සංවර්ධනයවන රටවල ළමා මරණ සංඛ්‍යාව අවම කිරීමට නම් පාචනයට හා නියුමෝනියාවට එරෙහි එන්නත් ලබාදිය යුතුය
Immunization against diarrhea and pneumonia is a must to reduce child mortality in developing countries
(2009 ඔක්තෝම්බර් 31)
ලෝකය පුරා සිටින දිළිඳු පවුල්වල ළමුන් මිලියන 150 ක් පමණ පාචනයෙන් (diarrhea) හා නියුමෝනියාවෙන් (pneumonia) ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා ඩොලර් බිලියන 4 ක් පමණ අවශ්‍යවන බව එන්නත් කිරීම හා ප්‍රතිශක්තිකරනය සඳහාවූ ගෝලීය සන්ධානය GAVI (Global Alliance for Vaccine s and Immunization) නමැති අන්තර්ජාතික සංවිධානය පවසයි. බැක්ටීරීයා ආසාදනයෙන් ඇතිවන මෙම මාරාන්තික රෝග දෙකෙන් වැළකීම සඳහා සංවර්ධිත රටවල ළමුන්ට නිරන්තරයෙන්ම ලබාදෙන Hib (නියුමෝනියාව සඳහා) හා Rotavirus (පාචනය සඳහා) යන එන්නත් වර්ග දෙක සංවර්ධනයවන රටවල්වල හා විශේෂයෙන්ම දිළිඳු රටවල ළමුන්ට ලබාගැනීමට නොහැකිවීම බරපතළ ගැටළුවක් බව පෙන්වා දෙන GAVI සංවිධානය සංවර්ධනයනවන රටවල ළමා මරන සංඛ්‍යාව විශාල වශයෙන් අඩුකිරීමට නම් මෙම එන්නත් ලබාදීම අනිවාර්යෙන්ම කලයුතුය.
සංවර්ධනවන රටවල සිදුවන ළමා මරන 4 කින් එකක් නියුමෝනියාව නිසා සිදුවන අතර එම සංඛ්‍යාව මැලේරියාව, ඒඩ්ස් හා සරම්ප යන රෝග 3 න්ම මියයන මුළු සංඛ්‍යාව ඉක්මවයි. GAVI සංවිධානයට අනුව Hib හා Rotavirus එන්නත් මගින් නියුමෝනියාවට හා පාචනයට එරෙහි ප්‍රතිශක්තිකරනය ලබාදීම පුළුල් කළහොත් 2030 වන විට වාර්ෂිකව ළමුන් මිලියන 11 කින් මරණයෙන් මුදාගතහැකිවනු ඇත.
ප්‍රතිශක්තිකරනය සඳහාවූ අන්තර්ජාතික අරමුදල (International Finance Facility for Immunization -IFFIm) නමැති මූල්‍ය ආයතනය මගින් අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපල (international capital markets) හරහා ‘එන්නත් සුරැකුම්පත්’ (vaccine bonds) අලෙවි කිරීමෙන් ලබාගන්නා මුදල් GAVI සංවිධානයේ එන්නත් වැඩසටහන සඳහා ආයෝජනය කරන අතර එම වැඩසටහන සඳහා ලෝක බැංකුව, යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා බිල් ගේට්ස් පදනම මගින්ද අනුග්‍රහය දක්වයි. GAVI මගින් එන්නත් මිලට ගෙන දිළිඳු රටල්වලට බෙදා හැරීමේ වැඩ සටහන නිසා එන්නත් සඳහා දිළිඳු රටවල් වැය කරන මිල 90% කින් පමණ පහත වැටී ඇත.
මෙවැනි වැඩසටහන් සඳහා ප්‍රාග්ධන වෙළඳපල මගින් මුදල් සොයා ගැනීමේ ‘එන්නත් සුරැකුම්පත්’ වැනි ප්‍රයත්නවල සාර්ථකත්වය පදනම් කරගනිමින් සංවර්ධනවන රටවල සනීපාරක්ෂක හා ජල වැඩසටහන් සඳහා අරමුදල් ගොඩනැඟීමට ‘සනිපාරක්ෂක සුරැකුම්පත්’ (sanitation bonds) අලෙවි කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආධාර කණ්ඩායම්වල අවධානය යොමුවී ඇත.
මූලාශ්‍රය:
http://www.reuters.com/article/healthNews/idUSTRE59T28H20091030
සංවර්ධනයවන රටවල් 84 ක් අතුරින් සාගින්න අඩු 35 වන රට ශ්‍රී ලංකාව - 2009 ගෝලීය සාගිනි දර්ශක වාර්තාව
Sri Lanka placed 35th in the Global Hunger Index (GHI) 2009 ranking
(2009 ඔක්තෝබර් 19)
සාගින්න මැඩලීම පිළිබඳ පුරෝගාමී ජාත්‍යන්තර ආයතන 3 ක් වන Welthungerhilfe (ජර්මනිය) , 3International Food Policy Research institute –IFPRI සහ Concern worldwide එක්ව වාර්ෂිකව ප්‍රකාශ කරන ‘2009 ගෝලීය සාගිනි දර්ශක වාර්තාව’ (Global Hunger Index – GHI 2009) මෙවරද ඔක්තෝම්බර් 16 දිනට යෙදුන ලෝක ආහාර දිනයට සමගාමීව නිකුත් කරන ලදී.

සංවර්ධනයවන රටවල මන්දපෝෂිත (malnourished) නොහොත් අනුමත ඒක පුද්ගල දෛනික කැලරි ප්‍රමාණය (per capita calories intake) නොලැබෙන ජනගහණයේ අනුපාතයත්, අවුරුදු 5 ට අඩු ළමයින් අතර බරින් අඩු ළමා අනුපාතයත් (proportion of under 5 children suffering from weight loss) හා අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාතයත් (under 5 mortality rate) යන සාගිනි තත්වය පැහැදිළිව විදහාපාන සාධක 3 හි දත්ත උපයෝගීකර ගනිමින් සෑම රටකටම සාගිනි දර්ශකයක් නිර්මානය කර මෙම වාර්තාට අඩංගු කර ඇත. දර්ශක අගය වැඩිවත්ම සාගිනි තත්වයද වැඩිවන බව මෙම සාගිනි දර්ශකය මගින් ගම්‍ය කරන අතර දර්ශක අගය 5.0 ට අඩු රටවල්වල සාගිනි තත්වය එතරම් ගැටවවක්සේ නොසළකන මෙම වාර්තාව අගය වැඩිවන ආකාරයට (ආරෝහණ පිළිවෙලට) රටවල් ශ්‍රේණිගත කිරීමේදී එම (දර්ශක අගය 5 ට අඩු) රටවල් සාගිනි දර්ශක ශ්‍රේණියට අඩංගුකර නොමැත.

