සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විල කිරිමට අක්ෂර කුඩා කිරිමට

සංවර්ධන ව්‍යාපෘති යෝජනාවක් සැලසුම් කිරීම සදහා වන උපදෙස් මාලාවGuidelines to prepare a project proposal for a development intervention

මූලිකව අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් නම්:

අ) වෙනත් මූලාශ්‍රවලින් එකතු කරන ලද ද්වීතීයක තොරතුරු (secondary data) සහ සහාභාගිත්ව ඇගයීම් සහ අවශ්‍යතා තක්සේරු කිරීම් තුලින් ඉස්මතු වූ ප්‍රාථමික තොරතුරු හා දත්ත (primary data) අතුරින් මෙම ව්‍යාපෘතියට අවශ්‍යයයැයි හැඟෙන කොටස් හොඳින් අධ්‍යයනය කරන්න.

ආ) ආධාර ලබාගත හැකියැයි හැඟෙන ආයතන මගින් නිර්දේශ කර ඇති සුදුසුකම් හා ඇගයීම් උපමාන (evaluation criteria) අධ්‍යයනය කිරීමද වැදගත්වේ.

ඇ) ව්‍යාපෘති යෝජනාව අවසන් කිරීමෙන් පසුව කිහිප විටක් කියවා හොදින් අධ්‍යයනය කොට අවශ්‍ය යැයි හැඟේ නම් තව කිහිප දෙනෙකුගේ ද අදහස් විමසා යෝග්‍යයැයි හැඟෙන වෙනස් කිරීම් කරන්න.

ඈ) යම් ආයතනයක් මෙවැනි ව්‍යාපෘති යෝජනාවකට ආධාර කෙරේදැයි නිශ්චය නොමැති විටෙක කෙටි සංකල්ප පත්‍රිකාවක් (concept paper) එවැනි ආයතනයන් වෙත යොමු කොට ඒ සදහා ලැබෙන ප්‍රතිචාර මත විස්තරාත්මක යෝජනාවක් ඉදිරිපත් කල හැක.

සංකල්ප පත්‍රිකාවක ඉතා කෙටියෙන් අඩංගු කල යුතු කරුණු වන්නේ

- යෝජක ආයතනය පිළිබද කෙටි හැදින්වීමක්
- ව්‍යාපෘතියේ ඉලක්ක පුජාව පැහැදිලිව දැක්වීම
- ව්‍යාපෘතියට හේතු පාදක වන ප්‍රධාන ගැටළුව
- ව්‍යාපෘතියේ ක්‍රමවේදය
- සෘජු සහ වක්‍ර ප්‍රතිලාභී සංඛ්‍යාව
- ව්‍යාපෘතියට සම්බන්ධවන අනෙකුත් පාර්ශව කරුවන් හෝ ආයතන
- ආධාරක ආයතනයෙන් අපේක්ෂිත මුදල
- ඉතිරි වියදම් පියවා ගන්නා ආකාරය උදා: යෝජක ආයතනයේ හෝ ප්‍රතිලාභින්ගේ දායකත්වය

ආධාරක ආයතන කිහිපයක් භාවිතා කෙරෙන ආකෘති කිහිපයක් ඇසුරෙන් මෙම උපදෙස් මාලාව සකස් කොට ඇත.

1. ව්‍යපෘති යෝජනාවේ මාතෘකාව - මේ සදහා ඉතා සරල, සංක්ෂිප්ත, අර්ථාන්විත හා ආකර්ශණීය කෙටි වාක්‍යයක් පේලි දෙකකින් පමණ ලියන්න.
උදාහරණය : වර්ගවාදී අර්බුදයට ලක්වී ඇති අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන දහයක ගොවි පවුල් වල ජීවන තත්වය නංවාලීම

2. සාරාංශය - (උපරිම වශයෙන් එක් පිටුවකට සීමා කල යුතුය) යෝජක ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංක, ඊ මේල් ලිපිනය, ෆැක්ස් අංකය සහ ව්‍යාපෘතියේ පුධාන කරුණු මෙහිදී සාරාංශ ගත කල යුතුය. ඒවා නම්:

- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත භෑගෝලීය පුදේශය
- ඉලක්ක පුජාවේ හෝ පවුල්වල සමාජ ආර්ථික ලක්ෂණ
- ඉලක්කගත පවුල් හෝ පුද්ගල සංඛ්‍යාව
- බලාපොරොත්තුවන සමාජයීය සහ ආර්ථික වෙනස්කම් හෝ පුථිපල
- ව්‍යාපෘතියේ උපාය මාර්ග සහ ක්‍රමවේදය
- ව්‍යාපෘතියේ නව්‍යතා ලක්ෂණ(innovative features)
- අනෙකුත් පාර්ශවකරුවන් සහ සහයෝගිතාවයන්
- ව්‍යාපෘතියේ තිරසාර සහ පුතිගුණන ළක්ෂණ (sustainable and replication features)

(මෙවැනි සාරාංශයක් ලිවීමට පුථම මුලු ව්‍යාපෘති යෝජනාවම සම්පූර්ණ කිරීමෙන් එය වඩාත් පහසු වේ)

