සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

ධීවර ප්‍රජාවට මුහුදු පාසි වගාකිරීම හඳුන්වාදීමේ නව්‍ය ශ්‍රී ලාංකික ප්‍රයත්නයක්
Fishing community based pilot Seaweed cultivation initiative in Sri Lanka

(2009 සැප්තැම්බර් 25)

එක්සත් ජාතින්‍‍ගේ සංවිධානයට අනුයුක්ත පරිසරය සංරක්ෂණය සඳහාවූ ජාත්‍යන්තර සංගම‍යේ  (International Union for Conservation of Nature- IUCN) සුළු ආධාර වැඩසටහන (small grants programme) යට‍තේ ‍සේවාලංකා පදනම නමැති රාජ්‍ය ‍නොවන සංවිධානය මගින් අම්පාර දිස්ත්‍රික්ක‍යේ ක්‍රියාත්මක ‍කෙරෙන දැල් කූඩුතුළ මුහුදු පාසි වගා‍කරන නියමු ව්‍යාපෘතියක් ව්‍යපෘතියක් (pilot project of farming sea weeds in net cages) පිළිබඳ ප්‍රවෘත්තියක් IUCN ‍වෙබ් අඩවි‍යේ දක්නට ලැ‍බේ. ශ්‍රී ලංකා‍වේ ‍මෙ‍‍තෙක් අසන්නට ‍නොලැබුන ‍මෙම නවතම අත්හදා බැලී‍මේ ප්‍රයත්නයට පාදකවි ඇති මුහුදු පාසි අප රටට තරමක අළුත් ‍දෙයක්වුවද අග්නිදිග ආසියා‍වේ පිලිපීනය, ඉන්දුනීසියාව හා මැ‍ලේසියාව යන රටවල වෙරළාසන්න ධීවර ප්‍රජාවන්ට විකල්ප ආදායම් මාර්ගයක් ‍‍ගෙ‍නෙන සම්පතක් බවට පත්ව ඇත.  ස්වාභාවික නොගැඹුරු ‍කොරල්පර ආශ්‍රිත මුහුදු ප්‍ර‍දේශවලින් ‍නෙලාගන්නා මුහුදු පාසි ‍(harvesting from shallow coral reef areas) එම රටවල අපනයන ආර්ථිකයන් ‍ගේද වැදගත් නිෂ්පාදනයක් බවට පත්ව ති‍බේ. ඇගා-ඇගා (agar-agar) යන මැ‍ලේ නමින් හැඳින්‍වෙන රස කැවිලි සැදිමට ගන්නා ‍ජෙලටීන් වර්ගයක් නිස්සාරනය කිරීමට ‍(extraction of a gelatin variety) මුහුදු පාසි වර්ග කිහිපයක් භාවිතාකරන අතර ‍එ‍සේ භාවිතාකරන මුහුදු පාසිවලින් විශාල ප්‍රමාණයක් ස්වාභාවිකව ‍නෙලාගනු ලබන අතර ඉතාසුළු ප්‍රමාණයක් පමනක් වගාකරනු ලබයි. ශ්‍රී ලංකා‍වේද දැනටමත් සමහර ‍නොගැඹුරු මුහුදු ප්‍ර‍දේශවලින් ස්වාභාවිකව ‍නෙලා ගන්නා මුහුදු පාසි සුළු ප්‍රමානයක් ‍‍‍දේශීය ‍වෙළඳපල හරහා අ‍ලෙවි‍ කෙ‍රේ. 

ඉතාසරල තාක්ෂණ ක්‍රම මගින් මුහුදු පාසි වගාකල හැකිනිසා ‍නොගැඹුරු මුහුදු ප්‍ර‍දේශවල ‍මෙම පාසි වර්ග වගාකිරී‍මේ ප්‍රවනතාවය චීනය, පිලිපීනය, මැලේසියාව හා ඉන්දියාව වැනි ආසියානු රටවල්තුළ සීග්‍ර‍යෙන් වර්ධනයවීමට පටන් ‍ගෙනඇති අතර එය අඩු ආදායම්ලාභී ධීවර ප්‍රජාවන්‍ ‍ගේ අති‍‍‍රේක ආදායම් මාර්‍ගයක් බවටද පත්වෙමින් ති‍බේ. ස්වාභාවිකව ඇති පාසිවලින් ‍නෙලා ගන්නා දඬු (cuttings) කුඩා කැබලිවලට කපා ‍නොගැඹුරු මුහුදු කලාපවල සිටුවා ගත් ඉනිවල අදින ලද නයි‍ලෝන් වැනි ලනුවල බැඳ ති‍බෙන්නට හැරී‍ම මුහුදුපාසි වගා කිරීමට ‍යොදා ගන්නා වඩාත් ප්‍රචලිතම ක්‍රමයයි. එම දඬු ‍හොඳින් ‍මෝරා වැඩීම සඳහා මාස 2 – 3 ත් අතර කාලයක් ගත‍වේ.
එ‍හෙත් ‍මෙහි ඇති එකම ගැටළුව වනු‍යේ වෙළඳපලට යැවිම සඳහා අවශ්‍ය වියළි මුහුදු පාසි ‍ටොන් එකක් සාදා ගැනීම සඳහා ‍නෙලාගත් තෙත පාසි ‍ටොන් 10 ක් පමණ අවශ්‍යවන ‍හෙයින් මුහුදු පාසි ‍නෙලාගැනීම ‍හෝ වගාකිරීම විශාල ප්‍රමාණ‍යෙන් කළ යුතුවීමයි. ඉතා පිරිසිදු අපද්‍රව්‍යවලින් ‍තොර වියළි මුහුදු පාසි ටොන් එකක් ‍ඇ. ඩොලර් 500 ක් පමණවේ.

