සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

සංවර්ධන ව්‍යාපෘතියක් හඳුනා ගැනීම සහ නිර්මාණය කරන්නේ කෙසේද? How to Identify and Design a Development Project?

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අරමුණු කරා ඵලදායී ලෙස හා කාර්යක්ෂම ලෙස ලඟාවීමට අනුගමනය කෙරෙන ක්‍රියාවලිය ව්‍යාපෘති චක්‍ර කළමනාකරණය යනුවෙන් හැඳින්වේ. මෙම ක්‍රියාවලිය චක්‍රානුකුලව එකිනෙකට යාවෙන අදියර කිහිපයකින් යුක්තය.

අ) ව්‍යාපෘතිය හඳුනාගැනිම (Identification)

අදාල ව්‍යාපෘතිය කවර විෂයයක් හෝ අංශයක් (උදාහරණ: ජීවනෝපාය, සෞඛ්‍යය, පෝෂණ ආදී) කෙරේ අවධානය යොමුකර යුතුද, එයින් ප්‍රතිලාභ ලැබිය යුත්තේ කවුරුන්ද සහ ඔවුන්ගේ කුමණ අවශ්‍යතා මෙ‍ම ව්‍යාපෘතිය මඟින් ආමන්ත්‍රණය කල යතුද යන කරුණු මෙම පියවරේදී සැලකිල්ලට ගත යුතුය.  

ව්‍යාපෘතිය හඳුනා ගැනීමේදී සහ සැලසුම් කිරීමේදී භාවිතා කරන ක්‍රමවේදය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සහභාගිත්ව ගැමි විමසුම (Participatory Rural Appraisal – PRA) යනුවෙන්ය.  

මෙම අවස්ථාවේ පළමුවෙන්ම කළ යුත්තේ ප්‍රජා අවශ්‍යතාවල (Community Needs) සහ ප්‍රජා ධාරිතාවය (Community Capacity) පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනිමයි.

  • අදාල ප්‍රජාවෙහි අවශ්‍යතා ඇගයීම ( Community Need Assessment)

මෙයින් බලාපොරොත්තු වන්නේ අදාල ප්‍රජාව අපේක්ෂාකරන අවශ්‍යතා පිලිබඳ දළ අවබෝධයක් හෝ ව්‍යාපෘති අදහසක් (project idea) ලබා ගැනිමයි. මේ සඳහා  භාවිතා කළහැකි මෙවලම් වන්නේ:

    • ගම සහ ප්‍රජාව පිලිබඳ මනා දැනුමක් සහිත පුද්ගලයින්(උදාහරණ: ආගමික නායකයින්, ගොවි, ධීවර සහ වෙළෙඳ නියෝජිතයින්, සෞඛ්‍යය සේවිකාවන් ආදි) සමග අවිධිමත්ලෙස සාකච්ඡා පැවැත්වීම (informal discussions) මගින් අදාළ ප්‍රජාවෙහි ගැටළු සහ අවශ්‍යතා පිළිබඳ සාමාන්‍ය අවබොධයක් ලබා ගැනීම.
    • 10 -20 කින් පමණ සමන්විත කේන්ද්‍රීය කණ්ඩායම් (Focus groups) සමග (උදාහරණ:  කාන්තාවන්, මුහුදු ධීවරයින්, කුඩා ඉඩම් හිමි ගොවීන් ආදී) තරමක් ව්‍යුහගත සාකච්ඡා පැවැත්විම මගින් එවැනි කණඩායම්වලට විශේෂිතවූ ගැටළු සහ අවශ්‍යතා පිළිබඳවද අවබෝධයක් ලබාගැනිමට හැකිවේ.
    • සහභාගිත්ව ප්‍රජා/ගම සිතියම්කරණය (Participatory Community / Village Mapping). මෙහිදී සිදුවනුයේ කණ්ඩායමක් වශයෙන් ප්‍රජා සාමාජිකයින් එකතුවී සාකච්ඡා කරමින් බිම වැලි තලාවක හෝ විශාල ප්‍රමානයේ කඩදාසියක ගමේ සිතියමක් ඇඳීමයි. මෙහිදී ගමෙහි ඇති වගා බිම්, ජලය ඇති ස්ථාන, වාරි ඇලවල්, කඩපළ, වෙළඳ පොළ, ගෙවල් පිහිටීම, ප්‍රජා ශාලාව, ආගමික ස්ථාන, පාරවල්, ජල කරාම, තණ බිම්, වන පෙත් ආදී දේ ඇඳිමට ඔවුන් පෙලඹෙනු ඇත. මෙහිදී වැදගත්වන්නේ සිතියම ඇඳීමෙන් පසු අරමුණු කරණ ව්‍යාපෘතියට අදාළ ගැටළු (problems) සහ අවස්ථා (opportunities) එම සිතියම තුලින් ඉස්මතුවනසේ ඔවුන් අතර සාකච්ඡාවක් මෙහෙයවීමයි.