3. ව්‍යාපෘතියට පාදකවන හේතුව හා යෝජිත විසදුම් සාධාරණීකරනය කිරීම (Justification or Rationale)

මෙහිදී මූලිකව ඉදිරිපත් කල යුත්තේ යෝජිත ව්‍යාපෘතියෙන් ආමන්ත්‍රනය කෙරෙන ප්‍රධාන ගැටළුව (central problem) හා එම ගැටළුව නිසා ප්‍රජාව අත් විදින විපාක පිළිබදවය (problem effects). මෙහිදී විපාක යනුවෙන් අදහස් කරන්නේ : ලෙඩ රෝග, අනාරක්ෂිත නිවාස, මන්දපෝෂණය ආදී සමාජයීය ගැටළුද හීනවූ කෘෂිකාර්මික ඵලදායිතාවය, අඩු ආදායම, රුකියා විරලවීම ආදී ආර්ථික ගැටළු හා පාංශු ඛාදනය, ජල දූෂණය වැනි පාරිසරික ප්‍රශ්නයන්ය. ගැටළුවල විපාක ඉලක්ක ප්‍රජාවට බලපාන ආකාරය පැහැදිලිව හා ප්‍රබලව ඒත්තු යන ලෙස කෙටියෙන් ඉදිරිපත්කල යුතුය.

ඉන්පසුව මෙම විපාක අවම කිරීම හෝ තුරන් කිරීම සදහා හදුනාගත් විසදුම් ඉදිරිපත් කල යුතුවේ. මෙම යෝජිත විසදුම් යෝග්‍ය වන්නේ කෙසේදැයි යන්නද පැහැදිළි කිරීමද අවශ්‍යය. විසදුම්වල යෝග්‍යතාවය හුවා දැක්වීමට අවශ්‍ය සාධක වන්නේ: ඒවායේ ඵලදායිතාවය, අඩු වියදමකින් කලහැකිවීම, පසුවිපරම් කිරීමේ පහසුව, තිරසාරී සහ පුතිගුණන ලක්ෂණ ආදියයි (ඉගිය: ව්‍යාපෘතිය සාධාරණීකරනය සදහා අවශ්‍ය තොරතුරු ඉස්මතු වන්නේ එය සැලසුම් කිරීමට ගන්නා මූලික පියවරයන්වන සහාභගිත්ව ගැටළු හා අරමුණු විශ්ලේෂණ‍යේදීයි ). යෝජිත ව්‍යාපෘතිය කෙතරම් පුයෝජනවත්ද යන්න පැහැදිලි කිරීම මෙම ඡෙදයෙහි අරමුණ වේ

4. ඉලක්ක ප්‍රජාව (Target group):

මෙහිදී ඉලක්ක කණ්ඩායම වෙසෙන භූගෝලීය ප්‍රදේශයට හා ඉලක්ක කණ්ඩායමට ආවේණික සමාජ හා ආර්ථික ලක්ෂණ ඉදිරිපත් කල යුතුය

භූගෝලීය පුදේශය : ව්‍යාපෘතියට අදාල දිස්ත්‍රික්කය, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, ග්‍රාම නිලධාරී කොට්ඨාශය හා ගම්මාන නම්කොට ඒවාට ආවේණික සමාජ හා ආර්ථික ලක්ෂණ ඉදිරිපත්කල යුතුය. එහෙත් එම විස්තර ව්‍යාපෘතියේ සන්දර්භයට අදාලවිය යුතුය. ජීවනෝපාය සංවර්ධනය, පරිසර සංරක්ෂණය හෝ වාරි කළමණාකරනය ආදී සන්දර්භවලට අනුකූලව පුදේශයේ ආර්ථික ලක්ෂණ, ඉඩම් පිහිටීම, යටිතල පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදිය පිළිබද කෙටි විස්තරයක් කිරීම සෑහේ.

ඉලක්ක ප්‍රජාව විස්තර කිරීමේදී ද ව්‍යාපෘති සන්දර්භයට අනුව ඔවුන්ගේ සමාජයීය ස්වභාවය (සමෘධිලාභී බව, නිවාසවල තත්වය, අවතැන්වීම්, ස්වාභාවික හානිවලට ගොදුරුවීමේ ප්‍රවනතාවය, ඉඩම් හිමි ආකාරය) ඔවුන් අයත් ආර්ථික අංශ (ගොවීන්, ධීවරයින්, වෙළෙන්දන්, කම්කරු, ව්‍යාපාරික ආදී) සහ ඔවුන්ගේආර්ථික තත්වය (දරිද්‍රතා මට්ටම, සාමාන්‍ය ගෘහස්ථ මාසික ආදායම) පිළිබද කෙටි විස්තරයක් කිරීම අවශ්‍ය වේ. මේ විස්තරය සදහා වගුවක්ද භාවිතා කල හැක. ඉලක්ක පුජාව පිළිබද විස්තරය යෝජිත ව්‍යාපෘතියට හා එහි පාදක ගැටලළුවට අදාලවිය යුතුය.

