සාගිනි පුද්ගල සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධානම හේතුව වී ඇත්තේ 2007 – 2008 වකවානුවේදී දී ඉහළගිය ආහාර මිල තවමත් පහත නොබැසීම නිසාය. 2008 අවසානවන විට ආහාර මිල අඩුවුද තවමත් එය 2007 පැවති මිලට සාපේක්ෂව වැඩිය.

සමස්ථ ආහාර මිල දර්ශක(Overall Food price indices) |
ආහාර ද්‍රව්‍යවල මිල දර්ශක |
මූලාශ්‍රය: ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය |
|
සාගින්නෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව වැඩිවීමත් සමගම දිළිඳු රටවල් මුහුණ දෙන අනික් ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ එයට මුහුණ දීම සඳහා අවශ්‍ය ආහාර ආධාර (food aid) එම රටවල්වලට අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබීමයි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනට (World Food Programme) අනුව 2009 වර්ෂට පමණක් ඇ. ඩොලර් බිලියන 6.4 ක ආහාර ආධාර සැපයිය යුතුවුවද පසුගිය සතියවන විටත් ආධාර දෙන රටවල්වලින් ඒ සඳහා ලැබී ඇත්තේ ඇ. ඩොලර් බිලියන 1.5 ක් පමණි. පොහොසත් සංවර්ධිත රටවල්වලින් දිළිඳු රටවල්වලට වාර්ෂිකව ලබා දීමට පොරොන්දුවී ඇති විදේශාධාර ප්‍රමාණය පසුගිය වර්ෂ 20 ක පමණ කාලයක සිටම නිසියාකාරව නොලැබිණ. මෙම තත්වය සැළකිල්ලට ගනිමින් 2005 පැවති ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම රටවල් 8 හි (G8) සමුළුවේදී දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට වාර්ෂිකව ලබාදෙන විදේශාධාර ප්‍රමාණය 2010 වන විට ඇ. ඩොලර් බිලියන 50 කින් වැඩි කිරීමට තීරණය කරන ලදී. එහෙත් ඉන් පසුව 2007- 2008 අවධියේදී පොහොසත් රටවලට මුහුණ දීමට සිදුවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් 2005 දී පොරොන්දුවූ පරිදි විදේශාධාර වැඩි නොකෙරෙන බව මේවනවිට ඉතා පැහැදිලිව පෙනෙන්ට තිබේ.
මෙය වඩාත් අවාසනාවන්ත තත්වයක් ලෙස පෙනී යන්නේ මූල්‍ය අර්බුදයෙන් මිදීම සඳහා පොහොසත් රටවල් තම රටවල වාණිජ බැංකු හා ව්‍යාපාරික සමාගම්වලට ලබා දෙන ඩොලර් ට්‍රිලියන ගණන්වන මූල්‍යාධාර ප්‍රමාණයෙන් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් ආහාර ආධාර සඳහා අවශ්‍යවන නිසාය.
මෙම තත්වය තුළ ක්‍රමයෙන් ගොඩ නැඟෙන මානුෂීය අර්බුදය සමස්ථ ගෝලීය ප්‍රජාවම අස්ථාවර තත්වයකට පත්කළ හැකිය යන තර්ජනයද මේවනවිට ඉස්මතුවෙමින් පවතී. පසුගිය සතියේ ඉතාලියේ පැවැති G8 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමෙහිදී ද මෙම ගැටළුව සැලකිල්ලට යොමුවූ අතර තම රටවලින් දිළිඳු රටවල් සඳහා ලබාදෙන ආධාර ප්‍රමාණය ඉක්මණින්ම වැඩිකිරීමටද G8 රටවල් මෙහිදී ප්‍රතිඥා දෙන ලදී. මෙවැනි පෙරොන්දුවක් දීමට තරම් හැකියාවක් පොහොසත් රටවලට ඇතිවී තිබෙන්නේ එම රටවල් මුහුණදෙන මූල්‍ය අර්බුදය තරමක් දුරට සංසිඳෙමින් පවතින බවට මෙම රැස්විමේදී යම් ඉඟි පහළවූ නිසා විය හැක. මාස 9 ක පමණ තිබූ ආර්ථික වශයෙන් අඳුරු කාලපරිච්ඡේදය නිම කරමින් එම රටවල්වල පොලී අනුපාත ස්ථාවර තත්වයකට පත්වීමත් (stabilization of interest rates), කොටස් වෙළඳපල මිල දර්ශක ඉහළ යෑමත් (rising stock market indices) හා පාරිභෝගික විශ්වාසය ඉහළ යෑමත් (growing consumer confidence) වැනි කරුණු මූල්‍ය අර්බුදය නිමාවෙමින් තිබෙන බවට සාක්ෂි ලෙස සැළකේ. එහෙත් මෙම අර්බුදය අපේක්ෂිත ඉක්මණින්ම නිමවේදැයි යන්න තවමත් අවිනිශ්චිත නිසා බැංකු හා ව්‍යාපාරවලට ලබා දෙන මූල්‍යාධාර පැකේජයන් එසේම පවත්වාගෙන යායුතුයැයි එම රටවල්වල නියෝජිතයින්ගේ මතයවිය.
ඒ කෙසේ වෙතත් G8 රැස්වීමට ආරම්භවීමට ප්‍රථමයෙන්ම ප්‍රකාශයක් නිකුත්කළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පවසා තිබුනේ මූල්‍ය අර්බුදය හේතුවක් කරගනිමින් පොහොසත් රටවල් ලබාදීමට බැඳී සිටින ආධාර ප්‍රමාණය කිසි ලෙසකින් අඩු නොකළ යුතු බවයි. ඔහු පවසන්නේ මූල්‍ය අර්බුදය නිසා උත්සන්නවූ දිළිඳුකම හා සාගිනිභාවය නිසාවෙන් පිඩා විඳින දුප්පත් රටවල්වලට ලැබෙන ආධාර ප්‍රමාණය සැබවින්ම නම් වැඩිකළ යුතුබවයි.
මූලාශ්‍ර:
http://www.un.org/apps/news/story.asp?NewsID=30850&Cr=finance&Cr1=development
http://www.washingtonpost.com/wp-dyn/content/article/2009/06/12/AR2009061201545.html
http://news.bbc.co.uk/2/hi/business/8098886.stm
ධාන්‍ය වර්ගවල මිල ඉහළ යෑමේ ළකුණු
Signs of grain prices going up
(2009 අප්‍රියෙල් 3)
ඇමෙරිකාණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබෙන තොතුරු අනුව මේ වසරේ එහි ගොවීන් විසින් වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර මිලියන ගණනින් අඩුවීමට ඉඩ තිබේ. මෙයට හේතුව ඇමෙරිකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින මූල්‍ය අර්බුදය නිසා එහි ගොවීන්ට වගා ණය ලබා ගත නොහැකිවීමයි. මේ නිසා දැනටමත් කෘෂි වෙළඳ අංශය (commodity trading) තුළ බෙහෝ ධාන්‍ය වර්ගවල ඉදිරි මිල ගණන් (future prices) දැනටමත් වැඩිවීමට පටන් ගෙන ඇත.
මෙම තත්වය අන්තර්ජාතික ධාන්‍ය මිල ඉහළ යෑමට තුඩුදිය හැකි අතර තිරිඟු පිටි, බඩ ඉරිඟු හා සෝයා වැනි ධාන්‍ය වර්ග ආනයනය කරණ ශ්‍රී ලංකාව වැනි රටවල්වලට මේ තත්වය අහිතකරලෙස බලපානු ඇත.
මූලාශ්‍රය:
http://online.wsj.com/article/SB123850608441073585.html?mod=googlenews_wsj
මූල්‍ය අර්බුදය මැද අමතක කර ඇති ආහාර අර්බුදයට තිරසාර විසඳුම්
Sustainable solutions to food crisis forgotten amidst financial crisis
(2009 මාර්තු 28)
මේ වනවිට දුප්පත් පොහොසත් භේදයෙන් තොරව ලොකයේ සියළුම කලාප හා රටවල් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටී. මෙම මූල්‍ය අර්බුදය ඉස්මතුවීමත් සමගම 2007 – 2008 සමයේ ඉස්මතුවූ ආහාර අර්බුදය කෙරෙහි තිබූ අවධානයද ක්‍රමයෙන් පහවෙමින් ගොස් මේවනවිට සියළුම රටවල්වල කතාබහට ලක්වි ඇත්තේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ එන ආකාරයයි. මෙයට හේතුවක් විය ඇත්තේ එකවරකට එක අර්බුදයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට ලෝක ප්‍රජාව පුරුදුවී සිටීම විය හැක. එක්වරකදී ඉන්ධන අර්බුදය කෙරෙහිද ඊලඟ අවස්ථාවෙහි ආහාර අර්බුදය කෙරෙහිද අවධානය යොමුකළ ලෝක ප්‍රජාව වර්තමානයේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට යුහුසුළුව සිටී.
එහෙත් එක වරකට එක අර්බුදයක් කෙරේ පමණක් අවධානය යොමු කිරීමේ පුරුද්ද නිසා අමතක කර ඇති ආහාර අර්බුදය කිහිප ගුණයකින් උත්සන්නව ඉස්මතුවීමට ඉඩකඩ ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයවී ඇත. 2007 ඉස්මතුවූ ආහාර අර්බුදයට ප්‍රධාන හේතුව ඉදිරි ලාභ අපේක්ෂාවෙන් ආහාර තොග මිලදී ගැනීමට (commodity speculation) අන්තර්ජාතික ආයෝජකයින් පෙළඹුන නිසායැයි යන වැරදි වැටහීම නිසාත් මේවනවිට තරමක් දුරට ආහාර මිල පහත වැටීම නිසාත් ආහාර අර්බුදයට තිරසාර විසඳුමක් සෙවීමෙන් ලෝක ප්‍රජාව ඉවත්වී ඇතැයි පවසන ආර්ථික විද්‍යාව සඳහා 2008 නෝබෙල් ත්‍යාගය ලැබූ මහාචාර්ය පෝල් කෘග්මන්ට අනුව ඉහළයන ලෝක ජනගහණයත් ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පත්වල දැඩි හිඟයත් නිසා ආහාර අර්බුදය නැවත ඉස්මතුවීම වැළැක්විය නොහැකි බව අවධාරනය කරයි.
විවෘත වෙළඳාම (free trade) කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසයක් දැක්වූ බොහෝ රටවල් ඕනෑම අවස්ථාවක විවෘත වෙළඳපළෙන් ආහාර මිලදී ගැනීමට හැකිවනු ඇතැයි සිතා ආපදා අවස්ථාවකට අවශ්‍ය තරම්වත් ආහාර තොග (food stocks) පවත්වා නොගැනීම ආහාර අර්බුයෙන් පීඩාවිඳි රටවල්වලට හොඳ පාඩමක්වනු ඇතැයි මහාචාර්ය කෘග්මන් පවසයි. ආහාර අර්බුදය ඉස්මතුවීමත් සමගම ආහාර අපනයන කරණ රටවල් (food exporting countries) විවෘත වෙළඳාමේ මූලික සංකල්පයන් බිඳ දමමින් අපනයන තහංචි (export/trade restrictions) පණවමින් තම රටවල්වල ආහාර සුරක්ෂිතතාවය ගැන පමණක් අවධානය යොමු කිරීම ඉතාමත් අයුක්ති සහගතවන අතර එම යථාර්තය පිළිබඳවද ආහාර අර්බුයෙන් පීඩාවිඳි රටවල්වල සැළකිලිමත්විය යුතුය. විවෘත වෙළඳපල සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මකවිය යුත්තේ එවැනි අර්බුදකාරී අවස්ථාවන්වලදී වුවද එය එසේ නොවන බව මේ යථාර්තයයි.
ආහාර අර්බුදය තිරසාරව විසඳීමට ගතයුතු පියවරයන් අතර මූලිකවිය යුත්තේ කෘෂිකාර්මික ඵලදායිතාවය (agricultural productivity) ඉහළ දැමීමවන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන, ගබඩා පහසුකම්, සැකසුම් හා ව්‍යාප්ති සේවා වැනි කෘෂි-යටිතල පහසුකම් (agro-infrastructure) වැඩිදියුණු කිරීම කෙරෙහි සැළකිය යුතු අවධානයක් යොමු කිරීම හා ආයෝජනයන් කිරීම අත්‍යවශ්‍යවේ. එහෙත් ස්වාභාවික සම්පත්වල ඇති හිඟය හා කාර්මික කෘෂිකර්මය (industrial agriculture) නිසා පරිසරයට වන හානිය ආහාර නිෂ්පාදනය තිරසාරව පවත්වාගෙන යෑමට ඇති ප්‍රධාන බාධාවන්වනු ඇත. උදාහරණයන් ලෙස ගතහොත් උෂ්ණත්වය, නියඟය, ලවණතාවය හා වාරිපහසුකම් නොමැතිවීම නිසා කෘෂිකර්මය සඳහා භාවිතාකළ හැකි මුළු ඉඩම් ප්‍රමායෙන් සත්‍ය වශයෙන්ම ප්‍රයෝජනය ගතහැක්කේ 11% ක් වැනි සුළු ප්‍රමාණයකි. පරිසරයට නිකුත්වන හරිතාගාර වායු (greenhouse gases) ප්‍රමාණයෙන් 24% කටම වගකිව යුත්තේද කෘෂිකාර්මික කටයුතුය. මෙවැනි සීමාවන් තුළ තිරසාර ලෙස කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ දැමීමට නම් නිර්මාණශීලී නව තාක්ෂණික ප්‍රවේශයන් අවශ්‍යවන අතර ඒ සඳහා ඇති හොඳම මාර්ගය වන්නේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන කටයුතු (Research & Development – R&D activities) සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමයි. අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (International Food Policy Research Institute- IFPRI) පවසන පරිදි වර්ෂ 5ක කාලය තුළ වර්ෂයකට ඇ. ඩොලර් බිලියන 5 – 10 ත් අතර මුදලක් කෘෂිකාර්මික පර්යේෂණ සඳහා යෙදවුවහොත් ගෝලීය කෘෂිකාර්මික ඵලදායිතාවය 1.1% කින් පමණ වැඩිකරගත හැකිවන අතර එසේවුවහොත් වර්ෂ 2020 වන විට පුද්ගලයින් 280 ක් පමණ දිළිඳුභාවයෙන් මුදවාගැනීමට හැකිවනු ඇත.
ආහාර අර්බුදයට ඇති දෙවැනි විසඳුම වන්නේ දිළිඳුභාවය නිසා නෙයෙකුත් උපද්‍රවවලට ගොදුරුවිය හැකි පුද්ගලයින් (vulnerable groups) සඳහා සමාජ හා ආහාර ආරක්ෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමයි. කොන්දේසි මත මුදල් ආධාර ලබා දීම (conditional cash transfer), පාසැල් ළමුන්ට ආහාර ලබාදීම (school feeding), පූර්ව ළමා පෝෂණ වැඩ සටහන් (early childhood nutrition programme) හා නිවාරන සෞඛ්‍ය සේවා (preventive healthcare) හා ආදායම් උත්පාදන කටයුතු (income generation programmes) ප්‍රවර්ධනය කිරීම මගින් එවැනි දිළිඳු කොටස් සමාජ ආර්ථික උපද්‍රවවලට ගොදුරුවීමෙන් වළක්වා ගත යුතුය. එහෙත් මෙවැනි ආරක්ෂණ වැඩසටහන්වලට අවශ්‍ය මුල්‍ය සම්පත් නොමැතිවීම ප්‍රධාන ගැටළුවක්වී ඇත. සංවර්ධනයවන රටවල් 77 ක දිළිඳු පුද්ගලයින් මිලියන 100 කට ආහාර ආධාර (food aid) ලබාදීමට සැලසුම්කර ඇති ලෝක ආහාර වැඩ සටහනට (World Food programme – WFP) අනුව ඒ සඳහා වර්ෂයකට ඩොලර් බිලියන 6 ක් පමණ අවශ්‍යය. එහෙත් 2007 හා 2008 වර්ෂ සඳහා පොහොසත් දායක රටවලින් ලැබුණේ පිළිවෙලින් ඩොලර් බිලියන 2.7 ක් හා 5.0 ක් පමණය. 2009 වර්ෂය සඳහාද තවමත් ලැබී ඇත්තේ අපේක්ෂිත මුදලින් 10% ක් පමණය. මේ තත්වය තවත් බරපතළවී ඇත්තේ මූල්‍ය අර්බුදයතුළ හිරවී සිටින පොහොසත් රටවල්වල මුළු අවධානයම ඒ සඳහා යොමු කරනු විනා දිළිඳු රටවල්වල ආහාර ප්‍රශ්නය කෙරෙහි සිතීමටවත් නොහැකිවීමය.