දාල ප්‍රජාවතුල ඇති ධාරිතාවය ඇගයීම (Community Capacity Assessment) අදාල ප්‍රජාව හෝ ප්‍රදේශය තුළ ඇති වත්කම් (කුශලතා සහ සම්පත් ආදිය) පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙයින් අදහස් කෙරේ. ප්‍රජාවක් තුල ඇති වත්කම් (Assets) පස් වැදෑරුම් වන අතර එසේ ඇති වත්කම් කෙතෙක් දුරට ප්‍රජාවගේ ඉදිරි සංවර්ධන අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත්වේද එසේත් නැතිනම් එවැනි සංවර්ධන අවශ්‍යතා සදහා දැනට ඇති වත්කම්වල ධාරිතාවය කෙසේ වැඩිකළ යුතුද යන්න සොයා බැලීම වැදගත්ය. කුඩා කණ්ඩායම් සාකච්ඡා මගින් මෙය කළ හැකිවන අතර පහත දැක්වෙන ආකාරයේ විශ්ලේෂණ රාමුවක්ද භාවිතා කළ හැක.

 

සම්පත් (Assets)

වත්කම්වල දැනට ඇති ධාරිතාවය හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සඳහා කෙසේ ප්‍රයෝජනවත්වේද?

සංවර්ධන අවශ්‍යතා සඳහා ධාරිතාවය ඉහළ නැංවිය යුතු වත්කම් සහ ඒ සඳහා යෝජනා කෙරෙන ක්‍රියාකාරකම්

මානව (Human): පෙදරේරුවන්, වඩු කාර්මිකයින්, අත්කම් භාණ්ඩ නිෂපාදකයින් වැනි කුශලතා ඇති පුද්ගලයින් සිටීම

 

 

සමාජීය (Social): ප්‍රජාමූල සංවිධාන, ප්‍රජා ශාලාවන්, බාහිර ප්‍රජාවන් සහ ආයතන සමග ඇති සම්බන්ධතා ආදිය

 

 

ස්වාභාවික (Natural): වැව, කලපුව, තණ බිම්, වනාන්තරය, ගෙවතු ආදිය

 

 

භෞතික (Physical): විදුලිය, පානීය ජල පහසුකම්, දුරකථන සේවා, පාරවල්, වෙළඳ පොළවල්, ප්‍රවාහන සේවා ආදිය

 

 

ආර්ථික (Economic): ස්වයං රැකියා, කුඩා ව්‍යාපාර,  වෙළඳ කටයුතු, ආදිය

 

 

ආ) ව්‍යාපෘති සැලසුම නිර්මානය කිරීම (Project Designing)

  • ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් හඳුනාගැනීම සහ විශ්ලේෂණය (Stakeholder Analysis)

ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදි මූලිකව අවධානය යොමුකළ යුතු කරුණක් වන්නේ එහි පාර්ශවකරුවන් හඳුනාගෙන ඔවුන් කෙරෙහි ව්‍යාපෘතිය හෝ ව්‍යාපෘතිය කෙරෙහි ඔවුන්ගේ බලපෑම අවබෝධ කර ගැනීමයි.

