සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

දිළිඳු ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ නව්‍ය ඉන්දියානු ප්‍රයත්නය
Innovative pension scheme for low income workers in India

(2008 ජූලි 27)
මාසයකට රුපියල් 3000 ට අඩු ආදායමක් ලබන ශ්‍රමිකයින් (low income workers) මිලියන 137 පමණ ඉන්දියාවේ සිටින අතර මහළුවියට පැමිණිවිට යැපීම සඳහා කිසිදු විශ්‍රාම වේතන ක්‍රමයක් මොවුන්ට නොමැත. මෙම ශ්‍රමික කණඩායම්වලට අයත්වන්නේ ගොවිපල හා ධීවර කම්කරුවන් (farm and fish workers), පදික වෙළඳුන්, බීඩි ඔතන්නන් සහ විවිධ කුලී වැඩ කරන්නන්ය.

දිළිඳුභාවය සහ සමාජ ප්‍රශ්න උග්‍රවීමට බලපාන මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස 2006 දී පමණ ‘සේවා බැංකුව’ (SEWA Bank)  නමැති ඉතා ප්‍රසිද්ධ කාන්තා මූලික කුඩාමුල්‍යකරණ ආයතනය මගින් ඉතුරු කිරීම් වලට සම්බන්ධ විශ්‍රාම ගෙවීම් ක්‍රමයක් ආරම්භ කරනලදී. මේවනවිට ශ්‍රමික කාන්තාවන් 30,000 ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධවී එක් කාන්තාවක් විසින් මාසයකට රුපියල් 50 – 100 ක් අතර ප්‍රමාණයක් ඉතුරු කිරීම් ලෙස තැන්පත් කරයි. එම ඉතුරුකිරීම් ගිණුමෙන් ඔවුන්ට ණය පහසුකම් පවා ලබා ගැනීමට හැකිය.

මෙවැනි සාර්ථක අත්දැකීම පදනම්කොට තවත් ඉන්දියානු මූල්‍ය සහ රක්ෂණ ආයතන කිහිපයක් දුප්පත් ශ්‍රමික පුද්ගලයින් සඳහා විශ්‍රාමික වේතන ක්‍රම කිහිපයක් ආරම්භ කර ඇතත් ඉන්දියාවේ ශ්‍රමික ප්‍රද්ගලයින් සංඛ්‍යාව හා සසඳන කල එම ආයතනවලින් ආවරණයවන පුද්ගල සංඛ්‍යාව ඉතා අල්පය.

එහෙත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්ත රජය විසින් මේවනවිට ශ්‍රමික පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ආවරණය කළහැකි නව්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භකර ඇත. මේ අනුව එවැනි ශ්‍රමිකයකු වර්ෂයකදී කරණ ඉතුරු කිරීම් වලට සමාන ප්‍රමාණයක් (රුපියල් 1000 ක සීමාවකට යටත්ව) ප්‍රාන්ත රජය විසින් එම ශ්‍රමිකයාගේ ගිණුමට ප්‍රදානය කරයි. උදාහරණයක් ලෙස ශ්‍රමිකයකු වර්ෂයකදී රු. 600 ක් ඉතුරුකළේ නම් රු. 600 ක් රජයෙන්ද, රු. 1000 ක් ඉතුරු කළහොත් රු. 1000 ක් රජයෙන්ද, රු. 1500 ක් ඉතුරු කළහොත් රු.1000 ක් රජයෙන්ද එම ගිණුමට බැර කෙරෙණු ඇත. මේ අනුව වර්ෂයකදී රුපියල් 1000 ක් ඉතුරුකරණ ශ්‍රමිකයකු දිනකට ඉතුරුකළ යුත්තේ රුපියල් තුනක් වැනි සුළු ප්‍රමාණයකි.