ආහාර අර්බුදයට ඇති තවත් විසඳුමක් වන්නේ හදිසි අවස්ථාවලදී භාවිතයට ගැනීම සඳහා ගෝලීය ධාන්‍ය සංචිතයන් (global grain reserves) පවත්වාගෙන යෑමයි. මේ සඳහා භෞතික සංචිතයන් (physical reserves) මෙන්ම අතථ්‍ය සංචිතයක්ද (virtual reserves) පවත්වාගෙන යැමද සුදුසුයැයි අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) යෝජනා කරයි. මෙවැනි අතථ්‍ය ධාන්‍ය සංචිතයක් පවත්වා ගැනීම මගින් 2007 – 2008 කාලවකවාණුවේ සිදුවූ පරිදි අන්තර්ජාතික ආයෝජකයින් එක්වරම ආහාර තොග මත ආයෝජනයන් (commodity investments) කිරීමට පෙළඹීම බොහෝ දුරට අධෛර්ය කෙරෙනු ඇති අතර ඒ මගින් ආහාර මිල එක්වරම ඉහළ යෑමද වළකිනු ඇත.
මේ සියල්ලටම වඩා ආහාර අර්බුදයට විසඳුම් සෙවීමේදී කළ යුතුදෙය වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහාවූ වෙළඳපල වඩා සාධාරණ (equitable) ලෙසින් ක්‍රියාත්මක කිරීමට සැලැස්වීමයි. ඇමෙරිකාව හා යුරෝපා රටවල් තම ගොවීන් සඳහා පවත්වාගෙන යන අතිවිශාල මට්ටමේ සහනාධාර (subsidies) හා තීරුබදු සහන (tariff protection) නිසා ලෝකයේ සංවර්ධනය හා විශේෂයෙන්ම දිළිඳු රටවල්වල ගොවීන්ට සිදුවන අසාධාරනය අන්තර්ජාතික වශයෙන් රහසක් නොවුවද ඒ පිලිබඳ කිසිදු පියවරක් ගැනීමට ඇමෙරිකාව හා යුරෝපීය රටවල් මැළිවීම කණගාටුවට කරුණකි. මැළිවීමටත් වඩා එය වැළැක්වීමක් ලෙස දැකිය හැක්කේ ඒ ලෝක වෙළඳාම පිළිබඳ ‘දෝහා සාකච්ඡා’ (Doha round of trade negotiations) කඩාකප්පල් කිරීමට එම රටවල් දිගින් දිගටම පියවර ගත් නිසාය. ඩොලර් බිලියන ගණනින් දිළිඳු රටවල්ට ‘ආහාර ආධාර’ දෙනවා වෙනුවට සාධාරන කෘෂි-වෙළඳ ප්‍රතිපත්තියකට එළඹීම වඩා ඵලදායීවීමට හැකිබව මෙහිදී එම රටවල් අවබෝධකරගත යුතුය.
මේවනවිට අන්තර්ජාතික ප්‍රජාව පහසුවෙන්ම ආහාර අර්බුදය අමතක කර ඇත්තේ 2008 අවසාන භාගයවනවිට ආහාර මිල සැළකියයුතු ප්‍රමාණයකින් පහත වැටුණු නිසාය. එහෙත් ආහාර අර්බුදය දිළිඳු රටවල්වලට බලපාන අයුරු විග්‍රහ කිරීමට ‘ආහාර මිල’ එතරම් හොඳ දර්ශකයක් (indicator) නොවන අතර ආහාර අර්බුදය නිසා දිළිඳුභාවයට (poor), මන්දපෝෂණයට (malnutrition) හා සාගින්නට (hunger) පත්වන පුද්ගල සංඛ්‍යාව ගැන සැළකිලිමත්වීම වඩා ප්‍රායෝගිකය.
මූලාශ්‍ර:
http://www.forexpros.com/news/financial-news/recession-compounds-world-food-crisis:-un's-wfp-32712
http://www.euractiv.com/en/cap/nobel-winner-calls-renewed-focus-food-security/article-180371
ආහාර අර්බුදය ජයගැනීමට නම් ආහාර නාස්තිය වැළැක්විය යුතුය: එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දෙයි
Food crisis is a crisis of wasting food: says UNEP’s latest report - The Environmental Food Crisis: The environment's role in averting future food crises
(2009 මාර්තු 7)
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන (United Nations Environment programme – UNEP)මගින් කරන ලද අධ්‍යයනයකට අනුව ලෝකයේ නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යවලින් අඩකට වැඩි ප්‍රමාණයක්ම මිනිසාගේම පරිභෝජන දාමයේ අකාර්යක්ෂමතාවය (food chain inefficiency) නිසා අපතේයන බව පෙනීයයි. මෙම අකාර්යක්ෂම ආහාර අපතේ යෑම සිදුවන්නේ සංවර්ධනයවන රටවල පමණක් නොව තාක්ෂණය අතින් දියුණුයැයි සැළකෙන සංවර්ධිත රටවලත්වීම පුදුම සහගතය.
උදාහරණ ලෙස ගතහොත් ඇමෙරිකාවේ එළවළු සහ පලතුරු නිෂ්පාදනයෙන් 25% ක්ම අස්වනු නෙළීමේ සිට පාරිභෝජන අවස්ථාව අතරතුර විනාශවී යයි. එක්සත් රාජධානියේ පුද්ගලයින් මිලට ගන්නා ආහාර ද්‍රව්‍යවලින් 30% ක්ම පාරිභෝජනය නොකොට ඉවත දමනු ලබයි. ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගොඩකිරීමට යොදාගන්නා අපද්‍රව්‍යවලින් 50% ක්ම ඉවතලන ආහාර ද්‍රව්‍යයන්ය.
සංවර්ධනයවන රටවල කෘෂි අස්වැන්න ලබා ගැනීමටත් පෙර අපේක්ෂිත අස්වැන්නෙන් 40% ක්ම පමණ කෘමි සහ වෙනත් උවදුරු නිසා විනාශවේ. එම රටවල නෙළාගනු ලබන එළවළු සහ පලතුරුවලින් තුණෙන් එකක් පමණ දුර්වල ගබඩා සහ ප්‍රවාහන ක්‍රම නිසා විනාශවී යයි. ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධනයවන රටවල මත්ස්‍ය අස්වැන්නෙන්ද 30% ක් පමණ නිසි ලෙස පරිහරණ නොකිරීමේ (poor handling) හා ශීතකරණ /අයිස් පහසුකම් නොමැතිවීම නිසා අපතේයයි. එපමණක්ද නොව මෙම UNEP වාර්තාව පෙන්වා දෙන අන්දමට ලෝකයේ මුළු සාගර මත්ස්‍ය අස්වැන්නෙන් (marine fish catch) තුණෙන් එකකට ආසන්න ප්‍රමාණයක් නොහොත් ටොන් මිලියන 30 ක් පමණ ප්‍රයෝජනයට නොගෙන නැවත මුහුදටම විසිකරණු ලබයි.
මේවන විට ලෝකයේ මුළු ධාන්‍ය නිෂ්පාදනයෙන් තුණෙන් එකක් පමණ මිනිසාගේ පාරිභෝජනයට ගන්නවා වෙනුවට සත්ව අහාර නිපදවීමට යොදා ගැනීමද ගෝලීය ආහාර හිඟයට එක් හේතුවක් ලෙස පෙන්වා දෙන මෙම වාර්තාව මෙම ප්‍රවනතාවය දිගටම පැවතුනහොත් 2050 වනවිට මුළු ධාන්‍ය නිෂ්පාදනයෙන් 50% ක්ම සත්ව ආහාර ලෙස ගනු ලැබිය හැකි බවට අනතුරු ඇඟවීමක්ද කරයි. සත්ව ආහාර සඳහා මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර ද්‍රව්‍ය භාවිතා කරනවා වෙනුවට අපතේ යන අහාර කොටස් නව තාක්ෂණික ක්‍රම මගින් ප්‍රතිචක්‍රීකරණයකොට නිෂ්පාදනය කිරීම මීට ඇති හොඳම විසඳුමයි.
අහිතකර පාරිසරික තත්වයන් ආහාර නිෂ්පාදනයට බලපාන අයුරු විග්‍රහකරන මෙම වාර්තාව ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, හිමාලයානු ග්ලැසියර දියවීම, අධික නියඟයන් වැනි කරුණු නිසා සියළුම කෘෂි බෝගවල අස්වැන්න මෙන්ම මත්ස්‍ය නිෂ්පාදනයද සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙමින් පවතින බව සඳහන් කරයි. ජල හිඟය නිසා පමණක් ගෝලීය කෘෂි නිෂ්පාදනය 12% කින් අඩුවනු ඇතැයි අනුමාන කෙරේ.
ගෝලීය උෂ්ණත්වය වැඩිවීම වැනි දේශගුණික වෙනස්වීම් නිසා කෘමි සහ වෙනත් පළිබෝධ වර්ග ව්‍යාප්තිය වැඩිවන අතර මුළු ගෝලීය කෘෂි නිෂ්පාදන ප්‍රමාණයෙන් 6% ක් පමණ ඒ නිසාම විනාශවේ.
වනාන්තර එළිකිරීම, අක්‍රමවත් හා පරිසර හිතකාමී නොවන අයුරින් පොලොව සැකසීම හා සීමාවකින් තොර රසායනික පොහොර භාවිතය නිසා පසෙහි ඵලදායිතාවය අඩුවීමද (land degradation) ආහාර නිෂ්පාදනයට ඉතාමත් අහිතකර අන්දමින් බලපා ඇත. මේ අයුරින් බලන කළ පාරිසරික කඩාවැටීම් (environmental breakdown) නිසා පමණක් ගෝලීය කෘෂි නිෂ්පාදනයෙන් 25% ක් පමණ මිනිසාට අහිමිවන බව පෙනී යයි.
2050 වනවිට බිලියන 9 ක් ඉක්මවන ලෝක ජනගහණයේ පරිභෝජනය සඳහා අද මෙන් දෙගුණයක් ආහාර නිෂ්පාදනය කිරීමේ අභියෝගයට මුහුණ දී තිබියදී මෙතරම් ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය අපතේ යෑම හා විනාශවීම සඳහා වහාම පිළියම් යෙදිය යුතුය යන්න UNEP වාර්තාවේ ප්‍රධාන තේමාව වී ඇත.
The Environmental Food Crisis: The environment's role in averting future food crises (පාරිසරික ආහාර අර්බුදය: අහාර අර්බුදය වැළැක්වීමේදී පරිසරයේ දායකත්වය) යන මැයෙන් UNEP ඉදිරිපත් කරණ මෙම අධ්‍යයන වාර්තාවට වාර්තාවට අනුව 20 වන සියවසේ අනුගමනය කළ රසායනික පොහොර හා කෘමිනාශක පදනම් කරගත් ‘සාම්ප්‍රදායික’ කෘෂිකර්මය 21 වන සියවසේ අභියෝග ජය ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. ආහාර සුරක්ෂිතතාවය යනු ආහාර නිෂ්පාදනය පමණක් නොවන බව අප ඒත්තු ගතයුතු අතර එම නිසා අනාගතයේදී ආහාර නිෂ්පාදනය කෙරෙන තාක්ෂණික ක්‍රමවලට අමතරව ඒවා ගබඩාකරණ (storing),බෙදාහරිණ (distribution),අලෙවිකරණ (selling) හා පරිභෝජනය කරණ (consuming) ක්‍රමවේදයන්ද කාර්යක්ෂම කළ යුතුබව මෙයින් අවධාරණය කෙරේ.
ආහාර අර්බුදය ජයගැනීම සඳහා ඉවහල්විය හැකි කරුණු 7 කින් සමන්විත සැලසුමක්ද (seven point action plan) UNEP සංවිධානය මෙම වාර්තාව මඟින් හඳුන්වාදීමට උත්සහා දරා ඇත. එම කරුණු හත වන්නේ:
- ඉතාමත් දිළිඳු පුද්ගලයින් සහ පවුල් සඳහා විධිමත් මිල පාලනයක් හා සහණදායි ක්‍රමයක් මත ආහාර ලබාදීම
- ආහාර බෝග නොවන හා වගා කිරීමට ජලය ඉතා අඩුවෙන් අවශ්‍ය ශාක (හෝ ශාක ද්‍රව්‍ය) යොදා ගනිමින් ජෛව ඉන්ධන (bio-fuel) නිෂ්පාදනය කිරීම
- ඉවත දමන ආහාර ද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීම මගින් මිනිසාගේ පාරිභෝජනයට ගතහැකි ධාන්‍ය සත්ව අහාර බවට පත්වීම වැළැක්වීම
- පාරිසරික බලපෑම්වලට ඔරොත්තු දෙන, මිශ්‍ර හා විවිධාංගිකරණ බෝග වගාවන් කුඩා පරිමාණ ගොවීන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහාම පමණක් කැපවූ ගෝලීය කුඩා මුල්‍යකරණ අරමුදලක් (global microfinance fund) පිහිටුවීම
- යටිතල පහසුකම් දියුණු කිරීම, සහණදායි වැඩපිළිවෙල් ඇති කිරීම, වෙළඳාමට බාධා ඇතිකරවන බදු ක්‍රම ලිහිල් කිරීම, ගැටුම්කාරී තත්වයන් පාලනය කිරීම හා දූෂණය වැළැක්වීම තුළින් වෙළඳාම හා වෙළඳපල පුළුල් කිරීම
- වාතයට කාබන් මුදා හැරීම මගින් සිදුවන ගෝලීය උෂ්ණත්වය අවම කිරීම සඳහා සියළුම රටවල් පූර්ණ දායකත්වය ලබා දීම
- වැඩිවන ගෝලීය ජනගහණයේ පාරිභෝජන අවශතා නිසා පාරිසරික පද්ධතීන් මත ඇතිවන පීඩනය පිළිබඳ සියළු ජන කොටස් දැනුවත් කිරීම
මෙම UNEP වාර්තාවට අනුව 21වන සියවසේ කෘෂිකර්මාන්තය හැසිරවිය යුත්තේ පරිසර විරෝධිව නොව පරිසරය හා අත්වැල් බැඳගනිමින්ය. එසේ කිරීමට අපොහෝසත් වුවහොත් 2008 දී ඉස්මතුවූ ආහාර අර්බුදයට වඩා කිහිප ගුණයකින් උත්සන්න ආහාර හිඟයකට මුහුණදීමට අනිවාර්යෙන් සිදුවනු ඇත.
මූලාශ්‍ර:
http://www.un.org/apps/news/story.asp?NewsID=29930&Cr=food+crisis&Cr1=
http://www.grida.no/_res/site/file/publications/FoodCrisis_lores.pdf
ආහාර හිඟයට තිරසාර විසඳුම සංරක්ෂණ කෘෂිකර්මයයි
Conservation agriculture is the sustainable solution to food crisis
(2009 පෙබරවාරි 20)
2009 පෙබරවාරි 4 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ‘සංරක්ෂණ කෘෂිකර්මය පිළිබඳ ලෝක සමුළුව’ ඇමතූ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ බෝග නිෂ්පාදන හා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂකවරයාට අනුව දිනෙන් දින වැඩිවන ආහාර හිඟය හා ඉල්ලුම හමුවේ බෝග වගාව ඉහළ දැමීම හෝ තීව්‍ර කිරීම අනිවාර්ය වුවත් එය කළ යුත්තේ තිරසාර ලෙසය. එසේ නොවුවහොත් ඇතිවන පාරිසරික විනාශයන් ආහාර හිඟය තවත් උග්‍ර කිරීමට හේතුවනු ඇත. ඔහු ප්‍රකාශකරන අන්දමට තිරසාර ලෙස බෝග වගාව තීව්‍ර කිරීම සඳහා නොයෙක් ක්‍රම ඇතත් ඒ සඳහා ඇති හොඳම විකල්පය වන්නේ ‘සංරක්ෂණ කෘෂිකර්මයයි (conservation agriculture).
දැනටමත් ලොව පුරා ඉඩම් හෙක්ටෙයාර් 100 ක පමණ සිදුකරනු ලබන මෙම සංරක්ෂණ කෘෂි ක්‍රමවේදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉතාමත් අවම ලෙස පොළොව කෙටීමෙන් තොරවීමයි (zero tilling). ස්වාභාවික පස රැක ගැනීම මෙහි අපේක්ෂාව වන අතර ආවරනික පස් තට්ටුවේ සාරවත්බව වැඩි කිරීම සඳහා බෝග විවිධාංගිකරණය (crop diversification) හා ශස්‍ය මාරු ක්‍රම (crop rotation) අනුගමනය කිරීම සංරක්ෂණ කෘෂිකර්මයේ අනෙකුත් මූලික ලක්ෂණවේ.
බෝග නිෂ්පාදනය හා කෘෂි ඵලදායිතාවය ඉහළ දැමීමේ නාමයෙන් අද බොහෝ විට සිදුවන්නේ වුවමනාවට වඩා පොළොව සෑමත් (කෙටීමත්), අධික ලෙස රසායනික පොහොර හා කෘමි නාශක භාවිතයත් හා වුවමනාවට වඩා වාරි ජලය යෙදීමත්ය. එහෙත් මේ මගින් බොහෝවිට සිදුවන්නේ පස හා ජලය පමණක් නොව මුළු පරිසර පද්ධතියම හා එහි ජෛව විවිධත්වයත් ක්‍රමයෙන් විනාශවී යෑමයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ කෘෂි ඵලදායිතාවයද (agricultural productivity) ක්‍රමයෙන් පහළවැටීමයි.
