සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

 

2008 ගෝලීය සෞභාග්‍ය දර්ශක ශ්‍රේණිගත කිරීමේදී රටවල් 104 ක් අතුරින් ශ්‍රී ලංකාව 60 ස්ථානයට
Sri Lanka in the 60th place of the 2008 Global Prosperity Index ranking

(2008 ඔක්තෝම්බර් 30)

සංවර්ධනය යනු බටහිර රටවල් විසින් අත්පත්කරගෙන ඇති මිල මුදල් හා අධිතාක්ෂණික සුඛෝපභෝගී භෞතික සම්පත් ලඟාකර ගැනීමය යන පදනම මත පිහිටා රටක දියුණුව මැණීම සඳහා අප බොහෝවිට භාවිතා කිරිමට පුරුදුව සිටියේ දළ ජාතික ආදායම (GDP), ඒක පුද්ගල ආදායම (per capita income) හා ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය (Foreign Direct Investment) වැනි ධනවත්භාවයට ඍජුව ආදේශ කළ හැකි මිණුම් දඬුය. එහෙත් මුදල් හෝ භෞතික සැප සම්පත් (material wealth) පමණක් පුද්ගලයකුගේ හෝ පුද්ගල සමූහයකගේ හෝ රටක දියුණුව පිළිබඹු කෙරෙන ප්‍රධාන  සාධකය නොවන බව මේවනවිට ලොව පුරාම වටහාගෙන ඇති අතර භෞතික සැප සම්පත්වලට අමතරව කෙතරම් ප්‍රමාණයකට පුද්ගලයන් හෝ ජන කොටස් සන්තෝෂයෙන් ජීවත්වන්නේද (life satisfaction) යන  සාධකය සංවර්ධනය මැණීමේ වැදගත් නිර්ණායකයක් බවට පත්වී ඇත. මෙයට හොඳම උදාහරණයවන්නේ භූතාන ජනරජය විසින් තම රටේ දියුණුව මැණීම සඳහා ‘දළ ජාතික සන්තුෂ්ඨි’ (gross national happiness) දර්ශකයක් නිර්මාණය කිරීමයි. මෙම අඩිපාරේම යමින් ශ්‍රී ලංකා මහ බැංකුවද පසුගිය මාසයේදී (2008 සැප්තැම්බර්) රටේ සංවර්ධනය පුළුල් හා සමස්ථ ලෙසින් විදහා දැක්වීම සඳහා ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය (Sri Lanka Prosperity Index) හඳුන්වාදෙන ලදී.
මේවනවිට ගෝලීය වශයෙන්ද ‍රටවල්වල සමස්ථ දියුණුව සංසන්දනය කළ හැකි ‘ගෝලීය සෞභාග්‍ය දර්ශකයක්’ (Global Prosperity Index) Legatum නමැති අන්තර් ජාතික සංවර්ධන පර්යේෂණ ආයතනය මගින් හඳුන්වාදී ඇත. මෙම දර්ශකය මගින් රටක සෞභාග්‍ය මැණීම සඳහා ආර්ථික තරඟකාරිත්වය (economic competitiveness) සහ ජීවත්වීමට ඇති යෝග්‍යබව (comparative livability) යන ප්‍රධාන සාධකයන් දෙක උපයෝගී කරගෙන ඇති අතර එම සාධක දෙක යටතේ විවිධ නිර්ණායක කිහිපයක් භාවිතාකර‍මින් එක් එක් රටවලට ලකුණු ලබා දීමක් (scoring) කරණු ලබයි. එම නිර්ණායකයන් වන්නේ:


ආර්ථික තරඟකාරිත්වය
Economic Competitiveness

 

ජීවත්වීමට ඇති යෝග්‍යබව
Comparative livability

1. ප්‍රාග්ධන ආයෝජනය තුළින්

 

1. තෝරාගැනීමේ (වරණීය) නිදහස මගින්

2. යහපාලනය මගින්

 

2. අවස්ථා සඳහා සමාන ඉඩකඩ ලබාදීම තුළින්

3. වෙළඳපල තරඟකාරිත්වය තුළින්

 

