සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

ඉන්දියානු බද්ධ කුඩාමූල්‍යකරණ ආයතනික මොඩලය: දුප්පතුන් විශාල සංඛ්‍යාවක් වෙත මූල්‍ය පහසුකම් සැපයීමේ නව ප්‍රයත්නය
Financial Inclusion Corporation of India – FICI: A joint venture MFI model to reach millions of poor households

(2008 සැප්තැම්බර් 25)

නොයෙකුත් ක්‍රමවේද හා ආයතනික මාදිලිවලින් (methodological and institutional models) ක්‍රියාත්මකවන කුඩාමුල්‍යකරණ ක්‍රෂේත්‍රයේ නවතම ආයතනික මොඩලයක් පිලිබඳ තොරතුරක් ඉන්දියාවෙන්  වාර්තාවේ. සංවර්ධනයවන රටවල් අතුරින් කුඩාමුල්‍යකරණය ඉතා සීඝ්‍රයෙන් විකාසය වන රට ඉන්දියාව වුවද එහි 70% කට අධික ජනගහණයකට තවමත් මූල්‍ය සේවා ලඟා කරගත නොහැකිවී ඇත. මේ නිසා නොයෙකුත් රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා වාණිජ බැංකු පද්ධතියද තරඟයට මෙන් කුඩාමුල්‍යකරණය මගින් දිළිඳු ප්‍රජාවන්ට ණය පහසුකම් හා වෙනත් මුල්‍ය සේවා ලඟාකර දෙමින් සිටියි.

මේ අතර විවිධ මුහුණුවරන් ගන්නා එහෙත් මූල්‍ය සේවාවලම නියුක්ත විශාල ආයතන පහක් එක්ව බද්ධ කුඩාමුල්‍යකරණ ආයතනයක් (joint microfinance institution)  ඉන්දියාවේ ආරම්භකර ඇත. මෙයින් දෙකක් රාජ්‍ය මූල්‍ය ආයතනද, දෙකක් වාණිජ බැංකුද, අනික බහු පාර්ශවික අන්තර් ජාතික ආයතනයක්ද වීම විශේෂත්වයක් ලෙස සැළකිය හැක. මේ සඳහා හවුල්වී ඇත්තේ ඉන්දියාණු ජීවිත රක්ෂණ සංස්ථාව (Life Insurance Corporation) , ඉන්දියාණු ජාතික නිවාස බැංකුව (National Housing Bank) , ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව (Standard Chartered Bank), යුනියන් බැංකුව (Union Bank) සහ ලෝක බැංකුවට අනුබද්ධිත අන්තර් ජාතික මුල්‍ය සංස්ථාවයි (International Finance Corporation affiliated to the World Bank).

මෙම නව කුඩාමුල්‍යකරණ ආයතනය හඳුන්වන්නේ Financial Inclusion Corporation of India – FICI යන නමින්ය. මෙහි ‘Financial Inclusion’ යන්නෙන් අදහස් කරන්නේ දැනට මුල්‍ය සේවා ලබන්නේ නොමැති අඩු ආදායම්ලාභී අයවළුන් ඒ සඳහා අන්තර්ගත කරගැනීම වන අතර ඒ මගින් මෙම නව කුඩාමුල්‍යකරණ ආයතනයේ මුලික අරමුණ පැහැදිලිවේ.

දැනට ඇති බොහෝ රාජ්‍ය නොවන හා වාණිජ බැංකුවලට අනුබද්ධිත කුඩාමුල්‍යකරණ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ සීමිත ප්‍රාන්තවල හෝ සීමිත භූගෝලීය ප්‍රදේශ තුළය. එහෙත් FICI ආයතනය ජාතික මට්ටමින් සියළු ප්‍රාන්ත තුළ ක්‍රියාත්මක වීමට අපේක්ෂිත අතර මේ මගින් ඉන්දියාවේ අඩු ආදායම්ලාභී පවුල් විශාල සංඛ්‍යාවට එක්වරම මූල්‍ය පහසුකම් ලඟාකරදීමට මේ මගින් හැකිවේයැයි බලාපොරොත්තුවේ. මෙවැනි විශාල පරිමාණයේ කුඩාමුල්‍ය ප්‍රයත්නයන්ගෙන් දිළිඳුකම අවම කිරීමට වැඩි හැකියාවක් ඇතැයි යන විශ්වාසය මත මෙම නව FICI ආයතනය ක්‍රියාත්මක වනු ඇත.

