සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

සාගින්න පිටුදැකීම සඳහා ආධාර අපේක්ෂාවෙන් සංවිධානයකළ ලෝක ආහාර සමුළුව පොහොසත් රටවල්වල මගහැරීම නිසා අසාර්ථකවේ 
Rich nations failed to commit financial support to curb growing world hunger at the World Food Summit

(2009 නොවැම්බර් 20)

පසුගිය 16, 17, හා 18 දිනවල එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (World Food and Agriculture Organization - FAO) මෙහෙයවීමෙන් පැවැත්වූ  ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගෝලීය සමුළුව  (World Summit on Food Security) මූලික අපේක්ෂා ඉටුකිරීමකින් තොරව අවසානවූ බවට වාර්තාවේ. එම සමුළුව අවසානයේදී එයට සහභාගිවන රටවල් මගින් කළයුතු සාමුහික ප්‍රකාශනයේ (joint declaration) කෙටුම්පතක් සමුළුවට පෙරම සූදානම්කර තිබූ අතර එය දුටු බොහෝ සංවර්ධන ක්‍රියාකාරීන්ගේ මතයවූයේ එම ප්‍රකාශනය මගින් එයට අත්සන් තබන රටවල් අනිවාර්ය බැඳීමකට ලක් නොකරන ඉතා දුර්වල එකඟතා ප්‍රකාශනයක් බවය. එම නිසාම සමුළුවට පෙරසිටම මෙම සමුළුව සාර්ථකත්වයෙන් තොරව නිමවනු ඇතැයි යනු බොහෝ දෙනාගේ මතයවිය.

මෙම සමුවවේ මූලික අභිප්‍රායවූයේ දැනටමත් පුද්ගලයින් බිලියනයකට අධික ප්‍රමාණයක් සාගිනි තත්වයට පත්කරමින් දිළිඳු හා සංවර්ධනයවන රටවල්තුල කඩාවැටෙමින් තිබෙන ආහාර සුරක්ෂිතතාවය නැවත නඟා සිටුවිම සඳහා වාර්ෂිකව අවශ්‍ය ඩොලර් බිලියන 44 ක පමණ ආධාර ලබාදීම සඳහා පොහොසත් සංවර්ධිත රටවල් එකඟ කරවා ගැනීමයි. මේ අවශ්‍යතාවයෙන් ඩොලර් බිලියන 20 ක් ලබාදීමට ජූලි මස පැවති G8 කණ්ඩායමේ සමුළුවේදී සංවර්ධිත රටවල් එකඟතාවය පලකරද ඒ සඳහා නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශ නොවීය. මෙම තත්වය තුල මෙවර පැවති ලෝක ආහාර සමුළුවේදී FAO සංවිධානයේ අපේක්ෂාව වූයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට වාර්ෂිකව අවශ්‍යවන ඩොලර් බිලියන 44 ආධාර වශයෙන් ලබාදීම සඳහා සංවර්ධිත පොහොසත් රටවල්වලින් ලබාදිය හැකි නිශ්චිත දායකත්වය (specific commitment) හා එම දායකත්වය ලබාදිය හැකි කාලරාමුව (time frame) ප්‍රකාශයට පත්කර ගැනීමයි.

වාර්ෂිකව ඩොලර් බිලියන 44 ක කෘෂි ආධාර ලබාදීම සංවර්ධිත රටවලට එතරම් අපහසුවක් නොවන බව ඇඟවූ FAO සංවිධානයේ ප්‍රධානියා සමුළුව අමතමින් කියා සිටියේ සංවර්ධිත රටවල ගොවීන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 265 ක පමණ කෘෂි සහනාධාර (farm subsidies) ලබාදෙන බවත් ලෝකය පුරා සිදුවන හමුදා වියදම් (military expenditure) සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 1340 ක් පමණ වැයවන බවත්ය.

