2010 සඳහාවූ ‘දේශගුණික අවදානම් දර්ශක’ වාර්තාවට අනුව දේශගුණික වශයෙන් වඩාත්ම අවදානම් 25 වන රට බවට ශ්‍රී ලංකාව
Sri Lanka in the 25th place of the 2010 Climate Risk Index (CRI) ranking
(2009 දෙසැම්බර් 21)
ජර්මනියේ ‘ජර්මන්-වොච්’ (German-watch) නමැති රාජ්‍ය නොවන ආයතනය විසින් වාර්ෂිකව එක් එක් රටවල් සඳහා පිළියෙල කෙරෙන ‘දේශගුණික අවදානම් දර්ශක’ (Climate Risk Index – CRI) වාර්තාවට අනුව එම රටවල් ශේණිගත කිරීම 2010 වර්ෂය සඳහාද නිම කර ඇති අතර එම ශ්‍රේණිගත කිරිම අනුව රටවල් 119 අතුරින් දේශගුණික බලපෑම් මත වඩාත්ම අවදානම් 25 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එහෙත් 1998 – 2008 දශකය සඳහාවූ දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 67 වන ස්ථානයේය. මෙම වර්ෂයේ (2010) ‘දේශගුණික අවදානම් දර්ශක’වාර්තාව පසුගිය සතියේ අවසන්වූ කෝපන්හේගන් දේශගුණික සමුළුවේදී ප්‍රකාශයට පත්කිරීම විශේෂ සිද්ධියක් ලෙස සැළකිය හැකිය.
‘දේශගුණික අවදානම් දර්ශකය’ අනුව ශේණිගත කිරීමේදී (වඩාත් අවදානම්ම) ප්‍රථම ස්ථාන 10 ලබා ගත් රටවල් |
||||||
First 10 places in ranking according to Global Climate Risk Index |
||||||
2010 |
2009 |
2008 |
1998-2008 දශකය |
|||
| 1. මියන්මාරය | 1. බංග්ලා දේශය | 1. පිලිපීනය | 1. බංග්ලා දේශය | |||
| 2. යේමනය | 2. උතුරු කොරියාව | 2. උතුරු කොරියාව | 2. මියන්මාරය | |||
| 3. වියට්නාමය | 3. නිකරගුවාව | 3. ඉන්දුනිසියාව | 3. හොන්ඩූරාස් | |||
| 3. පිලිපීනය | 3. ඕමානය | 4. වියට්නාමය | 4. වියට්නාමය | |||
| 5. ඇ. එක්සත් ජනපදය | 5. පකිස්ථානය | 5. ඉතියෝපියාව | 5. නිකරගුවාව | |||
| 6. මැඩගස්කරය | 6. බොලිවියාව | 6. ඉන්දියාව | 6. හයිටි රාජ්‍යයය | |||
| 7. මොසැම්බික් රාජ්‍යය | 7. පැපුවා නිව්ගිනි | 7. චීනය | 7. ඉන්දියාව | |||
| 8. චීනය | 8. වියට්නාමය | 8. ඇෆ්ගනිස්ථානය | 8. ඩොමීනිකන් ජනරජය | |||
| 9. බෙලිශ් | 9. ග්‍රීසිය | 9. ඇ. එක්සත් ජනපදය | 9. පිලිපීනය | |||
| 10. ඉන්දියාව | 10. ටජිකිස්ථානය | 10. රුමේනියාව | 10. චිනය | |||
| 25. ශ්‍රී ලංකාව | 45. ශ්‍රී ලංකාව | 47. ශ්‍රී ලංකාව | 67. ශ්‍රී ලංකාව | |||
මෙම ‘දේශගුණික අවදානම් දර්ශකය’ ගණනය කිරීම සඳහා සාධක 4 ක් සැළකිලල්ට ගැනේ. ඒවා නම්: අදාළ කාල පරිච්ඡේදය තුළ සිදුවූ දේශගුණික විපත්වලින්,
- මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව
- පුද්ගලයින් 100,000 කට මියගිය පුද්ගල ප්‍රතිශතය/අනුපාතය
- සිදුවූ ආර්ථික හානිය ක්‍රය ශක්ති සාම්‍යය (purchasing power parity-PPP) ඇ. ඩොලර් මිලියනවලින්
- සිදුවූ ආර්ථික හානිය දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස
වාර්තාව නිකුත් කරන වර්ෂයට වර්‍ෂ 2 කට පෙර දත්තයන් මෙම දර්ශකය පිළියෙල කිරීමට භාවිතාකර ගනී.
මෙහිදී දේශගුණික විපත් ලෙස හැඳින්වෙන්නේ නියඟය, ගංවතුර, සුළි සුලං, කුණාටු, තාප තරංග (heat waves) ආදී දේවල්ය. ආර්ථික හානි යනුවෙන් සැළකෙන්නේ කෘෂි බෝග, ව්‍යාපාර, නිවාස දේපළ, මංමාවත් හා වෙනත් යටිතල ව්‍යුහයන්ට විනාශවීමෙන් සිදුවන පාඩුව, හා එම ව්‍යසනයන් නිසා ඇතිවන කොලරාව වැනි ලෙඩ රෝග බෝවීම නිසා දරන්නට සිදුවන පාඩුය.
එහෙත් දේශගුණික විපත් නිසා මුහුණදීමට සිදුවන ආහාර හිඟයන්, සාගිනි තත්වය උත්සන්නවීම, අධ්‍යාපනික හා වෙනත් සමාජ ආර්ථික සේවා අඩපනවිම වැනි සාධකයන් මෙම ‘දේශගුණික අවදානම් දර්ශකය’ නිර්මාණය කිරීමේදී සැළකිල්ලට නොගැනීම මෙම ක්‍රමවේදයේ අඩුපාඩුවක් ලෙස පෙනේ.
1998 – 2008 දශකයේ සිදුවූ සියළු දේශගුණික විපත් අනුව ‘දේශගුණික අවදානම් දර්ශකය’පිළියෙල කොට ශ්‍රේණිගත කිරිමේදී දේශගුණික වශයෙන්ම වඩාත්ම අවදානම් රට ලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ බංග්ලාදේශය වන අතර, වඩාත්ම අවදානම්ම රටවල් 10 අතරින් 6 ක්ම ආසියානු රටවල්වීම විශේෂත්වයකි.
මූලාශ්‍රය: http://www.germanwatch.org/klima/cri.htm
http://www.germanwatch.org/klima/cri2010map-highres.jpg
දේශගුණික විපර්යාස නිසා විශාල අවදානමකට ලක්වන ධීවර කර්මාන්තය
Fisheries facing multiple risks from climate change
(2009 දෙසැම්බර් 20)
එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් මෑතකදී කරන ලද අධ්‍යයනයක් මගින් දැනට සිදුවෙමින් තිබෙන හා අනාගතයේදී වඩා තීව්‍ර වියහැකි දේශගුණික විපර්යාස නිසා ධීවර කර්මාන්තය හා මත්ස්‍ය නිෂ්පාදනය ඉතා අවදානම් තත්වයකට පත්වනු ඇතැයි පෙන්වා දෙයි. මෙම අවදානම ධීවර කර්මාන්තය මත යැපෙන පුද්ගලයින් මිලියන 520 කට (ලෝක ජනගහණයෙන් 8% කට ආසන්න) ඍජුව බලපාන අතර ඒ අතරිනුත් මිලියන 400 ක් පමණ දිළිඳු පුද්ගලයින්වීම එම අවදානමෙන් වන හානිය වඩාත් උත්සන්න කිරීමට හේතුවනු ඇත.
'Climate change implications for fisheries and aquaculture' නමැති මෙම අධ්‍යයන වාර්තාවට අනුව සාගර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත අංශ දෙකම දේශගුණික විපර්යාස වල බලපෑමට ලක්වන අතර මෙයින් වඩාත් විපතට පත්විය හැක්කේ තම රටවල්වල ප්‍රෝටින අවශ්‍යතාවයන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සඳහා මත්ස්‍ය නිෂ්පාදන මත යැපෙන දිළිඳු හා සංවර්ධනයවන දූපත් රාජ්‍යයන්ය (developing small island states). හැකි ප්‍රමානයට වඩා මසුන් ඇල්ලීම (over fishing), පරිසර හානිය (ecological degradation) හා දුර්වල ධීවර කළමනාකරන විධි (weak fisheries management) නිසා දැනටමත් තර්ජනයට ලක්වි තිබෙන මත්ස්‍ය කර්මාන්තය දේශගුණික විපර්යාස නිසා පහසුවෙන්ම හානියට පත්විය හැකි බව මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.
මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා ගංගා හා කලපුවල ලවනතාවය වැඩිවීම එම පරිසරවල ස්වාභාවික මත්ස්‍ය ගහණයන්ට පමණක් නොව මත්ස්‍ය හා ඉස්සන් වගා ගොවිපළ කෙරෙහිද බලපානු ඇත. මිරිදිය මත්ස්‍ය වගාව මෙන්ම වැව්, ගංගා හා වෙනත් මිරිදිය ජලාශවල ක්‍රියාත්මක ලෝක මිරිදිය කර්මාන්තයෙන් 90% ක්ම ඇත්තේ ආසියා හා අප්‍රිකානු කලාප දෙකෙහි නිසා දේශගුණික විපර්යාස නිසා මත්ස්‍ය කර්මාන්තයට සිදුවන බලපෑම වඩාත් එල්ලවිය හැක්කේ මෙම කලාප දෙකටය. මෙයින් සිදුවන හානිය වඩා උග්‍රවන්නේ ලෝක දිළිඳු ජනගහණයෙන් වැඩිම ප්‍රමාණයක් මෙම කලාප දෙකෙහි සිටින නිසාය.
මත්ස්‍යයින් චලතාපී - cold blooded (පරිසර උෂ්ණත්වය සමග ශරීර උෂ්ණත්වය වෙනස්වන) බැවින් වෙනස්වන පරිසර උෂ්ණත්වයට ඉතා සංවේදීය. ශරීරය පටකතුළ ඔක්සිජන් ප්‍රවාහනය උෂ්ණත්වය වැඩිවනවිට අඩුවන නිසා උෂ්ණත්වය අඩු කලාපවලට මසුන් සංක්‍රමණයවීම නිසා මසුන්ගේ ව්‍යාප්තිය ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් සමග වෙනස්විමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. එපමණක්ද නොව මසුන්ගේ ප්‍රජනන චක්‍රයද - ලිංගික පරිණතවීමේ කාලය, බිත්තර දමන කාලය හා බිත්තරවල ප්‍රමාණය පවා උෂ්ණත්වය වැඩිවීමත් සමග වෙනස්විය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.
FAO සංවිධානයේ මෙම වාර්තාවට අනුව දේශගුණික විපර්යාස මත්ස්‍ය සම්පත හා ධීවර කර්මාන්තය කෙරෙහි ඇතිකරන බලපෑමෙහි විපාක අපට දැනෙන්නට බොහෝ කලක් ගතවිය හැක. උදාහරණයක් ලෙස වර්‍ෂ 2100 වනවිට අප්‍රිකානු කලාපයේ මිරිදිය ජලජ පද්ධතියෙන් 25% ක්ම හානිදායක තත්වයට පත්වනු ඇත. එහෙත් ඒ අවස්ථාව වනවිට සිදුව ඇති හානිය නැවත ආපස්සට හැරවීම ඉතාමත් අපහසු කාර්යයක් වනු ඇතැයි මෙම වාර්තාව ඉඟිකරයි.
මූලාශ්‍රය:
http://www.fao.org/news/story/en/item/38060/icode/
අවසාන මොහොතේ එකඟවූ කෝපන්හේගන් ගිවිසුම
The ‘Copenhagen Accord’ agreed at the last moment
(2009 දෙසැම්බර් 19)
විවිධ සාධක මත විවිධ රටවල් අතර දින 12 ක් පමණ තිස්සේ ඉස්මතුවෙමින් තිබූ විරෝධතා හා ප්‍රතිවිරෝධතා නිසා අඩාල වෙමින් තිබූ කෝපන්හේගන් දේශගුණික සමුළුව නැවත සාර්ථක මාවතකට ගෙන ඒමට ඇමෙරිකාව, චීනය, බ්‍රසිලය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් අතර එහි අවසාන දිනයේදී ඇතිවූ එකඟතාවයක් මඟින් හැකිවූ අතර එම එකඟතාවයම ‘කෝපන්හේගන් ගිවිසුම’ (Copenhagen Accord) ලෙසින් පිළිගැනීමට සමුළුවට සහභාගිවූ සියළුම රටවල් එකඟවිය.
මෙම කෝපන්හේගන් ගිවිසුමේ මූලික අන්තර්ගතයන් වන්නේ:
- ගෝලීය උෂ්ණත්වය පූර්ව-කාර්මිකරණ අවධියේ තිබූ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් නොඉක්මවීමට කටයුතු කිරීමට සියළුම රටවල් එකඟවීමටත්, 2015 දී මෙම උෂ්ණත්ව සීමාව පිළිබඳ නැවත විමර්ශනයකර අවශ්‍යවුවහොත් එම සීමාව සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ට අඩුකිරීම
- සංවර්ධිත රටවල්වලින් නිකුත්කරන හරිතාගාර වායු ප්‍රමාණය 2050 වනවිට 80% කින් අඩුකිරීම
- වර්ෂයකට ඩොලර් බිලියන 10 බැගින් 2010 සිට 2012 දක්වා (වර්‍ෂ 3 ක්) දිළිඳු හා සංවර්ධනයවන රටවල් සඳහා දේශගුණික ආධාර වශයෙන් ලබාදීමටත්, 2020 වනවිට එම ප්‍රමාණය ඩොලර් බිලියන 100 ක් දක්වා වැඩිකිරීම
- දේශගුණික ආධාර ලබාගන්නා දිළිඳු හා සංවර්ධනයවන රටවල් හරිතාගාර වායු අඩුකිරීම එකඟවන පරිදි කරන්නේද යන්න අන්තර්ජාතික ක්‍රමවේදයක් මගින් විපරම් කිරීම
- 2010 තුළදී හරිතාගාර වායු නික්මවිම අඩුකිරීම සඳහා එක් එක් රටවල් තම රටවල් ගන්නා පියවරයන් ලිඛිතව ඉදිරිපත් කිරීම හා ගිවිසුමට අත්සන් කිරීම
- මෙම පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් 2010 වර්ෂයතුළ පැවැත්වෙන අතර 2010 නොවැම්බර් මස මෙක්සිකෝවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී මෙම ගිවිසුමට නෛතික හා ක්‍රියාත්මක (legal and operational)පදනමක් ලබාදිම
මෙම ගිවිසුම සම්මත කරගැනිමට විශාල ලෙසින් බාධාකළ බොලිවියා, කියුබා, සුඩාන හා වෙනිසියුලියානු නායකයින්ගේ විවේචනයවූයේ 2020 වනවිට පොහොසත් සංවර්ධිත රටවල් කපාහැරියුතු හරිතාගාර වායු ප්‍රමාණය නිශ්චිතව මෙම ගිවිසුමෙහි නොදැක්වීමත් හා මෙම ගිවිසුමෙහි එකඟතාවයන් සඳහා නෛතික බැදීමක් නොමැතිවීමත් නිසා මෙය කිසිදු අර්ථයක් නොමැති සංවර්ධිත රටවල්වලට තම වගකීම් පහසුවෙන් මඟහැරියහැකි ගිවිසුමක්ය යන්නයි.