ව්‍යාපාරික අරමුණුවලින් තොරව දායක ආයතන විසින් මුලපුරන ලද කුඩාමුල්‍යකරණ ක්‍රියාවලිය දුප්පතුන් විශාල ප්‍රමාණයක් කරා රැගෙන යා හැක්කේ ව්‍යාපාරික ආයතන මොඩලයක් තුළින් පමණිය යන්න මේවනවිට තහවුරු වෙමින් පවතී. මේ නිසාම ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල දේශීය රාජ්‍ය නොවන ආයතන (local NGOs) මගින් ක්‍රියාත්මකවන කුඩාමූල්‍යකරණ වැඩසටහන් ක්‍රමක්‍රමයෙන් කුඩාමුල්‍ය සමාගම් (microfinance companies) බවට පරිවර්තනයවෙමින් පවතී. එපමණක්ද නොව සමහර අන්තර්ජාතික රාජ්‍ය නොවන ආයතනද (International NGOs) කුඩාමූල්‍ය සමාගම් ලෙසින් ලියා පදිංචිවී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයවන රටවල් තුළ දේශීය කුඩාමුල්‍යකරණ ආයතන (local MFIs) සමග තරඟකාරීව ණය ලබාදීමේ ප්‍රවනතාවයක්ද ඉස්මතුවෙමින් පවතී.

මෙවැනි පසුබිමක් තුල ඉන්දියානු FICI ආයතන මොඩලය කුඩාමූල්‍යකරණ ක්‍ෂේත්‍රයට හා විශේෂයෙන්ම දායක හා අන්තර් ජාතික රාජ්‍ය නොවන ආයතනවලට ලබා දෙන්නේ වැදගත් පාඩමකි. එනම් තනි තනිව කුඩාමුල්‍ය සමාගම් බිහිකරනවා වෙනුවට විශාල බද්ධ කුඩාමුල්‍ය ආයතනයන් (joint venture MFIs) හරහා දේශීය කුඩාමූල්‍ය සමාගම්වලට අවශ්‍ය ණය ප්‍රාග්ධනය සැපයීම මගින් අඩු ආදායම්ලාභී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් කරා මූල්‍ය පහසුකම් සැපයිය හැකිය යන්නයි.

මූලාශ්‍රය: http://www.merinews.com/catFull.jsp?articleID=141464


ප්‍රාදේශීය සංවර්ධනය සැසඳීමට ඉවහල්විය හැකි ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය
Sri Lanka Prosperity Index – SLPI, to track regional development

(2008 සැප්තැම්බර් 23)

ශ්‍රි ලංකා මහා බැංකුව විසින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ සංවර්ධනය වඩා පුළුල් ලෙසින් විදහා දැක්විය හැකි දර්ශකයක් (indicator) 2008 සැප්තැම්බර් 8 වන දින හඳුන්වාදෙන ලදී. මෙම දර්ශකය හදුන්වනු ලබන්නේ ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය (Sri Lanka Prosperity Index) යනුවෙනි. සංවර්ධනය මැණීම සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරන ‘ඒක පුද්ගල ආදායම’ (per capita income) සහ ‘දළ ජාතික නිෂ්පාදිතය’ (Gross Domestic Product – GDP) වැනි ආර්ථිකමය දර්ශකවලින් ඔබ්බට ගොස් පුළුල් සංවර්ධන පැතිකඩ කිහිපයක් අන්තර්ගතවන ආකාරයෙන් මෙම සමෘද්ධි දර්ශකය නිර්මාණය කරඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය සසඳා බැලීමේදී විවිධ පළාත්වල ඒක පුද්ගල ආදායම හෝ දළ ජාතික ආදායම වැනි ආර්ථික සාධකවලට පමණක් සීමා නොවී අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වෙනත් යටිතල පහසුකම් වැනි සමාජ සංවර්ධන නිර්ණායකයන්ද (social development criteria)අන්තර්ගතවූ සංසන්දනයක් කිරීමට මෙම නව සංයුක්ත දර්ශකය මගින් හැකිවේ.

මෙම සෞභාග්‍යය දර්ශකය නිර්මාණය කිරීම සඳහා උප දර්ශක (sub indicators) කාණ්ඩ 3 ක් යටතේ විචල්‍ය නිර්ණායක 20 ක් භාවිතා කරගෙන ඇත. සංවර්ධනය සඳහා ඇති වැදගත්කම සැළකිළ්ලට ගනිමින් මෙම උපදර්ශක කාණ්ඩ තුනට වෙනස් මට්ටම්වල බර තැබීම් කර ඇත.

උප දර්ශක
Sub indicators

බර තැබීමේ ප්‍රතිශතය
Weighted ratio

ව්‍යාපාරික / ආර්ථික පරිසරය
Economy of Business Climate

 

30%

ජනජීවිතයේ යහපැවැත්ම Well Being of the People

 

45%

සමාජ ආර්ථික යටිතල පහසුකම්
Infrastructure

 

25%

සෞභාග්‍ය දර්ශකය නිර්මාණය කිරීම සඳහා භාවිතාකර ඇති නිර්ණායකයන් 20 ඉහත සඳහන්කල උප-දර්ශකයන් තුනට අයත්වන්නේ පහත දැක්වෙන ලෙසින්ය.

