2009 සඳහා ලෝකයේ හොඳම කුඩාමූල්‍යකරණ ආයතන 100 ශ්‍රේණිගත කිරිමේදී ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව දෙවන ස්ථානයට
Sri Lanka’s SANASA Development Bank is ranked second among the world’s best 100 microfinance institutions
(2010 පෙබරවාරි 24)
කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය (microfinance sector) සම්බන්ධයෙන් පුරෝගාමීම ආයතනයවන Microfinance Information Exchange නොහොත් MIX ආයතනය මගින් 2009 වර්ෂය සඳහා සංවර්ධනයවන රටවල්වල ක්‍රියාත්මකවන විශිෂ්ඨතම කුඩාමුල්‍යකරණ ආයතන 100 තෝරාගෙන ශ්‍රේණිගත කිරීමේ වාර්තාව දැනට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලදී. MIX Global 100 යනුවෙන් හැඳින්වෙන මෙම ශ්‍රේණිගත කිරීම මෙවර සඳහා සිදුකර ඇත්තේ තෙවන වතාවටය.
මෙම (2009) ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ විශිෂ්ඨම කුඩාමුල්‍යකරණ ආයතන අතුරින් දෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව සමත්වී ඇති අතර පසුගිය වර්ෂයේ (2008) ශ්‍රේණිගත කිරීමට අනුව 4 වන ස්ථානයේ පසුවූ සණස සංවර්ධන බැංකුව මෙවර තවත් ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකාවේ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයට සතුටුදායක ප්‍රවෘත්තියකි.
මෙවර (2009) ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයට පැමිණ ඇති කුඩාමුල්‍යකරණ ආයතන 10 වන්නේ:
කුඩාමූල්‍ය ආයතනය |
රට |
|
| 1. MBK Ventura | ඉන්දුනීසියාව | |
| 2. සණස සංවර්ධන බැංකුව | ශ්‍රී ලංකාව | |
| 3. Shakthi | බංග්ලාදේශය | |
| 4. GFSPL | ඉන්දියාව | |
| 5. CARD Bank | පිලිපීනය | |
| 6. BURO | බංග්ලාදේශය | |
| 7. SKS | ඉන්දියාව | |
| 8. Spandana Bank | ඉන්දියාව | |
| 9. Grameen Bank | බංග්ලාදේශය | |
| 10. Lead Foundation | ඊජිප්තුව |
මෙම ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථාන 10 අතුරින් 7 ක්ද(70%), පළමු ස්ථාන 25 අතුරින් 14 ක්ද (56%ක්) හා පළමු ස්ථාන 100 අතුරින් 28 ක්ද (28%) ලබාගනිමින් දකුණු ආසියාණු රටවල්වල කුඩාමුල්‍යකරණ ආයතන පෙරමුණේ සිටි. මෙම දකුණු ආසියානු රටවල් අතරින්ද පෙරමුණේ සිටින්නේ ඉන්දියාව වන අතර පළමු ස්ථාන 100 අතර ඉන්දියානු කුඩාමුල්‍යකරණ ආයතන 20 ක් (20% ක්ම) තිබීම මගින් ඉන්දියාව කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය තුල ලබා ඇති ප්‍රගතිය පෙන්නුම් කරයි.
2009 MIX ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණය සඳහා කුඩාමූල්‍යආයතන 955 ක් තෝරාගෙන ඇති අතර ඒ සඳහා තිබිය යුතු මූලික සුදුසුකම වී ඇත්තේ 2008 මූල්‍ය වර්ෂයේදී එම ආයතනවල සියළු මෙහෙයුම් වියදම්වලින් (all operational costs) 90% ක් එම ආයතනවල මූල්‍ය ආදායම (financial revenue) මගින් ආවරණය කිරීමට හැකීවීමයි.
එසේ තෝරාගැනීමෙන් පසු ප්‍රධාන නිර්ණායක 3 ක් (ranking criteria) පාදකකරගත් දර්ශක කිහිපයක් සඳහා ලකුණුදීමක් මගින් (scoring) මෙම MIX ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. එම නිර්ණායක හා දර්ශක වන්නේ:
නිර්ණායක |
දර්ශක |
1. ණයලාභී ආවරණය (Borrower Outreach) |
1.1. ණයලාභී සංඛ්‍යාව (Number of borrowers) |
| 1.2. ණයලාභීන් සංඛ්‍යාව අදාල ප්‍රදේශය ණය ලබාදීමේ විභවතාවය ඇති ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස (number of borrowers as a percentage of potential market relevant area) | |
| 1.3. ණයලාභීන් සංඛ්‍යාවේ වාර්ෂික වර්ධන වේගය (Annual growth rate of borrowers number) | |
| 1.4. ඉතිරිකිරීම් (තැන්පතු) ප්‍රමාණය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (deposits as a percentage of borrowings) | |
| 1.5. තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව ණයලාභීන්ගේ ප්‍රතිශතයක් ලෙස (depositors as a percentage of borrowers) | |
| 2. කාර්යක්ෂමතාවය (Efficiency) |
2.1. ණයලාභියෙකු ආවරණය කිරීමට වැයවන මුදල අදාළ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස (cost per borrower as a percentage of Gross National Income of the relevant country) |
| 2.2. ලාභය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (profit as a percentage of the average loan portfolio) | |
| 2.3. දින 30 ක් ඉක්මවූ නොපියවීමේ අවදානමට ලක්ව ඇති ණයකළඹේ ප්‍රතිශතය (loan portfolio at risk over 30 days) | |
| 2.4. කපාහරින ලද ණය අනුපාතය (loan write off ratio) | |
| 3. විනිවිදභාවය (Transparency) | 3.1. MIX තොරතුරු කේන්‍ද්‍රයට තොරතුරු ලබා දී ඇති වර්ෂ ප්‍රමාණය (Number of years of providing information to MIX) |
| 3.2. MIX තොරතුරු කේන්‍ද්‍රයට විගණනයකරන ලද මූල්‍ය වාර්තා සැපයීම (presenting audited financial reports to MIX) |
MIX ආයතනය මගින් මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පසුගිය වර්ෂ දෙකේදි (2007 හා 2008) ණයලාභී ආවරනය යටතේ යොදාගත් දර්ශකයක් ලෙස අදාළ කුඩාමූල්‍යකරණ ආයතනය ණය ලබා දුන් ණයලාභීන් සංඛ්‍යාව එම ප්‍රදේශයේ සිටින දිළිඳු ජනගහණයේ ප්‍රතිශතය උපයෝගී කරගෙන තිබුණි. එහෙත් 2009 ශ්‍රේණිගත කිරීමේ වාර්තාවෙහි මෙම දර්ශකය හඳුන්වා ඇත්තේ ණයලාභීන් සංඛ්‍යාව අදාළ ප්‍රදේශය ණය ලබාදීමේ විභවතාවය ඇති ජනගහණයේ ප්‍රතිශතයක් ලෙසින්ය. මෙයින් හැඟෙන්නේ කුඩාමූල්‍යකරණ ආයතන ණය ලබාදීම සඳහා දිළිඳු ප්‍රජාව පමණක් ඉලක්ක කරගත යුතුය යන ස්ථාවරයෙන් MIX ආයතනය බැහැරවී ඇති බවයි. මෙය එතරම්ම පුදුමවිය යුතු කරුණක් නොවන්නේ ලෝකයේ සමස්ථ කුඩාමූල්‍යකරණ පද්ධතියම ලාභ ඉපයීමේ අරමුණ මූලික කර ගනිමින් දිළිඳුකම දුරැලීම දෙවන අරමුණ බවට පත්කරගෙන තිබීමයි.
මූලාශ්‍රය:
http://www.themix.org/publications/2009-mix-global-100-compositeගෝලීය ආර්ථික අර්බුදය තුළ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය මුහුණපාන අවදානම් හඳුනා ගැනෙන නවතම සමීක්ෂණ වාර්තාව නිකුත්වේ
Microfinance Banana Skins Report 2009 identifies the risks of the microfinance sector in the current global economic crisis
(2009 අගෝස්තු 01)

දිළිඳු හා අඩු ආදායම්ලාභීන් විධිමත් මූල්‍යකරණ පද්ධතියක් හා අනුබද්ධ කෙරෙමින් ඔවුන්ගේ ආර්ථික තත්වය නඟාසිටුවිමේ ක්‍රමවේදයක් ලෙසින් රාජ්‍ය නොවන ආයතන හරහා ඉස්මතුවූ කුඩාමූල්‍යකරණය පසුගිය දශකයතුළ ලෝකය පුරා රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල පමණක් නොව වාණිජ බැංකු පද්ධතියතුළද ඉතා පුළුල්ව වර්ධනයවිය. ප්‍රචලිතව වර්ධනයවන මෙම කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයට මුහුණ පෑමට සිදුවන අවදානම් හා අභියෝග හඳුනාගැනීමේ අධ්‍යයන වාර්තාවක් 2008 ප්‍රථමවරට එළි දැක්වුන අතර, දෙවැනි වරටද සිදුකළ එම අධ්‍යයනයේ Banana Skins 2009 නමැති වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්විය. ලෝක බැංකුවට අනුබද්ධිත සහ කුඩා මුල්‍යකරණය ප්‍රවර්ධනයේ පුරෝගාමී සීගැප් (CGAP) ආයතනය සහ ඇමෙරිකානු ‘සිටි බැංකුවට’ (Citi Bank) අනුබද්ධිත ‘සිටි පදනමේ’ (Citi Foundation) අනුග්‍රයෙන් Centre for Study of Financial Innovation (CSFI) යන ආයතනය දෙවන වරට කරන ලද මෙම අධ්‍යයනය ප්‍රථම අධ්‍යයනයට වඩා වැදගත් වන්නේ ගෝලිය මූල්‍ය අර්බුදය (global financial crisis) පැවති කාල පරායසය එම අධ්‍යයනයට භාජනයවිමයි.
රටවල් 82 ක් ආවරණය වන පරිදි කුඩාමූල්‍යකරණ ආයතන (MFIs), ආයෝජකයින් (Investors), බැංකු (Banks), ණය හා ආයෝජන අරමුදල් (Credit & Investment Funds), දායක ආයතන (Donors) හා මූල්‍ය නියාමන ආයතන (financial regulatory agencies) ආදී වශයෙන් කුඩාමූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ පුද්ගලයින් 430 කින් ලබාගත් ප්‍රතිචාර මත මෙම අධ්‍යයන වාර්තාව සැකසී ඇත.
2007 – 2008 අතර කාල පරිච්ඡේදය තුලදී ලොවපුරා ගණුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 25% ක පමණ වාර්ෂික වේගයකින් වර්ධනයවූ කුඩාමූල්‍යකරණ ආයතනවලට විවිධ අංශවලින් ණය අරමුදල් හා පෞද්ගලික ව්‍යාපාරික ආයෝජකයින්ගේ කොටස් අරමුදල් සිඝ්‍රයෙන් ගලා ආ අතර එම ආයතනවලට තිබූ ප්‍රධාන අභියෝගයවූයේ ඒවාතුළ තිබූ කළමනාකරණ දුර්වලතාය (management deficiencies). එම නිසා එවකට එම ආයතනවල ප්‍රමුඛතාවයවූයේ ආයතනික කළමනාකාරිත්වය වර්ධනයකර (institutional capacity building) ගැනීමයි.
එහෙත් 2009 දී සිදුකළ අධ්‍යයනයට අනුව 2008දී ඉස්මතුවූ ගෝලිය මූල්‍ය අර්බුදය නිසා කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයට ලැබෙන ණය අරමුදල් හා පෞද්ගලික ආයෝජන විශාල වශයෙන් අඩුවීම කුඩාමූල්‍යකරණ ආයතනවලට ඉතා අශුභ ලෙස බලපා ඇති බව පෙනී යයි. මිට අමතරව උද්ධමනය, ඉන්ධන මිල ඉහළ යෑම, ආහාර අර්බුදය, විරැකියාව හා විදේශ සේවා නියුක්තික ආදායම් (foreign remittances) පහළ බැසිම හේතුකොටගෙන ණයලාභීන්ගේ ණය භාවිතය (loan utilization) හා ණය නැවත ගෙවීම (repayment of loans) පිළිබඳ අවදානමද සැළකියයුතු ලෙසින් ඉහළ ගොස් ඇත. එම නිසාම ණයලාභීන් විසින් ණය නැවත ගෙවීම පැහැර හැරීම (credit risk) කුඩාමූල්‍යකරණ ආයතන වර්තමානයේ මුහුණ දෙන බරපතලම අවදානම ලෙස 2009 අධ්‍යයන වාර්තාව පෙන්වාදෙයි. අතීතයේදී කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය වඩාත් ආකර්ෂණීයවීමට මූලික හේතුවුයේද ණය නැවත ගෙවීම 100% කට ආසන්න ප්‍රමාණයකට පවත්වාගෙන ගිය නිසාය. එහෙත් වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය නිසා එම තත්වය වෙනස්වී ඇති අතර ණයලාභීන් විසින් ණය ගෙවීම පැහැර හැරීම මුළු කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයම අර්බුදකාරී තත්වයකට පත්වීමට හේතුවී ඇත.
මෙම 2009 අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන අන්දමට කුඩාමූල්‍යකරණ ආයතනවලට ණය අරමුදල් හා කොටස් ආයෝජනයන් ලබා දෙන දායක ආයතන, බැංකු හා පෞද්ගලික ආයෝජකයින්ද ගෝලිය මූල්‍ය අර්බුදය නිසා අපහසුවට පත්වී ඇති බැවින් කුඩාමූල්‍ය ආයතනවලට අරමුදල් සැපයීම සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ බැස ඇත. මෙම අරමුදල් හිඟවී ඇති පසුබිමතුළ කුඩාමූල්‍යකරණ ආයතනවලට ඇති හොඳ විකල්පයක් වන්නේ තැන්පතු ලබාගැනීමයි (deposit taking). දැනට බොහෝ කුඩාමූල්‍ය ආයතන තැන්පතු නොගන්නා නමුත් මෙම අධ්‍යයනයෙන් පෙනී යන්නේ තැන්පතු නොගන්නා කුඩාමූල්‍යකරණ ආයතනවලට පැවැත්මක් නොමැති බවය. එසේවුවද හ්‍රී ලංකාව ඇතුළු අටවල් කිහිපයක තැන්පතු ලබාගන්නා විශාල මූල්‍ය ආයතන කිහිපයක් පසුගිය කාලය තුළ බංකෙලොත්භාවයට පත්වීම නිසා තැන්පතු භාර ගැනීම සම්බන්ධයෙන්වූ නීති රෙකුලාසි දැඩිකිරීමෙන් අත්වන අපහසුවටද කුඩාමූල්‍ය ආයතනවලට මුහුණදීමට සිදුවනු ඇත.
දැනට දින කිහිපයකයට පෙර නිකුත්කළ Microfinance Banana Skins Report 2009 නමැති මෙම වාර්තාවට අනුව සමස්ථයක් ලෙස ලොව සියළුම කලාපවල කුඩාමූල්‍ය ආයතනවලට මුහුණදිමට සිදුව ඇති අවදානම් වර්ග 25 ක් ඒවායේ තීව්‍රතාවය (intensity) හා ඉදිරි වර්ධන වේගය අනුව පහත වගුවෙන් දක්වා ඇත. (එක් එක් අවදානම 2008 වාර්තාවේ ලබාගත් ස්ථානයද ඉදිරි තීරුවක දක්වා ඇත)
2009 දී ලෝකයේ සියළුම කලාපවල කුඩාමූල්‍යකරණ ආයතන මුහුණදෙන අවදානම් වර්ග 25
2009 හඳුනාගත් අවදානම් වර්ග (තීව්‍රතාවය අනුව අවරෝහණ අනුපිළිවෙලින්) Biggest risks in descending order of intensity |
2008 දී ලබාගත් ස්ථානය |
2009 හඳුනගත් වර්ධනයන අවදානම් වර්ග (අවරෝහණ අනුපිළිවෙලින්) Fastest rising risks in descending order |
2008 දී ලබාගත් ස්ථානය |
1. ණය ගෙවිම පැහැර හැරීම (Credit risk) |
10 |
1. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම |
5 |
2. මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම (low financial liquidity) |
20 |
2. ප්‍රධාන ආර්ථික ප්‍රවාහයේ ප්‍රවනතාවල බලපැම් |
24 |
3. ප්‍රධාන ආර්ථික ප්‍රවාහයේ ප්‍රවනතාවල බලපෑම් (impact of macroeconomic trends) |
23 |
3. තරඟකාරිත්වය |
1 |
4. කළමනාකරණය උසස් තත්වයේ රඳා තබා ගැනීමට අපොහොසත්වීම (poor quality of management) |
1 |
4. අරමුදල් ප්‍රතිමූල්‍යකරණය කිරීමට නොහැකිවීම (refinancing) |
27 |
5. අරමුදල් ප්‍රතිමූල්‍යකරණය කිරීමට නොහැකිවීම (refinancing) |
28 |
5. මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම |
23 |
6. අවශ්‍යතාවයට අඩුවෙන් මුදල් ගලා ඒම (inadequate funding) |
29 |
6. අවශ්‍යතාවයට අඩුවෙන් මුදල් ගලා ඒම |
29 |
7. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම (poor corporate governance) |
2 |
7. දේශපාලන මැදිහත්වීම් |
3 |
8. විනිමය අනුපාත වෙනස්වීම්වල බලපෑම (foreign exchange fluctuation risk) |
12 |
8. විනිමය අනුපාත වෙනස්වීම්වල බලපෑම |
18 |
9. තරඟකාරිත්වය (competition) |
7 |
9. ලාභංශ පහළ යෑම |
20 |
10. දේශපාලන මැදිහත්වීම් (political interference) |
9 |
10. පොළී අනුපාත |
9 |
11. පොළී අනුපාතවල බලපෑම (interest rates) |
6 |
11. කැළැල්වූ ආයතන ප්‍රතිරූපය |
11 |
12. ලාභංශ පහළ යෑම (low profitability) |
22 |
12. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම |
12 |
13. උචිත නොවන පාලන රෙගුලාසිවල බලපෑම (inappropriate regulations) |
3 |
13. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය |
7 |
14. කුශලතා අඩු සේවක පිරිස් යොදා ගැනීම (inappropriate staffing) |
5 |
14. මූල්‍ය වංචා |
14 |
15. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම (inadequate use of technology) |
8 |
15. තැන්පත්කරුවන්ගේ විශ්වාසය |
- |
16. විනිවිදභාවය නොමැතිවීම (lack of transparency) |
11 |
16. කුඩා මූල්‍යකරණ ආයතනවල අයිතිය පිළිබඳ ගැටළු |
8 |
17. ආයතන ප්‍රතිරූපයට කැළැල් සිදුවීම (damage to reputation) |
19 |
17. අපේක්ෂිත අරමුණු පිළිබඳ අධි තක්සේරුවක් තබා තිබීම |
10 |
18. අපේක්ෂිත අරමුණු පිළිබඳ අධි තක්සේරුවක් තබා තිබීම (unrealizable expectations) |
13 |
18. කළමනාකරණය උසස් තත්වයේ රඳා තබා ගැනීමට අපොහොසත්වීම |
17 |
19. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය (mission drift) |
14 |
19. කාර්යාලිය සහ පරිපාලන පද්ධතිවල දුර්වලතා |
25 |
20. මූල්‍ය වංචා (fraud) |
15 |
20. කුශලතා අඩු සේවක පිරිස් යොදා ගැනීම |
2 |
21. තැන්පත්කරුවන්ගේ විශ්වාසය (depositor confidence) |
- |
21. විනිවිදභාවය නොමැතිවීම |
26 |
22. කාර්යාලිය සහ පරිපාලන පද්ධතිවල දුර්වලතා (poor back office operations) |
18 |
22. උචිත නොවන පාලන රෙගුලාසිවල බලපෑම |
21 |
23. කුඩා මූල්‍යකරණ ආයතනවල අයිතිය පිළිබඳ ගැටළු (ownership issues) |
17 |
23. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම |
13 |
24. මූල්‍ය නිෂ්පාදන ප්‍රමාණවත් සහ උචිත නොවීම (inadequate & inappropriate financial products) |
24 |
24. මූල්‍ය නිෂ්පාදන ප්‍රමාණවත් සහ උචිත නොවීම |
19 |
25. අවශ්‍යතාවයට වඩා මුදල් ගලා ඒම (overfunding) |
21 |
25. අවශ්‍යතාවයට වඩා මුදල් ගලා ඒම |
4 |
මේ අනුව පෙනී යන්නේ 2008 වාර්තාව තුළ අඩු මට්ටමේ වූ සමහර අවදානම් සාධක වර්තමාන මුල්‍ය අර්බුදය තුළ (2009 වාර්තාවෙහි) ඉදිරියට පැමිණ ඇති අතර සමහර අවදානම්වල තීව්‍රතාවය 2009 වනවිට අඩුවී ඇති බවය.