මෙසේ ඉතුරුම් ආරම්භකර අවුරුදු 25 කට පසුව රු. 1275 ක පමණ මාසික වේතනයකට මෙම ශ්‍රමිකයින් හිමිකමි දරණ අතර, එම මාසික වේතනය වාර්ෂිකව 3% පමණ ප්‍රමාණයකින් වර්ධනයවෙනු ඇත. මේ සඳහා දායකවිය හැකි ශ්‍රම ක්ෂේත්‍ර 20 ක් ප්‍රාන්ත රජය විසින් නම් කළ ඇති අතර මෙම ක්ෂේත්‍රයන්හි නියුතු ශ්‍රමිකයින් 500,000 ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ඉලක්ක කණු ලබයි. ඉන්දියාවේ අවුරුදු 45 ට වඩා අඩු ජනගහණය 80% ක් පමණවන නිසා මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයන් මගින් විශාල පුද්ගල සංඛ්‍යාවකට මහත් සෙතක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට තිබෙන සමීක්ෂණ දත්තයන්ට අනුව දුප්පත් ශ්‍රමිකයින් මිලියන 50 ක් පමණ රු. 1000 ක වාර්ෂික ඉතුරු කිරීම් මගින් මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයකට බැඳීමට කැමැත්තක් දක්වයි. ඒ සෑම ශ්‍රමිකයකුම සඳහා රාජ්‍ය දායකත්වය ලෙස රු. 1000 ක් ලබාදුණද එම මුදල සමාන වනුයේ ඉන්දියාවේ දළ ජාතික ආදයමින් 0.1% ක් වැනි සුළු ප්‍රමාණයකටය. එහෙත් මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයක් මගින් වයස්ගත දිළිඳු පුද්ගලයින් විවිධ සමාජ, ආර්ථික හා පාරිසරික හාණිවලට ගොදුරුවීමේ ප්‍රවණතාවය (vulnerability) විශාල වශයෙන් අවම කර ගැනීමෙන් ලැබෙන වාසි බොහෝය. උදාහරණයක් ලෙස ගතහොත් එවැනි විශ්‍රාම වැටුප් ලබන ජන කොටස්වලට වැයකළ යුතු ශුභසාධන වියදම් අවම කිරීම හා ණය කපා හැරීම් නැවැත්වීම මගින් ඔවුන් සඳහා විකල්ප සංවර්ධන වැඩසටහණ් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබෙණු ඇත.

මූලාශ්‍රය: http://www.business-standard.com/common/news_article.php?leftnm=lmnu2&subLeft=3&autono=324637&tab=r

සංවර්ධනය රටවල අඩු ආදායම් ලාභීන්ට ණය පහසුකම් සැපයීම සඳහා දැවැන්ත නොර්වීජියානු කුඩාමූල්‍යකරණ අරමුදලක්
Norway launches a US$ 117 million microfinance fund

(2008 ජූලි 24)

නොර්වීජියානු රජය, නෝර්වේවල පෞද්ගලික මූල්‍ය සමාගමක් (Ferd), පෞද්ගලික බැංකු සමූහයක් (DNB) සහ රක්ෂණ සමාගමක් (Storebrand) හා එක්ව දිළිඳු රටවල්වල අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට ණය දීම සඳහා දැවැන්ත කුඩාමූල්‍යකරණ අරමුදලක් පිහිටුවා ඇත. මෙම ක්ෂෙත්‍රයේ විශාලම අරමුදලක්වන මෙහි ආරම්භක මුදල් ප්‍රමාණය ඇ. ඩොලර් මිලියන 117 ක් වන අතර ඒ සඳහා නොර්වීජියානු රජය 50% කින් දායකත්වය සපයයි. මෙම අරමුදල ‘නෝර්වීජියානු කුඩාමුල්‍යකරණ ප්‍රයත්නය’ (Norwegian Microfinance Initiative –NMI) යනුවෙන් හැඳින්වේ.

