සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

 

ෆෝබ්ස්  සඟරාව සහ මයික්‍රොෆිනෑන්ස් ඉන්ෆෝමේෂන් එක්ස්චේන්ජ් වෙන වෙනම එළි දක්වන කුඩා මුල්‍යකරණ ආයතන ශ්‍රේණිගත කිරීම් කුඩා මූල්‍යකරණය දිසාවන් දෙකක ගමන්කරණ බවට කදිම සාක්ෂියකි.
Different rankings of MFIs, one by the Forbes magazine and the other by the Microfinance Information Exchange (MIX) : one helps profit oriented investors and the other helps investors in poverty reduction.

ව්‍යපාරික සහ මූල්‍ය ආයතන විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ෆෝබ්ස් සඟරාව (Forbes magazine) විසින් ප්‍රථම වතාවට 2007 දෙසැම්බර් මස එළි දක්වන ලද කුඩා මූල්‍යකරණ ආයතන ශ්‍රේණිගත කිරීම (අයතන 50 ක්) සහ ඊට සමගාමීව කුඩා මූල්‍යකරණ ක්ෂෙත්‍රයේ තොරතුරු කළමණාකරනය සම්බන්ධයෙන් පුරෝගාමීත්වය උසුලන මයික්‍රොෆිනෑන්ස් ඉන්ෆෝමේෂන් එක්ස්චේන්ජ් නොහොත් MIX ආයතනය මගින් ‍2007 වර්ෂය සඳහා නිකුත් කර ඇති MIX Global 100 නමැති (ආයතන 100 ක්) ශ්‍රේණි ගත කිරීම අතර විශාල පරස්පර ස්වභාවයක් බැලූ බැල්මට දක්නට ඇත.  

http://www.mixmbb.org/Publications/001-IND/01-IND.ANLS/02-IND.ANLS.MFI/Global%20100%20Final.pdf (2007 MIX Global 100 ශ්‍රේණිගත කිරීම)

http://www.forbes.com/2007/12/20/microfinance-philanthropy-credit-biz-cz_ms_1220microfinance_table.html (ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම)

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන තුන පිළිවෙලින් හිමිවී ඇත්තේ - බංගලා දේශයේ ASA ආයතනය, ඉන්දියාවේ බන්ඩාන් (Bandhan) සහ බ්‍රසීලයේ නෝඩෙස්ටේ බැංකුවටය (Banco do Nordeste). එහෙත් MIX Global 100 ශ්‍රේණි ගත කිරීමේදී පළමු ස්ථානය මොරොක්කෝවේ ශකෝරා (Zakora) නමැති රාජ්‍ය නොවන සංවිධානයටත්, දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබරගමු සංවර්ධන බැංකුවටත්, තෙවන ස්ථානය මොරොක්කෝවේ අල් අමානා (Al Amana) නමැති රාජ්‍ය නොවන සංවිධානයටත් හිමිවී ඇත. 

ශකෝරා ආයතනය ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීමේදී 27 වන ස්ථානය ලබා තිබීමත්, අල් අමානා ආයතයනය 8 වන ස්ථානයේ සිටීමත් සහ සබරගමු බැංකුව එම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 50 ටවත් ඇතුලත් නොවීමත් මෙහි විශේෂත්වයයි. තවද ෆෝබ්‍ස් ලැයිස්තුවේ 50 වන ස්ථානයේ සිටින සණස සංවර්ධන බැංකුව MIX Global 100 ලැයිස්තුවට (මුල් ස්ථාන 100ට) ඇතුල් නොවීමද විශේෂ ලක්ෂණයකි. මෙයටත් වඩා විශේෂත්වය වන්නේ බංග්ලා දේශයේ සුප්‍රසිද්ධම කුඩා මූල්‍යකරණ ආයතන දෙකක්වන ග්‍රාමීන් බැංකුවත් (Grameen Bank), බ්‍රැක් (BRAC) ආයතනයත් MIX Global ප්‍රථම ස්ථාන 100 ට ඇතුලත් නොවීමයි.

මෙම ශ්‍රේණිගත දෙකෙහි වෙනස්කමට ප්‍රධාන හේතුව වන්නේ ඒ සඳහා භාවිතා කර ඇති දර්ශකවල වෙනස්කම්ය. උදාහරණයක් ලෙස ෆෝබ්ස් සඟරාව කුඩා මූල්‍යකරණ ආයතනයක විශාලත්වය (scale) මැණීම සඳහා එහි දළ ණය කළඹ (Gross Loan Portfolio) දර්ශකයක් ලෙස භාවිතා කරයි. එහෙත් MIX Global 100 කුඩා මූල්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේදී විශාලත්වය යනුවෙන් අදහස් කරන්නේ ණයලාභී ආවරණය (outreach) වන අතර එය මැණීම සඳහා අදාළ රටේ දිළිඳු ජනගහණය අතුරින් කෙතරම් ප්‍රතිශතයකට අදාළ ආයතනය වර්ෂයකදී ණය දුන්නාද සහ එම ආයතනයේ ණයලාභීන්ගේ වාර්ෂික වර්ධන වේගය (Annual growth of borrower number) යන දර්ශක දෙක භාවිතා කෙරේ. ඊට අමතරව MIX Global 100 ‍ශ්‍රේණි ගත කිරීමේදී ඉතිරි කිරීම් කළඹ  සහ ණය කළඹ අතර අනුපාතයත්(ratio of savings mobilized and loan portfolio), ඉතිරි කරන්නන් සහ ණය ලාභී සංඛ්‍යාව අතර අනුපාතයත් (ration of depositors and borrowers) ආවරණ දර්ශකයන් ලෙස භාවිතා කරයි.

ෆෝබ්ස් සඟරාවෙහි අඩංගු කුඩා මූල්‍යකරණ ආයතන ශ්‍රේණිගත කිරීම සඳහා ලාභදායිත්වය (profitability) පදනම්කරගත් දර්ශකයන් දෙකක්වන කොටස් මත ඉපයූ ප්‍රතිලාභ  (Returns on equity) සහ වත්කම් මත ඉපයූ ප්‍රතිලාභ (Returns on assets) භාවිතා කරන අතර, MIX Global 100: ශ්‍රේණි ගත කිරීමේදී ලාභදායිත්වය දර්ශකයක් ලෙස බැහැර කරනුලබයි.

මෙවැනි වෙනස්කම්වලින් ගම්‍යවන්නේ ලාභ ලැබීමේ අරමුණ පෙරදැරි කරගත් ආයෝජකයින්ට ෆෝබ්ස් සඟරාවෙහි ශ්‍රේණිගත  කිරිම වඩා හොඳ මූලාශ්‍රයක් වන බව සහ දිළිඳුකම පිටු දැකීම අරමූණ කරගන්නා ආයෝජකයිනට MIX Global 100 ශ්‍රේණිගත කිරීම වඩා හොඳ මූලාශ්‍රයක් වන බවයි. වාණිජමය ලාභ ලැබීමේ අරමුණ මත කුඩා මූල්‍යකරණ ආයතනවල ආයෝජනයන් කිරීමේ ප්‍රවනතාවය  සීඝ්‍රයෙන් පැතිර යන වර්තමානයේදී, වාර්ෂිකව එළිදක්වන MIX Global 100 වාර්තාව එවැනි වාණිජ ආයෝජනයන් සම්බන්ධ තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීම ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම ආරම්භ කිරීමට හේතුවූ බවට සැකයක් නැත.


