කුඩා මූල්‍යකරණ වැඩ සටහන් සදහා දුප්පතුන් ඉලක්ක කිරීම
කුඩා මූල්‍යකරණයේ දී දුප්පත්කම තක්සේරු කිරීම: ග්‍රාමීන් බැංකු ක්‍රමය
කුඩා මූල්‍යකරණය (microfinance) යන්නේ නිවැරදි මගද? විනාශය කරාද?
කුඩා මූල්‍යකරණ වැඩ සටහන් සදහා දුප්පතුන් ඉලක්ක කිරීම (Targeting the poor for microfinance programmes)
කුඩා ණය දීමේ සේවාවල්වල (microfinance services) ප්‍රධානම ඉලක්කය වන්නේ සාම්ප්‍රදායික බැංකු සේවාවල් වලින් බැහැරවූ අඩු ආදායම් ලාභී දුප්පතුන්ය. මේ නිසාම බොහෝ කුඩා මූල්‍ය ආයතනවල (microfinance institutions) අදහස වන්නේ කුඩා ණය වැඩ සටහන් සදහා දුප්පතුන් තෝරා ගැනීමේදී සක්‍රීය සැලසුමක් (proactive plan) තිබිය යුතුය යන්නයි. එසේ නොවන්නට එවැනි වැඩ සටහන්වලින් වුවද දුප්පතුන් බැහැරවීමට බොහෝ ඉඩකඩ ඇත. එම නිසා දුප්පතුන් කරා ගැඹුරුව ලඟාවීමේ (deep outreach) පරමාර්ථයෙන් හදුන්වාදී ඇති 'ඉලක්ක කිරීමේ මෙවලම්' (targeting tools) කිහිපයක් භාවිතයෙහි පවතී. මේ සදහා යොමුවිය හැකි වෙබ් අඩවි කිහිපයක් ඇත. මින් එක් වැදගත් අඩවියක් නම් http://www.microfinancegateway.com ය. මෙම වෙබ් අඩවියෙහි දුප්පතුන් ඉලක්ක කිරීමේ මෙවලම් 4 ක් විස්තර කරයි. ඒවා නම්:
අ) නිවාස දර්ශකය (Housing Index)
මෙම සරල මෙවලමෙහි පදනම වන්නේ බොහෝ ප්‍රජාවන් තුල නිවාසයක් යන්න ඉතාමත්ම වැදගත් ගෘහස්ථ වත්කමක් ලෙස පිළිබිඹු වීමයි. නිවසක ප්‍රමානය, එය නිමකර ඇති ද්‍රව්‍ය, කාමර ගණන, ජල හා වැසිකිළි පහසුකම් ආදිය සමස්ථයක් ලෙස ගත්විට එය එම ගෘහස්ථයෙහි ආර්ථික තත්වය විද්‍යාමානවන වැදගත් සාක්ෂියකි. ඉන්දියාවේ CASHPOR (Credit and Savings for Hard Core Poor) නමැති ආයතනය මෙම දර්ශකය දියුණු කිරීම සදහා විශාල මෙහෙවරක් කර ඇත.
ක්‍රමවේදය (Methodolgy)
මෙම දර්ශකය භාවිතයෙහිදී අදාල කුඩා ණය ආයතනයෙහි ක්ෂේත්‍ර සේවකයින් පිළවෙලකට ගම හරහා ඇවිදිමින් නිවාස නිරීක්ෂණය කල යුතුය. මෙහිදී නිතැතින්ම විශාල සහ මිල අධික ලෙස නිමවා ඇතැයි විද්‍යාමනවන නිවෙස් බැහැර කෙරේ. අනෙකුත් නිවාසවල එක් එක් ලක්ෂණ හෝ පහසුකම් සදහා කලින් නිගමනය කරන ලද ක්‍රමයක් අනුව ලකුණු දීමක් කල යුතුය. CASHPOR ආයතනයේ සාමාන්‍ය සම්මතික (standard) ලකුණු දීමේ පිළිවෙල පහත දැක්වේ.
1. නිවසේ ප්‍රමාණය - කුඩා: 0, මධ්‍යම: 2, විශාල: 6
2. නිවසේ තත්වය - ගරාවැටුණු: 0, සාමාන්‍ය: 2, හොද: 6
3. බිත්තිවල ස්වභාවය - දුර්වල: 0, සාමාන්‍ය: 2, හොද: 6
4. වහළෙහි ස්වභාවය - පොල් අතු: 0, තහඩු ෂීට්: 2, ස්ථිර: 6
නිවාසයක සියළුම සාධක සදහා ලැබෙන ලකුණු එකතු කලවිට නිවාස දර්ශක අගය ලැබේ.