ඉලක්ක ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන ප්‍රජා මූල සංවිධාන හා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම සංවිධානවල සම්බන්ධවීම හා ඒවායේ කාර්ය භාරය පිළිබදවද කෙටි විස්තරයක් කිරීමද අවශ්‍යය. මෙහිදීද ව්‍යාපෘතියට අදාල ප්‍රජා සංවිධාන පමණක් සැලකිල්ලට ගන්න. (උදාහරණ: ගොවි සංවිධාන, කාන්තා සංවිධාන, ඉතිරි කිරීම් හා ණය දෙන සමිති, වෙළද සංවිධාන, ව්‍යාපාරික සංවිධාන, ධීවර සමූපකාර සමිති) මේ සදහා අවශ්‍ය තොරතුරු සහභාගිත්ව සැලසුම්කරණයේදී (PRA) ඉස්මතුවේ.

අවසාන වශයෙන්, සැළසුම්ගත ව්‍යාපෘතිය සමග සම්බන්ධවී ඍජුව ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂිත පවුල් හෝ පුද්ගලයින් සංඛ්‍යාවද (direct beneficiaries) , ව්‍යාපෘතියේ අතුරු ප්‍රථිපල වලින් (රැකියා, වෙළදාම්, ප්‍රවාහන ආදී අවස්ථාවන් මඟින්) වක්‍රව ප්‍රතිලාභ ලැබිය හැකි පවුල් හෝ පුද්ගලයින් සංඛ්‍යාවද (indirect beneficiaries) සදහන් කල යුතුය.

5. යෝජිත ව්‍යාපෘතියේ අරමුණු (objectives), අපේක්ෂිත ප්‍රථිපල (results) සහ ඒවා මැණීමේ දර්ශක (indicators)

යෝජිත ව්‍යාපෘති සැලසුමක අත්‍යවශයෙන්ම අඩංගුවිය යුතු සහ ඉතා නිවැරදිව හදුනාගත යුතු කොටස් වන්නේ අරමුණ්‍ර සහ ප්‍රථිඵලය. හදුනා ගත් අරමුණු සහ ප්‍රථිපල ලඟාකර ගත්තාද නැද්ද යන්න විමසා බලන මිණුම් දඬු දර්ශක ලෙස හැදින්වේ.

5.1. ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ (Development goal):

ව්‍යාපෘතියේ ප්‍රධානතම සහ දීර්ඝ කාලීන (long term) අරමුණ මෙයයි. ක්‍රියාකාරකම් කිහිපයක සහ ප්‍රතිඵල සමූහයක අවසාන මුදුන් ඵලය ලෙස මෙය සැලකිය හැක. සහභාගිත්ව ගැටළු හා අරමුණු විශ්ලේෂණයේදී ඉස්මතුවන "අරමුණු ගසෙහි" (objective tree) ඉහලින්ම හදුනා ගන්නා පුධාන අරමුණ ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ විය යුතුය. සමරහවිට ව්‍යාපෘතිය අවසානවීමට පෙර සංවර්ධන අරමුණ කරා ලගා වීමට නොහැකිවනු ඇත. එහෙත් ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල ප්‍රථිඵල සංවර්ධන අරමුණ ලඟා කර ගැනීම සදහා දීර්ඝකාලීනව දායකවිය යුතුය.

දීර්ඝ කාලීන සංවර්ධන අරමුණක් සදහා උදාහරණය: "ඉලක්ක ප්‍රජාවේ ගොවි පවුල්වල ජීවන තත්වය ස්ථිරසාර ලෙස ඉහල දැමීම"

5.2. ව්‍යාපෘතියේ ආසන්න අරමුණ (Project purpose)

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලය තුලදීම ලඟාවිය යුතු මධ්‍යකාලීන (medium term) අරමුණක් ලෙස 'ආසන්න අරමුණ' සැලකිය හැක. ව්‍යාපෘතියේ ඒකායන මෙහෙවර (purpose) ලෙසද මෙය සැලකේ. එම නිසාම ව්‍යපෘතියක 'ආසන්න අරමුණ' ඉතා ප්‍රවේශමෙන් හදුනා ගත යුතුය. මෙහි ගැබ්විය යුතු ප්‍රධාන ලක්ෂණය වන්නේ ව්‍යාපෘතිය නිසා ඉලක්ක ප්‍රජාව තුල (පුද්ගලයින්,පවුල් හා ප්‍රජා සංවිධාන තුල) සිදුවිය හැකි ශුභවාදී වෙනස්කම්ය. ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ කරා ලඟාවන්නට හේතු වන්නේද ප්‍රජාව තුල සිදුවන්නාවූ මේ වෙනස්කම්ය.