ෆෝබ්ස් සරාව කරණ ලද ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ හොම කුඩා මූල්‍යකරණ ආයතන 50 අතරට ශ්‍රී ලංකාවේ සණස ආයතනයත් (Sri Lanka’s SANASA is ranked among the world’s best 50 microfinance institutions by the Forbes magazine)

2007 දෙසැම්බර් 20 : ව්‍යපාරික සහ මූල්‍ය ආයතන විශ්ලේෂණයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ෆෝබ්ස් සඟරාව (Forbes magazine) විසින් ප්‍රථම වතාවට විවිධ රටවල ක්‍රියාත්මකවන කුඩා මූල්‍යකරණ ආයතණ 641 ක් තක්සේරු කිිමකට භාජනය කොට ඉන් ප්‍රථම ස්ථානයන් 50ට ඇතුලත් ආයතනවල නාම ලේඛනය එළිදක්වා ඇත. මෙම නාම ලේඛනයේ 50 වන ස්ථානය ශ්‍රී ලංකාවේ සණස ආයතනයට හිමිවන අතර ඒ ලේඛනයට අයත් එකම ශ්‍රී ලාංකික කුඩා මූල්‍යකරණ අයතනය වන්නේද සණස පමණි.  පහත දැක්වෙන වෙබ් අඩවිවලින් මෙම ප්‍රවෘත්තිය පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක.

http://www.forbes.com/business/2007/12/20/top-microfinance-philanthropy-biz-cz_ms_1220intro.html

http://www.forbes.com/2007/12/20/microfinance-philanthropy-credit-biz-cz_ms_1220microfinance_table.html

ෆෝබ්ස් සඟරාව පවසන අන්දමට මෙම තක්සේරුකිරීම සඳහා මූල්‍ය ප්‍රගතිය (financial performance) පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර සමාජ ප්‍රගතිය (social performance) පිළිබඳ අවධානයක් යොමුකර නොමැත. එම නිසා මෙයින් ගම්‍යකරන්නේ ලාභය මතම කුඩා මූල්‍යකරණ ආයතනවල ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන්නන් සඳහා මෙම තක්සේරුව අනගි දර්ශකයක් වන බවයි.  ලාභ ඉපයීමේ අරමුණින් කුඩා මූල්‍යකරණ ආයතනවල කොටස් අයෝජනය කිරීමේ ප්‍රවනතාවය සීඝ්‍ර ලෙස පෙන්නුම් කෙරෙන මෙම අවධියේ ෆෝබ්ස් සඟරාව වැනි ප්‍රබල ගෝලීය මූල්‍ය සහ ව්‍යාපාරික විශ්ලේෂක ආයතනයක්, කුඩා මූල්‍යකරණ ආයතන ශ්‍රේණිගත කිරීමට උනන්දුව දැක්වීම කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රය තව තවත් ව්‍යාපාරික ගණයට තල්ලුකිරීමක් ලෙසද සැලකිය හැක.

මෙම විශිෂ්ඨතම කුඩා මුල්‍යකරණ ආයතන 50 න් ප්‍රථම ස්ථානය හිමිවන්නේ බංග්ලා දේශයේ ආසා (ASA) ආයතනයට වන අතර, දෙවන ස්ථානයට ඉන්දියාවේ බන්ඩාන් (Bandhan) ද, තෙවන ස්ථානයට බ්‍රසීලයේ නෝඩෙස්ටේ බැංකුවත් ( Banco do Nordeste)පත්වී ඇත. කුඩා මූල්‍යකරණයේ පුරෝගාමී ආයතනයවන බංග්ලා දේශයේ ග්‍රාමීන් බැංකුව 17 ස්ථානයටත්, බංග්ලා දේශයේ බ්‍රැක් (BRAC) ආයතනය 21 වන ස්ථානයට පත්වීම තරමක විශේෂත්වයක් ලෙස සැලකිය හැක. දකුණු ආසියාවේ පමණක් කුඩා මූල්‍යකරණ ආයතන 16 ක් ( ඉන්දියාව 7, බංග්ලා දේශය 7, පකිස්ථානය 1 සහ ශ්‍රී ලංකාව 1) මෙම විශිෂ්ඨ ආයතන 50 ට අයත්වීමද විශේෂත්වයකි.

ෆෝබ්ස් සඟරාවේ මෙහෙයවීම මත මෙම විශ්ලේෂණය කර ඇත්තේ කුඩා මූල්‍යකරණ ආයතනවල තොරතුරු රැස්කරණ මයික්‍රො‍‍ෆිනෑන්ස් ඉන්ෆෝමේෂන් එක්ස්චේන්ජ් ආයතනයයි (Microfinance Information Exchange – MIX).  2005 වර්ෂයේ ගිණුම් තොරතුරු මත කර ඇති මෙම තක්සේරුකිරීම සඳහා කාණ්ඩ (categories) හතරකට අයත් විචල්‍ය සාධක (variables) හයක් භාවිතකොට ඇත. ඒවා නම්:

අ) විශාලත්වය (Scale)

  • දළ ණය කළඹේ විශාලත්වය (Size of the Gross Loan Portfolio)

ආ) කාර්යක්ෂමතාවය (Efficiency)

  • එක් ණය ලාභියෙකු සඳහාවන මෙහෙයුම් වියදම (Operating expenses per borrower)
  • එක් ණය ලාභියෙකු සඳහාවන මෙහෙයුම් වියදම අදාළ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස (Operating expenses per borrower as a percentage of country’s Gross National Income)

ඇ) අවදානම් බව (Risk)

  • දින 30කට වඩා කල්පසු ණය වාරික ප්‍රමාණය මුළු ණය කළ‍‍ඹේ ප්‍රතිශතයක් ලෙස (Loan portfolio at risk for more than 30 days as a percentage of total loan portfolio)

ඈ) ලාභදායිත්වය (Profitability)

  • කොටස් මත ඉපයූ ප්‍රතිලාභ (Return on Equity)
  • වත්කම් මත ඉපයූ ප්‍රතිලාභ (Return on Assets)

දේශගුණික විපර්යාස පිළිබ එක්සත් ජාතීන්ගේ බාලි සමුළුව අවසන් මොහොතේ ලත් ජයග්‍රහණය (UN Climate Change Conference reaches consensus at the last moment)

2007 දෙසැම්බර් 3 – 14 දක්වා ඉන්දුනිසියාවේ බාලි දූපත්වල පැවැත්වූ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතින්ගේ අන්තර් ජාතික සමුළුව අවසන් එකඟතාවයකට එළඹීම සඳහා එක් දිනක් වැඩිපුර වැය කරමින් දෙසැම්බර් 15 දින අවසන් කෙරින.  මෙම සමුළුවේ මූලික අරමුණවූයේ පරිසරයට මුදාහරින හරිතාගාර වායු (Greenhouse gases) ප්‍රමාණය අඩු කිරීම සඳහා 1997 එකඟවූ සහ 2013 දී අවසන්වන කියෝටෝ සම්මුතිය ඉන් ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය කතිකාවත (negotiations) ආරම්භ කිරීමයි.  මෙම කතිකාවතට අනුව 2009 වනවිට කියොටෝ සම්මුතිය 2013 දී අළුත් කරගැනීම සඳහා අවශ්‍ය එකඟතාවයන්ට එළඹීමට හැකිවේයැයි අදහස් කෙරේ.

