සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

 

ගෝලීය ආර්ථිකයේ පාරිභෝගිකයින් බවට දුප්පතුන් පෙළඹවීම: ආර්ථික පිරමිඩයේ පතුල සොයා යන ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව
Corporate sector pursuing the Base of the (economic) Pyramid

‍සංවර්ධනයවන බොහෝ රටවල් තුළ සමාජ ප්‍රශ්න ඉස්මතුවීමට වඩාත් තුඩුදි ඇත්තේ දිළිඳු ජනගහණයේ අධික බවට වඩා දිළින්දන් සහ පොහොසතුන් අතර ඇති ආදායම් විෂමතාවයයි (income inequality). වැඩි ආදායම් සහිත පොහොසතුන්ගේ අධි පරිභෝජන රටාව සහ එමගින් ඔවුන් අත්කරගන්නා සමාජ තත්වය මෙම විෂමතාවය වඩා තීව්‍ර කිරීමට සමත්වී ඇත. මේ තත්වය කෙතරම් භයානක වීද යත් 1960 දී ගෝලීය ජනගහණයෙන් වැඩිම ආදායම් ලබන 20% කොටස ගෝලීය ආදායමෙන් 70% ක් ඉපයූ අතර එම වර්ෂයේදී අඩුම ආදායම් ලබන 20% කොටස ඉපයූවේ ගෝලීය ආදායමින් 2.3% ක් පමණි.  2000 වනවිට ඉහළම ආදායම් ලබන 20% ජනගහණ කොටසේ ආදායම් ප්‍රතිශතය 85% කට වැඩිවූ අතර, එම වර්ෂයවනවිට අඩුම ආදායම් ලබන 20% ජනගහණ කොටසේ ආදායම් ප්‍රතිශතය 1.1% දක්වා පහළ බැසීය.

 

1960 දී ලැබූ අදායම් ප්‍රතිශතය

2000දි ලැබූ ආදායම් ප්‍රතිශතය

ඉහළම ආදායම් ලබන 20%

70%

85%

පහළම ආදායම් ලබන් 20%

2.3%

1.1%

මෙම ආදායම් විෂමතාවය නිසාම අඩු ආදායම්ලාභින්ට ගෝලීය වෙළඳ ආර්ථිකය හා බද්ධවීමට හෝ එහි පාරිභෝගිකයින් විමටවත් නොහැකියයි යන මතය ගොඩනැඟුණා පමණක් නොව ක්‍රම ක්‍රමයෙන් සමාජ ආර්ථික සහ දේශපාලන වශයෙන්ද කොණ්වන්නට ඔවුන්ට සිදුවිය.  මේ නිසාම ගෝලීය වෙළඳ ආර්ථිකයේ නියමුවන් සහ අයිතිකරුවන් ලෙස සැළකෙන පෞද්ගලික ව්‍යාපාර අංශය සහ විශේෂයෙන්ම බහුජාතික ව්‍යාපාර පද්ධතිය විසින් ඉහළ ආදායම් ලබන සමාජ ස්ථරය පමණක් තම පාරිභෝගිකයින් ලෙස සැළකූ අතර, ව්‍යාපාරික වශයෙන් වාසිදායි නොවන කණ්ඩායමක් ලෙස අඩු ආදායම් ලබන සමාජ ස්ථරය බැහැර කරනු ලැබීය.  එසේ බැහැර කිරිමට හේතුපාදකවූ උපකල්පනයන් වන්නේ:

  • අධික මිල සහිත උසස් තත්වයේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට නොහැකිය, ඔවුන් සාමාන්‍යයෙන් මිලට ගන්නේ තාක්ෂණය යල්පැනගිය අඩු මිල සහිත ඒවාය.
  • පෞද්ගලික අංශය විසින් නිෂ්පාදනය කෙරෙන උසස් තත්වයේ භාණ්ඩ හා සේවාවන්ද එම භාණ්ඩ ප්‍රවර්ධනයට (promotion) හා බෙදා හැරීමට (distribution) අනුගමනය කරන සාම්ප්‍රදායික ව්‍යාපාර ක්‍රමවේදයන්ද අඩු ආදායම්ලාභීන්ට නොගැලපේ.
  • පෞද්ගලික ව්‍යාපාර අංශයේ පිරිවැය රාමු (cost structures) සාමාන්‍යයෙන් සැකසී ඇත්තේ ඉහළ ආදායම් ස්ථරය සඳහාවූ භාණ්ඩ හා සේවා සඳහාය.  ඒවා වෙනස්කිරීම පහසුවෙන් කළ නොහැක.
  • ආර්ථික හා සමාජීය වශයෙන් අඩු ආදායම් සහිත සමාජ ස්ථරය ව්‍යාපාර ලෝකයේ තිරසාරත්වය සඳහා තීරණාත්මක සාධකයක් නොවේ. එම ස්ථරය වැදගත්වන්නේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන්ට පමණි.