මේ වනවිට සංවර්ධනයවන රටවල තිරිඟු, වී සහ ඉරිඟු වැනි ප්‍රධාන කෘෂි බෝග බොහෝමයක වාර්ෂික ඵලදායිතා වර්ධන වේගය (productivity growth rate) 1960 දශකයට වඩා සීඝ්‍රයෙන් පහත බැස ඇත. උදාහරන වශයෙන් ගතහොත් 1980 හා 2005 අතරදී තිරිඟුවල ඵලදායිතා වර්ධනය 5% සිට 2% දක්චාත්, සහල්වල ඵලදායිතා වර්ධනය 3.2% සිට 1.2% දක්වාත් සහ ඉරිඟුවල වාර්ෂික ඵලදායිතා වර්ධනය 3.1% සිට 1% දක්වාත් පහළ බැස ඇත.
මේ තත්වය දිගටම පැවතුනහොත් වැඩිවන ලෝක ජනගහණයත් සමග 2050 වන විට අදට වඩා දෙගුණයකින් වැඩිකළ යුතු ආහාර නිෂ්පාදන ඉලක්කය කිසිසේත් සපුරාගත නොහැකිවනවා ඇත. එමනිසා ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අප ගමන්කරන දිශාව වහා වෙනස් කළ යුතු අතර සාගින්න හා දිළිඳුකම තිරසාරවත් ලෙස පිටුදැකීමට නම් සංරක්ෂණ කෘෂිකර්මාන්තයට අප එළඹිය යුතුය.
පොළොව කෙටීමෙන් තොරව කෙරෙන සංරක්ෂණ කෘෂිකර්මයේදී පසෙහි සාරවත්බව වැඩි කිරීමට උපකාරීවන ක්ෂුද්‍ර ජීවීන් (microbes) වර්ධනය පහසු කරවන අතර ජලය රඳවා ගැනීම වැඩි කිරීම මගින් වාරි ජලය විශාල ප්‍රමාණයක් අපතේ යෑමද වළක්වා ගත හැකිය. එපමණක්ද නොව ට්‍රැක්ටර් මගින් යාන්ත්‍රිකව පොළොව කෙටීමේදී දහනයවන ඉන්ධන ප්‍රමාණයද එම නිසාම ඒ මගින් වාතයට නිකුත්වන අතිමහත් කාබන් ප්‍රමානයද සංරක්ෂණ කෘෂිකර්මයේදී අවමවනු ඇත. වර්තමානයේදී වායු ගෝලයට නිකුත්වන හරිතාගාර වායු (greenhouse gases) ප්‍රමාණයෙන් 30% කට වගකිව යුත්තේ කෘෂිකර්මයයි. එම නිසා සංරක්ෂණ ක්‍රමවේදයන් මගින් කෘෂිකර්මය වඩා පරිසර හිතකාමීබවට පත්කිරීම අප සියල්ලන්ගේම වගකීමද වේ.
එම නිසා සියළුම රටවල රජයවල්ද, දායක ආයතනද, අන්තර්ජාතික සංවර්ධන ආයතනද හා අනිකුත් සියළු පාර්ශව ආයතනද සංරක්ෂණ කෘෂිකර්මය ඉතා ඉක්මණින් ප්‍රචලිත කිරීමට දැනට වඩා උනන්දුවිය යුතුය. මේ සඳහා මූල්‍ය පහසුකම්වලට අමතරව ප්‍රතිපත්ති සැලසුම් කිරීමටද සහාය අවශ්‍ය වේ. සංරක්ෂණ කෘෂිකර්මයට සඳහා හඳුන්වාදී ඇති උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීමත්, පුහුණු කිරීම් හා සහාභාගිත්ව පර්යේෂණවලට යොමු කිරීම මගින් ශක්තිමත් ගොවි සංවිධාන ගොඩනැගීමත් සංරක්ෂණ ගොවිතැන ප්‍රචලිත කිරීමට ඉවහල්වනු ඇත.
මූලාශ්‍රය: http://www.fao.org/news/story/en/item/9962/icode/කෘෂි ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට විකීරණ තාක්ෂණය පිටිවහලක් වේද?
Irradiated crops could ease food crisis
(2009 ජනවාරි 12)
කෘෂිකාර්මික බෝග විකීරණවලට භාජනය කිරීම මගින් ලෙඩ රෝග හා කෘමි උවදුරුවලින් වළකා ගැනීමේ ක්‍රමවේදයට එළඹීමේ කාලය පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ආයතනය (International Atomic Energy Agency – IAEA) ප්‍රකාශ කරයි. 1920 වකවානුවේදී මෙම විකීරණ පාත්‍රන (irradiation) තාක්ෂණය දියුණු කරනලද නමුත් විකීරණවලින් හා ඒ මගින් බෝග පටකවල ඇතිවන ජාන විකෘතිවීම්වලින් මිනිසුන්ට හානි සිදුවේයැයි යන බිය නිසා මෙම තාක්ෂණය ව්‍යාප්තවීම ඉතාමත් සීමාසහිත අන්දමින් සිදුවිය.
එහෙත් ලෝක ජනගහණයෙන් බිලියනයක් පමණ සාගින්නට ගොදුරුවී සිටින වර්තමානයේ මෙම තාක්ෂණය යොදා ගැනීම මගින් ආහාර නිෂ්පාදනය සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකිවනු ඇති අතර එමඟින් විශාල පුද්ගල සංඛ්‍යාවක් සාගින්නෙන් මුදා ගැනීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු ආයතනය විශ්වාස කරයි. නියඟයන්ට හා ජලගැලීම් වැනි දේශගුණික විපර්යාසවලට මෙන්ම පළිබෝධ උවදුරුවලටත් ඔරොත්තුදිය හැකි ජානමය විපර්යාසයන් කෘෂි බෝග තුල සිදු කිරීම මෙම විකීරණ පාත්‍රන තාක්ෂණය මගින් සිදුකළ හැක. නියඟය හෝ ලවණතාවය වැනි යම්කිසි බාහිර තත්වයකට හැඩගැසිය හැකි ලෙස ජානමය විපර්යාසයක් (mutation) බෝගයක් තුළ ස්වාභාවිකව සිදුවීමට අවුරුදු මිලියන ගණනක් යන නමුත් විකීරණ තාක්ෂණය මඟින් එම ජානමය විපර්යායසය ක්ෂණිකව සිදුකළ හැකිවීම මෙම තාක්ෂණයේ විශේෂත්වයයි.
ජෛව තාක්ෂණය (bio-technology) යොදා ගනිමින් ශාක පටකවල ජාන වෙනස්කිරීම (Genetically Modified – GM crops) බොහෝ ලෙස බියට හා විවේචනයට ලක්වී තිබීම නිසාම මෙම විකීරණ ජාන විපර්යාස තාක්ෂණය (irradiation technology) පිලිබඳවද ඒ ලෙසින්ම සැක පහළවී ඇත.
එසේවුවද මෙම විකීරණ තාක්ෂණය වඩාත් ප්‍රවේශම් සහිත, අවම යටිතල පහසුකම් අවශ්‍ය හා අඩුවියදම් සහිත නිසාත් මෙම ක්‍රමය කෘෂි (ආහාර) නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉතාමත් උචිත ලෙස සැළකිය හැකියැයි එක්සත් ජාතීන්ගේ පරමාණු ආයතනය පවසයි. ඒ සඳහා ජයගත යුතු ප්‍රධානම අභියෝගය වන්නේ මේ සදහා යොදා ගන්නා ‘න්‍යෂ්ඨික විකීරණ’ (nuclear radiation) ශාක පටල තුළ තැන්පත්වේද යන භීතිකාව දුරුකිරීමයි. මෙහිදී අවබෝධ කරගත යුතුවන්නේ මෙම විකීරණ තාක්ෂණය මගින් බෝගවල ස්වාභාවික ජාන විපර්යාසයක් (mutation) සිදුවීම ප්‍රේරණය කිරීම සඳහා විකීරණ උපයෝගී කරගන්නා බව පමණක් බවය. ඒ හැරුණු කොට එම විකීරණවල කිසිදු අවශේෂයක් (residue) ශාක පටලවල තැන්පත් නොවේ.
එක්සත් ජාතීන්ගේ පරමාණු ඒජන්සිය හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව මේවනවිට බෝගවර්ග 170 ක් පමණ මෙම විකීරණ තාක්ෂණය උපයෝගී කරගනිමින් පර්යේෂණයන්ට භාජනය කරගනිමින් වාසිදායක ප්‍රථිපල අත්පත්කරගෙන ඇත. පේරු රටෙහි මුහුදු මට්ටමෙන් මීටර් 5000 ක් ඉහළ ප්‍රදේශවල වගාකල හැකි බාර්ලි ප්‍රභේදයක්ද වියට්නාමයේ ලවණ සහිත බිම්වල වගාකළ හැකි වී වර්ගයක්ද කෙන්යාවේ උෂ්ණාධික කාන්තාර ප්‍රදේශවලට උචිත තිරිඟු ප්‍රභේදයක්ද හඳුන්වාදිම මේ අතර වේ.
මූලාශ්‍රය:
http://www.reuters.com/article/environmentNews/idUSTRE4B130720081202?feedType=RSS&feedName=environmentNewsආහාර අර්බුදය, ඉහළයන සාගිනි ජනගහණය හා ලෝක ආහාර සමුළු
Food crisis, escalating numbers of the hungry and World Food summits
(2008 නොවැම්බර් 24)
ලෝකයේ දැනට පවතින ආහාර අර්බුදය පිළිබඳ සාකච්ඡාකොට සංවර්ධනයවන රටවල්වල ආහාර නිෂ්පාදනය වැඩිකිරීමටත්, ගෝලීය කෘෂි වෙළඳාම සාධාරන අයුරින් සිදුකිරීමටත් අවශ්‍ය පියවරවල් ගැනීමේ මූලික අරමුණින් ලෝක ආහාර සමුළුවක් (world food summit) 2009 වර්ෂයේ මුල් භාගයේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization – FAO) ප්‍රධානියා විසින් යෝජනා කර ඇත. ඔහු විසින් නව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට යැවූ සුභ පැතුම් පනිවුඩය තුළ මෙම යෝජනාවද අන්තර්ගතකර ඇත. මෙම සමුළුව මගින් මූලිකව අපේක්ෂා කරන්නේ සංවර්ධනයවන රටවල්වල කෘෂිකාර්මික යටිතල පහසුකම් දියුණු කිරීමටත් එම රටවල්වල කෘෂිකාර්මික ඵලදායිතාවය ඉහළ නැංවීමටත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සංවර්ධිත රටවලින් හා අන්තර්ජාතික ආයතන දැනුවත් කිරීමයි. මෙම සමුළුව තුළින් වාර්ෂිකව ඩොලර් බිලියන 30 ක් පමණ රැස්කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙවැනි ප්‍රයත්නයන් සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි අන්තර්ජාතික ආයතන පෙළඹී ඇත්තේ දිළිඳුරටවල්වල සාගින්නන් පෙළෙන ජනගහණය වාර්ෂිකව ඉතා භයානක ලෙසින් ඉහළයන නිසාය. අන්තර්ජාතික ප්‍රජාව මේ තත්වය පිළිබඳව කෙතරම්ව දැනුවත්ව සිටියද ලෝක සාගිනි ජනගහණයේ මෙම භයානක වර්ධනය පාලනය කරගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.
1996 දී ප්‍රථම වරට පැවැත්වූ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවේදී (world food summit – WFS 1996) සම්මත කරගන්නාලද ප්‍රධාන සහස්‍ර සංවර්ධන ඉලක්කයක් වන්නේ එවකට මිලියන 800 ක් පමණවූ ලෝක සාගිනි ජනගහණය 2015 වන විට අඩකින් (මිලියන 412 ක් දක්වා) අඩු කිරීමටය. ඉන් අවුරුදු 10 කට පසුව එනම් 2006 දී ලෝක සාගිනි ජනගහණය මිලියන 820 ක්විය. ඒ වර්ෂයකට මිලියන 2 ක පමණ වැඩිවීමකි. එහෙත් 2007 වනවිට පැනනැඟුණු ඉන්ධන හා ආහාර අර්බුදය (fuel and food crisis) නිසා එම වර්ෂයේදී පමණක් සාගිනි පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 103 කින් ඉහළ යමින් 2007 ලෝක සාගිනි ජනගහණය මිලියන 923 ක් විය. මෙම ඉන්ධන හා ආහාර අර්බුදයේ බලපෑම තවමත් පවතින නිසා 2008 වර්ෂය වනවිට තවත් දිළිඳු පුද්ගලයින් මිලියන 44 ක් සාගිනි ජනගහණයට එකතුවනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙම ආහාර අර්බුදය හමුවේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් 2008 ජූනි මාසයේදී තවත් ලොක ආහාර සමුළුවක් කැඳවන ලදී. එහිදී අවධානය යොමුකිරීමට සැලසුම්ගත තේමාවන්වූයේ අහාර නිෂ්පාදනයට බලපාන සාධක දෙකක්වූ දේශගුණික විපර්යාස (climate change) හා ජෛව ඉන්ධන නිෂ්පාදනයයි (bio-fuel production). එහෙත් ඒවනවිට ආහාර මිල ඉහළ යෑම කෙතරම් උත්සන්නව බලපෑවාද යත් සමුළු නියොජිතයිනගේ අවධානය දේශගුණික විපර්යාස හෝ ජෛව ඉන්ධන පිළිබඳ ප්‍රතිපත්තිමය කරුණුවලට වඩා සාගින්නෙන් මිදීම සඳහාවූ ක්ෂණික ආහාර සහාණාධාර ලබා ගැනීම කෙරෙහි යොමුවිය.
මේ වනවිට ගෝලීය මුල්‍ය අර්බුදය හේතුකොට ගෙන සංවර්ධිත රටවල්වල ආහාර සඳහා ඇති අධික ඉල්ලුම පහත වැටී නිසා ආහාරවල මිලද තරමක් පහත වැටී ඇත. එයින් ලැබෙන අස්වැසිල්ල නිසා ආහාර අර්බුදය ඉස්මතුවීමත් සමග කෘෂි නිෂ්පාදනය ඉහළ දැමීමට සංවර්ධනයවන දුප්පත් රටවල් දැක්වූ උනන්දුවද ක්‍රමයෙන් පහව යමින් පවතී. සංවර්ධිත පොහොසත් රටවල්ද මේ දිනවල අවධානය යොමු කරන්නේ තම රටවල් මුහුණ දී තිබෙණ මුල්‍ය අර්බුදයටයි. මේ තත්වය මෙලෙස පැවතුනහොත් 2009 / 2010 වර්ෂවල ආහාර නිෂ්පාදනය පහත වැටෙනු ඇති අතර ඒ නිසාම නැවත වරක් ආහාර හිඟයක් ඇතිවිය හැකිබව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මතයවි ඇත.
සංවර්ධනයවන රටවල් වර්තමානයේ මුහුණ දෙන ආහාර අර්බුදයන් එම රටවල්වලම දුර්වලකම්වලට වඩා ගෝලීයකරණ ක්‍රියාවලියතුළ ක්‍රමාණුකූලව වර්ධනයවූ අසමමිතික (lopsided) කෘෂි නිෂ්පාදන, පාරිභෝජන හා වෙළඳ රටාව නිසා නිර්මාණයවුවක් බව නොරහසකි. එවැනි ආහාර අර්බුද අවස්ථාවන්වලදී සංවර්ධනයවන රටවල්වලට අවශ්‍ය මූල්‍යාධාර සෙවීම ඉතා අපහසු කාර්යක්වී ඇති අතර ඒ සඳහා සල්පිල් පවත්වන්නා ලෙසින් සමුළු පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ආයතනවලට සිදුවී තිබේ. එවැනි සමුළුවලදී ලබාදීමට පොරොන්දුවන ආහාර ආධාරවලින් අඩක්වත් ලබාදීමට සංවර්ධිත රටවල්වලට තවම නොහැකිවී ඇත. එහෙත් සංවර්ධිත රටවල් මෑතකදී මුහුණදුන් මුල්‍ය අර්බුදයේදී ලෝකයේ අතිදැවැන්තම බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවලට වලට ඩොලර් ට්‍රිලියන ගණනින් සහණාධාර සොයා ගැණීම එතරම් අපහසු කාර්යක් නොවීය. ‘අන්තර්ජාතික ප්‍රජාවෙහි’ මෙම අසමමිතික හැසිරීම එක්සත්ජාතීන්ගේ සංවිධානයටත් පාලනයකරගත නොහැකි නම් දිළිඳු රටවල් කුමක් කළ යුතුදැයි සිතා ගැනීමටවත් අපහසුය.
http://africa.reuters.com/top/news/usnJOE4AI0P5.html
http://www.fao.org/newsroom/en/news/2006/1000433/index.html
ආහාර අර්බුදයට විසඳුම ඇත්තේ සාධාරණ හා තිරසාර සම්පත් භාවිතය තුළය - පාප් වහන්සේ
Fair distribution and long term use of resources – says Pope
(2008 ඔක්තෝම්බර් 18)
සංවර්ධිත රටවල් අනුගමනය කරන භෞතික සම්පත් කේන්ද්‍රවූ අධි පරිභෝජන ජීවන සංස්කෘතිය (materialistic culture) ලොව පුරා ඇතිවී තිබෙන ආහාර අර්බුදයට ප්‍රධාන හේතුවක්යැයි ශුද්ධවූ 16 වන බෙනඩික්ට් පාප්තුමා විසින් ඔක්තෝම්බර් 16 වන දිනට යෙදී ඇති ලෝක ආහාර දිනය වෙනුවෙන් නිකුත්කරන ලද පණිවුඩයේ සඳහන්වේ. එම රටවල ආර්ථික අභිවෘද්ධියම ගැන පමණක් සිතා ඉදිරි අපේක්ෂාවෙන් ආහාර තොග රැස්කිරීමේ මිල හා පාරිභෝජන ක්‍රියාවලිය (mechanism of pricing and consumption) දිළිඳු රටවල් කෙරෙහි අශුභ ලෙස බලපා ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කරයි. වර්තමාන ආහාර අර්බුදයතුළ වුවද ලෝකයේ සියළුම රටවල්වලට අවශ්‍ය ආහාර ප්‍රමාණය සැපයීමට තරම් වත්කම් අන්තර් ජාතික ප්‍රජාව සතුව තිබුණද දිළිඳු රටවල සාගින්න බහුලව තිබීමට ප්‍රධාන හේතුව සංවර්ධිත රටවල් අනුගමනය කරන මෙම අසමතුලිත මිල හා පාරිභෝජන යාන්ත්‍රණය බව පෙන්වාදෙන උන්වහන්සේ එම රටවල්තුළ තවමත් දක්නට ඇති ‘තරඟයට පරිභෝජනය’ (race for consumption) කිරීමේ ජීවන රටාව දිළිඳු රටවල්වල ආහාර සැපයීම කෙරෙහි අශුභ ලෙස බලපා ඇති බවද පෙන්වා දෙයි.