2009 වර්ෂයේ ගෝලීය සාගිනි දර්ශක වාර්තාවේ (දර්ශක අගය 5 ට වැඩි) රටවල් 84 ක් ශ්‍රේණිගත කර ඇති ඒ අතරින් ශ්‍රී ලංකාවට ලැබි ඇත්තේ 35 වන ස්ථානයයි. එම ශ්‍රේණිගත කිරීම අනුව දර්ශක අගය 5.0 වැඩි රටවල් අතරින් සාගිනි තත්වය අඩුම පළමු ස්ථාන 5 ට පත් රටවල් පිළිවෙලින් වන්නේ සිරියානු අරාබි ජනරජය, ට්‍රිනිඩෑඩ්, පැරගුවේ, සුරීනාම් හා චීනයයි. මෙම රටවල් 5 අතුරින් රටවල් 3 ක්ම දකුනු ඇමෙරිකානු / කැරිබියන් රටවල්වීම විශේෂවන අතර විශාල ජනගහණයක් සහිත සංවර්ධනයවන රටක්වන චීනය සාගින්න අඩු රටක් ලෙස ශ්‍රේණිගතවීම සුවිශේෂීය.
මෙම 2009 ගෝලීය සාගිනි දර්ශක වාර්තාවෙන් ඉස්මතුවන තවත් වැදගත් කරුණක් වන්නේ 1990 සිට 2009 දක්වා කාලයතුල ලෝකයේ එක් එක් රටවල්වල හා කලාපවල සාගිනි දර්ශකය කෙතෙක් දුරට අඩුවී තිබේද යන්නයි. ඒ මඟින් 2015 වනවිට ලෝකයේ සාගිනි ජනගහණය 1990 තිබුනාට වඩා අඩකින් අඩුකිරීමේ සහස්‍ර සංවර්ධන ඉලක්කය ලඟාකරගැනීමට හැකිවේද නැද්ද යන්න පිළිබඳව ඉඟියක් ලබා ගත හැකිවනු ඇත.
1990 - 2009 අතර සාගිනි දර්ශක අගය අඩුවීමේ ප්‍රතිශතයන් දෙස බලනවිට අග්නිදිග ආසියානු රටවල්(40%) හා ලතින් ඇමෙරිකානු /කැරිබියන් රටවල් (41%) සාගින්න අඩුකිරීම අතින් විශාල ප්‍රගතියක් ලබා ඇති බව පෙනෙන අතර 2015 වන විට සාගින්න පිළිබඳ සහස්‍ර සංවර්ධන ඉලක්කය එම කලාපවල රටවල්වලට ලඟාකරගත හැකි බව පෙනී යයි.
1990-2009 අතර කාලය තුල ශ්‍රී ලංකාව අයත්වන දකුනු ආසියානු කලාපයේ සාගිනි දර්ශකය අඩුවී ඇත්තේ 25% කින් පමණය. එම නිසා තව අවුරුදු හයකින් (2015 දී) සාගිනි ජනගහණය 50% කින් අඩුකිරීමේ ඉලක්කය වෙත ලඟාවීමට අප කලාපයට නොහැකිවන බව පෙනේ. එහෙත් ගැටුම් සහිත අර්බුදකාරී වාතාවරනයක් තුල පවා ශ්‍රී ලංකාවේ සාගිනි දර්ශකය 1990 – 2009 අතර 35% කින් පහළ ගොස් තිබීමෙන් ගම්‍ය වන්නේ ගැටුම්වලින් තොර ඉදිරි අවුරුදු 6 දී (2015 වනවිට) සාගින්න අඩුකිරීමේ සහස්‍ර සංවර්ධන ඉලක්කයවෙත යාමට ශ්‍රී ලංකාවට හැකිවන බවයි.
එසේවුවත් 2009 ගෝලීය සාගිනි දර්ශක වාර්තාව පිළියෙල කිරීම සඳහා භාවිතා කර ඇත්තේ 2007 දත්තයන් නිසා 2007 මැදභාගයේදී ඉස්මතුවූ ආහාර අර්බුදයේ හා 2008 දී ඉස්මතුවූ ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම් මෙම වාර්තාවෙහි සාගිනි දර්ශක අගයන්ගෙන් පිලිබිඹු නොවන බවද මතක තබාගත යුතුය. එම නිසා 2015 වනවිට සාගින්න අඩුකිරීමේ ඉලක්කය වෙත යාමට සැලසුම් කිරීමේදී එම බලපෑම්ද සැළකිල්ලට ගතයුතුය.
මූලාශ්‍රය:
http://www.ifpri.cgiar.org/publication/2009-global-hunger-index
ඔක්තෝම්බර් 16 දින සමරන ලොක ආහාර දිනය හා සාගින්න මැඩපවත්වාගැනීමේ අභියෝගයන්
The World Food day on October 16th and the challenges in alleviating hunger
(2009 ඔක්තෝබර් 16)
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization – FAO) දත්තවලට අනුව ලොව පුරා සෑම දිනයකම සාගින්නෙන් දිනය ගෙවන පුද්ගලයින් සංඛ්‍යාව බිලියනක් නොහොත් ලෝකයේ මුළු ජනගහණයෙන් හයෙන් එකක් පමණවේ. පසුගිය වර්ෂ 2 – 3 ත් අතර කාලය තුළ ලොව පුරා ඉස්මතුවූ ආහාර හා මූල්‍ය අර්බුදයන් මෙම සාගිනි පුද්ගල සංඛ්‍යාව වැඩිකිරීමට හේතුවුවද වෙනත් විවිධ සමාජ, දේශපාලනික හා ආර්ථික සාධක සාගිනි තත්වය පවත්වාගෙන යාමට බලපාන බව පැහිදිලිය. මානව සංවර්ධනය සඳහා වෙනත් කිසිම සාධකයකට වඩා සාගින්න බලපාන බැවින් වර්ෂ 2015 වනවිට සාගින්නෙන් පෙලෙන සමස්ථ ලෝක ජනගහණය 1990 දී තිබුණාට වඩා අඩකින් අඩුකිරීමේ ඉලක්කය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් දියත් කරන ලද සහස්‍ර සංවර්ධන ඉලක්කවලටද (Millennium Development Goals) ඇතුලත් කරන ලදී. එහෙත් FAO සංවිධානයේ දත්ත හා තොරතුරුවලට අනුව 2015 දී සාගිනි ජනගහණය අඩක් කිරීමේ ඉලක්කය ලඟාකරගැනීමට ලෝකයේ බෙහෝ සංවර්ධනයවන රටවලට නොහැකිවනු ඇත.