ව්‍යාපාරික / ආර්ථික පරිසරය
Economy of Business Climate

ජනජීවිතයේ යහපැවැත්ම
Well Being of the People

සමාජ ආර්ථික යටිතල පහසුකම්
Socio-economic Infrastructure

ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය Per capita GDP

රජයේ රෝහල්වල ඇති ඇඳන් සංඛ්‍යාව Government Hospital Beds

ඒක පුද්ගල විදුලි පරිභෝජන ඒකක ප්‍රමාණය Per capita Electricity Consumption

දිළිඳු නොවන ජන අනුපාතය People above poverty

රජයේ රෝහල්වල සිටින වෛද්‍යවරු සංඛ්‍යාව Government Doctors

දුරකථන ඝණත්වය (වර්ග ප්‍රමාණයේ අනුපාතයක් ලෙසින්) Telephone Density

සේවා නියුක්තිය Employment Rate

ළදරු ජීවරක්ෂිතතා අනුපාතය Infant survival rate

බැංකු සේවා ඝනත්වය (වර්ග ප්‍රමාණයේ අනුපාතයක් ලෙසින්) Banking Density

අවිධිමත් රැකියා ක්ෂේත්‍රයේ වේතන Informal sector wages

මාතෘ  ජීවරක්ෂිතතා අනුපාතය Maternal survival rate

මහා මාර්ග ඝණත්වය (වර්ග ප්‍රමාණයේ අනුපාතයක් ලෙසින්) Road Density

ඒක පුද්ගල ව්‍යාපාරික පිරිවැටුම් බදු අන්පාතය Per Capita BTT

පාසැල් ඝනත්වය (වර්ග ප්‍රමාණයේ අනුපාතයක් ලෙසින්) School density

නීතිය හා සාමය Law and order

කර්මාන්ත ඝනත්වය (වර්ග ප්‍රමාණයේ අනුපාතයක් ලෙසින්) (Industrial density)

ශිෂ්‍ය - ගුරුවර අනුපාතය Pupil teacher Ratio

 

 

ද්වීතීයක අධ්‍යාපනය අඛණ්ඩව යොමුවන ශිෂ්‍ය අනුපාතය Continuation of Secondary education

 

 

අ.පො.ස (සා. සහ උසස් පෙල) සමත් අනුපාතයන් O/L and A/L pass rate

 

 

වාහන හිමි පුද්ගල අනුපාතය Ownership of Vehicles

 

මෙම නිර්ණායකයන් උපයෝගී කරගනිමින් වර්ෂ 2000 සිට 2007 දක්වා සියළුම පළාත් සඳහා ලකුණු ලබා දීමක් මගින් එම පළාත්වල සහ මුළු දිවයිනේම සෞභාග්‍ය මිම්මවල් නොහොත් මට්ටම් (prosperity levels) මූලික හඳන්වාදීමේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී සෑම වර්ෂයකදීම මෙම මිම්මවල් යාවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ඇත.

2007 වර්ෂය සඳහා පළාත් සෞභාග්‍යය දර්ශක අගයන්
Provincial Prosperity Indices (2007) 

 

 

ව්‍යාපාරික / ආර්ථික පරිසර
උප දර්ශකය

 

ජනජීවිතයේ යහපැවැත්ම
උප දර්ශකය

 

යටිතල පහසුකම්
උප දර්ශකය

සමස්ථ සෞභාග්‍යය දර්ශකය

ලබා ඇති අගය

ලබා ඇති ස්ථානය

ලබා ඇති අගය

ලබා ඇති ස්ථානය

ලබා ඇති අගය

ලබා ඇති ස්ථානය

ලබා ඇති අගය

ලබා ඇති ස්ථානය

බස්නාහිර පළාත

17.9

1

33.5

1

14.6

1

66.1

1

මධ්‍යම පළාත

11.5

3

30.0

2

11.4

2

52.9

2

දකුණු පළාත

11.6

2

28.9

3

11.0

3

51.6

3

උතුරු පළාත

11.1

5

25.1

9

 7.4

8

43.6

9

නැගෙනහිර පළාත

10.2

9

25.8

8

 8.3

7

44.2

8

වයඹ පළාත

11.3

4

28.5

4

 9.9

6

49.7

4

උතුරුමැද පළාත

10.9

6

27.2

6

10.2

5

48.3

6

ඌව පළාත

10.7

7

26.7

7

10.4

4

47.8

7

සබරගමුව පළාත

10.4

8

27.5

5

10.4

4

48.4

5

ශ්‍රී ලංකාව

13.0

 

28.9

 

10.7

 

52.7

 

මෙම නවතම සෞභාග්‍ය දර්ශකයට අනුව බස්නාහිර, මධ්‍යම හා දකුණු පළාත් තුන පිළිවෙලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් වඩාත් සෞභාග්‍යමත් ප්‍රදේශ ලෙස ඉදිරියෙන් සිටී. මෙහිදී විශේෂ කරුණක් වන්නේ ව්‍යාපාරික පරිසරය අතින් බලන කල දකුණු පළාත මධ්‍යම පළාතට වඩා ඉදිරියෙන් සිටීමයි.