මුහුදු පාසි වගාකිරී‍මේ ඇති ආර්ථික වැදගත්කම අව‍බෝධකර ගත් ඉන්දියාව ‍මෙය ‍වෙරළාසන්න ධීවර ප්‍රජාව ඉලක්කකරගත් ජීවනෝපායක් ‍ලෙස ප්‍රචලිත කිරීම දැනටමත් අරඹා ඇති අතර තමිනල්නාඩු දකුනු මුහුදු තීර‍යේ ‍නොගැඹුරු කි‍ලෝමීටර් 10 ක පමණ කලාපයක ඉතා විශාල ප්‍රමාන‍යේ මුහුදු පාසි වගාකිරී‍මේ ව්‍යාපෘතියක් ‍‍ඉන්දියානු ‍පෙප්සි‍කෝලා සමාගම දියත්කර ඇත.

දැනට මාස කිහිපයකට ‍පෙර (2009 ජූලි) ‍කොළඹ විශාකා විද්‍යාලයේ ආදී විදුහල්පතිනියකවන සුසාන් පුලිමුඩ් මහත්මිය සිහිකිරී‍මේ ‍දේශනයකළ රුහුණු විශ්ව විද්‍යාල‍යේ මහාචාර්ය රුචිරා කුමාරනතුංග මහත්මියද මුහුදු පාසිවල ආර්ථික වැදගත්කම මතක්කර‍ දෙමින් ශ්‍රී ලංකාවේද එවැනි පාසිවර්ග වගාකිරීම පිළිබඳ උනන්දුවියයුතු කාලය එළඹ ඇති බව සිහිපත්කළාය.

මෙම පසුබිම තුළ ප්‍රජා සහභාගිත්ව‍යෙන් ‍රාජ්‍ය ‍නොවන සංවිධානයක් ආරම්භකර ඇති මුහුදු පාසි වගාකිරි‍මේ නියමු ව්‍යාපෘතිය ජාතික වශයෙන් වැදගත් ප්‍රයත්නයක් ‍ලෙස සැළකිය හැකිය. එ‍හෙත් ‍මෙවැනි ‍බො‍හෝ නියමු ප්‍රයත්නයන් ව්‍යාපෘති කාල‍යෙන් පසු අතීත සිද්ධීන් පමණක් බවට පත්වී ඇත. එයට ‍එක් ‍හේතුවක් විය හැක්කේ එවැනි නව්‍ය නියමු ප්‍රයත්නයන් මුඛ්‍යධාරාගත කිරීම (mainstreaming of innovative pilot initiatives) සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ‍නොමැතිවීමයි. එම නිසා වර්තමානයේ අප මුහුණ ‍දෙමින් සිටින පාරිසරික හා ‍දේශගුණික අර්බුද‍යන්ට පිළියම් වශ‍යෙන් ‍‍ඉස්මතුවන ‍මෙවැනි නව්‍ය ප්‍රජා ප්‍රයත්නයන් පිළිබඳව ප්‍රතිපත්ති සාධකයින් වඩාත් සැළකිලිමත්විය යුතුය.

මූලාශ්‍ර:
http://www.iucn.org/about/union/secretariat/offices/asia/working_together/asia_members/?3859/IUCN-Sri-Lanka-initiates-a-collaborative-project-with-support-from-a-member-organisation
http://www.fao.org/fishery/culturedspecies/Eucheuma_spp/en
http://www.sundayobserver.lk/2009/08/09/spe07.as
http://library.enaca.org/AquacultureAsia/Articles/Oct-Dec-2003/7seaweedindia.pdf http://www.irishscientist.ie/2005/contents.asp?contentxml=05p76.xml&contentxsl=is05pages.xsl
http://www.indiamicrofinance.com/microfinance/self-help-groups-india/seaweed-cultivation-livelihood-development.html


සංවර්ධිත රටවල් මවිත කරමින් කාබන් අඩුකිරීමේ නිශ්චිත ඉලක්කයකට යෑමට සූදානම්බව ඉන්දියාව ප්‍රකාශ කරයි.
India surprises rich developed countries by imposing specific carbon emission limits

(2009 සැප්තැම්බර් 21)

ඇමෙරිකාව අතුළු සංවර්ධිත රටවල් මවිත කරමින් හා එමරටවල්වලට අභියෝගයක් එල්ල කරමින් තම රටෙන් වායුගෝලයට පිට කෙරෙන කාබන් ප්‍රමාණය නිශ්චිත ප්‍රතිශතයකින් අඩු කිරීමේ ඉල්කකය වෙත යෑමට සුදානම් බව ප්‍රථම වරට ඉන්දියාව ප්‍රකාශ කර ඇත. මෙවැනි නිශ්චිත කාබන් අඩු කිරීමේ ඉලක්කයක් වෙත යෑමට ඉන්දියාව, චීනය හා බ්‍රසීලය වැනි වේගයෙන් සංවර්ධනයවන රටවල්වල ඇති නොකැමැත්ත පිළිබඳව වරින් වර දොස් නඟමින් මෙම වර්ෂයේ දෙසැම්බර්වල කෝපන්හේගන්වලදී පැවැත්විමට නියමිත ජගත් දේශගුණික සමුළුව (global climate summit) බිඳවැටීමටද මෙය හේතුවක්වන බවට සංවර්ධිත රටවල්වලින් දිගින් දිගටම ප්‍රකාශ නිකුත්විය.