ව්‍යාපෘතියක ආසන්න අරමුණක් සදහා උදාහරණය: "ගොවීන්ගේ දැනුම හා කුශලතා වර්ධනයද, ගොවි සංවිධානවල ආයතනික ශක්තිය ද ඉහළ දැමීම මගින් කෘෂි අස්වැන්න, ඵලදායිතාවය සහ කෘෂි සැකසීම් වැඩි කොට ඔවුන්ගේ කෘෂි ආදායම වැඩි කිරීම"
(මෙ‍ම උදාහරණයෙහි ඉලක්ක ප්‍රජාව තුල සිදුවන වෙනස්කම් වන්නේ දැණුම, කුශලතා සහ ආයතනික ශක්තිය වර්ධනය වීමය)

5.3. ව්‍යාපෘතියේ ප්‍රථිඵල (Results)

ඕනෑම ව්‍යාපෘතියක ආසන්න අරමුණ කරා ලඟාවීමට ඉවහල්වන කෙටිකාලීන අරමුණු 'ප්‍රථිඵල' ලෙස හැදින්විය හැක. මේවා අරමුණු (objectives) හෝ ප්‍රතිඵල (results) හෝ විපාක (outcomes) යනුවෙන්ද හැදින්වේ.

ව්‍යාපෘතියකින් ඉස්මතු වන ප්‍රතිඵලවල ගුණාංග 5 ක් අඩංගුවිය යුතුය. ඒවා SMART යන සංකේත පදයකින් හැදින්විය හැක.

S
-
Specific (ප්‍රථිඵලයන් නිශ්චිත ලෙස කුමක්ද, දැකිය හැක්කේ කොහේද, කෙලෙසද යනුවෙන් දැක්විය හැකිවිය යුතුය)
M
-
Measurable (ප්‍රථිඵලය යම් මිණුම් දණ්ඩකින් මිණිය හැකිවිය යුතුය)
A
-
Achievable (තිබෙන සම්පත් ප්‍රමාණය හා පවතින තත්වයන් මත ලඟාකර ගත හැකි ප්‍රථිපල විය යුතුය)
R
-
Realistic (සත්‍යය වශයෙන්ම ඉලක්ක ප්‍රජාව තුල දැකිය හැකි ප්‍රථිපලයන් විය යුතුය)
T
-
Time bound (නිගමනය කලහැකි කාලයක් තුල ලඟාකරගත හැකි ප්‍රථිපලයන් විය යුතුය)

ව්‍යාපෘතියක ප්‍රථිඵල සදහා උදාහරණ කිහිපයක්:

- ඉලක්ක ගම්මාන (ප්‍රජාව) තුල ඇති ගොවි සංවිධාන කෘෂිකාර්මික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම
- පහසුවෙන් සහ ඵලදායී ලෙස කෘෂි ව්‍යාප්ත සේවා ලඟාකර ගැනීමට ගොවීන්ට හැකි වීම.
- පහසුවෙන් වාරි ජලය ලබා ගැනීමට ගොවීන්ට හැකිවීම.
- කෘෂි අස්වනු ලබා ගැනීමෙන් පසු ඒවා සැකසූ නිෂ්පාදන බවට පත්කිරීමට ගොවීන් පෙළඹීම

5.4. දර්ශක (Indicators)

යෝජිත ව්‍යාපෘති සැලැස්මේ සෑම අරමුණක්ම හෝ ප්‍රථිපලයක්ම ලඟාකර ගත්තාද නැද්ද යන්න විමසා බලන දර්ශකයන් එකක් හෝ දෙක
ක් සදහන් කල යුතුය. එම දර්ශකයන් තුල තබිය යුතු ලක්ෂණ නම්:

- සෑම විටම ප්‍රමාණය (quantity) සංඛ්‍යාත්මකව හෝ අනුපාතිකව (ප්‍රතිශතයක් ලෙස) දැක්වීම
- සෑම විටම කාලය (time) සදහන් කිරීම
- සෑම විටම ඉලක්ක ප්‍රජාව (target group) ප්‍රතිලාභී පුද්ගයින්, පවුල්, සංවිධාන සදහන් කරන්න.
- හැකි අවස්ථාවන්වල ගුණාත්මක ලක්ෂණ (quality) අඩංගු කිරීම

තවද මෙම දර්ශකයන් ලබාගන්නා හෝ ප්‍රත්‍යෙක්ෂණය (verify) කරගැනීමට භවිතා කල හැකි මූලාශ්‍ර (sources) පිළිබදව ඉඟියක් කිරීමද වැදගත්ය.

උදා 1
සංවර්ධන අරමූණ: "ඉලක්ක ප්‍රජාවේ ගොවි පවුල්වල ජීවන තත්වය ස්ථිරසාර ලෙස ඉහල දැමීම"
දර්ශකය: ව්‍යාපෘතිය ආරම්භවී අවුරුදු 3 කින් පසු දැනට සනීපාරක්ෂක වැසිකිළි නොමැති ගොවි පවුල් වලින් අඩුම වශයෙන් 75% ක් සනීපාරක්ෂක වැසිකිළි සාදා ගෙන භාවිතයට ගැනීම
මූලාශ්‍රය: අවුරුදු 3 කින් පසු කිරීමට යෝජිත ගෘහස්ථ සමීක්ෂණය

