දුප්පත්කම අර්ථ දැක්වීම සහ මැණීම
Defining and Measuring Poverty
සංවර්ධන ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යවහාරයේ සහ මුලාශ්‍රවල දක්නට ලැබෙන දරිද්‍රතාවය පිළිබද අර්ථ කථනයන්, පහදා දිම් සහ මිණුම් දඬු විවිධ වන අතර, එකිනෙකට වෙනස් සන්දර්භයන් අනුව එම අර්ථ කථනයන්ද වෙනස් ස්වරූපයන් ගනියි. රටක් කෙතරම් දුප්පත්ද, දිස්ත්‍රික්ක හා අනික් ප්‍රදේශවල දුප්පත් කම කොපමණද, සංවර්ධනය වූ හෝ නොවු සහ දුප්පත් හෝ පොහාසත් ගණයන්ට ඇතුලත් වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදී එවැනි වර්ගීකරණයන්ට පදනම්වන සාධක අනුව එම වර්ගීකරණයන් ප්‍රධාන කාණ්ඩ 3 කට ගොනුකළ හැකිය.
- මුලික ජීවන අවශ්‍යතා අනුව (Basic living needs)
- මානව සංවර්ධන අවශ්‍යතා අනුව (Human development needs)
- ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව (Per Capita Gross National Income)
1. මුලික ජීවන අවශ්‍යතා සහ දුප්පත්කම (Basic living needs & Poverty)
අ) දරිද්‍රතා රේඛාව (Poverty Line)
මූලික ජීවන අවශ්‍යතා සඳහා යම් පුද්ගලයෙකුට හෝ පවුලකට තිබිය යුතු අවම අවශ්‍යතා මට්ටම මේ යැයි නිර්ණායකයක් මගින් නියම කොට, එම අවම මට්ටම නොමැති විට එම පුද්ගලයා හෝ පවුල දුප්පත් ගණයට ඇතුළු කිරිම මෙයින් අදහස් කෙරේ. බොහෝ රටවල් නිල වශයෙන් දරිද්‍රතාවය මැණීමට පදනම් කර ගන්නේ ජිවන අවශ්‍යතා අතුරින් අතිශයින්ම වැදගත් වන ආහාරමය ශක්තිය ලබා ගැණිමේ ක්‍රමයයි (Food Energy Intake method). පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය අවම ශක්ති ජනන කැලරි ඒකක ප්‍රමාණය ලබා ගැනීමට ආහාර වෙනුවන් වැයවන මුදල නිර්ණය කිරීමෙන් ආහාර දරිද්‍රතා මිම්ම (Food Poverty Measure ) ලබා ගැනීමට හැක. මෙසේ අවශ්‍ය වන මුදල් ප්‍රමාණය කලින් කලට වෙනස්විය හැකිවුවත් එම කාල පරිච්චේදවල උද්ධමන අනුපාතයන් (inflation ratios) භාවිතා කොට එම මුදලේ මූර්ථ අගය (Real Value) ලබා ගත හැකිවේ. මෙලෙස ඕනෑම කාලයකට පොදු මූර්ථ අගයකින් දුප්පත්කම මැණිය හැකි විට එය නිරපේක්ෂක දරිද්‍රතාව (absolute poverty) යනුවෙන් හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා මටට්ම නොහොත් දරිද්‍රතා රේඛාව (Official Poverty Line) ලබා ගැනිම සඳහා වර්ෂ කිහිපයකට වතාවක් ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයක් (Household Income and Expenditure Survey – HIES) සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි. මෙම සමීක්ෂනය මුලින්ම 1990/91 වර්ෂයේදීත් ඉන් පසුව 1995/96 සහ 2002 වර්ෂවලදීත් සිදු කරන ලදී. මෙහිදී, ආහාර දරිද්‍රතාවයට (food poverty) අමතරව, ආහාරමය නොවන (ඇඳුම්, බෙහෙත්හේත් වැනි) වියදම් අනුව ගණනය කෙරෙන ආහාර නොවන දරිද්‍රතාවයත් (non-food poverty) නිර්ණය කරණු ලබයි.