එපමණක්ද නොව විවිධ (කෘෂි) සංවර්ධන ව්‍යාපෘති මගින් දිළිඳු හා සංවර්ධනයවන රටවල් කිහිපයක ආහාර සුරක්ෂිතභාවය නැංවීමට හා සාගින්න දුරැලීමට හැකිවූ බවට සාධක තිබෙන බව පැවසූ FAO සංවිධානයේ ප්‍රධානියා තවත් බොහෝ දිළිඳු රටවල් එවැනි ව්‍යාපෘති සඳහා සැලසුම් නිර්මාණය කර ඇති බවත් ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආධාර ලබාදීම යැයි අවධාරනය කළේය. මෙම සමුළුවට පෙරාතුව FAO සංවිධානයෙන් නිකුත්කළ Pathways to success - Success stories in agricultural production and food security නමැති ආමේනියාව, බ්‍රසීලය, නයිජීරියාව, වියට්නාමය, ඇල්ජීරියාව, මලාවි රාජ්‍යය, තුර්කිය, ඉන්දුනිසියාව, මෙක්සිකෝව හා සියරා ලියෝන් රාජ්‍ය වැනි දිළිඳු හා සංවර්ධනයවන රටවල් කිහිපයක කෘෂි සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සාර්ථක අත්දැකීම් අන්තර්ගත ප්‍රකාශනය FAO සංවිධානයේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශයට පාදකවිය.

එහෙත් ඒ සියළු සාධක හා අවධාරනය කිරීම් එතරම් සැළකිල්ලට නොගනිමින් කෘෂි ආධාර වැඩිකිරීම පිළිබඳ නිශ්චිත කැපවීමක් ප්‍රතික්‍ෂේපකළ සංවර්ධිත රටවල් සුපුරුදු ලෙසින් සමුළුවට කියා සිටියේ දිළිඳු හා සංවර්ධනයවන රටවල කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අවශ්‍යවන ආයෝජනයන් වැඩිකිරීමටත් හා ආහාර සුරක්ෂිතතාවයට අභියෝගයක්වී ඇති දේශගුණික විපර්යාසවලට මුහුණදීමට අවශ්‍ය සහය ලබාදීමටත්  සූදානම්ය යන්න පමණි.  

ආධාර වැඩිකිරීම පිළිබඳ නිශ්චිත පොරොන්දු හෝ කාල රාමු ප්‍රකාශ කිරීම කෙසේ වෙතත් දිළිඳු හා සංවර්ධනයවන රටවල්තුල ආහාර මිල ඉහල යෑමට හා ආහාර සුරක්ෂිතභාවයට ඍජුවම තර්ජනයක්වන ජෛව ඉන්ධන නිෂ්පාදනය, ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ආහාර තොග ගබඩාකරගැනීම (food commodity investments) හා සංවර්ධිත රටවලට කෘෂි භාණ්ඩ වෙළඳාම / අපනයනය සඳහා ඇති  දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට ඇති සීමාවන් ආදී කරුණු පිළිබඳව යහපත් ප්‍රතිචාර දැක්වීමට මෙම සමුළුවට නොහැකිවීම ඉතාමත් කණගාටුදායක තත්වයක් ලෙස සැළකිය හැකිය.

මෙම සමුළුව එතරම් සාර්ථක එකක් නොවන බවට තිබූ හොඳම සාධකය වන්නේ එය නියෝජනයකළ රටවල් 192 න් රටවල් 60 ක රාජ්‍ය නායකයන් පමණක් ඒ සඳහා සහභාගීවීමයි. පසුගිය ජූලි මාසයේදී කෘෂි ආධාර සඳහා ඩොලර් බිලියන 20 ක් ලබාදෙන බවට පොරොන්දුවූ පොහොසත්ම රටවල් අන්තර්ගත G8 කණ්ඩායමේ රටවල්වල නායකයන් අතුරින් මෙම සමුළුවට සහභාගිවූයේ ඉතාලි අගමැතිවරයා පමණක්විමද කැපී පෙනෙන සිද්ධියකි. මේ තුලින් ලෝකයේ බරපතලම අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන ආහාර හිඟය හා සාගින්න පිළිබඳව ලෝක නායකයින් තුල ඇත්තේ කෙතරම් සැහැල්ලු ආකල්පයක්දැයි වටහාගත හැකිය.

