සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

 

කුඩා මූල්‍යකරණයෙන් මගහැරෙන කුඩා හා මධ්‍යම ව්‍යවසාය ක්ෂේත්‍රය
What microloans miss

1970 දශකයේ ඉතා සුළුවෙන් ආරම්භවූ දුප්පතුන් සඳහා කුඩා ප්‍රමාණයේ ණය (microloans) ලබාදීමේ ක්‍රමය පසුගිය දශක කිහිපය තුළ විශාල විපර්යාසයන්ට භාජනයවෙමින් පරිනාමයවී වර්තමානය වනවිට ‘කුඩා මූල්‍යකරණය’ නමැති විශේෂිත අංශයක් ලෙස උච්චස්ථානයකට එළඹ ඇත. එම උච්චස්ථානය සනිටුහන් කරණ වැදගත්ම අවස්ථා දෙක වන්නේ එක්සත් ජාතීන් විසින් 2005 වර්ෂය කුඩා මුල්‍යකරණ වර්ෂය (2005 as Year of Microcredit) ලෙස නම් කිරීමත් ග්‍රාමීන් බැංකුව ආරම්භකළ ආචාර්ය මොහොමඩ් යූනුස්ට 2006 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගය ලැබීමත්ය. කුඩා මුල්‍යකරණ අංශය මෙසේ ලබාගත් පිළිගැනීමත් සමගම මිලියන ගණනින් ඩොලර් ගලා ඒමේ සංවර්ධන රැල්ලක් මේවනවිට ගොඩ නැගෙමින් පවතී. ‍මේ වනවිට ලොව ධනවත් සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සහ සිනමා තරු රැසක්ද කුඩාමූල්‍යකරණය ප්‍රවර්ධනය සදහා ඉදිරිපත්වී ඇත.

දුප්පතුන්ගේ අභිවෘද්ධිය සඳහා කුඩාමූල්‍යකරණය මගින් සිදුවන අතිමහත් මෙහෙය පිළිබඳ කිසිදු සැකයක් හෝ විවාදයක් නැතත් රටක ආර්ථික සංවර්ධනය උදෙසා කුඩා මුල්‍යකරණයෙන් සිදුවන දායකත්වය නම් සැක සහිතය. මෙයට හේතුව දුප්පතුන් ලබා ගන්නා කුඩා ණය ඔවුන්ට වැදගත්නොවීම නොව ඒ ණය ආර්ථික ව්‍යවසායකයින් ලෙස ගොඩ නැගීම සඳහා ඔවුන් කෙතරම් දුරට ඉවහල් කරගන්නේද යන ප්‍රශ්නයයි. ව්‍යවසායික වර්ධනයක් සඳහා නම් ලබා ගන්නා ණය භාවිතා කළයුත්තේ අමු ද්‍රව්‍ය සහ වෙනත් ආදායම් උත්පාදන   ක්‍රියාකාරකම් සඳහාවන අතර ක්‍රමක්‍රමයෙන් ආයෝජනය වැඩිකර ගනිමින් අදාළ ව්‍යාපාරවල වර්ධනයක් අත්පත්කරගත යුතුය. ඒ මගින් අළුත් රැකියා කිහිපයක් බිහි කළ යුතුය. එහෙත් කුඩා මූල්‍යකරණ ආයතනවලින් ණය ලබාගන්නා බොහෝ දුප්පතුන් එම ණයවලින් වැඩි කොටසක් භාවිතා කරන්නේ පරිභෝජනය, ලෙඩරෝග සහ ළමයින්ගේ අධ්‍යාපනය ආදි දේවල් සඳහා මතුවන හදිසි අවස්ථාවලින් ගැලවීම සඳහාය. ඩොලර් 100 ක් (රුපියල් 10,000 ) පමණවන කුඩා ණය ප්‍රමානයක් ආයෝජනය කළ හැක්කේ ඉතා කුඩා ආදායම් උත්පාදන කාර්යකට වන අතර ඒ සදහා 30% ක් පමණ වැනි අධික පොලියක් ගෙවනවිට එමගින් ලැබෙන ලාභංශද ඉතා අල්පය. එම නිසා නැවත වරක් ණයක් ගත්විට නැවතත් මුල් කාර්යටම මුදල් යොදනවා ඇරෙන්නට ව්‍යවසායික වර්ධනයක් ලබා ගැණිම කුඩා මූල්‍යකරණය මගින් ඉතාමත්ම අපහසුය.  එම නිසාම කුඩා ණයලාභීන්ගෙන් අතිමහත් බහුතරයක් ස්වයං රැකියා මට්ටමේ සිටිනවා විනා අළුත් රැකියා බිහිකරන බවක් නම් පෙනෙන්නට නැත.