ඉහත දැක්වූ හේතු නිසාවෙන්ම බොහෝ රාජ්‍ය නායකයින්ද හා විශේෂයෙන්ම යුරෝපා නායකයින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් නොදැක්වූ නමුත් ඔවුන්ගේ මතයවූයේ කිසිදු ගිවිසුමකට නොඑළඹෙනවාට වඩා යම් ගිවිසුමකට එළඹීම හොඳ බවයි. එම නිසා මෙය ආරම්භයක් ලෙස සළකා මෙතැනින් ඉදිරියට මෙම ගිවිසුම යහපත් එකක් බවට පත්කීරිමට උනන්දුවිය යුතුයැයි යන්න බොහෝ රාජ්‍ය නායකයින්ගේ අදහසවිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට අනුව මෙම ගිවිසුම සඳහා දැනට ලැබී ඇත්තේ දේශපාලනික එකඟතාවයක් (political consensus) පමණක්වන අතර 2010 වර්ෂය තුළදී එය යතාර්ථවාදී (real), ක්‍රියාත්මකවන (operational) හා විපරම් (monitor) කළහැකි ගිවිසුමක් බවට පත්කළ යුතුය. 2010 වර්ෂයේදී කෙරෙන එම ක්‍රියාවලියතුලින් මෙම ගිවිසුම නෛතික බැදීම් සහිතව අන්තර්ජාතික නීතියට අනුකුලකළ යුතුය.
මූලාශ්‍රය:
http://en.cop15.dk/news/view+news?newsid=3073
http://in.reuters.com/article/worldNews/idINIndia-44852720091218
විරෝධතා මධ්‍යයේ නිමවෙමින් තිබෙන කොපන්හේගන් සමුළුව
Growing disagreements in Copenhagen talks
(2009 දෙසැම්බර් 17)
හරිතාගාරවායු කපා හැරීම සඳහා චිනය විසින් ස්වේච්ඡාවෙන්ම ගෙන ඇති තීරණ හා ඉලක්ක මොනවාදැයි තවමත් විවෘතව ප්‍රකාශ කර නොමැති අතර කෝපන්හේගන් සමුළුවේ තීරණවලට එළඹිමට පෙර එම ඉලක්ක මොනවාද හා ඒවා ලඟාකරගැනීම විමර්ශනය කලයුතු ආකාරය පිළිබඳව දැනුවත්විය යුතුයැයි ඇමෙරිකාව පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන චීන නියෝජිතයා පවසා ඇත්තේ කාබන් නිකුත් කිරීම අඩුකිරීම පිළිබදව සාකච්ඡා කිරීමටත් ඒ සඳහා සහයෝගය දැක්වීමටත් තම රට සූදානම් නමුත් එසේ කරන්නේ සඳහා කිසිදු රටක බලකිරීමකට යටත්ව හෝ තම රටේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට ඉඩදී හෝ නොවන බවයි.
මෙම සමුළුවට සහභාගිවන ඉන්දියානු පරිසර අමාත්‍යවරයාද පවසන්නේ 2020 වන විට 2005 තිබූ හරිතාගාර පිටකිරීමේ ප්‍රමාණයෙන් 20% - 25% ක් පමණ ස්වේච්ඡාවෙන් අඩුකිරීමට තම රට සූදානම් බවත් එහෙත් එවැනි ස්වේච්ඡාවෙන් ගන්නා පියවරවල් අන්තරජාතික විමර්ශනයකට භාජනය කිරීමට ඉඩදීමට සුදානම් නැති බවයි. විදේශ ආධාර මත හරිතාගාර වායු කපා හරින්නේ නම් පමණක් අන්තර්ජාතික විමර්ශනයකට ඉඩලබාදිය හැකි බව ඉන්දියාවේ ස්ථාවරයවි ඇත.
හරිතාගාර වායු කපා හැරීම සම්බන්ධයෙන් එක් රටවල් එකඟවන ඉලක්කය ස්වේච්ඡාවෙන් කරනු ලබන්නක්ද නොඑසේ නම් ඒ සඳහා නෛතික බැඳීමකට (legally binding) එකඟවන්නේද යන ප්‍රශ්නයත් මේවනවිට ඉස්මතුවි ඇති අතර ඒ සඳහා නෛතික බැඳීමකට එළඹීමට ඇමෙරිකාව, ඉන්දියාව හා චීනය යන රටවල් එතරම් කැමැත්තක් නැති බව දැනටමත් ඉඟිකර ඇත.
කෝපන්හේගන් සමුළුවේ ඉතා තියුණු ලෙස විවාදයට ලක්වී ඇති හා සමුළුවේ ඉදිරි තීරණ හා එකඟතාවලට බලපා ඇති ප්‍රධාන සාධක 3 වි ඇත්තේ:
- ගෝලිය උෂ්ණත්වය අඩු කිරිමට තුඩු දෙන හරිතාගාර වායු කපා හැරීමේ සමස්ථ ගෝලිය ඉලක්කය සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් අතර බෙදා ගන්නේ කෙසේද යන්නත්(how to share global reduction of carbon emissions among countries),
- හරිතාගාර වායු පිට කිරීම අඩු කිරීමේ ඉලක්ක විමර්ශනය කරන්නේ (monitoring and verification of agreed emissions reduction targets) ස්වේච්ඡාවෙන්ද එසේ නොමැතිනම් අන්තර්ජාතික ක්‍රමවේදයක් මගින්ද යන්නත් හා
- හරිතාගාර වායු පිටකිරීම අඩුකිරීමට (mitigation of carbon emissions) දේශගුණික විපර්යාසයන්ට අනුගතවීමට (adaptation) දිළිඳු හා සංවර්ධනයවන රටවලට අවශ්‍ය දේශගුණික ආධාර (climate aid) ලබා දෙන්නේ කෙසේද යන්නත් පිළිබඳවයි.
සංවර්ධනයවන රටවල් සඳහා දේශගුණික ආධාර (climate aid) වශයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 3.6 ක් ලබාදීමට යුරෝපා හවුල කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් ලබාදීමට සූදානම් බව ජපානයද මෙම සමුළුවේදී ප්‍රකාශ කිරීම සුභදායී ප්‍රවෘත්තියක් ලෙස සැළකිය හැක.
හරිතාගාර වායු පිටකිරීම අඩුකිරීමට දී එක් එක් රටවල් දී ඉලක්ක පාරිසරික විනාශයක් වැළැක්විමට ප්‍රමාණවත් නොවේ. Emissions pledges not adequate to prevent an environmental catastrophe
(2009 දෙසැම්බර් 17)
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පිළියෙල කරන ලද වාර්තාවකට (තවමත් ප්‍රසිද්ධ නොකරනලද) අනුව වායු ගෝලයට කාබන් පිටකිරීම කපාහැරීම සඳහා නොයෙකුත් රටවල් දැනටමත් ප්‍රකාශකර හා පොරොන්දුවී ඇති ඉලක්ක සියල්ල එකතුකළද එම ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය පූර්ව-කාර්මිකරණ අවධියට (pre-industrial times) වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් ඉක්මවා යෑම වැළැක්වීමට කපා හැරිය යුතු ප්‍රමාණයට වඩා (කාබන්) ටොන් මිලියන 4200 ක් පමණ අඩුය.
එවැනි තත්වයක් තුළ මෙම ශතවර්ෂය තුලදී ගෝලිය උෂ්ණත්වය පූර්ව-කාර්මිකරණ අවධියට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 3 කින් ඉහළ යෑමට ඉඩඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. මේ හේතුවෙන් කුඩා දූපත් රාජ්‍යයන් හා ටෝකියෝ, නිව්යෝක් හා ලන්ඩන් වැනි අධික ජනගහණයෙන් යුත් වෙරළාසන්න නගර මුහුදු ජලයට යටවීමත්, දකුනු ඇමෙරිකාවේ ඇමෝසාන් වනාන්තරය හා නිවර්තන කලාපීය (tropical) කොරල්පර විනාශවිමත් වැනි අතිශය විනාශකාරී ප්‍රථිපල ඇතිවිය හැකිබවට ‘ග්‍රීන්පීස් පරිසර ක්‍රියාකාරීන්’ (Greenpeace activists) දැනටමත් අනතුරු ඇඟවීම් කර තිබේ.
මූලාශ්‍රය:
http://en.cop15.dk/news/view+news?newsid=3044
හරිතාගාර වායු කපාහැරීමේ යෝජනා අන්තර්ගත කොපන්හේගන් සමුළුවේ පළමු කෙටුම්පත ඉදිරිපත්වේ
The first official draft on reducing greenhouse gases is submitted at Copenhagen summit
(2009 දෙසැම්බර් 11)
2012 න් මතුවට වායු ගෝලයට පිට කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය කපා හැරීමේ ඉලක්ක පිළිබඳ එකඟතා ගිවිසුම් ඇතිකර ගැනීමේ මූලික අරමුණින් මේ දිනවල පැවැත්වෙන කෝපන්හේගන් සමුළුවේ පස්වන දිනයේදී (දෙසැ. 11) ඒ සඳහා පාදකවිය හැකි ප්‍රථම කෙටුම්පත ඉදිරිපත් කෙරින. එම කෙටුම්පත මගින් සමස්ථයක් ලෙස ලෝකයේ සියළුම රටවල් 2050 වනවිට 1990 පිටකල ප්‍රමාණයෙන් අඩක් දක්වා හරිතාගාර වායුපිට කිරීම අඩුකළ යුතුයැයි යෝජනා කරන අතර එම ප්‍රමාණය 80% - 95% කින් කපාහැරීම පිළිබඳවද සළකා බැලිය යුතුයැයි යන විකල්ප යෝජනාවක්ද කර සිටී. එහෙත් මෙම සංඛ්‍යා එම කෙටුම් පතේ වරහන් තුළ දැක්වීමෙන් අදහස්වන්නේ එසේ යෝජිත ඉලක්කයන් පිළිබඳ තවමත් පැහිදිලි එකඟතාවයක් නොමැති බවයි.
මීට අමතරව 2020 වන විට සංවර්ධිත රටවල් පිටකරන හරිතාගාර වායු ප්‍රමාණය 75% කින් කපාහැරිය යුතුයැයි ද මෙම කෙටුම් පත මගින් යෝජනා කරන අතර සංවර්ධනයවන රටවල් සඳහා නිශ්චිත ඉලක්කයක් යෝජනා නොකර එම රටවල් පිටකරන හරිතාගාර වායු ප්‍රමාණය සැළකියයුතු ප්‍රමාණයකින් අඩුකල යුතුයැයි සඳහන් කර ඇත.
එම කෙටුම්පතින් කෙරෙන තවත් වැදගත් යෝජනාවක් වන්නේ ගෝලීය උණුසුම වැඩිවීම පූර්ව- කාර්මිකරණ අවදියට (pre-industrial time) වඩා සෙල්සියස් අංශක 1.5 නොඉක්මවීම ඉලක්කයක් ලෙස තබාගතයුතු බවයි. විද්‍යාත්මක කරුනු මත පදනම්ව මෑතභාගයෙදී බෙහෝවිට කතා බහට ලක්වූ ඉලක්කයවුයේ ගෝලීය උණුසුම වැඩිවීම සෙල්සියස් අංශක 2 ක් ඉක්මවීම වැළැක්විය යුතු බවයි.
ගෝලීය උණුසුම වැඩිවීම නිසා මුහුද ජල මට්ටම ඉහළ යෑමෙන් වැඩිපුරම තර්ජනයක් එල්ලවන්නේ කුඩා දූපත් රාජ්‍යයන්ට නිසා උණුසුම වැඩිවීමේ සීමාව සෙල්සියස් අංශක 1.5 ට තබා ගතයුතුයැයි සාමාජික රටවල් 43 කින් සමන්විත කුඩා දූපත් රාජ්‍ය සන්ධානය (43-member Alliance of Small Island States -AOSIS) බලකරන අතර රටවල් 100 ක් පමණ එම යෝජනාවට අත්සන් තබා ඇති බවද වාර්තාවේ.
මෙම කෙටුම්පත පිළිබඳව අදහස් දක්වන සමහර රටවල නියෝජිතයින් පවසා සිටින්නේ චීනය හා ඉන්දියාව වැනි අධික ලෙස හරිතාගාර වායු පිටකරන සීඝ්‍රයෙන් සංවර්ධනයවන රටවල් සඳහා වායු පිටකිරීම කපාහැරීමේ ඉලක්ක මෙම කෙටුම්පතෙහි සඳහන් නොවීමත් හා මෙම ඉලක්ක සම්බන්ධයෙන් නෛතික බලකීරීමක් (විශේෂයෙන්ම ඇමෙරිකාව වැනි රටවල් සඳහා) පිළිබඳව සටහන් නොවීමත් නිසා මෙවැනි ගිවිසුමක් අත්සන් කළද එයින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබෙන බවයි.
මේ සම්බන්ධයෙන් මෙම සමුළුවේදී තර්ජනීය ප්‍රකාශයක් කළ ජපාන පරිසර අමාත්‍යවරයා කියා සිටියේ හරිතාගාර වායු පිටකිරීම කපා හැරීමේ ඉලක්ක ඇමෙරිකාවට හා චීනයට ලබා නොදෙමින් දැනට ක්‍රියාත්මකවන කියෝතෝ ප්‍රඥප්තිය ඉදිරියට ගෙනයෑමට පියවරගතහොත් ජපානය මෙම ගිවිසුමට අත්සන් නොකරන බවයි.
මූලාශ්‍රය:
http://en.cop15.dk/news/view+news?newsid=2938
http://en.cop15.dk/news/view+news?newsid=2920
දිළිඳු රටවල් සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3.6 ක දේශගුණික ආධාර ලබාදීමට යුරෝපා හවුල සූදානම්
EU agrees to provide 3.6 billion annually to poor countries to prevent global warming
(2009 දෙසැම්බර් 11)
ඩෙන්මාරකයේ කෝපන්හේගන් නගරයේ දැනට පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය සමුළුවතුලින් ඉස්මතුවූ ප්‍රථම ශුභවාදී ආරංචිය වන්නේ ඉදිරි වර්‍ෂ 3 තුලදී (2012 වනතෙක්) වාර්ෂිකව ඩොලර් බිලියන 3.6 බැගින් දේශගුණික ආධාර (climate aid) දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට ලබාදීමට යුරෝපා හවුල එකඟවීමයි. මෙම ප්‍රමානයෙන් 60% ක්ම එක්සත් රාජධානිය, ප්‍රංශය හා ජර්මනිය මගින් ලබාදිමට අපේක්ෂා කරයි.
මීට අමතරව 2020 වන විට යුරෝපා හවුල සමස්ථයක් ලෙස තම රටවල් 1990 නිකුත්කළ හරිතාගාර වායු ප්‍රමානයෙන් 30% ක් 2020 වන විට කපාහැරීමටද එකඟවී ඇත. සංවර්ධිත රටවලින් නිකුත් කෙරෙන එම වායු ප්‍රමාණය 2020 වන විට 40% කින් කපාහැරිය යුතුයැයි චීනය ඇතුළු සංවර්ධනයවන රටවල් කිහිපයක් දැනටමත් යෝජනා කර ඇති අතර 30% ක් කපාහැරීමට එකඟවීම ශුභවාදී ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය.
