දිළිදුකම තක්සේරුකිරීමේ නව ක්‍රමවේදයක් ආසියාණු සංවර්ධන බැකුවෙන්: ආසියාණු කලාපයයේ දරිද්‍රතා රේඛාව US$ 1.35 ට නංවයි.
Asian Poverty Line fixed at US$ 1.35- ADB introduces a new poverty estimation methodology
(2008 අගෝස්තු 29)
ආසියාණු සංවර්ධන බැංකුව විසින් වාර්ෂිකව නිකුත්කරන ‘Key Indicators’ නමැති සංඛ්‍යා ලේඛණ ප්‍රකාශනයේ 2008 කලාපය (Key Indicators 2008) දැනට දින කිහිපයකට පෙර (අගෝස්තු 27) නිකුත්කරන ලද අතර ඒ මගින් අන්තර් ජාතික වශයෙන් සංසන්දනය කළහැකි ලෙසින් ආසියාණු රටවල දරිද්‍රතාවය තක්සේරු කිරීමේ (poverty estimation) ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත. මේ නවතම ක්‍රමවේදය අත්හදා බැලීමේ ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් සමීක්ෂණයකට භාජනයකර ඇත.
ලෝකයේ සියළුම සංවර්ධනයවන රටවල් සඳහා වඩාත් ප්‍රචලිතව දැනට භාවිතාවන අන්තර්ජාතික දරිද්‍රතා රේඛාව (International Poverty Line) වන්නේ ඇ. ඩොලර් එකකට (US$ 1) වඩා අඩු ඒක පුද්ගල දෛනික ආදායමයි. මේ අනුව අප පුරුදුව සිටින්නේ අසවල් රටේ හෝ කලාපයේ ඩොලර් එකට අඩු දෛනික ආදායම ලබන පුද්ගලයින් මෙපමණ සිටීයැයි යනුවෙන් දරිද්‍රතාවය හුවා දැක්වීමටය.
එහෙත් ආසියාණු සංවර්ධන බැංකුවේ නවතම ක්‍රමවේදය මගින් හඳුන්වාදී ඇති ආසියානු දරිද්‍රතා රේඛාව (Asian Poverty Line) දළ වශයෙන් ඇ. ඩොලර් 1.35 ක් (US$ 1.35) වේ. මෙයින් ගම්‍යවන්නේ සමස්ථයක් ලෙස ආසියාණු රටවල්වල සැළකියයුතු ආර්ථික වර්ධනයක් සහ ඒක පුද්ගල ආදායමේ වැඩිවීමක් සටහන්වී ඇතිබවය. එසේවුවද ආසියාණු සංවර්ධන බැංකුවට අනුව අධික දරිද්‍රතාවය ඇස්තමේන්තු (to estimate extreme poverty) කිරීම සඳහා US$ 1 මිම්ම භාවිතා කිරීමේ වරදක් නැත.