3. යහපාලනය මගින්

4. හොඳ අධ්‍යාපනය මගින්

 

4. රම්‍ය පරිසරයක් තිබීම තුළින්

5. ආර්ථිකයේ විවෘතබව තුළින්

 

5. මධ්‍යස්ථ දේශගුණයක් තිබීම නිසා

6. නව නිපයුම් වාණිජකරණය කිරීම තුළින්

 

6. විවේකීව සිටීමට කාලය තිබීම නිසා

7. ව්‍යවසායකත්වය තුළින්

 

7. හොඳ ආදායමක් තිබීම තුළින්

8. භාණ්ඩ අපනයනය මගින්

 

8. මනා සෞඛ්‍ය සම්පන්න බව මගින්

9. විදේශීය ආධාර මගින්

 

9. විරැකියාව අවමවීම නිසා

 

 

10. පවුල් ජීවිතයක් ගත කිරීම නිසා

 

 

11. සාමුහික ප්‍රජා සම්බන්ධකම් තිබීම නිසා

 

 

12. ආගමික කටයුතු සඳහා නිදහස තිබීම නිසා

 

 

13. ආගමික විශ්වාසයන් මගින්

මෙම ක්‍රමය භාවිතා කර රටවල් 104 ක් සඳහා ගණනය කරනලද සෞභාග්‍ය දර්ශක අගයන් (prosperity index scores) ලැයිස්තුගත කොට 2008 ගෝලීය සෞභාග්‍ය දර්ශක වාර්තාව මේ මාසයේ (2008 ඔක්තෝබර්) නිකුත් කර ඇත. එම රටවල් 104 අතුරින් වඩාත්ම සෞභාග්‍ය රට ලෙස ශ්‍රේණිගත වන්නේ ඕස්ට්‍රෙලියාව වන අතර අඩුම සෞභාග්‍ය මට්ටම ඇති රට බවට පතවී ඇත්තේ මැදපෙරදිග අරාබි රටක්වන යේමනයයි (Yemen). මෙම සෞභාග්‍ය දර්ශක ශ්‍රේණිගත කිරිම්වලට අනුව රටවල් 104 ක් අතුරින් ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 60 වන ස්ථානය අතර සියළුම දකුණු ආසියාණු රටවල්වල සෞභාග්‍ය මට්ටම ශ්‍රී ලංකාවට වඩා පහත් මට්ටමක පවතී. ඉතා සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගනිමින් සිටින චීනය 54 වන ස්ථානයද හා රුසියාව 57 ස්ථානයද පත්වෙමින් ශ්‍රී ලංකාවට වඩා තරමක් ඉහළින් මෙම ශ්‍රේණිගත කිරීමෙහි දක්නට ඇත.

මේ ශ්‍රේණිගත කිරීම්වලදී එක් එක් රටවල් ආර්ථික තරඟකාරිත්වයට හා ජීවත්වීමට ඇති යෝග්‍යබවට ලබාගෙන ඇති ස්ථාන සමස්ථ සෞභාග්‍ය දර්ශක ශ්‍රේණියේ ලබා ගෙන ඇති ස්ථානයට වඩා වෙනස්ය. උදාහරණයක් ලෙස ගතහොත් ආර්ථික තරඟකාරිත්වය අතින් සිංගප්පූරුව පළමු ස්ථානය ලබා තිබුණද ජීවත්විමට යෝග්‍යබව අතින් ලබා ඇත්තේ 17 වන ස්ථානයයි. මේ නිසා සිංගප්පූරුවට සමස්ථ සෞභාග්‍ය දර්ශක ශ්‍රේණියේ ලැබී ඇත්තේ 4 වන ස්ථානයයි.

ශ්‍රි ලංකාව ආර්ථික තරඟකාරිත්වයට ( 59වන ස්ථානය) හා ජීවත්විමට ඇති යෝග්‍ය බවට (61 වන ස්ථානය) ලබාගෙන ඇති ස්ථාන හා සමස්ථ සෞභාග්‍ය දර්ශකයට (60 වන ස්ථානය) ලබා ඇති ස්ථාන අතර එතරම් විශාල පරතරයක් දක්නට නොහැක.