මෙම අරමුදල මගින් කුඩාමුල්‍යකරණ ආයතන සඳහා දේශීය ව්‍යවහාර මුදල්වලින් (local currency) ණය සහ ආයෝජන පහසුකම් (loans and investments) ලබා දෙනු අතර අවදානම් සහිත අවස්ථාවන්හිදී 6% - 10% ක් අතර පොළී අනුපාතයක් අපේක්ෂා කෙරන අතර අනිකුත් අවස්ථාවන්වලදී සමාන්‍ය මුල්‍ය වෙළඳපල අනුපාතයන් (normal money market rates) අයකෙරෙනු ඇත. එහෙත් අඩු ආදායම්ලාභීන්ට කුඩා ණය ලබා දෙනවිට ඒ සඳහා 30% ක පොළී අනුපාතයක් අයකිරීමට මෙම අරමුදල අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් විවේචන එල්ලවීමට පටන්ගෙන ඇතත් එම විවේචන බැහැර කරණ නොර්විජියානු සංවර්ධන ආධාර අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසන්නේ කුඩා ප්‍රමාණයේ ණය විශාල සංඛ්‍යාවක් කළමනාකරණය කිරීම එතරම් පහසු නොවන නිසා 30% ක පොළී අනුපාතයක් අයකිරීම සාධාරණ බවය.

http://www.reuters.com/article/latestCrisis/idUSL02501576

ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ආසියාණු සංවර්ධන බැංකුවෙන් බංග්ලා දේශයට ඇ. ඩො. මිලියන 170 ක ණය ආධාරයක්
US$ 170 loan from ADB to Bangladesh to overcome food crisis

(2008 ජූලි 22)

උද්ධමන ප්‍රවනතා සහ කාලගුණික විපර්යාස නිසා ආසියා පැසිපික් කලාපයේ සංවර්ධනයවන රටවල් මුහුණ පා ඇති ආහාර අර්බුදයෙන් මිදීම සඳහා එම රටවල්වලට ක්ෂණික ආහාර ආධාර (food aid) වශයෙන් ඇ. ඩොලර් මිලියන 500 ක ණය සහ මූල්‍ය සහණාධාර දීමට මෙම වර්ෂයේ මැයි මස පැවති ආසියාණු සංවර්ධන බැංකුවේ 41 වැනි වාර්ෂික සමුළුවේදී ගත් තීරණයෙන් පසුව මුලින්ම එම ආධාර ලබා දී ඇත්තේ බංග්ලා දේශ‍යටය. මේ සඳහා ඇ. ඩොලර් මිලියන 170 ක ණය මුදලක් බංග්ලා දේශයට ලබාදී ඇත. මීට අමතරව 2009 වනවිට කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා ආසියා පැසිපික් කලාපීය දුප්පත් රටවල්වලට ලබා දෙන ණය ආධාර ප්‍රමාණය ඇ. ඩො. මිලියන 2000 ක් දක්වා වැඩි කිරීමටද තීරණය කර ඇත.

බංග්ලා දේශයේ ආහාර ද්‍රව්‍යවල පමණක් මිල උද්ධමනය (food inflation) 12% ක පමණවන අතර, සහල්වල සහ තිරිඟු පිටිවල වාර්ෂික මිල ඉහළ යෑම පිලිවෙලින් 61% සහ 56% ක් වේ. රටේ ජනගහණයෙන් 40% ක්ම දිළිඳුවන අතර ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇ. ඩොලර් 550 ක් තරමට අඩුය. (ශ්‍රී ලංකාවේ මෙම අගය ඇ. ඩොලර් 1500 ක් පමණවේ). මෙම දිළිඳු පසුබිම තුළ සහ පසුගිය (2007) වර්ෂයේ අගභාගයේදී දෙවරක් ඇතිවූ ගංවතුර තත්වයත් සහ සුළි කුණාටුවත් නිසා ‍බංග්ලා දේශය අතිශය ආහාර අහේණියකට මුහුණ පෑ අතර මිලියන 25 ක් පමණ පුද්ගලයින් ආහාර අනාරක්ෂිත තත්වයට භාජනයවිය.