කාර්මීකරණයවූ සංවර්ධිත රටවල්වලින් මුදා හැරෙන හරිතාගාර වායු නිසා වැඩිවන ගෝලීය උෂ්ණත්වය (Global warming) මගින් පරිසරයට වන හානිය සහ ලෝකයේ දිළිඳු රටවල් වල ආහාර නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට එල්ලවන අහිතකර බලපෑම් පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවා බොහෝ කාලයක් ගතවූ අතර එය විසඳීම සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම මුලින්ම ඉස්මතුවූයේ 1997 ජපානයේ කියෝටෝවල පැවති සමුළුවේදීය.  එහෙත් වාතයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කිරීම තම රටවල්වල ආර්ථිකයන්ට අශුභ ලෙස බලපෑ හැකි බැවින් ඒ සඳහා තවත් කල් අවශ්‍යයැයි යන මතයේ සිටින සමහර සංවර්ධිත රටවල් කියෝටෝ සම්මුතියට අත්සන් කිරීමෙන් වැළකී සිටියහ. මේ රටවල් අතර කැපී පෙනන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාවයි.  මෑතකදී පත්වූ නව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියොටෝ සම්මුතියට අත්සන් කිරීමට එකඟවීම එම සම්මුතියෙහි වැදගත් කඩඉමක් සනිටුහන් කරයි.

මේ මස බාලි හි පැවති සමුළුව සඳහා රටවල් 180 ක 10,000 ක් පමණ නියෝජිතයින් සහභාගි වූ අතර රාජ්‍ය නියෝජිතයින් සහ රාජ්‍ය නොවන සංවිධාන, විශ්ව විද්‍යාල සහ විද්‍යාත්මක ආයතනවල නියෝජිතයින්ද ඒ අතර විය. නොයෙකුත් වාද විවාද මැද එකඟතාවකට පැමිණිමට අපහසුවු නිසා එක් දිනක් වැඩිපුර පැවැත්වූ මෙම සමුළුව දෙසැම්බර් 15 දින අවසාන කරමින් කියොටෝ සම්මුතිය පිළිබඳ කතිකාවත 2009 දක්වා ගෙන යෑමට අවශ්‍ය න්‍යාය පත්‍රයක් සඳහා සියළුම රටවල්වල එකඟතාවය පළවිය.  ඇමෙරිකා එක්සත් ජනපදය වායු ගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය 2050 වනවිට 50% කින් අඩුකිරීමට සැලසුම් කිරිමත්, හරිතාගාර වායු ප්‍රමාණය ක්‍රමාණුකූලව අඩු කිරීමට බලාපොරොත්තුවන රටවල් සඳහා අනුවර්තන අරමුදලක් (Adaptation Fund) පිහිටුවිමට එකඟවිමත්, වනාන්තර විනාශයෙන් සිදුවන වායු මුදා හැරිම් අවම කිරීමට (reduce emissions due to deforestation) සහ තාක්ෂණික දැනුම හුවමාරුව ප්‍රචලිත කිරීමටත් (technology transfer) වූ එකඟතා බාලි සමුළුවේදී ලත් ජයග්‍රහණ ලෙස සැලකිය හැක.


කාබනික කෘෂිකර්මයට සාගින්න මැඩලීම සහා දායකවිය හැකිවුවත් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රසායනික පොහොර අත්‍යවශ්‍යමය  
Organic agriculture can contribute to fighting hunger.But chemical fertilizers needed to feed the world

2007 දෙසැම්බර් 10 දින ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධනය නිකුත්කළ ප්‍රකාශයකට අනුව ගෝලිය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරිම සඳහා රසායනික පොහොර යොදන සම්මුතික කෘෂිකර්මය වෙනුවට කාබනික පොහොර භවිතාවන කෘෂිකර්මය ආදේශ කිරිමට හැකිවේයැයි විශ්වාස කළ නොහැක. මේ තොරතුර පහත දැක්වෙන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
http://www.fao.org/newsroom/en/news/2007/1000726/index.html

එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අනුව කාබනික කෘෂිකර්මය මගින් පෝෂණය අතින් පරිපූර්ණ සහ වැඩි ආදායම් ජනිතකරණ ආහාර වර්ග නිෂ්පාදනය කළද ඒ මගින් අද සිටින බිලියන 6 ක් පමණවන ලෝක ජනගහණයට හෝ 2050 දී අපේක්ෂිත බිලියන 9 ක් පමණවන ජනගහණයට අවශ්‍ය ආහාර නිස්පාදනය කිරීම රසායනික පොහොර නොමැතිව කළ නොහැක.

එහෙත් 2007 මැයි මාසයේදී ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් සංවිධානය කළ සමුළුවකදීම බාහිර ආයතනයකින් කළ ඉදිරිපත්කිරීමක මගින් කාබනික කෘෂිකර්මය මගින් ලෝක ජනගහණයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සැපයීමට හැකියැයි ප්‍රකාශවී ඇත. එහෙත් 2005 වර්ෂය වනවිට ලෝකයේ වගාබිම්වලින් කාබනික කෘෂිකර්මයට නැඹුරුවී ඇත්තේ දළ වශයෙන් 2% පමණ ප්‍රමාණයකි. 

තවද නිෂ්පාදන දත්තයන්ට අනුව කාබනික කෘෂිකර්මයේ ඵලදායිතාවය රසායනික පොහොර භාවිතා කරණ සම්මුතික කෘෂිකර්මයේ ඵලදායිතාවයට වඩා ඉතා අඩුයැයි ප්‍රකාශ කරණ  ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලෝක ජනගහණයට ආහාර සැපයීමට කාබනික ගොවිතැනට  විභවයද ඉතා අඩුයැයි පෙන්වාදෙයි.

කාබනික නිෂ්පාදන සඳහා සාපේකෂකව ඉහළ මිලක් ලැබුණද එවන් නිෂ්පාදන සඳහා උසස් තත්වයේ ප්‍රමිතීන් පවත්වාගත යුතු‍වේ. මේ සඳහා ඉහළ තාක්ෂණික සහ කාර්යක්ෂම වගාකිරීම්, සැකසුම් කිරීම් සහ අලෙවි කිරීම් ක්‍රමවේදයන් වෙනුවෙන් විශාල ආයොජනයන් කළ යුතුය. එම නිසාම එවැනි කාබනික නිෂ්පාදනවලින් බැහැරවීමට සම්පත්වලින් ඌන දුප්පත් ගොවියන්ට සිදුවේ.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අනුව අධික ආම්ලිකතාවය සහ පෝෂක ඌනතාවයෙන් යුත් පස ඇති අප්‍රිකානු කලාපයේ වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය ඉතා වැදගත්ය. 2007 වාර්ෂික ලෝක බැංකු වාර්තාවට අනුවද උප සහරා කලාපයේ රටවල්වල කෘෂිකාර්මික ඵලදායිතාවයට ප්‍රධාන හේතුවක් වන්නේද අඩු පොහොර භාවිතයයි. සාමාන්‍යයෙන් අප්‍රිකානු රටවල (රසායනික) ගොවීන් ආසියාවේ ගොවීන් යොදන පොහොර ප්‍රමාණයෙන් 10% ක් පමණ යොදනු ලබයි. මෙය ඔවුන්ගේ අඩු කෘෂිකාර්මික ඵලදායිතාවයට ප්‍රධාන හේතුවයි.