අදාල කුඩා මූල්‍ය ආයතනයන්ට මෙම සම්මත ලකුණු දීමේ ආකාරය එක් එක් ප්‍රදේශ හෝ ගම්මාන අනුව වෙනස් කර ගත හැක. එසේම එවැනි සෑම ප්‍රදේශයකම දුප්පතුන් සහ පොහොසතුන් වෙන් කර ගැනීම සදහා වාරණ ලකුණු අගයක්ද (cut off score) නිර්ණය කල යුතුය. ඒ මගින් අදහස් කරනු ලබන්නේ එසේ නිර්ණය කරනු ලබන වාරණ අගයට වැඩි ලකුණු එකතුවක් ලබා ගන්නා ගෘහයන් දුප්පත් පවුල් ලෙස නොසලකන බවය.
උදාහරණය 1:
පිලිපීනයේ TSPI නම් රාජ්‍ය නොවන ආයතනය ඉතාමත් සරල නිවාස දර්ශක තොරතු 3 ක් පමණක් දුප්පතුන් තොරා ගැනීමට භවිතා කරයි. මෙහිදීද බැලූ බැල්මට පොහොසත් යැයි හැගෙන ගෙවල් තෝරා නොගැනේ.
1. නිවසේ ප්‍රමාණය - කුඩා: 0, මධ්‍යම: 2, විශාල: 4
2. නිවසේ තත්වය - ගරාවැටුණු: 0, සාමාන්‍ය: 2, හොද: 4
3. වහළ - පොල් අතු වැනි:0, පැරණි ෂීට්: 0.5, අළුත් ෂීට්: 1, උළු: 2
TSPI ආයතනයේ තෝරා ගැනීමේ 'වාරණ අගය' 4.5 ය. මෙයින් අදහස් වන්නේ නිවාස දර්ශක අගය 4.5 ට අඩු පවුල් ණය ලබා ගැනීමට සුදුසු කම් ලබන බවය. මෙහිදීද බැලූ බැල්මට පොහොසත් යැයි හැගෙන ගෙවල් තෝරා නොගැනේ.
උදාහරණය 2:
ඉන්දියාවේ SHARE නම් කුඩාමූල්‍ය ආයතනය දුප්පතුන් තෝරා ගැනීමේදී නිවාස දර්ශකය ගනණය කිරීමට විස්තරාත්මක සමීක්ෂණයක් කරනු ලබයි. මෙහිදීද බැලූ බැල්මට පොහොසත් යැයි හැගෙන ගෙවල් තෝරා නොගැනේ.
- නිවාසයේ ප්‍රමාණය- විශාල: 4, මධ්‍යම: 2, කුඩා: 0
- නිවාසයේ තත්වය - හොද: 4, මධ්‍යම: 2, ගරාවැටුණු: 0
- වහළ - කොන්ක්‍රීට්: 4, උළු:3, ඇස්බැස්ටොස්: 2, තහඩු:1, අතු:0
- බිත්ති - ගඩොල්: 4, ගල්: 1, තහඩු:1, මැටි:1, උණ පතුරු:0
- විදුලි සැපයුම - ඇත: 2, හවුල්: 1, නැත: 0
- ජල සැපයුම - තමාගේම ලිද: 1, ප්‍රජා ලිද: 0
- නිවසේ අයිතිය- තමාගේම: 3, ප්‍රවේණි: 2, කුලී: 1, හවුල්: 0
- වැසිකිළිය - ජල මුද්‍රිත: 2, වල වැසිකිළිය: 1, නොමැති:0
- ආහාර පිසීම - ගෑස්: 3, භූමිතෙල්: 2, අඟුරු: 1, දර: 0,
- ගුවන් විදුලි යන්ත්‍රය - අළුත්: 2, පරන: 1, නැත: 0
- විදුලි පංකා - ඇත: 1, නැත: 0
- සයිකල් - අළුත් මෝටර් සයිකලය: 4, පරණ මෝටර් සයිකලය: 2, අළුත් බයිසිකලය: 1, පරණ බයිසිකලය: 0.5, නැත: 0
- ආහාර සලාකය - ඇත: 3, කහ සලාකය: 2, සුදු සලාකය: 1, නැත: 0
SHARE ආයතනයේ මේ ක්‍රමයෙන් තෝරා ගැනීමේ 'වාරණ අගය' 20 ය. එයින් අදහස් වන්නේ නිවාස දර්ශක අගය 20 ට වැඩිවන පවුල් එම ආයතනයෙන් ණය ලබා ගැනීමට නුසුදුසු වීමයි. තවද නිවාස දර්ශකය 20 ට අඩු පවුල්වුවද තෝරා ගන්නේ නැවත කරනු ලබන ඇගයීමකින් පසුවය.