සෞභාග්‍යමත්භාවය අතින් සිව්වන ස්ථානය වයඹ පළාතට හිමිවන නමුත් යටිතල පහසුකම් උප දර්ශකයට අනුව වයඹ පළාතට හිමිවන්නේ හයවන ස්ථානයයි. සංවර්ධන ප්‍රතිපත්ති සාධනය කරන්නන්ගේ අවධානයට මෙම කරුණ යොමුවිය යුතුය.

සබරගමුව පස්වන සෞභාග්‍යමත් පළාත බවට පත්ව ඇති අතර ඒ සඳහා මූලිකවී ඇත්තේ එම පළාතේ ඇති යටිතල පහසුකම් හා ජනජීවිතයේ යහ පැවැත්මයි. එසේවුවද ආර්ථික පසුබිම අතින් බලන කල සබරගමුවට 8 වන ස්ථානය හිමිවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවිය යුතුය.

උතුරුමැද සහ ඌව පළාත් පිළිවෙලින් 6 වන සහ 7 වන ස්ථාන ලබා ගන්නා නමුත් යටිතල පහසුකම් දර්ශකයට අනුව ඌව පළාත 4 වන තැනත් උතුරුමැද පළාත 5 තැනත් ලබා ගැනීම විශේෂවේ.

අපේක්ෂිත ආකාරයටම නැගෙනහිර සහ උතුරු පළාත් පිළිවෙලින් පත්ව ඇත්තේ සමස්ථ සෞභාග්‍ය දර්ශක මිණුම් දණ්ඩේ අවසාන නොහොත් 8 වන හා 9 වන ස්ථානයන්ටය. මෙහිදී එකම සාධනීය විශේෂත්වය ලෙස දැකිය හැක්කේ සමස්ථ සෞභාග්‍ය දර්ශකයේ 9 වන ස්ථානයට පත්වන උතුරු පළාත ආර්ථික පරිසරය අතින් ගත් කල 5 වන ස්ථානය ලබා තිබීමයි.

මෙවැනි නව සෞභාග්‍ය දර්ශකයක් නිර්මාණය කිරීමට මූලිකවූයේ දළ ජාතික නිෂ්පාදිතය (GDP) වැනි ආර්ථික සාධකවලට පමණක් සිමාවු දර්ශකයන්ගෙන් සංවර්ධනයේ සැබෑ තත්වය පැහැදිළිව දිස්වන්නේ නොමැතියැයි යන අඩුපාඩුව සම්පූර්ණ කිරීමය. මේ නිසාම මේවනවිට ආර්ථික හා සමාජ සාධක අන්තර්ගත සංයුක්ත සංවර්ධන දර්ශකයන් (composite development indices) නිර්මාණයවීමේ ප්‍රවනතාවය ලෝකයේ සමහර රටවල්තුළින් දක්නට හැකිවේ. මේ සදහා හොඳම උදාහරණය වන්නේ භූතානය විසින් මෑතකදී හඳුන්වාදුන් දළ ජාතික සන්තුෂ්ඨි දර්ශකයයි (Gross National Happiness).

මෙම මස මුලදී හඳුන්වාදුන් මෙම ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පිළිබඳව මේවනවිටත් බොහෝ විවේචන ඉදිරිපත්වෙමින් තිබේ. මේ විවේචන සදහා පදනම් වන ප්‍රධානම කරුණ වන්නේ මෙම සෞභාග්‍ය දර්ශකය නිර්මාණය කිරීමට යොදාගත් නිර්ණායකයන් 20 ‍රටේ ජනතාවගේ සමෘද්ධිමත්භාවය පූර්ණව සහ යථාර්ථවත්ව ඉස්මතුකර දැක්වීමට අපොහසත්ය යන්නයි.

මීට අමතරව 2000 සිට 2007 කාලය තුළ සමහර පළාත් - සහ විශේෂයෙන්ම අර්බුදයට මැදිවී සිටින උතුරු සහ නැගෙනහිර පළාත් දෙක අත්පත් කරගෙන ඇති සෞභාග්‍යමත් බවේ ප්‍රගතිය පිළිබඳවද සමහර කොටස් සැක මතුකර ඇත.