එහෙත් රසායනික පොහොර භාවිතය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුයැයි ප්‍රකාශ කරණ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නියම පොහොර වර්ගය නියම ප්‍රමානයෙන් නිසියාකාරව නිසි වේලාවේදී භාවිතා කළ යුතුය යන්න අවධාරනය කරයි.

ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය (Integrated Pest Management) සහ සංරක්ෂණ කෘෂිකර්මය ක්‍රමවේද (Conservation farming) රසායනික පොහොර භාවිතය හා ඈඳා ගැනීමෙන් අවම යෙදවුම් මගින් උපරිම ඵලදායිතාවයක් ලබාගතහැකියැයි පවසන ඔහු ලෝකයේ සාගින්න පිටු දැකීමට එක් විසඳුමක් නැති අතර රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන වැඩි කිරිම, නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, දියුණු තාක්ෂණ භාවිතය, දැණුම සහ ධාරිතාවය වැඩිකිරීම සහ මනා පරිසර කලමණාකරණ ක්‍රම වැනි විවිධ මැදිහත්වීම් මගින් අහාර සුරක්ෂිතතාවය ලඟාකර ගතයුතුයැයි අවධාරනය කරයි.


බංගලා දේශයේ සුළි කුණාටුවෙන් විපතට පත් අයගේ ණය ‍කපා හැරේ
Loans to Bangladesh cyclone survivors written off

2007 නොවැම්බර් මස බංග්ලා දේශයේ සිදුවූ සුළි කුණාටුවෙන් 3300 පමණ පුද්ගලයින් මරණයට පත්වී ලක්ෂ 5 කට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමිවිය. කුඩා ණය වැඩ සටහන්වලට (microfinance) ප්‍රචලිත බංග්ලා දේශයේ මෙසේ විපතට පත් පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් කුඩා පරිමාණයේ ස්වයං රැකියා සඳහා විවිධ මූල්‍ය ආයතනවලින් ණය ලබා තිබුණි.

මෙසේ ණය ලබා දී තිබූ බ්‍රැක් (BRAC) නමැති ඉතා ප්‍රසිද්ධ කුඩා මූල්‍ය ආයතනය සුළි කුණාටුවෙන් විපතට පත් සහ තම ආයතනය මගින් ණය ලබා දී ගත් 125,000 පමණ අයගේ නැවත ගෙවීමට තිබූ ණය මුළුමණින්ම කපා හැරීමට තීරණය කර ඇත. මේ සඳහා බ්‍රැක් ආයතනයට වෙන් කිරීමට සිදුවී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 14.5 ක් වැනි අති විශාල ප්‍රමාණයකි.

මීට අමතරව 2007 ජූලි - අගොස්තු කාලයේදී ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින්ගේ නැවත ගෙවීමට ඇති ණය 2008 මාර්තු දක්වා අත්හිටවන බවද බ්‍රැක් ආයතනය පවසයි.

අවුරුදු පතා ණයලාභීන් නැවත කරන ගෙවීම්වලින් 2% ක් වෙන් කරමින් ගොඩ නගා ගත් සංචිතයේ ඇති මුදලටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙසේ කපා හරිණ ලද ණය හිලව් කිරීමට අවශ්‍ය බව බ්‍රැක් ආයතනය පවසයි.

මෙසේ ණය කපා හරින ලද පුද්ගලයින්ට වහාම නැවත ණයක් ලබා ගැණිමටද හැකි බව එම ආයතනය නිවේදනය කර ඇත.

මෙම ප්‍රවෘත්තිය තරමක් වැදගත් වන්නේ කුඩා ණය වැඩ සටහන් සඳහා ඉමහත් ප්‍රසිද්ධියට පත් නෝබෙල් ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් යූනුස් නායතක්වය උසුලන ග්‍රාමීන් බැංකුව මෙසේ සුළි කුණාටුවෙන් විපතට පත් අයගේ ණය කපා හැරීමට මැලිවීමයි.

නොයෙකුත් ස්වාභාවික විපත් නිසා ණය කපා හැරීමට රජයන් ගන්නා දේශපාලන තීන්දු මහත් ආන්දෝලනයකට ලක් කරණ දේශීය සහ විදේශී මූල්‍ය ආයතන මෙම ප්‍රවෘත්තිය කෙරෙහි සැලකිල්ලක් දක්වනවා නොඅනුමානය.


ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සංවර්ධනය සහා ආසියාන්‍ර සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50 ක ණය ආධාරයක්

2007 දෙසැම්බර් 7 නිකුත්කළ ප්‍රකාශයකට අනුව ශ්‍රි ලංකාවේ බස්නාහිර පළාතෙන් බැහැරව කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය සංවර්ධනය කිරිම සඳහා ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ලඩා දීමට එකඟවි ඇත.  පහත සඳහන් වෙබ් අඩවියෙන් එම තොරතුර ලබාගත හැක.
http://www.adb.org/Media/Articles/2007/12315-sri-lankan-smes-developments/default.asp) මෙම වැඩසටහන ‘ප්‍රාදේශිය කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය’ Small and Medium Enterprise Regional Development Project යනුවෙන් හැඳින්වෙන අතර එම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය වශයෙන් ඩොලර් ලක්ෂ 5.5 ක ප්‍රදානයක් ජපාන විශේෂ අරමුදලින් (Japan Special Fund)පිරිනැමෙණු ඇත.

නාගරීකරණයවූ බස්නාහිර ප්‍රදේශයෙන් බැහැර කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම්, ව්‍යාපාර සංවර්ධන සේවා, තොරතුරු සම්බන්ධතා, තාක්ෂණික සේවා සහ වෙළඳපල ලඟාකරදිම මගින් ඒවා සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.  පිට පළාත්වල දක්නට ලැබෙන ඌන ආර්ථික සංවර්ධනය සහ බස්නාහිර පළාත සහ අනිකුත් පිට පළාත් අතර ඇති ආර්ථික සංවර්ධන අධිවිෂමතාවය දුරලීමේ අභියෝගය තුල ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික ව්‍යපාර අංශයේ දායකත්වය ඉතා වැදගත්බව රජය පිළිගනී. රටතුළ ඇත් 30,000 ක් පමණවන සියළුම කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායන්ගෙන් 75% ක්ම බස්නාහිර පලාතෙන් පිට ලියා පදිංචිවී ඇති නිසා ඒවා ඉලක්ක කොට සංවර්ධනය කිරීම පිට පළාත්වල ඌන සංවර්ධනයට එක් පිළියමකි. 2004 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව මගින් කරණ ලද සමීක්ෂණයකට අනුව පිට පළාත්වල ඇති කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් මුහුණපාන ප්‍රධාන බාධකය නම් අවශ්‍ය ප්‍රමානයට ණය පහසුකම් නොලැබීමයි. එම ව්‍යවසායන්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට ණය පහසුකම් ලැබෙන්නේ 40% කට පමණ වන අතර එම නිසාම එවැනි ව්‍යාපාරවල ආර්ථික සහ රැකියා උත්පාදන විභවයද  අපේක්ෂිත මට්ටමට මඩා ඉතා අඩු මට්ටමක පවතී. 