අන්තර් ජාතිකව දරිද්‍රතා මිම්මක් හෝ රේඛාවක් සාමාන්‍යයෙන් නිර්මාණය කරනු ලබන්නේ සාමාන්‍ය වෙළඳපල භාණ්ඩවල මිල සැළකිළ්ලට ගනිමින් ආහාර පාරිභෝජන වියදම දැරීමට හැකි ශක්තියේ නොහොත් ක්‍රය ශක්තියේ සාම්‍යය අගය අන්තර් ජාතිකව සංසන්දනය කළහැකි ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීමෙනි මෙය හැඳින්වෙන්නේ Internationally Comparable Programme Purchasing Power Parity (නොහාත් ICP PPP) යනුවෙනි. එහෙත් මෙම නවතම ආසියාණු දරිද්‍රතා රේඛාව නිර්මාණය කිරීම සඳහා විශේෂිත දරිද්‍රතා සමීක්ෂණ ක්‍රමවේදයක් (poverty survey methodology) භාවිතාකර ඇත. උදාහරණයක් ලෙස සහල් මිලට ගැනීමට දුප්පතුන්ට ඇති ක්‍රය ශක්තිය ඇස්තමේන්තු කිරීමේදී පැකට්වල අසුරණ ලද සහල්වල මිල වෙනුවට සාමාන්‍ය ග්‍රාමීය කඩයක ගෝනිවල විකිණීමට ඇති සහල්වල මිල සැළකිල්ලට ගැනීම මෙම ක්‍රමවේදයේදී සිදුවේ. එම නිසා මෙම ක්‍රමවේදය දරිද්‍රතා සමීක්ෂණ - Poverty Survey PPP ( PS PPP) යනුවෙන් හැඳින්වේ. එහෙත් මීට පෙරදී භාවිතාකළ ICP PPP ක්‍රමවේදය අනුව දුප්පතුන්ද පොහොසතුන්ද එකම මිලකට එකම තත්වයේ (same price, same quality) ආහාර වර්ග මිලට ගනු ඇතැයි යන උපකල්පනය මත දරිද්‍රතා රේඛාව නිර්මාණය කර ඇත. මෙම නිසා එකම දරිද්‍රතා රේඛා අගයක් යටතේව වුවද ICP PPP ක්‍රමයට ගණනය කිරීමේදී දුප්පතුන්ගේ ප්‍රතිශතය නවතම PS PPP ක්‍රමයට වඩා වැඩිලෙස පිළිබිඹුවේ.
|
දත්ත අදාලවන වර්ෂය |
අන්තර් ජාතික දරිද්‍රතා රේඛාව ඇ.ඩොලර් 1.35 වනවිට සිටින දිළිඳු ජනගහණයේ ප්‍රතිශතය |
සාමාන්‍ය අන්තර් ජාතික දරිද්‍රතා රේඛාව වන ඇ. ඩොලර් 1 යටතේ ඇති දිළිඳු ජනගහණ ප්‍රතිශතය |
|
පැරණි ICP PPP ක්‍රමය අනුව |
නවතම PS PPP ක්‍රමය අනුව |
|||
බංග්ලා දේශය |
2005 |
55.7 |
42.9 |
36.3 |
භූතානය |
2003 |
දත්ත නොමැත |
31.8 |
දත්ත නොමැත |
ඉන්දියාව |
2005 |
63.9 |
54.8 |
35.1 |
මාලදිවයින |
2005 |
දත්ත නොමැත |
12.6 |
දත්ත නොමැත |
නේපාලය |
2004 |
57.6 |
55.8 |
24.7 |
පකිස්ථානය |
2005 |
30.3 |
24.9 |
9.8 |
ශ්‍රී ලංකාව |
2002 |
15.5 |
9.9 |
4.8 |
ආසියාණු සංවර්ධන බැකුවේ මෙම නවතම දරිද්‍රතා ඇස්තමේන්තු කිරීමට අනුව සියළුම ආසියාණු රටවල දිළිඳු ජනගහණයේ ප්‍රතිශතය මීට ඉහතදී සැළකූ දිළිඳු ජනගහණ ප්‍රතිශතයට වඩා සැළකිය යුතු ප්‍රමානයකින් අඩුවී ඇත. උදාහරණයක් ලෙස පැරණි අන්තර්ජාතික සංසන්දන ක්‍රමයට අනුව හා 2002 දත්ත අනුව ශ්‍රී ලංකාවේ 15.5% ක්වූ දිළිඳු ජනගහණ ප්‍රතිශතය නවතම ක්‍රමයට අනුව 9.9% ක් පමණි.
එහෙත් 2002 දී ජාතික දරිද්‍රතා රේඛාවට අනුව 22.7% ක්වු ශ්‍රී ලංකාවේ දිළිඳු ජනගහණ ප්‍රතිශතය 2007 දී 15.8% දක්වා අඩුවිය. එසේනම් 2007 දත්ත භාවිතා කළහොත් ආසියාණු සංවර්ධන බැංකුවේ මෙම ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ දිළිඳු ජනගහණය 9.9% ටත් වඩා අඩුවනු ඇත. මෙය ශ්‍රී ලංකාව ආසියාණු රටවල් අතර පොහොසත් ගණයට ඇතුළුවීමේ ප්‍රවනතාවයක් ලෙස සැළකිය හැකිවන නමුදු දිළිඳුකම දුරැලීම සඳහා ලැබිය හැකි ආධාර ප්‍රදානයන් අඩුවීමේ පෙරනිමිත්තක් ලෙසද එය සැළකිය යුතුවේ.