2008 ට සාපේක්ෂකව 2009 දී කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයේ වඩාත් වැඩිවී ඉදිරියට ආ අවදානම් වන්නේ:
- ණය ගෙවීම පැහැර හැරීම - (2008 දී 10 වැනි තැනට තිබී 2009 දී පළමු ස්ථානයට පැමිණීම පමණක් නොව ඉදිරියටත් සීඝ්‍රවම වර්ධනයවන අවදානම බවට පත්ව සිටීම)
- බාහිර අරමුදල් (ණය හා ආයෝජන) අඩුවීම - (2008 දී 29 වැනි තැනට තිබී 2009 දී 6 වන ස්ථානයට පැමිණිම)
- කුඩාමූල්‍ය ආයතනවල මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම - (2008 දී 20 වැනි තැනට තිබී 2009 දී 2 වන ස්ථානයට පැමිණිම)
- ප්‍රධාන ආර්ථික ප්‍රවාහයේ බලපෑම් - (2008 දී 23 වැනි තැනට තිබී 2009 දී 3 වන ස්ථානයට පැමිණිම)
- ලාභාංශ පහළ යෑම - (2008 දී 22 වැනි තැනට තිබී 2009 දී 12 වන ස්ථානයට පැමිණිම)
2008 ට සාපේක්ෂකව 2009 දී කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයේ පසුබෑමට ලක්වූ අවදානම් කිහිපයක් වන්නේ:
- දුර්වල ආයතනික කළමනාකරණය - (2008 දී 1 වැනි තැනට තිබී 2009 දී 4 වන ස්ථානයට පැමිණිම)
- කුශලතා අඩු සේවක පිරිස් යොදා ගැනීම - (2008 දී 5 වැනි තැනට තිබී 2009 දී 14 වන ස්ථානයට පැමිණිම)
- දුර්වල ව්‍යාපාරික යහපාලනය - (2008 දී 2 වැනි තැනට තිබී 2009 දී 7 වන ස්ථානයට පැමිණිම)
- දුර්වල තාක්ෂණ භාවිතය - (2008 දී 8 වැනි තැනට තිබී 2009 දී 15 වන ස්ථානයට පැමිණිම)
මෙම 2009 Microfinance Banana skins වාර්තාවෙන් පෙන්වාදෙන අන්දමට මෙවර සමීක්ෂණයට භාජනයවූ කුඩාමූල්‍යකරණ ආයතනවලින් 5% ක් පමණක් හඳුනාගත් අවදානම් සඳහා නිසි සූදානමකින් සිටි බව ප්‍රකාශකර ඇති අතර 13% ක් තරමක් දුරට සූදානම්ව සිටි බව ප්‍රකාශ කර ඇත. (2008 දී නිසි සූදානමකින් සිටින බවට ප්‍රතිචාර දැක්වූ ආයතන ප්‍රතිශතය 27% ක් විය). මෙයින් පැහැදිලි වන්නේ බොහෝ කුඩාමූල්‍යකරණ ආයතන 2008 දී ඉස්මතුවූ මූල්‍ය අර්බුදය වැනි අවදානමකට සූදානම්ව නොසිටිය බවයි. එවැනි අවදානමකට නිසි සූදානමකින් සිටියා යැයි පැවසූ කුඩාමූල්‍යකරණ ආයතනවලින්ද බොහොමයක් වාණිජ හා විශාල මට්ටමේ ඒවාය. සහනාදායි ණය අරමුදල් හා ප්‍රදානයන් මත යැපෙන කුඩා හා රාජ්‍ය නොවන මට්ටමේ කුඩාමූල්‍යකරණ ආයතන බොහොමයක් බාහිර ආර්ථික සාධක තම ආයතන කෙරෙහි බලනොපානු ඇතැයි යන විශ්වාසය මත එවැනි අවදානම් සඳහා එතරම් සූදානමකින් නොසිට ඇති බව මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.
පහත වගුවෙන් දැක්වෙන ආසියාණු කලාපයේ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයට වර්තමානයේ (2009) මුහුණ දීමට සිදුවන අවදානම් වර්ග දෙස බැලීමේදී පෙනී යන්නේ 2008 දී ප්‍රධාන අවදානම් 10 අතරවත් නොතිබූ මූල්‍ය ද්‍රවශීලතාවය පහත වැටීම (low financial liquidity) 2009 දී වඩාත්ම තීව්‍ර අවදානම බවට පත්ව ඇති බවත් හා ඉදිරි කාලයේදී වැඩිම අවදානම බවට තරඟකාරිත්වය (competition) පත්විය හැකි බවත්ය. එසේම 2008 දී 10 වන ස්ථානයේ තිබූ ණය ගෙවීම පැහැර හැරීමේ අවදානම 2009 දී පස්වන තැනට පත්වී ඇත. මෙයින් හැඟෙන්නේ ලෝකයේ අනිකුත් රටවල්වලට සාපේක්ෂව ආසියාණු කලාපයේ රටවල්වල ණය නැවත ගෙවීම සතුටුදායක තත්වයක ඇති බවය.
2009 දී ආසියානු කලාපයේ කුඩාමූල්‍යකරණ ආයතන මුහුනදෙන ප්‍රධාන අවදානම් වර්ග 10
හඳුනාගත් අවදානම් වර්ග (තීව්‍රතාවය අනුව අවරෝහණ අනුපිළිවෙලින්) Biggest risks in descending order of intensity |
2008 දී ලබාගත් ස්ථානය |
වර්ධනයන අවදානම් වර්ග (අවරෝහණ අනුපිළිවෙලින්) Fastest rising risks in descending order |
2008 දී ලබාගත් ස්ථානය |
1. මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම (low financial liquidity) |
- |
1. තරඟකාරිත්වය (competition) |
- |
2. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම (poor corporate governance) |
3 |
2. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම (credit risk) |
3 |
3. කළමනාකරණය උසස් තත්වයේ රඳා තබා ගැනීමට අපොහොසත්වීම (poor quality of management) |
2 |
3. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය (mission drift) |
4 |
4. තරඟකාරිත්වය (competition) |
5 |
4. දේශපාලන මැදිහත්වීම් (political interference) |
- |
5. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම (credit risk) |
10 |
5. ප්‍රධාන ආර්ථික ප්‍රවාහයේ ප්‍රවනතාවල බලපැම් (impact of macroeconomic trends) |
- |
6. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම (inadequate use of technology) |
1 |
6. පොළී අනුපාතවල බලපෑම (interest rates) |
1 |
7. නුපුහුණු සහ නොගැළපෙන සේවක පිරිස් යොදා ගැනීම (inappropriate staffing) |
4 |
7. මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම (low financial liquidity) |
- |
8. දේශපාලන මැදිහත්වීම් (political interference) |
- |
8. අපේක්ෂිත අරමුණු පිළිබඳ අධි තක්සේරුවක් තබා තිබීම (unrealizable expectations) |
- |
9. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය (mission drift) |
6 |
9. මූල්‍ය වංචා (fraud) |
7 |
10. අරමුදල් ප්‍රතිමූල්‍යකරණය කිරීමට නොහැකිවීම (refinancing) |
- |
10. අවශ්‍යතාවයට අඩුවෙන් මුදල් ගලා ඒම (inadequate funding) |
- |
2009 Microfinance Banana Skins Report වාර්තාවට අනුව අධික ලාභ ලබා ගැනීම මගින් පසුගිය අවුරුදු කිහිපයේදී කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය පෙන්වූ ආකර්ෂණියබව වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදයත් සමග පහව යනු ඇති අතර ඒ නිසාම කුඩාමුල්‍යකරණයට ආකර්ෂණයවූ ආයෝජකයින් සමහරක් ඉදිරියේදී මෙම ක්ෂේත්‍රය තුලින් ඉවත්වීමටද ඉඩ තිබේ.
ණය නිකුත් කිරීම සඳහා කුඩාමූල්‍යකරණ ආයතන සාම්ප්‍රදායිකව භාවිතා කෙරෙන ‘කණ්ඩායම් ණය’ ක්‍රමය (group lending) හා සහණදායී ණය අරමුදල් (subsidized loan funds) මත යැපීමද එම ආයතනවල අවදානම්බව වැඩිකරන නිසා කුඩාමූල්‍යකරණය සදහා විකල්ප ව්‍යාපාරික මොඩලයක් (alternate business model for MFIs) බිහිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද යම් ඉඟියක් මෙම වාර්තාවතුලින් දැකිය හැක. වෙනත් අන්දමකින් කිවහොත් වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය මගින් කුඩාමූල්‍යකරණ ආයතන ව්‍යුහාත්මක පරිණාමයකට (structural transformation) භාජනයවීමේ නව ප්‍රවනතාවයන් ඉස්මතුවෙමින් තිබේ.
උද්ධමනය, විරැකියාව හා ආහාර අර්බුදය වැනි හේතු නිසා දිළිඳු හා අඩු ආදායම්ලාභීන් ණය ගෙවීමපැහැර හැරීමත්, කුඩාමූල්‍ය ආයතනවල පිරිවැය වැඩිවීමත් (increasing costs) හා ක්‍රමක්‍රමයෙන් ලාභාංශ පහළ වැටීමත් නිසා අඩුආදායම්ලාභීන් වෙනුවට වත්කම් සහිත කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට (wealthy small & medium enterprise) ණයදීමට කුඩාමූල්‍යකරණ ආයතන පෙළඹීම මින් එක් ප්‍රවනතාවයකි. තවත් ප්‍රවනතාවයක් විය හැක්කේ රාජ්‍ය නොවන, සහණදායි අරමුදල් මත යැපෙන හා තැන්පතු නොගන්නා (non-deposit taking) කුඩා ප්‍රමාණයේ කුඩාමුල්‍ය ආයතන වෙනුවට වාණිජ කොටස් ආයෝජනයන් සහිත විශාල වශයෙන් තැන්පතු ගන්නා විශාල පරිමාණ වාණිජ බැංකු වැනි මූල්‍යායතන කුඩාමූල්‍යකරණ කටයුතු පුළුල් කිරීමයි. වඩාත් අශුභවාදී ප්‍රවනතාවයන් විය හැක්කේ දිළිඳු පුද්ගලයින්ට ණය දෙන කුඩා ප්‍රමාණයේ ග්‍රාමීය ආයතන වැසී යෑම හෝ එවැනි කුඩාමුල්‍ය ආයතන විශාල වාණිජ මූල්‍යායතන සමග බද්ධවීමය.
මූලාශ්‍රය:
http://www.citigroup.com/citi/microfinance/data/news090703a1.pdf
http://governancefocus.blogspot.com/2008/06/banking-banana-skins-2008-industry-in.html (රූපසටහන)
www.gdrc.org/icm/miex/miex.htm (රූපසටහන)
වාණිජ පොළී අනුපාතයන් හා ලාභ ඉපයීම මගින් කුඩාමූල්‍යකරණ ආයතන දුප්පතුන් සූරා කන්නේද?
Do MFIs exploit the poor by charging commercial interest rates and making profits?
(2009 මැයි15)
සංවර්ධනයවන රටවල් බොහොමයක දිළිඳු හා අඩු අදායම්ලාභි පුද්ගලයින්ට ණය පහසු කම් සපයන කුඩාමූල්‍යකරණ ආයතන පසුගිය දශක දෙකක් පමණ කාලයක්තුළ සිට උත්සහ දරමින් සිටින්නේ තම වියදම් ආවරණය කරමින් ලාභද ලබා මූල්‍යමය වශයෙන් තිරසාර බවට පත්වීමටය. එවැනි මූල්‍යමය තිරසාරභාවයක් ඇතිවිට වාණිජ කොටස් ප්‍රාග්ධනය (commercial equity capital), වෙළඳපල පොළී මත ණය (borrowings on commercial interest rates) හා ගණුදෙනුකරුවන්ගේ තැන්පතු (client deposits) ඉබේම ගලා එන බැවින් තව තවත් දිළිඳු පුද්ගලයින්ට පුළුල්ව මුල්‍ය සේවා සැපයිය හැකි බවත් එම ආයතනවල විශ්වාසයයි. එසේවූවිට සහණදායී අඩු පොළී ණය අරමුදල් (subsidized loans) හෝ ප්‍රදානයන් (donor grants) මත යැපීමට කුඩාමූල්‍යකරණ අයතනවලට සිදුනොවෙණු ඇත. එසේ ලාභදායි හා තිරසාර ලෙසින් වර්ධනයවීමට නම් කුඩාමූල්‍යකරණ ආයතනවලට වාණිජ මට්ටමේ පොළී අනුපාතයන් දුප්පත් පුද්ගලයින්ගෙන් අයකළ යුතුය. එහෙත් ගැටළුවවී ඇත්තේ දිළිඳුකම අවමකිරීමේ ව්‍යපෘති සඳහා සහණදායී ණය පහසුකම් හා ප්‍රදානයන් ලබාගැනීමට පුරුදුව සිටින සමාජයකට දුප්පතුන්ගෙන් වාණිජ මට්ටමේ පොළී අයකිරීම ‘සූරාකෑමක්’ (exploitation) ලෙස පෙනීමයි.
කුඩාමූල්‍යකරණ ආයතනයක් අඩුආදායම්ලාභීන්ට නිකුත් කරණ කුඩා ඒක පුද්ගල ණය මුදලක් (රු. 20,000 ක්වැනි සැලසුම් කිරීමට, නිකුත් කිරීමට හා පසුවිපරම් කිරීමට යන වියදම සාම්ප්‍රදායික වාණිජ බැංකුවකින් දිළිඳු නොවන අයවළුන්ට නිකුත් කරණ විශාල ඒකපුද්ගල ණයක් (රු.100,000 වැනි) සැලසුම් කිරීමට, නිකුත් කිරීමට හා පසුවිපරම් කිරීමට යන වියදමට වැඩිය. එම නිසා ණය අපේක්ෂා කරණ අඩු ආදායම්ලාභීන්ගෙන් සාපේක්ෂකව වැඩි පොළී අනුපාතයන් අයකිරීමට කුඩාමූල්‍යකරණ ආයතනවලට සිදුවේ.
සැබවින්ම කුඩාමුල්‍යකරණ ආයතන දුප්පතුන්ගෙන් අයකරණ පොළී අනුපාතය අසාධාරණ වන්නේ කරුණු දෙකක් මතය:
- ණය නිකුත් කිරීමට හා විපරම් කිරීමට වැයවන ප්‍රමාණයට (cost of disbursement and monitoring) වඩා ඉතා වැඩි ලාභයක් තබා ගැනීමට ඉවහල්වන අධික පොළියක් අයකිරීම
- කුඩාමූල්‍යකරණ ආයතනවල අකාර්යක්ෂමතාවය (inefficiencies) නිසා වැඩිවන අධික පිරිවැය (high cost) පිරිමසා ගැනීමට අධික පොළියක් අයකිරීම
අධික පොළී අනුපාතයන් අයකිරීම තුලින් සමහර රටවල කුඩාමූල්‍යකරණ ආයතන බලවත්, පොහොසත් හා විශාල වාණිජ ව්‍යාපාර බවට පත්වීම නිසා එවැනි ආයතන කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ හා දේශපාලඥයින්ගේද අවධානය මෙම ක්ෂේත්‍රය කෙරෙහි තදින් යොමුවෙමින් තිබේ. මේ පිළිබඳවූ ත්‍රීව සංවාදය මුලින්ම ඉස්මතුවූයේ 2007 වර්ෂයේදී මෙක්සිකෝවේ කොම්පාටමෝස් නමැති කුඩාමුල්‍යකරණ ආයතනය එම රටේ කොටස් වෙළඳපල (stock exchange) හරහා තම කොටස් (shares) විකුණා ඉතා අධික ලාභයක් ලැබීමයි. ඒවනවිට කොම්පාටමෝස් බැංකුව ණයලාභීන්ගෙන් 85% කට අධික පොළියක් අයකළ අතර කොටස් ප්‍රාග්ධනය මත වාර්ෂික ලාභංශය (annual returns on shareholders equity) 55% ක්විය. මෙම සංවාදයත් සමගම කුඩාමූල්‍යකරණ ආයතනවල පොළී අනුපාතයන් සඳහා සීමාවන් පැනවීම සම්බන්ධයෙන් සළකා බැලීමට සමහර රටවල රජයන් උනන්දුවිය. එහෙත් කොම්පාටමෝස් බැංකුව තරම් ඉතා අධික පොළී අයකරණ කුඩාමූල්‍යකරණ ආයතන ලොව ඇත්තේ 1% ක් පමණක් බව අවධාරණය කළ යුතුය. එම නිසා එම සංසිද්ධිය මත කුඩාමුල්‍යකරණ ආයතන වෙළඳපල පොළී අනුපාත (market interest rates) හො ඊට වඩා තරමක් වැඩි පොලියක් අයකිරීම ‘සූරාකෑමක්’ය යන්න පැවසීම නිවැරදි නොවේ.
විධිමත්ව අයකරණ පොළී අනුපාතයට අමතරව ණයලාභියෙකුට දරන්නට සිදුවන එහෙත් පහසුවෙන් ප්‍රමානාත්මකව මැණීමට (quantitatively measurable) අපහසු වෙනත් වක්‍රාකාර (indirect) වියදම්වන්නේ ගමන් වියදම්, කාලය හා ශ්‍රම නාස්තිය හා කලට වේලාවට ණය නොලැබුණහොත් විඳින්නට සිදුවන ව්‍යාපාරික හෝ නිෂ්පාදන (production losses) පාඩුය. එම නිසා සමහරවිට අවිධිමත් ‘ගිණි පොළී කරුවන්’ ගේ (informal moneylenders) පොළී අනුපාතයන් අධිකවුවද ඉහත් සඳහන් වක්‍රාකාර වියදම් අඩු නිසා ඔවුන්ගේ ‘සඵල පොළී අනුපාතය’ (effective interest rate) වාණිජ බැංකුවලට වඩා අඩුවිය හැකිය. මෙම මතය තහවුරු කරමින් පසුගිය මාසයේදී කොළඹ පැවති කුඩාමූල්‍යකරණය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාවේ මහ බැංකු නිලධාරියකුද පවසා තිබුණේ සාම්ප්‍රදායික බැංකුවල මෙම දුර්වලතාවය නිසා අවිධිමත් පොළීකරුවන්ගෙන් මුදල් ණයට ගැණීමට පෙළඹෙන බවයි. එම නිසා අවිධිමත් පොළීකරුවන්ට බැනවදිනවාට වඩා ‘ක්ෂණිකව ණය දීම’ පිළිබඳව ඔවුන්ගෙන් පාඩමක් ඉගෙනගත යුතුබවද ඔහු අවධාරණය කර ඇත.