මෙම ගැටළුව සැලකිල්ලට ගන්නා මෙම ව්‍යාපෘතිය පොද්ගලික වාණිජ බැංකු පද්ධතියේ පාලන ක්‍රමයන් (corporate governance) සහ අවදානම් කළමනාකරණය (risk management) කිරීමේ ක්‍රමයන් වැඩි දියුණුකොට ශක්තිමත් කිරිම සඳහා වැඩි සැලකිල්ලක් දක්වන අතර, බස්නාහිර පළාතෙන් බැහැර පිහිටි කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන් මූල්‍ය පහසුකම් කෙරෙහි ආකර්ෂණයවන අන්දමට සැලසුම් කොට සංවර්ධනය කිරීමටද අපේක්ෂා කරයි.   

 


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 80 ක මූල්‍යාධාර
ADB extends $ 80 Million Assistance for Sri Lanka’s Education Sector

2007 නොවැම්බර් 28 දින ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කල ප්‍රවෘත්තියකට අනුව අනාගත ශ්‍රම ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකාවේ ද්වීතියක සහ තෘතීයක අධ්‍යාපනය දියුණු කිරිමේ ව්‍යාපෘතියක් උදෙසා ඩොලර් මිලියන 80 ක මූල්‍යාධාරයක් ලබා දීමට තිරණය කර ඇත. මෙම මුදලින් ඩොලර් මිලියන 65 ක් ණයක් ලෙසද ඩොලර මිලියන 15 ක් ප්‍රදානයක් ලෙසද ලැබෙණු ඇත. මෙහිදී මූලික අවධානය යොමුවන්නේ ද්‍රවිතියක සහ තෘතියක අධ්‍යාපන වැඩ සටහන්වල  අදාළතාවය (relevance) , ගුණාත්මක බව (quality) සහ ඵලදායීතාවය (effectiveness) වැඩිකරලීම සඳහාය.

ගෝලියකරණය සහ ආසියාවතුල සිදුවන ආර්ථික සහ තාක්ෂණික වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලාංකීය තරුණ ශ්‍රම බලකායට හොඳ අවස්ථාවන් පෑදී ඇති සේම බොහෝ අභියෝගයන්ටද මුහුණදීමට සිදුවනු ඇත.  මේ සඳහා සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයකට නැඹුරුවූ ලාංකිය පාසැල් අධ්‍යාපන ක්‍රමය නව ආර්ථික ප්‍රවණතායන්ට අනුකූල කුශලතා සහ ආකල්ප වර්ධනය කිරීමට සුදුසු අන්දමින් පරිවර්තනය කිරිම මෙවැනි ව්‍යාපෘති මගින් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් දිළිඳුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 150 ක එක් රජයේ ද්වීතියක පාසැලක් බැගින් තෝරා ගෙන ඒවායේ උසස් පෙල විද්‍යා අංශය සංවර්ධනය කිරිමත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව, රටේ කර්මාන්ත සහ සේවා අංශයට ඉවහල් වන තාක්ෂණික විෂයයන් ඉගැන්විමට අවශ්‍ය පහසුකම් සැපයීමත් කරනු ඇත.

මිට අමතරව වෙළඳපල ශ්‍රම ඉල්ලුමට සරිලන ලෙස තෘතියක අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමත් එවැනි නව තෘතීයක අධ්‍යාපනක්‍රම සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ අවස්ථා ශක්තිමත් කිරිමත් මේ ව්‍යාපෘතියේ එක් අංගයක් වේ. ඒ මගින් වඩා පුළුල් පරාසයක ඇති විකල්ප තාක්ෂණික සහ වෘත්තීය කුශලතා දියුණු කරගත තෘතියක අධ්‍යාපනයක් කරා යොමුවිමට ඔවුනට හැකිවනවා පමණක් නොව නව ආර්ථික ශ්‍රම වෙළඳපලට පහසුවෙන් ජය ගැනීමටද එවන් අධ්‍යාපනයක් ඉවහල්වනු ඇත.
මෙම ප්‍රවෘත්තිය www.adb.org/Media/Articles/2007/12290-sri-lankan-educations-projects/default.asp වෙබ් අඩවියෙන් ලබාගත හැක.


දිළිඳුකම පිටුදැකීමේ ප්‍රජා පාදක සංචාරණ ප්‍රයත්නයක් නිසා අන්තර්ජාතික ප්‍රශංසාවට පත් නැගෙනහිර වෙරළේ ආරුගම් බොක්ක (Community Based / Pro poor Tourism initiative brings highest recognition to Arugam Bay at the World Responsible Tourism travel fair)

ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් නැගෙනහිර වෙරළේ  පිහිටි ස්වාභාවික සුන්දරත්වයෙන් පරිපූර්ණ ආරුගම් බොක්ක (Arugam Bay) පිටරට සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මුහුදු රල මත ලිස්සා යාමේ (Surfing) ක්‍රීඩාව සඳහාය. එම බොක්ක ‍ලෝකයේ රල මත ලිස්සා යෑමේ හොඳම ස්ථාන 10 ට ඇතුලත්වේ.

2007 නොවැම්බර් 14 වැනිදා ලන්ඩන් නුවර පැවති ලෝක සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේදී (World Travel Market) ආරුගම් බොක්ක පැසසුම් ලැබුවේ සර්ෆින් ක්‍රීඩාව සඳහාම නොවේ. සංචාරක කර්මාන්තය සහ එම ප්‍රදේශය ආශ්‍රිත ප්‍රජාවන් සැලසුම් සහගත ලෙස එකමුතු කිරීම මගින් එම ප්‍රජාවන්ගේ ආදායම් තිරසාරී ලෙස වර්ධනය කිරීමේ ප්‍රයත්නයක් පසුබිම් කොට ගෙන ඉහළම පැසසුම ලබා ගත් හොඳම සංචාරක මධ්‍යස්ථානය (Highly Commended Best Destination Award)ලෙස ආරුගම් බොක්ක මෙම ප්‍රදර්ශනයේදී සම්මානයට පාත්‍රවිය. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (United Nations World Tourism Organization) විසින් මෙම ප්‍රදර්ශනය සඳහා තේමා කොට තිබුණේ  “ජගත් වගකීම් සහිත සංචාරණ දිනය” (World Responsible Tourism day) යනුවෙනි. සංචාරක කර්මාන්තය රටක ආර්ථික වර්ධනයට පමණක් සීමාවූ සාධකයක් නොකොට දරිද්‍රතාවය පිටු දැකීමේදී සහ පාරිසරික සංරක්ෂණ ප්‍රයත්නයන්හිදී අඩු ආදායම් ලාභී ප්‍රජාවන් සහ ව්‍යාපාරික අංශ එක්තැන් කෙරන සාමූහික වගකීමකින් යුත් ආර්ථීක ක්‍රියාවලියක් බවට පත්කළ යුතුය යන්න ‍ඉහත තේමාවෙන් ඉඟි කෙරේ.

