සමාජ ආචාර ධර්ම සුරැකීමේ තේ නිෂ්පාදනයක් (Ethical tea)
ව්‍යාපාරික ප්‍රජාවෙහි සමාජ වගකීම් (promotion of corporate social responsibility) ප්‍රවර්ධනයට ඉවහල්වන නවතම ප්‍රයත්නයක යෙදී ඇති ශ්‍රී ලාංකික තේ අපනයන සමාගමක් පිලිබද තොරතුරු www.un.org වෙබ් අඩවිය මගින් 2007 මාර්තු 19 දින අණාවරනය කරයි.
ඉහත තොරතුරට අනුව මැබ්රොක් තේ (Mabroc Teas) නමැති හ්‍රී ලාංකික තේ සමාගම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ග්ලොබල් කම්පැක්ට් (Global Compact) වැඩසටහන හදුන්වාදී ප්‍රවර්ධනය කෙරෙන සමාජ ආචාර ධර්ම අඩංගු මූල ධර්ම 10 ට අනුගතවී තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට තීරණය කර ඇත. මෙහි මුල් පියවර ලෙස එම සමාගම මගින් අපනයන කෙරෙන තේ වර්ග දෙකක අසුරණයන් තුල මෙම මූල ධර්ම 10 අඩංගු කුඩා පත්‍රිකාවක් (leaflet)ඇතුලත් කොට ඇත. වර්ෂයකට ලක්ෂ දහයක් පමණ විදේශ පාරිභොගිකයින් පිරිසකට අලෙවි වන මෙම තේ පැකට් මගින් 'ග්ලොබල් කම්පැක්ට්' වැඩසටහනට පුළුල් ප්‍රචාරණයක් ලැබෙනු ඇත. මීට අමතරව එසේ අලෙවි කෙරෙන සෑම තේ පැකට් එකකින්ම ලැබෙන ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් 1.5 ක් (දල වශයෙන් රුපියල් 150 ක්) 'සෑම වතු කම්කරු පවුලකටම නිවසක්' යන වැඩ සටහනට පරිත්‍යාග කෙරෙනු ඇත. මෙම වැඩසටහන යටතේ කැළණිවැලි ප්‍රදේශයේ තේ වතුවල සේවය කරන කම්කරු පවුල් 10000 කගේ පමණ ජීවන, සෙෘඛ්‍ය, පෝෂණ හා පාරිසරික තත්වයන් වැඩිදියුණු කිරීමත් සහ සමාජ සහ ආර්ථික වශයෙන් ඔවුන් සවිබල කිරීමත්අපේක්ෂා කෙරේ.
මේ පිළිබද තවත් තොරතුරු www.mabrockvplethicalteas.com වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
'ග්ලොබල් කම්පැක්ට්' (Global Compact) වැඩසටහන යනු කුමක්ද?
ග්ලොබල් කම්පැක්ට් යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතන 6 ක් ජාලගත වී (network of 6 UN organizations) ක්‍රියාත්මකවන වැඩසටහනකි. එම ආයතන නම්:
- මානව අයීතීන් පිළිබද මහ කොමසාරිස් කාර්යාලය (UNHCR)
- එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන (UNEP)
- අන්තර් ජාතික කම්කරු සංවිධානය (ILO)
- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)
- එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන ආයතනය (UNIDO)
- මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද එක්සත් ජාතින්ගේ කාර්යාලය (UNODC)
ව්‍යාපාර මගින් ආර්ථික සමෘද්ධිය සහ සාමය සදහා සුවිශේෂ දායකත්වයක් සිදුවෙතත් ව්‍යපාරික වෙළද ආර්ථිකය තුලින් ඉස්මතුවන සූරා කෑම (exploitation), දූෂණය (corruption), ආදායම් විෂමතාවයන්(income inequality) සහ නව්‍යකරණයට බාධා ඇතිකිරීම (barriers to innovation) වැනි සමාජ විරෝධී ලක්ෂණ සමස්ථ ව්‍යාපාරික ප්‍රජාවම බරපතල සැකයට භාජනය කරයි. ග්ලොබල් කම්පැක්ට් වැඩසටහනේ මූලික අරමුණ වී ඇත්තේ ලොව පුරා සිටින ව්‍යාපාරික ප්‍රජාව සහ ගෝලීය වෙළද ආර්ථිකය තුල සමාජ සුජාතභාවය ගොඩ නැඟීමය (building social legitimacy of business and markets). මේ නිසාම දැනට ක්‍රියාත්මකවන ප්‍රළුල්ම ගෝලීය ව්‍යාපාරික පුරවැසි ප්‍රයත්නය (global corporate citizenship initiative) ලෙස මෙය හැදින්විය හැක.
ග්ලොබල් කම්පැක්ට් වැඩසටහන රෙගුලාසි පැනවීමක් හෝ මෙම වැඩ සටහනේ මූලධර්ම පිළිපැදීම සදහා ව්‍යාපාරික ප්‍රජාවට බලපෑමක්ද හෝ නොකරයි. එහි මූලධර්ම 10 ට අනුව තම ව්‍යාපාර කටයුතු පෙළගස්වා ගැනීමට අපේක්ෂා කෙරෙන ව්‍යාපාර එසේ කළ යුත්තේ ස්වේච්ඡාවෙන්මය. එම මූලධර්ම 10 ය මාතෘකා හතරක් යටතේ පෙළ ගස්වා ඇත.
මානව අයිතීන් (Human rights):
1) අන්තර් ජාතික වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ ඒවා සුරැකීමට සහය විම
2) මානව අයිතිවාසිකම් උල්ලංඝනය සදහා සහාය නොදැක්වීම
කම්කරු අයිතීන් (Labour standards):
3) සාමූහික කේවල් කිරීම සදහා කම්කරුවන්ට ඇති අයිතිය පිළිගැනීම තුලින් ඔවුන්ට එකතුවීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදීම.
4) බලෙන් සහ අනිවාර්ය ලෙස ශ්‍රමය භාවිතාවන සියළු ක්‍රම තුරන් කිරීම
5) බාල වයස් ලමා ශ්‍රම භාවිතය තුරන් කිරීම
6) සේවා නියුක්තිය සහ වෘත්තිය පිළිබද වෙනස්කමක් නොදැක්වීම
පාරිසරික (Environment):
7) පරිසරය සුරැකීම සම්බන්ධ අභියෝගවලදී ප්‍රවේශම්කාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට සහය වීම
8) පරිසරය සම්බන්ධ වඩා වැඩි වගකීම් ප්‍රවර්ධනය කෙරෙන ප්‍රයත්නයන්වල යෙදීම
9) පාරිසරික හිතවාදී තාක්ෂණයන් සංවර්ධනය සහ ප්‍රචලිත කිරීම උදෙසා සහයවීම
දූෂණ විරෝධී (Anti-corruption):
10) අසාධාරන ඉපයීම් (extortion) සහ අල්ලස (bribery)ඇතුළු සියළු දූෂනවලට විරුද්ධව ක්‍රියාකිරීම