මූලාශ්‍රය: http://www.adb.org/article.asp?id=12586සුඛෝපභෝගී කුඩාමුල්‍යකරණ ආයතනවල ලියාපදිංචිය අහෝසිකිරීමට නයිජීරියානු මහබැංකුව සැරසේ
Central Bank of Nigeria threatens to withdraw licenses of microfinance banks with flamboyant lifestyles
(2008 අගෝස්තු 26)
දුප්පතුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මුලික අරමුණ කරගත් කුඩාමූල්‍යකරණ ආයතන එම සමාජ අරමුණින් බැහැරවී දුප්පතුන්ගෙන් අධික පොළී අනුපාත අයකිරීමටත් අධික ලාභ ඉපයීමටත් නැඹුරුවී ඇතැයි යන චෝදනාව දැනටමත් කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයට එල්ලවී ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන නයිජීරියානු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා පවසන්නේ කුඩාමූල්‍යකරණ බැංකු ලෙස නයිජීරියාවේ ලියාපදිංචිවී සිටින සමහර මුල්‍යායතන තවමත් සාම්ප්‍රදායික බැංකු ක්‍රමයෙන් ඉවත්ව කුඩාමූල්‍යකරණ සංස්කෘතිය (microfinance culture) අනුගමනය කිරීමට මැළිවී ඇතිබව ප්‍රකාශ කරයි. එවැනි සමහර කුඩාමූල්‍යකරණ බැංකුවල විධායක නිලධාරීන් ඉතා විශාල වැටුප් ලබමින් සහ සමහරවිට විදේශ නිවාඩු පවා ගතකරමින් අධි සුඛෝපභෝගී ජීවන රටාවන් අනුගමනයකරන බවට චෝදනාකරන ඔහු එවැනි තත්වයක් තුළ දුප්පත්කම තුරන්කිරීමට කුඩාමූල්‍යකරණ ආයතනවලින් ලැබියහැකි දායකත්වය පිළිබඳ සැක පහළ කරයි.
මෙම තත්වය සැළකිල්ලට ගන්නා නයිජීරියානු මහබැංකුව කුඩාමුල්‍යකරණ බැංකු ක්‍රියාත්මකවිය යුතු ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට අදහස්කර ඇති අතර එවැනි ‘කුඩාමුල්‍යකරණ’ සංස්කෘතියකට අනුව ක්‍රියා නොකරණ කුඩාමූල්‍යකරණ බැංකුවල ලියාපදිංචිය අහෝසිකිරීමට අපේක්ෂා කරයි.
කුඩාමුල්‍යකරණය පිලිබඳව කුශලතා ඇති කාර්යමණ්ඩලවල හිඟබව (shortage of skilled staff), අසමාන ලෙස කුඩාමුල්‍යකරණ ආයතනවල භූගෝලීය විසිරීම (uneven spread of MFIs) සහ කුඩාමුල්‍යකරණ ආයතන සඳහා අවශ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති නොමැතිවීම (lack of MIS) මෙම ක්ෂේත්‍රයේ දක්නට ඇති ප්‍රධාන අඩුපාඩු ලෙස පෙන්වාදෙන නයිජීරියානු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා එවැනි කුඩාමූල්‍යකරණ ආයතනවල නිලධාරීන් 3200 ක් ගාස්තුවකින් තොරව පුහුණුකිරීමට මහබැංකුව කටයුතු යොදා ඇති බව ප්‍රකාශකර ඇත.