මූලාශ්‍රය:
http://en.cop15.dk/news/view+news?newsid=2930
සංවර්ධිත රටවල්වලින් වායු ගෝලයට කාබන් පිටකිරිම 40% කින් කපාදැමිය යුතුයැයි සංවර්ධනයවන රටවල් බලකර සිටී.
Developing countries press rich countries to reduce carbon emissions by 40%
(2009 දෙසැම්බර් 10)
2020 වනවිට සංවර්ධිත රටවලින් පිට කෙරෙන හරිතාගාර වායු පුමාණය 1990 තිබූ ප්‍රමාණයට වඩා 40% කින් අඩුකළයුතු බවට හා එම අඩුකිරීම සඳහා නෛතික එකඟතාවයක් කියෝටෝ ප්‍රඥප්තිය තුලම ලබාගතයුතුයැයි බලකෙරෙන යෝජනාවක් චීනය මූලික සීඝ්‍රයෙන් සංවර්ධනයවන රටවල්වලින් කෝපන්හේගන් සමුළුවට ඉදිරිපත්වී තිබේ. දැනට ක්‍රියාත්මකවන කියෝටෝ ප්‍රඥප්තියට අනුව 2012 වනවිට සංවර්ධිත රටවල් කපාහැරිය යුත්තේ 1990 පිටකල හරිතාගාර වායු ප්‍රමාණයෙන් 5% ක් පමණි.
සංවර්ධිත රටවල් දැනට එකඟවී ඇති හරිතාගාර වායු කපාහැරීමේ ප්‍රමාණය 8 ගුණයකින් වැඩිකර ඒ සඳහා නෛතික එකඟතාවයක් පවා ලබා ගතයුතුයැයි කෙරෙන බලපෑම්වලට හේතුව සංවර්ධනයවන රටවලින් නිකුත් කෙරෙන කාබන් ප්‍රමාණය කපාහැරීමේ සීමාව සංවර්ධිත රටවලට පැනවෙන සීමාවට වඩා දෙගුණයකින් පමණ වැඩිකිරීමට ඩෙන්මාර්කය ඇතුළු සංවර්ධිත රටවල් කිහිපයක් කර ඇති රහසිගත සැලසුම දින කිහිපයකට පෙර හෙළිවීමෙන් පසු ඊට විරුද්ධ ප්‍රතිචාරයක් ලෙසයැයි සිතිය හැක.
ගෝලීය උෂ්ණත්වය වැඩිවීම වැළැක්වීම සඳහා හරිතාගාර වායු නිකුත්වීම කපාහැරිය යුතුවුවත් සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් අතර ඒ සඳහා ඇති නොකැමැත්ත හා එය මඟහැරීමට ඇති තරඟකාරිත්වය මෙවැනි ක්‍රියාකාරකම්වලින් පැහැදිළිවේ.
මූලාශ්‍රය:
http://en.cop15.dk/news/view+news?newsid=2926
සංවර්ධන ආධාර දේශගුණික ආධාර බවට හැරවිමේ සංවර්ධිත රටවල උත්සාහයට දුප්පත් රටවල විරෝධය
Poor nations protest the plans of rich nations to turn development aid to climate aid
(2009 දෙසැම්බර් 10)
එක්සත් රාජධානිය විසින් දිළිඳු හා සංවර්ධනයවන රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය හා මූලික යටිතල පහසුකම් වැනි දිළිඳුකම තුරන් කිරීමේ වැඩ සටහන් සඳහා ආධාර වශයෙන් ලබාදීමට වෙන් කොට ඇති අරමුදල්වලින් කොටසක් දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සඳහා සංවර්ධනයවන රටවලට ලබාදීමේ සැලසුමක් කෝපන්හේගන් සමුළුවට ඉදිරිපත් කිරීමත් සමගම සංවර්ධනයවන රටවල්වල නියෝජිතයින්ගෙන් ඒ සම්බන්ධව දැඩි විරෝධයක් මතුවිය.
සංවර්ධනයවන රටවල් අපේක්ෂාව හා ඉල්ලීම වන්නේ දේශගුණික විපර්යාස පිටු දැකිම සඳහා ලබාදෙන ආධාර දැනටමත් සංවර්ධනයවන රටවලට ලබාදෙන ආධාරවලට අමතර වෙන්කෙරෙන අරමුදල්විය යුතු බවයි. සංවර්ධනයවන රටවල්ට දැනටමත් ලබා දෙන වාර්ෂික මුළු ආධාර ප්‍රමාණයෙන් 0.7% කට ආසන්න ප්‍රමාණයක්වත් දේශගුණික ආධාර (climate funds) වශයෙන් ලබා දිය යුතුබවට දැනටමත් සංවර්ධනයවන රටවලින් යෝජනා ඉදිරිපත්වි තිබේ.
එක්සත් රාජධානිය පමණක් නොව සමස්ථ යුරෝපා හවුලෙහිම ස්ථාවරයවී ඇත්තේ ඇත්තේ සංවර්ධනයවන රටවල්වලට අවශ්‍ය දේශගුණික ආධාර (climate aid) දැනට ලබා දෙන සංවර්ධන ආධාරවලින්ම කොටසක් වියයුතු බවයි. එම ආධාර දැනට ලබා දෙන සංවර්ධන ආධාරවලට අතිරේකව (new and additional) ලබාදිය යුතුයැයි යන කොන්දේසියට යුරෝපා හවුල එකඟ නොවන බවක් පෙනෙන්ට තිබේ. එහෙත් කියෝතෝ ප්‍රඥප්තියට අනුව හා දේශගුණික විපර්යාස පිළිබඳව එක්සත් ජාතින්ගේ සම්මේලනයට (United Nations Framework Convention for Climate Change - UNFCC) අනුව දේශගුණික විපර්යාසවලට අනුගතවීමට හා හරිතාගාර වායු නික්මීම අඩු කිරීමට සංවර්ධනයවන රටවලට අවශ්‍ය වියදම් සංවර්ධිත රටවල් ලබාදිය යුතුය.
අන්තර්ජාතික රාජ්‍ය නොවන ඔක්ස්ෆැම් ආයතනයට අනුව සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි සංවර්ධන කටයුතු සඳහා සංවර්ධිත රටවල් වෙන්කර ඇති ආධාර දේශගුණික අරමුදල්වලට හැරවීම තුලින් දිළිඳු හා සංවර්ධනයවන රටවල ළමුන් මිලියන 75 ක පමණ අධ්‍යාපනය හා HIV / ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් මිලියන 8.6 කට පමණ ප්‍රතිකාර ලබාගැනීම කඩාකප්පල්වීමට තුඩුදිය හැකිය.
මූලාශ්‍රය:
http://www.timesonline.co.uk/tol/news/environment/article6951047.ece
කාබන් පිට කිරීම සම්බන්ධයෙන් සංවර්ධිත රටවල්වලට වඩා සංවර්ධනයවන රටවලට සීමා පැනවීමේ රහසිගත උත්සාහයක්
Secret attempt to bind developing countries more than rich countries to limit carbon emissions
(2009 දෙසැම්බර් 09)
කෝපන්හේගන් දේශගුණික සමුළුව අතරතුර එයට සහභාගිවු සමහර නියෝජිතයින් අතට පත්වූ ‘රහසිගත’ ලේඛණයක් නිසා සමුළුව තුල යම්කිසි අර්බුදකාරි තත්වයක් මතුවුන බව වාර්තාවෙයි. සමුළුව අවසානයේදී එයට සහාභාගීවන රටවල් විසින් අත්සන් කළයුතු එකඟතා ගිවිසුමේ අත්පිටපතක් යැයි සැළකෙන මෙම ලේඛණය එක්සත් රාජධානිය, ඇමෙරිකාව හා ඩෙන්මාර්කයේ අනුදැනුම ඇතිව පිළියෙලවූවක් බවට සැක කෙරෙන අතර මෙම ගිවිසුමට අනුව සංවර්ධිත රටවලට පැනවෙන ඒක පුද්ගල කාබන් පිටකිරීමේ සිමාව වර්‍ෂ 2050 වනවිට (permitted per capita emission levels of carbon) ටොන් 2.67 ක් වන අතර සංවර්ධනයවන රටවලට පැනවෙන එම සීමාව ටොන් 1.44 ක් වේ. මෙයින් අදහස් කරන්නේ 2050 වනවිට සංවර්ධිත රටවලට සංවර්ධනයවන රටවලට වඩා දෙගුණයක් කාබන් පිට කිරිමට හැකිවන බවයි.
දැනට ක්‍රියාත්මකවන කියෝතෝ ප්‍රඥප්තියට අනුව හරිතාගාර වායු පිට කිරීම මගින් ගෝලීය උෂ්ණත්වය වැඩිකිරීම සඳහා වැඩිපුරම වගකිව යුත්තේ සංවර්ධිත රටවල් නිසා එම වායු පිටකිරීම සිමා කිරීම සඳහා නීත්‍යානුකුලව බැඳිය යුත්තේ සංවර්ධිත රටවල් පමණක්ය. එම නිසා කිසිදු දැනුවත් කිරීමකින් හෝ සාකච්ඡාවකින් තොරව සංවර්ධනයවන රටවල්වලට සංවර්ධිත රටවල්වලට වඩා සීමා පැනවෙන අන්දමේ ගිවිසුමක් පිළියෙල කීරිමට පොහොසත් රටවල් කිහිපයක් ගත් මෙම උත්සාහය කියෝතෝ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරිමක් බව සංවර්ධනයවන රටවල නියෝජිතයිනගේ මතයවි ඇත.
එපමණක්ද නොව මෙම ගිවිසුම් අත්පිටපතට අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ඉදිරියේදී කෙරෙනු ලබන සාකච්ඡා, සැලසුම් කිරීම්, ගනුලබන තීරණ හා විශේෂයෙන්ම මූල්‍යකරණ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩා බලතල සංවර්ධිත පොහොසත් රටවලට හා එම රටවල්වල පාලනයේ පවත්නා ලෝක බැංකුවට පැවරෙනු ඇත.
සමුළුවට සහභාගිවූ රටවල් කිහිපයක පමණක් නියෝජිතයින් අතට මෙම ගිවිසුමේ අත්පිටපත පත්වීමත් සමගම සංවර්ධනයවන රටවලින් ඊට දැඩි විරෝධයක් මතුවී ඇති අතර යම් හෙයකින් මෙම ගිවිසුම ක්‍රියාත්මකවුවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අකර්මන්‍ය කිරීමේ පියවරක් ලෙස මෙම ප්‍රයත්නය සැළකිය හැකි බව එම රටවල්වල මතයවී තිබේ.
මූලාශ්‍රය:
http://www.guardian.co.uk/environment/2009/dec/08/copenhagen-climate-summit-disarray-danish-text
කෝපන්හේගන් සමුළුවට රාජ්‍ය නායකයින් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි
More than 100 Heads of States will attend Copenhagen 2009
(2009 දෙසැම්බර් 07)
ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා දේශගුණික විපර්යාස පිළිබඳ කෝපන්හේගන් සමුළුවට සහභාගිවනුයේ සමුළුවේ අවසාන දිනයවන දෙසැම්බර් 18 වැනිදා බව වාර්තාවේ. සමුළුවේ අවසාන දිනය වනවිට අනිකුත් බෙහෝ රාජ්‍ය නායකයින් පැමිණ සිටින නිසාත් හා දේශපාලන වශයෙන් එය සමුළුවේ වඩාත්ම තීරණනාත්මක දිනයවිය හැකි නිසාත් ඇමෙරිකානු ජනාධිපතිවරයා එදිනට සහභාගීවිමට තීරණයකර ඇත. එපමණක්ද නොව දේශගුණික විපර්යාස වළක්වා ගැනීමටත් (mitigate) ඒවාට අනුගතවිමටත් (adapt) සංවර්ධනයවන රටවලට වාර්ෂිකව අවශ්‍යවන ඇ. ඩොලර් බිලියන 10 ක පමණ ආධාර ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය, ජර්මානු හා ප්‍රංශ නායකයින් සමග සාකච්ඡාකොට ඇති බව මෙම වාර්තා පෙන්වාදේ.
මෙම සමුළුව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 192 ක් පමණ අතුරින් 110 ක රාජ්‍ය නායකයින් එයට සහාභාගීවන බවට දැනටමත් තහවුරු කර ඇතැයි සමාරම්භක උත්සවයේදී ඩෙන්මාර්ක අගමැතිවරයා පවසා ඇති අතර, ඒ මගින් දේශගුණික විපර්යාස පිටුදැකීම පිළිබඳව ලොවපුරා ඇති උනන්දුව කෙතරම්දැයි වටහාගැනීමට හැකිය.
රාජ්‍ය, රාජ්‍ය නොවන, මාධ්‍ය, පර්යේෂණ හා එක්සත් ජාතීන් ආදී විවිධ සංවිධාන නියෝජනය කරන පුද්ගලයින් 15,000 ක් පමණ සහභාගිවෙතැයි අපේක්ෂා කරන මෙම සමුළුව නිසා (ගුවන් ගමන් , ප්‍රවාහන කටයුතු, බලශක්ති භාවිතය හා අපද්‍රව්‍ය කළමනාකරනය වැනි කරුණු නිසා) වායුගෝලයට නිකුත්වන කාබන් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් නොයෙකුත් ක්‍රමවේද (බලශක්ති පිරිමසා ගැනීමේ හා ප්‍රතිජනන බලශක්ති - renewable energy ක්‍රම යොදා ගැනීමේ) අනුගමනය කිරීමට එහි සංවිධාකයින් පියවරගෙන ඇත. එසේවුවත් මෙම සමුළුව නිසා වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් ටොන් 40,500 ක් එකතුවනු ඇතැයි ගණන් බලා තිබේ.
මූලාශ්‍රය:
http://unfccc.int/meetings/cop_15/statements/items/5087.php
http://unfccc.int/files/press/application/pdf/fact_sheet_copenhagen_background_information.pdf
ඔරොත්තු නොදෙන සංවර්ධනය, දේශගුණික විපර්යාස හා කෝපන්හේගන් සමුළුව
Unsustainable development, climate changes and the Copenhagen summit
(2009 දෙසැම්බර් 06)
මානව වර්ගයාගේ පමණක් නොව සමස්ථ ජෛව ලෝකයේ හා මුළු මහත් පරිසර පද්ධතියේම අනාගතය තීරණය වෙතැයි බොහෝ විද්වතුන් විශ්වාස කරන දේශගුණික විපර්යාස සමුළුව (climate change summit) මෙම මස (දෙසැම්බර්) 7 සිට 18 දක්වා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවැත්විමට සූදානමෙන් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ‘කෝපන්හේගන් 2009’ යනුවෙන් හැඳින්වෙන මෙම සමුළුවේ මූලික අභිප්‍රාය වන්නේ අඩුම වශයෙන් ඉදිරි අවුරුදු 10 සඳහාවත් හරිතාගාර වායු නික්මවීම කපා හැරීමේ නිශ්චිත ඉලක්ක (specific emission reduction targets) සඳහා එක් එක් රටවලින් එකඟතාවන් ඇති කරගැනීමයි.