කුඩාමූල්‍යකරණ ආයතනයක් තිරසාර නොවී සහණදායී පොළි අනුපාතයන්ට (subsidized interest rates) ණය දෙමින් පවත්වාගෙන යාහැක්කේ කවරෙකු හෝ දායක ආයතනයක් එහි පිරිවැය (හෝ අලාභය) දරන්නේ නම් පමණකි.
එසේම ලාභදායීව හා තිරසාරව (profitably & sustainably) පවත්වාගෙන යන කුඩාමූල්‍යකරණ ආයතන සියල්ලම වාණිජ ව්‍යාපාරික ආයතනයැයි යන මතයද වැරදිය. CGAP ආයතනය විසින් කරණ ලද විශ්ලේෂණයකට අනුව ලෝකයේ තිරසාර කුඩාමූල්‍යකරණ ආයතනවලින් තුණෙන් දෙකක්ම (2/3) අයත්වන්නේ රාජ්‍ය නොවන, සමූපකාර හා වෙනත් ලාභ නොලබන ගණයන්ටය.
කුඩාමූල්‍යකරණ ආයතන අය කෙරෙන පොළී අනුපාත හා ඒවායේ ලාභාංශ පිළිබඳ ඇතිවී තිබෙන මතභේදය සංසිඳුවීමට උපකාරීවිය හැකි දත්ත විශ්ලේෂණයක් CGAP ආයතනය විසින් සිදුකර ඇත. මෙහිදී රටවල් කිහිපයක තිරසාර කුඩාමූල්‍යකරණ ආයතන 500ක පමණ දත්තයන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ එම ආයතනවල සාමාන්‍ය පොළී අනුපාතය (average interest income) 28% ක් පමණවන බවය.
එපමණක්ද නොව රටවල් 36 ක කුඩාමූල්‍යකරණ ආයතන අයකරණ පොළී අනුපාතයන් එම රටවල ක්‍රෙඩිට් කාඩ් හා ගෘහ භාණ්ඩ කල්බදු ගෙවීම් වැනි පාරිභෝගික ණය සඳහා වූ පොළී අනුපාත (consumer credit interest rates) හා සැසඳිමේදී පෙනී යන්නේ රටවල් බොහොමයක (53%ක) කුඩාමූල්‍යකරණ ආයතනවල පොළී අනුපාතයන් පාරිභෝගික පොළී අනුපාතයන්ට වඩා අඩුබවය. රටවල් සමහරක (28% ක) එම පොළී අනුපාත දෙක එකම මට්ටමේ ඇති අතර රටවල් 7 ක (19% ක) පමණක් කුඩාමූල්‍යකරණ ආයතනවල පොළී අනුපාතයන් පාරිභෝගික පොළී අනුපාතයන්ට වඩා වැඩිවේ.
කුඩාමූල්‍යකරණ ආයතනයකට පොළී ආදායම අවශ්‍ය වන්නේ කරුණු 4 ක් සපුරා ගැනීමටය.
පොළී ආදායම = අරමුදල් ලබා ගැනීමේ (පොළී) වියදම් + මෙහෙයුම් වියදම් + පියවා ගත නොහැකි බොල් ණය වලින් සිදුවන පාඩුව + ලාභාංශ
(Interest income from loans = Cost of funds +Operating expenses + Loan loss expenses+ Profit)
ලොවපුරා තිරසාර කුඩාමූල්‍යකරණ ආයතන 554 ක 2006 ට අදාළ දත්ත විශ්ලේෂණයෙන් පෙනී යන්නේ සමස්ථයක් ලෙස එම ආයතනවල ආදායමෙන් වැඩි කොටසක් (50% පමණ) අවශ්‍ය වන්නේ මෙහෙයුම් වියදම්වලට බවය. ආදායමෙන් 25%ක් පමණ අරමුදල් ලබා ගැනීමටත්, පියවා ගත නොහැකි බොල් ණය නිසා සිදුවන පාඩුව පිරිමසා ගැනීමට ආදායමෙන් 10% ක් පමණත් අවශ්‍යවේ. සමස්ථයක් ලෙස ආදායමෙන් 15% ක් පමණ ලාභාංශය.
මෙහෙයුම් වියදම් (Operating expenses)
එක් එක් වයසේ ඇති කුඩාමූල්‍යකරණ ආයතන 175 ක පමණ මෙහෙයුම් වියදම් (operating expenses) විශ්ලේෂණය කිරීමේදී පෙනී යන කරුණක්නම් කාලයත් සමග පරිණතවීමේදී ඒවායේ මෙහෙයුම් වියදම් අනුපාතය (දළ ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස) අඩුවන බවය. සමස්ථයක් ලෙස මෙම ආයතනවල වාර්ෂික මෙහෙයුම් වියදම් අනුපාතය (operating expense ratio) 12.7% ක් වුවද සමහර නව ආයතනවල එම අගය 34% ක් පමණවන අතර වඩා මේරූ ආයතනවල මෙහෙයුම් වියදම් අනුපාතය 8% ක් පමණ අඩු අගයක් ගනී. මෙයින් ගම්‍ය වන්නේ අළුත් කුඩාමූල්‍යකරණ ආයතන තිරසාරවීමට නම් වැඩි පොළියක් අයකළ යුතු බවය. එහෙත් කුඩාමුල්‍ය ආයතනවල මෙහෙයුම් වියදම් අවම වශයෙන් පවත්වා ගෙන යෑම ඒවායේ කළමනාකරුවන් සතු වගකීමක්වේ.
අරමුදල් ලබා ගැනීමේ වියදම් (Cost of Capital)
අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් බලනකල වාණිජ බැංකුවලට වඩා වැඩි වියදමක් ඒ සඳහා දැරීමට කුඩාමුල්‍යකරණ ආයතනවලට සිදුවේ. එයට හේතුව සියළුම වාණිජ බැංකු විශාල ප්‍රමාණයෙන් තැන්පතු පවත්වාගෙන යන නමුත් බොහෝ කුඩාමුල්‍යකරණ ආයතන තැන්පතු බාර නොගන්නා නිසාය. මේ නිසා කොටස් ප්‍රාග්ධනයට අමතරව කුඩාමුල්‍යකරණ ආයතන විසින් ණයදීම සඳහා අරමුදල් රැස්කළ යුතුවන්නේ පොළියට මුදල් ගැනීමෙනි. ඒ වියදමද දුප්පතුන්ගෙන් ලැබෙන පොළී ආදායමෙන් පියවිය යුතුය. කුඩාමූල්‍යකරණ ආයතන 554 ක දත්ත විශ්ලේෂණයෙන් පෙනී යන්නේ අරමුදල් ලබාගැනීම සඳහා වාර්ෂිකව දරන්නට සිදුවන වියදම දළ ණය කළඹෙන් 8.3% ක් පමණ වන බවය.
පියවාගත නොහැකි බොල් ණය (Loan loss)
ණයලාභීන් විසින් ගෙවීම පැහැර හරින බොල් ණය (defaulted loan losses) පිළිබඳ සළකා බලන කළ කුඩාමුල්‍යකරණ ආයතනවල බොල් ණය අනුපාතය (දළ ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස) වාණිජ බැංකුවලට වඩා අඩු මට්ටමක තිබෙණ බවට කිසිදු විවාදයක් නැත. තිරසාර කුඩාමුල්‍යකරන ආයතන 500 ක 2006 වර්ෂයේ තොරතුරු විශ්ලේෂණයකට අනුව ඒවායේ සමස්ථ බොල් ණය ප්‍රතිශතය 2.3% ක් පමණ වේ. මේ ප්‍රමාණය මෙතරම්වත් වැඩිවන්නේ අප්‍රිකාණු කලාපයේ රටවල්වල එම ප්‍රතිශතය 5% ක් තරම් වැඩි නිසාය. එහෙත් දකුණු ආසියාණු කලාපයේ කුඩාමුල්‍ය ආයතනවල බොල් ණය ප්‍රතිශතය සමස්ථයක් ලෙස 1.5% වැනි සුළු ප්‍රමාණයකි. බොල් ණය ප්‍රතිශතය අවම මට්ටමක පවත්වාගෙන යෑම කුඩාමූල්‍යකරණ ආයතනවල කළමනාකරුවන්ගේ ප්‍රධාන වගකීමක් මෙන්ම අභියෝගයක්ද වේ. මෙයින්ද ගම්‍ය වන්නේ බොල් ණය ප්‍රතිශතය අඩු මට්ටමක පවත්වාගෙන යෑමට හැකි කුඩාමුල්‍යකරණ ආයතනවලට තම පොළී අනුපාතයන්ද පහත මට්ටමක පවත්වාගෙන යා හැකි බවයි.
ලාභාංශ (Profits)
ලාභ ඉපයීම කුඩාමූල්‍යකරණ ආයතන සම්බන්ධයෙන් වැඩියෙන්ම මතභේද ඉස්මතු කරණ කරුණකි. ලාභය කොටස් ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් නොහොත් ප්‍රාග්ධනය මත ලාභය (Return on Average Equity – ROAE) ලෙස ප්‍රකාශ කළ හැකි අතර තොරතුරු විශ්ලේෂණය කළ තිරසාර කුඩාමූල්‍යකරණ ආයතන අතුරින් වඩාත් ලාභදායී ආයතන 10% හි ප්‍රාග්ධනය මත ලාභ ප්‍රතිශතය 34% ක් පමණවේ. එසේවුවද සමහර රටවල්වල - විශේෂයෙන්ම මෙක්සිකෝවේ, ඉන්දියාවේ හා බංගලාදේශයේ කුඩාමූල්‍යකරණ ආයතන කිහිපයක ප්‍රාග්ධනය මත ලාභය 125% ද ඉක්මවා ඇත.
එසේම ලාභය වත්කම්වල ප්‍රතිශතයක් ලෙස (Return on Average Assets – ROAA) ප්‍රකාශ කළහොත් තිරසාර කුඩාමූල්‍යකරණ ආයතන සඳහා එම අගය 2.1% ක්වේ.
කුඩාමූල්‍යකරණ ආයතන ලාභ ඉපැයීම සම්බන්ධව විරෝධතා ගොණු කරන්නන් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ එම ක්ෂේත්‍රයේම පුරෝගාමියා ලෙස සැළකිය හැකි බංග්ලාදේශ ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘ මොහොමඩ් යූනුස්ය. ඔහුගේ මතයට අනුව අප ඉහත දැක්වූ සමීකරණයෙන් ලාභාංශ ඉවත් කළ යුතු අතර පොළී ආදායම විසින් ආවරණය කළ යුත්තේ අරමුදල් ලබාගැනීමට යන පිරිවැය, මෙහෙයුම් වියදම් හා බොල් ණය පමණි.
එහෙත් එයට විරුද්ධ මතයක් දරණ වාණිජ ස්වරූපයක් ගන්නා කුඩාමූල්‍යකරණ ක්‍රියාකාරීන් පවසන්නේ දායක ආයතන මගින් ලබා දෙන ප්‍රදානයන් (grants) හා සහණදායි පොළී මත සැපයෙන අරමුදල් (subsidized /low interest funds) දිනෙන් දින අඩුවෙමින් තිබෙණ අවධියක කුඩාමුල්‍යකරණය සඳහා ඇති හොඳම මාර්ගය වන්නේ ආයෝජන වෙළඳපල (investor market) බවයි. එවන් වෙළඳපල ආයෝජකයන්ගෙන් මුදල් ආයෝජන ආකර්ෂණය කරගැනීමට නම් කුඩාමූල්‍යකරණ ආයතන ලාභ ලැබිය යුතුය. මෙම මතය මේවනවිට වඩා ප්‍රචලිතව ඇති අතර බොහෝ පෞද්ගලික ආයෝජකයින් (private investors) මෙන්ම ආයෝජන සමාගම්ද (institutional investors) කුඩාමූල්‍යකරණ ආයතනවල ඉතා පුළුල් ලෙස ආයෝජනය කරමින් සිටී. මෙවන් ආයෝජනයන් පිළිබඳ ශ්‍රී ලංකාවතුළ එතරම් කතාබහක් නැත්තේ අනිත් හැම ක්ෂේත්‍රයක් මෙන්ම කුඩාමූල්‍යකරණ වෙළඳපලද (microfinance market) ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල් සමග සැසඳීමේදී ඉතාම කුඩා නිසාය.
එම නිසාම අධික පොළී අනුපාතයන් අයකරමින් හෝ අධික ලාභ ලබමින් දුප්පතුන් සූරා කන්නේදැයි යන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ක්‍රඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයට අදාළවේදැයි යන්න සැක සහිතය. එයට හේතුව ශ්‍රී ලංකාවේ කුඩාමූල්‍යකරණ ක්‍ෂේත්‍රයතුළ ඉතිරිකිරීම්වලට අමතරව වැඩිපුරම සංසරණය වන්‍නේ දායක ආයතන හා අන්තර්ජාතික සංවර්ධන බැංකුවලින් සපයනලද ප්‍රදානයන් හා සහණදායි අරමුදල් බැවිනි.
එහෙත් ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයනට ඩොලර් මිලියන ගණනින් වාණිජ ආයෝජනයන් (commercial investments) ගලාඒමට පටන්ගෙන ඇති නිසා එමරටවල කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍ර යම්දුරකට පාලනය කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇත. දැනටමත් බංග්ලාදේශයේ කුඩාමූල්‍යකරණ නියාමණ ඒජන්සිය (Microcredit Regulatory Agency – MRA) මගින් කුඩාමුල්‍යකරණ ආයතනවල ඌනනයවන ශේෂය මත පොළී අනුපාතය(interest on reducing balance) 30% ක් නොඉක්මවියයුතු බවට තීරණය කර ඇත. මීට අමතරව ණයලාභීන්ගෙන් ගත හැකි මුළු තැන්පත් ප්‍රමාණය අදාළ කුඩාමූල්‍යකරණ ආයතනයේ පිටහිටි දළ ණය කලඹෙන් 80% ක් නොඉක්මවිය යුතුයැයි යන සීමාවක්ද පණවා ඇත.
බංග්ලාදේශය වැනි රටවල් මෙවැනි නව කුඩාමූල්‍යකරණ නීති රීති ගෙන ඒමට යුහුසුළුව ඇත්තේ වාණිජ ආයෝජනයන් මගින් එම රටවල රාජ්‍ය නොවන කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය ඉතා සීඝ්‍රයෙන් ප්‍රසාරණයවෙමින් පවතින නිසාය. මේවනවිට බංග්ලාදේශයේ අතිවිශාල කුඩාමූල්‍ය වෙළඳපලින් 80% ක්ම පාලනය කරන්නේ ආසා (ASA), ග්‍රාමීන් (Grameen) හා බ්‍රැක් (BRAC)යන රාජ්‍ය නොවන ආයතන 3 වීම මීට ඇති හොඳම උදාහරණයයි. එහෙත් ශ්‍රී ලංකාවේ කුඩාමූල්‍යකරණ වෙළඳපලින් පෞද්ගලික හා රාජ්‍ය නොවන අංශවලට අයත්වන්නේ 20% කට අඩු ප්‍රමාණයකි. එමනිසා එවැනි තත්වයක්තුළ ශ්‍රී ලංකාවේ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයේ පොළී අනුපාතයන් පාලනය කිරීම කෙතරම් උචිතදැයි සැළකිල්ලෙන් විමසා බැලිය යුතුය.
මූලාශ්‍ර:
CGAP Occasional Paper No.15 February 2009
http://www.thefinancialexpress-bd.com/2009/04/29/65167.html
http://www.lankabusinessonline.com/fullstory.php?nid=1089830885
ණය කළඹවල් සුරැකුම් ලෙස විකිණීමෙන් ප්‍රාග්ධනය සොයා ගැනීමට ඉන්දියාණු කුඩාමූල්‍යකරණ ආයතන සමත්වේ
Indian MFIs securitizing loan portfolios to raise much needed capital
(2009 අප්‍රියෙල් 10)
කුඩාමූල්‍යකරණ ආයතන තම ප්‍රාග්ධනයන් බොහෝවිට සොයා ගන්නේ සංවර්ධනය හා ලාභ අරමුණු කරගත් දායක ආයතනවලින් හා මූල්‍ය ආයෝජන ආයතනවලින් මුදල් ණයට ගැනීමෙන් (borrowing) හා ප්‍රාග්ධන ආයෝජනයන් (equity) ලබා ගැනීමෙනි. එහෙත් මෑතක සිට තම ණය කළඹවල්ම (loan portfolios) සුරැකුම් ලෙස තබමින් බැංකුවලින් හා වෙනත් මූල්‍ය ආයෝජකයින්ගෙන් මුදල් (ප්‍රාග්ධනය) ලබා ගැනීමට ඉන්දියාණු කුඩාමූල්‍ය ආයතන පෙළඹී තිබේ. මෙම ක්‍රියාවලිය සුරැකුම් වෙළඳපලින් (securities market) ප්‍රාග්ධනය සොයාගැනීමට සමානවන අතර එය සාමාන්‍යයෙන් ණය ලබා ගන්නවාට වඩා ලාභදායීවේ.
මෙම ක්‍රමයේදී සිදුවන්නේ කුඩාමුල්‍යකරණ ආයතනයක් ලබාදී (උදාහරණයක් ලෙස: ගොවීන් පිරිසකට) අයවීමට ඇති ණය වත්කම් (receivables) විශේෂිත ආයෝජන මාධ්‍යයක් (investment vehicle) ලෙස ආයෝජන ආයතනයකට විකිණීමයි. මෙහිදී ආයෝජකයා විශ්වාසය තබන්නේ පැහැර හැරීමකින් තොරව එම ණය අයකරගැනීමට කුඩාමූල්‍යකරණ ආයතනයට ඇති හැකියාව මතය. පසුගිය කාලතුළ එවැනි ණය පැහැර හැරීමකින් තොරව අයවූ බව තහවුරු කිරීමත්, ප්‍රබල මුදල් ප්‍රවාහයක් (strong cash flow) ඇති බවටත්, සුරැකුම්ලෙස විකිණීමට අපේක්ෂා කෙරෙන ණය කළඹවල් එක ආයෝජන මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට තරම් සුනම්‍ය (amenable) බවටත් කුඩාමූල්‍ය ආයතනය මෙහිදී තහවුරුකළ යුතුය.
ඒ සඳහා බාහිර තක්සේරු ආයතනයකින් (rating agency) කුඩාමූල්‍යකරණ ආයතනයට ඇති එම හැකියාව පිළිබඳ සහතිකයක් ලබා ගැනීමටද සිදුවේ. බොහෝවිට කුඩාමුල්‍යකරණ ආයතනවල ණය කළඹවල් පිළිබඳ සැළකිය යුතු මට්ටමකින් තොරතුරු නිරාවරණය නොවීම හේතුවෙන් මෑතක්වනතුරු මූල්‍යයාතන තක්සේරු කරන ආයතන විසින් එම ණය කළඹවල් තක්සේරු කිරීමට මැළිවිය. එහෙත් මෑතක සිට කුඩාමුල්‍යකරණ ආයතන තම ණය කළඹවල් පිළිබඳ විස්තරාත්මක තොරතුරු සැපයීමට පෙළඹී ඇති නිසා තක්සේරු ආයතන ඒවා තක්සේරු කිරීමට පටන් ගෙන ඇතිවා පමණක් නොව ආයෝජකයින් පවා එවැනි කුඩාමූල්‍යකරණ ආයතන කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමටද පටන් ගෙන ඇත.
