සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

කුඩා මුල්‍යකරණ ආයතනවලට අනවශ්‍ය බරක් විය හැකි සමාජ කාර්යඵල සාධන ඇගයීම (Social Performance Evaluation – priority or burden for MFIs)

මෑතක් දක්වා කුඩා මූල්‍යකරණ ආයතන (microfinance institutions) අවධානය දැක්වූ මූලික අරමුණ වන්නේ මූල්‍ය තිරසාරභාවය ආරක්ෂා කරගනිමින් දිළිඳු ප්‍රජාවන්ට ණය පහසුකම් සැපයීමය. එහෙත් මෑතක සිට, දායක ආයතන මගින් ණය පහසුකම් ලබාගැනිමට පෙර කුඩා මූල්‍යකරණ ආයතන විසින් තම ආයතනවල සමාජ කාර්යඵල සාධනයද  (social performance) යහපත් මට්ටමකින් තිබිය යුතු බව සනාථ කිරීම කොන්දේසියක් බවට පත්වන ප්‍රවනතාවයක් දැකිය හැක. මෙම සමාජ කාර්යඵල සාධන සංකල්පයේ වැදගත්කම සනාථ කරමින් 2005 වර්ෂයේදී ලොක බැංකුවට අනුබද්ධිත සීගැප් (CGAP) ආයතනය (www.cgap.org), ෆෝඩ් පදනම (www.fordfound.org) සහ ආගිඩියස් පදනම (www.argidius.com) එක්ව කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ කාර්යඵල සාධනය ප්‍රවර්ධනය උදෙසා කැපවූ සමාජ කාර්යඵල සාධන කාර්ය සාධක කමිටුවක් ද (social performance task force) පිහිටුවන ලදී.  මෙම කමිටුවේ අරමුණු වන්නේ:

  • කුඩා මූල්‍යකරණ ආයතන සඳහා පොදුවේ භාවිතා කළ හැකි සමාජ කාර්යඵල සාධන ඇගයීමේ රාමුවක් (social performance framework) නිර්මානය කිරීමත්,
  • සමාජ කාර්යඵල සාධන සංකල්පය කුඩා මූල්‍යකරණ අංශයේ ඉදිරියට ගෙන යෑමත්ය.

මීට අමතරව සීගැප් ආයතනයද මේ සඳහාම වෙන්වූ ක්‍රියාකාරී කණඩායමක් (working group) 2006 වර්ෂයේ පිහිටුවන ලදී. මෙම කණ්ඩායම කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකරයි.

  • සමාජ කාර්යඵල සාධනය ප්‍රවර්ධනය සඳහා කුඩා මූල්‍යකරණ ආයතන අනුගමනය කළ යුතු උපාය මාර්ග,  සමාජ කාර්යඵල සාධනය  මිණිම සඳහා අවශ්‍ය සරල දර්ශක සහ කාර්යඵල සාධන ප්‍රගතිය වාර්තා කිරිමේ ක්‍රමයන් පිළිබඳ ලොව පූරා කුඩා මූල්‍යකරණ ආයතනවල පොදු එකඟතාවයක් ‍ගොඩ නැගීම
  • කුඩා මූල්‍යකරණ ආයතනතුළ සමාජ කාර්යඵල සාධන සංකල්පය සහ ක්‍රමවේදය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය දැණුම සහ ආයතනික ධාරිතාවය ගොඩනැඟීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම

සමාජ කාර්යඵල සාධනය (Social Performance) යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?