ආ. සං. බැංකුව බංග්ලා දේශයට ලබා දුන් මෙම ණය මුදල විවෘත වෙළදපලෙහි අලෙවි කිරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමටත්, අසරණ පුද්ගලයින්ට ආහාර බෙදා හැරීමටත් (feeding the vulnerable people) සහ ‘වැඩ කිරීම වෙනුවෙන් ආහාර’ (food for work) වැනි සංවර්ධන වැඩසටහන් වෙනුවෙනුත් යොදාගත හැක.

මූලාශ්‍රය: http://www.adb.org/Media/Articles/2008/12537-bangladeshi-food-prices/


කෘෂි නිෂ්පාදන සඳහා වෙළඳපල මිල තොරතුරු ජංගම දුරකතන කෙටි පණිවුඩ ලෙසින් ගොවීන්ට යැවීම- නවතම රොයිටර් ව්‍යාපාරික ප්‍රයත්නය
Market prices of agro-produce sent as text messages to farmers’ mobile phones - an innovative business experiment of Reuters in India

(ජූලි 20, 2008)

අප සාමාන්‍යයෙන් ‘රොයිටර්’ යනු අන්තර් ජාතික ප්‍රවෘත්ති සේවාවක් ලෙස පමණක් දැන සිටියවුවද වර්ෂ 1851 සිට යුරෝපා රටවල කොටස් වෙළඳපලවල මිල තොරතුරු ලන්ඩනයේ කොටස් වෙළඳපල වෙත ලබාදීම රොයිටර් හි ප්‍රධාන සේවාවක්වී ඇත. රොයිටර් වල නවතම ප්‍රයත්නයවී ඇත්තේ සංවර්ධනයවන රටවල ගොවීන් සඳහා ජංගම දුරකතන ඔස්සේ කෘෂි නිෂ්පාදනවල මිල සන්නිවේදනය කිරීමයි.

මේ සඳහා ප්‍රථම උත්සාහය ලෙස ඉන්දියාවේ තෙවන විශාලතම ප්‍රාන්තය සහ ලූණු, දොඩම්, බඩ ඉරිඟු, සෝයා බෝංචි, තිරිඟු සහ කෙසල් වැනි කෘෂිබෝග විශාල වශයෙන් වගා කෙරෙන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තෝරාගෙන ඇත. තම බෝගවලට ලැබිය හැකි මිල පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව තෝරා ගත් පහසු වෙළඳපලක් වෙත තම නිෂ්පාදන රැගෙන ගොස් එහි පවතින මිලට අලෙවි කිරීම මෙම ප්‍රාන්ත ගොවීන්ගේ සමාන්‍ය පුරුද්දක් වී තිබිණ.

මෙම වෙළඳපල අකාර්යක්ෂමතාවය (market inefficiency) ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථාවක් ලෙස හඳුනාගත් රොයිටර් සමාගම කෘෂිභෝග සඳහා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුල ඇති එක් එක් වෙළඳපලවල පවතින මිල ගණන් ලබා ගෙන කෙටි පණිවුඩයක් (text message) ලෙස ලියා පදිංචිවී ඇති අනුග්‍රාහක ගොවීන්ගේ ජංගම දුරකථන වෙත යොමු කිරීම සඳහා 60 කින් පමණ සමන්විත දත්ත වාර්ථාකරුවන් කණ්ඩායමක් ‍යොදවන ලදී.

