සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

 

කුඩා මූල්‍යකරණ ආයතන සහණදායී මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වරදක්ද?
Should MFIs depend on subsidies?

කුඩාමුල්‍යකරණයේ නියැලී සිටින්නන් සහ කුඩාමුල්‍යකරණයට මූල්‍ය ප්‍රාග්ධනය සපයන දායක ආයතනද වර්තමානයේ මූහුණපා ඇති ප්‍රධානතම අභියෝගයක්වන්නේ දිළිඳුකම අවමකිරිම (poverty reduction)  සහ මූල්‍ය තිරසාරභාවය (financial sustainability) යන ද්විත්ව අරමුණු දෙකම කුඩාමූල්‍යකරණ ආයතන මගින් එකවර සාක්ෂාත්කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.  මෙම අභියෝගයට හේතුපාදකවන්නේ සමහරක් කුඩාමූල්‍යකරණ ආයතන වැඩි ලාභ උපයමින් මුල්‍ය තිරසාරතාවය ය පෙන්නුම් කරන නමුදු දිළිඳු ප්‍රජාකොටස් ආවරණය නොකිරිමත්, සමහරක් මූල්‍ය ආයතන දිළිඳු ප්‍රජාවන් ආවරනය කරණ නමුදු සහණදායී මූල්‍ය ප්‍රතිපාදනමත යැපිමත්ය.

මෙම අභියෝගය වඩාත් ඉස්මතුව දැනෙන්නේ සහණදායි මූල්‍ය ප්‍රතිපාදන කුඩා මූල්‍යකරණයට හානියක්යැයිද එම නිසා තරඟකාරි‍ මූල්‍ය වෙළඳපොලෙන් (competitive financial markets) ඒවාට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම අරමුණුකර වැඩි ලාභ ඉපයීමට කුඩා මූල්‍යකරණ ආයතන පෙළඹිය යුතුය යන්න බොහෝ කුඩාමුල්‍යකරණ විශේෂඥයින්ගේ මතය වී ඇති මෙම වකවානුවේදීය.

ලෝක කම්කරු සංවිධානයේ (International Labour Organization – ILO)අනුග්‍රහය ඇතිව කරණලද අධ්‍යයනයක් පසුබිම්කොට එළි දක්වා ඇති ග්‍රන්ථයක් මගින් කුඩාමුල්‍යකරණ ආයතනවල කාර්යක්ෂමතාවයට සහණදායි මූල්‍ය ප්‍රතිපාදනවල බලපෑම පිළිබඳ නව අදහස් කිහිපයක් මතුකර ඇත. (Microfinance and Public policy: Outreach, Public Policy and Efficiency – edited by Bernd Balkenohl,  ISBN- 978-92-1-119347-0)      

එම ග්‍රන්ථයට අනුව කුඩා මුල්‍යකරණ ආයතනයක කාර්යක්ෂමතාවය යනුවෙන් අදහස්කරන්නේ එවැනි ආයතනයක යෙදවුම් (ප්‍රාග්ධනය, සේවකයින්, ප්‍රදානයන් ආදිය) උපරිම ප්‍රතිඵල (ණය ප්‍රමාණය, දිළිඳු ණය ලාභින් සංඛ්‍යාව, පිරිවැය ආවරණය ආදී)  ලබා ගැනීම සඳහා කෙතෙක් සාර්ථකව යොදවන්නේද යන්නයි.

රටවල් 24 ක ඇති කුඩා මූල්‍යකරණ ආයතන 45 ක් ආවරණය කර ඇති මෙම අධ්‍යයනය කුඩා මුල්‍යකරන ආයතනවල කාර්යක්ෂමතාවය ඇගයීම සඳහා විචල්‍ය සාධක (variable factors) පහක් පසුබිම්කරගෙන ඇත.

  • ස්ථානය: කලාපය, රට, ප්‍රදේශය (ග්‍රාමීය සහ නාගරික වශ‍යෙන්)
  • කුඩා මූල්‍යකරණ ආයතනයේ නෛතිකභාවය (රාජ්‍ය නොවන, පෞද්ගලික බැංකු, සංවර්ධන බැංකු, ලාභ උපයන, ලාභ උපයන්නේ නැති ආදී)
  • ණය ලබා දිමේ ක්‍රමවේදය (කණඩායම් ණය, පුද්ගල ණය ආදී)
  • සේවක සංඛ්‍යාව
  • සහණදායී මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය

 

‍මෙම අධ්‍යයනයෙන් ඉස්මතුවන ප්‍රධානම කරුණු වන්නේ:

අ) කාර්යක්ෂමතාවය ඇගයීම සඳහා කුඩා මූල්‍යකරණ ආයතන සංසන්දනය කිරීමේදී එකම පන්තියකට හෝ ගණයකට අයත් ආයතන පමණක් එසේ සැසඳිය හැකි බවයි. මෙයින් අදහස් කරන්නේ එකිනෙකට වෙනස්  මුල්‍ය වෙළඳපල පරිසරයන් හෝ එකිනෙකට වෙනස් නෛතික ප්‍රතිපත්ති රාමු ඇති පරිසරයන් හෝ එකිනෙකට වෙනස් තරඟකාරි පරිසරයන් හෝ එකිනෙකට වෙනස් භූගෝලීය සහ සමාජ පරිසරයන් (ග්‍රාමීය, නාගරික ආදී වශයෙන්) තුළ ක්‍රියාත්මකවන කුඩාමූල්‍ය ආයතන සැසඳීමෙන් අර්ථවත් ඇගයීමක් ලබාගත නොහැකි බවය.  වෙනත් අන්දමකින් කිවහොත් එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති සහ රෙකුලාසි ඇති, එකිනෙකට වෙනස් තරඟකාරී අභ්‍යන්තර මූල්‍ය වෙළඳ පරිසර වලින් යුත් රටවල්වල ඇති කුඩා මුල්‍යකරණ ආයතන එකම ශ්‍රේණිගත කිරිමකට භාජනය කිරිම නිෂ්ඵලය.

ආ) තවද කුඩා මූල්‍යකරණ ආයතන අයත්වන්නේ ‘ලාභදායීත්වය’ (profitability) සහ ‘දිළිඳුකම පිටුදැකිම’ (poverty alleviation) අන්තයන් දෙකේ ඇති පරාසයකටය. මින් සමහරක් එම පරාසයේ ලාභදායී අන්තයට ආසන්නවන අතර සමහරක් කුඩා මූල්‍යකරණ ආයතන ආසන්න වන්නේ දිළිඳුකම පිටුදැකිමේ අන්තයටය.  මෙම අධ්‍යයනයට අනුව මෙම පරාසය තුළ ආසන්නයේම ඇති ආයතන සැසඳීමට හැකිවන අතර අන්තයන් දෙකේ ඇති ආයතන සැසඳීමෙන් අර්ථවත් නිගමනයන්ට එළඹිය නොහැකිය.

ඇ) දිළින්දන් ආවරණය කිරීමෙන් මූල්‍ය කාර්යක්ෂමතාවයේ අඩුවීමක් හෝ මුල්‍ය කාර්යක්ෂමතාවය වැඩිවනවිට දිළින්දන් ආවරණයේ අඩුවීමක් සැමවිටම සිදුනොවන බවය. කොටින්ම කිවහොත් මූල්‍ය කාර්යක්ෂමතාවය සහ දිළින්දන් ආවරණය අතර ඍජු සම්බන්ධතාවයක් නොමැතිබව මෙම අධ්‍යයනයෙන් පැහැදිලිවේ.

ඈ) වෙනත් කුඩා මූල්‍ය ආයතන නොමැති හා තරඟකාරිත්වයෙන් තොර පරිසරයක කුඩා මූල්‍යකරණ ආයතනයක කාර්යක්ෂමතාවය පහළ බැසිමට ඉඩ ඇත.

ඇ) කුඩා මුල්‍යකරණ ආයතනයක කාර්යක්ෂමතාවය අඩුවීමට එකම හෝ ප්‍රධාන හේතුව දුර්වල කළමණාකාරිත්වයම විය නොහැකිවන අතර එම ආයතනය ක්‍රියාත්මකවන පරිසරය තුළ ඇති සමාජ, ආර්ථික සහ දේශපාලන සන්දර්භයන්ට අනුව වැඩි සේවක පිරිසක් යෙදවීමට හෝ වෙනත් අධික පිරිවැයක් ඉසිලීමට සිදුවීම කාර්යක්ෂමතාවය පහළ බැසීමට  හේතුවක්විය හැක. මෙයින් අදහස්වන්නේ ආයතනයක අභ්‍යන්තර පාලනයට නතු නොවන බාහිර සාධකවලට  (විශේෂයෙන්ම දිළිඳු ප්‍රජාවන් ආවරණය කිරිමේදී) මුහුණ දීමට කුඩා මූල්‍යකරණ අායතනවලට සිදුවන බව හා එවැනි අභියෝගාත්මක අවස්ථාවලදී එම ආයතනවල කාර්යක්ෂමතාවය පහළ බැසිය හැකි බවය.