පළාත් සෞභාග්‍ය දර්ශක අගයන් (2000 සිට 2007 දක්වා)
Provincial Prosperity Indices (2000 – 2007)

පළාත්

2000

2001

2002

2003

2004

2005

2006

2007

බස්නාහිර පළාත

55.3

55.4

56.8

57.5

58.3

60.3

63.2

66.1

මධ්‍යම පළාත

42.4

44.2

46.2

46.5

47.0

47.8

50.5

52.9

දකුණු පළාත

41.7

42.9

45.1

45.2

44.4

47.5

48.8

51.6

උතුරු පළාත

35.4

37.5

38.1

39.1

39.8

41.8

43.3

43.6

නැගෙනහිර පළාත

35.1

36.5

37.1

37.6

39.3

40.5

41.9

44.2

වයඹ පළාත

39.8

41.2

42.7

43.6

43.9

45.7

47.5

49.7

උතුරුමැද පළාත

38.4

39.5

41.1

42.2

42.0

44.1

45.6

48.3

ඌව පළාත

38.0

40.3

41.4

41.4

42.9

42.3

45.3

47.8

සබරගමුව පළාත

39.1

40.7

41.3

41.7

42.4

43.9

46.1

48.4

ශ්‍රී ලංකාව

42.4

43.9

45.3

45.9

46.4

48.1

50.3

52.7

මූලාශ්‍ර:

http://www.cbsl.gov.lk/pics_n_docs/11_education/_docs/article_20080905e.pdf
http://www.sundayobserver.lk/2008/09/21/imp07.asp
http://www.thebottomline.lk/2008/09/24/index%2047.htm


අධික උද්ධමනය හමුවේ වර්ධනයවන ඉන්දියාණු කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය
Indian MFIs report growth as inflation rises to record levels

(2008 සැප්තැම්බර් 11)

වර්තමාන ඉන්ධන හා ආහාර මිල ඉහළ යෑමේ අර්බුදය හමුවේ සෑම රටකම උද්ධමනය ඉහළ යමින් තිබෙන අතර මේ නිසා මූල්‍ය ක්ෂේත්‍ර ඇතුළුව බොහෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තදබල පසුබෑමකට ලක්වෙමින්  පවතී. ඉන්දියාවේද බොහෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් මෙම ආර්ථික උද්ධමන අර්බුදය හේතුවෙන් පාඩුවිඳින තත්වයකට පත්වෙමින් පැවතියද කුඩාමුල්‍යකරණ ආයතන - විශේෂයෙන්ම විශාල, මේරූ (matured) හා පෞද්ගලික ආයෝජනයන් සහිත කුඩාමුල්‍යකරණ ආයතන මෙම ඉහළ යමින් තිබෙන උද්ධමන ප්‍රවනතාවය හමුවේවුවද සීඝ්‍ර සහ අතිවිශාල වර්ධනයක් (100% කටත් අධික) ලඟාකර ගනිමින් සිටී.

අවුරුදු 13 කට පසු ඉන්දියාවේ ප්‍රථම වතාවට 11% ක් වැනි ඉලක්කම් දෙකේ උද්ධමන අගයක් (double digit) මෙම වර්ෂයේ (2008) ජූනි මාසයේ පෙන්නුම් කළ අතර මේවනවිට විශාල වාණිජ බැංකු බොහොමයක් තම ණය පොළී අනුපාතයන් ඉහළ දමා ඇත. එහෙත් මෙම තත්වය  තුළ නොසැළී සිටින කුඩාමුල්‍යකරණ ආයතන ඒවායේ ණය පොළී අනුපාතයන් ඉහළ දැමීමට සූදානම්වන බවක් තවමත් වාර්තා නොවේ.

ඉන්දියාවේ කුඩාමුල්‍යකරණ ආයතනවල මෙම වර්ධනයට මුලික හේතුව ලෙස සැළකිය හැක්කේ භාණ්ඩමිල වැඩිවීමත් සමගම සවයං රැකියා සහ කුඩාව්‍යාපාර පවත්වාගෙන යන්නන්හට තම යෙදවුම් (අමු ද්‍රව්‍ය) මිලට ගැනීම සඳහා වැඩි මුදලක් (වැඩි ආයෝජනයක්) අවශ්‍යවීමයි. ඊට අමතරව වැඩිවී ඇති උද්ධමනය හමුවේ ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් එවැනි ව්‍යාපාරිකයින් තම අලෙවිය (නිෂ්පාදනය) වැඩිකර ගැනීමටද දරන උත්සාහ ගනියි. මේ කරුණු නිසා ඉන්දියාණු  කුඩාමුල්‍යකරණ ආයතනවලින් සපයනු ලබන ණය සඳහා ඇති ඉල්ලුම අධිකවී ඇත.

මෙම ඉල්ලුම කෙතරම්ද යත් අන්ද්‍රා ප්‍රාන්තය කේන්ද්‍ර කොට ගත් SKS නමැති ඉතා ප්‍රසිද්ධ කුඩාමුල්‍ය ආයතනය මෙම වර්ෂයේ අප්‍රියෙල් -ජූනි කාර්තුවේ එක් දිනකදී පමණක් රුපියල් මිලියන 120 ක්ද, බටහිර බෙංගාලයේ ක්‍රියාත්මකවන බන්ඩාන් (Bandhan) නමැති කුඩාමුල්‍ය ආයතනය එක් දිනකදී රුපියල් මිලියන 40 ක්ද,  බැංගලෝර්වල ඇති උජීවන් (Ujjivan) නමැති කුඩාමුල්‍ය ආයතනය එක් දිනකදී රුපියල් මිලියන 8.4  ක්ද වශයෙන් වාර්තාගත ලෙස ණය නිකුත් කර ඇත.  මෙවැනි විශාල කුඩාමුල්‍ය ආයතන බොහොමයක් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ නිකුත් කර ඇති ණය ප්‍රමාණය ගිය වර්ෂයේ කාර්තු දෙකකදී නිකුත්කර ඇති ණය ප්‍රමාණයට ආසන්නවීම ඉන්දියාවේ කුඩාමුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසාරණය මනාව පිළිබිඹු කරයි.