ලෝකයේ සහ විශේෂයෙන්ම සංවර්ධනයවන රටවල්වල අඩු ආදායම්ලාභී ස්ථරයට අයත් ප්‍රජාව මෙසේ ගෝලීය ආර්ථිකයෙන් බොහෝ කලක් බැහැරව සිටියද පසුගිය වර්ෂය කිහිපයක සිට මෙම ස්ථරය බහු ජාතික මෙන්ම ජාතික ව්‍යපාර ප්‍රජාවගේත් දැඩි අවධානයට සහ ආකර්ෂණයට හසුවෙමින් පවතී. ‘ආර්ථික පිරමිඩයේ පතුල’ (Base of the Pyramid) නොහොත් BoP යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම අඩු ආදායම්ලාභි ස්ථරය කෙරෙහි ව්‍යාපාරික ප්‍රජාව මෙතරම් අවධානයක් යොමුකිරීමට පාදකවූ සාධක කිහිපයක් ඇත. ඒ සාධක නම්:

අ) සීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙන දුප්පතුන් සහ පොහොසතුන් අතර ඇති ආදායම් විෂමතාවය තුළින් පැනැගී ඇති සමාජ විෂමතාවයන් සහ කළකිරිම් නිසා ගෝලීය වශයෙන් උත්සන්නවෙමින් පවතින සමාජ-දේශපාලනික ගැටුම් සහ ත්‍රස්තවාදී ක්‍රියා ව්‍යාපාරික ප්‍රජාවගේම පැවැත්මට ඉතා අහිතකරලෙස බලපෑ තිබීම.

ආ) ව්‍යාපාරික ප්‍රජාවගේ ප්‍රධානතම පාරිභෝගිකයින්වන ආර්ථික පිරමිඩයේ මුදුන්ම ස්ථරයේ සිටින ඉහළ ආදායම්ලාභීන් සහ මැද ස්ථරයේ සිටින ඉහළ මධ්‍යම ආදායම්ලාභින් ටිකදෙනාගේ අවශ්‍යතා පූර්ණවීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ගේ ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් අඩුවීම.

ඇ)  ආර්ථික පිරමිඩයේ මුදුන්ම ස්ථරයේ සිටින ඉහළ ආදායම්ලාභීන් සහ මැද ස්ථරයේ සිටින ඉහළ මධ්‍යම ආදායම්ලාභින්ගේ (ගෝලීය වශයෙන් බිලියන 2 ක් පමණ) ජනගහණ වර්ධන වේගය ඉතා අඩු අතර, පහළම ස්ථරයේ සිටින අඩු ආදායම්ලාභින්ගේ (ගෝලීය වශයෙන් දැනට බිලියන 4 ක් පමණ) ජනගහණ වර්ධන වේගය අධිකවීම. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව තව වර්ෂ 40 කදී මෙම අඩු ආදායම්ලාභි පහළම ස්ථරයේ ජනගහණය බිලියන 6 ක් පමණ වනුඇත.  ව්‍යපාරික ප්‍රජාවට මෙය ඉතා ආකර්ෂණීය තත්වයකි.

ගෝලීය ආර්ථික පිරමිඩය

මූලාශ්‍රය: The Fortune at the Bottom of the Pyramid (By- C.K. Prahalad and Stuart L. Hart), Strategy+ Business 26: (p.54-67)

ඈ) පසුගිය වර්ෂ 50 ක පමණ කාලයකදී බහු ජාතික ව්‍යාපාරික ප්‍රජාව හැදී වැඩුණේ ස්වාභාවික සහ බලශක්ති සම්පත් අසීමිත ලෙස පරිහරණය කිරීමෙනි. එහෙත් වර්තමානයේදි හා අනාගයේදී ඒ සඳහා ඔවුන්ට සීමාවන් පැණවෙමින් පවතින නිසා අඩුවියදම් භාණ්ඩ නිෂ්පාදනයට ඔවුන් යොමුවිය යුතු අතර එවැනි භාණ්ඩ අඩු ආදායම්ලාභි කොටස්වලටද ගැලපෙනු ඇත.