කාබන් නිකුත් කිරීම සීමාකිරීම සඳහා අවශ්‍ය අණපනත් (legislations) පිළියෙල කිරීම දැනටමත් අරඹා ඇති බවත්, මෙම කරුණ සම්බන්ධයෙන් ඉන්දියාවට සිදුවී ඇති  කැළල මෙම තීරණය මගින් මැකී යනු ඇති බවත් ඉන්දියානු ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් එහි පරිසර ඇමතිවරයා කියා සිටී.

ඉන්දියාව ගත් මෙම තීරණයෙන් වඩාත් කැළඹිලිවී ඇත්තේ කාබන් නිකුත් කිරීම සිමා කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළඹීමට අපොහොසත්ව ඇති ඇමෙරිකාවයි. සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිපත්තිය (health insurance policy) සම්බන්ධයෙන් අර්බුදයකට මුහුණදී සිටින ඇමෙරිකානු කොංග්‍රසය කාබන් සීමා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට 2010 වනතුරු කල්ගනු ඇතැයි යන සැකය නිසා ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශකිරීමත් සමගම ඇමෙරිකාවටද ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා බලකිරීමට පරිසරවේදීන් සූදානම්වෙමින් සිටී.

කාබන් නිකුත්කිරීම අඩුකරන ප්‍රමාණය ඉන්දියාව තවමත් ප්‍රකාශකොට නැති නමුත් 2030 වන විට 1990දී පිටකළ කාබන් ප්‍රමාණයෙන් 25% ක්  දක්වා අඩුකළ යුතුයැයි ස්වාධීන ඉන්දියානු විද්‍යාඥයින් කණ්ඩායමක් රජයෙන් ඉල්ලා ඇත. කෝපන්හේගන් සමුළුවට දින 100 කට පමණ පෙර ගත් මෙම ස්ථාවරය නිසා එම ජගත් පරිසර සමුළුවේදී ඉන්දියාවට විශාල පිළිගැනීමක් හා නායකත්ව කාර්යභාරයක් හිමිවනු ඇතැයි  මෙම විද්‍යාඥ කණ්ඩායම ප්‍රකාශකර ඇත.
මූලාශ්‍රය:
http://www.timesonline.co.uk/tol/news/environment/article6839231.ece


ජනගහණ, ආහාර, ජලය හා බලශක්ති අර්බුදයන් 2030 දී ව්‍යසනයක් බවට පත්විය හැක.
Could water, food and energy shortages and rising populations together become a disaster in 2030?

(2009 සැප්තැම්බර් 16)

දශක කිහිපයක් තුළ ක්‍රමානුකූලව වර්ධනයවෙමින් පැවති ප්‍රවනතා කිහිපයක් 2030 වනවිට උච්ච අවස්ථාවකට එළඹ  ඒකාබද්ධව පුපුරා යමින් ඇතිවිය හැකි සමාජ ආර්ථික ව්‍යසනයක් පිළිබඳව එක්සත් රාජධානි රජයේ ප්‍රධාන විද්‍යා උපදේශක ජෝන් බෙඩින්ග්ටන් අනතුරු අඟවයි. බිලියන 6 ක් පමණවූ ලෝක ජනගහණය බිලියන 8 ඉක්මවා වර්ධනයවීමත්, ගෝලීය ආහාර අවශ්‍යතාවය අදට වඩා 50% කින් වැඩිවීමත්, ජල අවශ්‍යතාවය 30% කින් වැඩිවීමත් හා බලශක්ති අවශ්‍යතාවය 50% කින් ඉහළයෑමත් යන ප්‍රවනතාවයන් හතරට සාර්ථකව මුහුණදීමට ගෝලීය ප්‍රජාවට නොහැකිවනු ඇතැයි යන්න මෙම අනතුරු ඇඟවීමට මුල්වී ඇත.

මෙම ප්‍රවනතාවයන් වෙන වෙනම ඇතිකළ හැකි විපාකවලට එකතුවෙහි බලපෑමට වඩා අතිශයින් වැඩි සහක්‍රියාත්මක විපාකයක් (synergy effect) එවා සමමූහුර්තවී (synchronized) 2030 වනවිට ඇතිකරනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. එයට හේතුව මෙම ප්‍රවනාවයන්ගෙන් පැනනැ‍ඟෙන ගැටළු එකිනෙකට සම්බන්ධවෙමින් එකිනෙකෙහි බලපෑම ත්‍රීව්‍ර කිරීමයි.