එහෙත් ඉන්දියාව ආර්ථික තරඟකාරිත්වය අතින් 57 වන ස්ථානය ගන්නා නමුත් ජීවත්විමට යෝග්‍ය බව අතින් පසුවන්නේ 80 වන ස්ථානයේය.

2008 ගෝලීය සෞභාග්‍ය දර්ශක ශ්‍රේණියේ තෝරාගත් රටවල් කිහිපයක්

සමස්ථ සෞභාග්‍ය දර්ශක ශ්‍රේණිගත ස්ථානය (Overall prosperity rank)

රට (Country)

ආර්ථික තරඟකාරිත්වය අනුව පත්වන ස්ථානය
(economic competitiveness rank)

ජීවත්වීමට ඇති යෝග්‍යබව අනුව පත්වන ස්ථානය (Comparative livability rank)

1

ඕස්ට්‍රේලියාව

6

10

4

සිංගප්පුරුව

1

17

13

ජපානය

4

19

31

තායිලන්තය

38

40

54

චීනය

51

59

60

ශ්‍රී ලංකාව

59

61

70

ඉන්දියාව

57

80

89

බංගලි දේශය

86

87

98

නේපාලය

97

94

104

යේමනය

103

103

රටවල් 104 ම සඳහාවූ සෞභාග්‍ය දර්ශක ශ්‍රේණිගත කිරීම පහත දැක්වෙන වෙබ් අඩවියෙන් ලබාගත හැක.
http://www.prosperity.com/downloads/2008LegatumPItable.pdf


නව තුන් අවුරුදු සංවර්ධන උපායමාර්ගික වැඩසටහණක් සඳහා ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවයකට එළඹේ
ADB, Sri Lanka Agree on a new 3-year Partnership Strategy

(2008 ඔක්තෝබර් 26 )

යටිතල පහසුකම්වල ඇති අඩුපාඩු මගහරවා ගනිමින් හා රටතුළ ආයෝජනය දිරි ගැන්වීමට අවශ්‍ය පරිසරය ගොඩනඟා ගනිමින් රටේ ආර්ථික වර්ධනය මගින් ලැබෙන වාසි සියළුම ජන කොටස්වලට සාධාරනව බෙදීයාහැකි අන්දමේ තුන් අවුරුදු සංවර්ධන වැඩසටහනකට එළඹීමේ නව උපායමාර්ගික හවුල්කාර සැලැස්මක් (Country Partnership Strategy – CPS) සඳහා ශ්‍රී ලංකා රජය හා ආසියාණු සංවර්ධන බැංකුව එකඟතාවයක් ඇතිකරගෙන තිබේ. 

යටිතල පහසුකම් අවශ්‍ය තරම් නොතිබීම (poor infrastructure), අධික බදු අනුපාත (high taxes), රාජ්‍ය ප්‍රතිපත්තිවල අවිනිශ්චිත බව (uncertainty of policies) , අධික පොළී අනුපාත (high financing costs) සහ පවතින ගැටුම්කාරී වාතාවරණය (civil conflict) නිසා දැනටමත් පෞද්ගලික අංශය ආයෝජන කිරීමෙන් වැළකී සිටින අතර වර්තමානයේ මතුවී තිබෙන ගෝලීය ආහාර හා මූල්‍ය අර්බුදය (global food and financial crisis) ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය හා දිළිඳුකම දුරැලීමේ ප්‍රයත්න කෙරෙහි අශුභ ලෙස බලපානු ඇත.