මෙම සමුළුව මෙතරම් වැදගත් වන්නේ හරිතාගාර වායු කපාහැරීම සඳහා 1997 දී යෝජනාවී 2005 දී ක්‍රියාත්මකවූ ‘කියෝතෝ සම්මුතිය’ (Kyoto protocol) අනුව සංවර්ධිත රටවල් එකඟවූ නිශ්චිත ඉලක්ක සහිත එකඟතා ගිවිසුම 2012 වනවිට අවසන්වීමයි. මෙම ගිවිසුමට අනුව ලෝකයේ මුළු හරිතාගාර වායු නික්මවීමෙන් 55% කට පමණ වගකිව යුතු සංවර්ධිත ගණයට වැටෙන රටවල් 40 ක් 2012 වනවිට තම රටවල් 1990 පිටකළ මුළු හරිතාගාර වායු ප්‍රමානයෙන් 5.2% ක් කපා හැරීමේ ඉලක්කයකට එකඟවිය. එහෙත් මෙම රටවල් අතරින් වැඩිම හරිතාගාර වායු දූෂක රටවන ඇමෙරිකාව මෙම ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම විශේෂ සිද්ධියක් ලෙස සැළකේ.
මෙම පසුබිමතුල, 2102 වීමට පෙර හරිතාගාර වායු කපා හැරීමේ නව ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය වන ඒ සඳහා පෙරමුණගත් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (United Nations Conference on Climate Change – UNFCC) 2007 දෙසැම්බර්වලදී ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වූ දේශගුණික සමුළුවේදී ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකසන ලදී. ‘Bali road map’ නම්වූ මෙම සැලසුමට අනුව ‘පෙරසූදානම් සමුළු’ 3 ක් - 2009 ජූනි 12 ජර්මනියේ බොන්, 2009 සැප්තැම්බර් 28 තායිලන්තයේ බැංකොක් හා 2009 නොවැ. 2-6 දක්වා ස්පාඤඤයේ බාසිලෝනා නගරවල පවත්වන ලදී.
එහෙත් අවාසනාවකට මෙම පූර්ව සමුළු තුලදී හරිතාගාර වායු කපා හැරීම පිළිබඳ නිශ්චිත ඉලක්ක ප්‍රකාශ කිරීමට කිසිදු රටක් සමත් නොවීය. සියළු රටවල් හා විශේෂයෙන්ම යුරෝපා හවුල සහ ඇමෙරිකාව හරිතාගාර වායු කපා හැරීම කලයුතු බවටත් තම රටවල් ඒ සඳහා කැපවී සිටින බවටත් වචනවලින් ප්‍රකාශකළද ඉලක්කම් හෝ ප්‍රතිශතයකින් හරිතාගාර වායු කපාහැරීමේ ඉලක්ක ඉදිරිපත් කිරීම ඉතා සුක්ෂම ලෙසින් මඟහරිනලදී.
එපමණක්ද නොව හරිතාගාර වායු පිටකිරීම සම්බන්ධයෙන් 1997 කියෝතෝ සම්මුතියේ සිට මේ දක්වා කාලය තුල සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් අතර ගොඩනැගෙමින් තිබෙන මතභේදයක් කොපන්හේගන් සමුළුවේදී එකඟතාවයකට එළඹීමට බාධාවක් වන බවක්ද පෙනෙන්නට තිබේ.
කාර්මීකරණයවූ සංවර්ධිත රටවල ක්‍රියාකාරකම් හරිතාගාර වායු නික්මවීම ඉහළයෑමට මූලිකව දායකවු බව තහවුරුවී හමාරය. එම නිසා කියෝතෝ සම්මුතියේදී එම වායු කපාහැරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූයේ සංවර්ධිත රටවල් දෙසටය. එහෙත් එවන් සංවර්ධිත රටවල් අනුකරනය කරමින් සීඝ්‍රයෙන් සංවර්ධනය හා කාර්මිකරණයවන ඉන්දියාව, චීනය, රුසියාව හා බ්‍රසීලය වැනි සංවර්ධනයවන රටවල්ද වර්තමානයේ විශාල ලෙසින් හරිතාගාර වායු දූෂකයන් බවට පත්ව ඇත. මෙම ලැයිස්තුවට ඉදිරියේදි සංවර්ධනයවන බොහෝ රටවල් එකතුවිය හැක. එම නිසා සංවර්ධිත රටවල් පවසන්නේ සංවර්ධනයවෙමින් පවතින හා විශේෂයෙන්ම සීඝ්‍රයෙන් සංවර්ධනය වන රටවල්ද හරිතාගාර වායු කපා හැරීමේ ඉලක්කයන්ට එකඟවිය යුතු බවයි.
එහෙත් සීඝ්‍රයෙන් සංවර්ධනයවන ඉන්දියාව, චීනය, රුසියාව හා බ්‍රසීලය වැනි රටවල්වල මතයවි ඇත්තේ හරිතාගාර වායු නික්මවීම අඩුකළහොත් තම රටවල්වල සංවර්ධනය අඩාල විය හැකි බවයි. මෙම පසුබිමතුල පසුගිය දේශගුණික සමුළුවලදී සංවර්ධනයවන රටවල්වලින් සංවර්ධිත රටවල්වලට කොන්දේසි දෙකක් ඉස්මතුවිය. වර්තමාන ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සඳහා වගකිව යුත්තේ සංවර්ධිත රටවල් නිසා එම රටවල් ඉදිරියේදී විශාල ප්‍රතිශතයකින් හරිතාගාර වායු නික්මවීම කපාහැරිය යුතුය යන්න පළමු කොන්දේසියවන අතර සංවර්ධනය පරදුවට තබමින් හරිතාගාර වායු නික්මවීම කපා හැරීමට නම් (හිලව්වක් / කප්පමක් ලෙසින්) සංවර්ධනයවන රටවල්වලට සංවර්ධිත රටවල් ලබා දෙන ආධාර ප්‍රමාණය වැඩිකළයුතුය යන්න දෙවැනි කොන්දේසියයි. චීනය කියා සිටින්නේ තම රට හරිතාගාර වායු නික්මවීම අඩු කිරීමට සූදානම් නමුත් ඒ කපාහැරීම සිදුවන්නේ රටේ දළ ජාතික ආදායමට (නොහොත් ආර්ථික වර්ධන වේගයට) සමානුපාතිකවය. දැනටමත් මෙවැනි කොන්දේසි විවිධාකාරයෙන් කෝපන්හේගන් සමුළු න්‍යාය පත්‍රයේ ඉස්මතුවෙමින් තිබේ.
දේශගුණික විපර්යාස සඳහාවූ එක්සත් ජාතීන්ගේ අන්තර්-රාජ්‍ය මණ්ඩලයට (UN- Inter-Governmental Panel on Climate Change –IPCC) අනුව දේශගුණික විපර්යාස නිසා අනාගතයේ ඇතිවිය හැකි මහා විපත්තිය (climate change catastrophe) වළක්වාගැනීමට නම් ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මිකරණ අවධියට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් ඉක්මවා වැඩිවීම නතරකළ යුතුය. එසේවීමට නම් වර්තමානයේ වායු ගෝලයට නිකුත්වන සමස්ථ හරිතාගාර වායු ප්‍රමාණය වර්‍ෂ 2050 වනවිට 50% - 85% ත් අතර ප්‍රමාණයකින් කපා හැරිය යුතුයැයි IPCC මණ්ඩලය අවධාරනය කරයි.
මෙම ඉලක්කයට යෑමට නම් වර්‍ෂ 2020 වන විට සමස්ථ හරිතාගාර වායු ප්‍රමාණය 25% - 40% ත් අතර ප්‍රමාණයකින් කපාහැරිය යුතුයැයි IPCC මණ්ඩලය නිර්දේශකරන අතර කෝපන්හේගන් සමුළුවේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ එම ඉලක්කයට යෑම සඳහා සියළු රටවල්වලින් නිශ්චිත හරිතාගාර වායු නික්මවීම අඩුකිරීමේ ඉලක්ක ප්‍රකාශ කරවා ගැනීමයි.
දැනට තිබෙන තොරතුරු අනුව පසුගිය ශතවර්‍ෂය තුල ගෝලීය උෂ්ණත්වය වැඩිවී තිබෙන්නේ සෙන්ට්ග්‍රේඩ් අංශක 0.74 කින් පමණය. එය කුඩා වැඩිවීමක්වූවත් පසුගිය දශක කිහිපයතුල මිහිතලය මත ඇතිවූ නියඟයන්, ගංවතුර, ග්ලැසියර දියවීම, කුණාටු හා සාගර මට්ටම වැඩිවීම වැනි විනාශකාරී දේශගුණික විපර්යාසවලට එම වැඩිවීම හේතුවූ බව විද්‍යාඥයින්ගේ මතයයි. විද්‍යාඥයින්ට අනුව හරිතාගාර වායු නික්මවීම අද පවතින තත්වයෙන්ම සිදුවුවහොත් මෙම ශත වර්‍ෂය අවසානවිට ( වර්‍ෂ 2100 දී) ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 4 ත් 6 ත් පමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇත. එසේවුවහොත් එහි ප්‍රථිඵලය අතිශය විනාශකාරීවනු ඇති බවට සැකයක් නැති අතර එම විනාශකාරී තත්වයට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ පළමු පියවර 2009 කෝපන්හේගන් සමුළුව විය හැකිය.
සංවර්ධනයවන රටවලට ලබාදීමට අපේක්ෂාකල දේශගුණික ආධාර අඩුකිරීමට යුරෝපා හවුලේ තීරණයක්.
EU to slash planned climate funding to developing nations
(2009 සැප්තැම්බර් 20)
2009 දෙසැම්බර් මස ඩෙන්මාර්කයේ කෝපන්හේගන්වල පැවැත්විමට නියමිත ජගත් දේශගුණික සමුළුවේදී සංවර්ධනයවන රටවල්වල් වායු ගෝලයට කාබන් නික්මවීම අඩුකිරීමට එකඟවුවහොත් දේශගුණික විපර්යාසවල බලපෑම අඩුකිරීමට (mitigation) හා එම විපර්යාසවලට අනුවර්තනයවිම (adaptation) සඳහා එම රටවල්වලට වලට අවශ්‍ය ආධාරවලින් 25 - 30% ක පමණ දායකත්වයක් ඉසීලිමට සූදානම් බව යුරෝපා හවුල (European Union- EU) මුලදී ප්‍රකාශකළ නමුත් එම තීරණය වෙනස්කරමින් එසේ ලබාදීමට මුලදී ප්‍රකාශකළ ආධාර ප්‍රමාණය සැළකියයුතු මට්ටමකින් කපාහැරීමට යුරෝපා හවුල තීරණය කළ බව වාර්තාවේ.
දැනට කර ඇති දළ ගණන් බැලීම්වලට අනුව 2012 න් පසුව දේශගුණික විපර්යාස අවම කිරීමට හා අනුවර්තනයවීමට සංවර්ධනයවන රටවල්ට වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 100 ත් 150 ත් අතර ආධාර ප්‍රමාණයක් අවශ්‍යනු ඇත. මෙම ගණන් බැලීම කළ දේශගුණික විපර්යාස සඳහාවූ එක්සත් ජාතීන්ගේ සමුළුව(United Nations Framework Convention on Climate Change -UNFCCC) එම ආධාරවලින් 20% - 30% අතර දායකත්වයක් යුරෝපා හවුලෙන් බලාපොරොත්තුවිය. මීට ප්‍රතිචාර දැක්වූ යුරෝපා හවුල වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 20 – 36 ක් ලබා දීමට (යුරෝ බිලියන 13-24) මුලදී කැමැත්ත පලකළ නමුත් එම ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 3- 23 ත් අතර ප්‍රමාණයකට අඩුකිරීමට සුදානම්වන බව වාර්තාවේ.
යුරෝපා හවුලට අනුව සංවර්ධනයවන රටවල්වල කාබන් නිකුත් කිරීම 80% කින්ම අඩුවන්නේ එම රටවල් ව්‍යාපාරරික කර්මාන්ත අංශයෙහි බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම (improving energy efficiency) මගින් නිසා එම වාසිය ඍජුවම ලැබෙන්නේ ව්‍යාපාරික අංශයට බවත් එම නිසා පෞද්ගලික ව්‍යාපාරික සමාගම් ඒ සඳහා දායකවියයුතු බවත් පවසන යුරෝපා හවුල බලශක්තිය භාවිතය කාර්යක්ෂම කිරීමට විදේශාධාර භාවිතා නොකළයුතුයැයි කියා සිටි.
එහෙත් සමහර පරිසරවේදීන් පෙන්වාදෙන්නේ කර්මාන්ත අංශයෙහි බලශක්ති කාර්යක්ෂම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කරනු ලබන ආයෝජනයන් පියවා ගැනීමට (to recover investment costs) බොහෝ කලක් ගතවන නිසා එවැනි ආයෝජනයන් සඳහාද සංවර්ධනයවන රටවලට ආධාර ලබාදිය යුතු බවයි.
යුරෝපා හවුල වැනි පොහොසත් සංවර්ධිත රටවල් ගනුලබන මෙවැනි දරදඬු තීරණ කාබන් පිටකිරීම සීමා කිරීම සඳහා දැනටමත් අදිමදි කරන ඉන්දියාව, බ්‍රසීලය හා චීනය වැනි වේගයෙන් සංවර්ධනයවන රටවලට (emerging economies) දෙසැම්බර් සමුළුවේදී එකඟත්වයකට එළඹීම ප්‍රතික්‍ෂේප කිරීමට නිදහසට කරුණක්වනු ඇත.
එක්සත් ජාතීන්ගේ දේශගගුණික සමුළු ආයතනයට (UNFCCC) අනුව 2020 වනවිට සංවර්ධිත රටවල් වායු ගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය 1990 තිබූ මට්ටමට වඩා 30% කින්ද සංවර්ධනයවන රටවල් 2020 වනවිට නිකුත් කරන කාබන් ප්‍රමාණය 1990 මට්ටමට වඩා 20% කින්ද අඩුකිරීම 2009 කෝපන්‍හේගන් ජගත් සමුළුවේ අවම අපේක්ෂාවයි. එම ආයතනයට අනුව සංවර්ධිත රටවල් පමණක් එකඟතාවයකට ඒමෙන් එතරම් ඵලක් නොවන්නේ දැනට කාබන් නිකුත්‍වීමේ වර්ධනය (growth of carbon emissions) සඳහා 90% ක්ම රඳා පවතින්නේ සංවර්ධනයවන රටවල් මත නිසාය.
