ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම සංවර්ධනයවන රටවල්වලටද දැනේ
Developing countries also feel the effects of the global financial crisis
(2008 නොවැම්බර් 22)
ඇමෙරිකාවේ නිවාස හා දේපළ උකස්කිරීමේ මුල්‍ය අංශය කඩා වැටීමත් (sub-prime mortgage crisis) සමග ඇරඹී 2008 සැප්තැම්බර් වනවිට සංවර්ධිත සියළුම රටවල් වෙලාගත් ගෝලීය මූල්‍ය අර්බුදය මේවනවිට දුප්පත් පොහෝසත් භේදයෙන් තොරව ලෝකයේ සියළුම රටවල්වල ආර්ථික වර්ධන වේගයන් අඩාල කිරීමට සමත්ව ඇත. ආර්ථික විශ්ලේෂකයන්ට අනුව 1930 දශකයේදී ඇතිවූ මහ ආර්ථික අවපාතයෙන් (great depression) පසු ලෝකය මුහුණදෙන බරපතලම ගෝලීය මුල්‍ය අර්බුදය මෙය ලෙස සැලකිය හැක. මෙම මුල්‍ය අර්බුදය අඩු ආදායම්ලාභී සහ දිළිඳු රටවල් කෙරෙහි බලනොපානු ඇතැයි මුලදී විශ්වාසකළද මේවනවිට එම රටවල්ද මෙම අර්බුදයෙහි විපාකවලට ගොදුරුවන බව ප්‍රත්‍යක්ෂවෙමින් තිබේ. ඉන්ධන මිල සහ ආහාර මිල ඉහළ යෑමත් නිසා විපතට පත්ව වැඩිකලක් නොගොසින්ම ගෝලීය මුල්‍ය අර්බුදයේ බලපෑම්වලටත් මුහුණදීමට සිදුවීම නිසා සංවර්ධනයවන රටවල් දැඩි ආර්ථික අසීරුතාවයකට පත්ව ඇත.
සංවර්ධිත පොහොසත් රටවල්වල කඩාවැටී ඇති මූල්‍ය අංශය ගොඩ ගැනීම සඳහා විශාල මුදල් සම්භාරයක් එම රටවල්වල බැංකුවලට සහණ පදනමක් මත ලබා දීමට එම රටවල රජයන්ට සිදුවිය. ඇමෙරිකාවේ බැංකු අංශය ගොඩ ගැනීමට පමණක් රජය යෙදවූ මුදල ඩොලර් බිලියන 700 කට අධිකවන අතර බ්‍රිතාන්‍යයේ බැංකු කඩාවැටීමෙන් බේරා ගැනීම සඳහා පවුම් බිලියන 500 ක් පමණ වෙන් කිරිමට එම රජයට සිදුවිය. මෙම තත්වය තුළ සංවර්ධිත රටවලින් අඩු ආදායම් සහිත රටවලට ගලායන සංවර්ධන ආධාර (development aid) හා විදේශ මූල්‍ය ආයෝජනවල (equity investments) පහත වැටීමත්, දැනට කොටස් වෙළඳපලවල ඇති විදේශ ආයෝජන ඉවත් කර ගැනීමත්,සංවර්ධිත (පොහොසත්) රටවලින් ආනයනය කරණ පාරිභෝජන භාණ්ඩ (තේ, නිමි ඇඳුම් වැනි) සඳහා ඇති ඉල්ලුම පහත වැටීමත්, එම රටවල් සංචාරකයන්ගේ පැමිණීම අඩුවිමත් සහ සීඝ්‍රයෙන් ඉහළ යන පොලී අනුපාතත් නිසා 2009 වනවිට සංවර්ධනයවන රටවල ආර්ථිකයන්ගේ වර්ධන වේගයේ අඩුවීමක්විය හැකි බව ලෝක බැංකුව (සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල - IMF) පෙන්වාදෙයි. මේ අනුව 2007 දී 6.8% ක්වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2008 දී 6.1% ක් දක්වාද 2009 දී එම වේගය 5.8% ක් දක්වාද අඩුවනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
ගෝලීයකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසින් 1982 සිට නොකඩවා වර්ධනයවී 2006 වනවිට 9.8% ක වාර්ෂික වර්ධන වේගයක් ප්‍රසාරණයවූ ගෝලීය වෙළඳාමද (global trade) 2009 වර්ෂය වනවිට වර්තමාන මූල්‍ය අර්බුදය නිසා පහත වැටෙනු ඇතැයි ගණන් බලා ඇත. මෙය ඉතාම බරපතළ තත්වයක්වන අතර ගෝලීය වෙළඳාම කඩා වැටුනහොත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයවන රටවල අපනයන භාණ්ඩවල (export commodities) මිලද පහත වැටී අපනයන ආදායම අඩුවනවාට අමතරව අපනයන කර්මාන්තවල නියැලෙන බොහෝ දෙනෙකුට රැකියාවන්ද අහිමිවනු ඇත.