ආ) වත්කම් පිරික්සුම ( Means test)
මෙම ක්‍රමය නිවාස දර්ශක ක්‍රමයට ඉතා සමානය. මෙහිදීද දුප්පත් හෝ පොහොසත් බවට හේතු පාදක වේයැයි හැඟී යන සාධක කිහිපයක් ලැයිස්තුගත කොට ඒවා ගෙයින් ගෙට ගොස් පිරික්සීම සහ ඒ අනුව ලකුණු ලබා දීම සිදුවේ. මෙහිදී දක්නට ඇති වැදගත්ම වෙනස නම් නිවාස සහ ඉඩම් වැනි ඍජු ආර්ථික සාධකවලට අමතරව අධ්‍යාපන මට්ටම් සහ කාන්තා මූලික ගෙවල් වැනි සමාජයීය සාධකද මෙම පිරික්සුමට භාජනයවීමට හැකිවීමයි.
මේ සදහා එක් එක් ආයතන ඒවාටම විශේෂවූ පිරික්සුම් ප්‍රශ්නාවලියක් සකසා ගත යුතුය. උදාහරණයක් ලෙස - බංග්ලා දේශයේ ග්‍රාමීන් බැංකුව අවධානය යොමු කරන්නේ ඉඩම් අයිතිය (land ownership) සහ නිෂ්පාදනයට අවශ්‍ය වත්කම් (productive assets) කෙරෙහි පමණක්ය. අක්කර භාගයකට වැඩි ඉඩම් අයිතිය හෝ ඉඩම් අක්කරයක වටිනාකමට සරිලන නිෂ්පාදන වත්කම් ඇති ගෙවල් ණය ලැබීමට සුදුසුකම් නොලබයි. එහෙත් ඉන්දියාවේ සේවා (SEWA) ආයතනය මේ පිරික්සුම සදහා ඉතා දීර්ඝ ලැයිස්තුවක් භාවිතා කරයි. ගෙදර සාමාජිකයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස, රැකියාව ආදියද අයිති කෘෂි ඉඩම් ප්‍රමාණය, ඒවායේ අස්වැන්න සහ ආදායම, ගෘහස්ථ භාන්ඩ වල වටිනාකම, පශු සම්පත් සහ අනෙකුත් ආදායම් වැනි තොරතුරු ඒ සදහා ලබා ගනියි.
මෙහිදී වැදගත් වන්නේ පිරික්සුමට තොරා ගන්නා දර්ශක කෙතෙක් දුරට දුප්පත්කමට සහසම්බන්ධයක් (co-relation) තිබෙනවාද යන්නයි. උදාහරණයක් ලෙස ඉඩම් අයිතිය සහ දුප්පත්කම අතර සංඛ්‍යානමය සහසම්බන්ධයක් (statistical correlation) බංග්ලා දේශයේඇති බව පර්යේෂණාත්මකව තහවුරුවී ඇත. එහෙත් ඉන්දියාවේ SHARE ආයතනය ක්‍රියාත්මකවන අන්ද්‍රා ප්‍රදේශයේ දුප්පත්කම සහසම්බන්ධයක් දක්වන්නේ වාරි ඉඩම් අයිතියටය.
ක්‍රමවේදය (Methodology)
අවශ්‍ය පිරික්සුම් ලැයිස්තුව නිමකර ගැනීමෙන් පසු අදාල කුඩා මූල්‍ය ආයතනයේ ක්ෂෙත්‍ර සේවකයින් විසින් නිතැතින්ම පොහොසත් යැයි පෙනෙන ගෙවල් (පවුල් ) නොසලකා හැර අනෙකුත් ගෙවල්වලට වෙන වෙනම ගොස් පිරික්සුම කල යුතුය.