ආරුගම් බොක්ක ඉහත සඳහන් සම්මානයට පාත්‍රවීමට පසුබිම් වන්නේද එවැනි සාමූහික ප්‍රයත්නයන් මාලාවකි. එහි මූලික පියවර වූයේ 2002 දී පොතුවිල් කලපුව ආශ්‍රිත හිදායපුරම් ධීවර සමිතිය මගින එම කලපුවේ සහ අවට කඩොලානවල සුන්දරත්වය නැරඹීම සඳහා විදේශීයන් සහ දේශීයන් සඳහා ආරම්භකරණ ලද ආදායම් උත්පාදන සංචාරණ වැඩසටහනයි. මේ සඳහා අවශ්‍ය සියළු මග පෙන්වීමී සහ පුහුණුවීම් එක්සත් ජාතීන්ගේ සංවර්ධන චැඩසටහනේ මූල්‍ය අනුග්‍රහයෙන් ලබාදෙන ලද්දේ සේවා ලංකා පදනම (Sewa Lanka Foundation) මගිනි. පසුව ආරුගම් බොක්ක ප්‍රදේශයේ ගැඹුරු මුහුද ධීවර සමිතියද (Deep Sea Fishing Society)මෙවැනිම ආදායම් උත්පාදන සංචාරණ වැඩසටහණක් ආරම්භ කරන ලදී.

2004 සුනාමියේදී ඉමහත් ලෙස හානියට පත් ආරුගම් බොක්ක ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ වැඩසටහන් නිර්මානයේදී සේවා ලංකා පදනම ඊට පෙර ක්‍රියාත්මක කළ ප්‍රජා පාදක සංචාරණ වැඩසටහන්වල (Community Based Tourism) අත්දැකීම් බෙහෙවින් ප්‍රයොජනවත්විය.  එම පශ්චාත් සුනාමි සංචාරණ ප්‍රතිසංස්කරණවල අතිශයින් වැදගත් ප්‍රතිඵලවූයේ එම ප්‍රදේශයේ සංචාරක සේවා ආයතන මුල් කරගත් සංගමයක් (Arugam Bay Tourism Association) සහ ප්‍රජා පාදක පාරිසරික මග පෙන්වන්නන්ගේ සංගමයක් (Community Based Eco Guide Association) බිහිවීමයි.  මෙම මග පෙන්වන්නන්ට අවශ්‍ය පුහණුවට අමතරව ඔවුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම්වලට ප්‍රයෝජනවත් තොරතුරු, අලෙවි සහ කාර්යාලීය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමත් මෙම ප්‍රජා පාදක සංචාරණ වැඩ සටහන් මගින් ඉටුවිය.  සේවා ලංකා පදනමට අමතරව මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට මූලිකවූ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන වන්නේ ඇමෙරිකාවේ මර්සි කොප්ස් (Mercy Corps) සහ ඉතාලියේ ICEI ආයතනයන්ය.

ආරුගම් බොක්ක ආශ්‍රිතව සිදුකෙරෙන මෙම ප්‍රජා පාදක සංචාරණ ප්‍රයත්නයන් පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් එවැනි ප්‍රයත්නයන් ජගත් අවධානයට යොමු කිරීමට මැදිහත්වූයේ Responsible Tourism Partnership Sri Lanka නමැති ආයතනයි. 

ආරුගම් බොක්ක සංචාරණ ප්‍රදේශය ලැබූ මෙම ජගත් අවධානය එම ප්‍රදේශයට වැඩි වැඩියෙන් සංචාරකයින් ඇද ගැනීමට සමත්වනු නිසැකය. එහෙත් මෙවැනි ප්‍රයත්න සඳහා වෙහෙසවූ සියළු ආයතනවල අනාගත අභියෝගය වන්නේ එම සංචාරකයින්ගෙන් ලැබෙන ආදායමින් සැලකිය යුතු කොටසක් දුප්පතුන් කරා ඇදී යෑමට අවශ්‍ය උපාය මාර්ග හඳුනාගෙන ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමයි. එසේ නොවුණහොත් දැනට වර්ධනයවෙමින් පවතින දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය තවත් උත්සන්න වීමට සංචාරක කර්මාන්තය හේතුපාදක වනු ඇත.


ජෙ.පී. මෝගන් බැංකුව කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රයට එකතුවේ.
JP Morgan too enters microfinance field

ඇමෙරිකාවෙ නිව්යෝක් නගරය කේන්ද්‍ර කොට ගත් ජේ. පී. මෝගන් බැංකුව ලොව විශාලතම ආයෝජන බැංකුවක් (investment banks) ලෙස සැලකේ. කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රය ව්‍යාපාරික වශයෙන් ඉතා ආකර්ෂණීය බව සනාථකරමින් මෙම බැංකුවද කුඩාමූල්‍යකරණ ඒකකයක් ආරම්භකළ බව 2007 නොවැම්බර් මස නිවේදනය කර ඇත. මෙම ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨවූ අළුත්ම අන්තර් ජාතික ආයෝජන බැංකුව ජේ.පී.මෝගන් වන අතර, එහි කුඩා මූල්‍යකරණ ඒකකයේ ප්‍රධානියාට අනුව කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රය පෙන්නුම් කරණ අධික ලාභාංශ (profits) සහ සීඝ්‍ර වර්ධනය (‍fast growth) තම බැංකුව ඒ සඳහා යොමුවීමට මුල්වී ඇත. එහෙත් එම ඒකකය “සමාජ සංවර්ධන මූල්‍ය ඒකකය” (Social Sector Finance Unit) යනුවෙන් නම් කිරීමෙන් ගම්‍යවන්නේ සමාජ වගකීම් ප්‍රවර්ධනය සහ ලාභ ඉපයීම සංයුක්ත කොට ගත් උපාය මාර්ගයක් අනුගමනය වන බවය.

ලොව පුරා ක්‍රියාත්මකවන කුඩා මූල්‍යකරණ වැඩසටහණ්වල මුළු ණය ලාභීන් සංඛ්‍යාව 2006 වර්ෂය අග වනවිට දළ වශයෙන් මිලියන 52 ක් වන අතර සංසරණය වන මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 23 පමණ වේයැයි ගණන් බලා ඇත.  එහෙත් අඩු ආදායම් සහිත පුද්ගලයින් සඳහා අවශ්‍ය ණය ඉල්ලුම දළ වශයෙන් ඩොලර් බිලියන 300 ක් පමණ වේ යැයි අනුමානය කරණ ජේ.පී.මෝගන් බැංකුව ලාභ ලැබීමට මෙන්ම සමාජ ප්‍රතිලාභ අත්කරදීමටත් මෙම ක්ෂේත්‍රය ඉතා මහඟු අවස්ථාවක් ලෙස සළකයි.

කුඩා මූල්‍ය ක්ෂේත්‍රයට දැනටමත් අවතීර්ණවී ඇති සහ කැපී පෙනෙන අනෙකුත් විශාල අන්තර් ජාතික ආයෝජන බැංකු වන්නේ HSBC, මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) සහ ඩොයිෂ් බැංකුවය (Deutsche Bank). මෙසේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වලට පමණක් මෙතෙක් සීමාව තිබූ කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රයට වාණිජ සහ විශේෂයෙන් අන්තර් ජාතික ආයෝජන බැංකු ප්‍රවිෂ්ඨ වීම එම ක්ෂේත්‍රයේ වැදගත් කඩඉමක් සනිටුහණ්වීමකි. 

