සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

දිළඳු ප්‍රජාවන් හානිවලට ගොදුරුවීමේ හැකියාව අවම කිරිම සඳහා සහභාගිත්ව විශ්ලේෂණය පදනම්වු සැලසුම්කරණය
Participatory Vulnerability Analysis: An Approach to reduce to vulnerability

අ) දිළිඳුකම හා හානිවලට ගොදුරුවීම (Poverty and Vulnerability)

සංවර්ධනයවෙමින් පවතින බොහෝ රටවල දිළිඳුකම අවම කිරීමේ වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මකවුවද දිලිඳුකම අඩුවීම ඉතා සෙමින් සිදුවන බව නොරහසකි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ එවැනි රටවල දිළිඳු ප්‍රජාවන් හානිවලට ගොදුරුවීමට වැඩි ප්‍රවනතාවයක් දක්වන නිසාය. දරිද්‍රතාවයේ (poverty) එක් පැතිකඩක් ලෙස හානිවලට ගොදුරුවීමේ හැකියාව (vulnerability) සැලකිය හැකිය. දිළිඳුකම වැඩිවත්ම හානිවලට ගොදුරුවීමට ඇති හැකියාවද වැඩිවිය හැකි අතර හානිවලට ගොදුරුවීම දරිද්‍රතාවය උත්සන්නවීමටද හේතුවක්වේ. උදාහරණයක් ලෙස ගතහොත් දිළිඳුබවින් තරමක් මිදී ඇති පවුලක් හදිසියේ සිදුවන රෝගාබාධයක් නිසා හෝ පවුලේ සාමාජිකයකුගේ රැකියාව නැතිවීම නිසා හෝ බලාපොරොත්තුවූ බෝග අස්වැන්න නොලැබීම නිසා නැවතවරක් දිළිඳුභාවයට පත්විය හැක.  එමනිසා දරිද්‍රතාවය සහ හානිවලට ගොදුරුවීමේ හැකියාව යනු අන්‍යෝන්‍යය ලෙස ශක්තිමත්වන සාධකයන් දෙකකි.  එහෙත් හානිවලට ගොදුරුවීමට ඇති එකම හේතුව දරිද්‍රතාවය නොවන අතර, ඕනෑම සමාජ ආර්ථික තත්වයක පුද්ගලයින් හෝ ප්‍රජාවන් විවිධ ව්‍යවසනයන් හා ප්‍රවනතා හේතුකොටගෙන හානිවලට ගොදුරුවිය හැක.

හානිවලට ගොදුරුවියහැකි බව (vulnerability) යන සන්දර්භය තුළ හානි සිදුවිය හැකියැයි පූර්වාපේක්ෂ (predict) කිරීමේ නොහැකියාවද, එසේ සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා ප්‍රතිරෝධය (resist) දැක්වීමට ඇති නොහැකියාවද, සිදුවන හානිවලට ඔරොත්තුදීමේ (cope) නොහැකියාව සහ හානිවලින් පසුව ප්‍රකෘතිභාවයට පැමිණීමේ  (resilience) නොහැකියාවද  ගැබ්වී ඇත.

බාහිර ව්‍යසනවලින් හෝ ආර්ථව විචලනවලින් (seasonal variations) හෝ සමාජ ආර්ථික ප්‍රවනතාවලින් හානි පැමිණියහැකි වන්නේ ඉහතකී පූර්වාපේක්ෂ කිරීමේ, ප්‍රතිරෝධය දැක්වීමේ, ඔරොත්තුදීමේ සහ ප්‍රකෘතිභාවයට පැමිණීමේ හැකියාවෙහි අඩු වැඩිවීම් මතය.