එම පිරික්සුමට අනුව සෑම ගෙදරකටම දර්ශක අගයක් ලැබේ. ඊන්පසු අදාල ආයතනය මගින් නිර්නය කරගන්නා වාරණ අගයක් අනුව අවශ්‍ය තෝරා ගැනීම කර ගත හැක.
ඇ) සහාභගිත්ව වත්පොහොසත්කම් වර්ගීකරණය (Participatory Wealth Ranking)
බාහිරව නිර්ණය කරනු ලබන නිවාස දර්ශක ඇගයීම හෝ වත්කම් පිරික්සුම වැනි ක්‍රම වෙනුවට ප්‍රජාව විසින්ම තීරනය කරන නිර්ණායකයන් උපයෝගී කොට ගෙන ඔවුන් විසින්ම දුප්පතුන් හා පොහොසතුන් වෙන් කොට හදුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස සහාභගිත්ව වත්කම් ශ්‍රේණිගත කිරීම හැදින්විය හැක. දකුණ්‍ර අප්‍රිකාවේ ඇති SEF (Small Enterprise Foundation) නමැති රාජ්‍ය නොවන සංවිධානය මගින් කුඩා ණය ලාභීන් තෝරා ගැනීම සදහා පුළුල් ලෙස භාවිතා කරන මෙම ක්‍රමය දශක දෙකක් පමණ කාලයක් තුල විකාශයවූ සහභාගිත්ව ප්‍රජා ඇගයුම් ක්‍රමවේදයකි. මෙවැනි සහභාගිත්ව ක්‍රමවේදයක් තුලින් තෝරා ගත්විට එම ණය වැඩ සටහන කෙරෙහි ණයලාභී වඩා සැලකිල්ලක් සහ කැපවීමක් දක්වන බව තහවුරුවී ඇත.
ක්‍රමවේදය (Methodology)
පියවර 1: සිතියම්කරණය (mapping)
ප්‍රජා රැස්වීමක් කැදවා පහසුකාරකයකුගේ උපකාරයෙන් සහාභාගීවන්නන් ලවා ගමේ සිතියමක් පොළොවෙහි ඇදීමට උදව් කල යුතුය. එය විශාල ගමක් නම් අදාල ප්‍රදේශය පමණක් සිතියමට පාදක කර ගත හැක. ප්‍රදේශයේ සියළුම ගෙවල්, කඩ, පාරවල්, පුජා ශාලා ආදී සියළුම දේ ආසන්න හා සාපේක්ෂක ප්‍රමාණයෙන් දැක්වීම ප්‍රයෝජනවත් වේ. ඉන්පසු අවධානය යොමුකල යුත්තේ සිතියමෙහි දක්වා ඇති ගෙවල් වලටය. සෑම ගෙදරක් වෙනුවෙන්ම කුඩා කාඩ් පතක් වෙන් කොට ( අඟල් 2 x 3 පමණ) ඒ හැම එකකම ගෘහ මූලිකයාගේ නම ලියන්න. අවසානයේදී සෑම ගෙදරකටම එක කාඩ් පත බැගින් ඇති කාඩ් කට්ටලයක් තිබිය යුතුය.
පියවර 2: වත්පොහොසත්කම් අනුව පවුල් ගොඩවල් වලට වෙන් කිරීම (Grouping households according to wealth)
ප්‍රජා රැස්වීමට සහභාගිවුන සාමාජිකයින් කුඩා කණ්ඩායමිවලට බෙදන්න (එක කණ්ඩායමකට 5 දෙනා බැගින් පමණ). මුල් පියවරේදී සාදා ගත් කාඩ් කට්ටලය උපයෝගී කොට ගෙන කණ්ඩායමකට එක කාඩ් කට්ටලය බැගින් සාදා ගන්න. සෑම කණ්ඩායමක්ම වෙන් වෙන්ව, වත්පොහොසත් කම් අනුව ගමේ පවුල් (ගෙවල්) බෙදීම සදහා යම් සාධක කිහිපයක් භාවිතා කොට ඒ අනුව කාඩ් පත් ගොඩවල් වලට වෙන් කරන්න. ඉන් පසු සෑම කණ්ඩායමක්ම, පොහොසත්ම ගොඩ 1 සංඛ්‍යාවෙන් ආරම්භ කොට පිළිවෙලින් වැඩිවන පරිදි (1, 2, 3, ..5) දුප්පත්ම ගොඩට වැඩිම සංඛ්‍යාව ලැබෙන පරිදි කාඩ් ගොඩවල් අංක කරන්න.