ඉ) ඉහත දැක්වු වැනි පසුබිමක් තුළ කුඩා මුල්‍යකරණ ආයතනයක කාර්යක්ෂමතාවය අඩුවී එහි පිරිවැය ආවරණය කිරිමට පවා නොහැකිවුවද, විකල්ප මූල්‍ය සේවා නොමැති දිළිඳු ප්‍රජාවකගේ ආදායම් සහ රැකියා උත්පාදනය සඳහා එම ආයතනයෙන් සිදුවන දායකත්වය වැඩි ඇගයීමකට භාජනය විය යුතුය.

සහණදායී මුල්‍ය ප්‍රතිපාදනවල බලපෑම (Effect of Subsidies)

නැවත නොගෙවිය යුතු ප්‍රදානයන් (free donations) හෝ පොළියක් නොමැති සහ අඩු පොළී ණය වැනි සහණදායී මුල්‍ය ප්‍රතිපාදන (subsidies) කුඩා මුල්‍යකරණ ආයතනවල පැවැත්මට හානිදායකයැයි බොහෝ විශේෂඥයින්ගේ මතය වුවද ඒවා බොහෝ කුඩා මූල්‍ය ආයතන තුළ සුලභව ඇති දෙයක් බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි. අධ්‍යයනයට භාජනය වූ කුඩා මූල්‍ය ආයතන 45 න් 34 ක්ම නෙ‍ායෙකුත් ආකාරයේ සහණදායී මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන තිබෙනවා පමණක් නොව ඒවා එම ආයතනයන්හි මානව සහ මුල්‍ය සම්පත්වල ඵලදායිබව ඉහළ නැංවීමටද අතිශයින් ප්‍රයෝජනවත් බවද එම ආයතන සහඳන් කර ඇත.

එමනිසා දිළිඳුකම පිටු දැකීම වැනි සමාජ අරමුණු (social objectives)කෙරේ වැඩි අවධානයක් යොමු කරන්නේද එසේත් නැතිනම් මුල්‍ය තිරසාරත්වය (financial sustainability) කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේද යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට කුඩා මුල්‍යකරණ ආයතනවලට ඉඩ හරිනවාට වඩා සහණදායි මූල්‍ය ප්‍රතිපාදන මගින් (subsidies) ඒ අරමුණු දෙකම අන්තර්ගතවූ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම වඩා සුදුසුය යන මතය මෙයින් පිලිබඹුවේ.

කුඩා මූල්‍යකරණ ආයතනවලට මූල්‍යාධාර සපයන දායක අයතනවලට (donors) මෙම අධ්‍යයනය මගින් දෙන වැදගත් පණිවුඩය නම් කුඩා මුල්‍යකරණ ආයතනයක ප්‍රගතිය ඇගයීම සඳහා  යොදා ගත යුතු මූලිකම නිර්නායකය විය යුත්තේ සමාජ සහ මූල්‍ය අරමුණු උචිතව කැටිවූ ආයතනික කාර්යක්ෂමතාවය  (institutional efficiency with the right mix of social and financial objectives) යන්නය.

කුඩා මූල්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ තරඟකාරිත්වය ඉහළ නැංවිමට සහණදායී මුල්‍ය ප්‍රතිපාදන ඉවහල්වුවද ඒ මගින් මුල්‍ය අක්‍රමිකතාවයන්ට (corruption) සහ වෙළඳපල විකෘති කිරීම්වලට (market distortions) අනුබල ලැබීමක් සිදුවන නිසා එවැනි ප්‍රතිපාදන ලබා දීම ඉතා ප්‍රවේශමින් අවශ්‍යතාවය මත සහ අවශ්‍ය කාලය අනුව ප්‍රගතිය පදනම් කරගත් කොන්දේසි මත විනිවිද ස්වරූපයෙන් කළ යුතුය යන්නද මෙම ග්‍රන්ථය මගින් අවධාරනය කර සිටී.  කුඩා මුල්‍යකරණ ආයතනවලට ඍජුවම සහණදායී ප්‍රතිපාදන ලබා දෙනවාට වඩා ඒවා අයත් ජාල සහ සන්ධාන ආයතන (networks and apex bodies) හරහා එවැනි ප්‍රතිපාදන ලබා දීම ඒ මගින් සිදුවන අගතියන් අවම කිරීමට උපකාරීවිය හැකිවන අතර, එසේ ලබා දෙන සහණදායී ප්‍රතිපාදන අනුක්‍රමයෙන් අඩු කොට අවසානයේදී එවැනි සහණාධාරවලින් මිදීමේ උපාය මාර්ගද (subsidy exit strategies) කුඩා මුල්‍යකරණ ආයතනවලට තිබිය යුතුය යන්න මෙම අධ්‍යයන ග්‍රන්ථය අවධාරනය කරයි.

මූලාශ්‍රය: http://www.ilo.org/wcmsp5/groups/public/---dgreports/---dcomm/documents/presentation/wcms_087755.pdf