උදාහරණයක් ලෙස වැඩිවන ලෝක ජනගහණය සඳහා අවශ්‍ය වැඩිමනත් ආහාර සැපයීම සඳහා අධික අස්වනු ලබා ගත හැකි වාණිජ කාෂිකාර්මික (intensive commercial agriculture) ක්‍රමයන්ට ප්‍රවිෂ්ඨවීමට සිදුවන අතර ඒ සඳහා වැඩිපුර ජලය හා අධික ලෙසින් ඉන්ධන බලශක්තියද අවශ්‍යවනු ඇත. එවිට ඉස්මතුවන ප්‍රශ්න වන්නේ දැනටමත් ජල හිඟයට මුහුණපා සිටින ගෝලීය ප්‍රජාවට එවන් විශාල ජල අවශතා සැපයිය හැකිද හා දේශගුණික විපර්යාසයන්ට හේතු නොවන පරිදි අධික ලෙසින් ඉන්ධන දහනය කළ හැකිද යන්නයි.

 

ලෝක ජනගහණය ඉහළ යෑම ආහාර පමණක් නොව ජලය සඳහාද විශාල ඉල්‍ලුමක් ඇතිකරන ප්‍රවනතාවයකි. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට අනුව (UNFPA) 2050 වනතුරු ලෝක ජනගහණය වර්ධනයවනු ඇති අතර ඊටත් වඩා ගැටළුවක් වනුයේ ලෝක නාගරික ජනගහණය අධික ලෙස ඉහළ යෑමයි. වර්‍ෂ 2030 වනවිට ලෝක ජනගහණය බිලියන 8.2 ක් වනු ඇති අතර එයින් බිලියන 5 ක්ම පමණ (60%ක්) නාගරිකව වෙසෙනු ඇත. අප්‍රිකාණු හා අසියානු කලාප වැනි දිළිඳු හා සංවර්ධනයවන කලාපවලද නාගරික ජනගහණය 50% ඉක්මවනු ඇත. මෙයින් ඉස්මතුවන බරපතලම ප්‍රශ්නයවන්නේ එවැනි නාගරික ජනගහණයන් සඳහා අවශ්‍ය අධික ජල ප්‍රමාණය සැපයීමය. ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමේදී ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය ජල සම්පත් හිඟවනු ඇත.

අන්තර්ජාතික බලශක්ති ඒජන්සියට අනුව 2030 වනවිට බලශක්ති 50%කින වැඩිවන බලශක්ති අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ෆොසිල ඉන්ධන (fossil fuel) භාවිතය 25% කින්ද, ගල් අඟුරු (coal) භාවිතය 60% කින්ද හා ගෑස් (gas) භාවිතය 40% කින් පමණද වැඩිවනු ඇත. මෙම වර්ග තුනම දේශගුණික විපර්යාස වැඩිකිරීමට හේතුවන අධික ලෙස කාබන් නික්මවීමේ ක්‍රමයන්ය. මෙහි ඇති අනික් ගැටළුව වන්නේ ඉදිරි දශක දෙක තුළ කාබන් නික්මවන බලශක්ති භාවිතය වැඩිවශයෙන්ම වර්ධනයවන්නේ සංවර්ධනවන රටවල් තුළවීම හා සංවර්ධනයේ නාමයෙන් එම රටවල් තම බලශක්ති භාවිතය අඩු කිරීමට මැළිවීමත්ය.‍ෆොසිල ඉන්ධන දහනය වැනි හේතු නිසා වැඩිවන ගෝලීය උෂ්ණත්වයේ විපාක දැනටමත් ඉස්මතුවෙමින් ඇති අතර අධික වර්ෂාපතනයන්, අධික නියං කාලගුණ තත්වයන්, කොරල්පර විනාශවීම වැනි දේශගුණික විපාක නිසා කෘෂි හා හා මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ ප්‍රවනතාවයන්ද දක්නට හැක.

සමහර විද්‍යාඥයින්ට අනුව 2030 වන විට උත්තර ප්‍රදේශයේ (arctic region)  අයිස් තට්ටු සම්පුර්ණයෙන්ම දියවී යාහැකි අතර එසේවුවහොත් අයිස් තට්ටුවෙන් දැනට පරාවර්තනයවන හිරුකිරණ පෘතුවියට අවශෝෂණයවීම නිසා ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වැඩිවීමට පුළුවන.

කාබන් නික්මවන බලශක්ති ප්‍රභවවලින් මිදී ජෛව ඉන්ධන භාවිතය (bio-fuel) සඳහා එළඹීමේ ප්‍රවනතාවයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙනමුත් ඒ සඳහා ආහාර බෝග වගාවට සුදුසු ඉඩම් භාවිත කිරීමෙන් ආහාර නිෂ්පාදනයට තර්ජනයක්ද එල්ලවී තිබේ. 

මෙම කරුණුවලින් පෙනී යන්නේ ඉහත ගැටළු එකිනෙක බැඳී ඇතී බවත් එක ගැටළුවක් විසඳීමේදී එය තව ගැටළුවක් උත්සන්න කිරීමට හේතුවන බවත්ය. එසේම එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම ඉදිරි වර්‍ෂ 20 තුළදී කලහැකිද යන්නත් බරපතල ගැටළුවකි. මෙම වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ජගත් දේශගුණික සමුළුවේදී (climate summit) වායුගෝලයට කාබන් නික්මවීම සම්බන්ධයෙන් සංවර්ධනයවන හා සංවර්ධිත රටවල් එකඟවන සීමාවන් හා ප්‍රතිපත්ති මත ඉහත ගැටළුව කෙතරම්දුරට විසඳාගත හැකිවේදැයි සිතිය හැක.