ව්‍යසනය, හානිවලට ගොදුරුවිය හැකිබව සහ හානිවීම අතර සම්බන්ධය සමීකරණයක් අන්දමකින් දක්වන්නේනම්:

                                                      
මෙයින් අදහස් වන්නේ ව්‍යසනය කෙතරම් බලවත් වුවත් හානිවලට ගොදුරුවියහැකි බව අල්ප නම් සිදුවන හානියද අඩුවන බව සහ ව්‍යසනය කෙතරම් බලවත්වුවත් හානිවලට ගොදුරුවීමේ හැකියාව නොමැතිවිටෙක කිසිදු හානියක් නොවන බවය.

මේ නිසා ව්‍යසන කළමණාකරනයේදී සහ දිළිඳුබව අවම කිරීමේ වැඩසටහන්වලදී අවධානය යොමුකළයුතු වැදගත් කරුණක් වන්නේ හානිවලට ගොදුරුවීමේ හැකියාව අවම කිරිම (හෝ මුළුමනින්ම ඉවත්කිරීමයි). ඒ සඳහා මුලිකවම කළ යුතුවන්නේ අදාළ දුප්පත් ප්‍රජාවන් හෝ පවුල්වල හානිවලට ගොදුරුවීමේ හැකියාව විශ්ලේෂණය කිරීමයි (vulnerability analysis).

ආ) හානිවලට ගොදුරුවීමේ හැකියාවට බලපෑ හැකි ප්‍රධාන සාධක (Factors influencing vulnerability)

හානිවලට ගොදුරුවීමේ හැකියාව ප්‍රධාන සාධකයන් පහක් මත රඳා පවතී.

1) පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා සැපිරීමේ මට්ටම (Initial well being): පෝෂණ තත්වය, කාය සෞඛ්‍ය තත්වය, මානසික සෞඛ්‍ය තත්වය සහ ආරක්ෂාව පිළිබඳ ඇති ආතතිය.

2) ජීවනෝපාය පිළිබ හැකියාව (Livelihood strength): ප්‍රාග්ධනය හෝ වත්කම් තිබිම, ජීවනෝපාය අවස්ථා හඳුනාගෙන තිබීම, රැකියාවේ හෝ ජීවනෝපායේ ස්වභාවය, ජීවනෝපාය කරගෙන යෑම සඳහා ඇති දැනුම සහ ධාරිතාවය.

3) ස්වයං ආරක්ෂණ මට්ටම (Self protection level): ආදායම් තත්වය, නිවසෙහි ශක්තිය සහ ස්ථාවර බව, නිවසේ සහ රැකියා ස්ථානයේ සුරක්ෂිත බව, ආරක්ෂාව පිලිබඳ සාමාන්‍ය සහ තාක්ෂණික දැනුම සහ ඒ සඳහා ඇති සූදානම්බව.

4) සමාජ ආරක්ෂණ මට්ටම (Social protection level): පොදු යට්තල පහසුකම් සඳහා  ආරක්ෂණ වැඩ පිළිවෙලවල් තිබීම, අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති ඇතිබව, පාසැල් සහ රෝහල් වැනි පොදු සේවා සඳහා විශේෂිත ආරක්ෂණ සැලසුම් තිබීම, නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි ඉදිකිරිම් සම්බන්ධයෙන් එකඟවූ පොදු ආරක්ෂණ ප්‍රමිතීන් තිබිම.

5) සමාජ ප්‍රාග්ධනය (Social capital): ප්‍රජා කණ්ඩායම් / සංවිධාන සහ ජාල පැවතීම සහ ඒවායේ ධාරිතාවය, සාමුහිකව තිරණ ගැනීමට සහ සම්පත් කළමනාකරනයට ඇති ඉඩ කඩ, වෙනස්කම්වලින් තොරව සියළු ප්‍රජා කොටස්වලට සහභාගීවීමේ හැකියාව,  ප්‍රජා කණඩායම් දිරි ගැන්වීමට ඇති ප්‍රතිපත්ති ආදිය.

යම් ප්‍රජාවක් හෝ පුද්ගලයින් තුළ ඉහතකී සාධක ශක්තිමත්ව ඇතිවිට එම ප්‍රජාවන්ගේ හෝ පුද්ගලයින්ගේ හානිවලට ගොදුරුවීමේ හැකියාව අඩුවන අතර එම සාධක දුර්වලවූවිට ප්‍රජාවන් හෝ පුද්ගලයින් පහසුවෙන් හානිවලට ගොදුරුවිය හැක.