මූලාශ්‍රය: Financial Times www.ft.com/cms/s/0/6f04fb38-92dd-11dc-ad39-0000779fd2ac.html


සුළිකුණාටුවෙන් දහස් ගණනක් ගලවාගැනීමට මෙගාෆෝන භාවිතය සමත්වෙයි -
ව්‍යසන කළමනාකරණය හා බංග්ලා දේශයෙන් පාඩමක්
Bangladesh: Megaphones save thousands A lesson for disaster management

2007 නොවැම්බර් 15 දින බංග්ලා දේශයට බලපෑ සුළි කුණාටුවෙන් ‍3000 ක් පමණ දෙනා මරණයට පත්වුවද එම කුණාටුව පිළිබඳ පිළිබඳ පූර්ව සහ ක්ෂණික දැනුම් දීමක් කිරීමට හැකිවූ නිසා තවත් දස දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව ජිනීවාහි පිහිටි ලෝක කාලගුණවිද්‍යා ආයතනයේ (World Meteorological Organization) ව්‍යසන අවම කිරීමේ ඒකකයේ ප්‍රධානියා පවසයි. 1991 දී බංග්ලි දේශයට බලපෑ මෙවැනිම සුළි කුණාටුවකින් පුද්ගලයින් 190,000 ක් පමණ මියගිය අතර පූර්ව සූදානමක් සහිත ව්‍යසන සන්නිවේදන ක්‍රමයක් නොතිබිණි නම් මෙවරද මරණ සංඛ්‍යාව මීට වඩා ඉතා අධික වන්නට තිබූ බව ඇය පවසයි.        

ලෝක කාලගුණවිද්‍යා ආයතනය මගින් බෙංගාල බොක්කේ සිදුවූ මෙම කුණාටුව පිළිබඳ පූර්ව දැනුම් දීමක් දින තුනකට ප්‍රථම කරන ලදී. එතැන් සිට ක්‍රියාත්මකවූ බංග්ලා දේශ රජය රාජ්‍ය නොවන ආයතනයක් වන රතු අඩ සඳ සංවිධානයේ (Red Crescent Organization) ප්‍රජා ස්වේච්ඡා සේවකයින් 40,000 ක් පමණ යොදා ගනිමින් මෙ‍ම ච්‍යසනය පිළිබඳව දිස්ත්‍රික්ක 15 ක ජනයාට දැනුම් දීමක් කරන ලදී. මේ සඳහා යොදා ගත්තේ අතේ ගෙන යා හැකි මෙගාෆෝනය නමැති කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයයි. එම මෙහෙයුම කෙතරම් සාර්ථක වීද යත් සුළි කුණාටුව පතිතවීමට ප්‍රථම ලක්ෂ 20 ක පමණ පිරිසක් ආරක්ෂක ස්ථාන වෙතට ගෙන යෑමට එයින් හැකිවිය. 

මෙහිදී වැදගත්ම සාධකය වූයේ මේ සඳහා යොදා ගැනීමට හැකිවූ පූර්ව පුහුණුව ලත් ප්‍රජා ස්වේච්ඡා සේවකයින්ය.  සන්නිවේදනය, හදිසි ප්‍රතිකාර සහ සහන සේවා සඳහා විශේෂයෙන් සැදුම්ලත් ස්වේච්ඡා සේවක කමිටු මේ අවස්ථාවේ ක්‍රියාත්මක වූ අතර පාපැදිවලින් ගමන් කරමින් මෙගාෆෝන මගින් මෙම කුණාටුව පිළිබඳ දැනුම් දීම කරන ලදී. සරල තාක්ෂණයත් ප්‍රජා සහභාගිත්ව පෙර සූදානමත් සංයෝගවීමෙන් ඉස්මතුවූ මෙම ඵලදායී අත්දැකීම ව්‍යසන කළමනාකරණය සඳහා අන්රටවලට මනා පාඩමක්විය හැක.

මූලාශ්‍රය: IRIN News www.irinnews.org/Report.aspx?ReportId=75470


ස්ත්‍රී-පුරුෂ සමාජභාව අසමානතා අඩු රටවල් අතර ශ්‍රී ලංකාව 15 වන තැනට (Sri Lanka takes 15th place in Global Gender Gap Report)

වර්ලඩ් ඉකොනොමික් ෆෝරම් (World Economic Forum) නමැති සංවිධානය මගින් වාර්ෂිකව සිදුකෙරෙන ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ අසමානතා (gender inequalities) පිළිබඳ සමීක්ෂණයේ 2007 වර්ෂයේ ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාව පරතර වාර්ථාවට (Global Gender Gap Report) අනුව රටවල් 128 ක් අතුරින් ශ්‍රී ලංකාව 15 වන ස්ථානයේ සිටී. එය 2006 වර්ෂයට වඩා ස්ථාන දෙකක පසු බැසීමක් වුවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා අඩුවීම සඳහා ලැබෙන ලකුණු නොහොත් දර්ශක අගය (Gender Gap Index) 2007 වර්ෂයේ සුළු ප්‍රමාණයකින් වැඩිවී ඇත. මෙම ඇගයීමේදී ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින එකම ආසියාතික රට පිලිපීනයයි. ප්‍රථම ස්ථාන තුනට පත් රටවල් පිළිවෙලින් ස්වීඩනය, නෝර්වේ සහ ෆින්ලන්තයයි. ඉහළ සංවර්ධිත ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ඇමෙරිකාවද ශ්‍රී ලංකාවට වඩා පසු පසින් සිටී.

මෙම ඇගයීම සඳහා ප්‍රධාන සාධක හතරක් සැලකිල්ලට ගෙන ඇත. එම සාධක සඳහා අනිකුත් රටවල්වලට සාපේක්ෂකව ශ්‍රී ලංකාව ලබා ගත් අගයන්ට අනුව පෙනී යන්නේ ආර්ථික කටයුතුවලට ඇති අවස්ථා සහ අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් ස්‍ත්‍රී පුරුෂ සමාජ භාවයේ ඇති අසමානතා තරමක් වැඩි බවය.

ඇගයීම සඳහා යොදා ගත් සාධක 2007
ලබාගත් ස්ථානය ලබාගත් උප දර්ශක අගය
ආර්ථික කටයුතුවලට ඇති අවස්ථා සහ සහභාගිත්වය Economic opportunities and participation 94 0.557
අධ්‍යාපනය ලැබීම (Educational attainment) 56 0.990
සෞඛ්‍යය සහ ආයුෂ (Health and Survival) 1* 0.980
දේශපාලනික සවිබලවීම (Political empowerment) 7 0.365
 
සමස්ථ දර්ශකය 2007 15 0.723
සමස්ථ දර්ශකය 2006 13 0.720

* පළමු ස්ථානයට රටවල් 36 ක් පත්ව ඇත.

මේ පිළිබඳ විස්තර www.weforum.org/pdf/gendergap/rankings2007.xls   වෙබ් අඩියෙන් ලබා ගත හැක.