බොහෝ රටවල්වල දක්නට ඇති මහජන දේපළ පරිපාලනයේ ඇති දූෂිතභාවය (corruption in public life) ආහාර ද්‍රව්‍ය කළමනාකරණයටද කාන්දුවීමද සංවර්ධනයවන රටවල්වල්වල ආහාර හිඟයට හේතුවක් බව පෙන්වා දෙන පාප්තුමා අධික ලෙස යුදආයුධ හා ආරක්ෂණ වියදම් දැරීමද ආහාරවැනි මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට බධාවක් බව එම පණිවුඩය මගින් ප්‍රකාශකර ඇත.
සංවර්ධනයවන රටවල කෘෂි නිෂ්පාදනය වැඩිකිරීමට නම් කුඩා පරිමාණ ගොවීන්ට සහ ආදිවාසික ප්‍රජාවන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම්වලට තිබිය යුතු අයිතිවාසිකම් සහ කෘෂිකාර්මික කම්කරුවන්ට වඩා යහපත් සේවක අයිතිවාසිකම්ද ලබා දීම අත්‍යාවශ්‍යය.
මේ සියළු කරුණුවලින් පෙනී යන්නේ ලෝක ප්‍රජාව තම ආර්ථික ජීවන රටාව මෙහෙයවීමේදී වඩා සාධාරණ හා තිරසාරවත් ලෙසින් පොදු සම්පත් බෙදී යන ආකාරයට කටයුතු කරන්නේ නම් ආහාර අර්බුදය වැනි ගැටළු පැන නොනගින බවය.
එම නිසා ආහාර අර්බුදය විසඳීම සඳහා දේශගුණික විපර්යාස සහ ජෛව ඉන්ධන වැනි ක්ෂේත්‍රයන්හි සිදුකරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් ඔබ්බට යන ප්‍රයත්නයන් තුල අප නියුතුවිය යුතු අතර එම ප්‍රයත්නයන් සිදුකළ යුත්තේ වර්තමානයේ දක්නට ඇති භෞතික සම්පත් කේන්‍ද්‍ර කරගත් ව්‍යාජ අන්තර්ජාතික සබඳතා රාමුවෙන් පිටස්තරවයැයි පාප් වහන්සේගේ ලෝක ආහාර දින පණිවුඩයේ සඳහන්වේ.
මූලාශ්‍රය: http://www.catholiccourier.com/tmp1.cfm?nid=76&articleid=103901
ආහාර අර්බුදය හමුවේ අමතක කර ඇති ජල අර්බුදය
Water for food: the forgotten crisis
(2008 ඔක්තෝම්බර් 14)
2008 වර්ෂය මුල භාගයවන විට ලෝකයේ සියළුම රටවල් සහ විශේෂයෙන්ම ආහාර ආනයනය කරන දිළිඳු රටවල් බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දුන් අතර එවැනි සමහර රටවල්වල වැසියන්ගේ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල (සහල්, ඉරිඟු සහ තිරිඟු පිටි වැනි) මිල 100% කින් පමණ ඉහළ ගියේය. මෙවැනි ආහාර අර්බුදයක් මතුවීමට හේතු සාධකවන කරුණ බොහොමයක් මේවනවිට අප වටහා ගෙන ඇත. ඒවා නම්:
- වර්ෂයෙන් වර්ෂය ඉහළ යන ලෝක ජනගහණය
- සීඝ්‍රයෙන් වර්ධනයවන නාගරික ජනගහණයන්ගෙන් ආහාර සඳහා ඇතිවන ඉල්ලුම
- සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති ඉන්දියාව හා චීනය වැනි රටවල ප්‍රසාරනයවන මධ්‍යම පංතියෙන් ඇතිවන අධික ආහාර ඉල්ලුම
- සීඝ්‍රයෙන් ඉහළ යන කෘෂිකාර්මික යෙදවුම් (ඉන්ධන හා පොහොර) මිල
- දේශගුණික වෙනස්වීම් හේතුවෙන් පහත වැටෙන කෘෂි නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාවය
- නිදහස් ආහාර වෙළඳාමට ඇති සීමාවන් හා බාධක (trade limitations / restrictions for free trade of food items)
- ජෛව ඉන්ධන (bio-fuel) නිෂ්පාදනය සඳහා ආහාර බෝග යොදා ගැනීම
- ඉදිරි ලාභ අපේක්ෂාවෙන් මුදල් ආයෝජනය කරන ව්‍යාපාරිකයින් ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් මිලට ගෙන තොග වශයෙන් රැස්කර තබා ගැනීම (speculative investors holding on to large stocks of food varieties)
එහෙත් ආහාර භෝග වගාව සඳහා අවශ්‍ය තරම් ජලය නොමැතිවීම ආහාර හිඟයට ප්‍රධාන හේතුවක් ලෙස වටහා ගැනීමට හෝ ප්‍රකාශ කිරීමට අප බොහෝ දෙනෙකු තවමත් සමත්වී නොමැත. මෙම ජල අර්බුදය (water crisis) තවත් උග්‍ර වන්නේ මේවනවිට බොහෝ රටවල් ආහාර භෝගවලට (food crops) අමතරව ඉන්ධන භෝගද (fuel crops)විශාල වශයෙන් වගා කිරීම ආරම්භ කර ඇති නිසාය.
සාමාන්‍යයෙන් ගණන් බලා ඇති අන්දමට එක් පුද්ගලයකුට දෛනිකව අවශ්‍යවන කිලෝ කැලරි 2000 ක පමණ ශක්තිය ලබා ගැනීමට අවශ්‍යවන ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට ජලය ලීටර 2000 ක් පමණ අවශ්‍යවේ. මේ අනුව බිලියන 6.5 ක් පමණවන වර්තමාන ලෝක ජනගහණය වර්ෂ 2050 දී බිලියන 9.0 ක් පමණවන විට කෘෂිකාර්මික වගාවන් වාර්ෂිකව අවශ්‍ය ජල ප්‍රමාණය ඝණ කිලෝමීටර 2000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. එම ප්‍රමාණය අද භාවිතා කරන ජල ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න වනු ඇත.
මෙම අධික ජල අවශ්‍යතා අභියෝගය වඩාත් උත්සන්න වන්නේ අනාගතයේදී ආහාර භෝග වගාවන් ප්‍රසාරනය කිරීම සඳහා තෙත් කලාපවල (වර්ෂා ජලයෙන් වගා කිරීමට) ඇත්තේ සීමිත ඉඩම් ප්‍රමාණයක් බැවිනි. එම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි වර්තමානයට වඩා බරපතළ ආහාර අර්බුදයන්ට මුහුණදීමට නම් අප අනිවාර්යෙන්ම දැනට වඩා හොඳින් ජලය කළමනාකරණය කළයුතුවේ.
අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනයට (International Water Management Institute) අනුව මේ සඳහා මූලිකව කළයුතුවන්නේ ජලය හිඟ ශුෂ්ක ප්‍රදේශවල ජලය වැඩි වැඩියෙන් රැස්කරගැනීමයි. මිලියන 900 කට ආසන්න ලෝක දිළිඳු ජනගහණයෙන් බහුතරයක් වෙසෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් ජලය ගබඩා කරගැනීම හා ජලය කළමනාකරණය කිරීම අතින් පසුවන්නේ ඉතා පහළ තත්වයකය. උදාහරණයක් ලෙස ඉතියෝපියාවේ ඒක පුද්ගල ගබඩා ජල ධාරිතාවය (per capita water storage capacity) ඝණ මීටර 38 ක් වැනි සුළු ප්‍රමාණයකි. ඕස්ට්‍රේලියාවේ එම ප්‍රමාණය ඝණ මීටර 5000 ක් පමණවේ. බොහෝ දිළිඳු රටවල්වලට ජලය රැස්කර ගැනීම දුෂ්කර වන්නේ ජලාශ (reservoirs) ඉදිකිරීමට අවශ්‍ය ආයෝජන වත්කම් නොමැතිවීමයි.
එම නිසා අනාගතයේදී මුහුණදීමට සිදුවන බරපතළ ආහාර අර්බුදයන්ට මුහුණ දෙමින් ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමට නම් සංවර්ධනයවන රටවල්තුළ කුඩා පරිමාණ ජලාශ ඉදිකිරීමත්, අබලන්වී ඇති ජලාශ පිළිසකර කරගැනීමත්, තිරසාර අන්දමින් භූගත ජලය නෙලා ගැනීමත් හා වැසි ජලය අපතේ යානොදී රැස්කර ගෙවතුවගාවන් සඳහා යොදා ගැනීමත් වැනි ක්‍රම අනුගමනය කිරීම අනිවාර්යවනු ඇත. මීට අමතරව ජල කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා ආයතනික පසුබිමද වඩාත් කාර්යක්ෂම හා ඵලදායි අන්දමින් සංවර්ධනය කළයුතු වනු ඇත.
එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ඉලක්ක (UN Millennium Development Goals) රාමුව තුල ජලය සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නේ පානීය හා සනීපාරක්ෂක ජල අවශ්‍යතාවයන් සඳහා පමනක් නිසා බොහෝ සංවර්ධන ආයතනද වැඩි අවධානයක් යොමුකරන්නේ පානීය ජලය කෙරෙහිය. පානීය ජලය සඳහා ඇති අවධානය වඩාත් ඉහළ යෑමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ඉහළ යමින් තිබෙන නාගරික ජනගහණයයි. මේ නිසාම පානීය මෙන්ම සනීපාරක්ෂක අවශ්‍යතාවයන් හා කෘෂිකාර්මික අවශ්‍යතාවයන් අතර ජලය සඳහා ඇතිවෙමින් තිබෙන තරඟය ඉතා අශුභ අන්දමින් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපා ඇත. එම නිසා වර්තමාන ආහාර අර්බුදය හමුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය රැස්කිරීමෙහි හා කළමනාකරණය කෙරෙහි අදට වඩා වැඩි අවධානයක් යොමු නොකළහොත් ඇතිවන ජල අර්බුදය මගින් ආහාර අර්බුදය වඩාත් උත්සන්නවනු ඇත.
මූලාශ්‍රය: http://www.onlineopinion.com.au/view.asp?article=7907ජෛව ඉන්ධන නිෂ්පාදනය ආහාර අර්බුදයට හේතුවක් නොවේ - බ්‍රසීලියානු ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සමුළුවේදී පවසයි
Bio-fuel is not a cause for current food crisis – Brazilian President tells UN General Assembly
(2008 සැප්තැම්බර් 24)
බඩ ඉරිඟු, තිරිඟු, සෝයා, උක්, පොල් සහ පාම් තෙල් වැනි ද්‍රව්‍ය ආහාර ලෙස යොදා ගැනීම වෙනුව ෆොසිල ඉන්ධනයන් වන පෙට්‍රල් සහ ඩීසල්වලට විකල්පයන් ලෙස භාවිතා කළ හැකි ජෛව ඉන්ධනයන්වන එතනෝල් සහ ජෛව ඩීසල් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම වර්තමාන අහාර අර්බුදයට එක් හේතුවක් ලෙසින් එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඇතුළු බොහෝ අන්තර් ජාතික සංවිධාන හා සංවර්ධන ආයතන වල විවේචනයට ලක්වෙමින් පවතී. ඇමෙරිකාව සහ යුරෝපය වැනි සංවර්ධිත රටවල් ඉන්ධන අර්බුදයෙන් ගැලවීම සඳහා ජෛව ඉන්ධන භාවිතය අනිවාර්ය කිරීම සංවර්ධනයවන රටවල්වල ආහාර අර්බුදය 75% කින් පමණ උත්සන්න කරවීමට තුඩුදී ඇතැයිද සමහර වාර්තාවලින් ප්‍රකාශවිය.
මෙම තත්වය මෙසේ තිබියදී දැනට නිව්යෝක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මණ්ඩල මහ සමුළුව ඊයේ දින (2008 සැප්තැම්බර් 23) සැසිවාරය අමතමින් බ්‍රසීලියානු ජනාධිපතිවරයා කියා සිටියේ ආහාර ද්‍රව්‍ය යොදා ගනිමින් එතනෝල් සහ ජෛව ඩිසල් නිෂ්පාදනය නිසා ආහාර හිඟයක් හෝ අර්බුදයක් ඇති නොවන බවත් ඒ මගින් අත්හැර දමා ඇති ගොවි බිම් නඟා සිටුවීමට හා වැඩිපුර භෝග නිෂ්පාදනයට යොමුවීම මගින් වැඩිපුර රැකියා ජනිතවීමටත් ඉඩ ප්‍රස්ථා ලැබෙන් බවත්ය. බ්‍රසීලියානු ජනාධිපතිවරයාට අනුව වර්තමාන ආහාර මිල වැඩිවීමට හේතුවක්වී ඇත්තේ ආහාර මිල වැඩිවේයැයි යන අනුමානය මත තොග වෙළඳුන් මගින් ආහාර තොග විශාල ප්‍රමාණයන්ගන් මිලට ගෙන රඳවා ගෙන තිබීමයි (speculative buying).
මෙහිදී අමතක නොකල යුත්තේ උක් වගාව අතින් ඉදිරියෙන්ම සිටින රටක් වන බ්‍රසීලය තම උක් හා බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් සැළකියයුතු ප්‍රමාණයක් මේවන විට එතනෝල් සෑදීම සඳහා යොදා ගන්නා බවය. එමගින් වැඩි ලාභ ලැබිය හැකි නිසා බ්‍රසීලය මේ අවස්ථාවේදී ජෛව ඉන්ධන නිෂ්පාදනයෙන් කිසිවිටෙකත් ඉවත් නොවෙනු ඇත. බ්‍රසීලියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පෙර සූදානමකින්ම කල එකක් බව පැහැදිලිවන්නේ තම රටේ ජෛව ඉන්ධන නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී ඔහු ප්‍රකාශයක් කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු නිවේදනය කල නිසාය.
බ්‍රසීලියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනිකුත් ආයතන ඉදිරියේදී කුමන අන්දමින් ප්‍රතිචාර දක්වනු ඇත්දැයි දැනගැනීමට ලෝක ආහාර අර්බුදය සම්බන්දයෙන් උනන්දුවන්නන් විමසිලිමත්විය යුතුය.
මූලාශ්‍ර:
http://news.xinhuanet.com/english/2008-09/19/content_10079029.htm
http://www.un.org/apps/news/story.asp?NewsID=28174&Cr=&Cr1=
වර්තමාන ආහාර අර්බුදයට තුඩුදෙන ආහාර පිසින තෙල්වලින් ඩීසල් නිෂ්පාදනය
Bio-diesel from cooking oil: leading cause for current food crisis
(2008 සැප්තැම්බර් 11)
පාම් සහ සෝයා වැනි එලවළු තෙල් (vegetable oils) වර්ගවලින් ජෛව ඩිසල් (bio-diesel) නිෂ්පාදනය කිරීම නිසා ලෝකයේ බොහෝ රටවල්වල පිසින තෙල් (cooking oil) මිල අධික ලෙස සහ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසා වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ සංවර්ධනයවන රටවල්වල අඩු ආදායම්ලාභී කොටස්ය. ශ්‍රී ලංකාව වැනි රටවල්වල ආහාර පිසීමට දෛනිකව ඉවහල්වන පොල් තෙල් සහ එලවළු තෙල් වර්ගවල මිල දෙගුණයකින් පමණ ඉහළ යෑම දිළිඳු පවුල්වල ගෘහස්ථ වියදම ඉහළ යෑමට දායකවී ඇති අතර තෙල් භාවිතය අඩු කිරීම එවැනි පවුල්වල පෝෂණ තත්වය කෙරෙහිද අශුභ ලෙස බලපානු ඇත.