තවද සමාජ, ආර්ථික, දේශපාලනික සහ භූ විෂමතා අනුව එක් එක් පුද්ගල හෝ සමාජ කොටස් තුළ ඉහතකී සාධකවල වෙනස් කම් දැකිය හැකිවන අතර ඒ අනුව ඒ ඒ පුද්ගල හා ප්‍රජා කොටස් තුළ හානිවලට ගොදුරුවීමේ හැකියාවද අඩු වැඩිවේ. මේ නිසා හානිවලට ගොදුරුවීමේ හැකියාව විශ්ලේෂණය (vulnerability analysis) කිරීමේදී පහත සඳහන් අන්දමේ න්‍යාසයන් (vulnerability matrices) භාවිතා කරමින් එක් එක් පුද්ගල හා ප්‍රජා කොටස්  හානිවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ හඳුනාගත හැකිය.

හානිවලට ගොදුරුවීමේ හැකියා විශලේෂණ න්‍යාසය (වත්පොහොසත්කම්, ස්ත්‍රී පුරුෂ භාවය අනුව) Vulnerability matrix (based income & asset class, gender differences.)

 

ඉතා දුප්පත්/තාවකාලික නිවාසවල පදිංචි

මධ්‍යම ආදායම සහිත / ඉඩම් හිමි

රජයේ රැකියාවල නියුතු

 

කාන්තාවන්

 

පිරිමින්

 

මහළු පුද්ගලයින්

1) පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා සැපිරීමේ මට්ටම (Initial well being)

 

 

 

 

 

 

2) ජීවනෝපාය පිළිබ හැකියාව (Livelihood strength)

 

 

 

 

 

 

3) ස්වයං ආරක්ෂණ මට්ටම (Self protection level)

 

 

 

 

 

 

4) සමාජ ආරක්ෂණ මට්ටම (Social protection level)

 

 

 

 

 

 

5) සමාජ ප්‍රාග්ධනය (Social capital)

 

 

 

 

 

 

මූලාශ්‍රය: Vulnerability Analysis and Disasters - By Terry Cannon

 

හානිවලට ගොදුරුවීමේ හැකියා විශලේෂණ න්‍යාසය (ජාතීන්, සමාජ සහ භූගෝලීය විෂමතා අනුව) Vulnerability matrix (based on ethnicity, caste and geographical differences)

 

සුළු ජාතික අවතැන්වුවන් අඩු සමාජ කුළ වලට අයත් වෙරළ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිත

නගරාසන්න

1) පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා සැපිරීමේ මට්ටම (Initial well being)

 

 

 

 

 

 

2) ජීවනෝපාය පිළිබ හැකියාව (Livelihood strength)

 

 

 

 

 

 

3) ස්වයං ආරක්ෂණ මට්ටම (Self protection level)

 

 

 

 

 

 

4) සමාජ ආරක්ෂණ මට්ටම (Social protection level)

 

 

 

 

 

 

5) සමාජ ප්‍රාග්ධනය (Social capital)

 

 

 

 

 

 

මූලාශ්‍රය: Vulnerability Analysis and Disasters - By Terry Cannon

ඇ) හානිවලට ගොදුරුවීමේ හැකියාව විශ්ලේෂණය - සහභාගිත්ව ක්‍රමවේදය
Participatory Vulnerability Analysis (PVA)

හානිවලට ගොදුරුවීමේ හැකියාව අවම කරගැනීම සඳහා වඩාත්ම අවශ්‍යවන්නේ අදාළ ප්‍රජාවේ සහභාගිත්වයෙන්ම දැනට පවතින හානි පැමිණිය හැකි තත්වයත් එම තත්වයට පාදකවන හේතුත් විශ්ලේෂණය කොට හානිවලට ගොදුරුවීමේ හැකියාව අවම කරගැනීම සඳහා එම ප්‍රජාව මගින්ම ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කිරීමට සැලැස්වීමය. මේ සඳහා උචිත පියවර 3 කින් සමන්විත ක්‍රමවේදයක් පහත දැක්වේ.