උදා 2
ආසන්න අරමුණ: ගොවීන්ගේ දැනුම හා කුශලතා වර්ධනයද, ගොවි සංවිධානවල ආයතනික ශක්තිය ද ඉහළ දැමීම මගින් කෘෂි අස්වැන්න, ඵලදායිතාවය සහ කෘෂි සැකසීම් වැඩි කොට ඔවුන්ගේ කෘෂි ආදායම වැඩි කිරීම
දර්ශකය 1: ව්‍යාපෘතිය ආරම්භවී අවුරුදු 2 කින් පසු ඉලක්ක ගම්වල ගොවි පවුල්වලින් 75% ක ගෘහස්ථ මාසික කෘෂි ආදායම අඩුම වශයෙන් 30% ක් වැඩිවීම.
දර්ශකය 2: ව්‍යාපෘතිය ආරම්භවී අවුරුදු 1 කින් පසු ඉලක්ක ගම්වල කෘෂි අස්වැන්න 10%කින් වැඩිවීම
මූලාශ්‍රය: ගොවි සංවිධානවල ලේඛණ

උදා 3
ප්‍රථිපලය: වාරි ජලය ලබා ගැනීමට ගොවීන්ට ඇති ඉඩ කඩ වැඩිවීම
දර්ශකය: ව්‍යාපෘතිය ආරම්භවී අවුරුදු 2 කින් පසු වාරි ජලයෙන් ගොවිතැන් කෙරෙන ඉඩම් අක්කර ප්‍රමාණය 25%කින් වැඩිවීම
මූලාශ්‍රය: ගොවි සංවිධානවල ලේඛණ

6. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් (Activities)

ව්‍යාපෘතියකින් අපේක්ෂිත 'ප්‍රථිපල' ලබා ගැනීම සදහා කළයුතු වැඩ කොටස් 'ක්‍රියාකාරකම්' ලෙස හැදින්විය හැක. වෙනත් අන්දමකින් කිවහොත් ක්‍රියාකාරකම් නිසා ඇතිවන විපාක හෝ බලපෑම් හදුන්වන්නේ ප්‍රථිපල ලෙසය.

උදාහරණය:‍ 'කෘෂිකාර්මික කටයුතු පිළිබද ඉලක්ක ගම්මාන (ප්‍රජාව) තුල ඇති ගොවි සංවිධාන වැඩි නැඹුරුවක් දැක්වීම' යන ප්‍රථිඵලය ලබාගැනීමට කලයුතු ක්‍රියාකාරකම් විය හැක්කේ:

- ගොවි සංවිධානවල ඇගයීමක් කොට ආයතනික/කළමණාකරන ධාරිතාවය වැඩිකිරීම සදහා අවශ්‍ය පුහුණු සහ යටිතල පහසුකමු සැපයීම
- ප්‍රධාන කෘෂිකාර්මික කටයුතු (යෙදවුම් මිලට ගැනීම, ණය පහසුකම් ලබා දීම, වාරි කළමණාකරනය, අලෙවිය) සම්බන්ධීකරනය සදහා ගොවි සංවිධානය තුල කමිටු ස්ථාපනය කොට ඒවායේ මෙහෙයුම් ශක්තිමත් කිරීම
- අස්වණු සහ සැකසූ කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සහ අලෙවිය සදහා වෙන්වූ ණය අරමුදලක් ප්‍රවර්ධනය කිරීම
- කුඩා ව්‍යාපාර සහ අලෙවි කළමනාකරනය පිළිබද පුහුනුවක් ගොවි සංවිධාන නිලධාරීන්ට ලබා දීම

මෙලෙස සෑම ව්‍යාපෘති ප්‍රථිපලයක්ම ලඟාකර ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාකාරකම් සියල්ල ලැයිස්තුගත කලවිට, ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන (budget) පිළියෙල කිරීමට එය ඉමහත් රුකුලක් වනු ඇත.

7. ව්‍යාපෘතියේ නිමැවුම් (Outputs)

ව්‍යාපෘතියක් පිළිබද පැහැදිලි අදහසක් ලබා ගැනීම සදහා බොහෝ දායක ආයතන (donor organizations) යෝජිත ව්‍යාපෘතියේ ප්‍රධාන නිමැවුම් ප්‍රමාණාත්මකව දක්වන ලැයිස්තුවක් (list of quantified outputs) අපේක්ෂා කරයි.

ව්‍යාපෘතියක නිමැවුම් යනු එහි ක්‍රියාකාරකම් නිසා ඇතිවන ඍජු සහ ප්‍රමාණාත්මක නිෂ්පාදනයන්ය. එහෙත් ඒවා ප්‍රතිඵලවලින් වෙන්ව සහ නිවැරදිව වටහා ගත යුතුය. ව්‍යාපෘතියක නිමැවුම් (outputs) සහ ප්‍රතිඵල (results) අතර වෙනස වටහා ගැනීමට පහත දැක්වෙන උදාහරණය ප්‍රයොජනවත්විය හැක.