එම නිසා 2009 – 2011 කාලය තුළ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත මෙම උපායමාර්ගික සැලැස්මට අනුව බලශක්තිය සහ ගමනාගමනයට අදාළ යටිතල පහසුකම් සංවර්ධන කිරීමත්, එම යටිතල පහසුකම් හා අනිකුත් සේවා නොදියුණු හා ගැටුම්වලට මැදිවුන පළාත් හා දිස්ත්‍රික්ක ‍කෙරෙහි වැඩිවැඩියෙන් යොමු කිරීමත්,  රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර හවුල් ආයෝජන ප්‍රවර්ධනය කිරීමත් හා යහපත් ආයෝජන පරිසරයක් (investment climate) ගොඩනැඟීමට ඉවහල්විය හැකි අන්දමින් රාජ්‍ය මූල්‍යපාලනය (fiscal management) දියුණුකිරීමත් සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකා රජයට ලබාදීමට ආසියාණු සංවර්ධන බැංකුව අපේක්ෂා කරයි.

නොදියුණු ග්‍රාමීය පළාත්වල විදුලිබල සැපයුම පුළුල් කිරීමටත්, පළාත්බද දිවෙන ප්‍රධාන මාර්ග ග්‍රාමීය මාර්ග පද්ධතිය සමග යා කිරීමටත්, නොදියුණු පළාත්වල පානීය ජල පහසුකම් වර්ධනය කිරීමටත් සහ සුළුනාගරික ප්‍රදේශවල නාගරික සංවර්ධනය සීඝ්‍ර කිරීමටත් අපේක්ෂාකරන මෙම සංවර්ධන වැඩසටහන යටතේ නොදියුණු ප්‍රදේශවල පළාත් සභා සහ ප්‍රාදේශීය ආයතනවල සේවා ධාරිතාවය (service delivery capacity) වැඩිකිරීමටද අවශ්‍ය සහය ලබා දෙනු ඇත. මෙසේ පළාත් ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීම තුළින් වැඩිපුරම අපේක්ෂා කරන්නේ කෘෂිකාර්මික සේවාවල ඵලදායිතාවය වැඩිකිරීම  වන අතර වර්තමානයේ ඇති ආහාර අර්බුදයට මුහුණදීම සඳහා එය පිටිවහලක්වනු ඇතැයි බලාපොරොත්තුවේ..

ආසියාණු සංවර්ධන බැංකුව මගින් සහයදෙන සංවර්ධන සැළසුම් බොහෝවිට පස් අවුරුදු ඒවාවන නමුදු මේවර ශ්‍රී ලංකාව සමග එළඹගෙන ඇත්තේ තුන් අවුරුදු සැළැස්මකි. ගෝලීය වශයෙන් දැනට පවතින මුල්‍ය අර්බුදයත් ශ්‍රී ලංකාව තුළ උත්සන්නවී ඇති ගැටුම්කාරී වාතාවරනයත් තුළ කෙටි කාළීන සැලැස්මක් වඩා උචිත හා නම්‍යශීලි වනු ඇතැයි යන විශ්වාසය තුළ 2009 – 2011 පමණක් දක්වා මෙම ආධාර වැඩසටහන සැලසුම් කර ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් මගින් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවලට අමතරව මෙම නව උපායමාර්ගික සංවර්ධන සැළැස්ම යටතේ ඇ. ඩොලර් මිලියන 630 ක ණය පහසුකම් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙනු ඇත.

මූලාශ්‍රය: http://www.adb.org/Media/Articles/2008/12677-sri-lankan-partnerships-strategies/


2008 ලෝක සාගිනි දර්ශක වාර්තාව නිකුත්වේ
2008 Global Hunger Index – GHI report is released

(2008 ඔක්තෝම්බර් 18)

ඔක්තෝම්බර් මස යෙදී ඇති ලෝක ආහාර දිනයට හා දිළිඳුකම දුරැලීමේ අන්තර්ජාතික දිනයට සමගාමීව වාර්ෂික නිකුත් කෙරෙන ලෝක සාගිනි දර්ශක වාර්තාව (Global Hunger Index – GHI report) පසුගිය සතියේ නිකුත්විණ. ජර්මාණු රාජ්‍ය නොවන ආයතනයක්වන වෙල්ට්හුන්ගර්හිල්ෆෙ (Welthungerhilfe)  ආයතනයේත් අයර්ලන්ත රාජ්‍ය නොවන ආයතනයක්වන කොන්සර්න් වර්ල්ඩ්වයිඩ් (Concern Worldwide) ආයතනයේත් සහය ඇතිව අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (International Food Policy Research Institute – IFPRI) මගින් වාර්ෂිකව පළ කෙරෙන මෙම සාගිනි දර්ශක වාර්තාව මගින් සාගින්නට පදනම්වන සාධක තුනක දත්තයන් පදනම් කර ගනිමින් ඒ ඒ රටවල් සඳහා දර්ශක අගයන් ගණනය කර ශ්‍රේණිගත කිරීමක් කරනු ලබයි.