පසුගිය මාස 12 ක කාලය තුළ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කෙරෙන පාම් තෙල් (palm oil) ටොන් එකක් ඩොලර් 800 පමණ සිට ඩොලර් 1200 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී පාම් තෙල් නිෂ්පාදන වියදමෙහි කිසිදු වැඩිවීමක්ද වී නැත. සත්‍ය වශයෙන්ම මෙම මිල වැඩිවීමට හේතුවවී ඇත්තේ ආහාරයක් ලෙස පාම් තෙල්වලට ඇති ඉල්ලුම ජෛව ඩීසල් සඳහා ඇති ඉල්ලුමට වඩා වැඩිවීමයි. එම නිසාම මෙම කාලය තුළ ජෛව ඩීසල් නිෂ්පාදනය සඳහා ඇදී ගොස් ඇත්තේ මුළු පාම් තෙල් නිෂ්පාදනයෙන් 7% ක් පමණි. එම 7% පවා ජෛව ඩීසල් නිෂ්පාදනයට ඇදී ගොස් ඇත්තේ ජෛව ඉන්ධන නිෂ්පාදන සඳහා සංවර්ධනයවන රටවල් ලබා දෙන සහණාධාර (subsidies) නිසාය. මෙම තත්වය සමාජ වගකීම් වශයෙන් ඉතාම අසාධාරන වනවා පමණක් නොව නිදහස් වෙළඳ න්‍යායටද පටහැනිය.
විශාල වශයෙන් සෝයා වගාකරන ඇමෙරිකාව පිසින තෙල් නිෂ්පාදනය වෙනුවට ජෛව ඩීසල් සඳහා සෝයා යොදා ගැනීමත් ලොකයේ පිසින තෙල් මිල ඉහළ යෑමට තදින්ම බලපා ඇත.
ලොකයේ පිසින තෙල් මුළු නිෂ්පාදන ප්‍රමාණයවන ටොන් මිලියන 135 ම ජෛව ඩීසල් සඳහා යෙදවුවද ඉන් සපුරා ගත හැක්කේ දැනට භාවිතාවන සාමාන්‍ය ෆොසිල ඉන්ධන ප්‍රමානයෙන් 3% ක් පමණි. එවැනි සුළු ඉන්ධන ප්‍රමාණයක් ආවරනය කිරීමට ගන්නා උත්සාහය නිසා අඩු ආදායම්ලාභීන්ට මිලදී ගැනීමට නොහැකි ලෙස පිසින තෙල් වෙළඳපලේ අධි සුඛොපභෝගී ආහාර ද්‍රව්‍යයක්වී දැනටමත් හමාරය.
පිසින තෙල් භාවිතා කරමින් ජෛව ඩීසල් සෑදීමට පෙළඹුනේ සාමාන්‍ය ෆොසිල ඉන්ධනවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා නම් මේවන විට පහළ බසිමින් තිබෙන ඉන්ධන මිල හමුවේ පිසින තෙල්වල මිලද අඩුවිය යුතුය. එහෙත් පාම් තෙල් සහ සෝයා තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය ඉන්ධනවල ආදේශකයන් (substitute) බවට පත්ව ඇති නිසා ඉදිරි ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩමත ආයෝජනය කරන්නන්ට (commodity speculators) මෙවැනි ආහාර ද්‍රව්‍ය ඉතා වැදගත් ආයෝජන වෙළඳ භාණ්ඩ වී ඇති බව නොඅනුමානය. එබැවින් මෙම ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ගබඩාකර ගැනීමට ඔවුන් පෙලඹෙනු ඇති අතර එම නිසාවෙන් පිසින තෙල්වල මිල ඉන්ධන මිල පහළ යෑමත් සමග අඩුවේයැයි සිතිය නොහැක.
ආහාර මිල වැඩිවීම නිසා සංවර්ධනයවන රටවල්වල දිළිඳු පුද්ගල ජනගහණය වැඩිවීම අනුමාන කරන ප්‍රමාණයට වඩා අධිකවිය හැකිද?
The impact of escalating food prices on poverty in developing countries could be more than speculated
(2008 සැප්තැම්බර් 2)
පසුගිය වර්ෂ 3 තුළ (2005 සිට 2008 දක්වා) ලෝකයේ සියළුම රටවල්වල ඇතිවූ ආහාර මිල ඉහළ යෑම පොහොසත් රටවලට කෙසේ වෙතත් සංවර්ධනයවෙමින් පවතින සහ ඉතා දිළිඳු රටවල්වලට ඉතාමත් අහිතකර ලෙසින් බලපා ඇත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (Food and Agriculture Organization – FAO) අනුව 2008 මුල් මාස 3 තුළ පැවතුනු ගෝලීය ආහාර මිල වර්ෂ 30 ක් ඇතුළත සිදුවූ වැඩිම ආහාර මිල ඉහළයෑම ලෙස සටහන්වේ. මෙම අසාමාන්‍ය ආහාරමිල යෑම හා එහි විපාක (impacts) විවිධ අවස්ථාවලදී නොයෙකුත් ආකාරයෙන් විදහා දැක්වීම පසුගිය කාලය තුළ දක්නට හැකිවිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාවූ බෑන්-කි මුන්ට අනුව මෙම ආහාර මිල ඉහළ යෑම නිසා සංවර්ධනයවන රටවල මිලියන 100 ක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් සාගින්නට ගොදුරුවිය හැකිය. ලෝක බැංකුවට අනුව මෙම ඉහළයන ආහාර මිල වැඩිවීම නිසා පුද්ගලයින් මිලියන 105 ක් පමණ දිළිඳුභාවයට වැටීමට ඉඩ ඇත. මෙවැනි අනුමාන ප්‍රකාශයන් පර්යේෂණාත්මකව සනාථ කිරීමට පාදකවිය හැකි පර්යේෂණ අධ්‍යයන වාර්තා දෙකක් මේවනවිට නිකුත්වී ඇති අතර ඒවාට පාදක වී ඇත්තේ ආහාරමිල වැඩිවීම් ඒ ඒ රටවල ඒක පුද්ගල ආහාර පරිභෝජන ප්‍රමාණයන් හා දරිද්‍රතා රේඛා ගැලපීම මගින් ලබා ගන්නා දරිද්‍රතාවය වැඩිවියහැකි විලම්භන ප්‍රක්ෂේපණයන්ය (simulated projections of poverty increase ).
මෙයින් පළමුවැන්න වන්නේ 2008 අප්‍රියෙල් මාසයේදී ලෝක බැංකුවේ සංවර්ධන පර්යේෂණ කණ්ඩායමක් (Development Research Group, World Bank) විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘Implications of Higher Global Food Prices for Poverty in Low-Income Countries’ නමැති පර්යේෂණ ප්‍රකාශනයයි. සංවර්ධනයවන රටවල් 9 ක් ( බොලීවියාව, නිකරගුවාව, පේරු, මැඩගස්කරය, මලාවි, සැම්බියාව, පකිස්ථානයල වියට්නාමය සහ කාම්බෝජය) පාදක කොටගෙන ආහාර ද්‍රව්‍ය 7 ක (ගවමස්, එළකිරි, කුකුළුමස්, සීනි, ඉරිඟු, තිරිඟුපිටි සහ සහල්) මිල ඉහළ යෑම කෙතෙක් දුරට එම රටවල දරිද්‍රතාවය ඉහළ හෝ පහළ යෑමට බලපාන්නේදැයි යන්න සොයා බැලීම මෙම පර්යේෂණයේ අරමුණවී ඇත.
මෙම අධ්‍යයනයට අනුව සමහර ආහාර ද්‍රව්‍යවල මිල තරමක් ඉහළ යෑම නිසා සමහර රටවල ග්‍රාමීය දරිද්‍රතාවයේ තරමක අඩුවක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස එළකිරි, සහල් සහ තිරිඟු පිටි මිල 10% කින් වැඩිවූ විට පකිස්ථානයේ දිනකට ඩොලර් එකට අඩු ආදායම් ලබන ග්‍රාමීය ජනගහණයේ ($1 per day rural poverty rate) 0.3% කින් පහත බසී. එයට හේතුව එම ආහාර ද්‍රව්‍ය ග්‍රාමීය ප්‍රදේශවල සීමාසහිත ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බැවින් ග්‍රාමීය ආදායම වැඩිවීමයි. එහෙත් මෙම ආහාර ද්‍රව්‍ය සැළකිය යුතු ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවලට පිටින් ආනයනය කරන නිසා එම ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස 10% ත් ඉක්මවා ඉහළ ගියහොත් සමස්ථ ග්‍රාමීය දරිද්‍රතාවය 1.9% කින් ඉහළයෑමට ඉඩ ඇති බව මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. ඉහත දැක්වූ තත්වය පර්යේෂණයට භාජනයකළ සියළුම රටවල් සඳහා පොදු කරුණක්වන අතර වෙනස්කම් දක්නට ඇත්තේ ආහාර වර්ග අනුව දරිද්‍රතාවයේ අඩු වැඩිවීම්ය. එහෙත් පොදුවේ ගත්කල ආහාර මිල ඉහළ යෑම නිසා සියළුම නාගරික ප්‍රදේශවල දරිද්‍රතාවයේ වැඩිවීමක් දක්නට ලැබේ.
එහෙත් මෙම අධ්‍යයනයට අනුව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම වියට්නාමයේ සහ ලතින් අමෙරිකානු රටක්වන පේරු (Peru) රාජ්‍යයේ සමස්ථ දරිද්‍රතාව අඩුවීමට බලපානු ඇත. මෙහිදී ඉරිඟු, කුකුල් මස් සහ සහල් වල මිල ඉහළයෑම වියට්නාමයේ ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවය අඩුවීමට සෑහෙන ලෙසින් බලපාන අතර කිරි, ඉරිඟු සහ සහල්වල මිල යෑම පේරුවල ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවය සෑහෙන ප්‍රමාණයකින් අඩුවීමට බලපානු ඇත. එපමණක්ද නොව එම ග්‍රාමීය දරිද්‍රතාවයේ අඩුවීම නාගරික ප්‍රදේශවල දරිද්‍රතාවයේ වැඩිවීමද මකා දමමින් සමස්ථ රටේම දරිද්‍රතාවය අඩුකිරීමට සමත්වනු ඇත.
2005 – 2007 කාලය තුළ ගවමස්, එළකිරි, කුකුළුමස්, සීනි, ඉරිඟු, තිරිඟුපිටි සහ සහල්වල මිල වැඩිවීම නිසා දරිද්‍ර ජනගහණය වැඩිවිය හැකි (හෝ අඩුවිය හැකි) ප්‍රතිශත අනුපාතයන්
|
දරිද්‍ර ජනගහණය අඩු / වැඩිවන ප්‍රතිශතය |
||
ග්‍රාමීය |
නාගරික |
සමස්ථ රටේ |
|
බොලීවියාව |
1.9 |
2.1 |
2.0 |
කාම්බෝජය |
1.5 |
1.4 |
1.5 |
මැඩගස්කරය |
3.5 |
5.6 |
4.7 |
මලාවි ජනරජය |
4.6 |
3.3 |
4.4 |
නිකරගුවාව |
4.2 |
10.7 |
7.8 |
පකිස්ථානය |
2.7 |
6.5 |
4.1 |
පේරු ජනරජය |
-0.4* |
0.1 |
-0.2* |
වියට්නාමය (2004 දත්ත අනුව) |
-2.8* |
0.3 |
-2.0* |
සැම්බියාව |
7.4 |
2.5 |
5.0 |
මූලාශ්‍රය: Implications of Higher Global Food Prices for Poverty in Low-Income Countries - By Maros Ivanic and Will Martin, The World Bank, Development Research Group,Trade Team,April 2008
(*පේරුවල සහ වියට්නාමයේ දරිද්‍ර ජනගහණවල අඩුවීමක් දක්වයි)
ආහාර මිල ඉහළ යෑම දරිද්‍රතාවයට බලපාන ආකාරය විදහා දක්වන දෙවන අධ්‍යයන ප්‍රකාශනය වන්නේ දැනට සතියකට පමණ පෙර (2008 අගෝස්තු 27) ආසියාණු සංවර්ධන බැංකුව විසින් නිකුත් කරන ලද 2008 වාර්ෂික සංවර්ධන දර්ශක (Key Indicators for Asia and the Pacific 2008) ප්‍රකාශනයයි. මෙම ප්‍රකාශනය මගින් ආසියාව සඳහා නව දරිද්‍රතා රේඛාවක් (new Asian Poverty Line) හඳුන්වාදීමට අමතරව ආහාර මිල 10% කින් ඉහළ යෑම නිසා ආසියාණු රටවල දරිද්‍ර ජනගහණය (එම නව දරිද්‍රතා රේඛාවට අනුව) කෙතෙක් දුරට වැඩිවේදැයි යන්නද පෙන්වාදී ඇත.
ධාන්‍ය සහ අනිකුත් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළයෑම නිසා ඇ.ඩොලර් 1.35 ට අඩු
දෛනිකආදායමක් ලබන පුද්ගල ජනගහණය වැඩිවීමේ ප්‍රතිශතය
|
නවතම ආසියාණු දරිද්‍රතා රේඛාවට |
ධාන්‍ය මිළ පමණක් 10%කින් වැඩිවීම නිසා |
සියළුම ආහාර වර්ගවල මිල 10 කින් ඉහළ යෑම නිසා |
||
දිලිඳු පුද්ගල සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රතිශතය |
වැඩිවන දිළිඳු පුද්ගල සංඛ්‍යාව (මිලියන) |
දිලිඳු පුද්ගල සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රතිශතය |
වැඩිවන දිළිඳු පුද්ගල සංඛ්‍යාව (මිලියන) |
||
බංග්ලා දේශය |
42.9 |
2.5 |
3.88 |
4.7 |
7.22 |
භූතානය |
31.8 |
1.1 |
0.01 |
2.6 |
0.02 |
ඉන්දියාව |
54.8 |
1.8 |
20.53 |
4.4 |
49.8 |
මාලදිවයින |
12.6 |
0.4 |
- |
1.8 |
0.01 |
නේපාලය |
55.8 |
1.8 |
0.48 |
3.2 |
0.84 |
පකිස්ථානය |
24.9 |
1.2 |
1.94 |
3.7 |
5.86 |
ශ්‍රී ලංකාව |
9.9 |
1.3 |
0.25 |
3.1 |
0.58 |
|
|
|
|
|
|
මූලාශ්‍රය: Key Indicators for Asia and the Pacific 2008, ADB
එම සංඛ්‍යා ලේඛණ අනුව නම් ආහාර මිල වැඩිවීම නිසා සංවර්ධනයවන ආසියානු රටවල දරිද්‍රතාවය වැඩිවීමට ඇති ඉඩකඩ ඉතා විශාලය. ඒ අනුව ධාන්‍ය වර්ගවල පමණක් මිල 10% කින් වැඩිවුවහොත් ඉන්දියාවේ මිලියන 20 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් දිළිඳුභාවයට ඇද වැටිය හැකි අතර ශ්‍රී ලංකාවේ වුවද පුද්ගලයින් 250,000 ක් පමණ දිළිඳුභාවයට පත්වීමට ඉඩ ඇත. මෙම තත්වයේ භයානක බව තවත් වැඩිවන්නේ ධාන්‍ය වර්ගවලට අමතරව අනිකුත් ආහාර වර්ගවලද (එළකිරි/ පිටි කිරි, පිසින තෙල්, මස්/ මාළු) මිල 10% කින් වැඩිවුවහොත් දරිද්‍ර ජනගහණය වැඩිවීමේ ප්‍රතිශතය දෙගුණ තෙගුණ වන නිසාය. එසේවුවහොත් ඉන්දියාවේ පමණක් පුද්ගලයින් මිලියන 50 ක් පමණ දිළිඳුභාවයට පත්විය හැකි අතර ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 580,000 ක් පමණ දිළිඳු ගණයට එක්වීමටද එය හේතුවනු ඇත.
මේ මගින් පැහැදිළිවන්නේ සංවර්ධනයවන රටවල් වර්ෂ කිහිපයක් තුළ දරන්නාවූ දිළිඳුකම තුරන් කිරීමේ ප්‍රයත්නයන්ගේ ප්‍රතිපල එක් වර්ෂයක් තුළ ඇතිවන ආහාර මිල ඉහළ යෑමක් නිසා සම්පූර්ණයෙන්ම ශූන්‍ය වියහැකි බවය.