මූලාශ්‍රය:
http://news.bbc.co.uk/2/hi/science/nature/8213884.stm


මානුෂීය ආපදා සඳහා යුනිසෙෆ් සංවිධානයේ 2009 ආධාර ඉලක්ක සංශෝධනය කෙරේ
Unicef revises 2009 humanitarian aid budget

(2009 සැප්තැම්බර් 11)

ලෝකයේ රටවල් කිහිපයක් තුළ යුද ගැටුම් හා ගංවතුර, නිඟයන්, භූමිකම්පා හා සුළි සුලං වැනි ස්වාභාවික ආපදාවන් නිසා අවතැන්වු සහ පීඩාවට පත්වූ පුද්ගලයින්ට මානුෂීය සහනාධාර ලබා දීමේ පුරෝගාමී ජාත්‍යන්තර ආයතනයක්වන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) මගින් මෙම වර්ෂයේ (2009) මැද නිකුත් කර ඇති වාර්තාවකට අනුව මෙම වර්ෂයතුළ ලොවපුරා තිබූ මානුෂීය අර්බුද කිහිපයක් සමථයකට පත්වුනද සමහර රටවල්වලට අවශ්‍ය මානුෂීය ආධාර සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇත. ඒ සඳහා උදාහරණ ලෙස දක්වා ඇත්තේ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාවයි. මේ නිසා මානුෂීය අධාර සඳහා 2009 දී Unicef සංවිධානයට අවශ්‍යයැයි මුලදී ඇස්තමේන්තුකළ ඇ. ඩොලර් බිලියන 1 ක පමණ මුදල 15% කින් වැඩිකිරීමට සිදුවූ බව මෙම වාර්තාව සඳහන් කරයි. ගෝලිය මූල්‍ය අර්බුදය නිසා ඉහළ ගොස් ඇති ආහාර හා ඉන්ධන මිලත්, දේශගුණික විපර්යාස නිසා ඉස්මතුවී ඇති ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව වැඩිවීමත් මානුෂිය ආධාරවල අවශ්‍යතාවය වැඩිවීමට හේතුවූබවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

 

වැඩි වශයෙන්ම ළමුන් හා කාන්තාවන් ඉලක්කකර ගනිමින් පෝෂණ, අධ්‍යාපන, ජල, සනීපාරක්ෂක, HIV/ඒඩ්ස් සහ විවිධ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන Unicef සංවිධානයේ මෙම වාර්ෂික ආධාර ඇස්තමේන්තුව ලෝකයේ විවිධ කලාප හා රටවල්තුළ ඉස්මතුවන මානුෂීය අර්බුද පිළිබඳ සංසන්දනාත්මක දර්ශකයක්සේ සැළකිය හැක. යුද ගැටුම් හෝ ස්වාභාවික හේතු නිසා වැඩි වශයෙන්ම ආපදාවට පත්වන්නේ ආසියානු කලාපය බව මේ මගින් පෙනෙන අතර ආසියානු කලාපය තුළ මානුෂීය ආපදාවල උග්‍ර බව අතින් ඇෆ්ගනිස්ථානය පළමු තැනටත්, ශ්‍රී ලංකාව දෙවැනි තැනට හා මියන්මාරය තෙවැනි තැනටත් පත්ව ඇත. ඇෆ්ගනිස්ථානයේ ආපදා තත්වය කෙතරම් ඉක්මණින් වර්ධනයවී ඇත්ද යත් මුලදී Unicef සංවිධානය අපේක්ෂාකළ ප්‍රමාණයට වඩා 181% කින් මානුෂීය ආධාර වැඩිකිරීමට සිදුවී ඇත. එසේම ශ්‍රී ලංකාවේද එම ප්‍රමාණය 96% කින් වැඩිකර ඇත.

මූලාශ්‍රය:
UNICEF Humanitarian Action Report 2009 Mid-Year Review


බිඳවැටී ඇති දෝහා වෙළඳ කතිකා වටය ගොඩ ගැනීමේ නිල නොවන ප්‍රයත්නය
An Informal attempt to revive the failing Doha round of trade talks 

(2009 සැප්තැම්බර් 7)

ලෝක වෙළඳාම සම්බන්ධයෙන් සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් අතර පවතින මතභේදය නිමා කරගැනීම සඳහා අවුරුදු 8 ක පමණ කාලයක් තිස්සේ පැවැත්වුන ‘දෝහා වෙළඳ කතිකා වටය’ (Doha round of trade talks) නමැති සාකච්ඡා ක්‍රියාවලිය සාර්ථක මඟට ගැනීමේ අරමුණෙන් රටවල් 40 ක පමණ නියෝජිතයන් සහභාගිවූ ලෝක වෙළඳ සංවිධානයේ (World Trade Organization -WTO) නිලනොවන රැස්වීමක් දැනට පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වින.