මෙම තත්වය තුළ එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර ඇති ලෝක ආහාර දිනයවන (World Food Day) ඔක්තෝම්බර් 16 දිනයෙහි සිදුවවිය යුත්තේ මන්දපෝෂණය හා සාගින්න පිළිබඳ දත්ත හා තොරතුරු මතකයට අවදිකරමින් මානවයා මුහුන දෙනම කටුකතම අත්දැකීමවන සාගින්න පිටුදැකීම සඳහා ලොව සියළු රාජ්‍යයන්ගේ හා සංවර්ධන ආයතනයන්හි සහය හා කැපවීම ලබාගැනීමයි. ‘අර්බුදකාරී අවස්ථාවන්වල ආහාර සුරක්ෂිතභාවය ලඟාකරගැනීම’ (Achieving food security in times of crisis) මෙවර ලෝක ආහාර දිනයෙහි තේමාව බවට පත්ව ඇති අතර තවමත් ලෝකයේ බොහෝ රටවල් මුහුන දෙන මූල්‍ය අර්බුදයත්, එම අර්බුදය තුළ කෘෂිකාර්මික ආයෝජන හා සංවර්ධනය අඩාලවීමත් හා කෘෂිකාර්මික ඵලදායිතාවයට ඉතාමත් අශුභදායී ලෙස බලපාන දේශගුණික විපර්යාසත් හමුවේ ආහාර නිෂ්පාදනය වැඩිකිරීමේ අභියෝගය මෙම තේමාවතුළින් ඉස්මතු කෙරේ.
බිලියන 6 ක් පමණවන වර්තමාන ලෝක ජනගහණය පවා ආහාර හිඟයකට හා සාගිනි ප්‍රශ්නයට මුහුනපා සිටී නම් තව වර්ෂ 41 කින් (වර්ෂ 2050 දී) එම ජනගහණය බිලියන 9 ක් වූ විට අවශ්‍ය ආහාර ප්‍රමාණය කෙතරම් අභියෝගකාරී එකක්දැයි මේවනවිට බෝහෝ රාජ්‍යයන් හා සංවර්ධන ආයතන අවබෝධ කරගෙන ඇත. 2050 වනවිට ගෝලීය ජනගහණයට අවශ්‍ය ආහාර ප්‍රමාණය වර්තමාන ආහාර නිෂ්පාදන ප්‍රමානයට වඩා 70% කින් වැඩිවිය යුතුයැයි FAO සංවිධානය ගණන් බලා ඇත. එය දැවැන්ත ආහාර නිෂ්පාදන ඉලක්කයක්වන නිසාත් එම ඉලක්කය ලඟාකරගැනීමට බොහෝරටවලට නොහැකිවනු ඇතැයි යන අනුමානය නිසාත් වර්තමාන ආහාර හිඟය හා සාගිනි තත්වය ඇතිකරලීමට බලපාන සාධක මොනවාදැයි විමසා බැලිය යුතුය.
සාගින්න හා දිළිඳුකම අතර ඇත්තේ වෙන්කල නොහැකි සම්බන්ධයකි. එම නිසා දිළිඳුකම වැඩිවීමත් සමග සාගින්න වැඩිවීමද වැලැක්විය නොහැකිය. 1990 න් පසු ගෝලීය වශයෙන් දිළිඳුකම අඩුවිමේ යම් ප්‍රවනතායක් තිබුණද 2008 දි ඉස්මතුවූ මූල්‍ය අර්බුදයත් සමග දිළිඳුකම දුරැලීම සම්බන්ධයෙන් බොහෝ රටවල් ලබාගත් ප්‍රගතිය ආපසු හැරී ඇති බවක් පෙනෙන්ට තිබේ. මූලය අර්බුදය නිසා විශාල වශයෙන් රැකියා සහ වෙනත් ආදායම් මාර්ග අහිමිවීම දිළිඳුකම උත්සන්නවීමට හේතුවු අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ තොරතුරුවලට අනුව 2008 වර්ෂයේදී පමණක් පුද්ගලයින් මිලියන 46 ක් දිළිඳුභාවයට (දිනක ආදායම ඩොලර් 1.25 ට අඩු පුද්ගලයින් බවට) පත්වී ඇති අතර 2009 දී තවත් පුද්ගලයින් මිලියන 100 ක් පමණ දිළිඳුභාවයට පත්වෙතැයි අනුමාන කෙරේ.
වර්තමානයේ ලෝකය මුහුනදෙන ආහාර හිඟය හා සාගින්න මෙතරම් දැඩිව ඉස්මතුවෙන්නට පටන් ගත්තේ 1980 දශකයෙන් පසුව වන අතර බොහෝ විද්වතුන්ට අනුව 1990 දශකයේ සිට කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුව අඩුවිමත් ඒ සමගම ක්‍රමයෙන් හීනවු කාෂිකාර්මික ආයෝජනයන්ද මේ සඳහා මූලිකව හේතුව ලෙස සැළකිය හැකිය. 1980 වනවිට දිළිඳු හා සංවර්ධනයවන රටවලට ලැබෙන සමස්ථ සංවර්ධන ආධාරවලින් 17% ක් වෙන්වූයේ කෘෂිකාර්මික සංවරධනය සඳහාවුවද 2006 වනවිට මෙම ප්‍රමානය 3.8% දක්වා පහළ බැස තිබුණි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයවන රටවල්ද කර්මාන්ත හා සේවා අංශ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් කෘෂි ආයෝජනයන් කෙරෙහි එතරම් සැළකිල්ලක් නොදැක්විය.
කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ ඇති උනන්දුව හා ආයෝජනය සංවර්ධනයවන රටවල්තුළ හීන කිරීම සඳහා වගකිවයුත්තේද පොහොසත් සංවර්ධිත රටවල් කේන්‍ද්‍රකරගත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්මය. සංවර්ධනයවන රටවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඉවත් කරමින් අපනයන පාදකවූ කර්මාන්ත හා සේවා අංශ වෙත තල්ලු කිරීමට ගත් උත්සාහයෙහි භයානකම ප්‍රතිඵලය වී ඇත්තේ දිළිඳු හා සංවර්ධනයවන රටවල් වර්තමානයේ මුහුනදෙන ආහාර හිඟය හා සාගින්නයි. 2007-08 අවධියේ ඇතිවූ ආහාර හිඟයෙන් පසුව කෘෂිකර්මය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය හා සංවර්ධන සංවිධානවල තිබූ මතවාදය වෙනස්වී කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ලබාදෙන ආධාර වැඩිකල යුතුයැයි යන ස්ථාවරය ගොඩනැඟුනද ඒ සමගම ඉස්මතුවූ මුල්‍ය අර්බුදය නිසා අපේක්ෂිත අන්දමින් ආධාර වැඩිකිරීමට පොහොසත් සංවර්ධිත රටවලට නොහැකිවී ඇත. FAO සංවිධානයට අනුව වර්තමාන ආහාර නිෂ්පාදනය 2050 වනවිට 70% කින් වැඩි කිරීමට නම් සංවර්ධනයවන රටවලට වාර්ෂිකව ඩොලර් බිලියන 44 වත් කෘෂි සංවර්ධන ආධාර ලබාදිය යුතුය.
සංවර්ධනයවන රටවල්තුළ සහානදායි කාෂිකාරමික වැඩසටහන් (subsidized agriculture) විවේචනය කරමින් ඒවා අධෛර්‍යමත් කිරීමේ ප්‍රතිපත්තියක සිටින පොහොසත් හා සංවර්ධිත රටවල්වල තම රටවල්වල ගොවීන්ට අධික ලෙසින් සහනාධාර ලබාදීම තුලින් ජාත්‍යන්තර කෘෂි වෙළඳාමේ ඇතිවන අසමතුලිතතාවය සංවර්ධනයවන රටවල ගොවීන් කෘෂිකර්මයෙන් ඈත් කරවීමට තදින් බලපා ඇත. 2008 වර්ෂය තුල පමණක් සංවර්ධිත පොහොසත් රටවල් තම රටවල්වල ගොවීන් සඳහා ඩොලර් බිලියන 265 කට ආසන්න සහනාධාර ලබාදී ඇති මුත් සංවර්ධනයවන රටවල්වල කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා එම රටවල් ලබාදී ඇති ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් පමණකි.
2007 දී ඇතිවූ ආහාර අර්බුදයත් සමග ඉහළ ගිය ආහාර මිල 2008 අගභාගයේදී සිට පහළයෑමට පටන් ගත් නමුත් බොහෝ දිළිඳු හා සංවර්ධනයවන රටවල ආහාර මිල 2005 තිබූ මිලට වඩා සැළකියයුතු ප්‍රමානයකින් තවමත් පැවතීම සාගින්න පාලනයකරගත නොහැකිවීමට හේතුවූ තවත් කරුණකි.
සීඝ්‍රයෙන් සංවර්ධනයවන ආර්ථිකයන්වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය වැනි රටවල්වල ආහාර සඳහා ඇති විශාල ඉල්ලුම හා ඛණිජ ඉන්ධන හිඟයට පිළියමක් වශයෙන් ඉරිඟු හා ශාක තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය ජෛව ඉන්ධන (bio-fuel)නිෂ්පාදනය සඳහා යොදා ගැනීමත් වර්තමාන ආහාර හිඟයට හේතූන්වි ඇත. මාංශමය ආහාර සඳහා සංවර්ධිත හා සීඝ්‍රයෙන් සංවර්ධනයවන රටවල ඇති ඉල්ලුම නිසා හරකුන් හා කුකුළන් වැනි සතුන්ට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ඉරිඟු වැනි ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් යොදා ගැනීමද ආහාර මිල වැඩිවීමට හේතුවක්ව ඇත.
අනාගතයේදී ගෝලීය ජනගහණයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේදී මුහුන දෙන ප්‍රධානම බාධකයක් බවට පත්ව ඇත්තේ වැඩිවන ගෝලීය උණුසුම හා ඒ හේතුවෙන් ඉස්මතුවන දේශගුණික විපර්යාසයන්ය. දේශගුණික විපර්යාස නිසා බොහෝ රටවල්වල හා විශේෂයෙන්ම දිළිඳු රටවල්වල කාෂිකාර්මික ඵලදායිතාවය සැළකිය යුතු ප්‍රමාණයකින් අඩාලවනු ඇතැයි පර්යේෂකයින්ගේ මතයයි. ආහාර ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයට (International Food Policy Research Institute – IFPRI http://www.ifpri.org/) අනුව දේශගුණික විපර්යාසයන් නිසා 2050 වනවිට දකුනු ආසියාවේ පමණක් තිරිඟු නිෂ්පාදනය 46% කින් පහළ බසින අතර සංවර්ධනයවන රටවල්වල වාරිජලය මගින් කෙරෙන වී වගාවේ අස්වැන්නද 16% කින් අඩුවනු ඇත. ආහාර නිෂ්පාදනයේ සිදුවන මෙවැනි අඩාලවීම් නිසා බොහෝ දිළිඳු හා සංවර්ධනයවන රටවල දෛනික ඒක පුද්ගල ශක්ති ප්‍රමාණය 2050 වනවිට කැලරි 2000 පමණ දක්වා අඩුවී මන්දපෝෂණය හා සාගින්න වැඩිවීමේ අනතුරක් ඇති බව මෙවැනි පර්යේෂන ආයතනවල අදහසවී ඇත. IFPRI ආයතනයට අනුව දේශගුණික විපර්යාසයන්ට අනුගතවෙමින් කෘෂි නිෂ්පාදනය අඩාල නොවී පවත්වාගැනීමට නම් සංවර්ධනයවන රටවලට වාර්ෂිකව ඩොලර් බිලියන 7 ක වැඩිමනත් ආධාර සැපයිය යුතුය.
