දිළිඳුකම තුරන් කිරීමට විසඳුම රැකියා ජනිත කිරීම මිස කුඩා මූල්‍යකරණය නොවේ.
Employment, not Micro credit is the Solution
2007 ජනවාරි මාසයේදී පර්යේෂණ ලිපියක් ලියන ඇමෙරිකාවේ මිචිගන් සරසවියේ අනීල් කර්නානි, කුඩා ණය දීම් (micro credit) මගින් අපේක්ෂා කරන තරම් ප්‍රතිලාභ නොලැබෙන බවත්, එහි ප්‍රශ්නය ඇත්තේ කුඩා ණය වැඩ සටහන්වල නොව එම ණය භාවිතා කොට ක්‍රියාත්මක කෙරෙන කුඩා ව්‍යාපාර (micro-enterprises) තුළ බවත් අවධාරණය කරයි. ‘Employment not Micro credit, is the Solution’ (විසඳුම, රැකියා මිස කුඩා මූල්‍යකරණය නොවේ) නමින් පළවන මේ ලිපිය http://ssrn.com/abstract=962941 යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
ග්‍රාමීන් බැංකුවේ අරමුණ අනුව, අඩු ආදායම් ලාභීන්ට කුඩා ණය දිමෙන් ඒවා ආයෝජනය කොට ආදායම් වැඩිකොට එයින් ලැබෙන මුදල් නැවතත් ආයෝජනය කොට තවත් ආදායම් වැඩි කිරීමට හැකිවේය යන අපේක්ෂාවේත්, 2005 වර්ෂය කුඩා මූල්‍යකරණ වර්ෂය ලෙස නම් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන ‘ඩොලර් 100 ක් වැනි කුඩා ණයක් ලබා ගන්නා කුඩා ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කොට ප්‍රාදේශීය ආර්ථිකය නැංවීමට සමත්ය’ යන ප්‍රකාශයේත්, Fortune at the Bottom of the Pyramid (පිරමිඩය පතුලේ ඇති වාසනාව) යන ඉතා ආකර්ෂණිය පොත ලියූ සී. කේ. ප්‍රහලාද් පවසන ‘ කුඩා ණයලාභීන් නව්‍යකරණයට බර ව්‍යවසායකයන්ය’ යන ප්‍රකාශයේත් නිවැරදිබව ප්‍රශ්නයට භාජනය කරන මෙම ලිපිය කුඩා ණය වැඩසටහන්වලින් බලාපොරොත්තු වන තරමට දිළිඳුකම තුරන් කිරීමට නොහැකිය යන මතය ඉදිරිපත් කරයි.
කුඩා ණයලාභීන්, විශේෂයෙන්ම ණයලාභී කාන්තාවන් ඉතිරි කිරීම් සහ ආදායම් ඉපයීම් මගින් ස්වයං අභිමානය, ප්‍රජා සාමූහිකත්වය සහ සමාජ සවිබලකරණය වැනි ප්‍රතිලාභ ලබණ අතර ගෘහස්ථ ආර්ථිකයේ යම් වර්ධනයක් ඇතිකරමින් තම ප්‍රජාව තුළ යම් කේවල කිරීමේ ශක්තියක් ලබා ගන්නා බව සත්‍යය. එහෙත් මේ තත්වය දිළිඳුකම තුරන් කිරීම සඳහා කිසිසේත්ම නොසෑහෙන බව කර්නානිගේ මතයයි. ද ඉකොනොමිස්ට් (The Economist) සඟරාව උපුටා දක්වමින් කර්නානි පවසන්නේ කුඩා ණය වැඩසටහන් තුළ හදවතට ආකර්ෂණීය කරවන සිද්ධි අධ්‍යයන බොහෝ තිබුණද ඒවා තහවුරු කෙරෙන ප්‍රත්‍යක්ෂමූල අධ්‍යයනයන් (empirical studies) ඉතා විරල බවයි. එසේ කරන ලද ප්‍රත්‍යක්ෂමූල අධ්‍යයන බොහෝමයකට අනුව කුඩා ණය වැඩ සටහන්වලින් ප්‍රතිලාභ ලැබෙන නමුත් එම ප්‍රතිලාභ ඉතා සීමිත වේ. සමහර අධ්‍යයනයන්ට අනුව සමහරක් කුඩා මූල්‍ය වැඩ සටහන්වලින් දුප්පතුන් ණය භරිතවී තවත් දිළිඳු බවට පත්වූ අශුභවාදී ප්‍රතිපලද ලැබී ඇත. එම නිසා කුඩා මූල්‍යකරණයේ යථාර්තය අපේක්ෂාවන්ට හෝ පොරොන්දුවලට වඩා වෙනස්ය.