පසුගිය (2008) වර්ෂයේ ජූලි මස ‍ජිනීවාහිදී පැවති දෝහා කතිකාවටයේ සමුළුවද අසාර්ථකවීමෙන් පසුව නැවත ලබන මස (2009 සැප්තැම්බර්) 14 වැනිදා පැවැත්වෙන සමුළුවේදීවත් යම්කිසි එකඟතාවයකට එළඹීමේ අරමුණෙන් මෙවැනි නිල නොවන සාකච්ඡා වාරයක් පැවැත්වීය යුතුයැයි තීරණයවූයේ පසුගිය අප්‍රියෙල් මස පැවති G20 සමුළුවේදීය.

පසුගිය සතියේ පැවති මෙම නිල නොවන සාකච්ඡාවට අනතුරුව ප්‍රකාශයක් නිකුත්කළ ඉන්දියානු වෙළඳ ඇමතිවරයා කියා සිටියේ මෙම දෝහා වෙළඳ කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට බාධාවක්ව පැවතියේ එහි ක්‍රමවේදය (modality) පිළිබඳව තිබූ අවුල්සහගත තත්වය බවත් මෙම සතියේ පැවති සාකච්ඡාවේදී එම තත්වය සැළකියයුතු ප්‍රමාණයකින් විසඳාගත් බවත්ය.

වර්ෂ 2001 දී (කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ) ඇරඹි මෙම දෝහා කතිකාවට මුල්වි ඇත්තේ ඇමෙරිකාව, ජපානය හා යුරෝපා හවුල වැනි සංවර්ධිත රාජ්‍යයන් විසින් තම රටවල්වල ගොවීන්ට අධික ලෙස සහණාධාර (farm subsidies) ලබාදීම හා තම රටවල්වලට වෙනත් රටවල්වලින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අධික තීරුබදු පැනවීම (high tariffs) මගින් තම රටවල්වල ගොවීන් හා නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ පිළිවෙතයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ හා යුරෝපයේ ගොවීන් විසින් සහණාධාර මත නිපදවෙන කපුපුළුන් (cotton) අඩු මිලකට අපනයනය කෙරෙන නිසා මාලි හා බෙනින් වැනි අප්‍රිකානු රටවල්වල දිළිඳු ගොවීන් නිෂ්පාදනය කෙරෙන කපුපුළුන්වලට ඇත්තේ අඩු අපනයන ඉල්ලුමක්ය. සංවර්ධිත රටවල් තම ගොවීන්ට සහණාධාර ලබා නොදෙන්නේ නම් දිළිඳු රටවල ගොවීන්ගේ නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් හා වැඩි ආදායමක්ද ලැබෙනු ඇත. දෝහා වෙළඳ කතිකාවට පාදකවී ඇත්තේ විවෘත ආර්ථික පිළිවෙත අනුව සහානාධාරවලින් ඉවත්විය යුතුයැයි සංවර්ධනයවන රටවල්වලට බලකරමින් සංවර්ධිත රටවල් ගෙනයනු ලබන මෙම දෙබිඩි වෙළඳ පිළිවෙතය. 

ඇ. ඩොලර් ට්‍රිලියන 60 ක් (බිලියන 60,000) පමණ වාර්ෂික අගයක් ඇති සමස්ථ ගෝලීය ආර්ථිකයෙන් 60% ක්ම අයත් වන්නේ ගෝලීය වෙළඳාමටය. එයිනුත් ගෝලීය අපනයනවල (global exports) මුළු වටිනාකම ඩොලර් ට්‍රිලියන 12 ක් වන අතර, මෙම දෝහා වෙළඳ කතිකාවතට අදාලවී ඇත්තේ ඩොලර් ට්‍රිලියන 1 ක් පමණක්වන අපනයන වෙළඳාමය (export trade). එය ගෝලිය වෙළඳාමෙන් සුළු කොටසක්වුවද ඒ තුළ ඇත්තේ දේශපාලන වශයෙන් ඕනෑම රාජ්‍යයකට සංවේදීවන කෘෂි, ධීවර හා රෙදිපිළි (textile) අංශවලට අදාළ වෙළඳාමයි. එම නිසා ආර්ථික වශයෙන් කෙතරම් බලවත් වුවද සමස්ථ ගෝලීය අපනයන වෙළඳාමෙන් සුළු කොටසක්වන මෙම කෘෂි වෙළඳාම තමන්වෙත නතුකරගෙන තබාගැනීම සඳහා ඇමෙරිකාව සහ යුරෝපා රටවල් ලැජ්ජාවකින් තොරව දරන උත්සාහය පිළිබඳව පුදුමවිය යුතුද නැත. සමස්ථ ගෝලීය කෘෂි අපනයනවල (global agricultural exports) වාර්ෂික අගය ඩොලර් බිලියන 700 ක් පමණක් වෙද්දී තම ගොවීන්ට සහනාධාර ලබාදීමට පමණක් පොහොසත් සංවර්ධිත රටවල් වාර්ෂිකව ඩොලර් බිලියන 300 ක් පමණ වැය කිරීම තුළින් එම රටවල කෘෂි ආරක්ෂණ ප්‍රතිපත්තිය (agriculture protection policy) මැනවින් පැහැදිළිවේ. මෙම පොහොසත් රටවල් සංවර්ධනයවන හා දිළිඳු  රටවල්වලට වාර්ෂිකව ලබාදෙන මුළු ආධාර ප්‍රමාණයද ඩොලර් බිලියන 140 ක් පමණවන අතර එය එම රටවල්වල ගොවි සහනාධාරවලින් අඩකටත් වඩා අඩුය.