පියවර 1: අවස්ථා විශ්ලේෂණය (Situation analysis)

අරමුණු සහ අවශ්‍ය තොරතුරු
Objectives and required information

භාවිතා කල හැකි මෙවලම්
Tools

  • ව්‍යසනයන්ගෙන් සිදුවිය හැකි හානි පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම (හානිවල ස්වභාවය, සිදුවන කාලය, සිදුවන වාර ගණන frequency, ප්‍රවනතාවයන් trends)
  • හානිවලට ගොදුරුවීමේ ප්‍රමාණය අවබෝධ කරගැනීම (බලපාන ප්‍රදේශ, භූමි ප්‍රමාණය, ගේදොර, යටිතල පහසුකම්, ගොවීන්, ධිවරයින්, වගාවන්, වනාන්තර ආදිය)
  • හානිවලට ඔරොත්තුදීම සඳහා වෙනස් පුද්ගල සහ ප්‍රජා කොටස්වලට ඇති හැකියාව අවබෝධ කරගැනීම (ස්ත්‍රී -පුරුෂ, දිළිඳු-පොහොසත්, බාල-මහලු සහ ජනවාර්ගික ආදි වෙනස්කම් මත හානිවල බලපෑම, ඔරොත්තුදීමේ ශක්තිය වර්ධනය කිරිම සහ ප්‍රකෘතිභාවයට පැමිණිමට ඇති හැකියාව)
  •  එකිනෙකට වෙනස් ජීවනෝපායන් (ධිවර, කෘෂිකාර්මික, රැකියා, කර්මාන්ත, වෙළඳපල ආදිය) මත ව්‍යසනයන්ගේ බලපෑම, සිදුවන අලාභයන්ගේ ප්‍රමාණය, හානි අවම කිරිමට දැනට භාවිතාකරන විධි, හානිවලින් පසු ප්‍රකෘතිභාවයට ඒමට භාවිතාකරන ක්‍රමවේද ආදිය

 

  • කේන්ද්‍රීය කන්ඩායම් සාකච්ඡා (focus group discussions)
  • ‍ඓතිහාසික සිදුවීම් පිළිබඳ පැතිකඩ සහ කාල රේඛාව නිර්මාණය කිරිම  (historical profile and time line)
  • ව්‍යසන සහ හානි පිලිබඳ ඍතු සටහන් (seasonal calendar of vulnerabilities and damages)
  • හානි සිතියම්කරණය (Vulnerability mapping)
  • ජීවනෝපාය විශ්ලේෂණය (Livelihood analysis)

පියවර 2: හානිවලට ගොදුරුවීමට හේතු විශ්ලේෂණය (Cause & effect analysis for vulnerability)

 