එම නිසා කෙටි කාලීන ආර්ථික ලාභ අපේක්ෂාවෙන් දීර්ඝ කාලීනව භයානක විපාක ගෙනදියහැකි දේශගුණික විපර්යාස පාලනය කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග අවහිරවීමට තුඩුදියහැකි තීරණවලින් සංවර්ධිත රටවල් වැළකිය යුතු බවට දැනටමත් සමහර රටවලින් අනතුරු එල්ලවෙමින් තිබේ. කාබන් නිකුත් කිරීම අඩුකිරීම වෙනුවෙන් හා දේශගුණික විපර්යාසවලින් ආරක්ෂාවීමට තම රටවලට ලැබෙන ආධාර ප්‍රමාණය සැළකියයුතු ප්‍රමාණයක් නොවුනහොත් දෙසැම්බර් කෝපන්හේගන් සමුළුවේ තීරණ නිෂේධනය කිරීමට (veto) සූදානම් බවට සමහර අප්‍රිකානු රටවල් දැනටමත් ප්‍රකාශකොට ඇත.
මූලාශ්‍ර:
http://www.euractiv.com/en/climate-change/eu-cuts-funding-plan-post-kyoto-climate-deal/article-185253
http://www.euractiv.com/en/climate-change/eu-ready-shoulder-quarter-global-climate-funding/article-185198
දකුනු ආසියාවේ දරිද්‍රතාවය හා ආහාර අනාරක්ෂිත බව වැඩිවීමට දේශගුණික විපර්යාස හේතුවනු ඇත.
Climate changes enhance poverty and food insecurity in South Asia
(2009 සැප්තැම්බර් 10)
මේ වර්ෂයේ දෙසැම්බර් මස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වීමට නියමිත දේශගුණික සමුළුවේදී දකුණු ආසියානු කලාපයේ රටවල් සිටිය යුතු ස්ථාවරය පිළිබඳ එකඟතාවයටකට පැමිණීමේ අරමුණින් පසුගිය සතියේ නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවති සමුළුව අමතමින් ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank – ADB)) දකුනු ආසියානු අධ්‍යක්ෂකවරයා කියා සිටියේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සලකනවිට දකුණු ආසියාණු කලාපය ඉතාමත් අවදානම් තත්වයක ඇති බවය. ලෝකයේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් නියෝජනය කරමින් දකුණු ආසියාවේ සිටින බිලියන 1.6 ක් වැනි විශාල ජනගහණයකගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරාලීම දේශගුණික විපර්යාසවල බලපෑම හමුවේ අසීරු අභියෝගයක්වන බව ආසියාණු සංවර්ධන බැංකුව මගින් මෑතකදි කරන ලද අධ්‍යයනයකින් හෙළිවේ.
හිමාලයානු කඳු වැටියේ ග්ලැසියර දියවීමේ වර්තමාන ප්‍රවනතාවය ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම නිසා ඉදිරියේදී වැඩිවන ආකාරය පිළිබඳ කරණු ලැබූ ප්‍රක්ෂේපනයන්ට අනුව එම කඳුවැටිය අවට පිහිටා ඇති ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය හා බංග්ලා දේශය යන රටවල් 4 ට ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇති අතර එහි ප්‍රතිපලයන් ලෙස ඇතිවන ගංවතුර, නියඟයන් හා අනපේක්ෂිත වැසි නිසා එම රටවල කෘෂි අස්වැන්න සැළකිය යුතු අන්දමින් අවදානමට ලක්වනු ඇත. උෂ්ණත්වය ඉහළ යෑමේ සහ වාරි ජල හිඟයේ වර්තමාන දේශගුණික ප්‍රවනතාවයන් ඒ ලෙසින්ම පැවතුනහොත් 2050 වනවිට දකුණු ආසියාවේ බඩ ඉරිඟු අස්වැන්න 17% කින්ද, තිරිඟු අස්වැන්න 12% කින්ද, වී අස්වැන්න 10% කින්ද අඩුවනු ඇත. එහි ප්‍රථිපලයක් ලෙස ඇතිවන ආහාර හිඟය නිසා ආහාර මිල ඉහළ යනු ඇති අතර 2050 වනවිට ආසියාවේ දෛනික ඒක පුද්ගල කැලරි ලබාගැනීම වර්ෂ 2000 තිබූ මට්ටමට පහත වැටෙනු ඇතැයි මෙම ADB වාර්තාව පෙන්වා දෙයි.
ලෝකයේ අන්ත දුප්පත් පුද්ගල සංඛ්‍යාවෙන් අඩක්ම පමණ දකුණු ආසියාවේ ඇති අතර බෝග වගාව සඳහා වැසි ජලය මත වැඩි වශයෙන්ම යැපෙන ඔවුන් බහුලව වෙසෙනුයේද දේශගුණික විපර්යාසවලට සංවේදී හා පාරිසරිකව අවදානම් ප්‍රදේශවලය. එම නිසා වාරි පහසුකම් හා ජල කළමනාකරනය වැඩි දියුනු කිරීම, වෙළඳපල යා කෙරෙන මාර්ග පද්ධති සංවර්ධනය, කෘෂි පර්‍යේෂණ හා ව්‍යාප්ත සේවා පුළුල් කිරීම වැනි මැදිහත්වීම්තුළින් එවැනි ගොවීන්ගේ අවදානම අවම කරමින් ඔවුන් දේශගුණික තත්වයන්ට අනුවර්තනය කිරීමට උත්සාහ කලයුතුය.
’දේශගුණික විපර්යාසවලට මුහුන දීම සඳහා ආසියා-පැසිපික් කලාපයේ කෘෂි ක්‍ෂේත්‍රය හැඩගස්වාගැනීම (Addressing Climate Change in the Asia and Pacific Region: Building Climate Resilience in the Agriculture Sector)’ යන මැයෙන් කරන ලද මෙම අධ්‍යයනයේ වාර්තාව මෙම මස අගදී බැංකොක් නුවර පැවැත්වෙන දේශගුණික සමුළුවේ අවධානයට ඉදිරිපත්කරනු ඇත.
මූලාශ්‍රය:
http://www.adb.org/Media/Articles/2009/12973-south-asian-climates-changes/
දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීමට කළ යුතු වාර්ෂික ආයෝජනය ඇස්මේන්තු කළ ප්‍රමාණයට වඩා වැඩිවිය හැක
Climate change adaptation costs may exceed estimations
(2009 සැප්තැම්බර් 09)
දේශගුණික විපර්යාස නිසා ඇති වන අහිතකර බලපෑම් අවමකර ගනිමින් ඒවාට අනුවර්තනයවීම (adaptation) සඳහා ලෝක ප්‍රජාවට වාර්ෂිකව වැයකළ යුතු මුදල පිළිබඳව දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (United Nations Framework Convention on Climate Change - UNFCCC) විසින් කරන ලද ඇස්තමේන්තුව අඩුපාඩු සහිත බවත් එසේ ඇස්තමේන්ත ුකළ මුදලට වඩා දෙතුන් ගුණයක ප්‍රමාණයක් වැයකරන්නට සිදුවන බවත් පසුගිය මාසයේ එළිදක්වන ලද නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ලන්ඩනය කේන්ද්‍ර කරගත් International Institute for Environment and Development – IIED විසින් කරන ලද මේ විමර්ශනයට අනුව වර්ෂ 2030 වනවිට දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සඳහා වර්ෂයකට ඇ. ඩොලර් බිලියන 49 – 171 අතර මුදලක් අවශ්‍යවේයැයි දක්වන UNFCCC ඇස්තමේන්තුව තුළ දේශගුණික විපර්යාස නිසා සිදුවන සමහර හානි නොසළකා ඇති අතර සමහර හානිවල බලපෑම අඩුවෙන් තක්සේරු කර ඇති බවත් පෙනේ.
(මෙම මාතෘකාව තුළ ‘අනුවර්තනය - adaptation’ යනුවෙන් හැඳින්වෙන්නේ දේශගුණික විපර්යාස නිසා ඇතිවන වෙනස්කම්වලට හැඩ ගැසෙමින් එහි අහිතකර විපාකවල බලපෑම අවම කර ගැනීමට ගන්නා උත්සාහයන්ය. දේශගුණික විපර්යාස සිදුවීම නැවැත්වීම හෝ අඩු කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්නයන් හැඳින්වෙන්නේ ‘වැළකීම - mitigation යනුවෙනි. මේ සඳහා වැඩිදුරටත් කියවීම සඳහා http://www.global-greenhouse-warming.com/climate-mitigation-and-adaptation.html වෙබ් අඩවියට පිවිසෙන්න)
දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම නිසා වර්තමානයේදී වැයකළයුතු ප්‍රමාණයවත් වැය කිරීමට ලෝකයේ බොහෝ රටවල් අසමත්වීමෙන් ඉස්මතුවී තිබෙන ‘අනුවර්තන වැය හිඟය’ (adaptation cost deficit) නිසාම පියවීමට සිදුවන වැය වර්ෂයෙන් වර්ෂය වැඩිවන අතර 2030 වනවිට අනුවර්තනය සඳහා අවශ්‍ය මුදල කිහිප ගුණයකින් වැඩිවන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. ගෝලීය උණුසුම (global warming) වැඩිවීම නිසා ඇතිවන විපාක අවම කිරීමට වර්තමානයේදී අපොහොසත් වුවහොත් එම විපාකවල බලපෑම ඉදිරියේදී කිහිපගුණයකින් වැඩිවිය හැකියැයි දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික විද්වත් මණ්ඩලය (International Panel on Climate Change- IPCC) 2007 වර්ෂයේ නිකුත් කරන ලද වාර්තාවද පෙන්වා දී ඇත.
දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවිම සඳහා ලෝක ප්‍රජාව වැයකළ යුතු මුදල ඇස්තමේන්තු කිරීමේදී UNFCC විසින් අංශ 5 ක් පිළිබඳ සැළකිල්ල දක්වා තිබේ.
අංශය |
ගෝලීයව අවශ්‍ය මුළු මුදල |
සංවර්ධිත රටවලට අවශ්‍ය මුදල (ඩොලර් බිලියන) |
සංවර්ධිත රටවලට අවශ්‍ය මුදල (ඩොලර් බිලියන) |
|---|---|---|---|
කාෂිකර්මය |
14 |
7 |
7 |
ජලය |
11 |
2 |
9 |
සෞඛ්‍යය |
5 |
ඇස්තමේන්තු කර නැත |
5 |
වෙරළාසන්න ප්‍රදේශ |
11 |
7 |
4 |
යටිතල ඉදිකිරීම් |
8-130 |
6-88 |
2-41 |
මුළු මුදල |
49-171 |
22-105 |
27-66 |
UNFCCC වාර්තාවට අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇස්තමේන්තුගත දේශගුණික අනුවර්තන වැය තරමක් දුරට නිවැරදි වන නමුත් දැනටමත් සාගින්නෙන් පෙළෙන බිලියන 1 ක් පමණවන ලෝක ජනගහණය මුහුණපාන ආහාර හිඟය මඟහරවා ගැනීමේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තුළ ඇතිවී තිබෙන වැය හිඟයද (agriculture adaptation deficit) සැළකිල්ලට ගතයුතුය. එම නිසා UNFCCC ඇස්තමේන්තුවට අනුව 2030 වනවිට වාර්ෂිකව ඩොලර් බිලියන 14 ක් දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සඳහා කෘෂි ක්ෂේත්‍රයතුළ වැය කිරීම මගින් අපේක්ෂිත ඉලක්කවලින් 80% ක් පමණ සපුරාගත හැකිවනු ඇතැයි මෙම විමර්ශන වාර්තාව පෙන්වා දෙයි.
ජලය කෙරෙහි බලපාන දේශගුණික වෙනස්වීම්වලට අනුවර්තනයවීම සඳහා අවශ්‍ය වැය ඇස්තමේන්තු කිරීමේදීද UNFCCC විසින් කරුණු කිහිපයක් පිළිබඳ එතරම් සැළකිල්ලක් දක්වා නැත. ජලය ස්වාභාවිකව තිබීමේ (availability), ලබා ගැනීමේ (access), ගුණාත්මක බව තබා ගැනීමේ (ensuring quality) හා ගබඩාකර තබා ගැනීමේදී (storage) දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන වෙනස්වීම්වලට කෘෂිකර්ම, වාරිමාර්ග, ධීවර, කර්මාන්ත, ජලවිදුලි නිෂ්පාදන, සෞඛ්‍ය, ආපදා කළමනාකරණ, නාවික, සංචාරක වැනි අංශ අනුවර්තනයවීම සඳහා අවශ්‍ය වියදම් මොනවාදැයි UNFCCC ඇස්තමේන්තුවේ සඳහන් නොවේ.
දැනටමත් පිරිසිදු ජලය ලබාගත නොහැකි බිලියන 1 ක් පමණ පුද්ගල සංඛ්‍යාවක් හා සනිපාරක්ෂාව නොමැති පුද්ගලයින් බිලියන 2.4 ක් පමණ ලෝකය පුරා ඇති අතර ඔවුන්ට ජලය සැපයීමට නොහැකිව විශාල ජල වැය හිඟයකට දැනටමත් (water cost deficit) දැනටමත් ලෝකය මුහුණ දෙමින් සිටින අතර ඒ නිසාම දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සඳහා අවශ්‍ය මුදලද කිහිප ගුණයකින් වැඩිවිය හැකිය. දේශගුණික විපර්යාස ජලය තුළින් ලෝක ජනගහණය කෙරෙහි බලපාන අන්දම හා ඒ බලපෑමට අනුවර්තනයවීම සඳහා 2030 වනවිට කොපමණ මුදලක් වැයවේද යන්න ගණනය කිරීම ඉතාමත් සංකීර්ණ හා කාලය වැයවන කටයුත්තක් බව IIED විමර්ශන වාර්තාව පෙන්වාදෙයි.
දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනයවීමේදී සෞඛ්‍ය අංශයට වැයවන මුදල ගණනය කිරීම සඳහා UNFCCC ය මූලිකව අවධානය යොමුකර ඇත්තේ අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල ජනගහණයන් මුහුණ දෙන පාචනය (diarrhea) , මැලේරියාව (malaria) හා මන්දපෝෂණයේ (malnutrition) යන කරුණු තුන කෙරෙහි පමණක්ය. මේ සඳහා භාවිත කර ඇති දත්ත එතරම් යාවත්කාලින (updated) ඒවා නොවන අතරම දැනට කෙරෙන සෞඛ්‍යාරක්ෂක වියදම් පමණක් සඳහා දේශගුණික විපර්යාස හමුවේ වැඩිකළ යුතු ප්‍රමාණය (incremental costs) මෙම ගණනය කිරීමට උපයෝගී කරගෙන ඇත. එහෙත් ඉහත සඳහන්කළ සෞඛ්‍ය ගැටළු 3 හැරුණුකොට දේශගුණික විපර්යාස නිසා ඇතිවිය හැකි වෙනත් සෞඛ්‍ය ගැටළුද සැලකිල්ලට ගනිමින් දේශගුණික විපර්යාස හමුවේ සංවර්ධනයවන හා සංවර්ධිත රටවල්වල සෞඛ්‍ය සේවා තුළ සිදුවිය යුතු වැඩිපුර වියදම්ද සැළකිල්ලට ගතහොත් UNFCCC ඇස්තමේන්තුවට මීට වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැක.
