කුඩා මූල්‍යකරණ වැඩ සටහන් සදහා දුප්පතුන් ඉලක්ක කිරීම
කුඩා මූල්‍යකරණයේ දී දුප්පත්කම තක්සේරු කිරීම: ග්‍රාමීන් බැංකු ක්‍රමය
කුඩා මූල්‍යකරණය (microfinance) යන්නේ නිවැරදි මගද? විනාශය කරාද?
කුඩාමූල්‍යකරණය (microfinance) යන්නේ නිවැරදි මගද? විනාශය කරාද?
Microfinance doing good or undoing microfinance ?
2007 අප්‍රියෙල් මාසයෙහිදී මෙක්සිකෝවේ කම්පාට්මන්ටෝස් (Compartmantos) නමැති කුඩාමූල්‍යකරණ ආයතනයෙහි කොටස්, සමාරම්භක කොටස් නිකුතුවක් (Initial Public Offering) මගින් විකුණා අධික ලාභයක් ලැබීම නිසා මතුවී ඇති විවාදාත්මක පසුබිම පිළිබද විස්තරයක් සපයන මයික්‍රොක්‍රෙඩිට් සමිට් ඊ නිව්ස් 2007 ජූලි මස 5වැනි කලාපය (Microcredit Summit e News July 2007 Volume 5, Issue 1), එම ක්‍රියාව කුඩා මූල්‍යකරණයේ ශුභවාදී ප්‍රවනතාවයක් ලෙස හදුන්වා ප්‍රසංශා කරන කිහිපදෙනෙකුගේ සහ එම ක්‍රියාව කුඩා මූල්‍යකරණ ආයතන නොමගට යා හැකි වැරදි පූර්වාදර්ශයක් ලෙස විවේචනය කරන කිහිපදෙනෙකුගේ ප්‍රකාශයන්ද ඉදිරිපත්කරයි. මෙම විවාදයේ දැකිය හැකි විශේෂ කරුණ නම් කුඩා මූල්‍යකරණය ප්‍රවර්ධනයේ ඉදිරියෙන් සිටින ඇක්සියොන් ඉන්ටනැෂනල් ආයතනයේ (ACCION International) ප්‍රධානියා මෙම ක්‍රියාව අනුමත කිරීම සහ කුඩා මූල්‍යකරණය සම්බන්ධයෙන් ප්‍රකට බංග්ලා දේශයේ ග්‍රාමීන් බැංකුවෙහි කළමනාකරන අධ්‍යක්ෂක මොහොමඩ් යූනුස් මහතා එම ක්‍රියාව තදින් විවේචනය කිරීමයි.
මෙම විවාදාත්මක පසුබිමට ලක්වී ඇති කම්පාට්මන්ටෝස් නමැති කුඩා මූල්‍යකරණ ආයතනය 1990 දි ආරම්භ කර ඇත්තේ ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක් ලෙසය. ඊට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දී ඇත්තේ ප්‍රජා සංවර්ධනය සදහා කැපවූ දායක ආයතන කිහිපයක් සහ මෙක්සිකානු පුරවැසියන් කිහිපදෙනෙකි. වර්ෂ 2000 දී වෙනම මූල්‍ය සමාගමක් ලෙස ලියා පදිංචි වීමෙන් පසුද අවශ්‍ය ණය පහසුකම් බොහෝවිට ලබාගෙන ඇත්තේද සංවර්ධන දායක ආයතනවලිනි. 2006 දී මෙම ආයතනය පූර්ණ ලාභ ලබන බැංකුවක් ලෙස ලියා පදිංචිවීමෙන් පසු එහි කොටස් හිමි අනුපාතය දල වශයෙන් පහත සදහන්සේ විය.
කම්පාට්මන්ටෝස් මුලාරම්භක රාජ්‍ය නොවන ආයතනය- 39.2%
ඇක්සියොන් ඉන්ටනැෂනල් ආයතනය- 18.1%
ලෝක බැංකුවට අනුබද්ධ IFC ආයතනය - 10.6%
අධ්‍යක්ෂක මණඩල සාමාජිකයින් පෞද්ගලිකව- 23.7%
පිටස්තර පුද්ගලයින්- 8.5%
2007 අප්‍රියෙල් මස පැවති කොටස් නිකුත්වේදී ඩොලර් මිලියන 40 පමන පොත් අගයක් ඇති (book value) කොටස් අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 450 කට පමන අධික මුදලකටය. මෙහි පලමු විශේෂත්වය නම් මෙසේ අලෙවි කොට ඇත්තේ අළුත් කොටස් නොව දැනටමත් පවතින කොටස්වීමය. එම නිසා මෙය දල වශයෙන් 1200% ක පොත් අගය මත ලාභ ලැබීමකි. එය අසාමාන්‍ය සහ අධික ලාභ ලැබීමකි. දෙවැනි, එහෙත් වැදගත්ම විශේෂත්වය නම් මේ සියළු කොටස් මිලදී ගෙන ඇත්තේ වාණිජමය ලාභ ලැබීම පරම අරමුණ කරගත් ව්‍යාපාරිකයින් වීමය.
මෙසේ පොද්ගලික ව්‍යාපාරිකයින් මෙම ආයතනයෙහි කොටස් මිලදී ගැනීමට පෙළඹූ ප්‍රධාන හේතුව වන්නේ එම ආයතනය වාර්ෂිකව පෙන්වන අධික ලාභාංශයි. එසේ අධික ලාභ ලැබීමට හැකිවී ඇත්තේ දුප්පතුන්ට ණය දීමේදී අධික පොලී අනුපාත අය කිරීමෙනි. මෙම සිද්ධිය විවේචනය කරන පාර්ශවය ප්‍රධාන කරුණු 3 ක් ප්‍රශ්නයට භාජනය කරයි.