අවසන්වරට (2002 වර්ෂයේ) ශ්‍රී ලංකාවේ කරන ලද ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව 2002 වර්ෂයේ වැඩිහිටි ඒක පුද්ගල අවම දෛනික පෝෂණ අවශ්‍යතාවය (minimum adult per capita daily nutrition intake) වන කිලෝ කැලරි 2030 ක් සපුරාලීම සඳහා මාසයකට වැය වන මුදල රු: 973 කි. මෙම අගය ආහාර දරිද්‍රතා රේඛාව (Food Poverty Line) ලෙස හැඳින්වේ. ඊට අමතරව ආහාර නොවන අවශ්‍යතා සඳහා එක් පුද්ගලයකුට මාසිකව අවශ්‍ය අවම මුදල රු: 450 ලෙස ගණනය කර ඇත. මෙම අගය ආහාර නොවන දරිද්‍රතා රේඛාව (Non-Food Poverty Line)ලෙස හැඳින්වේ. මෙම අගයන් දෙකෙහි එකතුව වන රු. 1423, සමස්ථ දරිද්‍රතා රේඛාව (2002 වර්ෂය සඳහා) ලෙස හැඳින්වේ. මෙය රජය අනුමත කෙරෙන බැවින් නිල දරිද්‍රතා රේඛාව (Official Poverty Line – OPL) ලෙස පිළිගැනේ.
2002 නිල දරිද්‍රතා රේඛාව (රු. 1423) = පෝෂණ දරිද්‍රතා රේඛාව (රු.973)+ අනාහාර දරිද්‍රතා රේඛාව (රු.450)
මෙම මුදල වැය කිරීමට අපොහොසත් ආදායමක් ඇති පුද්ගලයකු දිලිඳු ගණයට අයත් වන අතර යම් පවුලක් හෝ ගෘහස්ථයක් දිළිඳු ගණයට වැටෙන්නේ එම පවුලෙහි හෝ ගෘහයෙහි සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව දරිද්‍රතා රේඛා අගයෙන් ගුණ කලවිට ලැබෙන අගය තරම් ආදායමක් එම පවුලට හෝ ගෘහස්ථයට නොමැති නම්ය.
2002 වර්ෂයේ සමීක්ෂණයෙන් සම්මත කර ගත් මෙම නිල දරිද්‍රතා රේඛා අගය සෑම මසකම යාවත්කාලීන (updated) කරණු ලබයි. මෙසේ යාවත්කාලීන මූර්ථ අගය ගබා ගැනීමට උද්ධමන අනුපාතයක් ලෙස භාවිතා කෙරෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි (Colombo Consumer Price Index – CCPI).
2002 සමීක්ෂණයට අනුව සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ දිළිඳු ගණයට ඇතුලත්වන පුද්ගලයින්ගේ අනුපාතය (Head Count Index of Poverty) 22.7% කි. මෙය දරිද්‍රතා ආපාතය (poverty incidence) ලෙසින්ද හැඳින්වේ. එහෙත් මෙම සමික්ෂණය කරණ ලද සෑම දිස්ත්‍රික්කයකටම වෙන වෙනම දරිද්‍රතා රේඛා නිර්ණය කිරීම මගින් එම දිස්ත්‍රික්කවල පමණක් නොව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවා දළිඳු පුද්ගල අනුපාතයන් නිර්ණය කිරිමට හැකිවී තිබේ. මේ පිළිබඳ තොරතුරු www.statistics.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ආ) ඒක පුද්ගල ආදායම මගින් දුප්පත්කම නිර්ණය කිරීම (Defining Poverty with Per Capita Income)
සියළුම රටවල්වලට පොදුවේ සම්මත ආදායම් දරිද්‍රතා (Income Poverty) නිර්ණායකයන් වන ‘ඒක පුද්ගල දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් එකකට අඩු ජනගහණ ප්‍රතිශතය’ (Percentage of Population below daily per capita income of one US dollar) අන්ත දුප්පතුන් හැඳින්වීම සඳහාද, ‘ඒක පුද්ගල දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් දෙකකට අඩු ජනගහණ ප්‍රතිශතය’ (Percentage of Population below daily per capita income of two US dollars) සාමාන්‍ය දුප්පතුන් හැඳින්වීම සඳහාද භාවිතා කරයි. සහස්‍ර සංවර්ධන ඉලක්ක වැඩ සටහනද (Millennium Development Goals Programme) භාවිතයට ගණු ලබන්නේ මෙම නිර්ණායකයන්මය. මුලින් සඳහන් කළ ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණවල දත්තයන් මගින් මෙම ප්‍රතිශතය ගණනය කෙරේ. ලෝක බැංකුව මගින් වසරක් පාසා ප්‍රකාශ කරණු ලබන ලෝක සංවර්ධන වාර්තාවෙහි (World Development Report) මෙම ප්‍රතිශතයන් අඩංගුවේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ ආදායම් දරිද්‍රතාවයේ ප්‍රවනතාවය මෙසේය:
අදාළ වර්ෂය |
දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් එකකට අඩු පුද්ගල ප්‍රතිශතය (Percentage of Population below daily per capita income of one US dollar) |
දෛනික ආදායම ඇමෙරිකානු ඩොලර් දෙකකට අඩු පුද්ගල ප්‍රතිශතය (Percentage of Population below daily per capita income of one US dollar) |
1990 /1992 |
6.6% |
45.4% |
2002 |
5.6% |
41.6% |
මූලාශ්‍රය: ලෝක සංවර්ධන වාර්තාව 2006 (World Development Report 2006)
ඇ) ආදායම් විෂමතාවය (Income Disparities)
දිළිඳුකම සම්බන්ධව අදහස් දැක්වීමේදී බෙහෝවිට ඉස්මතුවන ‘ආදායම් විෂමතාවය’ (Income Disparity) යන්නෙන් අදහස් කරන්නේ එක් එක් ආදායම් කාණ්ඩවලට අයත් පුද්ගලයින් හෝ ගෘහස්ථ, සියළුම කාණ්ඩවල මුළු ආදායමින් කොපමණ කොටසක් ලබන්නේද සහ එම කොටස් අතර ඇති වෙනස කෙතරම් තීව්‍රද විෂමද යන සංකල්පයයි. සරලව කිවහොත් දුප්පතුන් සහ පෝසතුන් අතර ඇති ආදායම් පරතරය මේ මගින් පැහැදිලි කරයි.
උදාහරණයක් ලෙස ගතහොත්, ශ්‍රී ලංකාවේ 2002 පවත්වන ලද ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව රටේ සියළුම ගෘහස්ථ සංඛ්‍යාව, ඒවායේ සාමාන්‍ය මාසික ආදායම අනුව පිළිවෙලට තබා එක සමාන කොටස් දහයකට වෙන් කලොත් ලැබෙන දශමක (Deciles) දහය සහ ඒ එක් දශමකයක මධ්‍යය ලක්ෂ්‍යය මාසික ආදායම පහත දැක්වෙන වගුවෙන් දැකිවේ.
දශමක |
මාසික මධ්‍ය ලක්ෂ්‍යය ගෘහස්ථ ආදායම (රු.) |
සියළුම දශමකවල ගෘහස්ථයන්ගේ ආදායමේ කොටසක් ලෙස (%) |
|
දශමක 1 |
2123 |
1.7 |
4.8 |
දශමක 2 |
3971 |
3.1 |
|
දශමක 3 |
5251 |
4.1 |
|
දශමක 4 |
6441 |
5.0 |
|
දශමක 5 |
7733 |
6.0 |
|
දශමක 6 |
9295 |
7.3 |
|
දශමක 7 |
11319 |
8.8 |
|
දශමක 8 |
14328 |
11.2 |
|
දශමක 9 |
19666 |
15.4 |
52.4 |
දශමක 10 |
47569 |
37.4 |
මෙම වගුවට අනුව පහත්ම ආදායම් දශමක දෙකේ නොහොත් පහත්ම ආදායම් ලබන ගෘහස්ථ 20% හි ආදායම් කොටස (income share) 4.8% ක් වන අතර,ඉහළම ආදායම් ලබන ගෘහස්ථ 20% හි ආදායම් කොටස 52.8% කි. මේ මගින් දුප්පතුන් සහ පොහොසතුන් අතර ඇති ආදායම් විෂමතාවය හොඳින් පැහැදිලිවේ. මෙවන් ආදායම් විෂමතාවයන් දුප්පත්කම තරමටම බලපාන සමාජ ප්‍රශ්නයකි.
