සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

තිරසාර ජිවනෝපාය (Sustainable Livelihoods)

පුනරුත්ථාපන, ප්‍රජා සංවර්ධන සහ දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන්වලදී බොහෝවිට ප්‍රමුඛස්ථානයක් ගන්නා කෘෂිකාර්මික, ධීවර සහ කුඩා ව්‍යාපාර සංවර්ධනය කිරීම වැනි ක්‍රියාකාරකම් පොදුවේ ජිවනෝපාය සංවර්ධන (livelihood development) වැඩසටහන් ලෙස හැදින්වෙන අතර ඒවායේ අවධානය වඩාත් යොමු වන්නේ ආයෝජනය සදහා අවශ්‍ය ණය සහ ආධාර (loans and grants), යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ (machinery and equipment), තාක්ෂණය (technology), පුහුණු කිරීම් (training), නිෂ්පාදනය ඉහළ දැමීම (increasing of production) ආදී කරුණු කෙරෙහිය. එහෙත් 1990 වේ මැද භාගයේ සිට විකාශය වූ තිරසාර ජිවනෝපාය සංවර්ධන සංකල්පය (sustainable livelihoods concept) මේ වනවිට බොහෝ දායක ආයතන(donors) සහ රාජ්‍ය නොවන සංවර්ධන ආයතන වල සංවර්ධන ප්‍රතිපත්ති සහ වැඩසටහන් නිර්මාණය කිරීමේදී වැදගත් තේමාවක් බවට පත්වී ඇත.

පටු ජීවනෝපාය ක්‍රියාදාමයකින් ඔබ්බට ගොස්, දිළිදුකමට සහ ජීවනෝපායන්ට සමස්තව බලපාන සාධක හදුනාගෙන ඒවා වාසිදායක ලෙස උපයෝගීකරගත හැකි උපාය මාර්ග මගින් ඵලදායී ජිවනෝපාය අරමුණු (livelihood outcomes) කරා ලඟාවීම මෙම සංකල්පයේ පදනමවී ඇත. එවැනි සියලු සාධක අන්තර්ගත කොට එක්සත් රාජධානියේ අන්තර් ජාතික සංවර්ධන දෙපාර්තමේන්තුව (DFID) මගින් පිළියෙළ කරන ලද තිරසාර ජීවනෝපාය රාමුව (Sustainable Livelihoods Framework) මේවනවිට බොහෝ ආයතනවල ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සදහා සම්මත සංකල්පමය රාමුවක් ලෙස උපයෝගී වෙමින් පවතී. DFID තිරසාර ජීවනෝපාය රාමුව www.livelihoods.org සහ www.odi.org.uk වෙබ් අඩවිවල විස්තරාත්මකව දක්වා ඇත. මෙම DFID තිරසාර ජීවනෝපාය රාමුව උපයෝගීකොට වෙනත් සංචර්ධන ආයතන විසින් නිර්මාණය කරන ලද ආකෘති බොහොමයක් ඇත. මෙයින් දෙකක් www.ifad.org සහ www.innovation.ex.ac.uk යන වෙබ් අඩවි වල දැකගත හැක.

   
   

 

තිරසාර ජිවනෝපාය සංකල්පයට අනුව යම් ප්‍රජාවක පුද්ගලයින්ට, පවුල්වලට, කණඩායම්වලට හෝ සංවිධානවලට ඇති වත්කම් සහ හැකියාවන් (assets and capabilities) මත ඔවුන්ගේ ජීවනෝපායන් ඵලදායි වේ. එම නිසා වත්කම් සහ හැකියාවන් තිරසාර ජීවනෝපාය රාමුවේ කේන්ද්‍රස්ථානයට පත්වේ. ජීවනෝපායන්ට අදාලවන හා ප්‍රජාවන් සහ පුද්ගලයින් තුළ නිරන්තරයෙන්ම දියුණුකරගතයුතු වත්කම් සහ හැකියාවන් වර්ග 5 ක් තිරසාර ජිවනෝපාය රාමුව විස්තර කරයි. ඒවා නම්:

- මානව වත්කම් (Human capital) : අධ්‍යාපනය, තාක්ෂණික කුශලතා, නිරෝගි බව, නව්‍යකරණයට ඇති නැඹුරුව
- ස්වාභාවික වත්කම් (Natural capital): ඉඩම්, ජලය, වාතය, වන පෙත්, තණ බිම් ආදිය
- භෙෘතික වත්කම් (Physical capital): මාර්ග, ගොඩනැගිලි, වාහන,යන්ත්‍ර සූත්‍ර, බීජ, පොහොර ආදිය
- මූල්‍ය වත්කම් (Financial capital) : ඉතිරි කිරීම්, ණය, රන් ආභරණ ආදිය
- සමාජ වත්කම් (Social capital): ආයතනික ජාල, බාහිර සම්බන්ධතා, සංස්කෘතික බැදිම්, සමාජ වටිනාකම් ආදිය සහ ප්‍රාදේශිය හා ජාතික මට්ටමේ සමාජ, දේශපාලනික හා ආර්ථික තීරණ ගැනිමේ ක්‍රියාවලියට සම්බන්ධවීමේ හැකියාව