අපේක්ෂිත ප්‍රතිඵලය (Result / Outcome): කෘෂිකාර්මික කටයුතු පිළිබද ඉලක්ක ගම්මාන (ප්‍රජාව) තුල ඇති ගොවි සංවිධාන වැඩි නැඹුරුවක් දැක්වීම

ඒ සදහා අවශ්‍ය නිමැවුම (Output): පුහුණව ලැබූ ගොවි සංවිධාන නිලධාරීන් 30 දෙනෙක්

නිමැවුමට අවශ්‍ය ක්‍රියාකාරකම (Activity): ගොවි සංවිධානවල ඇගයීමක් කොට ආයතනික/කළමණාකරන ධාරිතාවය වැඩිකිරීම සදහා අවශ්‍ය පුහුණු වැඩ සටහනක් මෙහෙයවීම

8. ව්‍යාපෘති‍යෙන් අයත්වන අනෙකුත් වාසිදායි බලපෑම් (other beneficial impacts)

ව්‍යාපෘතියේ අපෙක්ෂිත අරමුණුවලට අමතරව ඇතිවිය හැකි අනෙකුත් ශුභවාදී බලපෑම් ඇත්නම් ඒවා පිළිබද කෙටි සටහනක් කිරීමද වැදගත්ය. උදාහරණ වශයෙන්:

- ප්‍රජාමූල සංවිධානවල සාමාජිකත්වය වැඩිවීම
- ඉලක්ක ප්‍රජාවෙහි නිවාස, ජල, සොඛ්‍ය පහසුකම් දියුණුවීම
- ඉලක්ක ප්‍රජාවෙහි ගෘහස්ථ ආහාර සුරක්ෂිත භාවය වැඩිවීම
- ඉලක්ක ප්‍රජාව සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවය වැඩිවීම

9. ව්‍යාපෘතියේ ක්‍රියාත්මක ක්‍රමවේදය (Implementation Methodology)

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද කෙටි (පිටු 1 -2 ක් පමණ) විස්තරයක් සැපයීම අවශ්‍යය. මෙහිදී අවධානය යොමුකල යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ.

- ප්‍රතිලාභීන් තොරා ගන්නා ආකාරය
- කාන්තාවන් සහ ඉතා දුගී පවුල් වැනි අවදානමට භාජනය වන කණඩායම් (vulnerable groups) ව්‍යාපෘතියට සම්බන්ධවන ආකාරය
- ප්‍රජාමූල සංවිධානවල කාර්ය භාරය
- අනෙකුත් පාර්ශව ආයතනවල කාර්යභාරය
- රජයේ සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් සමග යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධවන ආකාරය
- ධාරිතා වර්ධන සහ පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙන ආකාරය
- ඉතිරි කිරීම්, නය නිකුත් කිරීම්, භාණ්ඩ බෙදා හැරීම් ආදී කටයුතු සිදුකෙරෙන ආකාරය
- ව්‍යාපෘතිය තුල පාරිසරික සංරක්ෂණය පිළිබද අවධානය යොමුවන ආකාරය
- ව්‍යාපෘති ක්‍රමවේදය තුල දක්නට ඇති නව්‍යතා ලක්ෂණ
- පසු විපරම් සහ ඇගයීම (Monitoring & Evaluation)

පසු විපරම (monitoring) යනු ව්‍යාපෘතියෙහි යෙදවුම් (inputs), නිමැවුම් (outputs) සහ ක්‍රියාකාරකම් (activities) සැලසුම් කල ආකාරයට සිදුවේද යන්න නිරන්තරයෙන් සොයා බලන ක්‍රමවේදයයි.

ඇගයීම (evaluation) යනු ව්‍යාපෘතියක ප්‍රථිපල (results) සහ අරමුණු (objectives) අපේක්ෂිත ආකාරයට ලඟා වූවාද යන්න කලින් කල (periodically) සොයා බලන ක්‍රමවේදයයි.

ව්‍යාපෘතියේ සදහා පසු විපරම් සහ ඇගයීම් ක්‍රමයන් යොජනා කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් නම්:

- පාදක සමීක්ෂණයක් (Baseline survey) අවශ්‍යවේද යන්න
- පසුවිපරම් කරන්නේ කවුද? කුමක්ද? කුමණ අවස්ථාවේදීද යන්න
- ක්‍රමවේදය (ආකෘති පත්‍ර පිරවීම, සහභාගිත්ව නිරීක්ෂන සහ සාකච්ඡා ආදිය)
- සහභාගිත්ව (participatory) හෝ ස්වයං ඇගයීම් (self assessment) ක්‍රමයන් යෝජනා කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය කුශලතා පුහුණු සහ මග පෙන්වීම් මොනවාද යන්න
- ස්වාධීන ඇගයීමක් (independant evaluation) අවශ්‍යද යන්න

10. ව්‍යාපෘතියේ තිරසාර සහ ප්‍රතිගුණන ලක්ෂණ (Sustainable and replication features)

මේ පිළබද කරුණු දැක්වීමේදී සැලකිල්ලට භාජනය කල යුතු සාධක නම්:‍‍

- ආයතනික වර්ධනය මගින් (කුඩා කණ්ඩායම්, ඉතිරි කිරීම් සහ ණය කණ්ඩායම්, නිෂ්පාදන කණ්ඩායම්, වෙළද සංගම්, ප්‍රජා මූල ආයතන ආදී) ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සහ අරමුණු ඉදිරියට ගෙන යෑමට හැකිවීම

- ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සදහා ලැබෙන සමාජ - සංස්කෘතික පිළිගැනීම වැඩි කිරීම තුලින් ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යෑමට හැකිවීම
- පුහුණු කිරීම් සහ කුශලතා වර්ධනය නිසා නොකඩවා සිදුවිය හැකි මානව වර්ධනය
- ව්‍යාපෘතිය නිසා ලැබෙන ආර්ථික සහ සමාජයික වාසි නිසා ඇතිවන ප්‍රජා පෙලඹවීම
- විවිධ ජාතීන් සහ කණඩායම් සහයෝගයෙන් වැඩකිරීම නිසා ඇතිවන සාමය හා සහජීවනය
- පාරිසරික සංවේදිතාවය නිසා ඇතිවන තිරසාරත්වය

11. ව්‍යාපෘතියෙහි ඇති අවදානම් (Risks) හෝ අශුභවාදී ලක්ෂණ (Negative effects) සහ ඒවා අවම කරගත හැකි ආකාරය

මෙහිදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී හෝ ඉන් පසුව ඇතිවිය හැකි අවදානම්කාරී, ගැටුම්කාරී හෝ අශුභවාදී බලපෑම් හදුන්වා ගෙන ඒවා අවම කර ගත හැකි ක්‍රම කෙටියෙන් විස්තර කරන්න.

අවදානම් හෝ අශුභවාදී ලක්ෂණ සදහා උදාහරණ:

- ව්‍යාපෘතිය මගින් ඍජුව ණය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී දැනටමත් ඒ ගම්මානවල ණය වැඩ සටහන් ක්‍රියාත්මක කරන සංවිධාන මෙම ව්‍යාපෘතිය තර්ජනයක් සේ සලකන්නට හැක.
- කෘෂි ලිං සදහා ව්‍යාපෘතියකින් යෝජිත ජල පොම්ප අධිභාවිතය නිසා ප්‍රදේශයේ භූ ජල මට්ටමට හානි සිදුවිය හැක.

12. තර්ක රාමු න්‍යාසය (Logical Framework Matrix)

යොජිත ව්‍යාපෘතියේ ස්වාභාවය සහ ප්‍රමාණය අනුව සමහර දායක ආයතන (විශේෂයෙන් යුරෝපා හවුලට අනුබද්ධ) ව්‍යාපෘතියේ අරමුණු, ප්‍රථිපල , සහ දර්ශක න්‍යාසයක ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන තර්ක රාමුවක් තිබිම අපේක්ෂා කරයි. එය ඉතාමත් කෙටියෙන් (පිටු 1 -2 සීමාකර) තර්කාණුකූලව ඉදිරිපත් කල යුතුය.

යෝජිත ව්‍යාපෘතියක් සදහා මෙවැනි තර්ක රාමුවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා දෙකක් ඇත. පලමුව, එය කියවී‍මෙන්ම පමනක් සමස්ථ ව්‍යාපෘතිය පිළිබද දළ අදහසක් ලබා ගැනීමට හැකිවේ. දෙවනුව, ව්‍යාපෘතිය අවසානයේ කෙරෙනු ලබන ඇගයීම් (evaluations) සදහා මෙම තර්ක රාමුව ඉතාමත් ප්‍රයොජනවත්වීමයි.

සංවර්ධන මැදිහත්වීම
(Development Intervention)

මිණීමේ දර්ශක (Measuring Indicators)

මූලාශ්‍ර (Sources of Verification)

උපකල්පනයන්
(Assumptions)

ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ ( Development Goal):

ඉලක්ක ප්‍රජාවේ පවුල්වල පීවන තත්වය තිරසාර ලෙස ඉහල දැමීම.

1. අවුරුදු 3 ක් තුලදී ඉලක්ක ප්‍රජාවේ පවුල් (ගෘහ) වලින් අවම 75% ක් සනීපාරක්ෂක වැසිකිළි භාවිතා කිරීම.

2. අවුරුදු 3 ක් තුලදී ඉලක්ක ප්‍රජාවේ පවුල් මාංශ ජනක ආහාර සදහා දරන මාසික වියදම 25% කින් වැඩිවීම.

යෝජිත වාර්ෂික ගෘහස්ථ සමීක්ෂණය

ගැටුම්වලින් තොර සාමකාමී වාතාවරනයක් පැවතීම.

‍ව්‍යාපෘතියෙ ෙමෙහවර (Project Purpose):

ගොවීන්ගේ දැනුම හා කුශලතා වර්ධනයද ගොවි සංවිධානවල ආයතනික ශක්තියද ඉහල දැමීම මගින් කෘෂි අස්වැන්න, කෘෂි ඵලදායිතාවය සහ කෘෂි සැකසුම් නිෂාපාදන වැඩි කොට ඒ තුලින් ඔවුන්ගේ ආදායම වැඩි කිරීම.