සාගින්න මැණීම සඳහා පදනම් කරගන්නා මෙම සාධක තුන වන්නේ:

  • මන්දපෝෂිත / අඩුබර ළමා අනුපාතය(prevalence of child malnutrition)
  • ළමා මරණ අනුපාතය (child mortality rate)
  • මන්දපෝෂිත ජනගහණ අනුපාතය නොහොත් දිනකට අවශ්‍ය සම්මත ශක්තිජනක කැලරි ප්‍රමාණය නොලැබෙන ජනගහණ අනුපාතය (proportion of people who are calorie deficient)

මෙම වර්ෂය (2008) සඳහා නිකුත්කර ඇති සාගිනි දර්ශකයන් ගණනය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ ඉහත සඳහන් සාධක සඳහා 2006 වර්ෂයට අදාළ දත්තයන්ය. මෙම නිසා මෙම සාගින් දර්ශක වාර්තාව මගින් වර්තමාන ආහාර අර්බුදය පිළිබඳ කිසිදු ඉඟියක් නොලැබේ.

2008 සාගිනි දර්ශක අගයන්ට අනුව රටවල් 88 ක් කාණ්ඩ 4 කට බෙදා දක්වන අතර දර්ශක අගය 5 ට වඩා අඩු රටවල් සාගින්න අවම රටවල් ලෙස සලකා මෙම ශ්‍රේණිගත කිරීමෙන් බැහැර කර ඇත. සාගිනි දර්ශකය 30 ට වැඩි රටවල් 7 ක් ඇති අතර ඒවා ඉතාමත් අවදානම් සහිත (extremely alarming) සාගින්න ඇති රටවල් ලෙස සැලකේ. දර්ශක අගය 20 – 29.9 අතර රටවල් අවදානම් ලෙස (alarming) සාගින්න ඇති රටවල් ලෙසද, 10 - 19.9 අගයන් ඇති රටවල්වල සාගිනි තත්වය බරපතළ (serious) ලෙසින් හා 5 - 9.9 අගයන් ඇති රටවල්වල සාගින්න මධ්‍යස්ථ (moderate) තත්වයෙන් ඇති බවද මෙම වාර්තාවේ දක්වා ඇත. ශ්‍රී ලංකාවේ මෙම අගය 15 වන අතර එය බරපතළ සාගිනි ගණයට ඇතුලත්වේ. ශ්‍රේණිගත රටවල් 88 අතුරින් අඩු සාගිනි තත්වය ඇති 39 රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

 

සාගිනි දර්ශක පරාසය
(GHI range)

 

සාගිනි තත්වය
(Status of hunger)

 

අයත්වන රටවල් ගණන (No. of countries)

 

උදාහරණ

 

30 ට වැඩි

ඉතාමත් අවදානම් සහිත
(extremely alarming)

 

7

 

සියළුම රටවල් අප්‍රිකානු කලාපයට අයත්ය

 

20 – 29.9

 

අවදානම් සහිත
(alarming)

 

26

 

බෙහොමයක් අප්‍රිකානු රටවල්වන අතර දකුණු ආසියානු රටවල්වන ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය හා නැගෙනහිර ආසියානු රටවල්වන කාම්බෝජය හා ලාඕස ජනරජයද අයත්වේ

 

10 - 19.9

 

බරපතළ (serious)

 

32

 

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව හා වියට්නාමයද මේ කාණ්ඩයට අයත්ය

 

5 - 9.9

 

මධ්‍යස්ථ
(moderate)

 