ඉහත සඳහන්කල විවිධ හේතූන් නිසා ලෝක ප්‍රජාවගේ සහ විශේෂයෙන්ම දිළිඳු ජනගහණයන්ගේ වර්තමාන මෙන්ම අනාගත ආහාර සුරක්ෂිතභාවයද (food security) දැඩි අවදානමකට ලක්වී ඇති බව පෙනේ. මෙම අවදානමින් ගැලවීම කෘෂි නිෂ්පාදනය වැඩිකිරීමෙන් පමණක් කල නොහැකිවනු ඇත. ඒ සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරව ආහාර සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන පාලන ක්‍රමයක් (coherent system of governing the food security) ස්ථාපිත කලයුතුය. එවැනි ක්‍රමයක්තුල කෘෂි නිෂ්දපානය සදහා පමණක් නොව කෘෂි වෙළඳාම සඳහාද සාධාරන හා නිදහස් අවස්ථාවන් සංවර්ධිත මෙන්ම සංවර්ධනයවන රටවල්වල ගොවීන් සඳහා තිබිය යුතුය. මිනිසාගේ පාරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග ජෛව ඉන්ධන හා සත්ව ආහාර නිෂ්පාදන සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද යම් පාලනයක් ඇති ජාත්‍යන්තර එකඟතාවයක් තිබීම ආහාර හිඟයන් හා සාගින්න පාලනය කිරීමට අතිශයින් ඉවහල්වනු ඇත.
මීට අමතරව ආහාර සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන ප්‍රයත්නයන්තුළ කාන්තාවන්ට ප්‍රමුඛස්ථානය ලැබිය යුතුය. එයට හේතුව මිලියන 150 ක් පමණවූ මන්දපෝෂිත අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය දුරැලීමේ හැකියාව මූලිකව ඇත්තේ කාන්තාවන්ටවීමයි.
සංවර්ධනයනවන රටවල්ට වාර්ෂිකව ලැබෙන ආධාර (development aid) ප්‍රමාණය අඩුම වශයෙන් සංවර්ධිත පොහොසත් රටවල දළ ජාතික ආදායමින් 0.7% දක්වා වැඩි කිරීමද, ඒ තුළ කෘෂිකාර්මික කටයුතුවලට වෙන්කෙරෙන ආධාර ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩිකිරීමද ආහාර නිෂ්පාදනය ඉහළ දැමීමට බෙහෙවින් උපකාරීවනු ඇත. සංවර්ධනයවන රටවල්ද විදේශාධාර මතම යැපීමේ ප්‍රතිපත්තියෙන්ඈත්ව තම රාජ්‍ය වියදම්තුළ (public expenditure) කෘෂිකර්මයට වෙන්කෙරෙන අරමුදල් ප්‍රමාණය සැළකියයුතු ප්‍රමාණයකින් වැඩිකිරීමෙන් තම රටවල්වල ආහාර හිගය හා සාගින්න මැඩපවත්වාගැනීමට උත්සාහකල යුතුවේ.
මූලාශ්‍ර:
http://www.fao.org
http://www.worldwatch.org/node/6271
http://www.independent.co.uk/news/world/politics/the-big-question-why-is-so-much-of-the-world-still-hungry-and-what-can-we-do-about-it-1802708.html
අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාතය සීඝ්‍රයෙන් අඩුවීමේ ප්‍රවනතාවයක්
Under 5 mortality rate declining fast - UNICEF
(2009 ඔක්තෝම්බර් 10)
ළමා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වන UNICEF විසින් පසුගිය මස (සැප්තැම්බර් 11 දින) නිකුත් කරන ලද නවතම වාර්තාවක් මගින් අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාතය (Under 5 Child Mortality rate) ගෝලීය වශයෙන් ඉතා සීඝ්‍රයෙන් පහළ බසින බව පෙන්වා දෙයි. 1990 දී අවු. 5 අඩු ළමුන් 1000 කට වාර්ෂිකව මියගිය සංඛ්‍යාව 93 ක් වූ අතර 2006 වන විට එම සංඛ්‍යාව 72 දක්වාද 2008 වනවිට 65 දක්වාද තරම් පහළ ගොස් ඇති බවමෙම වාර්තාව පෙන්වා දෙයි. මෙය සමස්ථ සංඛ්‍යා ලෙස දැක්වුවහොත් 1990 දී අවු. 5 අඩු ළමුන් මිලියන 12.5 ක් මියගිය අතර 2008 දී මිය ගොස් ඇත්තේ මිලියන 8.8 ක් පමණක්ය. වෙනත් අන්දමකින් කිවහොත් දිනකට මියයන සංඛ්‍යාව 1990 ට වඩා 2008 දී 10,000 කින් අඩුව ඇත.
එහෙත් කණගාටුවට කරුණවන්නේ සංවර්ධනයවන රටවල අවු. 5 අඩු ළමා මරණ සංඛ්‍යාව සංවර්ධිත රටවලට වඩා ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. UNICEF සංඛ්‍යා ලේඛණ අනුව 2006 දී සංවර්ධිත රටවල අවු. 5 අඩු ළමා මරණ සංඛ්‍යාව 1000 කට 6 ක් වන අතර සංවර්ධනයවන රටවල එම සංඛ්‍යාව 103 කි. සංවර්ධනයවන රටවල ළමා මරණ අනුපාතය වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ උප සහරානු අප්‍රිකා කලාපය හා දකුනු ආසියානු කලාපයයි.
වර්ෂ 2015 දී සංවර්ධනයවන රටවල් ලඟාකර ගතයුතු සහස්‍ර සංවර්ධන ඉලක්ක අතරින් වැදගත් ඉලක්කයක්වන අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාතය 1990 තිබුනාට වඩා 2015 දී තුණෙන් දෙකකින් අඩුකරගැනීමට සංවර්ධනයවන රටවල් විශේෂයෙන්ම ප්‍රයත්න දැරිය යුතුවේ. නවතම UNICEF වාර්තාවට අනුව උපසහරානු අප්‍රිකා හා දකුනු ආසියානු කලාපයන්ට 2015 වනවිට අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාත ඉලක්ක කරා ලඟාවීමට නොහැකි බව පෙනී යයි. එහෙත් මානව සංවර්ධන දර්ශකවලින් දකුනු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාව එම ඉලක්කය පහසුවෙන්ම ලඟාකරගන්නා බව දැනට ඇති දත්තයන්ගෙන් තහවුරු වේ.