ව්‍යාපෘතියක පාර්ශවකරුවන් යනු:

  • ව්‍යාපෘතිය මගින් ඍජුව ප්‍රතිලාභ ලබන්නන් (Project Beneficiaries). මොවුන් ප්‍රාථමික පාර්ශවකරුවන් (Primary Stakeholders) ලෙසද හැඳින්වේ. මොවුන් පොදුවේ ප්‍රතිලාභ ලබන ප්‍රජාව යැයි හැඳින්වුවද යම් විශ්ලේෂණයක් කරණ අවස්ථාවකදී වෙන වෙනම අණු කණ්ඩායම් ලෙස වෙන් කර ගත යුතුය. (උදාහරණ: ධීවරයින්, ගොවීන්, ඉඩම් නොමැති, කුලීකරුවන් ආදි වශයෙන්)
  • අනිකුත් සියළුම පුද්ගලයින් සහ කණඩායම් ද්වීතීයක පාර්ශවකරුවන් (Secondary Stakeholders) ගණයට අයත්වන අතර ඔවුන් විවිධ කණඩායම්වලට අයත්වේ.
    • ව්‍යාපෘතිය නිසා වක්‍රව ප්‍රතිලාභ ලබන්නන් (Indirect Beneficiaries)
    • ව්‍යාපෘතිය සම්බන්ධව උනන්දුවක් දක්වන වෙනත් පුද්ගලයින් සහ ආයතන (උදාහරණ: රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, පුහුණුකිරීම් වැනි සේවා සපයන ආයතන)
    • ව්‍යාපෘතිය නිසා පාඩු ලැබිය හැකි හෝ ව්‍යාපෘතිය නිසා අශුභ බලපෑමිවලට ලක්විය හැකි පුද්ගලයින් හෝ කණඩායම්

ඉහත සඳහන් පරිදි ව්‍යාපෘතියකට අදාළ පාර්ශවකරුවන් හඳුනාගැනීමෙන් පසු ව්‍යාපෘතිය කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව හෝ අපේක්ෂාවන්, ව්‍යාපෘතියෙන් ඔවුන්ට ඇති බලපෑම, සහ ව්‍යාපෘතිය කෙරෙහි ඔවුන්ගේ බලපෑම විශ්ලේෂණය කර අවබෝධකරගත යුතුය.

පාර්ශවකරුවන් (පුද්ගලයින්, කණ්ඩායම්, සමිති, ආයතන ආදිය)

වඩාත් උන්නදුව දක්වන්නේ කුමක් කෙරෙහිද?

යෝජනා කිරිමට අපේක්ෂිත ව්‍යාපෘතිය ඔවුන්ට බලපාන අයුරු

ළුයාපෘතිය මත ඔවුන්‍ගේ බලපෑම

ශුභවාදී
+

අශුභවාදී
-

මධ්‍යස්ථ
+/-

අවිනිශචිත
?

වැඩි
3

මධ්‍යස්ථ
2

අඩු
1

1.

 

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

 

 

5.

 

 

 

 

 

 

 

 

6.

 

 

 

 

 

 

 

 

7.

 

 

 

 

 

 

 

 