වෙරළාසන්න ප්‍රදේශ සම්බන්ධයෙන් සැළකීමේදී ගෝලීය උණුසුම වැඩිවීම නිසා ක්‍රමයෙන් ඉහළ යන මුහුදු ජල මට්ටමෙන් (seas level rise) එම ප්‍රදේශවලට වන හානිය අවම කරගැනීම සඳහා ගොඩ නැඟීමට අවශ්‍ය වැටි හා වෙනත් යටිතල ඉදිකිරීම් පමණක් සඳහා අවශ්‍යවන වැය UNFCCC ඇස්තමේන්තුමේ සඳහන්වේ. එහෙත් කුණාටු හා සුළි සුලං නිසා විශාල වශයෙන් ඉහළ යා හැකි මුහුදු ජල තරංග නිසා හා කුණාටු නිසා ඍජුව ඇතිවිය හැකි අලාභ හානි අවම කරගැනිමට අවශ්‍ය අනුවර්තන වියදම් පිළිබඳව මෙම ඇස්තමේන්තුව නිහඬය. මීට අමතරව දේශගුණික බලපැම් නිසා වෙරළාසන්න ප්‍රදේශවල පරිසර පද්ධතීන්ට (eco systems) හා ජන ජීවිතයට මුහුණදිමට සිදුවන අහිතකර තත්වයන් හා එම තත්වයන් සමනය කරගැනීමට වැයකළ යුතු ප්‍රමාණයද මෙම ඇස්තමේන්තුව තුළ අන්තර්ගතවී නොමැත.
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීම සඳහා නිවාස හා වෙනත් යටිතළ පහසුකම්වල සිදුකළ යුතු ආයෝජනයන් පිළිබඳ UNFCCC කර ඇති ඇස්තමේන්තුවද කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එයට හේතුව දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සදහා යටිතල ඉදිකිරීම් සම්බන්ධයෙන් ගෝලීයව දැනටමත් කළයුතු එහෙත් මගහැරී ඇති වියදම් ප්‍රමාණය ඩොලර් බිලියන 6300 ක් පමණ වන නිසාය. ඒ අනුව වර්ෂ 2030 වනවිට (ඉදිරි වර්ෂ 20 දී) වර්ෂයක් පාසා කළ යුතු මගහැරී ඇති යටිතල ආයෝජන හිඟය (infrastructure adaptation deficit) පමණක් ඩොලර් බිලියන 315 ක් වැනි විශාල මුදලකි.
UNFCCC යට අමතර ලෝක බැංකුව, ඔක්ස්ෆැම් ආයතනය හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) වැනි ආයතන කිහිපයකින්ද දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සඳහා ලෝකයේ සියළුම රටවල් විසින් ආයෝජනය කල යුතු මුදල් ප්‍රමාණය ගණනයකළ වාර්තා කිහිපයක් එළි දක්වා ඇත. එහෙත් ඒ සියළුම ඇස්තමේන්තු UNFCCC ඇස්තමේන්තුවට වඩා අඩු අතර ඒවා එකිනෙකට විශාල වශයෙන් පරස්පරද වේ. ඇස්තමේන්තුවල නිරවද්‍යතාවය කෙසේ වෙතත් ජාත්‍යන්තර ආයතන ගන්නා මෙම පියවරයන් තුළින් ලෝක ප්‍රජාව දේශගුණික විපර්යාස සංවේදී වන බව නම් නිසැකය. එහෙත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නිවැරදි ඇස්තමේන්තු කරනවාට වඩා එසේ ඇස්තමේන්තු කරන මුදල් සොයා ගන්නේ කෙසේද යන්න ලෝක ප්‍රජාවට සහ විශේෂයෙන්ම සංවර්ධනයවන රටවලට ප්‍රශ්නයක්වනු ඇත. දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල මූලික අවශ්‍යතා (ආහාර, සෞඛ්‍ය වැනි) පිරිමසා ගැනීමට කරගැනීමට පමණක් ලැබිය යුතු විදේශාධාරවලින් 50% වත් නොලැබෙන තත්වයක් තුළ දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම සඳහා මුදල් සොයා ගැනීම ඉතාමත් අපහසු ප්‍රයත්නයක් වනු ඇත.
එහෙත් එම ප්‍රයත්නය අත්හැර දමිය නොහැක්කේ දැනටමත් වර්ෂයක් පාසා දේශගුණික විපර්යාසවලට සම්බන්ධ හේතු නිසා පුද්ගලයින් 300,000 මියයන බැවිනුත් පුද්ගලයින් මිලියන 325 ක් පමණ පීඩාවට පත්වන නිසාත්ය. දිළිඳු රටවල පුද්ගලයින් මිලියන 500 ක් පමණ ඉතාමත් දුගී හා අවදානම් (extremely poor and vulnerable) තත්වයෙන් පසුවන නිසා දේශගුණික විපර්යාස නිසා මියයන පුද්ගලයින් සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩිවනු ඇත. මේ සඳහා ඇති එක් කඩිනම් විසඳුමක් වියහැක්කේ සංවර්ධිත රටවල් ලබාදීමට ප්‍රතිඥා දී ඇති පරිදි එම රටවල්වල දළ ජාතික ආදායමෙන් 0.7% ක් වනසේ සංවර්ධනයවන රටවලට ලබාදෙන විදේශාධාර ප්‍රමාණය වැඩිකිරීමයි. එසේ කළහොත්දැනට ඩොලර් බිලියන 120 ක් පමණවන මුළු වාර්ෂික විදේශාධාර ප්‍රමාණය ඩො. බිලියන 280 දක්වා වැඩිවනු ඇති අතර ඒ මගින් දිලිඳු හා සංවර්ධනයවන රටවලට මහත් සහනයක් සැලසෙනු ඇත.
මූලාශ්‍රය:
http://www.iied.org/pubs/pdfs/11501IIED.pdf
කෝපන්හේගන් දේශගුණික සමුළුවේදී සංවර්ධනයවන රටවල් සම්මුතියකට පෙළඹවීම සඳහා ආධාර වැඩිකිරීමේ යුරෝපා හවුලේ ප්‍රයත්නය - EU initiative to increase development aid before Copenhagen summit
(2009 අගෝස්තු 25)
මෙම වසරේ (2009) දෙසැම්බර් මස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වීමට නියමිත ගෝලීය දේශගුණික සමුළුවට (2009 Copenhagen Climate summit) පෙර දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට පොහොසත් සංවර්ධිත රටවලින් ලබා දිය යුතු සංවර්ධන ආධාර (development aid)කඩිනමින් ලබාදිය යුතුයැයි පසුගිය (ජූලි) මාසයේදී ස්වීඩන්වල පැවති යුරෝපා හවුලේ රැස්වීමකදී යෝජනාවී ඇත. සංවර්ධන ආධාර කඩිනම් කිරීම තුළින් සංවර්ධනයවන රටවල් සංවර්ධිත රටවල් කෙරෙහි ඇති විශ්වාසය වැඩිවනු ඇති අතර කෝපන්හේගන් සමුළුවේදී පොදු එකඟතාවයකට එළඹීම සඳහා මෙම විශ්වාසය ඉවහල්වනු ඇතැයි යුරෝපා හවුලේ මතයවී තිබේ.
2009 දෙසැම්බර්වල පැවැත්වෙන කෝපන්හේගන් දේශගුණික සමුළුවේ මූලික පරමාර්ථය වන්නේ 2012 අවසානවීමට නියමිත වායුගෝලයට කාබන් මුදාහැරීම පාලනය (reduction of carbon emissions) කිරීම සම්බන්ධයෙන් දැනට ඇති ‘කියෝටෝ සම්මුතිය’ (Kyoto protocol) වෙනුවට නව සම්මුතියක් ඇති කරගැනීමයි. එහෙත් වායු ගෝලයට කාබන් මුදා හැරීම සම්බන්ධයෙන් සංවර්ධිත කාර්මික රටවල් හා සංවර්ධනයවන රටවල් අතර මේවනවිට දරුණු මතභේදයක් ගොඩනැඟී ඇති අතර මෙම මතභේදය කෝපන්හේගන් සමුළුවේදී එකඟතාවයකට එළඹීමට බාධකයක්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළකරයි. කෝපන්හේගන් සමුළුව සඳහා පෙරහුරුවක් ලෙස පසුගිය මාසයේ මුල් සතියේ G8 රටවල්වල සහභාගිත්වයෙන් පැවති දේශගුණික සමුළුවද (G8 climate talks) මෙම මතභේදය නිසාම අසාර්ථකවූ අතර, මෙම තත්වය දෙසැම්බර් සමුළුව දක්වාම පැවතුනහොත් එම සමුළුවද සම්මුතියකින් තොරව අවසන්වීමේ අනතුර දැනටමත් ඉස්මතුවෙමින් පවතී.
මෙම මතභේදයට මුල්වී ඇත්තේ සංවර්ධනයවන රටවල්ද 2050 වනවිට තම රටවල්වලින් පිටකරන කාබන් වායු ප්‍රමාණය 50% කින් අඩුකළයුතුයැයි සංවර්ධිත කාර්මික රටවල් කෙරෙන බල කිරීමයි. සංවර්ධිත රටවල් කියා සිටින්නේ තම රටවල්වලින් පිට කෙරෙන කාබන් වායු ප්‍රමාණය 2050 වනවිට 80% කින් අඩු කිරීමට සූදානම් බවය. එහෙත් මේ සම්බන්ධයෙන් විරෝධය පළකරන ඉන්දියාව, චීනය හා මෙක්සිකෝව වැනි සීඝ්‍රයෙන් සංවර්ධනයවන රටවල් පවසන්නේ කාබන් වායු ප්‍රමාණය 50% කින් අඩුකළ හැක්කේ තම රටවල කාර්මික සංවර්ධනය අඩාල කිරිමෙන් පමණක් බවය. එම නිසා දැනටමත් කාර්මිකව සංවර්ධනයවී ඇති රටවල්වලට කාබන් වායු මුදාහැරීම සිමා කළ හැකිවුවත් තම රටවල්වලට එවැනි සීමා පැනවීම සාධාරණ නොවන බව සංවර්ධනයවන රටවල්වල මතයවී ඇත.
සංවර්ධනයවන රටවල්වල අනෙක් තර්කයවී ඇත්තේ දිළිඳු හ සංවර්ධනයවන රටවලින් වාර්ෂිකව නිකුත්වන කාබන් ප්‍රමාණය සංවර්ධිත කාර්මික රටවලින් නිකුත්වන ප්‍රමාණය හා සසඳනකල ඉතා අඩු ප්‍රමාණයක් බවය. එම තර්කය සඳහා හොඳම උදාහරණය විය හැක්කේ වාර්ෂිකව වායු ගෝලයට නිකුත්වන කාබන් ටොන් මිලියන 27,000 පමණ ප්‍රමාණයකින් 22.2% ක්ම නිකුත්කරන ඇමෙරිකාවයි. එහෙත් යුරෝපා හවුලේ සියළුම රටවල්වලින් නිකුත්වන කාබන් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 14.7% ක් වන අතර සංවර්ධනයවන රටවල් ලෙස ගැණෙන චීනය හා තායිවනය නිකුත් කරන කාබන් ප්‍රමාණය මුළු කාබන් නිකුතුවෙන් 18.4% වන නිසා සංවර්ධනයවන රටවල තර්කය දුර්වලවේ. එපමණක්ද නොව සංවර්ධනයවන රටක්වන ඉන්දියාව ගෝලීය කාබන් නිකුතුවෙන් 5.0% කට වගකියනමුත් සංවර්ධන ආධාර වැඩිපුර ලබාදෙන නෙදර්ලන්තයේ කොටස වන්නේ 0.5% ක් පමණි.
කෙසේවුවත් පවතින් මතභේදාත්මක පසුබිමතුළ යුරෝපා හවුල තැත්කරන්නේ පොහෙසත් සංවර්ධිත රටවල් වැඩි කිරීමට එකඟවී ඇති සංවර්ධන ආධාර ලබාදීම කඩිනම්කොට සංවර්ධනයවන රටවල සිත් දිනා ගැනීමටය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි යෝජනාවකට අනුව 2015 වනවිට සංවර්ධීත රටවල් තම රටවල දළ ජාතික ආදායමින් (Gross Domestic Product- GDP) 0.7% ක පමණ ප්‍රමානයක් සංවර්ධන ආධාර ලෙස වාර්ෂිකව ලබාදිය යුතු අතර එම ප්‍රමාණය දළ වශයෙන් ඇ. ඩොලර් බිලියන 280 ක් පමණ වේ. එහෙත් දැනට සංවර්ධිත රටවල් ලබා දෙන වාර්ෂික සංවර්ධන ආධාර ප්‍රමානය ඩොලර් බිලිවන 120 පමණි. එම නිසා යුරෝපා හවුලේ රටවල අරමුණවී ඇත්තේ මෙම ආධාර වැඩි කිරීම කෝපන්හේගන් සමුළුවට පෙර ආරම්භ කරමින් ඒ සඳහා තම රටවල කැපවීම විදහා පා කාබන් මුදා හැරීම සිමා කිරීමේ නව සම්මුතියකට සංවර්ධනයවන රටවල් එකඟකරවා ගැනීමයි.
මූලාශ්‍රය:
http://in.reuters.com/article/environmentNews/idINTRE56O0OU20090725?sp=true
හරිතාගාර වායු මුදාහැරීම අඩුකිරීම පිළිබඳවූ මතභේද මැද G8 දේශගුණික විපර්යාස සාකච්ඡා බිඳවැටේ.
Disagreement on reducing greenhouse gas emissions grinds G8 climate talks to a halt
(2009 ජූලි15)
පසුගිය සතියේදී ඉතාලියේදී අවසන්වූ ලෝක ආර්ථික බලවතුන්ගේ G8 සමුළුවෙන් ලෝක ප්‍රජාව අපේක්ෂාකළ ප්‍රධාන කරුණක්වූයේ මුළු මහත් ගෝලිය ප්‍රජාවට පමණක් නොව සියළු ජෛව හා පරිසර පද්ධතියන්ට තර්ජනයක්ව පවතින දේශගුණික විපර්යාස අවම (climate change reduction) කිරීමට මූලිකවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් එකඟතා හා තීරණයන්ට එළඹේය යන්නය. ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය මෙතරම්ම යොමුවීමට හේතුව මේ වර්ෂය අවසානයේදී (2009 දෙසැම්බර් මස) ඩෙන්මාකයේ කොපන්හේගන්වල පැවැත්විමට නියමිත ජගත් දේශගුණික විපර්යාස සමුළුවේදී (UN climate change talks) ලෝක ආර්ථික බලවතුන් හැසිරෙන ආකාරය පිළිබඳව මෙම G8 සමුළුවෙන් යම් ඉඟියක් ලැබෙතැයි යන අනුමානයයි. එහෙත් අවසානාවකටමෙන් මෙම සමුළුවේදීද දේශගුණික විපර්යාස අවම කිරීමට තුඩු දෙන කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට G8 නායකයින් අපොහෝසත්විය.
