ව්‍යපාරීකරණය නිසා මූලික මෙහෙවරෙන් බැහැරවන කුඩාමුල්‍යකරණය
Is commercialization drifting microfinance away from its original mission?
දුප්පතුන්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබෙන කුඩාමූල්‍යකරණ සංකල්පය ලොව පුරා සීඝ්‍රව වර්ධනයවෙමින් පවතී. ප්‍රජා සංවර්ධන අරමුණු කේන්ද්‍රකරගනිමින් සංවර්ධනයවෙමින් පවතින රටවල්වල රාජ්‍ය නොවන ආයතන මගින් ආරම්භකළ කුඩාමුල්‍යකරණය මේවනවිට ලාභ ලබන ව්‍යාපාරික මුල්‍ය සේවාවක් ලෙසින් ලෝකයේ අති දැවැන්ත වාණිජ බැංකු සහ මුල්‍යායතන අතරද ව්‍යාප්ත වෙමින් පවතී. එපමණක්ද නොව කුඩාමුල්‍යකරණය සංවර්ධන මෙවලමක් ලෙසින් භාවිතාකළ රාජ්‍ය නොවන ආයතන පවා ව්‍යාපාරික මූල්‍ය සමාගම් බවට පරිවර්තනයවීමේ ප්‍රවනතාවයක්ද පෙන්නුම් කරයි. කුඩාමුල්‍යකරණය තම මූල්‍ය ව්‍යාපාරවල මූලිකාංගයක් බවට පත් කර ගත් අන්තර්ජාතික බැංකු අතර සිටි බැංකුව (Citi Bank), හොංකොං සහ ෂැන්හයි බැංකුව (Hong Kong and Shanghai Bank) සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) ඉදිරියෙන් සිටී. කුඩා මුල්‍යකරණය ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දීම සඳහා අන්තර් ජාතික දායක ආයතනද (donor agencies) සිදු කරන්නේ විශාල මෙහෙවරකි. මේ සඳහා ආසන්නම උදාහරණවන්නේ ලෝක බැංකුව විසින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ කුඩා මූල්‍යකරණ වැඩ සටහන සඳහා ඇ. ඩොලර් මිලියන 48 ක මුදලක් ලබා දීමත් සහ ශ්‍රී ලංකාවේ LOLC සමාගමේ කුඩා මුල්‍යකරණ වැඩසටහණ ශක්තිමත් කිරිම සඳහා ජර්මාණු සංවර්ධන සහයෝගිතා ආයතනයෙන් (GTZ) මැතකදී ලබා දුන් ආධාරයත්ය.
කුඩා මුල්‍යකරණය මෙලෙසින් ප්‍රධාන බැංකු ප්‍රවාහයට ඇතුලත්වීම (mainstreaming to Banking sector) පිලිබඳ විවාදාත්මක පසුබිමක් නිර්මාණයවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහට ලක්වන්නේ ‘ව්‍යාපාරිකරණයවූ කුඩා මුල්‍යකරණය’ දුප්පතුන්ට සහ කාන්තාවන්ට ණය දීම වැනි මූලික කුඩා මූල්‍යකරණ සංවර්ධන අරමුණුවලින් බැහැරවීමේ ලක්ෂණ පෙන්වීමයි. මේ නිසා තම ණයලාභීන් අතර දරිද්‍රතා රේඛාවට පහළ (below poverty line) සිටින දුප්පතුන් හා ඒ අතරත් කාන්තාවන්ද වැඩි ප්‍රතිශතයක් සිටින බවත්, සාමාන්‍ය ණයක ප්‍රමාණය (average loan size) එවන් දුප්පතුන්ට ගැලපෙන අන්දමින් අඩු මට්ටමකින් ඇතිබවටත් තහවුරු කිරීම කුඩා මුල්‍යකරණ ආයතනවලින් අපේක්ෂා කිරිම යුක්ති සහගතය.