අරමුණු සහ අවශ්‍ය තොරතුරු
Objectives and required information

භාවිතා කල හැකි මෙවලම්
Tools

  • හානිවලට ‍ගොදුරුවීම් ව්‍යසනයේ තීව්‍රතාය අනුව වර්ගීකරණය කිරිම (උදාහරණ: මාස 2 ක නියඟයක් සහ මාස 6 ක නිඟයක් නිසා සිදුවන විපාක/ බලපෑම් වෙන්වෙන්ව හඳුනාගැනීම, ගංගාවක ජල මට්ටම හෝ වර්ෂාපතන ප්‍රමාණය අනුව ගංවතුරෙන් සිදුවන හානිවීම්  )
  • ව්‍යසනවලින් හානි සිදුවීමට බලපාන ප්‍රධාන සාධක හඳුනා ගැනීම (උදාහරණ: ලිඳක් හෝ ජල මූලාශ්‍රයක් නොතිබීම ගින්නකින් හානි සිදුවීමට ඇති ප්‍රධාන සාධකයකි, සුනාමි වැනි ව්‍යසන තත්වයක් පිළිබඳ පුර්ව සන්නිවේදනයක් කිරීමේ හැකියාව නොමැතිවීම හානිය උග්‍රවීමට ප්‍රධාන සාධකයකි)
  • හානිවලට තුඩුදෙන ප්‍රධාන සාධකවල පැවැත්මට පාදකවන හේතු හඳුනා ගැනීම, ලැයිස්තුගත කිරිම සහ ප්‍රමුඛතාගතකිරිම. (බොහෝවිට මූල්‍ය සම්පත්වල හිඟකමට වඩා මෙම සාධකවලට හේතුවිය හැක්කේ ප්‍රතිපත්තිවල දුර්වලතාවය, සමාජ විෂමතාවයන්, සාමුහිකත්වය නැතිබව, තීරණ ගැනීමේදී ප්‍රජා සහභාගිත්වය නොතිබීම, ප්‍රජා සංවිධාන ශක්තිය අඩුවීම,  පොදු සම්පත් පාලනයට ප්‍රජාවට අවකාශ නොමැතිබව, ආරක්ෂන ක්‍රම නොමැතිකම ආදිය විය හැක)

 

  • කේන්ද්‍රීය කණඩායම් සාකච්ඡා

 

  • සහභාගිත්ව ගැටළු සහ අරමුණු විශ්ලේෂණය (participatory problem / problem tree and objective / objective tree analysis)

 

පියවර 3: ප්‍රජා ක්‍රියාකාරිතවය විශ්ලේෂණය කිරිම සහ සැලසුම් කිරීම (Analysis and planning of Community Action)

අරමුණු සහ අවශ්‍ය තොරතුරු
Objectives and required information

භාවිතා කල හැකි මෙවලම්
Tools

 

  • ව්‍යසනයන්ගෙන් සිදුවිය හැකි හානි අවම කිරීමට යොදාගත හැකි උපාය මාර්ග (strategies) හඳුනා ගැනීම. මෙහිදී උපාය මාර්ග යනුවෙන් අදහස් කෙරෙන්නේ ගැටළු විශ්ලේෂණයෙන් මතුවන පුළුල් අරමුණු (broad objectives) කරා ලඟාවිය හැකි මැදිහත්වීම්ය (උදාහරණ: ප්‍රාදේශීය ප්‍රජා ආයතනවල සංවිධාන ශක්තිය වර්ධනය කිරිම, ව්‍යසනයන්ට ඔරොත්තුදෙන පරිදි ජීවනෝපාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජිවනෝපාය සහ වත්කම් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම)
  • ඉහතින් හඳුනාගත් පුළුල් අරමුණු (උපාය මාර්ග) කරා ලඟාවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් (activities) හඳුනාගැනීම.

 

  • ඉහතින්  හඳුනාගත් උපාය මාර්ග ක්‍රියාවට නැංවිමේදී සහායවිය හැකි පාර්ශව ආයතන සහ පුද්ගලයින් / පුද්ගල කණඩායම් (stakeholders) හඳුනා ගැනිම.
  • හානිවලට ගොදුරුවීම අවම කිරිමට ක්‍රියාකාරී ප්‍රජා සැලසුමක් නිර්මානය කිරීම

 

  • සැලසුමෙන් අපේක්ෂිත ප්‍රථිඵල ලඟාකරගන්නේද යන්න විමසීම සඳහා දර්ශක හඳුනා ගැනිම.