මෙවැනි සුරැකුම් පාදක ආයෝජන මාධ්‍යයන් (securitization based investment vehicles) මිලට ගැනීමට ඉන්දියාවේ බැංකු හා වෙනත් ආයෝජකයින් පෙළඹෙන්නේ ප්‍රධාන කරුනු දෙකක් නිසායැයි සිතිය හැක.
- රාජ්‍ය හා වාණිජ බැංකුවල ප්‍රාග්ධනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් දුප්පත් ප්‍රජාවන් සඳහාවූ කුඩාමූල්‍යකරණයට වෙන්විය යුතුයැයි ඉන්දියානු රජයෙන් විශාල බල කිරීමක් තිබුණද එම බැංකුවලින් බොහොමයක ව්‍යුහය (structure) හා ක්‍රියාත්මකවන ක්‍රමය (operating system) කුඩාමූල්‍යකරණ ක්‍රමයට නොසුදුසු නිසා දුප්පත් ප්‍රජාවන්ට ණය නිකුත්කළහොත් එවැනි ණය අයකර ගැනීමේ අභියෝගය එම බැංකු මුහුණපාන ප්‍රධාන ගැටළුවකි. එහෙත් ඉන්දියාණු කුඩාමූල්‍යකරණ ආයතනවල ණය අයකරගැණීම 100% කම පමණ මට්ටමින් තිබෙන නිසා එවැනි කුඩාමූල්‍යකරණ ආයතනවල ණය කළඹවල් සුරැකුම් ලෙස මිලට ගැනීමෙන් දුප්පත් ප්‍රජාවන්ට ණය දීමේ අවශ්‍යතාවය ඒමගින් පිරිමසාගැනීමට හැකිවීම.
- කුඩාමුල්‍යකරණ ආයතන වල සුරැකුම් පාදක ණය ආයොජනයන් සඳහා ලබාදෙන කාලය සාමාන්‍යයෙන් මාස 6 ක් පමණ වන නිසා අන්‍යෝන්‍ය අරමුදල් වැනි (mutual funds) වැනි ආයෝජකයින් තම කෙටිකාලීන අතිරික්ත මුදල් (short term surpluses) එවැනි කුඩාමූල්‍යතරණ ආයතනවල ආයෝජනය කිරීමට පෙළඹීම.
කුඩාමූල්‍යකරණ ආයතනවලටද මෙසේ සුරැකුම් පාදක ණය කළඹවල් විකිණීමෙන් ලැබෙන ලාභයට අමතරව තම ප්‍රාග්ධනයද ඉක්මණින් නිදහස්කරගෙන නැවත ණයදීම සඳහා ඉඩකඩ ලැබේ. ඊට අමතරව ගෝලීය මූල්‍ය අර්බුදය නිසා ඉස්මතුව ඇති ජාත්‍යන්තර ආයෝජනවල හිඟය (shortage of foreign capital) මග හරවා ගනිමින් තම ප්‍රාග්ධන මූලයන් විවිධාංගිකරණය (diversification of capital sources ) කරගැනීමටද කුඩාමූල්‍යකරණ ආයතනවලට මේ මඟින් අවස්ථාව සැලසී ඇත.
මේවනවිට ඉන්දියාණු කුඩාමූල්‍යකරණ ආයතන 16 න් පමණ සුරැකුම් පාදක ණය කළඹවල් විකිණීමෙන් ප්‍රාග්ධනය විවිධාංගිකරණය කිරීමට සූදානම්ව ඇති අතර මෙයින් ප්‍රමුඛස්ථානය ගන්නා SKS නමැති කුඩාමූල්‍යකරණ ආයතනය මේවනවිටත් ඉන්දියාණු රුපියල් මිලියන 7500 ක් පමණ ප්‍රාග්ධනයක් මේ ක්‍රමය මගින් රැස්කරගැනීමට සමත්ව ඇත. ඉන්දියාවේ දෙවන විශාලතම වාණිජ බැංකුව වන ICICI විසින් SKS සුරැකුම් ණය කළඹින් වැඩි ප්‍රමාණයක් මිලට ගෙන තිබීමද විශේෂත්වයකි.
ඉන්දියාවේ මෙම ප්‍රයත්නයෙන් ලබා ගත හැකි පාඩම වන්නේ කුඩාමූල්‍යකරණ ආයතනවලටත් ප්‍රාග්ධනය ආයෝජනය කලහැකි විශාල බැංකුවලටත් යන දෙපාර්ශවයන්ටම ජයගැනීමට හැකි ලෙස (win – win situation for MFIs and large commercial Banks) එම දෙපාර්ශවයේ හැකියාවන්වල විභේදනය උපයෝගී කරගන්නා ආකාරයයි. එසේ නොමැතිව විශාල වාණිජ බැංකුද කුඩාමූල්‍යකරණ ආයතන හා තරඟකාරීව කුඩාමූල්‍යකරණයේ යෙදුනේ එය එම පාර්ශවයන් දෙකටම අහිතකර ප්‍රථිඵල අයත්වන්නට සිදුවිය හැක.
මූලාශ්‍ර:
http://www.thehindubusinessline.com/2009/03/17/stories/2009031751640600.htm
http://www.myiris.com/newsCentre/newsPopup.php?fileR=20090219135052196&dir=2009/02/19&secID=livenews
ගෝලීය මූල්‍ය අර්බුදය නිසා කාම්බෝජයේ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය අසීරුවේ
International credit crisis hits Cambodian MFIs
(2009 මාර්තු 13)
වර්තමාන ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ අන්තර්ජාතික ණය වෙළඳපල කඩාවැටීම හේතුවෙන් දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල කුඩාමූල්‍යකරණ අංශයට (microfinance sector) සැපයෙන ණය පහසුකම්ද අඩුවේදැයි තිබූ සැකය තහවුරු කරමින් කාම්බෝජයේ කුඩාමුල්‍යකරණ අංශයට අන්තර්ජාතිකව සැපයෙන ණය විශාල වශයෙන් අඩුවී ඇති බව වාර්තාවේ.
මේ නිසා කුඩාමූල්‍යකරණ ආයතන හරහා ගොවීන් වැනි අඩු ආදායම්ලාභීන්ගෙන් ණය සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකිවී ඇත. ගෝලීය මූල්‍ය අර්බුදය 2008 දී ඉස්මතුවීමට ප්‍රථම අන්තර් ජාතික බැංකු 50 ක් පමණ කාම්බෝජයේ කුඩාමුල්‍ය ආයතනවලට ණය සැපයීමට පොරොන්දුදෙමින් හා සූදානමින් සිටියද මේවනවිට එම බැංකු සියල්ලම පාහේ ණය සැපයීමෙන් ඉවත්වී ඇති බව කාම්බෝජියාණු කුඩාමූල්‍ය ආයතන සංසදයේ අධ්‍යක්ෂකවරයකු පවසා ඇත.
කාම්බෝජියාණු කුඩාමූල්‍ය ආයතන ණයදීම සඳහා භාවිතා කරණ අරමුදල්වලින් 80% ක්ම අන්තර්ජාතික ආයතනවලින් ලැබෙන විදේශික ප්‍රාග්ධනයවීම මෙම තත්වය මෙතරම් බරපතළවීමට හේතුවී ඇත.
පසුගිය වර්ෂයේදී කාම්බෝජියානු කුඩාමූල්‍ය ආයතනවල මුළු ණය අරමුදල් ප්‍රමාණය පෙර වර්ෂයට වඩා 61% කින් ඉහළ ගොස් තිබුණද මෙම වර්ෂයේදී (2009) එම අරමුදල්වල වර්ධනය 10% තරම් පසුබසිණු ඇතැයි අනුමාන කෙරේ. මේ නිසා මෙම වර්ෂයේදී එම කුඩාමූල්‍ය ආයතනවලට අපේක්ෂිත ණය ඉලක්කයන්ට යෑමට අපොහොසත්වනවා පමණක් නොව ණය සඳහා අයකෙරෙන පොලී අනුපාතයන්ද ඉහළ දැමීමට සිදුවනු ඇත.
ණයලාභීන් ණය ගෙවීම පැහැර හැරීම නිසා අවදානමට ලක්වී ඇති කුඩාමුල්‍ය ආයතනවල ණය කළඹවල (portfolio at risk) ප්‍රතිශතය 1% ටත් වඩා අඩුවුවත් ණයදීම සඳහා අරමුදල් හිඟකම හේතුවෙන් ගොවීන්ගේ ඉඩම් හා නිවාස පවා විකුණා ණය ගෙවීමට බලකෙරෙන තත්වයක්ද උදාවී තිබේ.
මූලාශ්‍රය:
http://www.phnompenhpost.com/index.php/2009030624619/Business/Credit-crunch-hits-MFIs.html
ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ කුඩාමූල්‍යකරණය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 500 ක අරමුදලක්
$500 million facility to strengthen microfinance sector
(2009 මාර්තු 11)
දැනට උද්ගතවී ඇති ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ ලෝකයේ දිළිඳු හා සංවර්ධනයවන රටවල් බොහොමයක ක්‍රියාත්මකවෙමින් පවතින කුඩාමූල්‍යකරණ වැඩසටහන් පසුබෑමකට ලක්විය හැකි අවිනිශ්චිත තත්වයක් ගොඩ නැඟෙමින් පවතී. ලෝක බැකුවට අනුබද්ධිත අන්තර් ජාතික මූල්‍ය සංස්ථාවට (International Finance Corporation – IFC) අනුව ඉදිරි වර්ෂ 1½ ක කාලය තුළ එවැනි කුඩාමූල්‍යකරණ වැඩසටහන් මඟින් ණයදීමට අවශ්‍ය ප්‍රතිමූල්‍යකරණ අරමුදල් (refinancing funds) ඩොලර් බිලියන 1.8 ක පමණ හිඟයක් ඇතිවිය හැක. මෙම මුදල් හිඟය නිසා මිලියන 150 ක පමණ දිළිඳු පුද්ගල සංඛ්‍යාවකට ණය පහසු කම් ලබා ගැනීමට නොහැකිවීමෙන් ඔවුන්ගේ දරිද්‍රතා මට්ටම තව තවත් ඉහළ යනු ඇත.
මෙම ගැටළුවට විසඳුමක් ලෙස ඩොලර් මිලියන 500 ක කුඩාමූල්‍යකරණ වර්ධන අරමුදලක් (microfinance enhancement facility) ස්ථාපිත කිරීමට අන්තර්ජාතික මුල්‍ය සංස්ථාව (IFC) හා KfW යන කෙටි නාමයෙන් ප්‍රචලිත ජර්මානු සංවර්ධන බැකුව පියවර ගෙන ඇත. ආරම්භයක් වශයෙන් IFC ආයතනයෙන් ඩොලර් මිලියන 150 ක් හා KfW බැංකුවෙන් ඩොලර් මිලියන 130 ක දායකත්වයක් සහිතව පසුගිය පෙබරවාරි 2 වැනිදා ජර්මනියේ බර්ලින්වල පිහිටුවනු ලැබූ මෙම අරමුදලට වෙනත් පාර්ශවකාර ආයතනවල දායකත්වය ලබා ගැනීමටද IFC හා KfW ආයතන අපේක්ෂා කරයි.
දිළිඳු හා අඩු ආදායම් පුද්ගලයන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා කුඩාමුල්‍යකරණය මගින් කෙරෙන මෙහෙය අතිමහත් වන අතර නොයෙකුත් ආර්ථික පසුබැසීම් අවස්ථාවන්හිදී සාමාන්‍ය බැංකු හා වෙනත් මූල්‍ය ආයතනවලට වබා නොවැටී ඔරොත්තුදීමේ හැනියාවක් තිබීම කුඩාමූල්‍යකරණ ආයතනවල සුවිශේෂි ලක්ෂණයකි. කුඩාමූල්‍යකරණ ආයතනවලින් ණය ලබා ගන්නන් දුප්පතුන් වන අතර ණය පහසුකම් ලබා ගැනීමට ඔවුන්ට ඇති එකම ක්‍රමය මෙයයි. එම නිසා එම ණය නැවත ගෙවීමට ඔවුන් තුළ විශාල කැපවීමක් ඇත. මෙම කැපවිම හා විශ්වාසවන්ත බව කුඩාමූල්‍යකරණයේ සාර්ථකත්වයටද ප්‍රධාන හේතුවකි.
IFC හා KfW ආයතන මගින් පිහිටුවනු ලැබූ මෙම ඩොලර් මිලියන 500 යේ කුඩා මූල්‍යකරණ අරමුදල මගින් රටවල් 40 ක ක්‍රියාත්මක වන කුඩාමූල්‍යකරණ ආයතන 100 ක් හරහා දිළිඳු පුද්ගලයින් මිලියන 60 කට පමණ ලබා දෙන ණය ප්‍රතිමූල්‍යකරණය කිරීමට අපේක්ෂා කෙරේ.
මූලාශ්‍රය: http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:22068946~pagePK:64257043~piPK:437376~theSitePK:4607,00.html?cid=ISG_E_WBWeeklyUpdate_NL
MIX කුඩාමූල්‍යකරණ තොරතුරු කේන්ද්‍රය මගින් 2008 සඳහා කරනලද ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ තෙවන විශිෂ්ඨතම කුඩාමූල්‍ය ආයතනයට බවට ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව නම් කෙරේ.
Sri Lanka’s SANASA is ranked third among the world’s best 100 microfinance institutions by the MIX
(2008 දෙසැම්බර් 27)
කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයේ තොරතුරු කළමනාකරණය පිළිබඳව පුරෝගාමී ආයතනයවන මයික්‍රොෆිනෑන්ස් ඉන්ෆෝමේෂන් එක්ස්චේන්ජ් නොහොත් MIX ආයතනය මගින් 2008 වර්ෂය සඳහා MIX Global 100 නමැති සංවර්ධනයවන රටවල්වල ක්‍රියාත්මකවන විශිෂ්ඨතම කුඩාමුල්‍යකරණ ආයතන 100 ක් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව එළිදක්වා ඇත. මෙය MIX ආයතනය මගින් කුඩාමුල්‍යකරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ දෙවන වාර්ෂික ප්‍රයත්නයයි.
මෙම 2008 ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ විශිෂ්ඨම කුඩාමුල්‍යකරණ ආයතන අතුරින් තෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව සමත්වී ඇති අතර එම එම ජයග්‍රහණයේ පැසසිය යුතු කරුණවන්නේ 2007 වර්ෂයේ ශ්‍රේණිගත කිරීම අනුව 137 වන ස්ථානයේ පසුවූ සණස බැංකුවට මෙවර 3 වන ස්ථානය ලබාගැනීමට හැකිවීමයි. එහෙත් කණගාටුවට කරුණවන්නේ 2007 ශ්‍රේණිගත කිරීමට අනුව දෙවන ස්ථානයේ පසුවූ සබරගමුව සංවර්ධන බැංකුව මේවර පළමු ස්ථාන සියයට ඇතුළත් නොවීමයි.
මෙවර (2008) ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයට පැමිණ ඇති කුඩාමුල්‍යකරණ ආයතන 10 වන්නේ:
කුඩාමූල්‍ය ආයතනය |
|
රට |
1. MBK Ventura |
|
ඉන්දුනීසියාව |
2. SKS |
|
ඉන්දියාව |
3. සණස සංවර්ධන බැංකුව |
|
ශ්‍රී ලංකාව |
4. Cashpor |
|
ඉන්දියාව |
5. BRAC |
|
බංග්ලාදේශය |
6. JVS |
|
නේපාලය |
7. FMFB |
|
පකිස්ථානය |
8. Tamweelcom |
|
ජෝර්දානය |
9. BANTRA |
|
පේරු රාජ්‍යය |
10. Al Amana |
|
මොරොක්කෝව |
මෙම ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථාන 10 අතරින් 6 ක්ම (60%ක්) දකුණු ආසියාණු කලාපීය රටවල්වල් වන අතර පළමු ස්ථාන 25 අතුරින්ද 10 ක් (40%ක්) දකුණු ආසියාණු රටවල්වීම තුළින් එම කලාපයේ කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය ලබා ඇති ඉහළ ප්‍රගතිය මැනවින් පෙන්නුම් කරයි.
MIX 2008 ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානය ලබාගත් ඉන්දුනීසීයාවේ MBK Ventura ආයතනයත්, දෙවන ස්ථානයට පත් ඉන්දියාවේ SKS ආයතනයත්, 8 වන ස්ථානයට පත් ජොර්දානයේ Tamweelcom ආයතනයත් බංග්ලාදේශ ග්‍රාමීන් බැංකු ක්‍රමවේදය ප්‍රවර්ධනය කෙරෙන ග්‍රාමීන් පදනමේ (Grameen Foundation) හවුල්කාර ආයතනයන්වීම විශේෂත්වයකි. වාණිජත්වයෙන් තොර දිළිඳුකම පිටුදැකීම පිළිබඳවූ කුඩාමූල්‍යකරණය පිලිබඳ වැඩිපුර කතාබහ කරණ බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකුව හා ඊට අනුබද්ධ ග්‍රාමීන් පදනමේ හවුල්කාර කුඩාමුල්‍ය ආයතන 17 ක්ම ශ්‍රේණිගත කරනලද කුඩාමුල්‍ය ආයතන 100 ට ඇතුළත්වීම ග්‍රාමීන් ක්‍රමවේදයේ ජයග්‍රහණයක් ලෙස සැළකියහැක.
2008 MIX ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණය සඳහා කුඩාමූල්‍යආයතන 971 ක් තෝරාගෙන ඇති අතර ඒ සඳහා තිබිය යුතු මූලික සුදුසුකම වී ඇත්තේ 2007 මූල්‍ය වර්ෂයේදී එම ආයතනවල සියළු මෙහෙයුම් වියදම්වලින් (all operational costs) 90% ක් ආවරණය කිරීමට මූල්‍ය ආදායමට (financial revenue) හැකීවීමයි.
එසේ තෝරාගැනීමෙන් පසු 2007 වර්ෂයට අදාළ ප්‍රධාන නිර්ණායක 3 ක් (ranking criteria) පාදකකරගත් ලකුණුදීමක් මගින් (scoring) මෙම MIX ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.