මෙම පසුබිමතුල 2015 වනවිට ලෝකයේ සාගින්නෙන් පෙළෙන ජනගහණය අඩක් බවට පත් කිරීමේ සහස්‍ර සංවර්ධන ඉලක්කයත් (Millennium Development Goal to halve the number of hungry ) 2025 වන විට සාගින්න ලෝකයේ සියළුම රටවල්වලින් සාගින්න තුරන් කිරීමේ (Completely the eliminate the hunger) ඉලක්කයත් ලඟාකර ගැනීමට නොහැකිවන බව පැහැදිලිය. එය එසේවුවහොත් 21 වන ශතවර්ෂයේ මානවයා මුහුණදෙන ප්‍රධානම අර්බුදය බවට පත්විය හැක්කේ සාගින්න විය හැක.

මූලාශ්‍ර:
http://www.fao.org/news/story/en/item/37421/icode/
http://in.reuters.com/article/worldNews/idINIndia-44028520091117?sp=true
http://www.ipsnews.net/news.asp?idnews=49283
http://www.thestar.com/comment/article/72833


සීඝ්‍රයෙන් වර්ධනවන සාගින්න මැඩලීමේ උපාය මාර්ග හා ඒ සඳහා අරමුදල් සෙවීමේ ලෝක ආහාර සමුළුවක්
UN World Food summit in the midst of growing hungry population

(2009 නොවැම්බර් 13)

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගෝලීය සමුළුවක් (World Summit on Food Security) මෙම මස (2009 නොවැම්බර්) 16 – 18 දින තුල පැවැත්විමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සැලසුම්කර ඇති අතර, සාගින්නෙන් පෙළෙන ලෝක ජනගහණය ප්‍රථම වරට බිලියනයේ සීමාව ඉක්මවූ වාර්තාගත වර්ෂයක්වූ 2009 ඉක්මවිමට පෙර මෙවන් සමුළුවක් පැවැත්වීම FAO සංවිධානයේ මුලික වගකීමක් ලෙසද සැලකිය හැක.

බිලියනයකට අධික පුද්ගල සංඛ්‍යාවක් සාගින්නෙන් පෙළෙන මෙවැනි අවස්ථාවක ලෝකයේ සියළු දෙනාගේ අවධානය මෙම ප්‍රශ්නය කෙරෙහි යොමුවිය යුතු බව මෙම සමුළුවට පෙර පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටින FAO සංවිධානයේ ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් සහයෝගය දැක්විමක් ලෙස ඉදිරි සති අන්තයේ එක් දිනක් නිරාහාරව සිටින ලෙස ලෝකවාසී සියළු දෙනාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 192 ක නියෝජිතයින් සහභාගිවන මෙම ගෝලිය සමුළුවේ මූලික අරමුණ වන්නේ ලොව පුරා සාගින්න හා මන්දපෝෂණය වර්ධනයවීම නැවැත්වීමට අවශ්‍ය උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල කැපවිම තහවුරු කිරීමටත් හා එම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දිළිඳු හා සංවර්ධනයවන රටවලට අවශ්‍ය මූල්‍ය ආධාර සපයා ගැනීමත්ය. FAO සංවිධානයේ ප්‍රධානියාට අනුව සාගින්න දුරු කිරීම සම්බන්ධයෙන් බෙහෝ (සංවර්ධිත) රටවලින් පොරොන්දු දී ඇති නමුත් එම පොරොන්දු හා ක්‍රියාවන් අතර විශාල හිඩැසක් ඇත.