මුලාශ්‍රය: http://www.tribune.com.ng/25082008/news/news3.htmlකුඩාමුල්‍යකරණ ආයතනවල පොළී අනුපාතයන් විනිවිදභාවයකින් වාර්තා කිරීමට නව ආයතනයක්
Microfinance Transparency: A new institution to report interest rates of MFIs in a transparent manner
(2008 අගොස්තු 9)
ලාභ ලැබීමේ පරමාර්ථය සමාජ සංවර්ධන අරමුණුවලට වඩා පෙරදැරි කරගෙන කුඩාමුල්‍යකරණ ආයතන ගමන් ගන්නා දිශාව සම්බන්ධව දරුණු මතභේදාත්මක හා ද්වන්ධාත්මක පරිසරයක් ගොඩනැගෙමින් පවතින බව නොරහසකි. මෙහිදී කුඩා මුල්‍යකරණය මගින් (අධික) ලාභ ලැබිය යුතුය යන අදහස දරණ පාර්ශවය පවා සමාජ අරමුණුද ලඟාකර ගතයුතුය යන අදහස බැහැර නොකරයි. එම පාර්ශවයේ තර්කය වන්නේ දායක ආයතන මතම නොයැපී පොද්ගලික ආයොජකයින්ගේ අරමුදල්ද කුඩාමූල්‍යකරණය කරා ඇද ගැනීමට නම් ලාභ ලැබිය යුතු බවය. දැනටමත් සමහර රටවල විශ්‍රාමිකයින් සහ විශේෂයින්ම සමාජ සත්කාරයට කැමති පුද්ගලයින් (philanthropists) තම මුදල් බැංකු (ස්ථිර) තැන්පතුවල ආයෝජනය කරනවා වෙනුවට කුඩාමුල්‍යකරණ ආයතනවල ආයෝජනය කිරීමට පෙළඹී සිටී. එහෙත් කුඩාමුල්‍යකරණය මගින් ලාභ ලැබීමට තරයේ විරුද්ධවන බංග්ලා දේශ ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘ මොහොමඩ් යූනුස්ට අනුව කුඩාමුල්‍යකරණයෙහි අහිංසක ප්‍රජා සත්කාරක ගුණය පහව යමින් තිබෙණ අතර එය අන්තර්ජාතික ආයෝජන බැංකුවල සහ වෝල් සට්‍රීට් (Wall Street) වැනි කොටස්වෙළඳපල ආයෝජකයින්ගේ ලාභ ඉපයීමේ මාර්ගයක් බවට පත්ව ඇත.
මෙම මතභේදාත්මක පරිසරය තුළ ‘මයික්‍රොෆිනෑන්ස් ට්‍රාන්ස්පේරන්සි’ (Microfinance Transparency) නමින් කුඩාමුල්‍යකරණ ආයතනවල පොළී අනුපාතයන් (interest rates) වාර්තා කිරීමේ ආයතයනයක් පිහිටුවා ඇත. කුඩාමුල්‍යකරණ ආයතන එකොළාහක් (11) ස්වේච්ඡාවෙන් ආරම්භකරණ ලද මෙම ආයතනයෙහි මුලික අරමුණවන්නේ මෙම ක්ෂේත්‍රයේ විවිධ ආයතන අයකෙරෙන පොළී අනුපාතයන් විනිවිදභාවයකින් යුතුව වාර්තාකිරීමය. මෙම මස (2008 අගෝස්තු) මුල් සතියේ ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වූ කුඩාමූල්‍යකරණ සමුළුවේ (Microcredit Summit Campaign) ආරම්භක දිනයට සමගාමීව මෙම ආයතනය පිහිටුවීම විශේෂත්වය වන්නේ ලාභ ලැබීම සඳහා කුඩාමුල්‍යකරණ ආයතන අධික පොළී අනුපාතයන් අයකිරීම මෙම සමුළුවේදී විවාදයට ලක්වීම අපේක්ෂාකළ නිසාය.