වාණිජකරණය වීමෙන් පසු කුඩා මුල්‍යකරණය එහි මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ගැටළුව විමසා බැලීම සඳහා ‘විමෙන්ස් වර්ල්ඩ් බෑන්කින්’ (Women’s World Banking – WWB) නමැති කුඩා මුල්‍යකරණ ආයතන ජාලය (Net work of microfinance organizations) විසින් කරණ ලද අධ්‍යයනයක් මගින් මේ පිළිබඳ මතුවී ඇති බිය බොහෝ දුරට තහවුරු කරයි. මෙම අධ්‍යයනයේදී ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව වැනි කලාපවල රටවල් කිහිපයක රාජ්‍ය නොවන කුඩා මූල්‍යකරණ ආයතන ලෙස ක්‍රියාත්මකවී පසුව වාණිජ සමාගම් බවට පරිවර්තනයවූ ආයතන 27 ක් සහ රාජ්‍ය නොවන කුඩා මුල්‍යකරණ ආයතන ලෙස නෙකඩවා ක්‍රියාත්කමකවන ආයතන 25 ක පසුගිය වර්ෂ 5 තුළ තොරතුරු සංසන්දනාත්මක ගවේෂණයකට භාජනය කොට ඇත. මෙම අධ්‍යයනයේදී ඉස්මතුවන ප්‍රධාන කරුණු හතරක් වන්නේ:
- ඉතිරි කිරිම් ප්‍රවර්ධනයේදී වාණිජ සමාගම් රාජ්‍ය නොවන ආයතනවලට වඩා ඉදිරියෙන් සිටී. වානිජ සමාගම්වල දළ ණය කළඹෙන් (gross loan portfolio) 45% ක් ඉතිරිකිරීම් වන අතර, රාජ්‍ය නොවන ආයතනවල එම ප්‍රමාණය 28% කි. (සමහර රටවල පවතින මුල්‍ය රෙකුලාසි රාජ්‍ය නොවන ආයතන විසින් ඉතිරි කිරිම් ප්‍රවර්ධනය සඳහා අනුබල නොදීම මෙයට එක් හේතුවක් විය හැක).
- වර්ෂ 5 ක් තුළදී වාණිජ සමාගම්වල සක්‍රිය ණයලාභීන්ගේ සංඛ්‍යාව 30% කින් වර්ධනයවු අතර රාජ්‍ය නොවන ආයතනවල සක්‍රිය ණයලාභීන්ගේ සංඛ්‍යාව වර්ධනයවී ඇත්තේ 15%කින් පමණි.
- වාණිජ සමාගම් බවට පත්වූ කුඩා මූල්‍යකරණ ආයතනවල කාන්තා ණයලාභීන්ගේ ප්‍රතිශතය වර්ෂ 5 ක් තුළදී 88% සිට 60% දක්වා පහත බැස ඇත.
- වාණිජ සමාගම් බවට පත්වූ ආයතනවල සාමාන්‍ය ණයක ප්‍රමාණය (average loan size) රාජ්‍ය නොවන කුඩාමූල්‍යකරණ ආයතනවල සාමාන්‍ය ණය ප්‍රමාණය මෙන් දෙගුණයකින් හෝ තුන්ගුණයකින් වැඩිය.
මෙම කරුණුවලින් පැහැදිළි වන්නේ ඉතිරි කිරීම් සහ ණය දීම් වැනි මුල්‍ය සේවා පුළුල් කිරීමේදී වාණිජ කුඩාමූල්‍යකරණ ආයතන රාජ්‍ය නොවන ආයතනවලට වඩා වැඩි මෙහෙවරක් ඉටු කරන බවය. ජාතික ආර්ථික වර්ධනයට එය ඉමහත් රුකුලක් වන නමුදු දුප්පතුන් සහ කාන්තාවන් වැනි සංවර්ධනය කළ යුතු ප්‍රජා කොටස්වලින් බැහැරවීම වාණිජ ආයතනවල එරෙහිව පැන නැගෙන විවේචනයවී ඇත. බොහෝ දායක ආයතන (donor agencies) කුඩාමුල්‍යකරණය සඳහා මුදල් වෙන් කරන්නේ ‘දුප්පතුන් සඳහා’ බැවින් එම මුදල් ලබා ගන්නා වාණිජ කුඩාමූල්‍යකරණ ආයතන දුප්පතුන් නොවන අයට එමගින් මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳ කරණ විවේචනය නම් සාධාරණය.
මූලාශ්‍රය: www.time.com/time/world/article/0,8599,1731718,00.htmlඇමෙරිකානු උප මූලික උකස් ණය වෙලඳපළ කඩා වැටීම තුළින් කුඩා මුල්‍යකරණ ආයතනවලට ගත හැකි පාඩම
Lesson to microfinance institutions from the burst of US subprime mortgage bubble
ඇමෙරිකානු මූල්‍ය වෙළඳපොළෙහි වැදගත් අංගයක් ලෙස සැලකෙන උකස්කරයන් මත ණය ලබාදීම ඉතා ජනප්‍රිය උප මූලික උකස් ණය වෙලඳපළක් (subprime lending market) ලෙස සැලකෙන අතර එය සාමාන්‍ය ණය වෙළඳපලට වඩා ජනප්‍රිය වන්නේ අඩු ආදායම්ලාභීන්ට පහසුවෙන් ණය ලබා ගැනීමට හැකිවීම නිසාය. එහෙත් මෑතකදී පටන් මෙම උප මූලික ණය වෙළඳපළ ඉතා සීඝ්‍රයෙන් සහ දරුණු ලෙස කඩාවැටීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට මිලියන 7 ක් පමණ ණයලාභීන්ගෙන් මිලියන 2 ක් පමණ ණය නැවත ගෙවීම අතපසුකර ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකුට උකස් කරන ලද තමන්ගේ නිවාස අහිමිවන තත්වයක් උදාවී ඇත. මෙම ණය වෙළඳපල කඩා වැටීම ඇමෙරිකානු ආර්ථිකය පමණක් නොව මුළු ගෝලීය ආර්ථිකයම දරුණු අවපාතයක් කරා ගමන් කිරීමේ පෙර සලකුණක් ලෙස සලකන දේශපාලඥයින්, ආර්ථික විද්වතුන් සහ මුල්‍ය විශේෂඥයින් ඒ පිලිබඳ විමතියෙන් සහ අවධානයෙන් සිටී.