සාගින්නෙන් පෙළෙන පුද්ගලයින් සංඛයාව බිලියනයක් ඉක්මවුවද ලෝකයේ වැඩිම ධාන්‍ය නිෂ්පාදනය වාර්තාවන වර්ෂ දෙක වන්නේ 2008 හා 2009 බව FAO සංවිධානයේ ඇස්තමේන්තුවලින් පෙනී යයි.  එසේවුවද නිෂ්පාදනය කරන ආහාර බෝගවලින් සැළකිය යුතු ප්‍රමාණයක් ජෛව ඉන්ධන නිෂ්පාදනය හා සත්ව ආහාර නිෂ්පාදනය වැනි මිනිසාගේ ඍජු ආහාර පරිභෝජනයට අදාල නොවන දෑ සඳහා සංවර්ධිත රටවල් යොදා ගැනීම ගෝලීය වශයෙන් ආහාර හිඟයක් ඇතිවීමට එක් හේතුවක් ලෙස සැළකේ. සමහර රටවල් මගින් ආහාර ද්‍රව්‍ය මත තීරුබදු පැනවීමෙන් ආහාර වෙළඳාම සීමාවිමත් හා ලාභ ලැබීමේ අරමුණින් ආහාර තොග විශාල වශයෙන් ගබඩාකර ගන්නා ආයෝජකයින්ගේ (commodity investors) ක්‍රියාකලාපයත් ආහාර හිඟයන් හා මිලවැඩිවීම් සඳහා විශාල වශයෙන් බලපා ඇත.

ඉන්ධන/බලශක්ති, පොහොර, කෘමි නාශක හා කෘෂි යන්ත්‍රෝපකරණ වැනි කෘෂි යෙදවුම්වල මිල සීඝ්‍රයෙන් වැඩිවීම දිළිඳු හා සංවර්ධනයවන රටවල කුඩා පරිමාණ ගොවීන්ගේ වගාවන් විශාල වශයෙන් සීමාවිමට ප්‍රධාන හේතුවක්වි ඇති අතර නියඟයන්, ගංවතුර හා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා ඉස්මතුවි ඇති අයහපත් දේශගුණික සාධකද දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල කෘෂි නිෂ්පාදනය පහත වැටීමට බලපා ඇත. FAO සංවිධානයට අනුව ගෝලිය උණසුම වැඩිවීමේ හේතුවෙන් සංවර්ධනයවන රටවල කෘෂි ඵලදායිතාවය 9% - 21% අතර ප්‍රමාණයකින් අඩුවිමට පුළුවන. එසේවුවත් එවැනි තත්වයන් පාලනය කර ගැනීමට කෘෂි ක්ෂේත්‍රය කළයුතු ආයෝජනයන් සඳහා එම රටවලට අරමුදල් නොමැතිකමද සාගින්න පැතිරීම වළක්වාගත නොහැකිවීමට හේතුවි තබේ. පසුගිය දශක දෙකක පමණ කාලයක්තුළ සංවර්ධනයවන හා දිළිඳු රටවල් කෘෂිකර්මයෙන් ඈත්කිරීමට සංවර්ධිත රටවල් ගෙනගිය උපායමාර්ගය හා ඊට සමගාමීව සංවර්ධනයවන හා දිළිඳු රටවල්වලට ලබාදුන් කාෂිකාර්මික ආධාර විශාල වශයෙන් කපාහැරීමද එම රටවල ආහාර සුරක්ෂිතතාවය කඩාවැටීමට ප්‍රධාන වශයෙන් හේතුවි තිබේ.