1) කුඩාමූල්‍යකරණ ආයතනයක් ආරම්භයේදී සංවර්ධන දායක ආයතන (Donors) මගින් ලබා දෙන අධාර දීමනා (grants) භාවිතා කොට ගොඩ නගා ගන්නා ප්‍රාග්ධන කොටස් විකුනා ලාභ ලැබීම මූලික ප්‍රජා සංවර්ධන අරමුණුවලට සහ සංවර්ධන ආචාර ධර්ම වලට පටහැනි නොවේද?
2) කුඩාමූල්‍යකරණ ආයතන ඒවායේ කොටස් විකිණීම සදහා ආකර්ෂණීය කරගැනීමේ අරමුණින් දුප්පතුන්ගෙන් අධික පොලී අනුපාත අය කොට වැඩි වාර්ෂික ලාභාංශ පෙන්වීමට එවැනි ආයතන පෙළඹෙනු ඇත. එය කුඩා මූල්‍යකරණ ආයතන වල මූලික ආචාර ධර්ම වලට පටහැනි නොවේද?
3) වාණිජමය ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ව්‍යපාරිකයින් කුඩා මූල්‍යකරණ ආයතනවල කොටස් මිලදී ගැනීම නිසා එම ආයතනවල පාලන ව්‍යුහය (governance structure ) වෙනස් කිරීමට හෝ පාලනයට බලපෑම් කිරීමට එම ව්‍යාපාරිකයින්ට ඉඩ කඩ පෑදේ. මෙවැනි විටෙක දුප්පතුන්ට මූල්‍ය සේවා සැපයීම සහ ලාභ ඉපයීම යන අරමූණු දෙක තුලනාත්මකව පවත්වාගෙන යෑම අපහසු නොවන්නේද?
කම්පාට්මන්ටෝස් වැනි කුඩා-මූල්‍යකරණ ආයතනයක් වානිජ ප්‍රාග්ධන වෙළදපොල තුල තම කොටස් විකුණා අධික ලාභයක් ලැබීම ඉතා ශුභවාදී පූර්වාදර්දශයක් ලෙස දකින පාර්ශවය ඉදිරිපත්කරන කරුණු පහත සදහන් වේ.
1) කුඩාමූල්‍යකරණ ආයතනයක් ලෙස කම්පාට්මන්ටොස් විසින් මූලාරම්භයේදී ගන්නා ලද අධික අවදානම හිලව් කිරීම වෙනුවෙන් ලැබුණු පාරිතෝෂික ලාභයක් ලෙස එහි කොටස් අධික මිලකට විකිණීමට හැකිවීම සැලකිය හැකිය.
2) ව්‍යාපාරික ප්‍රජාව විසින් කුඩාමූල්‍යකරණ ආයතනයක කොටස් තරඟකාරී මිලකට ගැනීමෙන් ගම්‍ය වන්නේ, කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රයට වානිජ ප්‍රාග්ධන වෙළඳ පොල (Capital markets) මගින් ඉහල පිළිගැනීමක් ලැබුණු වගය. එමනිසා මෙම සිද්ධිය සන්තෝෂවිය යුතු පූර්වාදර්ශයක් ලෙස සැලකිය යුතුය.
3) දුප්පත්න්ට ණය දීම සදහා ලෝකයේ සංවර්ධනය වන රටවල්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වාර්ෂිකව අවශ්‍යවේ. මෙම මුදල් රජයන් විසින් හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් හෝ අවශ්‍ය ප්‍රමානයට සපයන්නේද නැත. මේ අඩුව පිරිමැසීම සදහා ඇති හොදම මාර්ගය ප්‍රාග්ධන වෙළද පොළය.
4) ප්‍රාග්ධන වෙළඳ පොළ විසින් තරඟකාරී ලෙස කුඩා මූල්‍යකරණ ආයතන කොටස්වල ආයෝජනය කිරීමට පෙළඹුනහොත් එම ආයතනවල ප්‍රාග්ධන පිරිවැය (cost of capital) පහත වැටීමට ඇති ඉඩ කඩ සාමාන්‍ය සිද්ධාන්තයකි. එවිට අඩු පොලී අනුපාතයන් මත ණය දිමට හැකිවීමෙන් දුප්පතුනට වැඩි වාසියක් අත්වේ.
5) ඉහත දැක්වූ වාසි ලබා ගැනීමටනම් කුඩා මූල්‍යකරණ ආයතන වෙළඳපොළ න්‍යායන්ට සහ වෙළඳපොළ නීතිවලට අනුරූපීව ක්‍රියා කල යුතුවේ. මේ සදහා දුප්පත්කම හුවා දැක්වෙන පින්තූර ප්‍රදර්ශනය කරනවාට වඩා මූල්‍ය පරිසිද්ධි සහ සංඛ්‍යා (financial facts and figures) ඉදිරිපත්කිරීම ප්‍රයෝජනවත් විය හැක.
කම්පාට්මන්ටොස් සිද්ධිය ශ්‍රී ලාංකික මූල්‍යකරණ ක්ෂේත්‍රයටද ඉතා වැදගත් පාඩමක් වියහැක.
ඔබටද www.microcreditsummit.org/enews යන වෙබ් අඩවිය ඔස්සේ මේ විවාදයට සම්බන්ධවිය හැකිය.