මෙහිදී රැස්වූ ආර්ථිකව බලවත් සංවර්ධිත රටවල් 8 හා ආර්ථිකව නැඟී එන සංවර්ධනයවන රටවල් 9 ක් තම රටවල් මඟින් වෙන වෙනම ලඟාකරගතයුතු ගෝලීය උණුසුම අඩුකිරීමට තුඩු දෙන ඉලක්ක නිශ්චිතව ප්‍රකාශ කිරිමට මැළිවිය. ගෝලීය උෂ්ණත්වය පූර්ව-කාර්මීකරණ කාලයේ තිබූ මට්ටමට (pre-industrial level) වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් ඉක්මවා කිසිසේත් වැඩිනොවිය යුතුයැයි හා 2050 වනවිට සියළුම රටවල්වලින් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය සමස්ථයක් ලෙසින් 50% කින් අඩුකළයුතුයැයි යන තීරණවලට G8 සමුළුවට සහභාගිවූ සියළුම රටවල් එකඟවිය. මේ සඳහා දායකත්වය ලෙසින් තම රටවලින් මුදා හැරෙන වායු ප්‍රමාණය 2050 වනවිට 80% කින් අඩුකිරීමටද සංවර්ධිත රටවල් මුලදී එකඟගත්වය පළකළේය.
ආර්ථිකව බලවත් G8 රටවල්වල නායකයින්ගේ මතයවූයේ වනවිට 2050 වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය 50%කින් අඩුකිරීමේ ඉලක්කය වෙත යාමේ ප්‍රයත්නයට අනිවාර්යෙන්ම චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා මෙක්සිකෝව වැනි කාර්මිකව හා ආර්ථිකව නැඟී එන සංවර්ධනයවන රටවල්ද දායකවියයුතු බවයි. එසේ නොවුනහොත් තම රටවල් මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය 80%කින් අඩු කිරීමට G8 රටවල් ගන්නා ප්‍රයත්නයෙන්ද කිසිදු ප්‍රථිපලයක් නොවනු ඇතැයි ඔවුන් විශ්වාසයයි.
එහෙත් තම රටවල්වලින් මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම ප්‍රතික්ෂේප කරන ආර්ථිකව නැඟී එන සංවර්ධනයවන රටවල් ප්‍රකාශ කරන්නේ එසේ කළහොත් කාර්මික හා ආර්ථිකව සංවර්ධනයවී දිළිඳුකම දුරැලීමට තම රටවල් ගන්නා උත්සාහය අසාර්ථකවී දරිද්‍රතාවය තුළ හිරවී සිටීමට සිදුවනු ඇතැයි යන්නයි. එම නිසා සංවර්ධිත රටවල් හා සමග එකවරම හා එකම වේගයෙන් හරිතාගාර වායු ප්‍රමාණය අඩුකළයුතුයැයි සංවර්ධනවයන රටවල්වලට කරන බලකිරීම අසාධාරණයැයි එම රටවල නියෝජිතයින් ප්‍රකාශ කර ඇත. ඔවුන්ට අනුව සංවර්ධිත රටවල් මෙන් හරිතාගාර වායු පිටකරමින් කාර්මිකරණයවී පොහොසත්වීමට සංවර්ධනයවන රටවල්වලටද ඉඩදිය යුතුය. වෙනත් අන්දමකින් සංවර්ධනයවන රටවල් ප්‍රකාශ කරන්නේ දශක බොහෝ ගණනක් සංවර්ධිත රටවල් වායුගෝලය දූෂණයකළ වරදට තම රටවල්වල සංවර්ධනය පාවා නොදිය යුතුය යන්නයි.
වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය අඩුකිරීම සම්බන්ධයෙන් සංවර්ධනයවන රටවල් දරන විරෝධාකල්පය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉතාලි අග්‍රාමාත්‍යවරයා මෙම සමුළුවේදී විමසා සිටියේ ලෝකයේ බිලියන 5 ක් පමණ ජනයා (සංවර්ධනයවන රටවල ජනගහණය) පෙර පරිදිම හරිතාගාර මුදා හරිනවානම් පෙහොසත් රටවල් 8 ක් (G8 රටවල්) පමණක් එම ප්‍රමාණය අඩුකිරීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද යන්නය.
හරිතාගාර වායු මුදා හැරීම අවම කිරීම සම්බන්ධයෙන් සංවර්ධිත පෙහොසත් රටවල් හා සීඝ්‍රව සංවර්ධනයවන රටවල් අතර මතුවූ මෙම මතභේදයේ අශුභම ප්‍රතිඵලයවූයේ 2050 වනවිට තම රටවල් මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය 80% කින් අඩුකිරීමට සංවර්ධිත රටවල් මුලදී පළකළ එකඟතාවයද බිඳ වැටී එය අවසාන සමුළු ප්‍රකාශනයට ඇතුලත් නොවීමයි. එම නිසා ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස අඩුකිරීම සම්බන්ධයෙන් මේවර G8 සමුළුව ලබාගත් එකම ජයග්‍රහණය වන්නේ ගෝලීය උණුසුම පූර්ව කාර්මීකරණ අවධියේ මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් ඉක්මවා යෑමට ඉඩ නොදිය යුතුය යන තීරණයට එළඹීම පමණය.
පූර්ව කාර්මිකරණයට අවධියේ තිබූ මට්ටමට වඩා වර්තමාන ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.8 කින් වැඩි අතර, විද්‍යාඥයින්ට අනුව දැනටමත් වායුගෝලයට මුදාහැර ඇති හරිතාගාර වායු ප්‍රමාණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉදිරියේදී සෙන්ටිග්‍රේඩ් අංශක 0.6 කින් වැඩිවීම අනිවාර්යෙන්ම සිදුවනු ඇත. එම නිසා අපට වළක්වාගන්නට ඇත්තේ ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.6 කින් වැඩිවීම පමණි. ඒ සඳහා ගෝලීය ප්‍රජාවට එකඟවීමට ඇති හොඳම අවස්ථාව විය හැක්කේ මෙම වර්ෂයේ (2009) දෙසැම්බර් මස කෝපන්හේගන්වල පැවැත්වීමට නියමිත ජගත් දේශගුණික විපර්යාස සමුළුවයි. එහෙත් මෙවර G8 සමුළුවේදී ඉස්මතුවූ මතභේදවලින් පෙනී යන්නේ ජගත් ප්‍රජාව එම අවස්ථාවද මගහැරගණු ඇති බවයි.
මූලාශ්‍ර:
http://www.nytimes.com/2009/07/09/world/europe/09prexy.html?_r=2&hp
http://www.ft.com/cms/s/0/2ded2ba2-6c84-11de-a6e6-00144feabdc0,dwp_uuid=1491273a-66fd-11de-925f-00144feabdc0.html
http://www.breakingnews.ie/world/g8-leaders-in-crunch-climatechange-talks-418004.html (ඡායාරූපය)
ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තයෙන් සාගර පරිසර පද්ධතිය විනාශවිය හැකිය: එය වැළැක්වීමට මුල්ම ලෝක සාගර දිනයේදී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් උපදෙස්මාලාවක්
Deep sea fisheries can harm marine ecosystems: On the first World Oceans Day FAO publishes guidelines to sustainably manage deep sea fishing
(2009 ජූනි 10)
එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් නම් කරනු ලැබූ ‘ලෝක සාගර දිනය’ (world Ocean Day) පළමුවරට යෙදී තිබුණේ මෙම මස (2009 ජූනි) 8 වෙනි දිනටය. දිනෙන්දින උත්සන්න වන පාරිසරික තර්ජනයන්ට මුහුණ දෙමින් සිටින සාගර පද්ධතිය ආරක්ෂාකරගැනීමේ අරමුණින් ඒ පිලිබඳ ලෝක ප්‍රජාවේ අවධානය යොමු කිරීම මෙම සාගර දිනය තුළින් අපේක්ෂා කෙරේ. මෙවර පළමු සාගර දිනයට සමගාමීව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම වඩාත් වගකීමකින් කළමනාකරණය කිරීම සඳහා ඉවහල්වන උපදෙස් මාලාවක් (International Guidelines for Management of Deep Sea Fisheries in the High Seas) නිකුත්කර ඇත.
මෙහිදී ගැඹුරු මුහුද යනුවෙන් අදහස් වන්නේ එක් එක් රටවල බල සීමාවන්ගෙන් පිටත ඇති (outside of national jurisdictions) ඇති අන්තර්ජාතික මුහුදු කලාපයන්ය. එසේ ‘කිසිවෙකුටත් අයිති නැති හෝ කිසිවෙකුත් වග නොකියනයැයි’ වටහාගන්නා අන්තර්ජාතික මුහුදෙහි කිසිදු වගකීමකින් හා පාලනයකින් තොරව සිදුවන්නාවූ මසුන් ඇල්ලීම සාගරයෙහි මත්ස්‍ය සම්පත විනාශවීමට තුඩු දෙන බරපතළ ගැටළුවකි. එම නිසා 2009 පළමු ලෝක සාගර දිනයෙහි තේමාව ලෙස‘ සාගරය අපේය එය ආරක්ෂා කිරීමේ වගකීමද අපේය’ (Our oceans, our responsibility!) යන පාඨය යොදා ගෙන ඇත.
ගැඹුරු මුහුදෙහි සිටින මත්ස්‍ය විශේෂවල වැඩීම හිමින් සිදුවන නිසාත් එම මත්ස්‍ය විශේෂ ලිංගිකව පරිණතවීම සඳහා සාපේක්ෂව වැඩිකාලයක් ගැනීම නිසාත් හා සෑම වර්ෂයකම එම මසුන්ගේ බෝවීම සිදු නොවන නිසාත් එවැනි ගැඹුරු මුහුදෙහි සීමාව ඉක්මවා සිදුවන මසුන් ඇල්ලීමෙන් එම මත්ස්‍ය සම්පත විනාශවීමට ඇති ඉඩකඩ බොහෝය. ගැඹුරු මුහුදු පරිසර පද්ධතිය ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක් වන අතර මිහිතලය මත ඇති ඉතාමත් දුර්ලභ ජීව විශේෂයන් ඇත්තේද ගැඹුරු සාගර පද්ධතිය තුළය. එපමණක්ද නොව මිහිතලය මත ඇති ජෛව-වාසයන්ගෙන් (live habitats) 50% ක්ම අයත් වන්නේ ගැඹුරු සාගර පද්ධතියටය. එම නිසා උද්ගතවෙමින් තිබෙණ දේශගුණික විපර්යාසයන් හේතුකොටගෙන දැනටමත් තර්ජනයට ලක්වී ඇති සාගර-පරිසර පද්ධතිය කළමනාකරණයකින් තොර ධිවර කර්මන්තය නිසාද විනාශවී යෑමට ඇති ඉඩකඩ ඇහිරීමට කාලය පැමිණ ඇත.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් නිකුත් කර ඇති ගැඹුරු මුහුදේ මසුන් කළමනාකරණය සඳහාවූ උපදෙස්මාලාව මගින් විනාශවීමේ තර්ජනයට මුහුණදී ඇති සාගර-පරිසර පද්ධති (marine eco-systems) හා ඒවා තුළ ඇති මත්ස්‍ය වර්ග හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීමේ සක්‍රිය ක්‍රමවේදයන් අනුගමනයකළ ආකාරය පෙන්වා දෙයි. මේ අනුව සෑම රටක්ම තම රටට (ධීවරයන්ට) අයත් යාත්‍රා ගැඹුරු මුහුදේ මසුන් අල්ලන සාගර ප්‍රදේශත්, එම ප්‍රදේශවල ඇති මත්ස්‍ය සම්පත පිළිබඳවත්, ධීවර යාත්‍රා විසින් අල්ලනු ලබන මසුන් විශේෂ පිළිබඳවත් නිරන්තරව ඇගයීම් කළ යුතුය. එම ඇගයීම් අනුව යම් සාගර පරිසර-පද්ධතියකට හෝ මත්ස්‍ය විශේෂයකට සිදුවන තර්ජන හඳුනාගත්විට ඒ සඳහා ආරක්ෂණ විධි ක්‍රියාත්මක කිරීමටත් යුහුසුළුවිය යුතුය.
ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තයට අවශ්‍ය අධික ආයෝජනයන් හා තාක්ෂණයන් ලබා ගැනීමට ශ්‍රී ලංකාව වැනි රටවල් දක්වන උනන්දුවම එම ධීවර කර්මාන්තය සමාජ හා පාරිසරික ලෙසින් තිරසාරව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපත්ති සාධනය කිරීමටත් දක්වන්නේ නම් එය වඩා යහපත් ප්‍රථිඵල අත්කරදෙනු ඇත. ඒ සඳහා එළඹීමට ප්‍රතිපත්ති සාධකයන් ලෝක සාගරය දිනය වැනි අවස්ථා නිමිති කරගත යුතුය.
මූලාශ්‍ර:
http://www.fao.org/news/story/en/item/20392/icode/
http://www.fao.org/fileadmin/user_upload/newsroom/docs/i0816t.pdf
ඡායාරුප:
http://www.marine-genomics-europe.org/upload/underwater_copie.jpg http://www.northwestfishery.com/tunafishingsl.html
ලෝක පරිසර දිනය, දේශගුණික විපර්යාස හා 2009 කෝපන්හේගන් සමුළුව
World Environment Day, Climate Change and Copenhagen climate convention 2009
(2009 ජූනි 5)
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් ප්‍රකාශිත ලෝක පරිසර දිනය (World Environment Day – WED) මෙවරද ජූනි 5 දින ලෝකයේ සියළුම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්තුළ සැමරීමට නියමිතය. මෙම දිනය මුලින්ම ප්‍රකාශ කරන්නට යෙදුනේ 1972 වර්ෂයේදීය. මෙවන් පරිසරය දිනයක් මගින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මූලිකව අපේක්ෂා කරන්නේ පරිසර සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ලෝක ප්‍රජාවෙහි දැනුවත්කම පුළුල් කිරීමත් පරිසර සංරක්ෂණය සඳහා ලැබිය යුතු දේශපාලනික අවධානය හා දේශපාලනික ක්‍රියාත්මකවීම පුළුල් කිරීමත්ය. එදිනට ක්‍රියාත්මකවන සියළුම වැඩසටහන්වල න්‍යාය පත්‍රවල පොදු අරමුණුවිය යුත්තේ තිරසාර හා සාධාරණ සංවර්ධනයක් (sustainable and equitable development) කරා එළඹිමට අවශ්‍ය ප්‍රජා සවිබලගැන්වීමත් (empowerment) , පරිසරය සම්බන්ධයෙන්වූ සාධනීය ආකල්ප (positive attitudes) ගොඩනැගීමෙහිදී ප්‍රජාව මූලික කරගැනීමත් හා ඒ සඳහා අවශ්‍ය සහයෝගිතාවයන් (partnerships) ගොඩනැඟීමත්ය.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් මේවර (2009) ලෝක පරිසර දින තේමාව ලෙස ‘ මිහිකතට ඔබ අවශ්‍යයි - දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා එක්වෙමු’ (Your Planet Needs You-Unite to Combat Climate Change) යන පාඨය තෝරාගෙන ඇත. පසුගිය වර්ෂ කිහිපයකම ලෝක පරිසර දින තේමාවන් දෙස බලනවිට දැකියහැකි විශේෂත්වය වන්නේ 2007, 2008, 2009 යන වර්ෂ තුනේ නොකඩවාම ගෝලීය උෂ්ණත්වය හා දේශගුණික විපර්යාස අන්තර්ගතවන තේමාවන් යොදාගෙන ඇති බවය. සමස්ථ ගෝලීය ප්‍රජාවම දේශගුණික විපර්යාස පිළිබඳවූ තර්ජනය කෙතරම් බරපතළ ලෙස වටහාගෙන ඇත්දැයි යන්න තේරුම් ගැනීමට මෙය කදිම නිදසුනකි.