එහෙත් මෙම වත්කම් සහ හැකියාවන් මත බලපාන ප්‍රධාන සාධක දෙකක් ඇති අතර, ජීවනෝපායන්ගේ තිරසාර බව රදා පවතින්නේත්, ඉහත කී වත්කම් සහ හැකියාවන් උපරිම ලෙස ප්‍රයෝජනයට ගතහැකි වන්නේත් මෙම සාධක දෙක මතය.

මින් පළමු වැන්න වන්නේ බාහිරෙන් එල්ලවන අවදානම් තත්වයන්ය (vulnerability context). මේ අවදානම් තත්වයන් නම් ස්වාභාවික උපද්‍රව (shocks) උදාහරණ: නියඟය, ගංවතුර, සුළි සුලං, සුනාමි ආදියත්; සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා (trends) උදාහරණ: ජනගහන වැඩිවීම්, වාර්ගික ගැටුම්, තාක්ෂණික දියුණුව, වෙළදපොල වෙනස්විම්, ගෝලීයකරණය ආදියත්; ආර්ථව විචලනයන් (seasonal changes) උදාහරණ: ස්වාභාවික සම්පත් තිබීම, කෘෂි අස්වැන්න, ආහාර සුරක්ෂිතභාවය, රැකියා අවස්ථා ආදියත්ය.

දෙවැන්න වන්නේ නිරන්තරයෙන් වෙනස්වන සමාජයික, රාජ්‍ය පාලන සහ වෙළද ආර්ථික ව්‍යුහයන් හා ක්‍රියාවලියන්ය (transforming structures and processes). උදාහරණ: ආගමික, ජාතිමය, ස්ත්‍රී-පුරුෂ වෙනස්කම්, සමාජ වටිනාකම් සහ පිලිගැනිම් ආදියත්; රාජ්‍ය ප්‍රතිපත්ති, ව්‍යවස්ථා, නීති රෙකුලාසි, දේශපාලන බලපෑම්, වෙළද ආර්ථික ප්‍රතිපත්ති ආදියත්ය.

ඉහත සදහන් කල අවදානම් තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ සමාජයීය, රාජ්‍ය හා ආර්ථික ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් ජිවනෝපායන්ට වාසිවන අන්දමට පොලඹවා ගැනීමට හෝ ඒවාට අනුගතවිම සදහා අදාල ප්‍රජාවන්ට ඇති හැකියාව මත ජීවනෝපායන්ගේ තිරසාර බව රදා පවතී.

එම නිසා සාර්ථක තිරසාර ජීවනෝපාය වැඩසහන්වල උපාය මාර්ගයන් (strategies) තෙවැදෑරුම් විය යුතුය.

1) අදාල ප්‍රජාවන්ගේ හෝ පුද්ගලයින්ගේ වත්කම් සහ හැකියාවන් ලබාදීම සහ ඒවා ලබා ගැනිමට හා නිරන්තර ඔප් නැංවීමට ඇති අවස්ථාවන් ප්‍රවර්ධනය කිරිම

2) අදාල ප්‍රජාවන්ගේ ජිවනෝපායන්ට බාහිරෙන් එල්ලවන අවදානම් අවම කිරීම, ඒවාට ඔරොත්තු දීමේ සහ ව්‍යසනයෙකින් පසු ප්‍රකෘතිභාවයට පැමිණීම (reselience) සදහා ඇති හැකියාවන් ප්‍රගුණ කිරීම

3) අදාල ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට වාසිවන අන්දමේ රාජ්‍ය, වෙළද සහ පාරිභෝජන ප්‍රතිපත්ති, නීති හා එකඟතා සැලසුම් කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් ඒවා අනුගමනය කිරිමටත් දේශීය සහ ලෝක මට්ටමේ බල පෑම් කිරිම සහ එසේ බල පෑම් කිරීමට ප්‍රජාවන් සවිබල කිරීම.

එවන් ජීවනෝපාය වැඩසටහන්වල අරමුණු (livelihood outcomes) ආදායම් වැඩිකර ගැනීමට පමණක් සීමා නොවූ සමෘද්ධිමත් ජීවන තත්වයක් ගොඩ නගා ගැනීම, පරිසරය හා තිරසාරව බැදීම, ආහාර සුරක්ෂිතභාවය හා අඩු අවදානම් තත්වයන් පවත්වා ගැනිම වැනි පුළුල් ඒවාවිය යුතුය.