දායක ආයතන මගින් පිහිටුවන ලද සමාජ කාර්යඵල සාධන කාර්ය සාධක කමිටුවේ (social performance task force) අර්ථ කථනයට අනුව කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ කාර්යඵල සෘධනය  යනුවෙන් අදහස් වන්නේ:

“වැඩි සමාජ වගවීමක්, සේවා ලාභීන්ට වැඩි වාසි අත්පත්වීමක්, මූල්‍ය සේවාවල යෝග්‍යතාවයේ සහ ගුණාත්මක භාවයේ වැඩිවීමක් සහ දිළිඳු පුද්ගලයින් විශාල සංඛ්‍යාවකට මූල්‍ය පහසුකම් සැපයීමක් උදෙසා ආයතනික සමාජ මෙහෙවර (institutional social mission) ක්‍රියාවට නැංවීමට ඇති හැකියාවයි. “ මේ පිළිබඳ තවත් තොරතරු www.microfinancegateway.com වෙබ් අඩවියෙන් ලබාගත හැක.

කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ කාර්යඵල සාධනය ඇගයිමේ විශේෂත්වය කුමක්ද?
What is special about Social Performance Evaluation in MFIs?

සාම්ප්‍රදායිකව කුඩා මූල්‍යකරණ ආයතනවල ප්‍රගතිය විමසීමේදී අවධානය යොමු කරන්නේ, දිළිඳු පුද්ගලයින් කී දෙනෙකුට ණය පහසුකම් දුන්නාද? ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය කොපමණද? සහ ණය වැඩ සටහනේ පිරිවැය ආවරනය කිරීමට හැකිවූවාද? වැනි ඍජු ප්‍රතිඵලයන් කෙරෙහිය.

එහෙත් සමාජ කාර්යඵල සාධන සංකල්පය ඉස්මතුවත්ම ඍජු ප්‍රතිඵලයන්ට අමතරව, ණයලාභීන්ගේ ආදායම කෙතරම් ප්‍රතිශතයකින් වැඩිවීද? ණයලාභී දිළිඳු පුද්ගලයින් කී දෙනෙක් දිළිඳුභාවයෙන් මිදුණේද? ණයලාභීන් කී දෙනෙකුගේ නිවාසවල ගුණාත්මක බව වැඩිවීද? ණය ලාභී පවුල්වල ජල සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවිණිද? ආදී සමාජයීය සාධක කෙරෙහිද අවධානය යොමුවන්නට විය.

මෙයින් තවත් ඉදිරියට යන සමාජ කාර්යඵල සාධන සංකල්පය, අවසානයෙහි දැකිය හැකි සමාජ ප්‍රගතියට අමතරව එවන් ප්‍රගතියක් ලබාගැනිමට උචිත අරමූණුවලින් හෙබි නිශ්චිත සමාජ මෙහෙවරක් (specific social mission) සහ එම මෙහෙවර ක්‍රියාවට නැගිය හැකි ආයතනික පද්ධතියක් සහ අධ්‍යක්ෂක / නිලධාරී මණ්ඩලයක් අදාළ කුඩා මුල්‍යකරණ ආයතනයට ඇත්ද?,  මෙහෙවර අරමුණු (mission objectives) දිළිඳුකම තුරන් කිරීම සඳහා කෙසේ ගැලපේද? අරමුණුකරා ලඟාවීමට උපකාරීවිය හැකි ක්‍රියාකාරකම් පෙළක් ආයතනය විසින් හඳුනා ගෙන ඇත්ද? ආයතනයේ ණය ක්‍රම (loan products) ණය ලාභින්ගේ අවශ්‍යතා සමග ගැලපේද? ආදී පුළුල් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකරයි.

සමාජ කාර්යඵල සාධන රාමුව (Social Performance Framework)

ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා සමාජ කාර්යඵල සාධන කාර්ය සාධක කමිටුව කුඩා මූල්‍යකරණ ආයතනවල ප්‍රයොජනය සඳහා ඉවහල් කරගත හැකි අන්දමින් සමාජ කාර්යඵල රාමුවක් නිර්මාණය කර ඇත.

අභිප්‍රාය සහ සැලසුම් (Intent & Design)
ආයතනයේ සමාජ මෙහෙවර කුමක්ද?
එම මෙහෙවර සඳහා වූ නිශ්චිත අරමූණු තිබේද?
එම අරමුණු ලඟා කර ගැනීමට අවශ්‍ය සැලසුම් පද්ධතියක් තිබේද?