මෙම මිල තොරතුරු කෙටි පණිවුඩ ලෙස ලබා ගැනීමට මාස තුනක ගාස්තුව රුපියල් 175 ක් වැනි සුළු මුදලකි. ඒ සඳහා ලියා පදිංචිවීම සහ ත්‍රෛයිමාසික ගාස්තු ගෙවීමද ප්‍රාදේශීය තැපැල් කාර්යාල මගින් කරගත හැක. මේ වන විට ගොවීන් 40,000 ක් පමණ මෙම මිල සේවය සඳහා ලියා පදිංචිවී ඇති අතර සෑම දිනකම අළුතින් ගොවීන් 200 ක් පමණ මෙම සේවය සඳහා ලියා පදිංචිවෙමින් සිටී. මෙයින් සනාථ වන්නේ කෘෂි නිෂ්පාදන මිල පිළිබඳ දැනුවත්වීම සඳහා ගොවීන් කෙතරම් උනන්දුවක් දක්වන්නේද යන්නය.

මේ මිල තොරතුරු සේවය පිළිබඳ විමසීමකදී එක් ගොවියකු පවසා ඇත්තේ සෝයාවල මිල දිනෙන් දින ඉහළයනු දුටු නිසා කිලෝ ග්‍රෑම් 3000 ක පමණවු තම සෝයා ප්‍රමාණය අලෙවි කිරීම දින 15 කින් පමණ පමාකළ බවත් එම නිසාම රුපියල් 12,000 ක පමණ වැඩිපුර ආදායමක් ලබා ගැනීමට තමාට හැකිවු බවත්ය.

මෙම වැඩ සටහණ පිළිබඳව කරන ලද ඇගයිමකදී පෙනී ගොස් ඇත්තේ ලියාපදිංචි අනුග්‍රාහකයින්ගෙන් 70% ක පමණ නියත වශයෙන්ම මෙම මිල පණිවුඩ සේවාව මගින් ප්‍රතිලාභ ලබණ බවත් ඊට අමතරව තම නිෂ්පාදන අලෙවිකළ යුත්තේ කවදාද, අස්වනු නෙළිය යුත්තේ කවදාද සහ කුමණ වෙළඳපලෙහි අලෙවි කළ යුතුද වැනි තීරණ තර්කානුසාරීව ගැනීමට තරම් ගොවීන් පෙළඹවීමකටද මෙම සේවාව සමත්වී ඇති බවය.

රොයිටර්ස් මගින් මෙම සේවාව පටන් ගන්නා අවදියේදී පටන්ම ආහාර නිෂ්පාදනවල මිල සහ ස්වාභාවික විපත් වැඩීවීමේ ප්‍රවනතාවයක් දක්නටවු අතර එම නිසාම මතුවන්නාවූ අවදානම අවම කිරීම සඳහා පක්ෂග්‍රාහී නොවූ මිල තොරතුරුවලට (neutral price information) අධික ඉල්ලුමක් ඇතිවීම මෙවැනි වැඩ සටහන් සාර්ථකත්වීමට එක් හේතුවක් විය හැක.

අනෙකුත් රටවල් හා සසඳන විට ඉන්දියාවේ ජංගම දුරකථන භාවිතය ඉතා අඩු මට්ටමක පවතී. එහි සෑම පුද්ගලයින් 100 ක් අතුරින් ජංගම දුරකථන ඇත්තේ 20 කට පමණි. ගොවීන් සම්බන්ධයෙන් සැළකීමේදී  ඔවුන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයකට ජංගම  දුරකථන නොමැත. සාක්ෂරභාවය අඩු නිසා ජංගම දුරකථන ඇති අය වුවද කෙටි පණිවුඩ කියවීම සඳහා තම දරුවන් යොදා ගනී. එවන් පසුබිමක් තුළවුවද මෙම වැඩ සටහන මගින් ගොවීන් ලබා ගෙන ඇති ප්‍රතිලාභ දෙස බලන කල අනාගතයේදී කෘෂි නිෂ්පාදනවල මිල තොරතුරු සන්නිවේදනය වාණිජ ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්තවීම සඳහා විශාල ඉඩකඩක් ඇති බව පෙනීයයි.  

http://www.nytimes.com/2008/06/29/business/29essay.html?ref=world

 


2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්