නිර්ණායක |
උප නිර්ණායක |
ණයලාභී ආවරණය (Borrower Outreach) |
ණයලාභී සංඛ්‍යාව (Number of borrowers) |
ණයලාභීන් සංඛ්‍යාව එම ප්‍රදේශවල දිළිඳු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස (number of borrowers as a percentage of poor population in the relevant area) |
|
ණයලාභීන් සංඛ්‍යාවේ වාර්ෂික වර්ධන වේගය (Annual growth rate of borrowers number) |
|
ඉතිරිකිරීම් (තැන්පතු) ප්‍රමාණය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (deposits as a percentage of borrowings) |
|
තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව ණයලාභීන්ගේ ප්‍රතිශතයක් ලෙස (depositors as a percentage of borrowers) |
|
කාර්යක්ෂමතාවය (Efficiency) |
ණයලාභියෙකු ආවරණය කිරීමට වැයවන මුදල අදාළ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස (cost per borrower as a percentage of Gross National Income of the relevant country) |
ලාභය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (profit as a percentage of the average loan portfolio) |
|
දින 30 ක් ඉක්මවූ නොපියවීමේ අවදානමට ලක්ව ඇති ණයකළඹේ ප්‍රතිශතය (loan portfolio at risk over 30 days) |
|
කපාහරින ලද ණය අනුපාතය (loan write off ratio) |
|
විනිවිදභාවය (Transparency) |
MIX තොරතුරු කේන්‍ද්‍රයට තොරතුරු ලබා දී ඇති වර්ෂ ප්‍රමාණය (Number of years of providing information to MIX) |
MIX තොරතුරු කේන්‍ද්‍රයට විගණනයකරන ලද මූල්‍ය වාර්තා සැපයීම (presenting audited financial reports to MIX) |
MIX ආයතනය මගින් කරණලද මෙම ශ්‍රේණිගත කිරීමේදී කුඩාමූල්‍යකරණයේ සාර්ථකත්වය පිළිබිඹු කෙරෙන සාධක කිහිපයක් සැළකිල්ලට ගෙන ඇති නමුත් මෙම ශ්‍රේණිගත කිරීම එම කුඩාමුල්‍ය ආයතන සම්බන්ධයෙන් පරිපූර්ණ නිගමනයන්ට එලඹීමට තරම් ප්‍රමාණවත්වේයැයි සිතිය නොහැක. එහෙත් කුඩාමුල්‍යකරණයේ පරමාර්ථ හා කුඩාමුල්‍ය ආයතන ගමන් කරන දිසාව සම්බන්ධව දැනට ඉස්මතුවෙමින් තිබෙන සංවාදය වඩා අර්ථවත් කිරීමට මෙම MIX ප්‍රයත්නය හේතුවනවාට සැකයක් නැත.
http://www.grameenfoundation.org/resource_center/newsroom/news_releases/~story=361
කුඩාමූල්‍යකරණ අරමුදල් ලැබෙන්නේ හා භාවිතාවන්නේ කෙසේද?
How microfinance funds are received and utilized?
දිළිඳු ප්‍රජාව සඳහාවූ කුඩාමුල්‍යකරණයේ ප්‍රගතිය උදෙසා පුරෝගාමී මෙහෙවරක යෙදෙන සීගැප් (CGAP) ආයතනය විසින් ලෝකයේ විවිධ කලාපවල කුඩාමූල්‍යකරණ ආයතනවලට අරමුදල් (funds) ලැබෙන ආකාරයත් එම අරමුදල් භාවිතා කරන ආකාරයත් පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් එළි දක්වා ඇත. කුඩාමූල්‍ය අංශයට අරමුදල් සපයන විවිධ ආයතන 54 ක 2007 වර්ෂය සඳහා වූ මූල්‍ය තොරතුරු පාදක කරගනිමින් සකස්කර ඇති මෙම වාර්තාවට අනුව 2007 වනවිට මෙම ආයතනවලින් ලෝකයේ සියළුම කලාපවල කුඩාමූල්‍ය අංශය සඳහා ඇ. ඩොලර් මිලියන 11,687 වැනි දැවැන්ත ප්‍රමාණයක් ‘වෙන්කර ඇති’ (committed) අතර 2007 දී නිකුත් කර ඇත්තේ එයින් ඩොලර් මිලියන 2,500 ක් වැනි සුළු කොටසකි.
ඉහතකී සමීක්ෂණයට භාජනයවූ ආයතන 54 අතුරින් 33ක් සහණාදායි ණය (subsidized credit) ලබාදෙන සවර්ධන දායක ආයතන (donors) වන අතර ඉතිරි 11 අයත්වන්නේ වාණිජ හෝ සමාජ අරමුණින් ලාභ ඉපයීම සඳහාවූ ආයෝජකයන්ගේ (investors) ගණයටය.
කුඩාමුල්‍ය අංශයට අරමුදල් සපයන්නන් |
|
සංවර්ධන දායක ආයතන (33) |
ලාභාංශ අපේක්ෂිත ආයෝජකයින් (21) |
ද්විපාර්ශවික දායක අයතන (Bilateral donors) |
සංවර්ධන මූල්‍යායතන (Development Financial Institutions – DFIs) |
බහුපාර්ශවික දායක ආයතන (Multilateral donors) |
පෞද්ගලික ආයෝජකයින් (Private investors) |
පෞද්ගලික අරමුදල් (Foundations) |
ආයතනික ආයෝජකයින් (Institutional Investors) |
වෙනත් (Others) |
|
මෙම සමීක්ෂණ වාර්තාවෙන් ඉස්මතුවන හා දකුණු ආසියාණු කලාපය සඳහා වඩාත් ගම්‍යවන ප්‍රධාන කරුණු (key findings) වන්නේ:
- කුඩාමුල්‍යකරණයට වෙන් කර ඇති ඩොලර් මිලියන 11,687 ප්‍රමාණයෙන් වැඩිම කොටසක් (27%) වෙන්ව ඇත්තේ දකුණු ආසියාණු කලාපීය රටවල්වලටය. මෙයට මූලික හේතුව විය හැක්කේ ලෝකයේ දිළිඳු ජනගහණයෙන් වැඩිම ප්‍රමාණයක් දකුණු ආසියාවේ සිටීම විය හැක.
- දකුණු ආසියාණු කලාපයේ කුඩාමූල්‍යකරණ ආයතනවලට වෙන්වී ඇති අරමුදල්වලින් 93% ක්ම සපයන්නේ දායක ආයතන (donors) වන අතර 7% ක් ලැබෙන්නේ ආයෝජන (investments) ලෙසය. මෙයින් ගම්‍යවන්නේ දකුනු ආසියාණු කලාපයේ කුඩාමුල්‍යකරණ අංශය තවමත් විශාල වශයෙන් සහණාදායි පැවැත්මකට (subsidy dependant) නැඹුරු බවය.
- ඉහතකී දායක ආයතන අතුරිනුත් බහුපාර්ශවික දායක (multilateral donors) ආයතන 3 ක් දකුණු ආසියාණු කුඩාමූල්‍ය අංශයට සැපයෙන මුළු මුදල්වලින් 74% ක්ම සැපයීම ඉතාමත් සුවිශේෂී කරුණකි. එම ආයතනවන්නේ ආසියානු සංවර්ධන බැංකුව (47%), ලෝක බැංකුව (20%) හා කෘෂිකර්ම සංවර්ධනය සඳහාවූ අන්තර්ජාතික අරමුදලයි - IFAD (7%).
- දකුණු ආසියාණු කලාපය තුළ කුඩාමූල්‍ය අංශයට මුදල් සපයන ප්‍රධානතම ද්විපාර්ශවික දායක අයතන දෙක වන්නේ එක්සත් රාජධානියේ සංවර්ධන අරමුදල වන Development Fund for International Development –DFID හා කැනේඩියානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියයි Canadian International Development Agency – CIDA. මෙම කලාපයේ කුඩාමුල්‍ය අංශයට ලැබෙන මුදල් වලින් 13% ක් දළ වශයෙන් එක සමානව මේ දායක ආතන දෙක ලබාදෙයි.
- දකුණු ආසියාණු කලාපයට ඉඳුරාම පටහැණි තත්වයක් පෙන්නුම් කරන ලතින් ඇමෙරිකානු කලාපයේ කුඩාමුල්‍යකරණ ආයතනවලට සැපයෙන් මුදල් වලින් 82% ක්ම ලැබෙන්නේ වාණිජ මට්ටමේ ආයෝජකයන්ගෙනි. මේ නිසාම කුඩාමූල්‍යකරණය වාණිජකරණයවීම (commercialization of microfinance) පිළිබඳ මතභේදය ආරම්භවන්නේද ලතින් අමෙරිකානු රටවල්වලින් අතර ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ කොටස් වෙළඳපල තුළින් ආයෝජන ලබාගත් මෙක්සිකෝවේ කොම්පාටමෝස් (Compartamos) නමැති කුඩාමූල්‍යකරණ බැංකුවයි.
- දකුණු ආසියාණු කලාපයේ කුඩාමූල්‍ය අංශයේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවාට සැපයෙන මුදල්වලින් වැඩි කොටසක් (82%) ක්ම ඍජුව ණයලාභීන්ට ලබාදීමයි (retail lending).ඒ අතර 10% ක් පමණක් තොග ණය (wholesale lending) ලෙස සැපයේ. ලොව අනිකුත් සියළුම කලාපවල තොග ණය අනුපාතය දළ වශයෙන් 20% ක් පමණවේ.
- දකුණු ආසියාණු කලාපීය කුඩාමුල්‍ය ආයතන තුළ කොටස් ආයෝජන (equity investments) ලෙසින් අරමුදල් ලැබෙන්නේ 1% ක් වැනි කුඩා ප්‍රමාණයක්වීම තවත් විශේෂ ලක්ෂණයකි. අනිකුත් කලාපවල (මැදපෙරදිග හැර) කුඩාමුල්‍ය ආයතන තුළ 7% - 12% ත් අතර ප්‍රමාණයක් කොටස් මුදල් ලෙස ලැබේ.
ඉහත සඳහන් කළ CGAP වාර්තාවට අනුව නොයෙකුත් දායක හා ව්‍යාපාරික ආයතන විසින් කුඩාමුල්‍ය අංශය සඳහා වෙන් කෙරෙන අරමුදල් ප්‍රමාණය 2007 වනවිට සීඝ්‍රයෙන් වර්ධනයවී ඇත. එයට උදාහරණයක් දක්වන එම වාර්තාව ලෝක බැංකුවට අනුබද්ධිත International Financial Corporation (IFC) සහ ජර්මණියේ KfW වැනි සංවර්ධන මූල්‍ය ආයතන (Development Financial Institutions - DFIs) 2005 දී කුඩාමුල්‍ය අංශයට වෙන් කළ මුදලවන ඩොලර් මිලියන 1,710 වර්ෂ දෙකක් තුළදී - එනම් 2007 වනවිට ඩොලර් මිලියන 4,095 දක්වා වර්ධනයවූ බව පෙන්නුම් කරයි.
කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයට නෙකඩවා හා වර්ධනය වෙමින් අරමුදල් ගලා ඒම දිළිඳුකම දුරැලීම සඳහා එම ක්ෂේත්‍රය මගින් සිදුවන දායකත්වයේ පිළිගැනීමක්සේ සැළකිය හැකිවුවත් 2008 අගභාගයවන විට ලැබෙන ප්‍රවෘත්ති මගින් ඉඟි කෙරෙන්නේ ලෝකය පුරා පැතිර යන මුල්‍ය අර්බුදය හේතුවෙන් කුඩාමුල්‍ය ක්ෂේත්‍රයට ලැබිය යුතු මුදල් නොලැබෙන බවයි. දැනටමත් සමහර බැංකු කුඩාමූල්‍ය ක්ෂේත්‍රයට මුදල් ණයට දීමේ නිර්ණායක හා කොන්දේසි තදකර ඇති අතර පොලී අනුපාතද ඉහළ දැමීමට සූදානම්වන බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම නිසා අර්බුදකාරී ඉදිරි වර්ෂ දෙක තුළදී කුඩාමුල්‍ය ක්ෂේත්‍රයට දායක ආයතන හා ආයෝජකයන්ගෙන් ගලා එන මුදල් ප්‍රමාණය දිළිඳුකම දුරැලීම සඳහා ඔවුන් තුළ ඇති ඕනෑකම හා කැපවීම මැණ බැලීමේ අනඟි මිණුම් දණ්ඩක්වනු නොඅනුමානය.
මුලාශ්‍ර:
http://www.cgap.org/gm/document-1.9.6306/Regional%20Snapshots%20-%20SAR%20-%207Nov08.pdf
http://www.manchestereveningnews.co.uk/news/s/1086024_worlds_poorest_hit_by_credit_crunch
කුඩාමූල්‍යකරණ ආයතනවල සේවාලාභී දිළිඳු පුද්ගලයින් ආරක්ෂාකර ගැනීමේ මූලධර්ම පද්ධතියකට මුලපිරීමක්
Investors agree on a set of Client Protection Principles to be adhered by MFIs
කුඩාමූල්‍යකරණ ආයතනවලින් සේවා ලබාගන්නා අඩු ආදායම්ලාභි ගණුදෙනුකරුවන්ට සාධාරණ ලෙස සැළකීමත් එවැනි මුල්‍ය සේවා මගින් ඔවුන්ට සිදුවියහැකි හානි වළක්වා ගැනීමටත් තුඩුදෙන අන්දමේ ‘ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ මූලධර්ම පද්ධතියකට’ (Client Protection Principles) එළඹීමට කුඩාමුල්‍යකරණ ආයෝජක ආයතන 35 ක් එකඟතාවය පළකරමින් ගිවිසුමකට එළඹී ඇත. ගණුදෙනුකරුවන්ට සැළකීම සම්බන්ධයෙන් කුඩාමුල්‍යකරණ අංශයේ එතරම් ගැටළු ඇති බවට සාක්ෂි නැතත් ඉතා සිඝ්‍රයෙන් ප්‍රසාරණයවන මෙම කුඩාමූල්‍යසේවා පද්ධතියෙන් ප්‍රතිලාභ ලබන දිළිඳු හා අවදානමට ලක්විය හැකි (vulnerable) ගණුදෙනුකරුවන් ආරක්ෂාකරගැනීමේ මූලික පියවරක් ලෙස මෙවැනි මූලධර්ම පද්ධතියක් කෙරෙහි යොමුවීමට සිදුව ඇත. එළඹගත් මෙම ගිවිසුමට අනුව ප්‍රධාන මූලධර්ම 6 ක් ආරක්ෂා කිරිමට මෙම ආයෝජක ආයතන අපේක්ෂා කරයි. ඒවා නම්:
අ) ණයගැනුම්කරුවන්ට ණය නිකුත් කිරීමට පෙර එම ණය ගෙවිම සඳහා ඔවුන්ට හැකියාව ඇත්දැයි විපරම් කිරීමෙන් පසුව පමණක් ණය නිකුත් කරනු ඇත. මේ මගින් අනවශ්‍ය ලෙස ඔවුන් ණයබරට තල්ලුවීම වැළකෙනු ඇත. මීට අමතරව රක්ෂණය වැනි මූල්‍ය නොවන සේවා අඩු ආදායම්ලාභීන්ට සැපයීමේදී නිශ්චිතවම ඔවුන්ට අදාළ හා අවශ්‍යවන සේවා පමණක් සැපයීමට සැළකිලිමත්වනු ඇත.
ආ) ණයගැනුම්කරුවන් විසින් ගෙවියයුතු පොළී අනුපාත, රක්ෂණ වාරික සහ වෙනත් ගෙවීම් (fees) වැනි දෑ ඉතාමත් පැහැදිළි හා විනිවිදභාවයෙන් යුතුව ණය නිකුත් කිරිමට පෙර ඔවුන්ට වටහා දිය යුතුය.
ඇ) ණයගෙවීම් එකතුකිරීමේදී ණයකරුවන්ට අපවාදාත්මක (abusive) හෝ බලකිරීම් (coercive) ස්වරූපයෙන් ක්‍රියා නොකරනු ඇත.
ඈ) කුඩාමුල්‍යකරණ ආයතනවල සේවකයන් ණයලාභීන් සමග ගණුදෙනු කරන අවස්ථාවන්හිදී ආචාරශීලිවිය යුතු අතර, වංචා හා දූෂණ හෝ වෙනත් කරුණු නිසා ණයලාභින්ට සිදුවන අකටයුතුකම් (mistreatment) වැළැක්විමට පියවරගනු ඇත.
ඉ) ගණුදෙනුකරුවන්ට පැනනඟින ගැටළු හෝ ඔවුන්ගෙන් එල්ලවන චෝදනා හැකි ඉක්මණින් දැනගැණීමේ සහ ඒවාට නිසි විසඳුම් ලබාදීමේ යාන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් සැලසෙනු ඇත.
ඊ) කුඩාමූල්‍යකරණ ආයතන විසින් රැස්කරනු ලබන ණයලාභින් පිළිබඳ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අනුදැනීමකින් තොරව වෙනත් කරුනු සඳහා භාවිතා කිරීමෙන් වැළකෙනු ඇත.
මෙම ‘ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ මූලධර්ම පද්ධතියකට’ එකඟවු කුඩාමූල්‍යකරණ ආයෝජක ආයතන 35 වන්නේ:
- Aavishkaar Goodwell India Microfinance Development Company Ltd and Goodwell Microfinance Development Company B.V.
- ACCION Gateway Fund and ACCION Investments
- Aga Khan Agency for Microfinance
- Belgian Investment Company for Developing Countries SA/NV (BIO)
- Calvert Foundation
- CHF International
- Citigroup
- Co-Operative Bank (UK)
- Deutsche Bank
- Developing World Markets
- Development Finance Equity Partners
- European Bank for Reconstruction and Development (EBRD)
- European Fund for Southeast Europe (EFSE)
- FINCA International, Inc.
- FMO
- Global Microfinance Group SA
- Grassroots Capital Partners
- INCOFIN
- Inter-American Development Bank/Multilateral Investment Fund
- KfW
- Kiva
- LocFund
- MEDA/Sarona Fund
- Mercy Corps
- MicroCredit Enterprises
- Microfinance Development Company B.V.
- MicroPlace
- Oikocredit
- Opportunity International and Opportunity Transformation Investments
- responsibility
- ShoreCap Management/ShoreCap International
- Triodos Investment Management B.V.
- Triple Jump
- VisionFund International - the microfinance subsidiary of World Vision
- Women’s World Banking Microfinance Equity Fund
මෙම ආයෝජක ආයතන විසින් ඉදිරියේදී කුඩාමූල්‍යකරණ ආයතනවලට මුදල් ආයෝජන ලබාදීමට පෙර හා ඉන්පසුව සිදුකරන විපරම් ක්‍රියාවලිය මගින් මෙම මූල ධර්ම ආරක්ෂා වන්නේදැයි සොයා බලනු ඇත. එහෙත් මෙම මුලධර්ම හරියාකාරව පිළිපැදීමේ වගකීම සත්‍ය වශයෙන්ම රැඳී ඇත්තේ කුඩාමුල්‍යකරණ ආයතන මතය.
කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයට මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස සැලකිය හැක්කේ සමාජ අරමුණුවලින් බැහැරව හුදු ලාභ ලැබීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන කුඩාමුල්‍යකරණයට පිවිසීමේ ව්‍යාපාරික ප්‍රවනතාවයක් මෙම ක්ෂේත්‍රයතුළ ඉස්මතුවෙමින් පවතින නිසාය. එපමණක්ද නොව ගණුදෙනුකරුවන් හා පාරිභෝගිකයින් සූරාකමින් ලාභ උපයා ඉන්පසුව සමාජ වගකීම් රැකීමේ ව්‍යාපාරික ප්‍රයත්න (CSR initiatives) වෙනුවට සමාජ ආචාර ධර්ම කුඩාමූල්‍යකරණ ක්‍රියාවලිය තුලටම අන්තර්ගත කිරිමේ මෙම උත්සාහය සියළුම ව්‍යාපාරික අංශ සඳහා හොඳ ආදර්ශයක්දවනු ඇත.
මූලාශ්‍රය: www.cgap.org/p/site/c/template.rc/1.26.3701කුඩාමූල්‍යකරණය කවුරුන් සඳහාද?
Microfinance is not a conventional business
කුඩාමුල්‍යකරණයේ පුරෝගාමිකයකු සහ නෝබෙල් ත්‍යාගලාභියකු වන ආචාර්ය මොහොමඩ් යූනුස්ට අනුව කුඩාමූල්‍යකරණ බැංකු මගින් ප්‍රතිලාභ ලැබිය යුත්තේ අන්ත දුප්පතුන් (extreme poor) පමණක්ය. කුඩාමුල්‍යකරණ බැංකු හා සාම්ප්‍රදායික වාණිජ බැංකු අතර ඇති ප්‍රධාන වෙනසද මෙය වන අතර ඒ නිසාම කුඩාමුල්‍යකරණ ආයතන කිසි විටෙකත් සාම්ප්‍රදායික බැංකු සමග තරඟකාරීව ණය දීම නොකළ යුතුය. කුඩාමුල්‍යකරණයේදී ඇපකර (collateral), ඇපකරුවන් (guarantors) හා නීතිඥයින් (lawyers) නොමැතිවීම එම ක්ෂේත්‍රය සාම්ප්‍රදායික බැංකුවලින් වෙනස්වන අනිකුත් ලක්ෂණවේ.