එම නිසා ගෝලීය කෘෂි වෙළඳාම තුළ සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් අතර ඇති මෙම අසමතුලිතතාවය අඩුකරගැනීමට හැකිවුවහොත් සංවර්ධනයවන රටවල් ආර්ථික වශයෙන් වඩා ශක්තිමත් වනු ඇති අතර පොහොසත් රටවල්වලින් ලැබෙන ආධාර මත එතරම් යැපී සිටීමටද සිදුවන්නේ නැත. 

එහෙත් දෝහා වෙළඳ කතිකා වටය මගින් මෙය ඉටුකර ගැනීමට ඇත්තේ ඉතා සුළු කාලයකි. එයට හේතුව මෙම කතිකාව 2010 වනවිට අවසන්වීමට නියමිත බැවිනි. දැනටමත් ඒ සඳහා ඉතාමත් ප්‍රමාදවී ඇති අතර මෙම ප්‍රමාදය ඇති තාක් කල් හා තීරණයකින් තොරව දෝහා කතිකාවත 2010 දී අවසන්වුවහොත් එයින් වාසි අයත් වන්නේ පොහොසත් රටවලටය. එම නිසා ලබන මස පැවැත්වෙන මීලඟ දෝහා කතිකාවත් සමුළුවට පෙර මේ සම්බන්ධයෙන් අදාළවන සියළුම පාර්ශව රටවල් අතර නිලනොවන සාකච්ඡාවක් සංවිධානය කිරීමට ගත් පියවර වැදගත් පියවරක් ලෙස දැකිය හැක.

මූලාශ්‍ර:
http://www.business-standard.com/india/news/members-reaffirm-need-to-resume-doha-talks/01/31/369159/
Agricultural Policies in OECD Countries-MONITORING AND EVALUATION 2009


සංවර්ධයවන රටවලට ගලා එන ඍජු විදේශ ආයෝජන අඩුවීමේ ලකුණු
Signs of slowing of Foreign Direct Investments – FDI in developing economies

(2009 සැප්තැම්බර් 04)

තවමත් බොහෝ රටවල් මුහුන දෙමින් සිටින ගෝලිය මූල්‍ය අර්බුදය ලෝකයේ නොයෙකුත් ආර්ථික පැතිකඩයන්ට අශුභලෙස බලපාමින් ඇති අතර සංවර්ධනයවන රටවල ආර්ථිකයනට බෙහෙවින් උපකාරීවන ඍජු විදේශ ආයෝජනවල (Foreign Direct Investments – FDI) අඩුවිමක් මේ නිසා ඇතිවිය හැකි බවට දැනටමත් අනතුරු ඇ‍‍ඟවෙමින් තිබේ. මෙම ඍජු විදේශ ආයෝජනයන් යනුවෙන් අදහස් කරන්නේ කොටස් වෙළඳපලවල ආයෝජන කෙරෙන හා ඕනෑම අවස්ථාවක විකුණා ඉවත්කර ගතහැකි තාවකාලික ආයෝජනයන් නොව ස්ථිර වත්කම් සහිත(ඉඩම්, යන්ත්‍රසුත්‍ර ආදී) දීර්ඝ කාලිනව කාර්මික හා සේවා අංශවල කෙරෙන ආයෝජනයන්ය. මෙවැනි දේශසීමාවකින් තොරව විවිධ රටවල තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන (Trans-National Corporations – TNC) සමාගම් මෙවැනි විදේශ අයෝජනවල නිරතවී ඇත. බලශක්ති (British Petroleum, Shell), සන්නිවේදන (Dialog telecom, Bharatitel), මෝටර්රථ (Toyota, GM), පාරිභෝජන භාන්ඩ (Unilevers, Nestle, Cocacola) ආදී විවිධ අංශවල නියුතු ව්‍යාපාරික සමාගම් මෙම TNC ගණයට අයත් අතර එවැනි TNC සමාගම් 79,000 ක් පමණ  ලෝකයේ විවිධ රටවල කෙරෙන නිෂ්පාදනවල වාර්ෂික විකුණුම් ආදායම ඇ.ඩොලර් ට්‍රිලියන 31 ක් (බිලියන 31,000) ඉක්මවයි.