එහෙත් මෙම තත්වයට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් පෙන්නුම් කරණ කුඩා මූල්‍යකරණ වෙළඳපල (microfinance market) ඉතිහාසයේ නොවූවිරූ අන්දමින් ඉතා සාර්ථකව ගෝලීයව සහ විශේෂයෙන්ම සංවර්ධනයවන රටවල් තුල ප්‍රසාරණයවෙමින් පවතී. මේ වන විට ලොව පුරා දළ වශයෙන් කුඩා මුල්‍යකරණ ආයතන 3300 ක් පමණ අඩු ආදායම්ලාභී පවුල් මිලියන 100 කට පමණ ණය ලබාදී ඇති අතර එම ප්‍රමාණයද දිනෙන් දින වර්ධනයවෙමින් පවතී. මෙහි විශේෂත්වය වන්නේ මෙම ණය වෙළඳපල දෙකම (ඇමෙරිකානු උප මුලික ණය වෙළඳපළත් සංවර්ධනයවන රටවල කුඩා මූල්‍යකරණ වෙළඳපළත්) පහළ ආර්ථික ප්‍රජාවන් ඉලක්ක කිරීම තුළින් දක්වන සමානතාවයයි.
එසේනම් එවන් එක් ණය ක්‍රමයක් ඇමෙරිකානු ආර්ථිකයම අවපාතයකට ඇදගෙන යෑමට සමත්වෙද්දී ඊට සමගාමීව අනිත් ණය ක්‍රමය තිරසාරවත් ලෙසින් ලොව පුරා දිලිඳුකම පිටු දැකීමට සමත් වන්නේ ඇයිදැයි යන්න බරපතළ ප්‍රශ්නයකි.
මෙයට කෙටි පිළිතුරක් දෙන කුඩා මුල්‍යකරණයේ පුරෝගාමියෙකුවන නෝබෙල් සාම ත්‍යාගලාභී මහචාර්ය මොහොමඩ් යුනුස් පවසන්නේ ඇමෙරිකානු උප මූලික ණය වෙළඳපළ කඩා වැටීමට මූලික හේතුව එය අනුගමනය කරන ‘දියාරු ක්‍රමවේදය’ බවයි. කුඩා මුල්‍යකරණ වෙළඳපළ ඇමෙරිකානු උකස් ණය වෙළඳපළ තරම් සංකීර්ණ නොවීමද එක් හේතුවකි.
මේ පසුබිම තුළ ඇමෙරිකානු උප මූලික ණය වෙළඳපළෙහි ‘දියාරු’ බවට හේතු පාදකවන ප්‍රධාන සාධකයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ:
- ණය ලාභීන් මෙන්ම ණය දෙන මූල්‍යායතනද දක්වන සැහැල්ලු බව හා ඒ නිසාම ණය දීම සහ ණය ගෙවීම පිළිබඳ අවිචාරමත් තීරණ ගැනීම.
- ගුණාත්මක බවට වඩා ප්‍රමාණාත්මක බවට මුල් තැන දෙමින් දිරි දීමනා සහ වෙනත් පහසුකම් සැපයීම.
- ණය සපයන මූල්‍යායතන හා ණය ලාභීන් අතර සමීප හා සජීවි අන්තර් සම්බන්ධයක් නොමැතිවීමල සහ ඒ නිසාම නොගැළපෙන තොරතුරු ඉස්මතුවීම.
- දිනන් දිනම අළුත් ණය දෙන ආයතන බිහිවීම නිසා මතුවන තරඟකාරිත්වයට මුහුණ දීම සඳහා ගුණාත්මක බවින් ඉතාමත් බාල මුල්‍ය නිෂ්පාදන හා ක්‍රමවේද හඳුන්වාදීම හා අනුගමනය කිරිම.
- උප මූලික උකස් ණය වෙළඳපළ සඳහා උචිත රෙගුලාසි පද්ධතියක් නොමැතිවීම.
ගෝලීය ප්‍රාග්ධන වෙළඳපළ ආයෝජනයන් වැඩි වැඩියෙන් කුඩා මුල්‍යකරණ ආයතන කෙරෙහි යොමුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙද්දී ඇමෙරිකානු උපමූලික වෙළඳපල කඩා වැටීමට හේතුවුයේයැයි සැලකෙන ඉහත සඳහන් කරුණු කෙරෙහි සැලකිළිමත්වීම සියළුම කුඩා මුල්‍යකරණ ආයතනවල වගකීමක් ලෙස සැලකිය හැක.