23

 

මැලේසියාව හා තායිලන්තයද මේ කාණ්ඩයට අයත්ය

 

5 ට අඩු

 

අවම
(low)

 

සාගිනි දර්ශක ශ්‍රේණිගත කිරීමට හසු නොවේ


මෙම සාගිනි දර්ශක ශ්‍රේණිගත කිරීමට හසුවූ රටවල් 88 න් බොහොමයක් ශුද්ධ ආහාර ආනයන රටවල් (net food importers) නිසා වර්තමාන ආහාර මිල ඉහළ යෑම හමුවේ එම රටවල්වල සාගිනි තත්වය ඉදිරියේදී වඩා බරපතළවිය හැකි බවද මෙම වාර්තාව පෙන්වා දෙයි. මීට අමතරව වර්ධනයවන ලෝක ජනගහණය, ඉහළ යන ඒක පුද්ගල ආදායම, අධික බලශක්ති පිරිවැය, සීඝ්‍ර නාගරීකරණය, ජෛව ඉන්ධන නිෂ්පාදනය, දේශගුණික විපර්යාස හා වර්තමාන ලෝක මූල්‍ය අර්බුදය වැනි සාධක ආහාර නිෂ්පාදනය, පරිභෝජනය හා වෙළඳාම මත අනාගතයේ ඉමහත් බලපෑම් කරනු ඇතැයිද මෙම වාර්තාව මගින් පෙන්නුම් කරදෙයි.

මෙම බලපෑම්වලට සාර්ථකව මුහුණදී ආහාර අර්බුදයෙන් ගැලවීමට නම් කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙතරම් කලක් අනුගමනයකළ වැරදි නිවැරදි කරගනිමින් ආහාර නිෂ්පාදනය සඳහා දැනට වඩා ශුභදායක ආයෝජන පරිසරයක් හා සාධාරණ වෙළඳ ක්‍රමයක් නිර්මාණය කිරීමට අදාල රටවල් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවත් යුහුසුළුවිය යුතු අතර ආහාර හිඟයෙන් හා සාගින්නෙන් පෙලෙන වඩාත් හාණිදායක ප්‍රජාවන් කෙරේ වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයිද 2008 සාගිනි දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

මූලාශ්‍රය: http://www.ifpri.org/pubs/cp/ghi08.pdf

අන්තර්ජාතික වශයෙන් සම්මුතික කාබනික ප්‍රමිතීන්: සංවර්ධනයවන රටවල ගොවීන්ගේ කාබනික කෘෂි ද්‍රව්‍ය අලෙවිය ඉහළ දැමීමේ මාවතක්
Internationally harmonious organic standards: New tools help developing-country farmers market organic produce

(2008 ඔක්තෝම්බර්15)

පාරිසරික සංරක්ෂණය කෙරෙහි ඇති දැඩි අවධානය හා හීනවී යමින් පවතින ෆොසිල ඉන්ධන ප්‍රභවයන් නිසා රසායනික පොහොර භාවිතයෙන් ඈත්ව කාබනික කෘෂි වගාවන් කෙරෙහි යොමුවීමට සංවර්ධනයවෙමින් පවතින රටවල්වල ගොවීන් පෙළඹෙමින් සිටී. ඊට සමගාමීව සංවර්ධිත රටවල් තුළද කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ආකර්ෂණීය මිලක් සහිත විශේෂිත වෙළඳපලක් නිර්මාණයවී ඇති අතර එම වෙළඳපල සඳහා කාබනික කෘෂි නිෂ්පාදනවල ප්‍රමිතිය සහතික කරන ආයතන (Organic certification bodies) කිහිපයක්ද විවිධ රටවල ක්‍රියාත්මකවේ. එහෙත් සංවර්ධනයවෙමින් පවතින බොහෝ රටවල්වල ගොවීන්ගේ කාබනික කෘෂි නිෂ්පාදන සඳහා තවමත් ඇත්තේ සීමිත දේශීය වෙළඳපලක් පමණි. සංවර්ධනයවන රටවල කාබනික කෘෂි නිෂ්පාදන යුරෝපය, ඇමෙරිකාව හා ජපානය වැනි සංවර්ධිත රටවල විශේෂිත කාබනික වෙළඳපල කරා ඇදී යෑමට ඇති ප්‍රධානම බාධාව වන්නේ සංවර්ධිත රටවල් කාබනික කෘෂි නිෂ්පාදන සඳහා පනවා ඇති විවිධ ප්‍රමීතීන්ට අනුකූලවීමට නොහැකිවීමයි.