2008 තේමාව - කාබන් අවම ආර්ථිකයකට හා ජීවන රටාවකට යොමුවීම සඳහා කාබන් නිකුත් කිරීමේ පුරුද්දෙන් මිදෙන්න (Moving towards a low carbon economy and lifestyle- kick the carbon habit)
2007 තේමාව - පෘතුවි ධ්‍රැවවල අයිස් දියවීම: තැතිගැනෙන (නැවැත්වියයුතු) සිද්ධියකි (Melting ice – a hot topic)
2006 තේමාව - කාන්තාර හා කාන්තාරකරණය: ශුෂ්ක ප්‍රදේශ කාන්තාරබවට පත්වීම වළක්වමු (Deserts and desertification – Don’t desert dry lands)
2005 තේමාව - හරිත නගර සඳහා ගෝලීය සැලැස්මක් (Green cities – Plan for the planet)
2004 තේමාව - අපට අවශ්‍ය ජීවින් ඇති මුහුදු හා සාගරද? නැතිනම් ජීවින් නොමැති මුහුදු හා සාගරද? (Wanted! Seas and Oceans – Dead or Alive)
2003 තේමාව - ජලය නොමැතිව පුද්ගලයින් බිලියන 2 ක් දුක්විඳී (Water – Two Billion People are Dying for It!)
2009 ලෝක පරිසර දිනය සැමරීමේ අනුග්‍රාහක රටවන්නේ මෙක්සිකෝව වන අතර ඒ නිමිත්තෙන් පැළ මිලියන 250 ක් රෝපණය කිරීමේ වැඩසටහනක්ද මෙක්සිකෝ ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරීමට නියමිතය. ගෝලීය පරිසරයට නිකුත් කෙරෙන හරිතාගාර හා කාබන් වායු (greenhouse and carbon gases) ප්‍රමාණයෙන් 1.5% කටම වගකිවයුතු මෙක්සිකෝව මේ වර්ෂයේ පරිසරය දිනයට අනුග්‍රහය දක්වමින් ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීමේ අභියෝගයට මුහුණදීමට දැඩි උත්සාහයක් දරන බවක් පෙනෙන්නට තිබේ. කාබන් නිකුත් කිරීම පාලනය සඳහාවූ ‘කියෝතෝ සම්මුතියට’ (Kyoto protocol) දායක නොවූ රටක්වුවද ‘කාබන් වෙළඳපල’ හරහා තම රටින් නිකුත් කෙරෙන කාබන්වලට හිලව්වක් ලෙස වෙනත් රටවලට ගෙවීම් කිරීමටද මෙක්සිකෝව කැපවී සිටී.
ලෝක පරිසර දිනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසන්නේ හරිතමය හා පරිසර මිත්‍ර ආර්ථික සංවර්ධනයක් (Green and eco-friendly economic development) කරා එළඹීමට වර්තමාන ආර්ථික හා මූල්‍ය අර්බුදය ඉතා හොඳ පසුබිමක් සපයන බවයි. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බොහෝ රටවල් වෙන් කර ඇති උත්තේජක පැකේජයන් ගෙන් (stimulus packages) කොටසක් පරිසර හිතකාමී, බලශක්ති කාර්යක්ෂම හා ප්‍රතිජනන බලශක්ති ආයොජනයන් සඳහා වෙන් කරන්නේ නම් හරිතමය ආර්ථිකයක් කරා එළඹීමට එය ඉමහත් අවස්ථාවක්වනු ඇතැයි මහලේකම්වරයාගේ ප්‍රකාශයේ සඳහන්වේ. රාජ්‍ය මට්ටමේ වැඩ සටහන්වලට අමතරව ලෝක පරිසරය දිනය උපයෝගී කරගනිමින් අනවශ්‍ය විදුලි පහන් නිවීම, පොදු ප්‍රවාහන පහසුකම් භාවිතය, රුක් රෝපණය, ප්‍රතිචක්‍රීකරණ සම්පත් භාවිතය හා පරිසරය පිරිසිදුව තබා ගැනීම වැනි පුද්ගල මට්ටමේ පරිසර හිතකාමී ක්‍රියාවන්ට එළඹීමට හැකිවුවහොත් හරිත පරිසරයක් ගොඩ නැඟීම සඳහා එවැනි පුද්ගල කැපවීම් ඉමහත් දායකත්වයක් ලබාදෙනු ඇති බවද ඔහු සඳහන් කරයි.
2009 ලෝක පරිසර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් පැළ සිටුවීමේ ප්‍රයත්නයක් අරඹා ඇති අතර 2009 වර්ෂය අවසානවනවිට පැළ බිලියන 7 ක් (ලෝක ජනගහණයට සමාන) ලොවපුරා රටවල්වල සිටුවීමට ඒ මගින් අපේක්ෂා කෙරේ. මීට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ලෝක පරිසර දිනයට සමගාමිව නොයකුත් උත්සව, දේශන, ප්‍රදර්ශන හා පරිසර සතියන් වැනි දෑ ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණයට හා විශේෂයෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීමට තම රටවල් ඇති කැපවීම හා සහයෝගිතාවය පෙන්වීමේ උත්සාහයන්වල යෙදී සිටී.
මුළු ලෝකයටම බරපතල තර්ජනයක්වී ඇති දේශගුණික විපර්යාස අවම කිරීමට එවැනි කුඩා පරිමාණ පරිසර පිළිවෙත්වලින් (environmental rituals) යම් දායකත්වයක් ලැබුණද සත්‍ය වශයෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීමට නම් ඒ සඳහා කැපවී ක්‍රියාත්මකවිය යුත්තේ වායු ගෝලයට කාබන් ටොන් මිලියන ගණනින් මුදා හරින සංවර්ධිත කාර්මික රටවල්ය. එසේ කිරීම සඳහා 1997 දී ජපානයේ කියෝතෝ වල පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී සංවර්ධිත රටවල් එකඟතාවයකටද පැමිණියහ. ඒ අනුව 2012 වන විට යුරෝපා රටවල්, ඇමෙරිකාව හා ජපානය වැනි සංවර්ධිත රටවල් මගින් වායු ගෝලයට නිකුත් කරණ හරිතාගාර හා වෙනත් කාබන් වායු ප්‍රමාණය 1990දී තිබුණාට වඩා 5.2% ක සමස්ථ ප්‍රමාණයකින් අඩු කිරීමට ‘කියෝටෝ සම්මුතිය’ තුළින් නීතිමය වශයෙන් බැඳීමකටද එළඹින. එහෙත් අවාසනාවනම් මෙන් එම ඉලක්කය වෙත යාම සඳහා සංවර්ධිත රටවල් මගින් ලබාදිය යුතු දායකත්වය නොලැබීමයි. මෙම තත්වය වඩාත් තර්ජනාත්මක වන්නේ තව වර්ෂ 3 කින් (2012 දී) ‘කියෝතෝ සම්මුතිය’ ඉකුත්වී බලරහිත වන බැවිනි.
ගෝලීය උණුසුම වැඩිවීමට තුඩුදෙන හරිතාගාර හා කාබන් වායු ප්‍රමාණය අවම කිරීම සඳහා පොහොසත් සංවර්ධිත රටවල්වල කැපවීම ප්‍රදර්ශනය කිරීමට ඇති අවසාන අවස්ථාවවිය හැක්කේ මෙම වර්ෂයේ (2009) දෙසැම්බර් මස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවයි (Copenhagen convention). එහිදී ‘කියෝතෝ සම්මුතිය’ අළුත් කිරීමට හෝ වෙනත් සම්මුතියකට එළඹීමකට හෝ අපේක්ෂා කෙරේ. ‘කෝපන්හේගන් සම්මුතිය’යැයි බොහෝවිට නම්විය හැකි එම එකඟතාවය මානව වර්ගයා විසින් තම අනාගතය තීරණය කිරීම සඳහා 21 ශත වර්ෂයේ ගණුලබන අතිශයින්ම වැදගත් තීරණයක් වියහැක.
කෝපන්හේගන් සමුළුවේදී එම තීරණය සඳහා එළඹීමට පොහොසත් සංවර්ධිත රටවලට බලකිරීමේ පෙත්සමක් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් ලෝක පරිසර දිනයට සමගාමීව ඉදිරිපත්කර ඇත. ‘එකඟතාවය තහවුරු කරන්න’ (seal the deal) යනුවෙන් නම්කර ඇති මෙම පෙත්සමට අත්සන් කිරීමට http://www.sealthedeal2009.org/petition.asp යන වෙබ් අඩවිය තුලින් ඔබටද හැකිය.
ඓතිහාසිකවිය හැකි 2009 කෝපන්හේගන් සමුළුවට පෙර පැවැත්වෙන මෙම අවසාන ලෝක පරිසර දිනය කෙතරම් වැදගත්දැයි මෙයින් වැටහේ.
2009 මැයි 22 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයේ මෙවර තේමාව ‘ආක්‍රමණික පිටස්තර ජෛව විශේෂ හා ජෛව විවිධත්වයයි’
‘Alien invasive species’ – this year’s theme for International Biodiversity Day on May 22nd
(2009 මැයි 22)
ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය - International day for Biological Diversity අදට (මැයි 22 දිනට) යෙදී ඇත. මෙම දිනය පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට යෙදුනේ 1993 දී වන අතර එයට මුල්වූයේ එක්සත්ජාතීන්ගේ පාරිසරික වැඩසටහනයි (UNDP). මෙම ජෛව විවිධත්ව දිනය ක්‍රියාත්මකවන්නේ ජෛව විවිධත්ව සම්මුතිය (Biological Diversity Convention) නමැති ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 190 ක් හා යුරෝපා සංගමය විසින් ගිවිස ගන්නාලද එකඟත්වයක් තුළින්ය. මෙම සම්මුතිය මගින් අපේක්ෂා කරන්නේ ගෝලීය ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට නිරන්තරයෙන් බැඳි සිටිමින් ඒ සඳහා සක්‍රීයව දායකවීමයි. එහි ප්‍රධාන අරමුණු 3 වන්නේ ජෛව විවිධත්වය ආරක්ෂාකිරීමත්, ජෛව විවිධත්ව ප්‍රයෝජන තිරසාරව භාවිතා කිරීමත් හා ජෛව විවිධත්ව ප්‍රතිලාභ සමානාමාත්මකව භුක්ති විඳීමටත්ය.
ජෛව විවිධත්වය යනු මිරිදිය, ගොඩ හා සාගරයෙහි ඇති අතිමහත් ජීවී (ශාක හා සත්ව) සමූහයතුළ ජානමය වෙනස්කම් තුලින්(through genetic differences) පිළිබිඹුවන විවිධත්වයන් වන අතර සමස්ථ පාරිසරික පද්ධතියම තුලනාත්මකව (keeping ecological balance) පවත්වාගෙන යැමට මෙම විවිධත්වය හේතු පාදකවේ. වනාන්තර එළිකිරීම හා හරිතාගාර වායු (greenhouse gases) මුදා හැරීම වැනි මිනිසාගේ ක්‍රියාකාරිත්වය හා දේශගුණික විපර්යාසයන් වැනි හේතූන් නිසා ජෛව විවිධත්වයට හානි සිදුවන අතර ඒ මගින් බිඳීයන පාරිසරික තුලනය මගින් සියළුම ජීවීන්ගේ පැවැත්මට තර්ජනයන් එල්ල කරයි. මෙ නිසාම පක්ෂී, උරගයි හා ක්ෂීරපායී සත්ව විශේෂ කිහිපයක් දැනටමත් පෘතුවි තලයෙන් වඳවීගොස් (extinct) ඇති අතර තවත් විශේෂ කිහිපයක් වඳවීමේ අනතුරට භාජනයවෙමින් (vulnerable) තිබේ.
මැයි 22 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට සමගාමීව සෑම වර්ෂයක් සඳහාම ජෛව විධත්වය ආරක්ෂා කරගැනීමට අදාළ විශේෂ තේමාවක් නම් කරනු ලබයි. 2009 වර්ෂය සඳහා තෝරාගෙන ඇති තේමාව වන්නේ ‘ආක්‍රමණික පිටස්තර ජෛව විශේෂයන්ය’ (Invasive alien species). මේ තේමාවෙන් අදහස් කරන්නේ යම් පරිසර පද්ධතියකට අයිතිනොවන (බාහිරවූ) ජීව විශේෂයන් එම පරිසර පද්ධතියට ඇතුළු කිරීමෙන් එම පද්ධතියේ පාරිසරික තුලනයට සිදුවන හානිය හා ඒ මගින් එම පරිසර පද්ධතියට ආවේණික ජීව විශේෂයන්ගේ පැවැත්මට සිදුවන තර්ජනයයි. නොයෙකුත් කෙටි කාලීන ලාභ ප්‍රයෝජන අරභයා විද්‍යාත්මක ඇගයීමකින් තොරව එක් රටක සිට තව රටකට (හෝ එක් පාරිසරික කලාපයක සිට තවත් පාරිසරික කලාපයකට) ශාක හා සත්ව විශේෂයන් රැගෙන යෑම බොහෝවිට අසන්නට ලැබෙන අතර මේ නිසා ජෛව විවිධත්වයට හානි සිදුවිය හැකි බරපතළ ගැටළුවකි.
පසුගිය වර්ෂ කිහියේදී හා ඉදිරි වර්ෂ කිහිපයේදී ජාත්‍යන්තර ජෛව විධත්ව දිනය සඳහා තෝරාගෙන ඇති තේමාවන් පහත දැක්වේ.
2011 - වනාන්තර හා ජෛව විවිධත්වය (Forests and biodiversity)
2010 - සංවර්ධනය හා ජෛව විවිධත්වය (Development and biodiversity
2009 - ආක්‍රමණික පිටස්තර ජීව විශේෂ (Invasive alien species)
2008 - කෘෂිකර්මය හා ජෛව විවිධත්වය (Agriculture and biodiversity)
2007 - ජෛව විවිධත්වය හා දේශගුණික විපර්යාස (Biodiversity and climate changes)
2006 - ජෛව විවිධත්වය හා ශුෂ්ක බිම්(Biodiversity and dry lands)
මෙම ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පාරිසරික හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධිත ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා පේරාදෙනිය විශ්ව විද්‍යාලය එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි අනුග්‍රහයෙන් මැයි 21 හා 22 යන දෙදින තුළ වැඩමුළුවක් සංවිධානය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනට අනුබද්ධිත ගෝලීය පරිසර පහසුකම (Global Environment Facility – GEF) මගින් ක්‍රියාත්මක කෙරෙන ‘ආක්‍රමණික හා පිටස්තර ජීව විශේෂ හඳුන්වාදීම හා පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ආයතිනක ධාරිතාව ඉහළ නැංවීමේ’ ව්‍යාපෘතිය මෙම සමුළුවට පසුබිම සපයනු ඇත
මූලාශ්‍රය:
http://www.cbd.int/convention/about.shtml