ඉ)  අඩු ආදායම්ලාභී ප්‍රජාවන් ව්‍යාපාරික වශයෙන් වැදගත් නැති පාරිභෝගික කොටසක් යන්න සාමාන්‍ය මතය වුවද සංවර්ධනයවන රටවල්වලින් ලැබෙන තොරතුරු අනුව එම රටවල අවිධිමත් සහ අඩු ආදායම්ලාභීන් විසින් මෙහෙයවන ආර්ථික ක්‍රියාවලිය (informal economy) ජාතික ආදායම්වලින් 40% - 60% කට පමණ දායකවන වන පෙනීගොස් ඇත. මෙය ඉතාමත් වාසිදායක තත්වයක් බව ව්‍යාපාරික ප්‍රජාව අවබෝධ කරගෙන ඇත.

ඊ) ගෝලීයකරණය හා බැඳුණු සන්නිවේදනය (විශේෂයෙන්ම රූපවාහිණී මාධ්‍ය) නිසා දිළිඳු ප්‍රජාවන්ගේවුවද අභිලාෂයන් තම ආදායම් හා වත්කම්වලට සාපේක්ෂකව ඉහළ තත්වයේ පවතී. උදාහරණයක් වශයෙන්: ඉතා දුප්පත් අඩු ආදායම්ලාභී නාගරික පැල්පත් වල පවා රූපවාහිණී යන්ත්‍ර, ශීතකරණ, ජංගම දුරකථන භාවිතවීම.

එ) බොහෝ බහු ජාතික සමාගම් අත ගැසීමට මැලිවූ අඩු ආදායම්ලාභීන්ට ගැළපෙන එහෙත් තත්වයෙන් උසස්  භාණඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ නව්‍යකරණ (innovations) හා ව්‍යාපාරික මොඩල (business models) හඳුන්වාදීමට සංවර්ධනයවන රටවල කුඩා ව්‍යාපාරිකයින් සමත්වී ඇත. මෙම නව්‍ය හඳුන්වාදිම් නිසා ආර්ථික පිරමිඩයේ පහළම ස්ථරයේ සිටින බිලියන 4 ක පමණ ප්‍රජාව තම පාරිභෝගිකයින් කරගැනීමට බහු ජාතික සහ මහ පරිමාණ ව්‍යාපාරිකයින් තදින්ම පෙළඹී ඇත. මෙම නව්‍ය අත්දැකීම් සඳහා උදාහරණ වන්නේ:

  • සුළු ව්‍යාපාරිකයෙක් මගින් වැව් සහ ගංගා ජලයේ හොඳින් දියවන ‘නිර්මා’ නම් සබන් සහ රෙදි සෝදන කුඩු වර්ගයක් අඩු මිලකට ඉන්දියානු ග්‍රාමීය ප්‍රජාවට හඳුන්වාදීම. ඉතා සුළු කලකදීම බ්‍රිතාන්‍ය බහුජාතික යුනිලීවර් සමාගමද මේ ක්‍රමයම අනුගමනය කරමින් තම වෙළඳපල රැකගැනීමට උත්සහ ගත්තේය. මේ වනවිට ‘නිර්මා’ සහ යුනිලීවර් සමාගම එක සමාන වෙළඳපොල මට්ටමක් පවත්වාගෙන යයි.
  • දුප්පතුන්ට මූල්‍යසේවාවල් පවත්වාගෙන යෑමට නොහැකිය යන මතයේ සිටි ප්‍රධාන පෙළේ බැංකුකරුවන් (blue chip Banks) මවිතයට පත්කරමින් බංග්ලාදේශ මහාචාර්ය මොහොමඩ් යූනුස් විසින් ග්‍රාමීන් බැංකුව හරහා අන්ත දුප්පතුන්ට පවා කුඩා මූල්‍යකරණය (microfinance) හඳුන්වාදීම. ඒ සඳහා ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණා පමණක් නොව මේ වනවිට ‘සිටි බැංකුව’ (Citi Bank) හා චාටඩ් බැංකුව (Chartered Bank) වැනි ගෝලීය බහු ජාතික බැංකුද, ෆෝබ්ස් සඟරාව (Forbes Magazine) වැනි ගෝලීය මූල්‍යකරණය ප්‍රවර්ධනයේ පුරෝගාමීන්ද කුඩා මූල්‍යකරණයට තදින්ම පිවිස ඇත.
  • ග්‍රාමිය පවුල් මගින් කරන ගව කිරි නිෂ්පාදනය පදනම්කොට ආචාර්ය වර්ගීස් කුරියන් විසින් හඳුන්වා දුන් ඉන්දියාවේ ‘අමුල්’(Amul) කිරි සමාගම. කිරි නිෂ්පාදනය සඳහා නෙස්ලේ (Nestle) වැනි බහුජාතික සමාගම් අනුගමණයකළ ව්‍යපාර ක්‍රම වෙනුවට දුප්පතුන්ට සහාභිගිවිය හැකි, දේශීය ජන ජීවිතය හා ගැලපෙන එහෙත් උසස් තාක්ෂණය අනුගත කරගත් ‘අමුල් මොඩලය’ (Amul model) කෙරෙහි මේවනවිට නෙස්ලේ වැනි සමාගම්වලද අවධානය යොමුවෙමින් පවතී.
  • උසස් තාක්ෂණික හා සන්නිවේදන ක්‍රම අන්ත දුප්පතුන්ට ගැළපේයැයි බහුජාතික ජංගම දුරකථන සමාගම් විශ්වාස නොකළ අවදියක බංග්ලා දේශයේ ග්‍රාමීන් බැංකුව අන්ත දුප්පත් ණය ලාභීන්ට ජංගම දුරකථන හදුන්වාදීමෙන් ඇරඹුණ ග්‍රාමීන් ෆෝන් (Grameen Phone) සමාගම මේ වනවිට බංග්ලා දේශ ජංගම දුරකථන වෙළඳපොලේ ඉදිරියෙන්ම සිටියි.
  • ඩොලර් 2500 ක් වැනි සුළු මුදලකට ටාටා නැනෝ (TATA Nano) නමැති කුඩා මෝටර් කාර්රථයක් නිෂ්පාදනය කර අඩු ආදායම්ලාභින්ට අලෙවි කිරිමට සැලැස්වීමට ඉන්දියානු ටටා සමාගම ගත් පියවර බහුජාතික මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල මවිතයට හේතුවී ඇත. දැනට මාස කිහිපයකට පෙර ආරම්භකළ මෙම නිෂ්පාදන ක්‍රමය හැදෑරීමට මේවනවිටත් බහුජාතික මෝටර් රථ සමාගම් උත්සාහයන්වල යෙදෙමින් පවතී.