මේ නිසාම දිළිඳු රටවල් සඳහා වැඩි වශයෙන්ම අවශ්‍යවන්නේ කුඩා මූල්‍යකරණය මත යැපෙන ඉතා කුඩා ස්වයං රැකියා පරිමාණයේ ආදායම් මාර්ග නොව කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන්ය (Small and Medium Enterprises). විශාල පරිමාණ ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් ලබා දිමට නොයෙකුත් වාණිජ බැංකු පද්ධති ඇති අතර ඉතාම කුඩා මට්ටමේ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය ප්‍රසාරණය වෙමින් පවතී. එහෙත් අවාසනාවකට මෙන් මෙම වර්ග දෙක අතර ඇති මධ්‍යම ව්‍යවසායන් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා කෙරෙහි දිළිඳු රටවල්වල තුළ ඇත්තේ ඉතා අල්ප අවධානයකි. මෙම තත්වය වඩාත් උත්සන්නවී ඇත්තේ කුඩා මූල්‍යකරණය කෙරෙහි පවතින අධිඅවධානයයි.  

කුඩා ණය ලබා ගැනීමෙන් පමණක් ස්වයං රැකියා මට්ටමේ ව්‍යවසායන් පවත්වාගෙන යාහැකිවුවත් වඩා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා ණය පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව එවැනි ව්‍යවසායන්ගේ වර්ධනය සඳහා ප්‍රතිආයෝජනයන් (reinvestment) කිරීම අවශ්‍ය නිසාය. මෙවැනි මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායන්ට අවශ්‍ය ආයෝජන කිරිමට සූදානම් ආයෝජක පැලැන්තියක් (venture capitalists) සංවර්ධිත රටවල්වල බිහිවී ඇතිමුත් සංවර්ධනයවන රටවල මෙම අවශ්‍යතාව දැඩි අඩුපාඩුවක් ලෙස තවමත් දැනෙන්නට තිබේ.
මෙම තත්වයේ තරමක වෙනසක් ඇතිකරණ සිදුවීම් කිහිපයක් වාර්තාවන අතර ඒ අතුරින් Google සමාගම සහ කෝටිපති ව්‍යාපාරික ජෝර්ජ සොරෝස්ගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්‍ට අවශ්‍ය ආයෝජනයන් ලබා දීමේ ආයෝජන සමාගමක් (investment company) ඉන්දියාවේ පිහිටුවීම පිළිබඳ ප්‍රවෘත්තිය (http://www.domain-b.com/management/general/20080222_smes.html) ඉතා වැදගත්ය. එහෙත් දිළිඳු රටවල ආර්ථික වර්ධනය ඇති කිරීමට නම් එවැනි ප්‍රයත්නයන් බොහොමයක් සිදුවිය යුතු අතර එසේ නොවුනහොත් කුඩා මුල්‍යකරණ අංශය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයන්ගෙන් අපේක්ෂිත ප්‍රථිඵලද නොලැබී යනු ඇත.  

මූලාශ්‍රය: www.newyorker.com/talk/financial/2008/03/17/080317ta_talk_surowiecki