මෙම තත්වයේ තවත් විශේෂත්වයක් වන්නේ උද්ධමනය වැඩිවීමත් සමගම ණය ගෙවීම් පැහැර හැරීම් අනුපාතය (loan default rate) වැඩිවීම සාමාන්‍ය සංසිද්ධියක්වුවද මේවනතුරු ඉන්දියාණු කුඩාමුල්‍ය ආයතනවල ණය අයකර ගැනීම් සාමාන්‍ය පරිදි සිදුවීමයි. එහෙත් මේ තත්වය නොකඩවාම පවත්වාගෙන යැමට හැකිවේද යන්න නිශ්චිතවම කිවනොහැකියයි කුඩාමුල්‍යකරණ ආයතන අනතුරු ඇඟවීමක්ද කර ඇත.

මූලාශ්‍රය:

http://economictimes.indiatimes.com/News/Economy/Indicators/Micro-credit_booms_as_poor_look_to_combat_inflation/articleshow/3238766.cms

අන්තර් ජාතික දරිද්‍රතා රේඛාව ඇ. ඩොලර් 1.25 දක්වා ඉහළට: ලෝක ජනගහණයෙන් 26% ක් දුප්පත්
International Poverty Line raised to US$ 1.25: one quarter of the world population is poor

(2008  සැප්තැම්බර් 4)

2008 අගොස්තු 27 වන දින ආසියාණු සංවර්ධන බැංකුව විසින් ආසියාණු රටවල්වල දරිද්‍රතාවය සැසඳීම සඳහා නව ආසියාණු දරිද්‍රතා රේඛාව (දෛනික ඒක පුද්ගල ආදායම US$ 1.35) හඳුන්වාදීමට සමගාමීව ලෝක බැංකුව විසින්ද සියළුම රටවල්වල (හා කලාපවල) දරිද්‍රතාවය සැසඳීම සඳහා නව අන්තර් ජාතික දරිද්‍රතා රේඛාවක් (international poverty line) හඳුන්වාදී ඇති අතර එහි අගය වන්නේ US$ 1.25 ය. ඒ අනුව මෙතෙක් කල් ඉතා ප්‍රචලිතව භාවිතාවූ අන්තර් ජාතික දරිද්‍රතා මිනුම් දණ්ඩවන ඇ. ඩොලර් එකක්වු (US$ 1) දෛනික ඒක පුද්ගල ආදායම මින්පසු US$ 1.25 ලෙස සැළකෙනු ඇත.

මෙම නව දරිද්‍රතා රේඛාව නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ 2005 වර්ෂයේදී සියළුම රටවල් සඳහා වැඩි දියුණු කොට සකස්කරන ලද ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණවල (Household Income and Expenditure Surveys ) දත්ත හා සංඛ්‍යා ලේඛණය. මීට පෙර පැරණි US$ 1 දරිද්‍රතා රේඛාව සෑදීම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ 1985 සහ 1993 වර්ෂවල සංඛ්‍යා ලේඛණ වන අතර ඒවාට වඩා 2005 සංඛ්‍යා ලේඛණවල නිරවද්‍යතාවය (accuracy) ඉතා වැඩිය.

මෙම අළුත් දරිද්‍රතා රේඛාවට අනුව 2005 වර්ෂය වනවිට ලෝකයේ සිටි මුළු දුප්තුන් සංඛ්‍යාව මිලියන 1400 ක් වන අතර එයින් ගම්‍යවනුයේ (එම වර්ෂයේ ලෝක ජනගහණය අනුව) සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයකු දුප්පත් බවය. 1981 වර්ෂයේදී ලෝකයේ සිටි මුළු දුප්පතුන් සංඛ්‍යාව මිලියන 1900 ක්වන අතර එම වර්ෂයේ ලෝක ජනගහණය අනුව සෑම පුද්ගලයින් දෙදෙනෙකුගෙන්ම එක අයකු දුප්පත්ය. වෙනත් අන්දමකින් කිවහොත් 1981 ලෝක ජනගහණයෙන් අඩක් පමණවු (52% ක්) දිළින්දන් සංඛ්‍යාව 2005 වනවිට ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවකට පමණ (26%) අඩුව ඇත. මේ කාලය තුලදී ලෝකයේ දිළිඳු පුද්ගල සංඛ්‍යාව මිලියන 500 කින් අඩුවී ඇති අතර එම වර්ෂ 24 තුළ (1981 -  2005) දිළිඳුකම දුරැලීම අතින් ලෝකයේ බොහෝ රටවල් ලබා ගත් අතිමහත් ප්‍රගතිය මේ මගින් පෙන්නුම් කරයි. මේ අනුව ලෝක දිළිඳු ජනගහණය අඩුවීමේ වේගය වර්ෂයකට දළ වශයෙන් 1% පමණවේ.