එම නිසා සංවර්ධනයවන හා දිළිඳු රටවල කෘෂි ක්ෂේත්‍රයන් තුළ ආයෝජනයන් වැඩි කිරීමට නම් එම රටවලට පොහොසත් හා සංවර්ධිත රටවල් ලබාදෙන ආධාර ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිකළ යුතුබව FAO සංවිධානය ඇතුළු බොහෝ අන්තර් ජාතික සංවර්ධන ආයතනවල මතයවී තිබේ. මේ සඳහා වාර්ෂිකව දළ වශයෙන් ඩොලර් බිලියන 44 ක් පමණ අවශ්‍යයැයි FAO සංවිධානය ගණන් බලා තිබුණද ඒ සඳහා දායකත්වයක් ලබාදීමට තවමත් කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ G8 සංවිධානය පමණක්ය. සංවර්ධනයවන රටවලට සංවර්ධිත පොහොසත් රටවල්වල් ලබා දෙන ආධාර ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකළ යුතුයැයි යන බලපෑම එල්ලවීම ආරම්භවූයේ අවුරුදු කිහිපයකට පෙරය. ඊට ප්‍රතිචාර වශයෙන් 2005 G8 සමුළුවේදී  තම රටවල් සංවර්ධනයවන රටවලට වාර්ෂිකව ලබා දෙන ආධාර ප්‍රමාණය  විශාල වශයෙන් වැඩිකිරීමට සංවර්ධිත රටවල් එකඟවිය. එහෙත් ගෝලිය මූල්‍ය අර්බුදය නිසා තම රටවල ආර්ථිකයන් පවා කඩාවැටී ඇති අවස්ථාවක කෘෂිකාර්මික ආයෝජනයන් සඳහා සංවර්ධනයවන හා දිළිඳු රටවලට සංවර්ධිත රටවල් ලබාදෙන ආධාර ප්‍රමාණය සැළකියයුතු ලෙසින් වැඩිකරනු ඇත්දැයි යන්න සැක සහිතය.

මේ සඳහා සංවර්ධිත රටවල්වලට බලපෑම් කිරීමට මෙවැනි අන්තර්ජාතික සමුළු පැවැත්වීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති නමුත් ලෝක ජනගහනයෙන් හයෙන් එකක් සාගින්නෙන් පෙළෙනවිට හා එම සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවෙන බවට සාධක ඉස්මතුවෙද්දී එක්සත් ජාතීන්ගේ FAO සංවිධානය සැලසුම්කර ඇති මෙම ගෝලීය ආහාර සුරක්ෂිතතාවය රැකගැනීම පිළිබඳ සමුළුව සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනයවන රටවලටද තීරණාත්මක එකක්වනු ඇත.

මූලාශ්‍රය:

http://www.fao.org/news/story/en/item/37232/icode/


ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන විදේශ සේවා නියුක්තික ආදායම පහත නොවැටෙන ලකුණු
Sri Lankan migrant labour income is steady despite global crisis

(2009 නොවැම්බර් 8)

වර්තමාන ගෝලිය මූල්‍ය අර්බුදය හමුවේ වුවද ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ගෙන් තම රටට එවන (සම්ප්‍රේෂණය කරන) මුදල් ප්‍රමාණය (remittances) විශාල වශයෙන් අඩුවිමේ අවදානමක් නොමැති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy studies – IPS) මගින් පසුගිය මස නිකුත් කරන ලද වාර්තාවක් මගින් පෙන්වා දෙයි. ලොවපුරා සිටින විදේශ සේවා නියුක්තිකයන් විසින් තම රටවල්වලට සම්ප්‍රේෂණය කරන මුදල් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය හැකිබවට ලෝක බැංකුව විසින්ද අනතුරු අඟවා තිබුණද ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුවද (Migration and Remittance trends 2009) එම අඩුවීම මුලදී තක්සේරුකර තිබූ තරම් නොවන බව පෙනි යයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවකට අනුව නම් 2008 අගෝස්තු සහ 2009 අගෝස්තු අතර වර්ෂය තුළ විදේශ සේවා නියුක්තිකයින් ඇ‍. ඩොලර් මිලියන 2195 ක් එවා ඇති අතර එම ප්‍රමාණය මීට පෙර වර්ෂයේ එවූ ප්‍රමාණයට වඩා 9.9% ක පමණ වැඩිවීමක් දක්වයි.