මෙම TNC සමාගම් මගින් 2007 වර්ෂයේදී සියළුම රටවල්තුළ (සංවර්ධිත හා සංවර්ධනයවන) කරනලද ආයෝජනය ඇ.ඩො.බිලියන 1833 වන අතර 2008 වර්ෂයේදී එම ආයෝජන ප්‍රමාණය 21% කින් පමණ පහත වැටින. එහෙත් මෙම ආයෝජන පහත වැටීම සිදුව ඇත්තේ සංවර්ධිත රටවල්තුළම වන අතර සංවර්ධනයවන රටවල් තුළ TNC සමාගම් කරන ලද ආයෝජනයන් 2008 දී 3.6%  කින් වැඩිවිය. එහෙත් 2009 වර්ෂයේ පළමු කාර්තුවේදී TNC සමාගම්වල ඍජු විදේශ ආයෝජන විශාල වශයෙන් - 2008 පළමු කාර්තුවට වඩා 57% කින් පහත බැස ඇත. ආර්ථික විශ්ලේෂකයින්ට අනුව ඍජු විදේශ ආයෝජනවල පසු බැසීමේ මෙම ප්‍රවනතාවය දිගටම පැවතියහොත් 2009 දී එය සංවර්ධිත රටවලට පමණක් නොව සංවර්ධනයවන රටවල්ටද තදින්ම බලපානු ඇති අතර ‍සංවර්ධනයවන රටවල ඍජු විදේශ ආයෝජන 25% - 40% අතර ප්‍රමාණයකින් අඩුවනු ඇත.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයවන රටවල අපනයනික විදේශ මුදල් ආදායම වැඩිකරගැනීමට, රැකියා ජනිත කිරීමට, නව තාක්ෂණ හඳුන්වාදීමට, මානව කුශලතා නංවාගැනිමට, නව වෙළඳපල මාර්ග හඳුනාගැනිමට හා සමස්ථයක් ලෙස ආර්ථිකයන් වර්ධනය කරගැනීමට ඍජු විදේශ ආයෝජන සහිත අන්තර්ජාතික ව්‍යාපාර ඉවහල්වන බැවින් එවන් ආයෝජනයන් තරඟකාරීව ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය ව්‍යාපාරික වටාපිටාවක්ද ඒ හා ගැලපෙන රාජ්‍ය මූල්‍ය හා බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයන කිරීමටද සංවර්ධනයවන රටවල් පෙළඹෙනබව නොරහසකි.

 

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම අතින් පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය සතුටුදායකවන අතර වර්ෂ 2000 දී දළ ජාතික ආදායමෙන් 1% පමණවූ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 2008 වනවිට 2.2% ක්වූ අතර එම ප්‍රමාණය ඇ.ඩො.මිලියන 889 පමණ විය.

2009 වර්ෂයේදී ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො.බිලියනයේ කඩඉම පසුකරනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2012 වනවිට එම ප්‍රමාණය ඇ.ඩො. බිලියන 4 දක්වා වැඩිවනු ඇතැයිද අපේක්ෂා කරයි. එහෙත් එසේ ඍජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව ආකර්ෂණය කරගත යුත්තේ ඉන්දියාව, බංග්ලා දේශය හා මාලදිවයින වැනි දකුණු ආසියාතික රටවල් සමග තරඟ කරමිනි.  දකුණු ආසියාවට ලැබෙන ඍජු විදේශ ආයෝජන වලින් ලංකාවට ගලා එන්නේ 3% ටත් අඩු ප්‍රමාණයක් වන අතර 2002 න් පසු එම ප්‍රතිශතයද ක්‍රමයෙන් අඩුවන බවද පෙනෙන්ට තිබේ.

විදේශ රටවල්තුළ ඍජු විදේශ ආයෝජනයන් කිරීම සඳහා එක් එක් රටවල ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වාගෙන යෑම කෙතරම් පහසුද යන්න නිගමනය කරගැනීමට TNC සමාගම්වලට උපකාරවිය හැකි මිණුම් දඬු සහිත “Doing Business” නමැති වාර්තාවක් වාර්ෂිකව ලෝක බැංකුව මගින් එළි දක්වනු ලබයි. මෙම වාර්තාව මගින් සැම වර්ෂයකදීම ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට පහසු බව සංසන්දනය කෙරෙන පරිදි රටවල් ශ්‍රේණිගත කෙරේ. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව පසුගිය වර්ෂවල ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්ථාන දෙස බැලීමේදී ව්‍යාපාර පවත්වාගෙන යැමේ පහසුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් පසු පසට තල්ලුවන බවක් පෙනෙන්ට තිබේ.

 

2005

2006

2007

2008

2009

ව්‍යාපාර සඳහා පහසුබව ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ගත් ස්ථානය

 

75

 

89

 

89

 

101

 

102

මූලාශ්‍රය: Doing Business 2005, 2006,2007,2008,2009 - World Bank

එපමණක්ද නොව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) නම් ආයතනය මගින් එක් එක් රටවල දූෂිතභාවය මණින දර්ශකයට (Corruption Perception Index –CPI) අනුව රටවල් ශ්‍රේණිගත කිරීමේ වාර්ෂික ලැයිස්තු දෙස බලනවිටද ශ්‍රී ලංකාව වඩා දූෂිත දෙසට (ලැයිස්තුවේ පහළට) තල්ලුවී ඇත.

මෙම ප්‍රවනතාවයන් දෙකම ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජනයන් ආකර්ෂණය කරගැනීමට බාධාවිය හැකි බැවින් ඒ පිළිබඳවද අදාළ අංශවල සැළකිල්ල යොමුවිය යුතුය. මේ පිළිබඳව ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ගෝලීය හා කලාපීය වශයෙන් ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය අඩුවේයැයි යන අනතුරු ඇඟවීම නිසාය.

මූලාශ්‍ර:

http://www.unctad.org/Templates/webflyer.asp?docid=11666&intItemID=1528&lang=1
http://www.dailynews.lk/2009/01/28/pol02.asp
http://www.adb.org/Documents/Reports/South-Asia-Economic-Report/2008/chap1.pdf
http://www.bloomberg.com/apps/news?pid=20601091&sid=aAn_Qy8nT9mA&refer=india