  • ප්‍රජාවෙහි සමාජ සහ ආර්ථික පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම සහ අධ්‍යයනය කිරීම
    • ද්වීතීයක දත්ත (secondary data) රැස්කිරීම සහ අධ්‍යයනය (ජනගහණය, නිවාස, ඉඩම් පරිහරණය, කෘෂි සහ වෙනත් නිෂ්පාදන ප්‍රමානයන් ආදිය පිළිබඳ ග්‍රාම නිලධාරී හෝ වෙනත් රාජ්‍ය ආයතන මගින් ලබා ගත හැකි දත්ත හා තොරතුරු, එම ප්‍රදේශයේ මීට පෙර කරණ ලද සමීක්ෂණවල තොරතුරු ආදිය)
    • ව්‍යාපෘතිය හඳුනා ගන්නා පියවරේදී කරන ලද සහභාගිත්ව ප්‍රජා/ගම සිතියම්කරණය (Participatory Community / Village Mapping), ගම සහ ප්‍රජාව පිලිබඳ මනා දැනුමක් සහිත පුද්ගලයින් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ කේන්ද්‍රීය කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත්වීම (Focus group Discussions) ආදියෙන් ලබා ගත් තොරතුරුද මෙහිදී වැදගත් වේ.
    • ගමේ හරස්කඩ චාරිකාවක් කිරිම  (Village Transect Walk): අදාල ගම පිලිබඳ තුලනාත්මක අවබෝධයක් ලබා ගත හැකිවීම සඳහා එම ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ගම හරහා (ආසන්න සෟජු රේඛාවක) ඇවිදිමින් ගමේ ඉඩම් පිහිටීම, ඉඩම් පරිහරණය, බෝග වගාව, වාරි සහ පානීය ජල පහසු කම් ආදිය සහ ඒවාට අදාල ගැටළු මෙන්ම එම ගැටළුවලට ඇති විසඳම් අවස්ථාද නිරීක්ෂණය කරමින් විමර්ශණය කළයුතුය.
    • ප්‍රවනතා විශ්ලේෂණය (Trend Analysis): අදාල ප්‍රජාවෙහි සිදුවූ හා සිදුවෙන සමාජ හා අර්ථික වෙනස්කම් අවබෝධ කරගැනීම ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී ප්‍රයෝජනවත් වේ.  ප්‍රජාව තුල සිටින වැඩිහිටි කිහිප දෙදෙනෙකු සමග සාකච්ඡා කිරීමෙන් සහ කුඩා කණ්ඩායම් සාකච්ඡා මගින් ඍතු සටහනක් (Seasonal Calendar) සාදාගැනීමෙන් අදාල ප්‍රදේශයේ වාරි ජලය හිඟවන, බෝග වගා කරණ, අස්වනු නෙලන, එක් එක් බෝගවල නිෂ්පාදනය වැඩි හෝ අඩුවන, නිෂ්පාදනවල මිල උච්ඡාවචනයවන, කම්කරු ශ්‍රමය හිඟවන, ලෙඩ රෝග සෑදෙන, නියඟය හෝ ගංවතුර බලපාන ආදී බොහෝ සාධක වල ඍතු සහ කාල ප්‍රවනතා හඳුනාගත හැකිය.
    • ජීවනෝපාය විශ්ලේෂණය (Livelihood analysis): අදාළ ප්‍රදේශයෙහි ආර්ථිකයට දායකවන ජීවනෝපාය ක්‍රියාකාරකම්වල සංසන්දනාත්මක විමර්ශනයක් සහ එම ක්‍රියාකාරකම් වලට බලපාන ගැටළු (constraints) සහ විභවයන් (potential) හඳුනා ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ. සහභාගිත්ව ප්‍රජා කණ්ඩායම් ක්‍රමවේදය උපයෝගී කරගනිමින් බිම අඳිනලද වෘත්තයක කෝටු කැබලි කිහිපයක් එහා මෙහා කිරීම මගින් අදාළ ප්‍රදේශයේ ජිවනෝපාය ක්‍රියාකාරකම්වල ප්‍රමාණාත්මක සංසන්දනයක් ලබා ගත හැක.

ප්‍රජාවක ජිවනෝපායන්ගේ ප්‍රමාණාත්මක සංසන්දනය

එක් එක් ජිවනෝපායන්ට අයත් කේන්ද්‍රීය කණ්ඩායම් තුළ මෙහෙයවන සාකච්ඡා මගින් එම ජීවනෝපායන්වල එක් එක් ක්‍රියාකාරකම්වලට බලපාන ගැටළු සහ වර්ධනය කර ගත හැකි විභවයන්ද හඳුනාගත හැක. පහත දැක්වෙන අන්දමේ රාමුවක් භාවිතා කරගනිමින් එක් එක් ජිවනෝපාය වර්ග සඳහා එවන් විශ්ලේෂණයන් කණ්ඩායම් සාකච්ඡාවන් මගින් ලබා ගත හැක.