ඈ) ආහාර වියදම් අනුපාතය (Food ratio)
යම් පුද්ගලයකු හෝ ගෘහයක් ආහාර සඳහා වියදම් කරන මුදල, එම පුද්ගලයාගේ හෝ ගෘහයෙහි මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම ආහාර වියදම් අනුපාතය යනුවෙන් හැඳින්වේ. ගෘහස්ත ආදායම් සහ වියදම් සමීක්ෂණ වලින් හෙළිවන වැදගත් කරුණක් නම් දුප්පත් නැතහොත් අඩු ආදායම්ලාභි පවුල් ආහාර වියදම් අනුපාතය, වැඩි ආදායම්ලාභී නැතහොත් පොහොසත් පචුල්වල ආහාර වියදම් අනුපාතයට වඩා වැඩි බවය. මෙයින් ගම්‍යවන්නේ දුප්පතුන් තම ආහාර සඳහා වියදම් කල පසු ආහාර නොවන අවශ්‍යතා (ඇඳුම්, බෙහෙත්, නිවාස, විදුලිය වැනි) සඳහා වියදම් කිරීමට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවය.
2002 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව නාගරික, ග්‍රාමීය සහ වතුකර අංශවල ආහාර වියදම් අනුපාතයන් කිහිපයක් සංසන්දනය සහ අවබෝධය සඳහා පහත වගුවෙන් දැක්වේ.
ප්‍රදේශය |
ආහාර වියදම් අනුපාතය (Food ratio) |
මුළු දිවයින (All island) |
44.5% |
|
|
නාගරික ප්‍රදේශ (Urban sector) |
35.9% |
ග්‍රාමීය ප්‍රදේශ (Rural sector) |
46.2% |
වතුකර ප්‍රදේශ (Estate sector) |
58.3% |
|
|
ඉ) අන්ත දුප්පතුන් අර්ථ දැක්වීම සඳහා ආහාර වියදම් අනුපාතය භාවිතා කිරීම (Defining the poorest of the poor based on food poverty ratio)
පුද්ගලයෙකුගේ හෝ ගෘහයක ආහාර වියදම් අනුපාතය 80% ක් හෝ ඊට වැඩිවන අවස්ථාවේ වුවද සම්මත පෝෂණ අවශ්‍යතාවයෙන් 80% ක් හෝ ඊට අඩු අඩු ප්‍රමාණයක් පමණක් ලැබෙන්නේ නම් එවන් පුද්ගලයා හෝ ගෘහය අන්ත දුප්පත් ගණයට ඇතුළත්වේ.