ඔහුගේ මූලිකත්වයෙන් බංග්ලා දේශයේ පිහිටුවන ලද ග්‍රාමීන් බැංකුව මගින් මේවනවිට පුද්ගලයින් මිලියන 8 කට පමණ කුඩාමූල්‍ය පහසුකම් සපයන අතර ඔවුන් අතුරින් 97% ක්ම කාන්තාවන් වේ. ලබාගන්නා ණය ඵලදායි ලෙසින් භාවිතා කිරීමට ඇති අධික කැපවීමත් මනා මූල්‍ය විනයක් තිබීමත් නිසා කුඩාමූල්‍ය ආයතන සැමවිටම ප්‍රමුඛත්වය දිය යුත්තේ කාන්තාවන්ට බව ආචාර්ය යූනුස්ගේ අදහසයි.
බංග්ලාදේශ ග්‍රාමීන් බැංකුවේ අයිතිකාර කොටස්කරුවන් වන්නේද එයින් ණය පහසුකම් ලබාගන්නා දුප්පතුන්ය. ණයදීම සඳහා භාවිතා කරන මුදල් වැඩි කොටසක් ලබාගන්නේද ඔවුන්ගේම ඉතිරි කිරීම්වලිනි. එම නිසාම මිලියන 8 ක් පමණ දුප්පතුන් ග්‍රාමීන් බැංකුවේ අයිතිකරුවන්ය. ආචාර්ය යූනුස්ට අනුව කුඩාමුල්‍යකරණය සඳහා වඩාත් උචිත වන්නේ රටක දේශීය ඉතිරි කිරීම් සහ ආයෝජනයන්ය. එමනිසා අන්තර් ජාතික දායක ආයතන (international donors) කුඩාමුල්‍යකරණ ආයතනවලට මුදල් යෙදවීමෙන් වැළකිය යුතුය යන්න ඔහුගේ අදහසයි.
කුඩාමූල්‍යකරණය මුදල් ඉපයීමේ ව්‍යාපාරයකට වඩා දුප්පතුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ සමාජ ව්‍යාපාරයක් (social business) ලෙස සැළකිය යුතුය. ග්‍රාමීන් බැංකුව 1984 දී ගත් එක් තීරණයක්වූයේ එහි සියළුම කොටස්කාර දුප්පත් පවුල්වල දරුවන් පාසැල් අධයාපනය ලැබිය යුතුය යන්නයි. මේ නිසාවෙන් ආරම්භකරන ලද ශිෂ්‍යත්ව ක්‍රමයක් නිසා අද වනවිට එහි සියළුම සාමාජික දුප්පත් පවුල්වල ළමයින් පාසැල් අධ්‍යපනය ලබනවා පමණක් නොව සමහරුන් විශ්ව විද්‍යාලවල වෛද්‍ය හා ඉංජිනේරු උපාධි පවා හදාරයි.
සිඟමනේ යෙදී සිටිමින්ම යම් වෙළඳාමක් කිරීම සඳහා යාචකයන්ට ණයපහසුකම් සැපයීම ආරම්භකළ ග්‍රාමීන් බැංකුව මේවනවිට යාචකයින් 100,000 කට පමණ ණය ලබාදී ඇති අතර ඔවුන්ගෙන් 10,000 ක් පමණ සිඟමනෙන් ඉවත්වී ඇත.
ආචාර්ය යූනුස් ප්‍රකාශකරන පරිදි බංග්ලාදේශයේ 80% ක් පමණ දුප්පතුන් මේවනවිට කුඩාමුල්‍යකරණ ආයතනවලින් ණය පහසුකම් ලබා ගන්නා අතර 2010 වන විට සියළුම දුප්පතුන්ට ණය පහසුකම් සැපයීම ඔවුන්ගේ අරමුණයි.
ග්‍රාමීන් බැංකුව වැනි කුඩාමුල්‍යකරණ ආයතනවලින් කෙරෙන මෙම මුල්‍ය සේවාවලින් අත්පත්කර ගන්නා ආර්ථික ප්‍රගතිය බංග්ලා දේශයේ දළ ජාතික ආදායම් (GDP) වාර්තාවලින් පිළිබිඹු නොවන්නේ මන්දැයි අසන ප්‍රශ්නයට පිලිතුරු දෙන ආචාර්ය යූනුස් පවසන්නේ එය රජයේ දළ ජාතික ආදායම් වාර්තාකරණ ක්‍රමයේ වැරැද්දක් බවයි.
කුඩාමූල්‍යකරණය වැනි සමාජ ව්‍යාපාර හා සාම්ප්‍රදායික ව්‍යාපාර එකම ගොල්ලක ලා සැළකීමෙන් සිදුවන අගතීන් මගහැරීමට නම් ඒ සඳහා වෙනම ක්‍රමවේදයන් හා යාන්ත්‍රණ තිබිය යුතුය. උදාහරණයක් ලෙස ආචාර්ය යූනුස් පෙන්වාදෙන්නේ සමාජ අරමුණු මත කුඩාමුල්‍යකරණ ආයතනවල ආයෝජනය කරන්නන් උදෙසා වෙනම ‘සමාජ ව්‍යාපාර කොටස් වෙළඳපලක්’ (social stock market) තිබිය යුතු බවයි. එවැනි ආයෝජකයින්හට තොරතුරු දැනගැනීම උදෙසා වෙනම සමාජ ව්‍යාපාරික සඟරාවන් (social business journals) තිබිය යුතුය. එසේ නොමැතිව කුඩාමූල්‍යකරණ ආයතනවල ආයෝජන සහ ලාභාංශ පිලිබඳ තොරතුරු ඇමෙරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) සඟරාවේ පළවන්නේනම් එය කුඩාමුල්‍යකරණය එහි මූලික සමාජ අරමුණුවලින් බැහැරට ගෙනයෑමට හේතුවිය හැක.
මෙම විග්‍රහයට අනුව කුඩාමුල්‍යකරණ ආයතන සමාජ අරමුණුවලින් බැහැරවී හුදෙක් ලාභ ලබන ව්‍යාපාර බවට පත්වෙමින් තිබීමට එක හේතුවක්විය හැක්කේ එවැනි සමාජ ව්‍යාපාර හා සාම්ප්‍රදායික ව්‍යාපාර එක සමාන ලෙසින් සැලකීමේ මුල්‍ය සහ බදු ප්‍රතිපත්ති තිබීම නිසා විය හැක. උදාහරණයක් ලෙස අන්තර් ජාතික අති මහඟු බැංකුවකටත් (international blue chip Bank) ග්‍රාමීය කුඩාමූල්‍ය ආයතනයකටත් එකම අනුපාතයකට වැට් බදු (VAT) ගෙවන්නට වේනම් සමාජ අරමුණුවලින් බැහැරවී අධික පොළී අයකරමින් ව්‍යාපාරිකයින් ලෙස ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් කුඩාමූල්‍යකරණ ආයතනවලට දොස් නැගීමෙන් ඵලක් නොවෙනු ඇත.
මූලාශ්‍ර:
http://www.punchng.com/Articl.aspx?theartic=Art20080825273025
http://www.jamaicaobserver.com/magazines/Business/html/20080612T220000-0500_136683_OBS_CREATING_A_WORLD_WITHOUT__POVERTY___YUNUS__.aspකුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය සමාජ සංවර්ධන අරමුණුවලින් ඈත්වනබවට ඉන්දියාවෙන් ලැබෙන ව්‍යුහාත්මක සාක්ෂිය
The Changing Face of Microfinance in India: Structural evidence to support commercialization of microfinance
දිලිඳුකම දුරැලීමේ මෙවලමක් මෙන්ම ක්‍රමවේදයක් ලෙසද කුඩාමුල්‍යකරණය ලෝකයේ සංවර්ධනයවන හා සංවර්ධිත රටවල් තුළද දැඩි අවධානයකට ලක්වෙමින් පවතී. ආරම්භයේදී ප්‍රජා හා සමාජ සංවර්ධන අරමුණු මුලික කරගත් මෙම ක්‍රමවේදය ක්‍රම ක්‍රමයෙන් වාණිජ හා ලාභ ලැබීමේ අරමුණ කරා යොමුවිමෙන් තිබෙන බවද නොරහසකි. 2006 වර්ෂයේ නෝබෙල් ත්‍යාගය ලැබීමට බංග්ලා දේශ මහචාර්ය මොහොමඩ් යුනුස් සුදුසුකම් ලැබුවේද දිළිඳුකම මැඩලීම සඳහාවූ කුඩාමුල්‍යකරණයේ පුරෝගාමියා ලෙස සැලකූ නිසාය.
කුඩාමුල්‍යකරණයේ සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින පරිණාමයේ ඉතා වැදගත් පැතිකඩක් ඉන්දියානු කුඩාමුල්‍යකරණ ක්‍ෂේත්‍රය තුළින් පිළිබිඹුවෙයි. ඉන්ටෙල්කැප් නමැති කෙටි නාමයෙන් හැඳින්වෙන (Intellectual Capital Advisory Services) පෞද්ගලික උපදේශක සමාගමක් මගින් ඉන්දියානු කුඩමුල්‍යකරණ ක්ෂේත්‍රයේ පසුගිය වසර 5 ක කාලය තුළ සිදුවු වර්ධනයන් පසුබිම්කොට පළකරන ලද වාර්තාවකට (Inverting the Pyramid - The Changing Face of Indian Microfinance) අනුව SHG (Self Help Groups) නමින් ප්‍රචලිත ප්‍රජාමූල කණඩායම් පාදක කරගත් කුඩාමුල්‍යකරණ ක්‍රියාවලිය අභිබවමින් වාණිජ-වෙළඳපල ස්වරූපය ගත් කුඩාමුල්‍යකරණ ආයතන (MFIs) ඉදිරියට ඒමේ ප්‍රවනතාවයක් මෙම අධ්‍යයනය තුළින් ඉස්මතුවේ.
දුප්පතුන්ට සහ වෙනත් අඩු ආදායම්ලාභීන්ට ණය පහසුකම් ලබාදෙන කුඩාමුල්‍යකරණ ක්‍රියාවලිය ඉන්දියාව තුළ ව්‍යුහගත ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් අනුගමනය කරයි.
අ) එයින් වඩාත් සාම්‍ප්‍රදායික සහ බහුලව භාවිතාවූයේ ‘ස්වයං උපකාරක කණ්ඩායම්’ (Self Help Groups) නැතහොත් SHG ලෙස ප්‍රචලිත සාමූහික කණ්ඩායම් ණය ක්‍රමවේදයයි. රාජ්‍ය නොවන සංවීධාන මූලික සමාජ සජීවීකරණ ක්‍රියාදාමයන් (social mobilization process) ඉස්මතුවන මෙම ස්වයං උපකාරක කණ්ඩායම්වල මූලික කාර්යභාරය වන්නේ වඩාත් පුළුල් ප්‍රජා සංවර්ධන මෙහෙවරක් ඉටු කිරීමයි. ඉන්දියාවේ දිළිඳු සහ සමාජීය වශයෙන් කොන්වූ කාන්තාවන්ගේ සමාජ-ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීමටත් සමහර අවස්ථාවලදී ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයට ගෙන ඒමටත් පවා මෙම ස්වයං උපකාරක කණ්ඩායම් ඉවහල්ව ඇත. එවැනි කණ්ඩායම් තුළ කුඩාමූල්‍යකරණය යනු පුළුල් ප්‍රජා සංවර්ධන මෙහෙවර සඳහා භාවිතාවන එක් මෙවලමක් පමණි. ශ්‍රී ලංකාවේද ජනසවිය, සමෟද්ධි සහ ගැමිදිරිය වැනි රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මකවූ සහ ක්‍රියාත්මකවන පුළුල් ග්‍රාමීය සංවර්ධන වැඩසටහණ්වල දක්තට ඇත්තේද මේ හා සමාන ‘කුඩා කණ්ඩායම්’ (small groups) ක්‍රමවේදයයි. මෙම ක්‍රමවේදයේදී සිදුවන්නේ කණ්ඩායම් තුළ කරන ඉතුරු කිරීම්වලට අමතරව වෙනත් රාජ්‍ය හා දායක ආයතනවල සංවර්ධන ව්‍යාපෘති මගින් ලැබෙන ‘චක්‍රීය ණය අරමුදල්’ (revolving loan funds) භාවිතා කොට එහි සාමාජිකයින් ණය ලබාගැනීමයි. මෙසේ සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රජා කණඩායම්වලට ලැබෙණ අරමුදල් බොහෝවිට නැවත නොගෙවන ප්‍රදානයන් (donations) හෝ සහණදායි අඩු පොළී අනුපාතයන් (subsidized interest rates) සහිත ණය වේ.
එවැනි කණ්ඩායම් මගින් සාමාජිකයින්ට ණය දීම හැරුණුකොට තරමක් විශාල ණය පහසුකම් අවශ්‍ය සාමාජිකයින් කණ්ඩායම මගින්ම රාජ්‍ය හෝ වාණිජ බැංකුවලට හඳුන්වාදී එම බැංකුවලින් ඔවුන්ට ණය පහසුකම් ලබා ගැනීමටත් මෙම ස්වයං උපකාරී කණ්ඩායම් තුළ ඉඩ සැලසේ. එම නිසා මෙම SHG ක්‍රමය බොහෝවිට හැඳින්වෙන්නේ අවිධිමත් ප්‍රජා කණ්ඩායම් (informal community groups) ප්‍රධාන බැංකු ප්‍රවාහය (mainstream Banking sector) සමග සම්බන්ධ කිරීමේ ප්‍රයත්නයක් ලෙසය.
ආ) අඩු ආදායම්ලාභීන්ට ණය දීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මකවන දෙවන ක්‍රමවේදය වන්නේ විධිමත් කුඩාමූල්‍යකරණ ආයතනයන් (formal MFIs) මගින් ඍජුවම හෝ කුඩා කණ්ඩායම් මාර්ගයෙන් දිළිඳු පුද්ගලයින්ට ණය නිකුත්කිරීමය. මේවා පෞද්ගලික වාණිජ බැංකු (Private Commercial Banks) හෝ බැංකු නොවන විශේෂිත මුල්‍යායතන (Non-Banking Financial Institutions) හෝ රාජ්‍ය නොවන ආයතන (NGOs) විය හැක. මෙම ක්‍රමවේදයේදී කුඩාමුල්‍යකරණ ආයතනය විශ්වාසය තබන්නේ කුඩා කණ්ඩායම මත නොව ණය ලබා ගන්නා පුද්ගලයා මතය. කුඩා කණ්ඩායම් බොහෝවිට භාවිතාවන්නේ ණය නිකුත්කිරීම හා නැවත අයකිරීම සඳහා වාහකයක් ලෙස පමණි. මෙවැනි විධිමත් කුඩාමුල්‍යකරණ ආයතනවලට බොහෝවිට ණයදීම අරමුදල් ලබාගන්නේ වෙළඳපළ පොළී අනුපාතයන් (market interest rates) මත ලබා ගන්නා ඉතුරු කිරීම් හෝ ණය ලෙසය.
ඉන්දියාවේ කුඩාමුල්‍යකරණ පද්ධතිය පිලිබඳ කරණ ලද ඉහතකී අධ්‍යයනයෙන් පෙනී යන්නේ වඩා ප්‍රචලිතව පැවති සාම්ප්‍රදායික ස්වයං උපකාරක කණඩායම් (SHG) හරහා වාර්ෂිකව නිකුත් කරණ ණය ප්‍රමාණය විධිමත් කුඩාමුල්‍යකරණ ආයතණ හරහා ලබා දෙය ණය ප්‍රමාණයට වඩා ඉදිරියෙන් තිබුණද වාර්ෂික මුළු ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් ස්වයං උපකාරක කණඩායම් (SHG) හරහා නිකුත් කරණ ණය ප්‍රමාණයේ වර්ධන වේගය සාපේක්ෂකව පහළ බසින බවය. උදාහරණයක් ලෙස ගතහොත් 2003 දී ඉන්දියාවේ සියළුම කුඩාමුල්‍යකරණ ආයතනවලින් දුන් ණය ප්‍රමාණයෙන් 71% ක් ස්වයං උපකාරක කණ්ඩායම් (SHG) මගින් ආවරණයවු නමුදු 2007 වනවිට එම දායකත්වය 53% ක් දක්වා අඩුවී ඇත. එම අඩුවීමට සාපේක්ෂකව විධිමත් කුඩාමුල්‍යකරණ ආයතන හරහා නිකුත්කළ ණය ප්‍රමාණයේ දායකත්වය 29% (2003) සිට 47% (2007) දක්වා වැඩිවී ඇත.
වර්ෂය |
ස්වයං උපකාරක කණඩායම් (SHG) ලබාදුන් ණය ප්‍රමාණය |
විධිමත් කුඩාමුල්‍යකරණ ආයතණ ලබාදුන් ණය ප්‍රමාණය |
ඉන්දියාව තුළ කුඩාමුල්‍යකරණ ආයතන ලබාදුන් මුළු ණය ප්‍රමාණය |
2003 |
170 (71%) |
71 (29%) |
241 |
2004 |
328 (68%) |
156 (32%) |
484 |
2005 |
507 (52%) |
467 (48%) |
974 |
2006 |
1236 (56%) |
969 (44%) |
2205 |
2007 |
1946 (53%) |
1729 (47%) |
3675 |
මූලාශ්‍රය: Inverting the Pyramid: The Changing face of the Indian Microfinance (Intellecap)

ඉහත දැක්වූ අන්දමට ඉන්දියානු කුඩාමූල්‍ය ක්ෂේත්‍රය තුළ විධිමත් කුඩාමූල්‍යකරණ ආයතන නිකුත්කරණ වාර්ෂික ණය ප්‍රමාණයේ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස දකින්නේ වාණිජ ස්වරූපයෙන් කුඩාමුල්‍යකරණ ආයතනවලට අරමුදල් සපයන ආයෝජකයින් ස්වයං උපකාරක කණ්ඩායම් (SHG) වැනි මූල්‍ය කළමනාකරණය අතින් අවිධිමත් සහ දුර්වල ව්‍යුහයකට ණය දෙනවාට වඩා ඉතා විධිමත්, මූල්‍ය කළමනාකරණය අතින් ශක්තිමත් සහ ව්‍යාපාරික දැක්මක් ඇති කුඩාමුල්‍යකරණ ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමයි.
සීඝ්‍රයෙන් විකාශයවන්නාවූ කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයේ සිදුවන මෙම ව්‍යුහාත්මක වෙනස්කම (structural change) කුඩාමුල්‍යකරණය සමාජ සංවර්ධන අරමුණුවලින් මෑත්වී ලාභ ඉපයීමේ ව්‍යාපාරික අරමුණු කරා ඇදෙන බවට කදිම සාක්ෂියකි.