ඉහත දැක්වූ අධ්‍යයන වාර්ථා දෙකටම පදනම්වී ඇත්තේ 10% කින් සිදුවන ආහාරමිල වැඩිවීම් නිසා ඒ ඒ රටවල දරිද්‍රතාවය වැඩිවීමට ඇති ඉඩකඩ පෙන්නුම් කරන විලම්භන අනුමානයන්ය (simulated speculations). එහෙත් සත්‍ය තත්වය වන්නේ (ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සංඛ්‍යා ලේඛණවලට අනුව) 2006 හා 2007 අතර පමණක් ධාන්‍ය මිල 36% කින්ද, කිරිපිටි මිල 79% කින්ද, පිසින තෙල් (cooking oil) මිල 49% කින්ද වැඩිවී ඇති බවය. එසේ නම් එවැනි අධික ආහාර මිල වැඩිවීම නිසා දිළිඳුභාවයට පත්වන සංවර්ධනයවන දුප්පත් රටවල පුද්ගල සංඛ්‍යාව දැනට අනුමාන කරන ප්‍රමාණයට වඩා අධිකවිය යුතුය.
http://www.adb.org/article.asp?id=12586
http://www.fao.org/es/esc/en/15/53/59/highlight_529.htmlආහාර අර්බුදය උත්සන්න කළහැකි ෆොස්පේට් හිඟය
Phosphate shortage aggravates Food Crisis
(2008 අගෝස්තු 17)
අද බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමුවී ඇති කරුනු දෙකක් වන්නේ ආහාර අර්බුදය සහ බලශක්ති අර්බුදයයි. ජාතික හා අන්තර් ජාතික පර්යේෂණ සහ ප්‍රතිපත්ති සාධන ආයතන කොපමණ තිබුණද දුප්පත් හො පොහොසත් වශයෙන් වෙනසක් නොමැතිව සියළුම රටවල් මෙම අර්බුද දෙකට ගොදුරුවිය. මෙම අර්බුද දෙකට සමගාමීව ඉතා සියුම් ලෙස අප මුහුණදෙමින් සිටින අළුත්ම උවදුර වන්නේ නව කෘෂිකර්මයේ ප්‍රධානතම යෙදවුමක්වන ( core input of modern agriculture) ෆොස්පරස් හිඟවීමයි. පසුගිය මාස 14 තුළ ෆොස්පේට් මිල 700% කින් වර්ධනයවී ටොන් එකක මිල ඇ.ඩො. 367 ක් දක්වා ඉහළ නැඟ ඇත.
පසුගිය දශක කිහිපය තුළ කෘෂිකාර්මික අංශය ආහාර නිෂ්පාදනය මගින් ලඟාකරගත් යම් සාර්ථකත්වයක්වේ නම් එයට මූලික වූයේ නයිට්‍රජන් (N), ෆොස්පරස් (P)සහ පොටෑසියම් (K) යන ත්‍රිත්වයයි. ෆොස්පේට් ලෙසින් පොහොර සඳහා යොදා ගැනීමට අවශ්‍ය ෆොස්පරස් ලබාගන්නේ රොක් ෆොස්පේට් (rock phosphate) නිධි හාරා ගැනීමෙනි. කෘෂිකර්මයේදී යොදන ෆොස්පේට් ජලය සමග පහසුවෙන් දියවෙන නිසාත් නව කෘෂිකර්මයේදී පස සෝදා යෑම වැඩිනිසාත් පසෙහි ෆොස්පේට් රඳා සිටින්නේ ඉතාම අවම වශයෙනි. මීට අමතරව නව කෘෂිකර්මයේදී ඵල නෙලීමෙන් පසු ශාකවල කොල සහ කඳන් දිරා පසට මිශ්‍රවීමට ඉඩ නොහැරීමද ෆොස්පරස් නැවත පසට එකතුකිරීම වළක්වයි. මීටත් වඩා භයානක තත්වයක් වන්නේ ජෛව ඉන්ධන නිෂ්පාදනයේදී ශාකවල සියළුම කොටස් යොදා ගැනීමට හැකි සෙලියුලෝස් තාක්ෂණය (cellulose technology) භාවිතා කිරීම දැනටමත් අරඹා තිබීමයි. මේ මගින් පසෙහි ෆොස්පරස් ප්‍රතිශෝෂණය (renewal) විශාල වශයෙන් වැළකේ.
දැනට මුළු ලොකයේම ෆොස්පේට් නිධි කැණීමෙන් වාර්ෂිකව ලබාගන්නා ‘රොක් පොස්පේට්’ ප්‍රමාණය ටොන් මිලියන 150 ක් පමණවේ. මෙයින් 22% ක් චීනයෙන් සහ 17% ක් මොරොක්කෝවෙන් ලැබේ. එපමණක්ද නොව ඉදිරි දශකය තුළ කැණිම් කර ලබා ගත හැකි රොක් ෆොස්පේට් නිධිවලින් 68% ක්ම ඇත්තේද මේ චීනයේ සහ මොරොක්කෝවෙනි.
අද පවතින කෘෂිකාර්මික පොහොර අවශ්‍යතා (current fertilizer demand) අනුව නම් ලෝකයේ ඇති ෆොස්පේටි නිධිවලින් තව අවුරුදු 100 කට අවශ්‍ය ෆොස්පේට් ලබා ගත හැකිය. එහෙත් එම අවශ්‍යතාවය 2% කින් වැඩිවුවහොත් එම ෆොස්පේට් නිධි අවුරුදු 50 කින් පමණ ක්ෂයවනු ඇත. වැඩිවන ලෝක ජනගහණයේ ආහාර අවශ්‍යතා හා ජෛව ඉන්ධන සඳහා කෘෂි මෙන්ම ඉන්ධන බෝග වගාව ප්‍රසාරණයවත්ම පොහොර (සහ ෆොස්පේට්) අවශ්‍යතාවය 2% කට වඩා වැඩිවනු ඇතැයි අනුමාන කළ හැක. එතනෝල් නමැති ජෛව ඉන්ධනය සෑදීමට භාවිතා කෙරෙන ඉරිඟු වැනි වගාවන් සඳහා ෆොස්පේට් අධික ලෙස යෙදිය යුතු අතර ඉරිඟු ශාකයේ සියළුම කොටස් ජෛව ඉන්ධන නිෂ්පාදනයට යෙදවීම වැනි කරුණු මේ සඳහා හේතුවන බව මෙහිදී අවධාරණය කළ යුතුය.
ලෝකයේ ෆෙස්පේට් නිධි තිබෙන්නේ රටවල් සුළු ප්‍රමාණයක් තුළ පමණක් වන අතර එම රටවල්ද තම අනාගත අවශ්‍යතාවයන් සලකා ෆොස්පේට් අපනයනය (export) කිරීම නැවැත්වීමේ අවදානමක්ද ඇති අතර ෆොස්පේට්වල වර්තමාන අධික මිල දෙස බලන කල දැනටමත් එහි සැපයුම උපරිම අවස්ථාවට එළඹ ඇත්දැයි යන්න සැකසහිතය. ෆොස්පේට් විශාල වශයෙන් ආනයනය (import) කරන යුරෝපා රටවල් , ඇමෙරිකාව සහ ඉන්දියාව මේවනවිටත් ඒ සඳහා අධික වියදමක් දරමින් සිටී.
ෆොස්පේට්වලට වෙනත් ආදේශකයක් නොතිබීමත් එහි ස්වාභාවික සංචිතයන්ගේ සීමාසහිත බවත් හා ෆොස්පේට් නිධි ඇත්තේ සීමාසහිත රටවල් සංඛ්‍යාවක නිසාත් එම රටවල් වැඩිකල් නොගොස් OPEC මෙන් ෆොස්පේට් කාටලයක් පිහිටුවණු ඇතැයිද අනුමාන කළ හැක.
මෙම ෆොස්පේට් හිඟවීමේ සහ මිල ඉහළයෑමේ ප්‍රවනතාවය නිසා දැනට පවතින ආහාර සහ බල ශක්ති අර්බුදය කිහිප ගුණයකින් උත්සන්න වියහැකි ඇති අතර එයින් වඩාත් අපහසුවකට පත්වනු ඇත්තේ ආහාර බෝග නිෂ්පාදනය ප්‍රමුඛතාවයවී තිබෙන සංවර්ධනයවන දිළිඳු රටවල්ය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව මුහුණදෙන තත්වය තරමක් විශේෂවනු ඇත්තේ නොයෙකුත් හේතුමත දැඩි මතභේදයකට තුඩුදුන් එප්පාවල ෆොස්පේට් නිධිය සම්බන්ධව ගන්නා තීරණ නිසාය.
මූලාශ්‍ර:
http://www.thehindubusinessline.com/2008/08/04/stories/2008080450430900.htm
ආහාර බෝග සහ ඉන්ධන බෝග: වගා ඉඩම් පිළිබඳ නව ප්‍රතිපත්තියක අවශ්‍යතාවය
Food Crops and Fuel Crops: Need of a new Farm Land Policy
(2008 අගෝස්තු 13)
පසුගිය මාස කිහිපය තුළ පෙට්‍රල් හා ඩීසල් වැනි ඛණිජ (ෆොසිල) ඉන්ධනවල මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමගම නිරන්තර කතා බහට ලක්වූ එක් මාතෘකාවක්වූයේ ජෛව ඉන්ධනය (bio-fuel). එය කෙතරම් කතා බහට ලක්වුවාද කිවහොත් 2010 වනවිට වැට එඬරු ඇටවලින් නිෂ්පාදිත ජෛව ඩීසල්වලින් (bio-diesel) ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනය කිරීමට සහ උක්වගාව ප්‍රවර්ධනය කිරීමෙන් පෙට්‍රල්වලට විකල්පයක් ලෙස ‘එතනෝල්’ (ethanol) නිෂ්පාදනය කිරීමටද අපේක්ෂිත බව රජයේ ඉහළ මට්ටමින් වාර්තාවිය.
ජෛව ඉන්ධන යනු ශාක හා වෙනත් ජීවී ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කෙරෙන ඉන්ධනයන් වන අතර ඉවත දමන ජෛවී අපද්‍රව්‍ය (bio-waste) වලින් සාදන ඉන්ධනද මෙම ගනයට අයත්වේ. ජෛව ඉන්ධන පිළිබඳව වැඩිපුර කතාබහ කිරීම ඛණිජ ඉන්ධන මිල වැඩිවීම සමග සිදුවුවද බොහෝ සංවර්ධිත රටවල් ජෛව ඉන්ධන පිළිබඳ පර්යේෂණයන් සහ මූලික නිෂ්පාදණයන් ආරම්භකළේ දශක දෙකක පමණ සිටය. ෆොසිල ඉන්ධන ප්‍රභවයන්ගේ සීමාසහිත බවත් සහ ෆොසිල ඉන්ධන දහණයෙන් පිටකෙරෙණ වායුවලින් පරිසරයට සිදුවන හාණියත් සැලකිල්ලට ගැනීම ජෛව ඉන්ධන කෙරේ යොමුවීමට හේතුවිය. මේවනවිට ඇමෙරිකාව, බටහිර යුරෝපය, චීනය හා ඉන්දියාව වැනි රටවල් ජෛව ඉන්ධන සැලකිය යුතු ප්‍රමාණයක් පරිහරණය සඳහා යොදා ගන්නා අතර ඉදිරි වර්ෂ 10 තුළ එම ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කිරීමටද එම රටවල් අපේක්ෂා කරයි.
මෙම රටවල් භාවිතා කෙරෙන ජෛව ඉන්ධන ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්වේ. උක් දඬු (sugar cane) සහ බඩ ඉරිඟු (maize) වැනි කෘෂි ද්‍රව්‍යවලින් සාදන ‘එතනෝල්’ (ethanol) එක් වර්ගයක්වන අතර එය දැනට භාවිතා කෙරෙන පෙට්‍රල් සමග මිශ්‍ර කොට භාවිතා කළ හැක. පාම් ඇට සහ සෝයා බෝංචි ඇට වැනි තෙල් සහිත ඇට වර්ග (oil seeds) සිඳ ගැනීමෙන් ලබා ගන්නා ජෛව ඩීසල් (bio-diesel) දෙවැනි වර්ගයවන අතර එය දැනට භාවිතාවන සාමාන්‍ය ඛණිජ ඩීසල් සමග මිශ්‍රකොට භාවිතා කළහැක.
2006 වර්ෂයේදී ලෝකයේ පාම් සහ සෝයා වැනි එලවළු තෙල්වල මුළු නිෂ්පාදණය ටොන් මිලියන 110 ක්වු අතර එම ද්‍රව්‍යයන්ම යොදා නිෂ්පාදනය කරන ලද ජෛව ඩීසල් ප්‍රමාණය ටොන් මිලියන 6 ක් වැනි සුළු ප්‍රමාණයක් විය. එහෙත් ජෛව ඩීසල්වල භාවිතය පසුගිය අවුරුදු හතර තුළ 40% ක වර්ධන වේගයක් (annual growth rate) පෙන්වා ඇති අතර, ඇමෙරිකාවේ සහ යුරෝපයේ පමණක් 2020 වනවිට අවශ්‍ය ජෛව ඩීසල් ප්‍රමාණය ටොන් මිලියන 490 ක් පමණවේයැයි ගණන් බලා තිබේ. මෙය දැනට ඇති එලවළු තෙල් නිෂ්පාදනය (ටොන් මිලියන 110) මෙන් හතර ගුණයකටත් වඩා වැඩිය. ජෛව ඩීසල් නිෂ්පාදණයේ විභවය (production potential) සම්බන්ධව ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලය නිකුත් කරන අධ්‍යයන වාර්තාවක් අනුව (A Global Comparison of National Biodiesel Production Potential," University of Wisconsin in Madison) ඒ සඳහා වැඩිම හැකියාවක් (විභවයක්) ඇති රටවල් පහ අනුපිළිවෙලින් නම්: මැලේසියාව, ඉන්දුනීසියාව, ආජන්ටිනාව, ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. මැලේසියාව සහ ඉන්දුනීසියාව යනු ලෝකයේ විශාලම පාම් වගාවන් ඇති රටවල්වන අතර ආජන්ටිනාව, ඇමෙරිකාව සහ බ්‍රසීලය යනු විශාලම සෝයා වගාවන් ඇති රටවල්ය.
උක් දඞුවලින් සහ බඩ ඉරිඟු භාවිතා කරගනිමින් සාදා පෙට්‍රල් වෙනුවට යොදා ගත හැකි ‘එතනෝල්’ ලීටර මිලියන 50,000 ක් පමණ වාර්ෂිකව රටවල් 30 ක පමණ නිෂ්පානය කෙරෙන් අතර එම රටවල් අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා රටවල් පහ පිළිවෙලින් බ්‍රසීලය, ඇමෙරිකාව, චීනය, ඉන්දියාව සහ ප්‍රංශයයි. මේ රටවල් අතුරිනුත් බ්‍රසීලය හා ඇමෙරිකාව ලෝකයේ මුළු එතනෝල් නිෂ්පාදනයෙන් 70% ක දායකත්වයක් සපයයි. බ්‍රසීලය විශාල වශයෙන් උක් වගා කරන රටක්වන අතර ඇමෙරිකාව විශාලතම ඉරිඟු නිෂ්පාදනය කරණ රට බවද මෙහිදී අමතක නොකළ යුතුය.
ජෛව ඉන්ධනවල පිලිබඳ මෙම තොරතුරු දෙස බැලීමේදී අනාවරණය වන්නේ ඒවා ලාභදායී ලෙස නිෂ්පාදනය කිරිමට නම් මහා පරිමාණ (large scale) පාම්, සෝයා, උක්, බඩ ඉරිඟු වැනි වගාවන් කළ යුතු බවත් ඒ සඳහා විශාල ඉඩම් ප්‍රමාණයන්ද වෙන් කළ යුතු බවය. දැනටමත් ජෛව ඩීසල් සහ එතනෝල් අන්තර් ජාතික භාණ්ඩ වෙළඳපලේ (international commodity markets) තරඟකාරී ලෙස අලෙවිවන නිසා ඒවායේ නිෂ්පාදන වියදම (production cost) පිළිබඳව සැලකිල්ළක් දැක්විය යුතුව ඇත.
මෙම නිසා ඉදිරියේදී ඉතා විශාල ලෙස පාම්, උක්, සෝයා සහ ඉරිඟු වැනි වැනි බෝග කෘෂිකාර්මික වගාවන් ලෙස නොව ඉන්ධන බෝග (fuel-crops) ලෙස වගාකිරීම ආරම්භ කෙරෙනු ඇත. එවැනි ඉන්ධන බෝග වගාවන්, ඒවායේ රැකියාවන් හා ඒවායින් ලැබෙන ආදායම් අයත්වනුයේ කෘෂිකාර්මික අංශයට නොව කර්මාන්ත අංශයටද යන්න සැක සහිතය.
දැනට ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන්නේ කෘෂිකාර්මික වගාවන් නිසා එම ඉන්ධන හැඳින්වෙන්නේ පළමු පරම්පරාවේ ජෛව ඉන්ධන ( first generation or 1G bio-fuel) ලෙසින්ය. ඉදිරියේදී ඉන්ධන සඳහාමවූ වගාවන්ගෙන් (fuel crops) ලබා ගන්නා ජෛව ඉන්ධන 2G bio-fuel යනුවෙන් හඳින්වීම දැනටමත් ආරම්භකර ඇත. ආහාර සඳහා නිෂ්පාදනය කරණ බෝග ජෛව ඉන්ධන නිෂ්පාදනයට යොදා ගැනීමෙන් ආහාර සැපයුමට අහිතකර බලපෑම් ඇතිවන්නේයැයි යන චෝදනාවෙන් ගැලවීමට ඉන්ධන භෝග යනුවෙන් වෙනම බෝග වර්ගයක් හඳුන්වා දුන්නද, ඉන්ධන බෝගවලට විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන්කළ යුතු නිසා ආහාර බෝග සඳහා ඉඩම් හිඟයක් ඇතිවීම අනිවාර්යෙන්ම අපේක්ෂා කළ යුතුය. ඊට අමතරව ඉන්ධන බෝග වගාවෙන් වැඩි ලාභ ලැබන නිසා බොහෝ ඉඩම් හිමියන් ආහාර බෝගවලට වඩා ඉන්ධන බෝග සඳහා තම ඉඩම් ලබා දීම හෝ විකිණීම කරනු ඇත.