මෙවැනි ශුභවාදී පසුබිමක් තුළ වුවද දිළිඳුකම දුරැලීමේ අභියෝගය ඉමහත්වන්නේ ලෝක ජනගහණයද වර්ෂයෙන් වර්ෂය වර්ධනයවන නිසාය. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals - MDGs) සපුරා ගතයුතු වර්ෂයවන 2015 වනවිටද ලෝකයේ සිටින දිළිඳු පුද්ගල සංඛ්‍යාව බිලියනයකට (මිලියන 1000) ආසන්න වනු ඇත. 

මේ හැරුණුකොට දිළිඳුකම අවමවිමේ ප්‍රගතිය සියළුම කලාප තුළ එකම මට්ටමකින් සිදුවී නොමැත. විවිධ කලාප අතුරින් දිළිඳුකම අවම කිරීම පිළිබඳ වැඩිම ප්‍රගතියක් ලබා ගෙන ඇත්තේ නැගෙනහිර ආසියාණු (East Asian countries) රටවල්ය. 1981 දී එම කලාපයේ 80% ක්වූ දිළිඳු ජනගහණය 2005 වනවිට 18% දක්වා අඩුවීම විශ්මය ජනක වන අතර ඒ සඳහා වැඩිමනත් දායකවී ඇත්තේ අධික ආර්ථික වර්ධනයක් ලඟාකර ගත් මහජන චීනයයි.  

 

දිළිඳු ජනගහණය අධිකව සිටින කලාප

දිළිඳු ජනගහණ ප්‍රතිශතය

2005 දී දිළිඳු ජනගහණය (මිලියන)

1981

2005

 

නැගෙනහිර ආසියාණු (east Asia)

 

80%

 

18%

 

330

 

දකුණු ආසියාණු (South Asia)

 

60%

 

40%

 

600

 

උප සහරාණු අප්‍රිකා රටවල් (Sub Saharan Africa)

 

50%

 

50%

 

380

ශ්‍රී ලංකාව අයත්වන දකුණු ආසියාණු කලාපයද දිළිඳුකම අවම කිරීම සම්බන්ධයෙන් සැළකියයුතු ප්‍රගතියක් ලබාගෙන ඇතත් එම කලාපයේ රටවල් සඳහා ඇති අභියෝගය ඉමහත්වන්නේ එම කලාපයතුළ 2005 වනවිටත් මිලියන 600 ක් වැනි විශාල දුගී ජනගහණයක් ඇති නිසාය.

සංවර්ධනයවන අඩු ආදායම්ලාභී රටවල් (Low income developing countries) සඳහා මෙම US$1.25 නව දරිද්‍රතා රේඛාව භාවිතා කළද ලතින් ඇමෙරිකාණු, මැද පෙරදිග සහ උතුරු ඇමෙරිකාණු වැනි මධ්‍යම ආදායම්ලාභී රටවල්වල (middle income countries) දරිද්‍රතාවය තක්සේරු කිරීම සඳහා භාවිතා වන්නේ US$ 2 ක් වැනි ඉහළ මට්ටමක දරිද්‍රතා රේඛාවකි.

මූලාශ්‍රය:
http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:21882162~pagePK:34370~piPK:34424~theSitePK:4607,00.html?cid=ISG_E_WBWeeklyUpdate_N

 


ලෝක බැංකුව මගින් සංවිධානය කෙරෙන දේශගුණික විපර්යාස මගින් විවිධ සමාජ පැතිකඩවලට ඇති බලපෑම ප්‍රදර්ශනය කෙරෙන වාර්ථා චිත්‍රපට තරඟයක්
Documentary film contest organized by the World Bank to expose the impact of various social dimensions to climate change

(2008 සැප්තැම්බර් 3)
දේශගුණික විපර්යාසවල සමාජ පැතිකඩවල් (social dimensions of climate changes) පාදක කරගත් වාර්තා චිත්‍රපටි තරඟයක් (documentary film contest) සංවිධානය කිරීමට ලෝක බැංකුවේ සමාජ සංවර්ධන අංශය පියවර ගෙන ඇත. දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන විපාක (impacts) හුදෙක් කෘෂිකර්මයට හෝ ස්වාභාවික විපත් වලට සීමා නොවී මානව හිමිකම් හා සමාජ ගැටුම් වැනි පුළුල් පරාසයක් කරා විහිදී යන බව අනාවරනය කිරීම සහ අවබෝධ කරගැනීම මෙම තරඟයේ අරමුණවී ඇත.
කාණ්ඩ දෙකකින් මෙම තරඟය පැවැත්වෙන අතර විවෘත කාණ්ඩය (open category) සඳහා වෘත්තීය හෝ ආධුනික භේදයෙන් තොරව ඕනෑම පුද්ගලයෙකුට සහභාගිවිය හැකි අතර අතර තරුණ කාණ්ඩය (youth category) සඳහා ඉදිරිපත්විය හැත්කේ අවුරුදු 24 ට අඩු ආධුනිකයන්ට පමණක්ය. මේ සඳහා විනාඩි 2 – 5 ත් අතර වාර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කළ යුතු අතර ඒ මගින් ඉතාමත් නිර්මාණශීලී ලෙස දේශගුණික විපර්යාස මගින් පහත දැක්වෙන එක් සමාජ පැතිකඩකට ඇති කරන බලපෑම ප්‍රදර්ශනය කළයුතුවේ.