2008 ඔක්තෝබර් මස සිට මෙම ආයතනය මගින් ලොකයේ විවිධ කුඩාමුල්‍යකරණ ආයතන අයකෙරෙන පොළී අනුපාතයන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. මේ මගින් ණය ලබා ගැනීමට අපේක්ෂාකරණ අඩු ආදායම්ලාභීන්ට තරඟකාරීව ණය පහසුකම් ලබා ගැනීමට හැකිවනවා ඇත. ඇත්ත වශයෙන්ම තම පොළී අනුපාතයන් මෙසේ තරඟකාරී සහ විනිවිද ලෙස ප්‍රකාශ කිරීම වාණිජ බැංකුවල සම්මත රීතියක්වුවත් මෙතෙක් කල් එවන් පුරුද්දක් කුඩාමුල්‍යකරණ ආයතනවලට නොතිබීම සැක උපදවන කරුණකි. එම නිසා කුඩාමුල්‍යකරණ ආයතනවල විනිවිදභාවය සහ තරඟකාරිත්වය ගොඩනැගෙන මෙවැනි ස්වේච්ඡාමය ප්‍රයත්නයන් මගින් එම ක්ෂේත්‍රයේ බිඳවැටෙමින් පවතින සමාජ සත්කාරක ප්‍රතිරූපය ආරක්ෂාකළ හැකිවේයැයි බොහෝදෙනෙකුගේ මතයවේ. එහෙත් ලෝකයපුරා ක්‍රියාත්මකවන දහස් ගණනක්වූ කුඩාමුල්‍යකරණ ආයතන අතුරින් කොපමණ සංඛ්‍යාවක් මෙම ‘මයික්‍රොෆිනෑන්ස් ට්‍රාන්ස්පේරන්සි’ ආයතනයට බැඳී ස්වේච්ඡාවෙන් තම පොළී අනුපාතයන් විනිවිද ස්වරූපයෙන් ප්‍රකාශ කරන්නේදැයි යන්න මත මෙම ප්‍රයත්නයේ සාර්ථක හෝ අසාර්ථක බව රඳා පවතිනු ඇත.
මූලාශ්‍ර:
http://www.citywire.co.uk/professional/-/news/other/content.aspx?ID=310023
තුන්වන සහස්‍ර සංවර්ධන ඉලක්කය ලඟාකරගැනීම සඳහාවූ ‘ගිනිසිළු’ ප්‍රයත්නය
Torch Campaign to achieve the 3rd Millennium Development Goal
(2008 අගෝස්තු 4)
සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals – MDG) අතුරින් 3 වැන්න වන ‘ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමතාවය සහ කාන්තා සවිබලකරණය’ (Gender equality and empowerment of women) ලඟා කරගැනීම වඩාත් ධෛර්යමත් කිරීමේ අරමුණින් ඩෙන්මාර්ක රජය විසින් මේ වර්ෂයේ මාර්තු 7 වනදා අරඹන ලද ‘MDG 3 ගිනිසිළුව ප්‍රයත්නය’ (MDG3 torch campaign) මේවනවිට ලොකයේ විවිධ රටවල් හරහා ක්‍රියාත්මකවෙමින් පවතී.