1. ව්‍යාපෘතිය ආරම්භවී අවුරුදු 2 ක් ඇතුලත ඉලක්ක ප්‍රජාවෙහි පවුල්වලින් අවම 75% ක මාසික කෘෂි ආදායම අවම 10% කින් වැඩිවීම.

2. ව්‍යාපෘතිය ආරම්භවි අවුරුදු 1 ක් ඇතුලත ඉලක්ක ගම්මානවල කෘෂි අස්වැන්න අවම 10% කින් වැඩිවීම.

යෝජිත වාර්ෂික ගෘහස්ථ සමීක්ෂණය

සහ

ගොවි සංවිධාන ලේඛණ

1. ස්වාභාවික විපත් (නියගය, ගංවතුර වැනි) වලින් තොරවීම.

2. කෘෂිකර්මාන්තයට හිතවාදී වෙළද හා ආර්ථික ප්‍රතිපත්තියක් පැවතීම.

ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රථිපල නොහොත් අරමුණු (Expected Results) :

 

 

 

1. ඉලක්ක ගම්මාන (ප්‍රජාව) තුල ඇති ගොවි සංවිධාන කෘෂිකාර්මික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම.

ව්‍යාපෘතිය ආරම්භවි අවුරුදු 1 ක් ඇතුලත ගොවි සංවිධානවල අරමුදල් (සාමාජික ගාස්තු, ආදායම්) 50% කින් වැඩිවීම

ගොවි සංවිධානවල ගිණුම් ලේඛණ

ගොවි සංවිධාන දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීම

2. පහසුවෙන් සහ ඵලදායි ලෙස කෘෂි ව්‍යාප්ත සේවා ලගාකර ගැනීමට ගොවීන්ට හැකිවීම.

ව්‍යාපෘතිය ආරම්භවි අවුරුදු 2 ක් ඇතුලත කෘෂි ඵලදායිතාවය (ඉඩම් ප්‍රමාණයකට ලැබෙන අස්වැන්න) 10% කින් වැඩිවීම

යෝජිත වාර්ෂික ගෘහස්ථ සමීක්ෂණය

රාජ්‍ය කෘෂි ව්‍යාප්ත සේවාවලින් අපේක්ෂිත සහයෝගය ලැබීම

3. පහසුවෙන් වාරි ජලය ලබා ගැනීමට ගොවීන්ට හැකිවීම.

වාරි ජලයෙන් ගොවිතැන් කෙරෙන ඉඩම් අක්කර ප්‍රමාණය ව්‍යාපෘතිය ආරම්භවි අවුරුදු 2 ක් ඇතුලත 20% කින් වැඩිවීම

ගොවි සංවිධාන ලේඛණ

ස්වාභාවික විපත් (නියගය, ගංවතුර වැනි) වලින් තොරවීම.

4. කෘෂි අස්වනු ලබා ගැනිමෙන් පසු ඒවා සැකසූ නිෂ්පාදන බවට පත්කිරීමට ගොවීන් පෙළඹීම.

ව්‍යාපෘතිය ආරම්භවි අවුරුදු 2 ක් ඇතුලත සැකසූ කෘෂි නිෂ්පාදන අලෙවියෙන් ඉලක්ක ප්‍රජාවට ලැබෙන ආදායම දෙගුණයක්වීම

යෝජිත වාර්ෂික ගෘහස්ථ සමීක්ෂණය

ග්‍රාමිය කෘෂි නිෂ්පාදනවලට හිතවාදී වෙළද හා ආර්ථික ප්‍රතිපත්තියක් පැවතීම.

අරමුණු, ප්‍රථිපල, දර්ශක සහ දර්ශක මූලාශ්‍රයන්ට අමතරව තර්ක රාමුවේ අඩංගු කල යුතු අංගයක් වන්නේ අපේක්ෂිත අරමුණු සහ ප්‍රථිපල ලබා ගැනීමට හැකිවේයැයි හෝ අවශ්‍යයැයි සිතන්නාවූ සාධක හා පරිසරයන්ය. මේවා උපකල්පනයන් (Assumptions) ලෙස හැදින්වේ. එවැනි උපකල්පනික සාධක හෝ පරිසරය ඇතිවුවහොත් පමණක් අපේක්ෂිත අරමූණු සහ ප්‍රථිපල ලබා ගත හැක යන්න මේ මගින් ප්‍රකාශවේ.

එහෙත් එවැනි උපකල්පනික සාධක හෝ පරිසරයන් නොතිබීමේ සම්භාවිතාවය ඉතා වැඩි නම් හෝ අනිවාර්යෙන්ම එම සාධක හෝ පරිසරය නොලැබේයැයි නිසැකවම දන්නේ නම් ඒවා උපකල්පනයන් වන්නේ නැත. එයට හේතුව අවශ්‍ය සාධක හා පරිසරය නිසැකවම නොමැතිවිට ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ලගාකර ගැනීමට නොහැකිව ව්‍යාපෘතිය අසාර්ථක වීමය. එමනිසා උපකල්පනයන් විය යුත්තේ ඒවා නොතිබීමේ සම්භාවිතාවය අඩු සාධක හෝ පරිසරයන්ය.