ඉහත සඳහන් කළ බොහෝ කරුණුවලින් වලින් ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව තේරුම් ගෙන ඇත්තේ ආර්ථික පිරමිඩයේ මුදුනේම ඇති ධනවත් අතලොස්සට හෝ පිරමිඩයේ මැද ස්ථරයේ ඇති මධ්‍යම පාංතිකයින්ටත් වඩා පිරමිඩයේ පතුලේම සිටින වෙලඳ ආර්ථිකයට පිවීසීමේ අභිලාෂයන් පුරවා ගත් බිලියන 4 ක් පමණවන අතිමහත් දුප්පතුන් පිරිස තම ව්‍යාපාරයන්ගේ පැවැත්මට වඩා ප්‍රයෝජනවත් බවය.

මෙලෙස ආර්ථික පිරමිඩයේ පතුල ඉලක්කකර ආයෝජනයන් කිරීමට ගෝලීය ව්‍යපාරික ප්‍රජාව යොමුවීම එම ස්ථරයට අයත්වන බිලියන 4 ක්වන දිළිඳු ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ඉමහත් පිටුවහළක් වනු ඇතැයි පවසන ඇමෙරිකාවේ වෝටන් සරසවියේ මහචාර්ය සී.කේ. ප්‍රහලාද් මේ සංකල්පය ඉතා ශුභවාදී ආකල්පයකින් ප්‍රවර්ධනය කිරිමේ ප්‍රයත්නයක යෙදී ඇත. තවද මෙම දිළිඳු පාරිභෝගික කොට්ඨාශය වෙනුවෙන් භාණ්ඩ හා සේවා නිර්මාණයේදී සහ අලෙවියේදී සාම්ප්‍රදායික ලෙස අධික ලාභාංශ බලාපොරොත්තු නොවිය යුතුබව පවසන මහචාර්ය ප්‍රහලාද් ‘අඩු මිලකට අධික සංඛ්‍යාවකට’ අලෙවිකිරීමන් ලාභ ලැබීමේ තේමාව මූලික කරගතයුතුය යන්න අවධාරණය කරයි. එහෙත් ‘අඩු මිල’ යනුවෙන් අදහස් කරන්නේ තත්වයෙන් බාල භාණ්ඩ හා සේවා නොවිය යුතුය යන්නද ඔහු අවධාරණය කරයි.

ධනවත් පාරිභෝගිකයින් අරභයා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුරුදුව සිටින සාම්ප්‍රදායික ව්‍යාපාරික මොඩලය (traditional business model) ඉහත දැක්වූ අභියෝගයන්ට මුහුණ දීමේදී  කිනම් ආකාරයේ විප්ලවකාරි වෙනසකම්වලට භාජනයවේදැයි නුදුරු අනාගතයේදී දැකිය හැකිවනු ඇත.

මූලාශ්‍රය: www.digitaldividend.org/pdf/bottompyramid.pdf