ඉන්දියානු කුඩාමූල්‍ය වෙළඳපලෙහි ප්‍රමාණය සහ ඉල්ලුම (පුද්ගලයින් මිලියන 240 ක් හා වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 50 ක් පමණ) දෙස බලනවිට එය මූල්‍ය ආයොජන ව්‍යාපාරිකයින්ට ආකර්ෂණීය තෝතැන්නකි. පසුගිය මාස 12 තුළ පමණක් එවැනි ආයෝජකයින් විසින් ඇ. ඩොලර් මිලියන 50 කට අධික ආයොජනයන් කුඩාමුල්‍යකරණ ආයතන හතරක (4) කර ඇති අතර මෙම ප්‍රවනතාවය සීඝ්‍රයෙන් වර්ධනයවනු ඇතැයි අපේක්ෂා කළ හැක. මෙම ප්‍රවනතාවය තුළ මෙතරම් කලක් ඉන්දියානු ග්‍රාමීය ප්‍රජා සංවර්ධනයේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළ ‘ස්වයං උපකාරක කණ්ඩායම්’ (SHGs) ක්‍රම ක්‍රමයෙන් කුඩාමුල්‍යකරණ සේවාවෙන් කොන්වීයෑමද වැළැක්විය නොහැකිවනු ඇත.
ලාභ අපේක්ෂිත ව්‍යාපාරිකයින් විසින් ව්‍යාපාරික මොඩලයේ කුඩාමුල්‍යකරණ ආයතනවල (Business model MFIs) ආයෝජනය කිරිමේ ඉන්දියානු ප්‍රවනතාවය ශ්‍රී ලංකාවටද බලපානු ඇතැයි විශ්වාස කළ නොහැක්කේ ඉන්දියානු ජනගහණයට සහ එහි දිළිඳු සහ අඩු ආදායම්ලාභීන්ගේ අනුපාතයට සාපේක්ෂකව ශ්‍රී ලංකාවේ කුඩාමුල්‍යකරණ වෙළඳපල ඉතාමත්ම අල්ප එකක්වීම නිසා එවැනි ආයෝජකයින් ශ්‍රී ලංකාව දෙස එතරම් ඇස නොගසන බැවිනි.
මේ නිසාම ශ්‍රී ලංකාවේ කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයට අරමුදල් සපයන්නන් අතර තවමත් ඉදිරියෙන් සිටින්නේ දායක අයතන සහ ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව වැනි අන්තර් ජාතික සංවර්ධන බැංකු පද්ධතියයි. එහෙත් මේවනවිට එම ආයතනද ‘තිරසාර’ (sustainable) ලේබලයට මුවාවෙන් කුඩා මූල්‍යකරණය සඳහා ප්‍රදානයන් (donations) පමණක් නොව සහණදායි පොළී අනුපාත යටතේ පවා අරමුදල් සැපයීමට මැළිකමක් දැක්වීම නිසා අඩු වේගයෙන් වුවද ශ්‍රී ලංකාවේ කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයද ප්‍රජා සංවර්ධනයෙන් ඈත්වී ඉන්දියානු කුඩාමුල්‍ය ක්ෂේත්‍රය යන දිසාවටම යනු ඇත.
මූලාශ්‍ර: http://microfinancegateway.org/content/article/detail/49567
http://microfinancegateway.org/content/article/detail/49609කුඩාමූල්‍යකරණ ආයතන දුප්පතුන්ගෙන් අධික පොළී අය කළ යුත්තේ ඇයි?
Why should MFIs charge high interest rates from the poor?
බංග්ලාදේශ ග්‍රාමින් බැංකුවේ ආරම්භක මොහොමඩ් යූනුස් දුප්පත්කම පිටු දැකීම සඳහා යොදා ගත් ‘කුඩාමුල්‍යකරණ විප්ලවය’ (microfinance revolution) උදෙසා නෝබෙල් සාම ත්‍යාගය ලබා ගනිමින් ඔහුත් කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයත් අත්කරගත් ප්‍රසිද්ධියට නොදෙවෙනි ප්‍රසිද්ධියක් මේවනවිට මෙක්සිකෝවේ කුඩාමූල්‍යකරණ ආයතනයක්වන ‘කොම්පාටමෝස්’ බැංකුව (Compartamos Bank) ලබා සිටී. එයට හේතුවී ඇත්තේ එම බැංකුව අනුගමනය කරණ ‘දුප්පතුන්ට කුඩාමුල්‍යකරණය මගින් වඩා හොඳ සේවයක් ලබා දීමට නම් කුඩා මුල්‍යකරණ ආයතන අධික ලාභ ලැබිය යුතුය’ යන මතභේදාත්මක ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්තිය නිසාත් සහ විශේෂයෙන්ම 2007 අප්‍රියෙල් මාසයේදී කොටස් වෙළඳපල හරහා කරණ ලද කොටස් නිකුතුවක් මගින් ඇ.ඩොලර් බිලියනයක ආයොජනයක් ව්‍යාපාරිකයින්ගෙන් ආකර්ෂණය කර ගැනීම නිසාත් කොම්පාටමෝස් බැංකුවට තදබල ලෙස විවේචන එල්ලවිය. කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය එහි මුලික සමාජ මෙහෙවරින් ඈත් කොට ලාභ ලබන ව්‍යාපාරික දිශාවක් කෙරේ ගෙන යෑමට කොම්පාටමෝස් සිද්ධිය ඉවහල්වනු ඇතැයි විවේචකයින්ගේ මතය විය. මෙම විවේචකයින් අතර ප්‍රමුඛස්ථානය ගෙන සිටියේ නෝබෙල් සාම ත්‍යාගලාභී සහ ග්‍රාමීය බැංකු නායක මොහොමඩ් යූනුස්ය. එහෙත් කොම්පාටමෝස් ප්‍රතිපත්තියට සහය පළකරන බොහෝ කුඩාමුල්‍යකරණ ආයතනද මෙම මතභේදය තුළ ඉස්මතුවන්නට විය. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයකුම වන‘ඇක්සියොන් ඉන්ටනැෂනල්’ (Accion International) ආයතනයයි.
මෙම මතභේදාත්මක තත්වය තුළ බොහෝ කල් නිහඬව සිටි කොම්පාටමෝස් බැංකුව එම නිහඬතාවය බිඳිමින් පිටු 11 ක විවෘත ලිපියක් මගින් තම කුඩාමුල්‍යකරණ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දක්වා ඇත. කොම්පාටමෝස් බැංකුවට මෙවැනි මඟක් ගැනීම සඳහා පාදකවූ කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් ඉස්මතුකර ඇති අතර, අධික ලාභ ලැබීම කෙසේ වෙතත් කුඩාමුල්‍යකරණ ආයතනයක් තුළ තිබිය යුතු ගුණාංග බොහෝමයක් මේ ලිපියේ ගැබ්වී ඇත. මෙම ලිපිය කියවීමට යා යුතු වෙබ් අඩවිය නම්: http://www.microfinancegateway.org/files/49967_file_Alettertoourpeers.pdf
කුඩාමූල්‍යකරණ ආයතනයක් ලෙස කොම්පාටමෝස් බැංකුව විශ්වාසය තබන මූලික කරුණු කිහිපයක් නම්:
- ණයලාභීන් පිලිබඳ විශ්වාසය තැබිය යුතුය
- කුඩාමුල්‍යකරණය තිරසාරවිය යුතුය
- කුඩාමූල්‍යකරණය තුළ විශාල ආර්ථික අගයක් (economic value) ගැබ්වී ඇත
- එවන් ආර්ථික අගයක් ඉස්මතුවන්නේ සමාජ අගයන් (social values) පදනම්කරගෙනය
- දිලිඳුකම දුරැලීම කුඩාමූල්‍යකරණයට පමණක් කළ නොහැකි අතිමහත් කර්තව්‍යයකි
කොම්පාටමෝස් බැංකුව කුඩා ව්‍යවසායකයින්ට කාරක ප්‍රාග්ධනය (working capital) සඳහා ණය ලබාදෙන බව සැබෑය. එහෙත් එහි මුලික අරමුණ වන්නේ මෙතෙක් ණය පහසුකම් ලබා ගත නොහැකිවූ හෝ නොහැකියැයි බැහැරකර සිටි අඩු ආදායම්ලාභී ජන කොටස් සඳහා එම අවස්ථාව පාදා දීමය. කොම්පාටමෝස් පවසන අන්දමට එසේ දුප්පතුන්ට ණය ලබා ගැනීමට නොහැකිවී ඇත්තේ ඔවුන්ගේ වරදක් නිසා නොව විධිමත් මූල්‍ය වෙළඳපලේ අසාර්ථකබව (formal financial market failure) නිසාය. කුඩාමුල්‍යකරණයෙන් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එම මූල්‍ය වෙළඳපල නිරවද්‍ය (correcting the financial market) කිරීමයි.
ඉතා දිළිඳු පුද්ගලයින්ට ණය පහසුකම් සපයන බවට කොම්පාටමොස් බැංකුව උදම් අනන්නේ නැති අතර ණය දීමට පෙර විවිධ ආධාර හා වත්කම් දීමනා (donations and asset transfers) මගින් එවැනි දිළිඳු පුද්ගලයින්ගේ ආර්ථික පලදායීතාවය ඇතිකළ යුතුය යන්න එම බැංකුවේ විශ්වාසයයි.
මූල්‍ය-අතරමැදි සේවාවක් (financial intermediation) යනු යම් පිරිසක් විසින් කරනු ලබන ඉතිරිකිරීම් ණය ලබාදීමට විශ්වාසවත් සහ එම ණය ලාභදායී ලෙස ආයෝජනය කළහැකි තවත් පිරිසකට ලබාදීමේ කාර්ය වන අතර කුඩා මූල්‍යකරණයෙන් සිදුවන්නේද එම කාර්යමය. එම නිසාම හොඳ කුඩාමූල්‍යකරණ ආයතනයක්වීමට නම් එය හොඳ මූල්‍යායතනයක්ද වියයුතුය.
සමාජ සංවර්ධන අරමුණු පෙරදැරිකර ගත් කුඩාමුල්‍යකරණ ක්ෂෙත්‍රයට එයටම සුවිශේෂීවූ ලක්ෂණ තිබිය හැකිමුත් ඕනෑම හොඳ මූල්‍ය ආයතනයක තිබිය යුතු විනිවිදභාවය (transparency), මනා ව්‍යාපාර පාලනය (corporate governance), පලදායි ණය ප්‍රතිපත්ති (credit policies) , නව්‍යකරණය (innovation), කාර්යක්ෂමතාවය (efficiency), වියදම් පාලනය (cost control) සහ ගණදෙනුකරුවන් සඳහා කැපවූ සේවාව (client service) වැනි ඉස්තරම් පරිචයන් (best practices) කුඩාමූල්‍යකරණ ආයතනවලද තිබිය යුතුය.
අඩු ආදායම්ලාභී සහ කුඩා පරිමාණ ආදායම් මාර්ග ඇති අයට සුළු ප්‍රමාණයේ ණය ලබාදීම තරමක් වියදම් අධික ක්‍රියාවකි. ඒ නිසාම වෙනත් මූල්‍යායතන සහ සසඳනකල කුඩාමූල්‍යකරණ ආයතන වැඩි පොලී අනුපාතයන් අයකිරීම සියළුම රටවලට පොදු කරුණකි. මෙයට හේතුව එවන් අඩු ආදායම්ලාභි ණය අපේක්ෂා කරන්නන්ගේ ණය ගෙවීමේ හැකියාව පරීක්ෂාකොට එම ණය නැවත ගෙවිය හැකිබව තහවුරු කිරීම අසීරු කරුණක් වන බැවින් ඒ සඳහා විශාල වෙහෙසක් ගැනීමට සිදුවීම නිසාය. එය එසේ අසීරු වන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග බොහෝ දුරට අවිධිමත් ස්වභාවයක් ඉසිලීමත්, ඔවුන්ට විධිමත් ආර්ථික ක්ෂේත්‍ර තුළ විකල්ප රැකියා මාර්ග නොතිබීමත්, ඔවුන්ගේ ඉඩම් සහ දේපළවල අයිතිය පිළිබඳ පැහැදිළි බවක් නොමැතිවීමත්, එවන් වත්කම් සඳහා මිල නියම කිරීමට අපහසුවීමත්, ඔවුන්ගේ වත්කම්, ආදායම් මාර්ග සහ ණය පිළිබඳ ගැටළු නිරාවරණය කිරීමට නිශ්චිත නෛතික රාමුවක් නොතිබීමත්, ඔවුන් මීට පෙර ලබාගත් ණය නැවත ගෙවීම් පිළිබඳ සාක්ෂි නොමැතිවීමත් (lack of credit history) සහ ඔවුන් පදිංචි ස්ථාන කරා පහසුවෙන් ලඟාවිය නොහැකිවීමත්ය.
මෙම අවාසිදායක තත්වයන් මගහරවා ගෙන අඩු ආදායම්ලාභි ණයලාභීන්ට හොඳ සේවාවක් සැපයීමට කුඩාමූල්‍යකරණ ආයතන විසින් සුවීශේෂි ක්‍රමවේදයක් ගොඩනගාගෙන ඇත. මෙම ක්‍රමවේදයේ විශේෂයෙන්ම අගය කළයුතු කරුණ වන්නේ අදාල ණය අපේක්ෂිත පුද්ගලයාගේ නැවත ගෙවීමේ හැකියාව පිලිබඳ තනි තනිව හෝ නොඑසේ නම් සාමුහික වගකීමක් තහවුරු කරගැනීමයි. බොහෝවිට කුඩාමුල්‍යකරණ ආයතන විශ්වාසය තබන්නේ ණයලාභීයාගේ වචනයට පමණකි. එම නිසා සාර්ථක කුඩාමුල්‍ය ආයතනයක්වීමට නම් කැපවූ ණයලාභීන්ගේ සමාජ ජාලයක් (social network of committed borrowers) හා එම කාර්ය සඳහාම කැපවූ ණය නිලධාරීන්ගේ ජාලයක්ද (network of committed credit officers) තිබිය යුතුය.
අඩු ආදායම්ලාභීන්ට ණය පහසුකම් ලබා දීමේදී කොම්පාටමෝස් බැංකුවට වියදම් දැරීමට සිදුවන කාර්යන් වන්නේ:
- සමාජ සංවර්ධනය වෙනුවෙන් කැපවීමක් ඇති ණය නිලධාරීන් බඳවා ගැනීමත් ඔවුන් පුහුණු කිරීම. එම බැංකුවේ ණය නිලධාරියෙකු විසින් සේවා ආවරණය කෙරෙන ණයලාභීන් සංඛ්‍යාව දළ වශයෙන් 196 කි.
- ණය අවශ්‍ය සහ ණය ප්‍රයෝජනයට ගෙන නැවත ගෙවීමේ හැකියාවක් ඇති අඩු ආදායම්ලාභී කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් කරා ලඟාවීම
- ඔවුන්ගේ ණය අපේක්ෂා කරන ආදායම් උත්පාදන කටයුතුවල මූල්‍ය සහ ආර්ථික ශක්‍යතාවය ණය නිලධාරීන් ලවා ඇගයීම
- කණ්ඩායම්වල සාමූහිකව ක්‍රියාත්මකවීමේ ධාරිතාවය පුහුනුවීම් මගින් ඉහළ නැංවීම
- ණය නිකුත් කිරීම
- ණය නිලධාරීන් මගින් ණයලාභීන් කරා ගොස් පසුවීපරම් කිරීම. ණය නිලධාරියෙකු විසින් සෑම ණය ලාභියෙකුම සතියකට වරක් හමුවිය යුතුය.
- ණයලාභීන්ට ජීවිතාරක්ෂණයක් ලබාගැනීම (නොගෙවනලද ණය ශේෂය සඳහා)
- වෙනත් කාර්යාලීය කටයුතු සඳහා වියදම් දැරීම
කොම්පාටමෝස් බැංකුවේ මෙම ලිපියෙහි සඳහන් සංඛ්‍යාලේඛණ අනුව එහි දැනට ණයලාභීන් ලක්ෂ නවයක් පමණ ඇති අතර එක් ණයලාභියෙකුගේ සාමාන්‍ය ණය ප්‍රමාණය (average loan size) ඇ. ඩොලර් 450 ක් වන අතර වර්ෂයකට එක් ණය ලාභියෙකු සඳහා (ඉහත දැක්වූ වියදම් සඳහා) දරන්නට සිදුවන මුදල ඇ. ඩොලර් 152 කි. ඒ අනුව සෑම ණයක් සඳහාම එම ණය මුදලින් 30% ක පමණ ප්‍රමාණයක් වියදම් කිරීමට සිදුවේ. මෙයින් ගම්‍යවන්නේ වර්ෂයක පොළී අනුපාතය අනිවාර්යයෙන්ම 30% ඉක්මවන බවය. මීට අමතරව කොම්පාටමෝස් බැංකුව විවිධ පෞද්ගලික ආයෝජකයින්ගෙන් ලබා ගන්නා අරමුදල්වලට වාර්ෂික පොලියක් හෝ ලාභාංශද ගෙවිය යුතුය. තවද නොගෙවා අවදානමට ලක්විය හැකි ණය ප්‍රමාණයක් සඳහා ප්‍රතිපාදනයන්ද වෙන් කළ යුතුය. කොම්පාටමෝස් බැංකුවේ මේ සියලු වියදම් සහ අවදානම් හිලව් කරගැනීම සඳහා ණය ලාභීන්ගෙන් අයකරන පොලී අනුපාතය 79% කි.
මෙම පොලී අනුපාතය අධිකයැයි විවේචන එල්ලවුවද කොම්පාටමෝස් බැංකුවේ ලිපියෙහි සඳහන් සංඛ්‍යා ලේඛණ වලට අනුව මෙක්සිකෝවේ කුඩාමුල්‍යකරණ ආයතනවල ණය පොළී අනුපාතයන් 62% ත් 104% අතර පරාසයක තිබෙන නිසා තම බැංකුව 79% ක පොළී අනුපාතයක් ලබා ගැනීමේ වරදක් නැතැයි එම ලිපිය මගින් කොම්පාටමෝස් බැංකුව පැහැදිළි කරයි. එපමණක්ද නොව මෙක්සිකෝවේ වෙනත් කුඩාමුල්‍ය ආයතනවල එක් ණයක සාමාන්‍ය ප්‍රමාණය ඇ. ඩොලර් 1322 ක් වන අතර එක් ණය ලාභියෙකු ආවරණය කිරීමට ඒවාට වැයවන්නේ ඇ. ඩොලර් 176 ක් (13%) පමණකි. එම ණය ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් අඩු ඒක පුද්ගල ණය නිකුත් කරන කම්පාටමෝස් බැංකුවේ එක් ණයක් ආවරණය කිරිමට ණය මුදල මෙන් 30% ක් වැයවන නිසා 79% ක පොලියක් අය කිරීම සාධාරණ බව පෙන්වා දීමටද මෙම ලිපිය මගින් උත්සහ කරයි.