මෙම තිරසාර ජීවනෝපාය රාමුව තුලින් සංවර්ධන වැඩසටහන්වලට ගම්‍යවන වැදගත් කරුණු කීහිපයක් ඇත.

- ජීවනෝපායන්ට බලපාන බහුවිධ සාධක රාමුවකට සිමාකොට විදහා දැක්වුවද, එක් එක් ආයතන සහ වැඩසටහන් අනුව නම්‍යශීලි ක්‍රමවේදයක් (suatainable livelihood approach) ලෙස එය භාවිතා කල හැක.

- ‍මෙම රාමුව බොහෝ විට තිරසාර ජිවනෝපාය ක්‍රමවේදය (Sustainable Livelihood Approach - SLA) නමින් හැදින්වුවද, ක්‍රමවේදයකට අමතරව ජීවනෝපාය වැඩ සටහනක අරමුණු පිහිටුවා ගැනීමටද මෙම රාමුව ප්‍රයෝජනවත් වේ.

- තිරසාර ජීවනෝපාය සංවර්ධනයේදී ප්‍රජාවන්ගේ අවශ්‍යතාවයන්ට වඩා ඔවුන්ගේ ශක්තීන් ප්‍රමුඛස්ථානයක් ගනී.

- මෙම ක්‍රමවේදය තුල භෞතික සම්පත් වර්ධනයට වඩා මානව සම්පත් වර්ධනය හා ප්‍රජා සවිබලකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුවිම. මේ නිසාම තිරසාර ජීවනෝපාය ක්‍රමවේදය, ප්‍රජා කේන්ද්‍රීය සංවර්ධන ක්‍රමවේදයට (Community Centred Development) ආසන්න වේ.

- ජීවනෝපාය සංවර්ධනයේදී සමාජ-ආර්ථික-දේශපාලනික වශයෙන් පහළ සහ ඉහළ ස්ථරයන් අතර මනා සම්බන්ධතාවයක් තිබිම (micro-macro link) මෙම ක්‍රමවේදයේදී වැදගත් ලෙස සැලකේ.

- මෙය බහුවිධ ජීවනෝපාය ක්‍රියාකාරකම් සහ සාධක සැලකිල්ලට ගන්නා සාකල්‍ය (holistic) රාමුවක් වුවද එහි අංශ කිහිපයක් පමණක් තෝරා ගෙන වැඩසටහන් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.

- මෙම ක්‍රමවේදයේ දක්නට ඇති බහුවිධ හා සාකල්‍ය බවත් ඒ සදහා අවශ්‍ය ප්‍රජාමූලික සහභාගිත්ව ක්‍රියාපටිපාටියත් නිසා එය දිළිදුකම පිටුදැකීමේ සහභාගිත්ව ක්‍රමවේදයන්ට ආසන්න බවක් දක්වයි.

- දිළිදු ප්‍රජාවන්ගේ පිවනෝපායන්ට අදාල ඉඩම් හා යටිතල පහසුකම් වැනි භෞතික සම්පත් පමණක් නොව තොරතුරු සහ වෙළද ප්‍රතිපත්ති වැනි අවශ්‍යතා ද මෙම තිරසාර ජීවනෝපාය ක්‍රමවේදය සැලකිල්ලට ගනී. මේ නිසා මෙම ක්‍රමවේදය, හිමිකම් මුලික සංවර්ධන ක්‍රමවේදයටද (Rights Based Development) ආසන්න වේ.

තිරසාර ජීවනෝපාය ක්‍රමවේදය මත පදනම්ව ක්‍රියාත්මකවන සංවර්ධන වැඩසටහන්වලට විවිධ මුහණුවර තිබිය හැක. උදාහරණ: දිළිදු පවුල් ඉලක්ක කරගත් භෞතික සම්පත් ප්‍රථිස්ඨාපනය ( assets replacement), ව්‍යසනයකින් පසු ජීවනෝපාය ප්‍රතිසාධනය (livelihood recovery), කාන්තා සවිබලගැන්විම තුලින් ජිවනෝපාය සංවර්ධනය , ව්‍යසන කළමනාකරණය තුලින් ජිවනෝපාය සංවර්ධනය, තොරතුරු තාක්ෂණය හරහා ජිවනෝපාය සංවර්ධනය (ICT based livelihoods), සාධාරණ මිල සහ වෙළදපල සදහා බලපෑම් කිරීම (campaign for fair price and fair trade) ආදි වශයෙන්ය. එහෙත් සත්‍ය වශයෙන්ම එවැනි ප්‍රයත්නයන්වල ප්‍රථිපල තිරසාර වීමට නම් තිබිය යුතු පොදු මැදිහත්වීමේ ගුණාංගය විය යුත්තේ ජීවනෝපාය හැකියාවන් වර්ධනය කිරීම (enhancement of livelihood capabilities) උදෙසා වූ ප්‍රජා සවිබලකරණයයි.