  • සමාජ ගැටුම් (conflicts): ආහාර අර්බුදය නිසා කැරලි කෝළාහල මතුවීම (food riots), ජලය හා ඉඩම්වැනි සම්පත් නිසා ඇතිවන තරඟකාරිත්වය වැනි අවස්ථා
  • සංක්‍රමණයන් (migration): විකල්පය ආදායම් මාර්ග හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් සිදුවන සංක්‍රමණයන්
  • ශුෂ්ක ඉඩම් (dry lands) : දේශගුණික විපර්යාස නිසා විශාල ප්‍රදේශයන් ශුෂ්ක බවට පත්වීම හා ඒ තුළින් මතුවන සමාජ ප්‍රතිචාරයන්
  • නාගරික ඉඩකඩ (urban space) : දේශගුණික විපර්යාස නාගරික ප්‍රජාවන්ට බලපාන අයුරු - ග්‍රාමීය ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ කරා සිදුවන සංක්‍රමණයන්, ආහාර මිල වැඩිවීම් ආදිය.
  • ග්‍රාමීය ආයතන (rural institutions) : දේශගුණික විපාර්යාසවලින් ඇතිවන බලපෑම් අවම කරගැනීම සඳහා ක්‍රියාත්මකවීමට පළාත් පාලන ආයතන, ගොවි සංවිධාන, ධීවර සමිති, සමූපකාර සමිති සහ කාන්තා සංවිධාන වැනි ග්‍රාමීය සංවිධානවලට ඇති ශක්තිය හෝ ධාරිතාවය
  • ආදිවාසීන් (indigenous people): දේශගුණික විපර්යාස ආදිවාසි ජනයාගේ ජීවනෝපායන්ට සහ ජීවිතවලට කරන බලපෑම
  • ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (gender): දේශගුණික විපර්යාසවල විපාක අසමාන අයුරින් කාන්තා සහ පුරුෂ පක්ෂවලට බෙදී යන්නේද, එයින් ඇතිවන අතුරුඵලවිපාක කවරේද?
  • රාජ්‍ය පාලනය (governance) : දේශගුණික විපර්යාසවලින් සිදුවන විපාක අවම කරගැනීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගවල විනිවිදභාවය සහ සමාජ වගකීම් (social accountability) තහවුරු කරන්නේ කෙසේද?
  • වනාන්තර (forests) : වනාන්තර විනාශවීම තුළින් හරිතාගාර වායු අධික ලෙස නිකුත්වීම, ඒ මගින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, වනාන්තර ආශ්‍රිත ප්‍රජාවන්ට ඇති තර්ජන හා විකල්ප අවස්ථාවන් ආදිය
  • මානව අයිතිවාසිකම් (human rights): දේශගුණික විපර්යාසවල බලපෑම මානව අයිතිවාසිකම් කෙරේ බලපාන්නේ කෙසේද?

මෙම වාර්ථා චිත්‍රපට තරඟයේ ජයග්‍රාහකයින්ට 2008 දෙසැම්බර් මාසයේදී ලෝක බැංකුව මගින් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ සංවිධානය කෙරෙන උත්සවයකට සහභාගිවීමටත් එහිදී තම චිත්‍රපට තිරගත කිරීමටත් අවශ්‍ය සියළු මූල්‍ය පහසුකම් සැපයෙන අතර ඒ අතරතුරදී තවත් ආයතන සහ පුද්ගලයින් සමග දැනුම සහ කුශලතා වර්ධනය කරගැනීමට ප්‍රයෝජනවත් සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
මේ තරඟය සඳහා තම නිර්මාණයන් 2008 ඔක්තෝම්බර් මස 24 වැනි දිනට පෙර ඉදිරිපත්කළ යුතුය. මේ සම්බන්ධව වැඩි විස්තර www.worldbank.org/sdccfilmcontest යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

මූලාශ්‍රය: http://web.worldbank.org/WBSITE/EXTERNAL/TOPICS/EXTSOCIALDEVELOPMENT/0,,contentMDK:21840190~pagePK:210058~piPK:210062~theSitePK:244363,00.html

 


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්