මෙම ගිනිසිළුව ව්‍යාපාරයේදී ක්‍රීඩා උත්සවයන්වලදී භාවිතාවන ආකාරයේ ගිනිසිළු සියයකට (100) ආසන්න ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල රාජ්‍යයන්, රාජ්‍ය ආයතන, අන්තර් ජාතික ආයතන, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන හා ව්‍යාපාරික සමාගම් වැනි විවිධ ආයතනවල නායකයන් අතින් එකිනෙකාට මාරුකර යවයි. මෙම ගිනි සිළුව දැරීමෙන් එම ආයතන ප්‍රකාශ කරන්නේ තුන්වන සහස්‍ර සංවර්ධන ඉලක්කය වන ‘ස්ත්‍රී-පුරුෂ සමාජ භාවයේ සමතාවය සහ කාන්තා සවිබලකරණය’ ලඟාකර ගැනීම සඳහා තම ආයතනවල කැපවීමක් ඇති බවත් ඒ සඳහා ‘වැඩි යමක්’ (to do something extra) කිරීමට සූදානම් බවත්ය. උදාහරණයක් වශයෙන් ආසියාණු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මෙම ගිනිසිළුව බාරගැනීමේදී ප්‍රකාශ කර ඇත්තේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමතාවය වර්ධනය කිරීමට පාදකවන ව්‍යාපෘති සංඛ්‍යාව වැඩිකිරීමටත්, එවැනි ව්‍යාපෘතිවල ප්‍රතිඵල සහ ඉලක්ක පසුවිපරම් කිරීමේ ක්‍රමවේද හා යාන්ත්‍රණ (monitoring methods and mechanisms) වැඩි දියුණු කිරීමටත්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබලකරණය පිළිබඳව ප්‍රතිපත්ති සාධන පර්යේෂණයන් හා උපදේශක සේවා (policy research and advisory services) පිලිබඳ වැඩි අවධානයක් යොමු කිරිමටත් බැංකුව අපේක්ෂා කරණ බවය.
මේවනවිට එවන් ගිනිසිළු දැරූ ආයතන හා ආයතන නායකයන් අතර ලෝක බැංකු ප්‍රධානියා, ආසියාණු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංගමයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා, නොබෙල් ත්‍යාගලාභී ග්‍රාමීන් බැංකුවේ මහොමඩ් යූනුස් මහතා සහ යුරෝපා හවුල ද වෙයි.
ලෝකයේ විවිධ දෙසින් රැගෙන එන මෙම ගිනිසිළු සියල්ලම මෙම වර්ෂයේ සැප්තැම්බර් 25 දින නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පවත්වන මහා රැස්වීම් වාරය වෙත ලඟාවීමටත් අවසානයේදීම ලඟාවන ගිනිසිළුව එහි මහ ලේකම්වරයාට භාර දීමටත් නියමිතය.
එහෙත් ඩෙන්මාර්කයේ මෙම MDG 3 ගිනිසිළු ව්‍යාපාරයට සහය නොදීමට ඇමෙරිකානු රජය (US government) තීරණය කරඇත. එයට හේතුවවී ඇත්තේ කාන්තාවන්ට ‘ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අයිතිවාසිකම්’ (sexual and reproductive rights) ලබා ගැනීමටද මෙම සහස්‍ර සංවර්ධන ඉලක්කය මගින්ම උත්සුකවිය යුතුයැයි මෙම ගිනිසිළු ප්‍රයත්නය ආරම්භයේදී ඩෙන්මාර්ක රජය කළ ප්‍රකාශයක් නිසාය. මේ මගින් ගම්‍ය කරන්නේ කාන්තාවන්ට තමන් කැමති දරුවන් සංඛ්‍යාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය විටෙක ගබ්සා කිරීමේ අයිතිවාසිකම තිබීමයි. එහෙත් මෙම කරුණ මතභේදාත්මක එකක් බැවින් සහස්‍ර සංවර්ධන ඉලක්ක පිළියෙල කිරීමේදී සියළු පාර්ශවකරුවන්ගේ එකඟත්වය මත එය සහස්‍ර සංවර්ධන ඉලක්කයන්ට ඇතුලත් නොකරන ලදී. මෙම MDG 3 ගිනිසිළු ව්‍යාපාරයේ යටි අරමුණ මෙම මතභේදාත්මක ගබ්සා කිරීමේ අයිතිවාසිකම සහස්‍ර සංවර්ධන ඉලක්ක තුලට රිංගවීමට නැවත කරණ තැත්කිරීමක්දැයි යන සැකය මත ඇමෙරිකාව එයට සහාය දීමෙන් වැළකී සිටියි.