අවුරුදු 5 ට අඩු ළමා මරණ අනුපාතය අඩුවීමේ ප්‍රවනතාවය සතුටුවීමට කරුණක්වුවද තවමත් දිනකට මිය යන ළමයින් සංඛ්‍යාව 25,000 වීම ඉතාමත් බරපතළ හා කණගාටුදායක සිද්ධියකි. එය වඩාත් කණගාටුදායක වන්නේ එම මරණවලින් අඩක් පමණ සිදුවන්නේ පාචනය, මැලේරියාව, සරම්ප හා නියුමෝනියාව වැනි වළක්වාගත හැකි රෝගවලින් වීමයි.
මූලාශ්‍ර:
http://blogs.reuters.com/felix-salmon/2009/09/11/good-news-of-the-day-infant-mortality-edition/
State of the World’s Children 2008, UNICEF
The Millennium Development Goals Report 2009, United Nations
ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස් මිලට ගනියි
India invests in IMF
(2009 ඔක්තෝම්බර් 07)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (International Monetary Fund – IMF) විශාල ණය ප්‍රමාණයක් ගැනීම පිලිබඳව ශ්‍රි ලංකාව තුළ විවිධ ආර්ථික හා දේශපාලන විවාදයන් ගොඩ නැඟෙමින් තිබෙන අවස්ථාවක අපේ අසල්වැසි ඉන්දියාව ඇ.ඩොලර් බිලියන 10 ක ආයෝජන බැඳුම්කර (investments bonds) IMF ආයතනයෙන් මිලට ගෙන එහි ආයෝජන කොටස් හිමි රටක් බවට පත්විය. විදේශ විනිමය සංචිතයට අයත් එතරම් විශාල මුදලක් IMF තුළ ආයෝජනය කළද එමගින් තම රටෙහි මූල්‍ය ස්ථාවරභාවයට කිසිදු හානියක් නොවන බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඉන්දියානු මුදල් ඇමතිවරයා කියා ඇත. ගෝලීය මුල්‍ය අර්බුදය පිටුදැකීම සඳහා සංවර්ධනයවන රටවලට ආධාර කිරීම පිණිස IMF ආයතනයට අවශ්‍ය ඇ.ඩොලර් බිලියන 500 ක පමණ අරමුදලක් ගොඩනැඟීමේ ප්‍රයත්නයට ඇ.ඩො. බිලියන 10 කින් දායකවන බවට පසුගිය (2009) අප්‍රියෙල් මස ලන්ඩන් නුවර පැවැත්වු G-20 සමුළුවේදී ඉන්දියාව දුන් පොරොන්දුවක් අනුව මෙම මුදල් ආයෝජනය සිදුවිය. 1990 දශකය තුල කිහිප විටක් IMF ආයතයෙන් ණය ලබා ගත් ඉන්දියාව මේවනවිට IMF ආයතනයේ මූල්‍ය සම්පත් දායක රටක් බවට පත්වීම දකුණු ආසියානු රටක් ලෙස ලබා ගත් විශාල ප්‍රගතියකි.
ඉන්දියාව මෙන් IMF ආයතනයෙහි මෙසේ කොටස් ආයෝජනයට පොරොන්දුවූ අනිකුත් රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව හා චීනයයි. මෙම රටවල් හතර BRIC (Brazil, Russia, India, China) යන කෙටි නමින් වර්තමාන ලෝකයෙහි ආර්ථික බලවතුන් ලෙස ඉස්මතුවෙන රාජ්‍යයන් (emerging economies) ලෙස හැඳින්වේ. මෙම BRIC රටවල් කර ඇති ප්‍රකාශයකට ඔවුන් එකතුව ඇ.ඩො. බිලියන 80ක් (චීනය බිලියන 50 ක් හා අනික් රටවල් 3 බිලියන 10 බැගින්) IMF ආයතනයෙහි ආයෝජනය කිරීමට සූදානම්ය. එහෙත් එසේ කිරීමට නම් IMF හා ලෝක බැංකුවෙහි එම රටවල්වලට අයිති කොටස් කෝටාව (quota of shares) දෙගුණයකින් වැඩිකල යුතුවේ. මෙයින් ගම්‍ය වන්නේ ඒ සමගම BRIC රටවල්වලට මෙම ජාත්‍යන්තර ආයතනතුළ තුළ ඇති ඡන්ද බලයද (voting power) වැඩිවන බවයි. එහෙත් විචාරකයින් පවසන අන්දමට ලෝකයේ බලවත් රටවල් IMF හා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන තුළ තමන්ගේ ආධිපත්‍ය හීනවීමට කොහෙත්ම කැමති නැත.
මේ අතර චීනයද IMF ආයතනයෙන් ඇ. ඩොලර් බිලියන 50 ක අගය ඇති ආයෝජන කොටස් (investment bonds) මිලදි ගැනීමේ එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර මෙම ගිවිසුමට අනුව මෙහිදී IMF ආයතනය චීනයට කොටස් නිකුතුව (bond issue) කරන්නේ ඇ. ඩොලර්වලින් නොව විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Rights – SDR) නමැති IMF ආයතනය සාමාන්‍යයෙන් ගනුදෙන කරන ‘සදිසි නෝට්ටු’ (quasi notes) මුදල් ඒකකය උපයෝගි කරගනිමිනි. මෙයද විශේෂ අවස්ථාවක් වන්නේ ඇමෙරිකානු රජයේ භාන්ඩාගාර බිල්පත් (ඇ. ඩොලර්වලින්) මිලට ගනිමින් විදේශ මුදල් ආයෝජනය කිරීමට පුරුදුව සිටි චීනයට ප්‍රථම වතාවට ඇ.ඩොලර් වෙනුවට විකල්ප මුදල් වර්ගයක් මගින් ආයෝජනය කිරීමට ලැබුනු නිසාය. බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාවද ඉදිරියේදී IMF ආයතනයතුළ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේ SDR මුදල් ඒකකය උපයෝගී කරගනිමින්ය.