2. මානව සංවර්ධන අවශ්‍යතා අනුව දිළිඳු බව නිර්ණය කිරීම (Human development needs & Poverty)
මූලික ජීවන අවශ්‍යතාවය වන ආහාරවලට අමතරව, මනා දිවි පැවැත්මක් සඳහා අවශ්‍ය පිරිසිදු ජලය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සන්නිවේදන පහසුකම් වැනි අවශ්‍යතාවයන් අහිමි හෝ අඩුවෙන් සපුරා ගන්නා පුද්ගලයින් සහ ජන කණ්ඩායම් සමාජයීය, ආර්ථික සහ දේශපාලන වශයෙන් දිළිඳු යැයි සැලකේ. මෙවැනි මානව සංවර්ධන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් සංවර්ධනය වන රටවල් සඳහා නිර්මාණය කර ඇති දර්ශක 3 ක් ඇත. එම දර්ශක නම්:
- මානව සංවර්ධන දර්ශකය (Human Development Index – HDI)
- මානව දරිද්‍රතා දර්ශකය 1 (Human Poverty Index 1- HPI 1)
- කාන්තා සංවර්ධන දර්ශකය (Gender Development Index – GDI)
(සංවර්ධිත රටවල් සඳහා මානව දරිද්‍රතා දර්ශකය 2 (Human Poverty Index 2- HPI 2) නිර්මාණය කර ඇත)
සෑම වර්ෂයකම නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් එළිදක්වන මානව සංවර්ධන වාර්තාවට (Human Development Report) බෙහෙවින්ම පදනම් වන මෙම දර්ශක 3 නිර්මානය කිරීමට යොදා ගෙන ඇති සාධක වන්නේ දීර්ඝායු අපේක්ෂාව (Longevity), දැණුම (Knowledge) සහ මනා ජීවන තත්වයයි (Decent Standard of Living).
ඉහත සඳහන් දර්ශක නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇති මිණුම් දඬු පහත දැක්වෙන වගුවෙන් පැහැදිළිවේ.
දර්ශකය (Index) |
මානව සංවර්ධන දර්ශක නිර්මාණය කිරීමට භාවිතාවන මිණුමි දඬු |
||
දීර්ඝායු අපේක්ෂාව (Longevity) |
දැණුම (Knowledge |
මනා ජීවන තත්වය (Decent Standard of Living) |
|
1. මානව සංවර්ධන දර්ශකය (Human Development Index – HDI) |
උපතේදී අපේක්ෂිත ආයු කාලය - ගැහැණුන්ට සහ පිරිමින්ට පොදු (Life expectancy at birth) |
|
ඒක පුද්ගල ආදායම |
2. මානව දරිද්‍රතා දර්ශකය 1 (Human Poverty Index 1- HPI 1) |
උපතේදී අවරුදු 40 ක් අයුෂ නොතිබීමට ඇති සම්භාවිතාවය (Probability at birth of not surviving to age 40) |
පොදු වැඩිහිටි සාක්ෂරතා අනුපාතය (Combined adult literacy rate) |
|
3. කාන්තා සංවර්ධන දර්ශකය (Gender Development Index – GDI) |
|
|
ගැහැණු සහ පිරිමි ඒක පුද්ගල ආදායම්වල අනුපාතය |
ඉහත සඳහන් දර්ශක 3 ට අමතරව, එම වාර්ථාවට ඇතුලත්වන තවත් වැදගත් සංවර්ධන දර්ශකයක් නම් කාන්තා සවිබලකරණ මිම්ම යි(Gender Empowerment Measure - GEM). මේ සඳහා උපයෝගි කරගන්නා මිණමි දඬු 3 වන්නේ:
- පාර්ලිමේන්තුව නියෝජනය කරණ කාන්තා ප්‍රතිශතය
- පරිපාලන සේවයෙහි යෙදී සිටින කාන්තා ප්‍රතිශතය
- වෘත්තීය සේවාවල්වල යෙදී සිටින කාන්තා ප්‍රතිශතය
2006 දී එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත් කරන ලද 2006 යේ මානව සංවර්ධන වාර්තාවට (Human Development Report 2006) අනුව රටවල් 177 ක් සඳහා මෙම දර්ශක අගයන් ප්‍රකාශවී ඇත. මේ සඳහා භාවිතාකර ඇත්තේ එම රටවලින් ලබාගත් 2004 වර්ෂයට අදාල තොරතුරුය. මෙයින් වඩාත්ම වැදගත් දර්ශකයක් වන මානව සංවර්ධන දර්ශකයෙහි අගයන්ට අනුව මෙම රටවල් 177 ඌණ සංවර්ධිත, මධ්‍යම සංවර්ධිත සහ අධි සංවර්ධිත යනුවෙන් කාණ්ඩ 3 කට ඇතුලත් කර ඇති අතර, සෑම රටක්ම ස්ථානගතවන අංකයත් සඳහන් කරයි.