යුරෝපා රටවල් ජෛව ඉන්ධන භාවිතයට නැඹුරුවීම දුප්පත් රටවල ගොවීන්ට තර්ජනයක් වේද? ඔක්ස්ෆැම් ආයතනය අනතුරු අඟවයි. (Bio-fueling Poverty – EU plans could be disastrous for poor people, warns Oxfam)

වර්ෂ 2020 වන විට යුරොපා හවුලේ රටවල් තම ඉන්ධන අවශ්‍යතාවන්ගෙන් 10% ක් ජෛව ඉන්ධන වලින් සපුරා ගත යුතුය යන යෝජනාව නිසා ජෛව ඉන්ධන නිෂ්පාදනයට අවශ්‍ය වගාවන්ට අධික ඉල්ලුමක් ඇතිවිය හැක. මෙම ඉල්ලුම පිරිමැසීම සඳහා මහ පරිමාණයෙන් ෆාම් (oil palm) සහ උක් (sugar cane) වැනි වගාවන් පුවර්ධනය කිරීමට සංවර්ධනය වෙමින් පවතින ඉන්දුනීසියාව, කොළොම්බියාව, බ්‍රසීලය, ටැන්සානියාව සහ මැලේසියාව වැනි රටවල්වල රජයන් සහ පෞද්ගලික සමාගම් පෙළඹෙනු ඇත. මෙහි පුතිඵලය විය හැක්කේ එම රටවල්වල දුප්පත් සහ කුඩා ඉඩම් හිමි ගොවීන් එම ඉඩම්වලින් නෙරපීමය. මෙය ඔවුන්ගේ ජීවනෝපායන්ට පහරක් වනවාට අමතරව ඔවුනගේ ආහාර සුරක්ෂිතතාවයටත් අශුභ බලපෑමක් වනවා නොඅනුමානය.

ජෛව ඉන්ධන නිෂපාදනයට අවශ්‍ය වගාවන් කිරීමෙන් දුප්පත් සහ කුඩා පරිමාණයේ ගොවීන්ට වැඩි ආදායම් ලැබීමටත්, රැකියා ජනිත වීමටත් අවස්ථාවන් තිබුණද එසේවීමට නම් ඔවුන්ගේ ඉඩම් අයිතිය, ආහාර සුරක්ෂිතතාවය සහ කම්කරු අයිතිය පිළිබඳ ආරක්ෂාව තහවුරුවී තිබිය යුතුය. එමනිසා දුප්පත් රටවල ගොවීන්ගේ මෙම අයිතීන් සුරක්ෂිත කිරීමට යුරෝපා හවුල මැදිහත්විය යුතු අතර, එතෙක් 10% ජෛව ඉන්ධන අවශ්‍යතා යොජනාව ඉවත්කළ ගතයතුය යන්න ඔක්ස්ෆැම් අදහසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් ඔක්ස්ෆැම් වෙබ් අඩවියෙන් ලබා ගත හැක. www.oxfam.org.uk/applications/blogs/pressoffice/2007/11/biofuelling_poverty_eu_plans_c.html


කුඩා මූල්‍යකරණ සහ කුඩා රක්ෂණ සේවා සඳහා ‘ස්මාට් කාඩ්’ තාක්ෂණය (Smart card technology for microfinance and micro-insurance services)

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරණ ලද සමාජ ආරක්ෂණ (social security) වැඩ සටහනක් මගින් දුප්පත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවකට ‘ස්මාට් කාඩ්’ පත් (smart card) ලබා දී, එම කාඩ් පත් මගින් මුදල් ඉතිරි කිරීමටත්, ණය පහසුකම් ලබා ගැනීමටත් සහ ආරක්ෂණ සේවා (micro-insurance) ලබා ගැණීමටත් සලස්වන ලදී.  මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයක් සම්බන්ධවී සිටී.  මෙහි විශේෂත්වයත් නම් අදාල පුද්ගලයින්ගේ ඇඟිලි සලකුණු මෙම කාඩ්පත්වල තුලට ජීවමිතික තාක්ෂණය (biometric technology) යොදා ඇතුළු කර තිබීමයි.  අතේ රැගෙන යා හැකි කුඩා පරිගණකයකට (palm top) හෝ ජංගම දුරකතනයක් සහිත උපකරණයකට ස්මාට් කාඩ් පත ඇතුල් කොට අදාල පුද්ගලයා ඒ මත ඇඟිලි තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවයද බැංකු ශේෂය සහ ණය තොරතුරු ආදී සියළු මූල්‍ය තොරතුරුද එහි දිස්වේ. එවැනි උපකරණයක් සහ ජංගම මුද්‍රණ යන්ත්‍රයක් සහිතව ගම්වල සැරිසරණ බැංකු නියෝජිතයින් මගින් තම මූල්‍ය කටයුතු බැංකු කාර්යාලයකට යෑමෙන් තොරව කර ගැනීමට ග්‍රාමීය ප්‍රජාවන්ට හැකිවී ඇත. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසාම තවත් පුද්ගලයින් ලක්ෂ 30 කට පමණ මෙම ස්මාට් කාඩ් පත හඳුන්වාදීමට ආන්ද්‍රා ප්‍රදේශ රජය පියවර ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.hindu.com/2007/11/10/stories/2007111054820600.htm වෙබ් අඩවියෙන් ලබා ගත හැක.


යුරෝපා හවුල - අම්පාර දිස්ත්‍රික්ක සහයෝගිතා වැඩ සටහණට රුපියල් මිලියන 11,388 ක් (Rs. 11,388 Million allocated for development work under EU – Ampara partnership programme)

යුරෝපා හවුල මගින් 2007 සැප්තැම්බර් මස නිකුත් කළ පුවත් පත් නිවේදනයකට අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන පුනරුත්ථාපන සහ තිරසාර සංවර්ධන වැඩ සටහනක් සඳහා රුපියල් මිලියන 11,388 ක් ලබා දීමට අදාළ ගිවිසුමක් යුරෝපා හවුල ශ්‍රී ලංකා නියෝජිතයා සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අතසන් කර ඇත.  ප්‍රධාන ව්‍යාපෘති 7 කින් සමන්විත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙණුයේ අමාත්‍යාංශ කිහිපයක්, එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතන කිහිපයක් සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන කිහිපයක් සමගය. එම වැඩ සටහන් නම්:

  • සියඹලාණ්ඩුව - පොතුවිල් - අකක්රපත්තුව පාර ප්‍රතිසංස්කරණය. මහ මාර්ග දෙපා්තමේන්තුව හරහා ක්‍රියාත්මකවන මෙම වැඩ සටහනට ආසියානු සංවර්ධන බැංකුවද ණය ආධාර සපයනු ඇත.
  • ප්‍රජා මාවත් (community roads) ප්‍රතිසංස්කරණය. මේ වැඩ සටහන එක්සත් ජාතීන්ගේ UNOPS ආයතනය සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මකවේ.
  • ප්‍රජා ජීවනෝපාය සහායක වැඩ සටහන (Community Livelihood Support Programme). මේ වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතීන්ට අනුබද්ධ IOM ආයතනය සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහාය.
  • ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන (Livelihood Development Programme). මෙම වැඩ සටහන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වේ.
  • උතුරු නැගෙනහිර නිවාස ප්‍රතිසංස්කරණ වැඩ සටහන (North East Housing Reconstruction Programme). ජාතිය ගොඩ නැගීමේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක මෙම වැඩ සටහනට ලෝක බැංකු ආධාරද ලැබෙණු ඇත.
  • පාරිසරික ප්‍රති මැදිහත්වීම් වැඩ සටහන (Environmental Remediation programme). එක්සත් ජාතීන්ගේ UNOPS ආයතනය සහ ප්‍රාදේශීය ාජ්‍ය ආයතන හරහා මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
  • කල්මුණේ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වන පාරිසරික ප්‍රතිමැදිහත්වීම් වැඩ සටහන් දෙකක්.