ඇ. ඩොලරය වෙනුවට SDR මුදල් ඒකකය ආදේශ කිරීමේ ප්‍රවනතාවය තුළ ජාත්‍යන්තරව වඩා පිළිගැනෙන හා ශක්තිමත් ඇ. ඩොලරය දුර්වලවෙනු ඇතැයි බොහෝ විචාරකයින්ගේ අදහසයි. මෙම ප්‍රවනතාවය වඩාත් තීව්‍රවනුයේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයද (UNCTAD) ඇ. ඩොලරය වෙනුවට වෙනත් අන්තර් ජාතික මුදල් ඒකකයක් හඳුන්වාදිය යුතුයැයි යන අදහස ප්‍රචලිත කරමින් සිටින නිසාය.
මූලාශ්‍රය:
http://www.business-standard.com/india/news/bric-fms-demand-imf-quota-shift-to-emerging-economies/23/54/369158/
http://www.bloomberg.com/apps/news?pid=20601068&sid=aSp9VoPeHquI
ශ්‍රී ලාංකිකයකු නිර්මාණයකල ප්‍රවේශම් සහිත කුප්පි ලාම්පුව ජාත්‍යන්තර තිළිනයකට තරඟකරන ව්‍යාපෘති 12 අතරට
Safety kerosene bottle lamp designed by a Sri Lankan doctor, among 12 finalists vying for World Challenge 2009 award
(2009 ඔක්තෝම්බර් 07)
බී.බී.සී ලෝක සේවය (BBC World Service) හා නිව්ස්වීක් සඟරාව (Newsweek magazine) එක්ව ජාත්‍යන්තර ෂෙල් සමාගමේද (Shell company) අනුග්‍රහයෙන් ලෝකයේ සියළුම රටවල්තුළ ප්‍රාථමික ප්‍රජා මට්ටමේ ක්‍රියාත්මකවන ව්‍යවසායික මෙන්ම නව්‍යතම අත්හදා බැලීම් හා ප්‍රයත්න (grassroots level enterprise and innovative initiatives) හඳුනාගැනීමේ තරඟකාරී වාර්ෂික වැඩසටහන පස්වන වරට 2009 සඳහා දැනට පැවැත්වෙමින් තිබෙන අතර මෙම වර්ෂය සඳහා ඉදිරිපත්කරන ලද දහස් ගණනක්වූ ඉල්ලුම් පත් අතරින් ව්‍යාපෘති 12 ක් අවසන් වටය සඳහා තෝරාගෙන ඇති අතර ශ්‍රී ලාංකික ශල්‍ය විශේෂඥයකුවූ වෛද්‍ය විජය ගොඩකුඹුර මහතා විසින් වර්ෂ 10 කට අධික කාලයක් තිස්සේ දියත් කරමින් සිටින ‘ප්‍රවේශම් සහිත භූමිතෙල් කුප්පි ලාම්පුවක්’ (safe kerosene bottle lamp) හඳුන්වාදීමේ ප්‍රයත්නයද මෙම අවසන් ව්‍යාපෘති 12 අතරට තේරී ඇත.
මෙම අවසන් ව්‍යාපෘති 12 අතරින් ජයග්‍රාහක ව්‍යාපෘතිය තෝරාගැනීම සඳහා ලොව පුරා විවෘත ඡන්දයක් මගින් සිදුකරන අතර ඒ සදහා ඔබටත් සහාභාගිවිය හැකි අතර http://www.theworldchallenge.co.uk/ යන වෙබ් අඩවිය තුලින් ඔබේ ඡන්දය එම ව්‍යාපෘති 12 න් ඕනෑම එකකට ලබාදිය හැක.
World Challenge 2009 යනුවෙන් හැඳින්වෙන මෙම තරඟකාරී වැඩසටහනෙන් අපේක්ෂා කරන්නේ ග්‍රාමීය මට්මේ ප්‍රජාවන්ට විශිෂ්ඨ සේවයක් ගෙන දිය හැකි නව්‍ය ව්‍යාපෘති හෝ ව්‍යාපාරික ප්‍රයත්නයන් හඳුනාගෙන ඒවාට ලැබියයුතු පිළිගැනීම හා ඇගයීම ලබාදී එවැනි ප්‍රයත්නයන් බිහිවීම තවතවත් දිරිගැන්වීමයි.
වෛද්‍ය ගොඩකුඹුර මහතාට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් දල වශයෙන් තුනෙන් එකකට තවමත් විදුලි බලය නොමැති අතර ඔවුන් බොහෝ දෙනෙක් තම ගෘහස්ථයන් තුළ ඉතාමත් අනතුරුදායක අන්දමේ භූමිතෙල් කුප්පි ලාම්පු එදිනෙදා භාවිතයට ගනු ලබයි. එමගින් විශාල අනතුරු හා මරණ සංඛ්‍යාවක් වාර්ෂිකව සිදුවන අතර ග්‍රාමීය පළාත්වල රෝහල්වලදී ලත් එවැනි අප්‍රසන්න අත්දැකීම්වල බලපෑම මත පෙරලුනු විගස නිවී යන කුප්පපි ලාම්පුවක් නිර්මාණය කළ ඔහු මේවන විට එවැනි ලාම්පු 700,000 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කොට නොමිලයේ බෙදාහැර ඇත.
තෝරාගත් මෙම ව්‍යාපාති 12 සඳහා ඡන්දයදීම 2009 නොවැම්බර් 13 දින දක්වා කළහැකි අතර ජයග්‍රාහක ව්‍යාපෘතිය 2009 දෙසැම්බර් 5 දින ප්‍රකාශ කරනු ඇත.
සංවර්ධනයවන රටවල මත්ස්‍ය අපනයන අසීරුතාවයකට පත්කළ හැකි යුරෝපා හවුලේ නව මත්ස්‍ය ආනයන කොන්දේසිය
The new EU regulation may threaten developing country fish exports to EU
(2009 ඔක්තොම්බර් 03)
යුරෝපා හවුලෙන් ලැබෙන නවතම වාර්තාවකට අනුව 2010 ජනවාරි මස සිට එම හවුලේ රටවල් ආනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන IUU (Illegal, Unreported, Uncontrolled) නමැති පනතට අනුකූල විය යුතුය. යුරෝපා හවුල මගින් ක්‍රියාවට නැඟීමට සුදානම්වන මෙම පනතට අනුව යුරෝපීය හවුලේ රටවලට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් තම රටවල වෙරළාසන්න හෝ වෙනත් භූගෝලිය කලාපවලට අදාල ධීවර අණපනත් උල්ලංඝනය කරන (Illegal) හෝ අල්ලාගනු ලබන මසුන් පිළිබඳ සත්‍ය දත්ත හා තොතුරු වාර්තා නොකරන (Unreported or Under reported) හෝ පාලනයකින් තොරව (Unregulated) ධීවර යාත්‍රා මගින් අල්ලාගනු ලබන මසුන් යුරෝපා හවුලේ සාමාජික රටවලට අපනයනය කිරීම තහනම්වනු ඇත.