එම තත්වය වඩාත් සංකීර්ණ වන්නේ විවිධ රටවල කාබනික කෘෂි නිෂ්පාදන සඳහා විවිධ ප්‍රමිතීන් අනුගමනය කිරීමත්, සංවර්ධනවන රටවල්වල කාබනික ගොවිතැන පදනම්වී ඇත්තේ එම රටවලට ආවේණික සමාජ, ආර්ථික, කෘෂිකාර්මික හා පාරිසරික පසුබිම මත නිසාත්ය. දැනටමත් ලොව පුරා කාබනික කෘෂි නිෂ්පාදනවල ප්‍රමිතීන් සහතික කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 400 ක් පමණ ඇති අතර එම ආයතන විවිධ ප්‍රමිතිකරණ මිණුම් දඬු අනුගමනය කරණ අතර ඒවා අතර සම්මුතියක් නොමැතිවීම දැනටමත් කාබනික කෘෂි නිෂ්පාදන අලෙවිකරණ රටවල් 100 ක පමණ ගොවීන්ට ගැටළුවක්වී තිබේ. කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ඇති අන්තර්ජාතික ඉල්ලුම 15 – 20% පමණ ප්‍රමාණයකින් වාර්ෂිකව ඉහළ යමින් තිබෙන මොහොතක ප්‍රමිතිකරණය පිලිබඳ ඇතිවී තිබෙන මෙම බාධකය සංවර්ධනයවන රටවල ගොවීන්ට අහිතකර ලෙස බලපා ඇත.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් කාබනික කෘෂි නිෂ්පාදන අන්තර් ජාතිකව අලෙවි කිරීම පහසු කිරීමේ ක්‍රමවේදාත්මක මෙවලම් (methodological tools) දෙකක් මෙම මස මුල් සතියේදී හඳුන්වාදීමට ‘කාබනික කෘෂි නිෂ්පාදන සමතාවයකට එකමුතු කිරීමේ අන්තර් ජාතික කාර්ය සාධක කමිටුවට’ (International Task Force on harmonization and equivalency in Organic Agriculture – ITF)  හැකිවිය. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), සංවර්ධනය හා වෙළඳාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) සහ කාබනික ගොවි සංවිධානවල අන්තර්ජාතික එකමුතුව(International Federation of Organic Agriculture Movements – IFOAM) මගින් පිටුවාගත් මෙම කාර්ය සාධක කමිටුවේ ප්‍රධාන අරමුණ වුයේ කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ලොව පුරා භාවිතාවන විවිධ ප්‍රතිමීන් එකම සම්මුතික ප්‍රවාහයකට ගෙන ඒමයි.

මේ සඳහා හඳුන්වාදී ඇති මෙවලම් දෙක වන්නේ:

අ) Equi Tool යනුවෙන් හැඳින්වෙන මෙම උපදේශාත්මක මෙවලම මගින් එකිනෙකට වෙනස් කෘෂි හා පාරිසරික තත්වයන් ඇති රටවල් සඳහා දැනට භාවිතාවන විවිධ කාබනික ප්‍රමිතීන් (organic standards) සමතා (equivalent) කිරීමට උපකාරීවේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සැළකිල්ලට ගෙන ඇත්තේ කුමණ රටක කාබනික ගොවිතැන සිදුවුවද එහි මූලික අරමුණ සියළුම රටවලට පොදුය යන්නය. මෙම මෙවලම පිලිබඳ විස්තරාත්මක තොරතුරු http://www.unctad.org/trade_env/itf-organic/meetings/itf8/ITF_EquiTool_finaldraft_080909db.pdf වෙබ් අඩවියෙන් ලබාගත හැක.