ක්‍රියාවන් (Activities)
මෙහෙවර ලඟාකර ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් මොනවාද?

නිමැවුම් ( Outputs)
ආයතනය ඉලක්ක කරන්නේ දිළිඳු අයද? ඉතා දිළිඳු අයද?
ආයතනයේ ණය ක්‍රම ඔවුන්ගේ අවශ්‍යතා හා ගැලපේද?
සේවාලාභී ප්‍රතිචාර්යතාවය (client responsiveness)

අත්විඳිම් (outcomes)
ණයලාභීන් අත්විඳින ආර්ථික සහ සමාජ ප්‍රතිලාභ කවරේද?

මෙම රාමුව තුළින් සමාජ කාර්යඵල සාධනය ඇගයීමට ඉවහල්වන බහුවිධ පැතිකඩ ඉතාමත් මැනවින් විද්‍යාමාන වේ.

දායක ආයතන විසින් කුඩා මුල්‍යකරණ ආයතනවල සමාජ කාර්යඵල සාධනය ඇගයීමකට භාජනය කිරීමේදී ඉහත රාමුවේ දැක්වෙන සියළුම අංග හෝ පැතිකඩ භාවිතා කළ යුතුමයැයි අනිවාර්ය නොවේ. උදාහරණයන්: සීගැප් (CGAP) සහ ‍ෆෝඩ් (Ford) යන දායක ආයතන ඒ සඳහා සැලකිල්ලට ගන්නේ අත්විඳීම් (outcomes) පමණක් වන අතර, සීරයිස් (CERISE) ආයතනය ඇගයීමට භාජනය කරන්නේ අභිප්‍රායන්, ක්‍රියාවන් සහ නිමැවුම් පමණක්ය.

මේවනවිටත් සීගැප් ආයතනය විසින් දායක ආයතනවල භාවිතය සඳහා අවශ්‍ය සමාජ කාර්යඵල සාධනය ඇගයීම් මෙවලමක් (social performance evaluation tool) නිර්මාණය කොට අත්හදා බලා ඇත. මෙම මෙවලම යොදාගනිමින් එක් කුඩා මූල්‍ය ආයතනයක් ඇගයීමට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් පමණ වැය‍වේයැයි ගණන් බලා ඇත.

සමාජ කාර්යඵල සාධනය ඇගයීම පිළිබඳ ගොඩ නැ‍‍ගෙන විරෝධාකල්ප

කුඩා මූල්‍යකරණ ආයතන ඇගයීම සඳහා හඳුන්වාදෙන සමාජ කාර්යඵල සාධන සංකල්පය සිද්ධාන්තමය වශයෙන් ඉතා වැදගත්වුවත් ප්‍රායෝගිකව එම සංකල්පය වැරදි ප්‍රමුඛතාවයකට එළඹෙමින් ඇතිබවක් ‍දක්නට ඇත. මේ පිළිබඳ ඉඟියන් සීගැප් ආයතනයටම අනුබද්ධිත මයික්‍රොෆිනැන්ස් ගෙට්වේ වෙබ් අඩවියත් (www.microfinancegateway.com) එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ වෙබ් අඩවි මූලාශ්‍රයකත් දක්වා ඇත. (www.uncdf.org)

එම විරෝධාකල්ප නම්:

  1. සමාජ කාර්යඵල සාධනය (social performance) යනු ඉතා අපැහැදිළි සහ නිශ්චිතභාවයකින් තොර යෙදුමකි.  ඒ සඳහා විවිධ ආයතන එකිනෙකට හාත්පසින්ම වෙනස් අර්ථ දැක්ව්ම් කරමින් තම ආයතනවල සමාජ මෙහෙවර ප්‍රකාශයන් කෙරෙනු ඇත. එවන් පුළුල් පරාසයක ඇති සමාජ කාර්යඵල සාධන සංකල්පය පටු ඇගයිම් මෙවලමක් මගින් ඇගයීමකට භාජනය කළ හැකිද?