පියවර 3: කාඩ් පත් ගොඩවල්වලට අයත් පචුල්වලට දර්ශක අගයක් ලබා දීම (Giving an Index value to households in each wealth group)
ඉතා සරල සමීකරණයක් භාවිතා කොට සෑම ගෙදරකටම (පවුලකට) දර්ශක අගයක් ලබා දිය යුතුය.
එක ගොඩක සෑම පවුලකටම ලැබෙන අගය = 100 x ගොඩෙහි අංකය / ගොඩවල් ගණන
උදාහරණය:
එක් කණඩායමක් වෙන් කල ගොඩවල් ගණන 5 ක් නම්,
පොහොසත්ම කාඩ් පත් ගොඩ 1 - (100 x 1 / 5) පවුලකට ලැබෙන අගය = 20
ඊ ලඟ කාඩ් පත් ගොඩ 2 - (100 x 2 / 5) පවුලකට ලැබෙන අගය = 40
ඊ ලඟ කාඩ් පත් ගොඩ 3 - (100 x 3 / 5) පවුලකට ලැබෙන අගය = 60
ඊ ලඟ කාඩ් පත් ගොඩ 4 - (100 x 4 / 5) පවුලකට ලැබෙන අගය = 80
දුප්පත්ම කාඩ් පත් ගොඩ 5 - (100 x 5 / 5) පවුලකට ලැබෙන අගය = 100
පියවර 4: කුඩා කණ්ඩායම්වල පවුල්වලට වෙනස් අගයන් ලැබී ඇත් නම් ඒවා සාමාන්‍ය අගයකට ගැනීම (Averaging household values in different groups)
සියළුම කුඩා කණ්ඩායම්වල ගෙවල්වලට ලැබී ඇති අගයන් පරීක්ෂා කලහොත් එකම ගෙදරකට වෙනස් අගයන් ලැබී තිබෙන්නට බොහෝ ඉඩකඩ ඇත. එවිට ඒ වෙනස් අගයන්ගේ සාමාන්‍ය අගයලබාගන්න.
මේ අවස්ථාව වනවිට ගමේ සෑම පවුලක් (ගෙයක්) සදහාම දර්ශක අගයක් ලැබී තිබිය යුතුය.
පියවර 5: දුප්පත් පවුල් තෝරා ගැනීම සදහා වාරණ අගයක් තීරණය කිරීම (Determining a cutoff score to select poor households)
අවසානයේදී ප්‍රජා නියෝජිතයින් සහ තම ආයතනයේ ප්‍රජා සේවකයින් සමග සාකච්ඡා කොට කිනම් අගයකට වැඩි පවුල් ණය දීමට සුදුසු ද යන්න තීරණය කරන්න.
ඈ) භූගෝලීය ප්‍රදේශ ඉලක්ක කිරීම (Geographic targeting)
තනි තනිව කරණු ලබන ගෘහස්ථ සමීක්ෂණයන් මගින් ණය ලාභී පවුල් හෝ පුද්ගලයන් තොරා ගැනීමට වඩා සරල ක්‍රමයක් වන මේ මගින් ණය සේවා ආවරණය කිරීම සදහා ගමක් හෝ ගම්මාන රාශියක් හෝ ඊටත් වඩා විශාල භූගෝලීය ප්‍රදේශයක් තෝරා ගැනේ. මෙවැනි තෝරා ගැනීමට පාදකවිය හැකි සාධක විය හැක්කේ: මහා මාර්ග අඩු ග්‍රාමීය ප්‍රදේශවීම, වැඩි දරිද්‍රතා අනුපාතයක් නැතහොත් වැඩි දරිද්‍රතා ආපාතයක් ඇති බව (high poverty incidence), අඩු යටිතල පහසුකම්වලින් යුක්තවීම, බැංකු හෝ කුඩා මූල්‍යකරන ආයතන මගින් ආවරණය නොකිරීම, ප්‍රවාහන සේවා දුර්වල නිසා ලඟාවිමට අපහසු කදුකර පලාත්වීම, ආදිවාසී, පහත් කුල සහ ගෝත්‍රික වැනි අවදානමට ගොදුරුවිය හැකි ජන කොටස්, කුඩා ඉඩම් ඇති ගොවි ජනාවාස, වාරි පහසුකම්වලින් තොර වියලි ප්‍රදේශවල සිටින යැපුම් කෘෂි ආර්ථිකයක් තිබීම ආදී ප්‍රදේශය.