ආ) IROCB (International Requirements for Organic Certification Bodies) නමැති දෙවැනි මෙවලම මගින් කුමන රටකවුවද කාබනික ප්‍රමිතීන් ලියාපදිංචි කරන ඕනෑම ආයතනයක් මගින් සපුරාලිය යුතු අවම කාර්යඵල ප්‍රමිතීන් (performance standards) අවශ්‍යතාවයන් හඳුන්වාදී තිබේ. මෙම මෙවලම පිලිබඳ විස්තරාත්මක තොරතුරු http://www.unctad.org/trade_env/ITF-organic/meetings/itf8/IROCB.pdf වෙබ් අඩවියෙන් ලබාගත හැක.

මූලාශ්‍ර:
http://www.fao.org/Newsroom/en/news/2008/1000933/index.html
www.itf-organic.org.


දේශගුණික විපර්යාස හා ජෛව ඉන්ධන නිෂ්පාදනය දිළිඳු ප්‍රජාවන් කෙරෙහි ඇතිකරන බලපෑම 2008 ලෝක ආහාර දිනයේ තේමාව බවට පත්වේ
World Food Day stresses climate change and bio-fuel effects on poor

(2008  ඔක්තෝම්බර් 14)

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization - FAO) 1945 දී පිහිටුවන ලද්දේ ඔක්තෝම්බර් 16 වන අතර ලෝක ආහාර දිනය (World Food Day) සැමරීම සඳහා එම සංවිධානය තෝරාගෙන ඇත්තතේද ඔක්තෝබර් 16 දිනයි. මෙවර (2008 ඔත්තෝම්බර් 16) ලෝක ආහාර දිනය සැමරීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය තේමා කරගෙන ඇත්තේ දේශගුණික විපර්යාස (climate change) හා ජෛව ඉන්ධන (bio-fuel) නිෂ්පාදනය වන අතර මෙම සාධක දෙක වර්තමාන ලෝක ආහාර අර්බුදයට කෙතරම් බලපැමක් කරන්නේද යන්න මෙයින් වටහා ගැනීමට පුළුවන.

ලොව පුරා සංවර්ධනයවන රටවල සිටින කුඩා පරිමාණ ගොවීන්, ධීවරයින් සහ වනාන්තර වනාන්තර මත යැපෙන පුද්ගලයින් මිලියන සිය ගණනක් දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එම නිසා එවැනි පුද්ගල කොටස් දේශගුණික විපර්යාසවලට අනුවර්තනයවීම පහසුකරවීම සඳහා අවශ්‍ය උපාය මාර්ග (adaptation strategies) කඩිනමින් පිළියෙල කළයුතුව ඇති අතර ඊට උචිත ආකාරයෙන් ඉඩම් පරිහරණ (land use), වනාන්තර කළමණාකරන (forest management), ධීවර (fisheries) සහ ආහාර සුරක්ෂිතතා (food security) ප්‍රතිපත්තිවලද සංශෝධනයන් කිරීම අවශ්‍යවනු ඇත.

වර්තමාන ගෝලීය ආහාර අර්බුදය හමුවේ ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය පවත්වාගෙන යෑමට බලපාන ප්‍රවනතාවයන් ඇගයීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලෝක ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කමිටුව (FAO committee on food security) 2008 ඔක්තෝම්බර් 14 – 17 කාලය තුළ රෝමයේදී රැස්වන අතර රටවල් සියයක පමණ රාජ්‍ය හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද මේ සඳහා සහභාගීවනු ඇත.

විවිධ රටවල් ඔක්තෝම්බර් මාසයේ විවිධ දිනවල ලෝක ආහාර දිනය විවිධ අන්දමින් සමරන අතර නිව්යෝර්ක්වල පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යලයේ එය සිදුවන්නේ ඔක්තොම්බර් 23 දිනය.

මූලාශ්‍රය: http://www.fao.org/Newsroom/en/news/2008/1000934/index.html

 


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්