  2. මෙම සංකල්පය ඉතා පුළුල් අරුතක් ගෙන දෙන බැවින් අවිචාරත්මක දායක ආයතන මගින් ඔවුන්ට රිසිසේ සමාජ කාර්යඵල සාධන ඇගයීමේ දර්ශකයන් හඳුන්වාදී ඇගයීම් කිරීමට කුඩා මූල්‍යකරණ ආයතනවලට බලකිරීමට ඉඩ කඩ ඇත.


  3. කුඩා ණය වැඩසටහනක් මගින් සේවාලාභීන් අත්විඳින ශුභවාදී ප්‍රථිපල (impacts) ඇගයීම හොඳටම ප්‍රමාණවත්ය. ඒ හැරුණුකොට එම ප්‍රථිඵල අත්කරදීමට තුඩුදෙන මෙහෙවර ප්‍රකාශය (mission statement) හෝ ඒ සඳහා වන ක්‍රියාකාරකම් ඇගයීම අනවශ්‍ය සහ වැඩි වියදමක් දරන්නට වන ප්‍රයත්නයකි.


  4. සමාජ කාර්යඵල සංකල්පය මෙන්ම කුඩා මූල්‍යකරණ ආයතනවල මෙහෙවර ප්‍රකාශයන්ද (mission statements) පුළුල් සහ විවිධ අරුත් වලින් යුක්තවේ (broad and ambiguous). උදාහරණයක් ලෙස එක් ආයතනයක මෙහෙවර “ දිළිඳු ප්‍රජාවනට උසස් තත්වයේ මූල්‍ය පහසුකම් සැපයීම” වැනි ලුහුඬු සහ නිශ්චිත එකක් විය හැකි වන අතර, තවත් ආයතනයක මෙහෙවර වය හැක්කේ “ආර්ථික සංවර්ධනය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම” වැනි ඉතා වක්‍ර සහ අවිනිශ්චිත අපේක්ෂාවන්ය. එවැනි අපැහැදිළි තත්වයන් තුළ මෙහෙවර ප්‍රකාශ හෝ මෙහෙවර අරමුණු ඇගයීම අපහසු සහ අනවශ්‍ය කාර්යක් වනු ඇත.


  5. සීගැප් ආයතනයේ මූලධර්මවලටම අනුව කුඩා මූල්‍යකරණය වඩා පුළුල් ලෙස දිළිඳු ප්‍රජාවන් කරා ලඟාවීමට නම් එය ජාතික සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොළවල් සමග ඒකාබද්ධ විය යුතුය. මෙවැනි අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමට සමාජ කාර්යඵල සාධන ඇගයීම් සංකල්පය ඉවහල් වන්නේ කෙසේදැයි සැක සහිත වනවා පමණක් නොව එවැන්නක් මගින් මූල්‍ය වෙළඳ පොලෙහි ආයෝජකයින් ඈත්වීමටද ඉඩ ඇත.


  6. කුඩා මූල්‍යකරණ ආයතන දැනටමත් විස්තරාත්මක මූල්‍ය ඇගයීම් වලට භාජනය වන අතර සමාජ කාර්යඵල සාධන ඇගයීම් වැනි තවත් සංකීර්ණ ඇගයීම්වලට එම ආයතන භාජනය කිරීම තරමක් අසාධාරණය යන හැඟීමද මතුවේ. එයට හේතුව වන්නේ වෙනත් සංවර්ධන ව්‍යාපෘති (උදාහරණ: අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි) සඳහා ආධාර ලබා දීමේදී, එසේ ආධාර ලබාගන්නා ආයතනවල සමාජ කාර්ය සාධනය තබා ප්‍රතිලාභින් එම ව්‍යාපෘති වලින් අත්විදින ප්‍රථිපල කෙරෙහිවත් දායක ආයතන වැඩි අවධානයක් නොදැක්වීමයි.