කොම්පාටමෝස් බැංකුවට අනුව මෙක්සිකෝවේ කුඩාමූල්‍යකරණ ආයතනවල අධික පොළී අනුපාතයට තවත් හේතුවක් වන්නේ රටේ ආර්ථිකයට (දළ ජාතික නිෂ්පාදිතයට) සාපේක්ෂකව ඒවායින් නිකුත් කරණ ඒකපුද්ගල ණය ප්‍රමාණය (ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස) අඩු නිසාය. එවන් කුඩා ණය සඳහා සේවා ආවරණය කිරීමට වැඩි වියදමක් දරන්නට සිදුවේ. උදාහරණයක් ලෙස ගතහොත් බැලූ බැල්මට මෙක්සිකෝවේ කුඩාමූල්‍යකරණ ආයතනවල ඒකපුද්ගල ණයක සාමාන්‍ය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ කුඩාමුල්‍ය ආයතනවල එවැනි ණයක සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියැයි පෙණුනද ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මෙක්සිකෝවට වඩා අඩු නිසා එහි සාමාන්‍ය ඒක පුද්ගල කුඩාමූල්‍ය ණයක ප්‍රමාණය මෙක්සිකෝවට සාපේක්ෂව වැඩිය.
|
කුඩාමූල්‍යකරණ ආයතනවල සාමාන්‍ය ඒක පුද්ගල ණයක ප්‍රමාණය (ඇ.ඩොලර්වලින්) |
ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස |
මෙක්සිකෝව |
373 |
5.00% |
කම්පාටමෝස් බැංකුව (මෙක්සිකෝව) |
450 |
5.72% |
ශ්‍රී ලංකාව |
174 |
13.00% |
එහෙත් අධික පොලී අනුපාතයක් අයකිරීම සාධාරණීය කිරීමට කොම්පාටමොස් බැංකුව ඉදිරිපත් කරණ ප්‍රධානම තර්කය වන්නේ ඒ මගින් ලැබෙන අධික ලාභාංශ නිසා වැඩි වැඩියෙන් පෞද්ගලික මූල්‍ය ආයෝජකයින් ආකර්ෂණ කරගත හැකිවීමයි. කොම්පාටමෝස් බැංකුව රාජ්‍ය නොවන ආයතනයක්ව පැවති අවදියේදී අවුරුදු 10 ක් ඇතුලත වර්ධනය කරගත් ණයලාභීන් සංඛ්‍යාව 61,000 ක් පමණවන අතර වාණිජ බැංකුවක් ලෙස ක්‍රියාත්මකවී වර්ෂ 7 ක් තුළදී ණයලාභීන් සංඛ්‍යාව 800,000 ක් දක්වා වර්ධනය වු අතර බැංකුවේ වාර්ෂික වත්කම් වර්ධනය දළ වශයෙන් 50% ක් විය. මෙහි රහස වන්නේ අධික පොලී අනුපාතය නිසා වැඩි ලාභාංශ ලැබෙන බැවින් විවිධ පෞද්ගලික ආයොජකයින් කොම්පාටමෝස් තුළ මුදල් ආයෝජනය කිරීමයි.
මේ පිලිබඳව උදම් අනන කොම්පාටමෝස් පවසන්නේ එසේ නොමැතිව අඩු පොළියට ණය ලබාදුණහොත් එවන් ආයතන තුළ ආයෝජනය කරන්නන් නොමැතිවීම නිසා කුඩාමුල්‍යකරණ ආයතන මගින් ණය ලබාදිය හැකිවන්නේ ඉතාමත්ම සුළු අඩු ආදායම්ලාභී පිරිසකට බවය. කුඩා මුල්‍යකරණ ක්ෂේත්‍රය පසුගිය අවුරුදු 20 තුළ ලබාගෙන ඇති ප්‍රගතිය කෙතරම්වුවද සීගැප් (CGAP) වැනි ආයතනවල ඇස්තමේන්තුවලට අනුව සියළුම රටවල්වල ණය ලබා ගැනීමට සුදුසුකම් ඇති අඩු ආදායම් ලාභී සංඛ්‍යාවෙන් මේවන විට කුඩාමූල්‍යකරණ ආයතනවලින් ණය ලබාගන්නේ 4% කට අඩු පිරිසක් පමණි. එම නිසා කොම්පාටමෝස් බැංකුවට අනුව ලෝකයේ දිළිඳුකම දුරැලීමට නම් මේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිකළ යුතු අතර එසේ කිරීමට නම් කුඩා මුල්‍යකරණ ආයතන අනිවාර්යෙන්ම වැඩි ලාභ උපයා ගැනීම තුළින් ආයෝජකයින් ආකර්ෂණය කරගත යුතුය. එසේ නොවුණහොත් කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය මගින් දිළිඳුකම දුරැලීම සඳහා දෙනු ලබන දායකත්වය වැදගැම්මකට නොමැති තත්වයක පවතිනු ඇත.
දේශ සීමා ඉක්මවමින් වාණිජකරණයවන රාජ්‍ය නොවන කුඩාමූල්‍යකරණ ආයතන
Microfinance NGOs going global for commercial lending
දශක දෙක තුනකට පෙර දිළිඳුකම දුරැලීමේ උපාය මාර්ගයක් ලෙසින් ආසියාණු සහ ලතින් ඇමෙරිකාණු රටවල් කිහිපයකින් ආරම්භවූ කුඩාමූල්‍යකරණය (microfinance) අද වනවිට අතිමහත් මූල්‍ය ව්‍යාපාරයක් ලෙසින් සංවර්ධනයවෙමින් පවතින සහ සංවර්ධනයවූ රටවල් තුළ එක ලෙසින් ප්‍රචලිතවෙමින් පවතී. දායක ආයතන (donor agencies) කිහිපයක මූල්‍ය අනුග්‍රහය ලබා ගනිමින් ණය අපේක්ෂා කරණ දිළින්දන් කුඩා කණ්ඩායම් ලෙස සජීවිකරණය කිරීමෙන් කුඩාමූල්‍යකරණයට පිවිසි බංග්ලාදේශය වැනි සංවර්ධනයවෙමින් පවතින රටවල්වල රාජ්‍ය නොවන කුඩාමූල්‍යකරණ ආයතන මේවනවිට තම රටවල්වල දේශ සීමා ඉක්මවමින් ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල්වල දුප්පතුන්ට පවා ණය දීමට තරම් එඩිතරවී ඇත. මේ සදහා හොඳම උදාහරණයවන්නේ ඇමෙරිකාවේ දුප්පතුන්ට ණය දීම සඳහා බංග්ලා දේශයේ ග්‍රාමීන් බැංකුව මෑතකදී නිව්යෝක් නගරයේ ශාඛාවක් පිහිටුවීමයි.
කුඩාමූල්‍යකරණයේ මෙම වර්තමාන ගෝලීය ප්‍රසාරණය පිටුපස සිටින්නේ ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාරයක් ලෙසින් ඒ තුල මුදල් ආයෝජනය කිරිමට පෙළඹී සිටින පෞද්ගලික ආයෝජකයින් වන අතර කුඩාමූල්‍යකරණය තුළ ඔවුන්ගේ මූල්‍ය දායකත්වය සාම්ප්‍රදායික දායක ආයතනවල දායකත්වයද ඉක්මවීමට සමත්වී ඇත.
ලෝක බැංකුවට අනුබද්ධිත ‘සීගැප්’ (CGAP) ආයතනය විසින් මෑතකදී නිකුත්කර ඇති වාර්තාවකට අනුව සංවර්ධනය රටවල ඇති කුඩාමූල්‍යකරණ ආයතනයන්වල සිදුවූ විදේශ ආයෝජන ප්‍රමාණය 2004 සහ 2007 කාලය තුළදී 400%කින් පමණ වැඩීවී ඇති අතර මේවනවිට එසේ ආයෝජනය කර ඇති මුළු ප්‍රමාණය ඩොලර් බිලියන 5.7 ක් පමණවේ. එහෙත් මෙම වාර්තාවේ විශේෂත්වය වන්නේ මෙම ආයෝජන බොහෝමයක් සමාජ සංවර්ධනය අපේක්ෂාවන් කළ ඒවා බව හුවා දැක්වීමයි.
කුඩාමුල්‍යකරණ ආයතන ඉලක්කකර ගත් වාණිජ ආයෝජන අරමුදල් (Commercial Investment Funds) 93 ක් විවිධ රටවල දැනට ක්‍රියාත්මකවන අතර මෙයින් 53 ක්ම 2005ට පසුව පිහිටුවීම මගින් මෙම කුඩා මුල්‍යකරණ ක්ෂේත්‍රයේ වාණිජ ප්‍රගමනය මනාව පිළිබිඹු කරයි.
මේ කුඩාමුල්‍යකරණ ආයෝජන ව්‍යාපාරයට මෑතකදීම එකතුවී ඇත්තේද බංග්ලා දේශයේ ස්‍රප්‍රකට කුඩා මුල්‍යකරණ ආයතනයක් වන ‘ආසා’ (ASA) නම් රාජ්‍ය නොවන ආයතනයයි. 2007 දෙසැම්බර් මස අන්තර්ජාතික ෆෝබ්ස් සඟරාව මගින් කරණ ලැබූ ශ්‍රේණිගත කිරීමට අනුව ‘ආසා’ ආයතනය ලෝකයේ විශිෂ්ඨම කුඩා මුල්‍යකරණ ආයතනය බවට පත්විය. මේවන විට එය බංග්ලා දේශයේ විශාලතම කුඩාමුල්‍යකරණ ආයතනයක් බවට පරිවර්තනයවී ඇතිවා පමණක් නොව ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඝානාව, ඉන්දියාව, පකිස්ථානය හා පිලිපීනය වැනි සංවර්ධනයවෙමින් පවතින රටවල් කිහිපයක් තුළ පවා කුඩාමුල්‍යකරණ කටයුතුද අරඹා ඇත.
එහි නවතම ප්‍රයත්නයවී ඇත්‍තේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරය කේන්ද්‍රකර ගනිමින් ‘ආසා අන්තර්ජාතික මූල්‍ය සමූහය’ (ASA international Holdings) නමැති මූල්‍ය ආයෝජන සමාගමක් පිහිටුවාගැනීමයි. දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක පමණ කොටස් ප්‍රාග්ධනයක් ගොඩනගා ඇති මෙම මූල්‍ය ආයතනයේ එක් කොටස්කරුවකුවන්නේ බිල් ගේට්ස් පදනම (Bill Gates Foundation) වන අතර ඇමෙරිකානු හා නෙදර්ලන්ත මූල්‍ය ආයතන කිහිපයක්ද මෙහි කොටස් ආයෝජනය කර ඇත.
බංග්ලා දේශයට අමතරව තවත් රටවල් 12 ක පමණ ඇති කුඩාමූල්‍යකරණ ආයතන හරහා දුප්පතුන් මිලියන 5 කට පමණ කුඩා ණය පහසුකම් සැපයීමට මෙම ආයෝජන සමාගම බලාපොරොත්තුවන අතර එහි සභාපතිවරයාට අනුව කොටස්කරුවන් සඳහා ලාභාංශ බෙදීමට බලාපොරොත්තුවන්නේ අවුරුදු 8 කට පසුවය. ‘ආසා’ ආයතනයේ මෙම ව්‍යාපාරික කුඩාමූල්‍යකරණ ආයෝජන මොඩලය (Commercial microfinance investment model) පහත දැක්වෙන රූප සටහණින් පෙන්නුම් කළ හැක.

මෙලෙස ලාභ අපේක්ෂිත ප්‍රාග්ධන ආයෝජකයින්ගේ මුදල් දුප්පතුන් උදෙසා ණය ලෙසින් භාවිතා කිරීමට සැලැස්වීමේදී එම ක්‍රියාවලිය ඒ පිටුපස සිටින රාජ්‍ය නොවන (කුඩාමුල්‍යකරණ) ආයතන සැලකිළිමත්විය යුත්තේ ලාභාංශවලට අමතරව මෙම ක්‍රියාවලිය තුළින් දිලිඳුකම පිටු දැකීමේ සමාජ අරමුණුද ලඟාකරගැනීමටය. එසේ නොවී එම ක්‍රියාවලිය මගින් ලාභාංශ පමණක් ලඟා කරගැනීමට අදහස් කරන්නේ නම් මෙම මොඩලය තුළ රාජ්‍ය නොවන ආයතනයේ කාර්යභාරය වාණිජ බැංකු පද්ධතිය මගින් ආදේශවීම නුදුරු අනාගතයේදී දැකිය හැකිවනු ඇත.
ව්‍යපාරීකරණය නිසා මූලික මෙහෙවරෙන් බැහැරවන කුඩාමුල්‍යකරණය
Is commercialization drifting microfinance away from its original mission?
දුප්පතුන්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබෙන කුඩාමූල්‍යකරණ සංකල්පය ලොව පුරා සීඝ්‍රව වර්ධනයවෙමින් පවතී. ප්‍රජා සංවර්ධන අරමුණු කේන්ද්‍රකරගනිමින් සංවර්ධනයවෙමින් පවතින රටවල්වල රාජ්‍ය නොවන ආයතන මගින් ආරම්භකළ කුඩාමුල්‍යකරණය මේවනවිට ලාභ ලබන ව්‍යාපාරික මුල්‍ය සේවාවක් ලෙසින් ලෝකයේ අති දැවැන්ත වාණිජ බැංකු සහ මුල්‍යායතන අතරද ව්‍යාප්ත වෙමින් පවතී. එපමණක්ද නොව කුඩාමුල්‍යකරණය සංවර්ධන මෙවලමක් ලෙසින් භාවිතාකළ රාජ්‍ය නොවන ආයතන පවා ව්‍යාපාරික මූල්‍ය සමාගම් බවට පරිවර්තනයවීමේ ප්‍රවනතාවයක්ද පෙන්නුම් කරයි. කුඩාමුල්‍යකරණය තම මූල්‍ය ව්‍යාපාරවල මූලිකාංගයක් බවට පත් කර ගත් අන්තර්ජාතික බැංකු අතර සිටි බැංකුව (Citi Bank), හොංකොං සහ ෂැන්හයි බැංකුව (Hong Kong and Shanghai Bank) සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) ඉදිරියෙන් සිටී. කුඩා මුල්‍යකරණය ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දීම සඳහා අන්තර් ජාතික දායක ආයතනද (donor agencies) සිදු කරන්නේ විශාල මෙහෙවරකි. මේ සඳහා ආසන්නම උදාහරණවන්නේ ලෝක බැංකුව විසින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ කුඩා මූල්‍යකරණ වැඩ සටහන සඳහා ඇ. ඩොලර් මිලියන 48 ක මුදලක් ලබා දීමත් සහ ශ්‍රී ලංකාවේ LOLC සමාගමේ කුඩා මුල්‍යකරණ වැඩසටහණ ශක්තිමත් කිරිම සඳහා ජර්මාණු සංවර්ධන සහයෝගිතා ආයතනයෙන් (GTZ) මැතකදී ලබා දුන් ආධාරයත්ය.
කුඩා මුල්‍යකරණය මෙලෙසින් ප්‍රධාන බැංකු ප්‍රවාහයට ඇතුලත්වීම (mainstreaming to Banking sector) පිලිබඳ විවාදාත්මක පසුබිමක් නිර්මාණයවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහට ලක්වන්නේ ‘ව්‍යාපාරිකරණයවූ කුඩා මුල්‍යකරණය’ දුප්පතුන්ට සහ කාන්තාවන්ට ණය දීම වැනි මූලික කුඩා මූල්‍යකරණ සංවර්ධන අරමුණුවලින් බැහැරවීමේ ලක්ෂණ පෙන්වීමයි. මේ නිසා තම ණයලාභීන් අතර දරිද්‍රතා රේඛාවට පහළ (below poverty line) සිටින දුප්පතුන් හා ඒ අතරත් කාන්තාවන්ද වැඩි ප්‍රතිශතයක් සිටින බවත්, සාමාන්‍ය ණයක ප්‍රමාණය (average loan size) එවන් දුප්පතුන්ට ගැලපෙන අන්දමින් අඩු මට්ටමකින් ඇතිබවටත් තහවුරු කිරීම කුඩා මුල්‍යකරණ ආයතනවලින් අපේක්ෂා කිරිම යුක්ති සහගතය.
වාණිජකරණය වීමෙන් පසු කුඩා මුල්‍යකරණය එහි මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ගැටළුව විමසා බැලීම සඳහා ‘විමෙන්ස් වර්ල්ඩ් බෑන්කින්’ (Women’s World Banking – WWB) නමැති කුඩා මුල්‍යකරණ ආයතන ජාලය (Net work of microfinance organizations) විසින් කරණ ලද අධ්‍යයනයක් මගින් මේ පිළිබඳ මතුවී ඇති බිය බොහෝ දුරට තහවුරු කරයි. මෙම අධ්‍යයනයේදී ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව වැනි කලාපවල රටවල් කිහිපයක රාජ්‍ය නොවන කුඩා මූල්‍යකරණ ආයතන ලෙස ක්‍රියාත්මකවී පසුව වාණිජ සමාගම් බවට පරිවර්තනයවූ ආයතන 27 ක් සහ රාජ්‍ය නොවන කුඩා මුල්‍යකරණ ආයතන ලෙස නෙකඩවා ක්‍රියාත්කමකවන ආයතන 25 ක පසුගිය වර්ෂ 5 තුළ තොරතුරු සංසන්දනාත්මක ගවේෂණයකට භාජනය කොට ඇත. මෙම අධ්‍යයනයේදී ඉස්මතුවන ප්‍රධාන කරුණු හතරක් වන්නේ:
- ඉතිරි කිරිම් ප්‍රවර්ධනයේදී වාණිජ සමාගම් රාජ්‍ය නොවන ආයතනවලට වඩා ඉදිරියෙන් සිටී. වානිජ සමාගම්වල දළ ණය කළඹෙන් (gross loan portfolio) 45% ක් ඉතිරිකිරීම් වන අතර, රාජ්‍ය නොවන ආයතනවල එම ප්‍රමාණය 28% කි. (සමහර රටවල පවතින මුල්‍ය රෙකුලාසි රාජ්‍ය නොවන ආයතන විසින් ඉතිරි කිරිම් ප්‍රවර්ධනය සඳහා අනුබල නොදීම මෙයට එක් හේතුවක් විය හැක).
- වර්ෂ 5 ක් තුළදී වාණිජ සමාගම්වල සක්‍රිය ණයලාභීන්ගේ සංඛ්‍යාව 30% කින් වර්ධනයවු අතර රාජ්‍ය නොවන ආයතනවල සක්‍රිය ණයලාභීන්ගේ සංඛ්‍යාව වර්ධනයවී ඇත්තේ 15%කින් පමණි.
- වාණිජ සමාගම් බවට පත්වූ කුඩා මූල්‍යකරණ ආයතනවල කාන්තා ණයලාභීන්ගේ ප්‍රතිශතය වර්ෂ 5 ක් තුළදී 88% සිට 60% දක්වා පහත බැස ඇත.
- වාණිජ සමාගම් බවට පත්වූ ආයතනවල සාමාන්‍ය ණයක ප්‍රමාණය (average loan size) රාජ්‍ය නොවන කුඩාමූල්‍යකරණ ආයතනවල සාමාන්‍ය ණය ප්‍රමාණය මෙන් දෙගුණයකින් හෝ තුන්ගුණයකින් වැඩිය.
මෙම කරුණුවලින් පැහැදිළි වන්නේ ඉතිරි කිරීම් සහ ණය දීම් වැනි මුල්‍ය සේවා පුළුල් කිරීමේදී වාණිජ කුඩාමූල්‍යකරණ ආයතන රාජ්‍ය නොවන ආයතනවලට වඩා වැඩි මෙහෙවරක් ඉටු කරන බවය. ජාතික ආර්ථික වර්ධනයට එය ඉමහත් රුකුලක් වන නමුදු දුප්පතුන් සහ කාන්තාවන් වැනි සංවර්ධනය කළ යුතු ප්‍රජා කොටස්වලින් බැහැරවීම වාණිජ ආයතනවල එරෙහිව පැන නැගෙන විවේචනයවී ඇත. බොහෝ දායක ආයතන (donor agencies) කුඩාමුල්‍යකරණය සඳහා මුදල් වෙන් කරන්නේ ‘දුප්පතුන් සඳහා’ බැවින් එම මුදල් ලබා ගන්නා වාණිජ කුඩාමූල්‍යකරණ ආයතන දුප්පතුන් නොවන අයට එමගින් මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳ කරණ විවේචනය නම් සාධාරණය.
මූලාශ්‍රය: www.time.com/time/world/article/0,8599,1731718,00.html