යුරෝපා හවුලේ ප්‍රකාශයකට අනුව එක් එක් රටවල, කලාපවල හා ජාත්‍යන්තර ධීවර අනපනත් උල්ලංඝනය කරමින් හා සමාජ-පාරිසරික-ආර්ථික වශයෙන් තිරසාර නොවන ලෙසින් අල්ලා ගනුලබන මසුන් හා මත්ස්‍ය නිෂ්පාදන මුළු ලෝකයේම අලෙවිවන මත්ස්‍ය නිෂ්පාදන අලෙවි අගයෙන් 20% ක් නොහොත් ඇ. ඩොලර් බිලියන 10 – 24 කට පමණ වගකිව යුතු බවයි. එම නිසා නීති විරෝධී දැල්, ධීවර ආම්පන්න හා තාක්ෂණික ක්‍රමවේද භාවිතය හා තහනම් හා සංරක්ෂිත කලාපවල මසුන් ඇල්ලීම වැනි නීති විරෝධී ධීවර කටයුතු අධෛර්යමත් කිරීමේ හා වළක්වාලීමේ අරමුණින් මෙම IUU පනත ක්‍රියාත්මක කෙරෙන බව යුරොපා හවුලේ ප්‍රකාශයේ දැක්වේ. මෙවැනි පනතක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා හවුලට සිදුව ඇත්තේ ලෝකයේ සියළුම ආනයනික මත්ස්‍ය නිෂ්පාදනවලින් 40% ක්ම යුරෝපා හවුලේ රටවල් ආනයනය කරන නිසාය. 2007 පළවූ එක් වාර්තාවකට අනුව යුරෝපා හවුලට වාර්ෂිකව අපනයනය කෙරෙන නීති විරෝධී ගණයට අයත්වන මත්ස්‍ය නිෂ්පාදනවල අගය යූරෝ බිලියන 1.1 ක් පමණවේ.

මෙම නව පනතට අනුව යුරෝපා හවුලේ රටවල්වලට ආනයන කෙරෙන සැම මත්ස්‍ය නිෂ්පාදන තොගයක් සමගම එම මසුන් ඇල්ලිමේ යෙදුන ධීවර යාත්‍රා දේශීය හා ජාත්‍යන්තර නීති හා ධීවර අනපනත් මෙන්ම පිළිපැද ඇති බවට අදාල රටේ රජය විසින් සහතිකයක් දිය යුතු අතර අවශ්‍යවුවහොත් පිරික්සා බැලීම සඳහා මසුන් අල්ලනලද ප්‍රදේශ / කලාප, අල්ලාගන ලද ප්‍රමාණයන් (quantity caught) හා අල්ලාගන ලද මසුන්ගේ ප්‍රමාණයන් (size of fish caught) අඩංගු වාර්තාවක් ද (traceability report) ඉදිරිපත්කල යුතුය. එපමණක්ද නොව අදාල මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරන රටවල් විසින් තම රටවල්වල ධීවර කර්මාන්තය නිසි ලෙස පාලනය කරමින් ධීවර අනපනත් ක්‍රියාවට නැංවීම සඳහා යොදා ඇති ක්‍රමවේදයන් (national arrangements to control and enforce fisheries laws) පිළිබඳවද යුරෝපා හවුලට වරින්වර වාර්තාකල යුතුය.
මෙම පනත ක්‍රියාත්මක කිරීම නිසා මසුන් හා මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කරමින් විදේශ විනිමය උපයාගනු ලබන සංවර්ධනයවන රටවල් විශාල අර්බුදයකට මුහුණ පෑහැකි අතර සමහර රටවල්වලින් යුරෝපා හවුලට යැවෙන මත්ස්‍ය අපනයනයන් මුළුමනින්ම නැවතීමටද ඉඩ ඇති බැව් වාර්තාවේ. මෙම අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් යුරෝපා හවුලේ මත්ස්‍ය නිෂ්පාදන අවශ්‍යතා හිඟය පිරිමැසීමට සමහර රටවල් තම රටවල ධීවර කළමනාකරන ක්‍රමවේදයන් කාර්යක්ෂම කිරීමට උත්සාහ ගන්නා බවටද මෙම වාර්තා සඳහන් කරයි.
රුපියල් මිලියන 20,000 කට ආසන්න විදේශ විනිමය ආදායමක් වාර්ෂිකව ගෙන දෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ශ්‍රී ලංකා අපනයන ආදායමින් 2% ක් පමණ වන නමුත් ජපානය, යුරෝපය හා ඇමෙරිකාව යන ප්‍රධානතම අපනයන වෙළඳපල තුනෙහි වැදගත් අපනයන භාණ්ඩයක් ලෙස එය සැළකිය හැකිය.
යුරෝපා හවුලට යැවෙන අපනයන මගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික ආදායමෙන් මත්ස්‍ය නිෂ්පාදනවලට හිමිවන්නේ 0.7% ක් පමණ සුළු කොටසක්වන නමුදු එම ආදායමෙන් 51% ක් වැනි විශාල කොටසක් ලැබෙන ඇඟළුම් අපනයනය GSP ප්‍රශ්නය නිසා දැනටමත් අර්බුදයක මැදිවී තිබෙන නිසාත් නුදුරු අනාගතයේදී GSP සහනය අහිමිවී යෑමෙන් පසු ඇඟළුම් අපනයනය වඩාත් තරඟකාරිවිය හැකි නිසාත් මත්ස්‍ය නිෂ්පාදන වැනි විකල්ප අපනයන ක්ෂේත්‍රයන් සූදානම්කර තැබීම ඉතාම අවශ්‍ය කරුණක් වනු ඇත.
මූලාශ්‍ර:
http://www.thecommonwealth.org/news/34580/213154/020909fairerfishing.htm
http://ec.europa.eu/fisheries/cfp/external_relations/illegal_fishing_en.htm
http://www.seafish.org/pdf.pl?file=seafish/Documents/SeafishGuidetoIUU_200905.pdf