මානව සංවර්ධන දර්ශකය අනුව |
රටවල් ගණන |
මානව සංවර්ධන දශකයේ අගය (පරාසය) |
ඌණ සංවර්ධිත (Less Developed) |
31 |
0.311 - 0.495 |
මධ්‍ය සංවර්ධිත (Medium Developed) |
83 |
0.500 - 0.798 |
අධි සංවර්ධිත (Highly developed) |
63 |
0.800 – 0.965 |
මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මානව සංවර්ධන වර්තාව 2006 (UNDP- Human Development Report 2006)
එම වාර්ථාවට අනුව ශ්‍රී ලංකාව 0.755 ක මානව සංවර්ධන දර්ශක අගයක් ලබා ඇති අතර, රටවල් 177 අතුරින් 93 වන ස්ථානය ගනිමින් මධ්‍යම සංවර්ධිත රටවල් කණඩායමට අයත්වේ.
එම වාර්ථාවේ මානව දරිද්‍රතා දර්ශකයට අනුව 38 වන ස්ථානයේ ඇති ශ්‍රී ලංකාව අතර අනිකුත් රටවලට සාපේක්ෂකව වඩා පොහොසත් රටක් ලෙස එයින් පිලිගැනේ. ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ සාක්ෂරතාවය, ඉහළ ආයුෂ කාලය සහ ලංකාවේ දියුණු සෞඛ්‍ය සේවාව මෙයට පිටුවහලක් වු බව නිසැකය.
එම වාර්ථාවේ කාන්තා සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට අයත්වන්නේ 68 වන ස්ථානයයි. එය මානව දරිද්‍රතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලැබූ පසු බැසීමකි.
3) ඒක පුද්ගල දල ජාතික ආදායම අනුව රටවල් වර්ග කිරීම ( Classification of Countries According to Per Capita Gross National Income)
සෑම වර්ෂයකටම වතාවක් ලෝක බැංකුව මගින් ඒක පුද්ගල දළ ජාතික ආදායම (Per Capita Gross National Income) අනුව සියළුම රටවල් කාණ්ඩ 4 කට වර්ග කරණු ලබයි. යම් වර්ෂයක ඒක පුද්ගල දළ ජාතික අදායම ගණනය කරන්නේ එම වර්ෂයේ දළ ජාතික ආදායම වර්ෂය මැදදී තිබූ මුළු ජනගහණ සංඛ්‍යාවෙන් බෙදීමෙන්ය. සාමාන්‍ය අන්තර් ජාතික ව්‍යවහාරයේ රටක් දුප්පත්ද නැද්ද යන්න නිගමනය වන්නේ මෙම වර්ගීකරණය අනුවය. සියළුම රටවල්වල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර්වලට හැරවූ ඒකාබද්ධ අගයක් මේ සඳහා භාවිතා කෙරේ. මේ සඳහා ලෝක බැංකුව ඇට්ලස් ක්‍රමය භාවිතා කරයි. 2007 ජූලි මස නිකුත්වූ මෙම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 1300 ක් වන අතර ලංකාව අයත්වන්නේ පහළ - මධ්‍යම ආදායම් කාණ්ඩයේ (lower middle income category) රටවල් අතරටය.
රටවල් අයත්වන ආදායම් කාණ්ඩය |
ඒක පුද්ගල දළ ජාතික ආදායම් පරාසය (ඇ. ඩොලර්) |
අඩු ආදායම් ( Low income) |
905 ට අඩු |
පහත් - මධ්‍යම ආදායම් (Lower Middle Income) |
906 – 3595 අතර |
ඉහළ - මධ්‍යම ආදායම් (Upper Middle Income) |
3596 – 11115 අතර |
ඉහළ ආදායම් (High Income) |
11116 ට වැඩි |