 

  • කේන්ද්‍රීය කණඩායම් සාකච්ඡා
  • සහභාගිත්ව ගැටළු සහ අරමුණු විශ්ලේෂණය (participatory problem / problem tree and objective / objective tree analysis)

 

  • පාර්ශවකාර විශ්ලේෂණය (stakeholder analysis)
  • වෙන් රූප සටහන නිර්මාණය (Venn diagram)

 

  • තර්ක රාමු ක්‍රමවේදය (logical framework approach)
  • ප්‍රජා ක්‍රියාකාරී සැලසුම්කරණය (Community action planning)

 

  • හානිවලට ගොදුරුවීම් න්‍යාසකරණය (vulnerability matrix)

 

හානිවලට ගොදුරුවීමේ හැකියාව පිළිබඳ සහභාගිත්ව විශ්ලේෂණයේදී අවශ්‍ය තොරතුරු ඉස්මතුවූවාද යන්න නිශ්චය කරගැනීමට පහත සඳහන් පිරික්සුම් ලැයිස්තුව උපකාරීවිය හැක.

  • හානිවලට වඩාත් පහසුවෙන් ගොදුරුවන්නේ කුමන ජන කොටස්ද? ඔවුන් මෙම විශ්ලේෂණයට සහභාගී වීද?
  • හානිවලට වැඩි වශයෙන් ගොදුරුවන්නේ කවුරුන්ද? කුමක්ද? (ගේ දොර, ජීවනෝපායන්, කුඩා දරුවන්, මහළු අය ආදී වශයෙන්)
  • කාලාන්තරයක් තුළ හානිවලට ගොදුරුවීමේ ප්‍රවනතා‍වයේ අඩු වැඩිවීම් දක්නට ඇත්ද?
  • හානිවලට ගොදුරුවීමට බලපාන ප්‍රධාන සාධක මොනවාද? එම සාධකවලට පාදකවන හේතු කවරේද?
  • හානිවලට ගොදුරුවීම උත්සන්න කරන අවදානම් තත්වයන් (unsafe conditions) හඳුනාගෙන තිබේද? මෙනවාද?
  • හානිවලට ගොදුරුවීම මිණිය හැකි දර්ශක හඳුනාගෙන තිබේද?
  • දැනට පවතින නීති රෙකුලාසි සහ ප්‍රතිපත්ති හානිවලට ගොදුරුවීම සඳහා බලපාන්නේ කෙසේද?
  • හානිවලට ගොදුරුවීම පිළිබඳව ඉලක්ක ප්‍රජාව සහ බාහිර පාර්ශවකරුවන් අතර වෙනස් මතයන් පවතිද? මෙම විශ්ලේෂණය තුළදී ඔවුන් අතර යම් එකඟතාවයක් පළවීද?
  • හානිවලට ගොදුරුවීම අවම කිරීමට ප්‍රජා මට්ටමේ (community level) දැනට භාවිතාවන සහ අළුතෙන් හඳුනාගත් උපාය මාර්ග මොනවාද? (කෙටි කාලින, මධ්‍ය කාලින සහ දිර්ඝ කාලින වශයෙන්)
  • හානිවලට ගොදුරුවීම අවම කිරීමට ගෘහස්ථ මට්ටමේ (household level) දැනට භාවිතාවන සහ අළුතෙන් හඳුනාගත් උපාය මාර්ග මොනවාද? (කෙටි කාලින, මධ්‍ය කාලින සහ දිර්ඝ කාලින වශයෙන්)
  • දැනට පවතින නීති රෙකුලාසි සහ ප්‍රතිපත්ති රාමු වෙනස් කිරීමට මෙම විශ්ලේෂණය යම් බලපෑමක් කරන්නේද? ඒ කෙසේද?
  • හානිවලට ගොදුරුවීම අවම කිරීම සඳහා මෙම විශ්ලේෂණය තුළින් නිර්මාණයවූ සැලැස්මට අනෙකුත් පාර්ශවකරුවන් දායක වන්නේද? ඒ කෙසේද?
  • ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි වෙනත් ප්‍රජා සංවර්ධන සහ දිළිඳුකම අවම කිරිමේ වැඩසටහන් සැලසුම් කිරිමෙහිලා මෙම විශ්ලේෂණයෙන් ඉස්මතුවූ කරුණු කෙතෙක් දුරට ඉවහල්වේද?

මුලාශ්‍රය: Participatory Vulnerability Analysis – step by step guide for field staff: By actionaid international