මෙම පසුබිම යටතේ දැනටමත් පවතින ආහාර අර්බුදය ඉන්ධන බෝග වගාව හේතුකොට ගෙන තවත් උග්‍ර වීම වැළැක්වීමට නම් සංවර්ධනයවන රටවල ඍජු රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යවනු ඇත. එවන් මැදිහත්වීමක් මගින් ආහාර සහ ඉන්ධන බෝග වගාවන් සඳහා ඉඩම් බෙදී යෑමේ යහපත් අනුපාතයක් පවත්වාගෙන යැමට පිළිවන්විය යුතුය. එසේ නොමැතිව එම ඉඩම් බෙදී යැම නිදහස් වෙළඳ න්‍යායට බාරදුනහොත් ඇතිවිය හැකි ආහාර අර්බුදයන්ට වගකිවයුත්තේ ජෛව ඉන්ධන නිෂ්පාදකයන් නොව සංවර්ධනයවන රටවල්වල රජයන්ය.
මූලාශ්‍ර:
http://www.lankanewspapers.com/news/2008/7/30094_space.html
http://www.ethanolrfa.org/industry/statistics/
http://www.biodieselmagazine.com/article.jsp?article_id=1943
අධි පරිභෝජනය හා සාගින්න: ගෝලීයකරණයේ ප්‍රතිවිරෝධතා
Over consumption and starving: Contradictions of Globalization
(2008 අගෝස්තු 12)
ඉන්දියාවේ සහ චීනයේ සීඝ්‍රයෙන් සිදුවන ආර්ථික වර්ධනයත් ඒ මගින් ඇතිවන සමෘද්ධිමත් බවත් නිසා පෙර නොවූ විරූ අයුරින් ආහාර සඳහා එම රටවල් දෙකේ ඇතිවී තිබෙන ඉල්ලුම වර්තමාන ආහාර අර්බුදයට එක් හේතුවක් ලෙසට මත පලවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් මෑතකදී අදහස් පලකළ ජර්මන් චාන්සලර්වරිය පවසා ඇත්තේ බිලියන 1.1 ක් පමණවන ඉන්දියාණු ජනගහණයෙන් තුණෙන් එකක් (මිලියන 300 ක් පමණ) එක් ආහාර වේලක් වැඩිපුර ගතහොත් ඇතිවන ආහාර ඉල්ලුම පමණක් අතිවිශාල බවයි. බිලියන 1.3 ක් පමණ ජනගහණයක් ඇති චීනය සම්බන්ධයෙන්ද මෙම ප්‍රකාශය වලංගුය.
ආර්ථික සංවර්ධනයත් සමගම බිලියන 2.5 ක් පමණවන ඉන්දියාවේ සහ චීනයේ වැසියන් සංවර්ධිත රටවල ආහාර පරිභෝජන රටාව අනුගමනය කළහොත් ඇතිවන භයානක තත්වය තේරුම්ගත හැක්කේ තවමත් මේ රටවල් දෙකේ ඒක පුද්ගල ආහාර පරිභෝජනය ඇමෙරිකාවට හා බටහිර යුරෝපයට වඩා පිටුපසින් තිබෙන බැවිනි. ඇමෙරිකාවේ වාර්ෂික ඒක පුද්ගල ධාන්‍ය පරිභෝජනය(annual per capita grain consumption) කිලෝ ග්‍රෑම් 1046 ක් වැනි විශාල ප්‍රමණයක්වන අතර චීනයේ එම ප්‍රමාණය කි.ග්‍රෑ. 400 ක්ද, ඉන්දියාවේ කි.ග්‍රෑ. 178 ක්ද වේ. එසේම බටහිර යුරෝපයේ වාර්ෂික ඒක පුද්ගල කිරි පරිභෝජනය (annual per capita milk consumption) කිලෝ ග්‍රෑම් 268 ක් වන අතර චීනයේ එම ප්‍රමාණය කි.ග්‍රෑ. 22 ක්ද, ඉන්දියාවේ කි.ග්‍රෑ. 90 ක්ද පමණවේ. එම නිසා චීනය හෝ ඉන්දියාව තම වාර්ෂික ඒක පුද්ගල ධාන්‍ය පරිභෝජනය කි. ග්‍රෑම් 10 කින් පමණක් වැඩිකිරීමට නම් වැඩිපුර අවශ්‍ය ධාන්‍ය ප්‍රමාණය ටොන් මිලියන 10 කට අධිකවේ.
අධි පරිභෝජනය මෙන්ම ආහාර නාස්තිය හා ඉවත දැමීමද ආහාර අර්බුදයට තවත් හේතුවකි. බ්‍රිතාන්‍යයේ පමණක් වාර්ෂිකව පරිභෝජනයට ගතහැකි ආහාර ටොන් මිලියන 4 ක් ඉවත දමන අතර මෙවැනි නාස්තියද ආහාර අර්බුදයට එක් හේතුවක් බව බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් මෑතකදී ප්‍රකාශ කර ඇත.
ආහාර පරිභෝජනය වැඩිවීම සහ ආහාර නාස්තිය පිළිබඳව අධි සංවර්ධිත (ඇමෙරිකාව සහ බටහිර යුරෝපය වැනි) හා සීඝ්‍රයෙන් සංවර්ධනයවන (ඉන්දියාව සහ චීනය වැනි) රටවල් කෙරෙහි බෙහෝ දෙනෙකුගේ අවධානය යොමුවන අතරතුර වර්තමාන ආහාර අර්බුදයට විසඳුම් සොයා ගැනීමට අපොහොසත්වූ ඉතා දිළිඳු රටවල් සාගින්නෙන් පෙළෙන ආකාරය මනාව පිලිබිඹු කෙරෙන අවස්ථා දෙකක් පිළිබඳව ප්‍රවෘත්ති පළවී තිබේ.
මින් එක ප්‍රවෘත්තියක් වාර්තාවන්නේ කැරිබියානු දුපත් රාජ්‍යයක්වන හයිටිවලිනි (Haiti). එහි ජනගහණයෙන් 75% ක්ම දිනකට ඇ.ඩොලර් එකකට අඩු ආදායමක් ලබන දිළිඳු ගණයට අයත්වේ. පවතින ආහාර හිඟකම හා අධික ආහාර මිල නිසා සාගින්න නිවා ගැනීමට නොහැකි හයිටි වැසියන් මැටි මිශ්‍රණයක් තලප සේ සාදා රොටියක් මෙන් අව්වේ වේලා කෑම මේ දිනවල සුලභව දැකිය හැක. මෙම මැටි තලපය සාමාන්‍යයෙන් දිළිඳු ගර්භණී මවුවරුන් විසින් පමණක් ‘කැල්සියම්’ ලබා ගැනීමට භාවිතා කිරීම පුරුද්දක්ව පැවතුනද වර්තමානයේදී ආහාර නොමැති බොහෝ දෙනෙක් කුස පුරවා ගැනීම සඳහා මෙය ආහාරයට ගනුලබන අතර ඒ මගින් බොහෝ වේලාවකට කුසගින්න පහව යන බව ඔවුන් ප්‍රකාශ කරයි. හයිටිවල සාගින්න කෙතරම් උග්‍රද යත් දිළිඳු වැසියන් ආහාර ඉල්ලා කැරලි කෝළාහල (Food riots) කිරීම හේතුවෙන් එහි අගමැතිවරයාට ඉල්ලා අස්වීමට පවා සිදුවිය.
අනික් ප්‍රවෘත්තිය ලැබෙන්නේ අප්‍රිකාවේ මොසැම්බික් රාජ්‍යයෙනි. එහි සැළකිය යුතු සංඛ්‍යාවක් HIV ආසාදිතයින් වන අතර ඒ සඳහා ඔවුන්ට නොමිලයේ ඖෂධයක් (ඇන්ටිරෙට්‍රෝවයිරල් -ARV) රජය විසින් ලබා දෙනු ලබයි. මෙම ඖෂධය ගැනීමට පෙර ඔවුන් හොඳින් ආහාරයක් ගෙන තිබිය යුතු අතර එසේ නොමැතිවුවහොත් ආමාශ දැවිල්ල ඇතිවේ. එහෙත් වර්තමාන ආහාර අහේණිය තුළ බොහෝ HIV ආසාදිත පුද්ගලයින් තමන්ට නියමිත ඖෂධය ලබා ගැනීමෙන් වැළකී සිටින්නේ ආහාර නොමැති තම කුස්තුළට එම ඖෂධය ඇතුල්වුවිට අධික වේදනාවක් දැනෙන නිසාය. එම ඖෂධය ලබා නොගැනීමෙන් තමන්ගේ ජීවිතවලට ඇතිවන අවදානම දැන දැනත් ඔවුන් එය ගැනීමට මැළිවන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි.
ආහාර සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන මෙවැනි ප්‍රතිවිරෝධතාවලින් පෙන්නුම් කරන්නේ ගෝලීයකරණ සංකල්පය තුළ මෙපමණ කලක් ක්‍රියාත්මකවූ නිදහස් වෙළඳාම (trade liberalization) මගින් අනිත් කරුණු කෙසේ වෙතත් මිනිසාගේ මූලික ආහාර අවශ්‍යතා පිරිමසා ගැනීමටවත් අපෝහෝසත්වූ බවය.
මූලාශ්‍ර:
http://www.impactnews.mu/News_View.asp?NID=4291
ජානමය වෙනස්කම් කරණ ලද බෝග වගාව ආහාර අර්බුදයට විසඳුමක්ද?
Can genetic farming solve the food crisis?
(2008 අගෝස්තු 10)
වර්තමානයේදී ලෝකයේ බොහෝ රටවල් මුහුණ පා සිටින ආහාර අර්බුදය හමුවේ හා එයට විසඳුමක් ලෙස ජානමය වෙනස්කම් (Genetically Modified – GM) කරන ලද කෘෂිබෝග වගාකිරීමේ අවශ්‍යතාවය සියුම් ලෙස මතුවෙමින් පවතී. යුරෝපා හවුලේ සංවර්ධිත සමහර රටවල් හා බොහෝ සංවර්ධනයවන රටවල් විසින් ‘හාණිදායක’ ලෙස තහනම් කර ඇති ජානමය වෙනස්කම්වලට භාජනයවූ ආහාර බෝග (GM foods) පිළිබඳ නැවත සිතා බලන තරමටම ආහාර අර්බුදය උග්‍ර බවට පත්ව ඇත.
වර්ෂ 2040 වනවිට බිලියන 9.2 ක්වන ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර සඳහා අද මෙන් 50% ගුණයකින් කෘෂි නිෂ්පාදණ ඉහළ නැංවිය යුතුය. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 1960 දී වගාබිම් හෙක්ටෙයාරයකින් දෙදෙනෙකුට පමණක් ආහාර නිෂ්පාදණය කළද 2025 වනවිට හැම වගාබිම් හෙක්ටෙයාරයකින්ම පස් දෙනෙකුගේ ආහාර නිෂ්පාදනය කළ යුතුය. මෙම අභියෝගකාරී ආහාර නිෂ්පාදන ඉලක්කයන්ට යෑමට නම් කෘෂි ඵලදායිතාවය ඉහළ නැංවිය යුතු අතර ඒ සඳහා ජාන තාක්ෂණය (gene technology) හා ජෛව තාක්ෂණය (Bio-technology) බෙහෙවින් ප්‍රයෝජනවත්යැයි බොහෝ පර්යේෂණ ආයතන දැනටමත් මත පළ කරමින් සිටී.
ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව සහ තායිවානය ඇතුළු රටවල් 22 ක් පමණ ජාන වෙනස්කම් කරණ ලද ආහාර බෝග වගා කරන අතර එම රටවල් සියල්ලම ප්‍රධාන ආහාර අපනයන රටවල්වීමද විශේෂත්වයකි. එයට මුලික හේතුව එම තාක්ෂණය භාවිතා කර ගැනීම මගින් කෘෂි ඵලදායිතාවය 40% කින් වැඩිකර ගැනීමට හැකිවීමයි. ආහාර සඳහා ජාන තාක්ෂණය ප්‍රවර්ධනයේ යෙදී සිටින බොහෝ පර්යේෂකයින් පවසන පරිදි දශකයකට අධික කාලයක් පරිභෝජනය කරණ ලද එවැනි ජාන වෙනස් කරන ලද ආහාරවලින් හානි වාර්තාවී නෙමැති අතර එම ආහාරවල පෝෂණ ගුණයද සාමාන්‍ය ආහාරවලට වඩා වැඩිය. ජාන වෙනස් කිරීම් මගින් කෘමීන්ට සහ නියඟයන්ට දක්වන වැඩි ප්‍රතිරෝධය (insect and drought resistance) නිසා එවැනි බෝගයන්ට අවශ්‍ය කෘමි නාශක සහ වාරි ජල අවශ්‍යතාවද අවමය.
එහෙත් අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (International Food Policy Research Institute – IFPRI) අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අනුව ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ආහාර නිෂ්පාදණය වැඩි කිරීම ක්ෂණිකව කළ නොහැකි දීර්ඝ කාලීන විසඳුමක් පමණි. ජාන තාක්ෂණය පුළුල් ලෙස භාවිතා කිරීමට පෙර පර්යේෂණ හා සංවර්ධනය (Research and Development – R&D) සඳහා අධික හා දිගු කාලීන ආයොජනයන් කළ යුතුවේ.
වැඩිවන ආහාර හා ඉන්ධන මිල හමුවේ එවැනි ආයෝජනයන් කිරීමට සංවර්ධනයවන දිළිඳු රටවලට කිසිසේත් නොහැකිවනු ඇත. එම නිසා ජාන තාක්ෂණයෙන් දියුනු කරණ ලද මිල අධික බීජ විකිණීම මගිනුත් වැඩි වාසි අත්වනු ඇත්තේ සංවර්ධිත රටවල්වලටමය.
මූලාශ්‍ර:
http://economictimes.indiatimes.com/Food/Genetic_farming_can_help_solve_food_crisis_Expert/articleshow/3307692.cms
http://www.irishtimes.com/newspaper/ireland/2008/0801/1217368793830.html
ආහාර අර්බුදය සහ කඩා වැටෙන දෝහා වෙළඳ කතිකාවත
Food Crisis and the failing Doha Trade Talks
(2008 අගෝස්තු 10)
ලෝකයේ සංවර්ධනවෙමින් පවතින බොහෝ රටවල්වලට තම වෙළඳපල ලිහිල් කිරීම (liberalizing of markets) නිසාත් කෘෂි ක්ෂේත්‍රයන්ට අවශ්‍ය තරම් ආරක්ෂණයක් ලබා නොදීම නිසාත් වෙනත් රටවල්වලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නට සිදුවිය. එහෙත් සංවර්ධිත බොහෝ රටවල් - විශේෂයෙන්ම යුරෝපීය රටවල් සහ ඇමෙරිකාව තම කෘෂි ක්ෂේත්‍රයන් නෙයෙකුත් සහාණාධාර මගින් ආරක්ෂණය (protection through subsidies) කොට අඩු මිලට ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීමෙහි නිරතවිය. එම නිසාම තිරිඟු (wheat) සහ ඉරිඟු (corn) වැනි ආහාර ද්‍රව්‍යයන් තරඟකාරිත්වයකින් තොරව ශ්‍රී ලංකාව වැනි රටවල්වලට අපනයනය කිරීමට සංවර්ධිත රටවල්වලට හැකිවිය. ඇමෙරිකාවේ වාර්ෂික කෘෂි සහණාධාර වියදම 2006 දී ඩොලර් බිලියන 29 ක් වූ අතර යුරෝපා හවුලේ රටවල්වල වාර්ෂික කෘෂි ආරක්ෂණ වියදම ඩොලර් බිලියන 138 ක් විය.
අද සිදුවී තිබෙන්නේ සංවර්ධිත රටවල් තිරිඟු සහ බඩ ඉරිඟු වැනි ආහාර ද්‍රව්‍ය ජෛව ඉන්ධන සෑදීමට යොදා ගැනීම නිසා මතුවී තිබෙන ආහාර හිඟයත් ඒ සමගම සිදුවන මිල වැඩිවීමත් නිසා සංවර්ධනයවන රටවල් ‘ආහාර අර්බුදයකට’ මුහුණදී තිබීමයි.
වර්තමාන ආහාර අර්බුදය මතුවීමට පෙර පවා මෙම අසංතුලිත වෙළඳ ප්‍රතිපත්තිය (imbalanced trade policy) සංවර්ධනවන රටවල් තුළ දිළිඳුකම සහ අසහණකාරී තත්වයන් ගොඩනැගීමට පාදකවන බවට ඉඟි පහළවෙමින් තිබිණ. එම නිසා සහ විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාව මුහුණදුන් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිළිඳු රටවල්වලටද ගෝලීය වෙළඳ පද්ධතිය තුළ සාධාරණ අවකාශයක් (fair access in the global trading system) ලබා දීමේ අරමුණින් ‘ලෝක වෙළඳ සංවිධානය’ (World Trade Organization) හරහා වෙනම සංවර්ධන න්‍යාය පත්‍රයක් (Doha Development Agenda) ආරම්භවිය. එහෙත් මෙම න්‍යාය පත්‍රයේ වැදගත් සංධිස්ථානයක්වූ 2003 මෙක්සිකෝවේ පැවති ‘දෝහා වෙළඳ කතිකාවත’ (Doha trade negotiation) සමුළුව සංවර්ධිත රටවල් තම කෘෂි ආරක්ෂණ වැඩපිළිවෙල් හා ආරක්ෂණ වෙළඳ ප්‍රතිපත්ති අත්හැරීමට මැළිවීම නිසා අසාර්ථකව නිමවිය.