මූලාශ්‍ර:
http://www.adb.org/Media/Articles/2008/12544-asian-genders-equalities/
අඩු ආදායම්ලාභීන් උදෙසා අඩු වියදම් සෞඛ්‍යාරක්ෂක මැටි ජල පෙරනයක්
Low cost and disease preventing clay water filter for low income households
(2008 අගෝස්තු 3)
පිරිසිදු පාණීය ජලය ලබා ගැනීමට නොහැකිව නොයෙකුත් දුෂ්කරතා සහ රෝගාබාධවලින් පෙළෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා භවිතා කළ හැකි මැටි ජල පෙරනයක් (clay water filter) ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ඇමෙරිකාණු රතු කුරුස ආයතනය (American Red Cross – ARC) පියවර ගෙන ඇත. දැනටමත් සුනාමි ව්‍යසනයට ගොදුරුවූ පවුල් 10,000 ක් පමණ මෙම ෆිල්ටරය භාවිතා කරයි.
සරල තාක්ෂණයක් උපයෝගී කරගනිමින් අඩු වියදමකින් දේශීයවම නිපදවිය හැකි මෙම ෆිල්ටරය මුලින්ම නිපදවා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ නිකරගුවා වල සුළි කුණාටුවකින් ව්‍යසනයට පත් වැසියන්ගේ පාණීය ජල අවශ්‍යතාව පිරිමසා ගැනීමටය. එම ප්‍රයත්නයේ සාර්ථකත්වය මත මේ වනවිට අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් කිහිපයක පවුල් දහස් ගණනකට සාර්ථකව මෙම ජල ෆිල්ටරය හඳුන්වා දී ඇත.
මෙම ෆිල්ටරය සෑදීම සඳහා භාවිතා කරණු ලබන්නේ හොඳින් අඹරන ලද දහයියා කුඩු මිශ්‍ර වළං මැටි මිශ්‍රණයක්ය. මැටි ෆිල්ටර් බඳුන සෑදීමෙන් පසු බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් ගලා යෑම වැළැක්වීම සඳහා රිදීමය කලිල ආලේපයක් (colloidal silver coating) එහි බිත්තිවල ආලේප කරණු ලබයි. ලීටර 8 ක පමණ ධාරිතාවයක් ඇති මෙම ෆිල්ටරය පහසුවෙන් භාවිතා කිරීම සඳහා එයට ජල කරාමයක්ද සවිවේ.
මෙම සෞඛ්‍යාරක්ෂිත ජල ෆිල්ටරය ක්‍රමානුකූලව නඩත්තු කරණ ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් එය භාවිතා කරණ පවුල් සඳහා ලබාදෙන අතර වරින්වර විශේෂිත බැක්ටීරියා පරීක්ෂණ උපකරණයක් (bacteriological field testing kit) මගින් ගෙන් ගෙට ගොස් එම ෆිල්ටර වලින් පෙරෙණ ජලය පරීක්ෂාවටද ලක් කරනු ලැබීම මෙම හඳුන්වාදීමේ ප්‍රයත්නයේ වැදගත්ම අංගයයි.
දැනට මෙම ෆිල්ටරය භාවිතා කරණ පවුල් පවසන අන්දමට එයින් සැලසෙන විශාලම වාසිය වන්නේ ජලය උණු කිරීම අවශ්‍ය නොවන නිසා අධික මිලක් සහිත දර සඳහා වැයවන මුදල ඉතිරිවන බවයි. උනු කිරීමකින් තොරව එයින් පෙරා ගන්නා ජලය මාස 6 ක් වයසැති කුඩා දරුවන්ට පවා දීමට හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.
සාම්ප්‍රදායික මැටි භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන කැළණිය ප්‍රදේශයේ ඇති මූලික උපකරණවලින් යුක්ත කුඩා මැටි භාණ්ඩ කර්මාන්තශාලාවක් මගින් මෙම ෆිල්ටරයේ මූලික නිෂ්පාදණ කටයුතු සිදුවේ. ප්‍රවර්ධන අවධියේ (promotion stage) පවතින මෙම ජල ෆිල්ටරය දැනට නොමිලයේ ලබාදෙණ අතර ඉන්පසු අඩු ආදායම්ලාභීන්ට දැරිය හැකි මුදලකට අලෙවි කිරීමට ප්‍රවර්ධක ආයතනය අපේක්ෂා කරයි.