ලෝක බැංකු වාර්තාවට අනුව මූල්‍ය අර්බුදය නිසා විදේශිකයින්ට සේවා සපයන පොහොසත් රටවල්තුල රැකියා අවස්ථා අඩුවුවත් බොහෝ විදේශ සේවා නියුත්තිකයන් තම රටවලට නොගොස් අඩු වේතන හා අඩු පහසුකම් මධ්‍යයේ වුවද රැකියාවල නිරතවී තම වියදම් කපා හරිමින් තම රටවල්වලට ඉතිරිකිරීම් යැවීමට පෙළඹීම විදේශ සේවා නියුක්තික සම්ප්‍රේෂණ සැළකියයුතු ප්‍රමාණයකින් අඩුනොවිමට හේතුවී ඇත.

ගෝලිය මූල්‍ය අර්බුදය නිසා වඩාත් බලපෑමක් වී ඇත්තේ පොහොසත් හා සංවර්ධිත රටවල ඉදිකිරීම් (construction), කර්මාන්ත (industries), මුල්‍ය සේවා (financial services) හා වෙළඳාම (trading) වැනි ක්ෂේත්‍රවලටය. එහෙත් විදේශ සේවාවල යෙදී සිටිමින් ශ්‍රි ලංකාවට මුදල් එවන මිලියන 1.8 ක් පමණවන ශ්‍රී ලාංකිකයින්ගෙන් 49% ක්ම පමණ ගෘහ සේවිකාවන් බැවින් හා එම ක්ෂේත්‍රයට ගෝලීය මූල්‍ය අර්බදයෙන් එතරම් බලපැමක් නොවීම ශ්‍රී ලංකාවට වාර්ෂිකව සම්ප්‍රේෂණයවන විදේශ සේවා නියුක්තික මුදල් ප්‍රමාණයේ එතරම් අඩුවක් නොවීමට හේතුවී ඇත. එමණක්ද නොව විදේශ සේවාවන්හි නියුතු පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් බැවින් හා ඔවුන් සැමකෙනෙක්ම පාහේ තම ඉතිරිකිරීම් තම පවුල්වල මූලික අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා එවීමට පුරුදුවී සිටින නිසා ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තික සම්‍ප්‍රේෂණ එතරම් අඩුවේයැයි සිතිය නොහැක.

ගෘහ සේවිකාවන් ලෙසින් කාන්තාවන් විශාල ප්‍රමාණයක් විදේශ සේවා සඳහා යොමුවිම නිසා සමාජ ප්‍රශ්න බොහොමයක් උද්ගතවුවද ශ්‍රී ලංකා රජය එම තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්ෂණික පියවරක් ගනු ඇතැයි සිතිය නොහැක්කේ ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන මුදල් ප්‍රමාණයේ අතිමහත් බව නිසාය. 2007 වනවිට මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායමින් (GDP) 8% ක් පමණවූ අතර ශ්‍රී ලංකාවට විදේශ මුදල් ලැබෙන අනිකුත් මාර්ග වන විදේශ ආයෝජන (Foreign Direct Investments – FDI) ප්‍රමාණය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2% ක් හා විදේශාධාර ප්‍රමාණය (Overseas Development Aid - ODA) රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.0% ක් පමණක් වේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම (export income) මෙන් 36.5% ක් තරම් විශාල ප්‍රමාණයක්වීම නිසා විදේශ සේවා නියුක්තිකයින්ගෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ජාතික වශයෙන් කෙතරම් වැදගත්දැයි සිතිය හැක.

මූලාශ්‍රය:

http://www.statistics.gov.lk/NCMS/RepNTab/Tables/SLBFE/Table01.pdf
http://www.ips.lk/news/index.html#bookl
http://www.ips.lk/news/newsarchive/2009/16_10_9_book_launch/tilani&ruwan.pdf
www.worldbank.org/prospects/migrationandremittances
http://blogs.worldbank.org/peoplemove/migration-and-remittance-trends-2009-a-better-than-expected-outcome-so-far-but-significant-risks