වර්තමාන ආහාර අර්බුදය තුළ නැවත වරක් පසුගිය මස (2008 ජූලි මස) අගදී ජිණීවා නගරයේ කැඳවන ලද මෙම වෙළඳ කතිකාවත මෙවරද අසාර්ථකවීම ඉතාමත් අශුභ ලකුණක්වන අතර ගෝලීයකරණ සංකල්පයේ අසාර්ථකවීමක් (failure of the globalization concept) ලෙස මෙම අවස්ථාව සණිටුහන්වනු ඇත.
කෙසේවුවද වර්තමාන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා සංවර්ධිත රටවල්වල කැමැත්තෙන් තොරව වුවද කෘෂි සහාණාධාර සහ ආහාර ආරක්ෂණ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට සංවර්ධනයවන දිළිඳු රටවල්වලට සිදුවනු ඇත.
ආහාර වෙනුවට හා ඉන්ධන ආදේශ කිරීම: ආහාර අර්බුදයට ප්‍රධාන හේතුවද?
Bio-fuel the major cause for global food crisis
(2008 අගෝස්තු 9)
පසුගිය වර්ෂ කිහිපය තුළ ආහාර මිල වැඩිවීමට පාදකවන සාධක කිහිපයක් ඇතත් මේවනවිට බොහෝ රටවල්වල අවධානය යොමුවී තිබෙන ප්‍රධාන සාධකය වන්නේ ආහාර බෝග (food crops) යොදා ගනිමින් ජෛව ඉන්ධන (bio-fuel) නිෂ්පාදනයට යොමුවීමය. ෆොසිල ඉන්ධනවලට විකල්පයක් ලෙසිනුත්, දේශගුණික විපර්යාසයන්ට තුඩු නොදෙන හා පරිසර හිතකාමී ඉන්ධනයක් ලෙසත් බොහෝ දෙනාගේ පැසසසුමට හා ආකර්ෂණයට ලක්වු ජෛව ඉන්ධන මේවනවිට බරපතල විවේචනයකට හා මතභේදවලට ලක්වෙමින් පවතී.
පරිසර පද්ධතිය විසින් අපට සැපයෙන සේවාවල් (ecosystem services) දෙකක් ලෙස සැලකිය හැකි ආහාර සහ ඉන්ධන එකිනෙකට ආදේශ කරන්නට යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ආහාර අර්බුදය සැලකිය හැක. එහෙත් ඉන්ධන අර්බුදයෙන් ගැලවී තම ආර්ථික ආධිපත්‍ය පවත්වාගෙන යෑමට සංවර්ධිත රටවල්වලට (විශේෂයෙන්ම ඇමෙරිකාව සහ යුරෝපීය රටවල්වලට) ඇති හොඳම විකල්පය බවට පත්වී තිබෙන්නේ ආහාර ඉන්ධන බවට පත්කිරීමය.
2020 වනවිට තම රටවල වාහනවලට අවශ්‍ය ඉන්ධනවලින් 10% ක් ජෛව ඉන්ධනවිය යුතුයැයි යුරෝපා හවුල මේවනවිටත් තීරණය කර ඇත. යුරෝපා රටවල් ජෛව ඉන්ධන නිෂ්පාදණය සඳහා බොහෝවිට යොදා ගන්නේ අහාර පිසීමට ගන්නා සෝයා තෙල් සහ පාම් තෙල්ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ (US) වාහන සඳහා දැනට වාර්ෂිකව භාවිතා කෙරෙන ‘එතනෝල්’ (ethanol) නම් ජෛව ඉන්ධන ප්‍රමාණය ගැලුම් බිලියන 2.3 ක් වන අතර එම ප්‍රමාණය ගැලුම් බිලියන 7.5 ක් දක්වා වැඩිකළ යුතුයැයි එම රජය තීරණය කර ඇත. මෙම එතනෝල් සාදන්නේ ඉරිඟුවලින් (corn) වන අතර මේ වර්ෂයේදී පමණක් එතනෝල් සෑදීම සඳහා ඇමෙරිකාව වැඩිපුර ඉරිඟු ටොන් මිලියන 30 ක් වැය කෙරෙනු ඇත. මෙම ප්‍රමාණය මුළු ලෝකයේම ගබඩාගත ධාන්‍ය ප්‍රමාණයෙන් (global grain stock) අඩකට ආසන්න වන අතර මෙම උදාහරණය මගින්ම ලෝකයේ ආහාර අර්බුදයට ජෛව ඉන්ධන අශුභ ලෙස බලපාන ආකාරය වටහාගැනීමට හැකිය.
එහෙත් තම රටවල්වල ජෛව ඉන්ධන භාවිතය නිසා ආහාර මිල ඉහළ යන්නේයැයි ඍජුව පිළිගැනීමට සංවර්ධිත රටවල් මැලිවේ. ඇමෙරිකාව පවසන්නේ තම රටේ එතනෝල් භාවිතය නිසා ලෝකයේ ආහාර මිල 3% කින් පමණ ඉහළ යෑමට හැකි බවය. එහෙත් මෑතකදී කරණ ලද සමීක්ෂණයකට අනුව ඇමෙරිකාවේ ජෛව ඉන්ධන භාවිතය ලෝක ආහාර මිල ඉහළ යෑමට 75% කින් දායකවී ඇති බව හෙළිවී ඇතත් ඇමෙරිකාණු රජය අපහසුවකට පත්වන නිසා එම සමීක්ෂණ වාර්තාව පළකිරීම පමාකරමින් සිටින බවටද ආරංචි පළවේ.
ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව ආහාර අර්බුදය නිසාම පමණක් මිලියන 100 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් දිළිඳු බවට පත්ව ඇත. එහෙත් ආහාර අර්බුදයට ප්‍රධාන හේතුවක්වන ජෛව ඉන්ධන නිෂ්පාදනය නොකඩවාම සිදුවේ. මේ සඳහා අවශ්‍ය බෝග වගා කිරීමට අළුත් වගාබිම් අක්කර මිලියන ගණනක් බිහිවෙමින් තිබෙන අතර ඒ සඳහා කැලෑ එළි කිරිමද සිදුවේ. එම වගාවන් සඳහා අධික ලෙසින් පොහොර පොහොර හා ජලය භාවිතා කිරීමෙන් සිදුවිය හැකි පරිසර හානිය පිළිබඳවද කිසිදු ඇගයීමක් තවමත් කරනොමැත.
ස්වයංපෝෂණයෙන් තොරව ආහාර සඳහා වෙනත් රටවල් මත යැපීම ප්‍රධාන ලක්ෂණය කරගත් ගෝලීයකරණය නිසා මානව සංහතියට මුහුණපෑමට සිදුවන ප්‍රථම දරුණු අර්බුදයද මෙම ආහාර අහේණිය විය හැක.
http://www.guardian.co.uk/environment/2008/jul/03/biofuels.renewableenergyකෘෂි බෝගවලින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම කෙතරම් සාධාරණද?
Food or Fuel: Use of agricultural crops to make bio-fuel is a crime against humanity
(2008 අගෝස්තු 5)
ෆොසිල ඉන්ධනවල මිල ඉහළයෑමත් සමග ඊට විකල්පයක් වශයෙන් විවිධ ශාක වර්ග භාවිතා කෙරෙමින් වඩා අඩු වියදමකින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම මතභේදාත්මක කරුණක් වුවත් බෙහෝ සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි උන්නදුවක් දැක්වීමට පටන්ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මුලින්ම උනන්දුවක් දැක්වූ යුරෝපා හවුලේ රටවල් වර්ෂ 2020 වනවිට තම ඉන්ධන අවශ්‍යතාවයන්ගෙන් 10% ක් ජෛව ඉන්ධනවිය යුතුය යන තීරණයද ගෙන තිබුණි.
දැනට දශක දෙක තුනකට පමණ පෙර මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් විශාල වශයෙන් ‘පාම්’ (oil palm) වගාවන්ට යොමුවූයේ එම ගසේ ඇට සිඳීමෙන් ‘පිසීමට ගන්නා තෙල්’ (cooking oil) නිෂ්පාදනය සඳහාය. එහෙත් ඉන්ධන හා බලශක්ති අර්බුදයත් සමගම පාම් ඇට සිඳීමෙන් එම පාම් තෙල් වලින් ‘ජෛව ඩීසල්’ (bio-diesel) නිෂ්පාදනය කිරීම වඩා ලාභදායී බව මෙම රටවල් අවබෝධ කරගෙන ඇත. දැනටමත් සාමාන්‍ය (ෆොසිල) ඉන්ධනවලට විකල්පයක් ලෙස එම රටවල්වලම විශාල කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර, විදුලි ජනන යන්ත්‍ර සහ බර වාහන ආදිය සඳහා මෙම ජෛව ඩීසල් විශාල වශයෙන් භාවිතා කිරීමත් ඊට අමතරව බටහිර රටවල්වලට ජෛව ඩීසල් අපනයනය කිරිමත් ආරම්භකර ඇත.
එහෙත් මෙ රටවල් දෙකේ පමණක් සිටින මිලියන 10 කට අධික දුප්පත් ජනතාවගේ දෛනික ආහාරයේ කොටසක් මෙම ‘පාම් තෙල්’ (palm oil) වන අතර පාම් ඇටවලින් ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමට යොමුවීම නිසා නිසා ඔවුන්ගේ ආහාරමය අවශ්‍යතාවයට මෙය ඉතා අශුභ අන්දමින් බලපා ඇත. මුළු ලෝකයේම ‘පාම් තෙල්’ නිෂ්පාදනයෙන් 86% ක්ම කරන්නේ මෙම රටවල් දෙකේ අතර ලංකාවේ වුවද පොල්තෙල්වලට විකල්පයක් ලෙස වෙළඳපොලට බෝතල් හා ටින් ලෙසින් එන පිසින තෙල් බොහොමයක් ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ නිෂ්පාදිත ඒවාය. අපනයන වෙළඳපලේ පාම් තෙල් හිඟවීම නිසා ඇතිවන අධික මිලෙන් උපරිම වාසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම රටවල් දෙකම (ඉන්දුනීසියාව සහ මැලේසියාව) තම පාම් තෙල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් අපනයනය කිරීමටද පෙළඹී ඇත. මේ අයුරින් ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනයක් ‘ජෛව ඉන්ධන’ (bio-fuel) නිපදවීමට භාවිතා කිරීම තුළින් ඇතිවන අශුභ ප්‍රතිඵල වන්නේ:
- එම රටවල්වල අඩු ආදායම් සහිත පවුල් මිලියන ගණනකට දෛනික ආහාරයට ගන්නා පිසින තෙල් හිඟවීම
- එම රටවල පාම් තෙල් අපනයන සීමා කිරීම නිසා ලෝකය පුරාම අඩු ආදායම් ලාභීන් වැඩිවශයෙන් භාවිතා කෙරෙන පිසින තෙල්වල මිල විශාල වශයෙන් ඉහළ යෑම
- ජෛව ඉන්ධන නිෂ්පාදනය අරමුණු කරගනිමින් පාම් වගාව විශාල වශයෙන් පුළුල් කිරීමට මැලේසියාව හා ඉන්දුනිසියාව ගෙන තිබෙන තීරණය නිසා එම රටවල වනබිම් (forest land) සහ වෙනත් කෘෂිකාර්මික (farm land) බිම් අක්කර දහස් ගණනක් පාම් වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් උග්‍ර පාරිසරික ප්‍රශ්න මෙන්ම කෘෂි බෝග හිඟයන්ද ඉස්මතුවිය හැකිවීම.
දැනටමත් ඉන්දුනීසීයාණු රජය විසින් විශාල පාම් වගාවන් ප්‍රචලිත කිරීමේ අරමුණින් එවැනි වගාවන් ආරම්භ කිරීමට අවශ්‍ය ණය පහසුකම් සැපයීම සදහා ඇ. ඩොලර් මිලියන 110 ක් වෙන් කොට ඇත. ඉන්දුනීසියාණු ජනාධිපතිවරයාට අනුව මේ මගින් රැකියා මිලියන 5 ක් පමණ උත්පාදනය කිරීමට අපේක්ෂිත අතර ඒ මගින් රටේ ඉන්ධන ප්‍රශ්නයද විසඳීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සත්‍ය වශයෙන්ම මේ රැකියාවන් යනු විශාල පාම් වතුවල කම්කරු (plantation labour) අවශ්‍යතා පිරිමැසීමකි. වෙනත් අන්දමකින් කිවහොත් සිදුවන්නේ කුඩා ගොවීන් තම කෘෂිකාර්මික ඉඩම් පාම් වතු සමාගම්වලට අලෙවි කර ඔවුන් ඒවායේ කම්කරුවන් බවට පත්වීමයි.
‘ග්‍රීන් පීස්’ (Green Peace) වැනි පරිසර සංරක්ෂණ ක්‍රියාකාරීන්ට අනුව ඉන්දුනීසියාවේ පාම් වගාවන් සඳහා මුඩුබිම් ගිනි තැබීම මගින් පමණක් දැනටමත් වායු ගෝලයට වාර්ෂිකව නිකුත්වන හරිතාගාර වායු ප්‍රමාණය ටොන් බිලියන 1.8 ක්වන අතර එය මුළු ලොකයේම හරිතාගාර වායු නික්මීම්වලින් 4% කි වැනි ඉතා විශාල ප්‍රමාණයකි. එවැනි රටවල් ජෛව ඉන්ධන සඳහා කෘෂිකාර්මික වගාවන් ප්‍රසාරනය කිරීමේදී සහ විශේෂයෙන්ම කාබන් අවශෝෂණය කරගන්නා වනබිම් (carbon rich forests) පාම් වගාවන් වෙනුවෙන් විනාශ කිරීමේදී මතුවන දරුණු පාරිසරික ප්‍රශ්න පිළිබඳ දැනට වඩා අවධානයක් යොමුකළ යුතුය.
මෙම පාරිසරික ප්‍රශ්නය නිසා වනබිම් (forests), තෙත් බිම් (wetland) සහ තණ බිම් (grasslands) විනාශ කරමින් සිදුකරණ වගාවන්ගෙන් නිෂ්පාදනය කෙරෙන ජෛව ඉන්ධන තම රටවල්වලට ආනයනය කිරීම සීමා කිරීම පිළිබඳ යුරෝපා හවුලේ අවධානය දැනටමත් යොමුවී ඇත.
එහෙත් වඩා අර්බුදකාරී තත්වයක් පැන නගින්නේ ආහාර බෝග නිෂ්පාදනයට විකල්පයක් ලෙස එම බෝගම යොදා ගිනිමින් ජෛව ඉන්ධන නිෂ්පාදනයට යොමුවීමයි. දැනටමත් බඩ ඉරිඟු (maize), තිරිඟු (wheat), උක් (sugarcane), සෝයා බෝංචි තෙල් (soya oil), පාම් තෙල් (palm oil) ආදී බෝගමය ද්‍රව්‍යයන් ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට පටන් ගෙන ඇත. මෙය වඩාත් බරපතල වන්නේ මෙම බෝග බොහෝවිට දිළිඳු හා අඩු ආදායම්ලාභී පවුල්වල ආහාරයේ ප්‍රධාන කොටසක්වීමත් එවැනි දිළිඳු ජනයා වෙසෙන සංවර්ධනයවන රටවල්ම එම බෝග ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා යොමුවීමත්ය.
බඩ ඉරිඟු (maize) වැනි සත්වාහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය භෝග ජෛව ඉන්ධන නිෂ්පාදනයට යොදා ගැනීම නිසා ඒවායේ මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. මේ නිසා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයවන රටවල්වල කුඩා සත්ව ගොවිපළ හිමියන් මේවනවිට දැඩි අසීරුතාවයකට පත්ව ඇත.
මෙම හේතූන් නිසා ආහාර බෝග ජෛව ඉන්ධන බවට පත්කිරීම ‘මනුෂ්‍ය ප්‍රජාවට එරෙහිව කරණු ලබණ අපරාධයක්’ (crime against humanity) ලෙස සලකා අඩුම වශයෙන් තව අවරුදු 5 කටවත් ආහාරමය බෝගවලින් ජෛව ඉන්ධන නිෂ්පාදනය අත්හිටවිය යුතුය යන මතය දැනටමත් එක්සත් ජාතීන්ගේ සංගමයේ සමහර අංශවලින් මතුවෙමින් පවතී. ඒ වෙනුවට ඉදිරි අවුරුදු 5 දී අහාර බෝග නිෂ්පාදනය වැඩිකළහොත් කෘෂිකාර්මික අපද්‍රව්‍ය (agricultural waste) ජෛව ඉන්ධන නිෂ්පාදනයට යොදාගත හැකිවේය යන්න මෙම අංශවල මතයයි.
මූලාශ්‍රය: http://developmentasia.org/issue01/feature-01.asp
.