තාක්ෂණිකව සාර්ථකවූ මෙම සංවර්ධන ප්‍රයත්නය ඉදිරියේදී මුහුණදෙනු ලබණ ප්‍රධානම අභියෝගය වනු ඇත්තේ දැනට සහණාධාර භාණ්ඩයක් ලෙස නොමිලයේ ලබාදෙන සහ ඉතා ප්‍රයෝජනවත්යැයි සැළකෙන මෙම ජල ෆිල්ටරය සහණාධාරය ඉවත් කිරීමෙන් පසු වාණිජ භාණ්ඩයක් ලෙස අඩු ආදායම්ලාභීන්ගේ වෙළඳපොළේ පවත්වාගෙන යනු දැකීමයි.
මූලාශ්‍රය: http://www.irinnews.org/report.aspx?ReportId=790422008 ‘රාමොන් මැග්සෙසේ’ ත්‍යාගය ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයෙකු හා පිලිපීන කුඩාමූල්‍යකරණ ආයතනයක්
A Sri Lankan and Philippine MFI among recipients of 2008 Ramon Magsaysay prize
(2008 අගොස්තු 01)
නෝබෙල් ත්‍යාගයය හා සමාන පිළිගැනීමක් ඇති ආසියාව සඳහා වාර්ෂිකව ප්‍රදානය කෙරෙන ‘රාමෝන් මැග්සෙසේ’ සම්මානය (Ramon Magsaysay) 2008 වර්ෂය සඳහා පුද්ගලයින් 7 දෙනෙකුට සහ එක් ආයතනයකට පිරිනමා ඇති බව මැග්සෙසේ පදනම ප්‍රකාශකර ඇත.
මෙම පුද්ගලයින් 7 දෙනා අතර ශ්‍රී ලාංකිකයකුද සිටීම විශේෂත්වයක් වන අතර මෙවර එම ත්‍යාගය දිනා ගත් එකම ආයතනය වන්නේ පිලිපීනයේ CARD-MRI නමැති කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධන ආයතනයයි. මෙහිද විශේෂත්වය වන්නේ එම ආයතනයට මැග්සෙසේ ත්‍යාගය ලැබීමට සුදුසුකමවී ඇත්තේ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් ලක්ෂ පහකට පමණ සාර්ථක හා තිරසාර අන්දමින් කුඩාමුල්‍යකරණ සේවා සැපයීමට හැකිවීමය.
කුඩා ණය පහසුකම් සැපයීම් මගින් දිළිඳුකම තුරන් කිරීමට ලබාදුන් දායකත්වය උදෙසා 2006 වර්ෂයේ නොබෙල් ත්‍යාගය බංග්ලා දේශයේ ආචාර්ය මොහොමඩ් යූනුස්ට හිමිවීමත් සමගම කුඩාමුල්‍යකරණය විශාල පිළිගැනීමකට ලක්විය. එහෙත් අධික ලාභ ලබමින් සීඝ්‍රයෙන් වාණිජකරණය වීම නිසා තරමක මතභේදාත්මක අවස්ථාවකට මුහුණදී ඇති කුඩාමූල්‍යකරණය මෙසේ ප්‍රජා සංවර්ධන අරමුණු පාදකකෙටගෙන තවදුරටත් පිළිගැනීමකට ලක්වීම තරමක සතුටට කරුණකි.
මෙවර මැග්සෙසේ සම්මානය ලැබී ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ ආනන්ද ගලප්පත්ති මහතාවන අතර ඔහු ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ වාර්ගික ගැටුම් හා සුනාමි ව්‍යසනය නිසා විපතට පත්වූවන්ට ඵලදායී ලෙසින් මනෝ සමාජයීය සේවා (Psycho-Social services) සැපයීමට දායකවීමෙන් ඉස්මතුකළ නායකත්වය (emerging leadership) නිසාය.
2007 සංවර්ධන පුවත්