කලපු ධීවර අංශයෙහි ප්‍රධාන සාධක

එක් එක් සාධකයන්ට බලපාන ගැටළු

එම සාධකයන් ශුභවාදී ලෙස වර්ධනය කරගැනීමට යෝජිත අදහස්

1. ධීවර ප්‍රතිපත්ති, නීති/රෙකුලාසිවල බලපෑම

 

 

2. යටිතල පහසුකම් (වෙරළ මාරග, බෝට්ටු ගොඩට එන ස්ථාන, ජල පහසුකම්)

 

 

3. අමු ද්‍රව්‍ය ලබා ගැණිම (බෝට්ටු, දැල් ආම්පන්න, අයිස්, ඉන්ධන)

 

 

4. මසුන් ඇල්ලීම (ශ්‍රමය, තාක්ෂණය, නිෂ්පාදන ප්‍රමාණය, කල් කබා ගැනිම)

 

 

5. අලෙවි කිරීම

 

 

6. පාරිසරික බලපෑම්

 

 

    • ප්‍රජාව හෝ ප්‍රජා සංවිධාන සහ අනිකුත් බාහිර අයතන සමග ඇති සහයෝගිතාවය ඇගයීම. මේ සඳහා සාමාන්‍යයෙන් භාවිතාකරන ක්‍රමවේදය ‍නොහොත් මෙවලම වන්නේ ‘වෙන් සටහණක්’ (Venn diagram) නිර්මානය කිරිමයි.  මෙහිදී වෘත්ත (circles) මගින් ප්‍රජාව සහ එක් එක් ආයතන නියෝජනය වන පරිදි රූප සටහණක් ඇඳීමට ප්‍රජා සාමාජිකයින් කණ්ඩායමකට උදව් කළයුතුය. තම ප්‍රජාවට එම ආයතන දක්වන සහයෝගීතාවයේ ගුණාත්මක බව නියෝජනයවන වෘත්තයේ ප්‍රමාණයෙන්ද එම සහයෝගිතාවයේ සමීපබව නියෝජනයවන වෘත්තය පිහිටා තිබෙන දුර ප්‍රමානයෙන්ද දැක්විය යුතු බවට උපදෙස් දිය යුතුය.

ප්‍රජාව සහ බාහිර ආයතන අතර සහයෝගිතාවය දක්වන වෙන් රූප සටහනක්

ඉහත සඳහන් පරිදි නොයෙකුත් සහගාගිත්ව ක්‍රමවේදයන් (අවිධිමත් සාකච්ඡා, විධිමත් ව්‍යුහගත සාකච්ඡා, තොරතුරු රැස් කිරිම්, නිරීක්ෂණ, විශ්ලේෂණ, ඇගයීම් ආදී) අනුගමනය කිරීම මගින් තොරතුරු සම්භාරයක් රැස්කිරීමට අමතරව, ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ  ඔවුන් තුළ ඇති ශක්තීන් සහ විභවයන් පිළිබඳව ප්‍රජාව අතරෙහිම සාමූහික අවබෝධයක් ලබා ගැනිමට හැකිවනු බව නිසැකය.

එම නිසා අරමුණු පෙරදැරිකරගත් (objective oriented) ගැටළු විශ්ලේෂණයක් සඳහා කණ්ඩායමක් ලෙස හෝ කුඩා කන්ඩායම් කිහිපයක් ලෙස ප්‍රජාව යොමු කිරීම මිලඟ පියවර වේ.

  • ගැටළු විශ්ලේෂණය (Problem Analysis)

මෙහිදී අනුපියවර කිහිපයක් මගින් ව්‍යාපෘතියට පාදක කරගතයුතු ප්‍රධාන නොහොත් කේන්ද්‍රීය ගැටළුවද, එයට හේතු පාදක ගැටළුද , කේන්ද්‍රීය ගැටළුව නිසා ඇතිවන විපාකද හඳුනාගෙන තර්කානුකූලව ගැටළු ගසක් නිර්මාණය කරගත යුතුය. එම අනුපියවරයන් නම්:

අ) ගැටළු හඳුනා ගැනීම (Problem identification)
ආ) ගැටළු ප්‍රමුඛතාගත කිරීම (Prioritization of problems)
ඇ) කේන්ර්‍ද්‍රීය ගැටළුව හඳුනා ගැනීම (Identifying the Central Problem)
ඈ) කේන්ද්‍රීය ගැටළුව සඳහා හේතු පාදක වන ගැටළු හඳුනාගැනිම (Identifying the Causes of the Central Problem)
ඉ) කේන්ද්‍රීය ගැටළුව නිසා ඉස්මතුවන විපාක හඳුනා ගැනීම (Identifying Problem effects)
ඊ) ගැටළු ගස නිර්මාණය කරගැනිම (Constructing the Problem tree)

දිගින් දිගටම සහභාගිත්ව ක්‍රියාකාරකම්වල නිරතවූ ප්‍රජා සාමාජිකයින් කිහිපදෙනෙකු කණඩායමක් වශයෙන් සාකච්ඡාවක යෙදීමෙන් ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටළු කිහිපයක් හඳුනාගෙන ඉන්පසු ඒවා ප්‍රමුඛතා ගතකළ යුතුය. මෙම ප්‍රමුඛතාගත කිරිම ලකුණු ලබා දීමේ ක්‍රමයක් මත සිදු කළ හැකිය

ඉන් පසු ‍යම් ආයතනයක් මගින් අනුග්‍රහය දැක්විය හැකි ව්‍යාපෘතියක් සඳහා සුදුසුම ගැටළුව මෙම ප්‍රමුඛතා ලැයිස්තුවෙන් හඳුනාගත යුතුය. මෙය කේන්ද්‍රීය ගැටළුව  (Central Problem) ලෙස හැඳින්වේ. නුසුදුසු කේන්ද්‍රීය ගැටළුවක් තෝරා ගැනීම මඟින් අපගේ ඉලක්කය වෙනත් දිශාවක් කරා ගෙනයා හැකි අතර ඵමගින් සැළසුම් කරණ ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ ලඟාකර ගැනීමටද නොහැකි විය හැක.

කේන්ද්‍රීය ගැටළුව හඳුනා ගැනීමේන් පසු ඵය ඇතිවිමට හේතුවන හේතුකාරක ගැටළු (Causal Problems) සහ එයින් ඇතිවන විපාකද (Effects) තාර්කිකව හඳුනාගෙන අනුපිළිවෙලකට සකස්කල යුතුයි. කේන්ද්‍රීය ගැටළුව කාඩ් පතක ලියා ඊට හේතුවිය හැකි ප්‍රධාන ගැටළුමය කරුණු කිහිපයක් වෙන් වෙන්ව කාඩ් පත්වල ලියා කේන්ද්‍රීය ගැටළුවට යටින් තිබෙන්නට සලස්වා කණඩායම් සාකච්ඡාවක් මගින් වඩා උචිතයැයි හැ‍ඟී යන  ගැටළු කිහිපයක් තෝරා ගැනීම කළහැක. ඉන්පසු එම හේතුකාරක ගැටළුවලට පාදකවිය හැකි උප ගැටළු කිහිපයක්ද කණඩායම් සාකාච්ඡාවක් මගින් හඳුනා ගත හැක.  මෙලෙස තෝරා ගත් ගැටළු, ගැටළු ගසෙහි මුල් බවට පත්වන අතර කේන්ද්‍රීය ගැටළුව කඳ ලෙස සැලකිය හැක (පහත රූප සටහන බලන්න).

ඉන්පසු කේන්ද්‍රීය ගැටළුව නිසා ඉස්මතුවන විපාකද එලෙසම කණ්ඩායම් සාකච්ඡාවක් මගින් හඳුනාගත යුතුය. ගැටළු ගසෙහි ශාකාවන් බවට පත් වන්නේ කේන්ද්‍රීය  ගැටළු‍වෙහි විපාක වේ. 

ළමා මන්දපෝෂණය කේන්ද්‍රීය ගැටළුව වන අවස්ථාවකදී සෑදෙන ගැටළු ගසක් පහත දුක්වෙන රූප සටහනෙන් දැක්වේ.