කර්නානිගේ මතයට අනුව කුඩා ණය පහසුකම් ලබා ගන්නා අඩු අදායම් ලාභී පුද්ගලයින් ආයෝජනය කරන ආදායම් උත්පාදන ක්‍රියාවන් ඉතා කුඩා මට්ටමේ පවතින, කුඩා ආයෝජනයක් ඇති, අඩු තාක්ෂණ උපයෝගීතාවයකින් යුත්, අවම කුශලතා අවශ්‍ය , ප්‍රමාණුකූල පිරිමැසුම් බව අඩු (low scales of economies), නව්‍යතාවයට නැඹුරක් අඩු (less innovative), ව්‍යවසායකත්වයකින් තොර (lack of entrepreneurship) සහ අඩු ඵලදායිතාවයකින් (low productivity) යුක්ත නිසා එවැනි ආදායම් මාර්ග වලින් බලාපොරොත්තුවන තරමේ ආර්ථික පිබිදීමක් ලබා ගත නොහැකි බවයි. ලෝක කම්කරු සංවිධානය පවසන පරිදි දුප්පත් කම පිටු දැකීමේ හොඳම උපාය මාර්ගය රැකියා ජනිත කිරීම යන්න අනුමත කරන කර්නානි, කුඩා මූල්‍යකරණයෙන් ආයෝජනය කෙරෙන ව්‍යාපාරවලට රැකියා ජනිත කිරීමට ඇති හැකියාව ඉතා අල්ප යයි ප්‍රකාශ කරයි. එවැනි ව්‍යාපාරවලින් ජනිත කෙරෙන රැකියා වල ස්ථිරභාවයද බොහෝ අඩුය.
ලෝක බැංකුවේ සහ ලෝක කම්කරු සංවිධානයේ දත්තයන් උපයෝගී කොට ගෙන චීනයේ සහ ඉන්දියාවේ දිළිඳුකම පහත වැටීමේ සහ රැකියා වර්ධනයේ වේගයන් සංසන්දනය කරන කර්නානි පෙන්වා දෙන්නේ චීනය දිළිඳුකම තුරන් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. මෙයට මූලික හේතුව චීනයේ ව්‍යාපාර ඉන්දියාවේ ව්‍යාපාර වලට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් ජනනය කරන නිසාය.
කර්නානි පවසන අන්දමට වඩා ස්ථිර සහ වැඩි වේතනයක් සහිත රැකියා අවස්ථා ඇත්නම් කුඩා මුල්‍ය ආයතණවලින් ණය ගන්නවාට වඩා එම රැකියා ලබා ගැනීමට දුප්පතුන් පෙළඹනු ඇත. එම නිසා කාන්තාවකට මහණ මැෂිමක් මිලට ගෙන ඇඳුම් මැසීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඩොලර් 200 ක ණයට දෙනවාට වඩා ඩොලර් ලක්ෂයක් ණයට දී විශාල ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් අරම්භ කොට පුද්ගලයින් 500 කට රැකියා සැපයිමට සැලැස්වීම වඩා යෝග්‍යය යන මතය මෙම ලිපියෙන් ඉදිරිපත්වේ.