අරමුණු ගස (Objective Tree)

  • ව්‍යාපෘතියේ අරමුණු හඳුනා ගැනීම (Identifying Project Objectives)

ගැටළු ගසෙහි හේතු පාදක ගැටළුද, කේන්ද්‍රීය ගැටළුවද, විපාකද ශුභවාදී ලෙස ලිවීමෙන් ව්‍යපෘතියෙන් බලාපොරොත්තුවන අරමුණු හඳුනාගත හැක. මෙලෙස ලබා ගන්නා රූප සටහන අරමුණු ගස ලෙස හැඳින්වේ.

අරමුණු ගස (Objective Tree)

  • තර්කරාමු ප්‍රවේශය අනුගමනය කරමින් ව්‍යාපෘති යෝජනාව සකස් කිරීම (Writing the Project proposal using the Logical Framework Approach)

මේ සඳහා ‘සංවර්ධන ව්‍යාපෘති යෝජනාවක් සැලසුම් කිරීම සදහා වන උපදෙස් මාලාව’ ලබා ගැනීමට  www.esanvada.org/planning/archives_proposal_guide.htm ‍අඩවියට පිවිසෙන්න

ඇ) ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී පසු විපරම සහ විමර්ශනය (Monitoring and Progress Review during project Implementation)

මෙහිදී පසු විපරම යනුවෙන් අදහස් වන්නේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමේදී කෙටි කාලීන වශයෙන් එහි ප්‍රගතිය (progress) විපරම්කර බැලීමයි. මේ සඳහා දෛනිකව, සතිපතා හෝ මාසිකව ප්‍රගති වාර්තා ආකෘති (progress reporting formats) වැනි පසුවිපරම් මෙවලම් භාවිතාකළ හැකිවන ඒ මගින් ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන කෙටිකාලීන නිමැවුම්වල (Outputs) ප්‍රගතිය විද්‍යාමානවේ. එම ප්‍රගතිය අනුව ව්‍යාපෘති ව්‍යුහයේ සහ ක්‍රමවේදයේ සුළු සුළු වෙනස් කම් නිරන්තරයෙන් සිදුකළ හැක.

පසුවිපරමට සමගාමීව මධ්‍යකාලීනව ලඟා කර ගතහැකි ප්‍රතිඵල (Results) විපරම් කිරිම විමර්ශනය යනුවෙන් හැඳින්වෙන අතර, ඒ සඳහා මාස 3 කට වරක්, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව ප්‍රගතිය විපරම් කෙරෙන ප්‍රගති වාර්තා ආකෘති භාවිතා කිරීමට අමතරව ප්‍රගති සමාලෝචන රැස්වීම්ද පැවැත්විය හැක. මෙවැනි ප්‍රගති විමර්ශනයන්ට අනුවද තරමක් දුරට ව්‍යාපෘති ව්‍යුහයේ සහ ක්‍රමවේදයේ යම් යම් වෙනස් කිරීම් සිදුකළ හැක.

ඈ) ව්‍යාපෘතියක් ඇගයීම (Project Evaluation)

ව්‍යාපෘතියක් අවසානයේදී  එහි අපේක්ෂිත අරමුණු (Objectives), ආසන්න අරමුණ (Project Purpose) සහ දීර්ඝ කාලීන සංවර්ධන ඉලක්කයන් (Overall or Development Goal) ලඟා කර ගත්තාද නැද්ද යන්න විමසා බැලීම මෙයින් අදහස් කෙරේ. මේ සඳහා බොහෝවිට මග පෙන්වීම ලැබෙන්නේ ව්‍යාපෘති සැලසුම් කිරීමේදී නිර්මානය කරණ ලද තාර්කික රාමුවයි. ව්‍යාපෘතියක් අවසානයේදී සිදුකෙරෙන නිසා ඇගයීමක් මගින් ලැබෙන අත්දැකීම් තවත් ව්‍යාපෘතියක් හෝ එම ව්‍යාපෘතියේම දෙවෙනි පියවරක් සැලසුම් කිරීමට පමණක් උපකාරීවේ.