සංවර්ධනයවන රටවල මෙම ආර්ථික පසුබෑම එම රටවල අධ්‍යාපනික, සෞඛ්‍ය හා කෘෂිකාර්මික වැනි ක්ෂේත්‍රවල ආයෝජනයන් අඩුකිරීමට හේතුවන අතර මෙයින් ඍජුවම බලපෑම් ඇතිවිය හැක්කේ දිළිඳු කොටස්වලටය. 2007 – 2008 වකවානුවේදී ඉන්ධන මිළ හා ආහාර මිල වැඩිවීම නිසා පමණක් සංවර්ධනයවන රටවල මිලියන 100 ක පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් අන්ත දුගී ගණයට තල්ලුවූ අතර වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම නිසා තවත් මිලියන 40 ක් පමණ දුගී බවට පත්වීමට ඉඩ තිබේ. මෙම තත්වය තුළ දිළිඳුකම අවම කිරීමේ සහ 2015 දී ඊට අදාළ සහස්‍ර සංවර්ධන ඉලක්ක ලඟාකරගැනීමේදී සංවර්ධනයවන රටවල්වලට මුහුණදීමට ඇති අභියෝගය අතිමහත්ය. එම නිසා වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදයට පිලියම් යෙදීමේදී අත්‍යවශ්‍යයෙන්ම අන්ත දිළිඳු පවුල් කෙරෙහිද වැඩි අවධානයක් යොමුකළ යුතු අතර ඔවුන්ගේ පවුල්වල ආහාර, අධ්‍යාපනික හා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහනාධාර ආරක්ෂණ වැඩපිළිවෙල් (safety net programmes) මගින් ලබාදීමට කටයුතුකළ යුතුය. එසේ නොවුනහොත් ඉන්ධන හා ආහාර අර්බුදය නිසා දැනටමත් පීඩාවට පත්ව සිටින එවැනි පවුල් දුප්පත්කමින් මුදවා ගැනීමට තවත් බොහෝ කලක් ගතවනු ඇත.
සංවර්ධනයවන රටවල්වලට සංවර්ධිත රටවල්වලින් නිල වශයෙන් ලබාදෙන සංවර්ධන ආධාර ප්‍රමාණය (official development assistance – ODA) වාර්ෂිකව ඩොලර් බිලියන 100 ක් පමණවේ. එහෙත් සංවර්ධිත රටවල් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වෙන් කළ ඩොලර් ට්‍රිලියන (trillions of dollars) ප්‍රමාණය හා සසඳන කළ සංවර්ධනයවන රටවල්වලට ලැබෙන ආධාර ප්‍රමාණය ඉතා සුළු බව ලෝක බැංකු සභාපතිවරයාම ප්‍රකාශකර ඇත. එම නිසා ඉදිරි වර්ෂය තුළදී ලෝක බැංකුව මගින් සංවර්ධනයවන රටවලට ලබා දෙන ණය (loans), ආධාර (grants) සහ ආයෝජන (equity investments) ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිකිරීමට අපේක්ෂිතය.
බොහෝ සංවර්ධනයවන රටවල් වරින්වර නොයෙකුත් කලාපීය (regional) සහ ජාතික (national) මුල්‍ය අර්බුදවලට මුහුණදී ලබාගත් පාඩම්වලින් තම රටවල මූල්‍ය කළමනාකරණය (fiscal management) යහපත් මට්ටමකට ගොඩනඟාගෙන තිබුණි. මීට හොඳම උදාහරණයවන්නේ 1997-1998 අවධියේ ඉස්මතුවුනු ආසියාණු මූල්‍ය අර්බුදයයි (Asian financial crisis). එහෙත් මේවර සංවර්ධනයවන රටවල්වලට මුහුණදීමට සිදුව ඇත්තේ සහමුලින්ම ආගන්තුකවූ හා සංවර්ධිත පොහොසත් රටවල්වල දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඉස්මතුවූ ගෝලීය මූල්‍ය අර්බුදයකටයි. එයින් මිදීමට සංවර්ධනයවන රටවලට එතරම් පහසු නොවනු ඇත්තේ එම රටවල් මේවනවිට තම රටවල මූල්‍ය පද්ධති, ආයෝජනයන්, නිෂ්පාදන හා වෙළඳාම පමණක් නොව අධ්‍යාපනය හා පාරිභෝජන රටාවන්ද දැඩි ලෙස නිදහස් ධනවාදී ගෝලීය වෙළඳ ආර්ථිකයට අනුගතවන අන්දමින් සකස්කරගෙන සිටින නිසාය.
වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය සමහරුන් දකිනුයේ ධනවාදයේ මුලික සංකල්පයවන ලිබරල් වෙළඳ ප්‍රතිපත්තිවල දුර්වලකම නිසා සිදුවූ ක්‍රමානුකූල කඩාවැටීමක් ලෙසය. එහි සත්‍ය කුමක්වුවත් ගෝලීයකරණයේ නියමුවන්වූ සංවර්ධිත රටවල්වලට හා ලෝක බැංකුව වැනි අන්තර්ජාතික බහුපාර්ශවික ආයතනවලට තම රටවල ආර්ථිකයන් පමණක් මෙම ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ආරක්ෂාකරගැනීමේ පිළිවෙත් අනුගමනය කරමින් (protectionist measures) පසෙකටවී සිටිය නොහැක.
මූලාශ්‍රය: http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:21972885~pagePK:64257043~piPK:437376~theSitePK:4607,00.htmlස්‍ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතාවය අවම කරගැනීම අතින් ශ්‍රී ලංකාව 12 වන තැනට
Sri Lanka further reduces the gender gap and placed 12th in the Global Gender Gap Index Ranking 2008
(2008 නොවැම්බර් 15)
වර්ලඩ් ඉකොනොමික් ෆෝරම් (World Economic Forum) නමැති සංවිධානය මගින් වාර්ෂිකව සිදුකෙරෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා (gender inequalities) පිළිබඳ සමීක්ෂණයේ 2008 වාර්තාවට (Global Gender Gap Report 2008) අනුව රටවල් 130 ක් අතුරින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයේ සිටී. එය 2007 වාර්ෂික ශ්‍රේණිගතකිරීමේදී ලැබූ ස්ථානයට (15) වඩා ස්ථාන 3 ක් ඉදිරියට ඒමක් වීම සතුටට කරුණකි. මෙම ඇගයීමේදී ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින එකම ආසියාතික රට 6 වන ස්ථානය ලබාගත් පිලිපීනයයි. ප්‍රථම ස්ථාන තුනට පත් රටවල් පිළිවෙලින් නෝර්වේ, ෆින්ලන්තය හා ස්වීඩනයි. එහෙත් ඇමෙරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි අධි සංවර්ධිත රටවල් බොහොමයක් මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටිමින් එම රටවල ස්‍ත්‍රී-පුරුෂ සමාජ භාවය සාපේක්ෂකව වැඩිබව පෙන්නුම් කිරීම විශේෂ සිද්ධියකි.
2006 වර්ෂයේදී වර්ලඩ් ඉකොනොමික් ෆෝරම් නමැති ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම වාර්ෂික ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතර වාර්තාව මගින් මූලික වශයෙන් සිදු කරනු ලබන්නේ ඒ ඒ රටවල්වල විවිධ සම්පත් (resources) හා අවස්ථා (opportunities) ප්‍රයෝජනයට ගැනීමේදී කාන්තාවන්ට හා පුරුෂයින්ට මතුවන අසමානතා ප්‍රමාණාත්මක ගණනය කිරීමට භාජනය කිරීමක් මගින් එක් එක් රටවලට ලකුණුදීමක් සිදුකර එම ලකුණු ප්‍රමාණය අනුව සමස්ථ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතා දර්ශක අගයක් (Gender Gap Index) පිළියෙල කිරීමයි. මේ දර්ශක අගයේ අනුපිළිවෙලට අදාළ රටවල් ශ්‍රේණිගත කෙරේ.
මෙම ස්ත්‍රී-පුරුෂ අසමානතා ගණනය කිරීම සඳහා ප්‍රධාන සාධක හතරක් සැලකිල්ලට ගනි. ඒවා නම්: ආර්ථික කටයුතුවලට සහභාගිවීම සඳහා ඇති අවස්ථාවන්, අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන්, සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති අවස්ථාවන් සහ දේශපාලනයේ නියැලීමට ඇති අවස්ථාවන්ය. මෙම සාධක මත එක් එක් රටවලට ලකුණු ලබා දීම සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ ඒ ඒ රටවල් වාර්ෂිකව නිකුත් කරන පිළිබඳ සංවර්ධන දත්තයන්ය. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), අන්තර් ජාතික කම්කරු ආයතනය (ILO), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනේස්කෝව (UNESCO) වැනි අන්තර්ජාතික සංවර්ධන ආයතනවලින් නිකුත් කරන ලද ලේඛන භාවිතයට ගෙන ඇත.
එහෙත් මෙහිදී අවධාරනය කළයුතුවන්නේ රටක තිබෙන සම්පත් ප්‍රමාණය ලකුණුදීම සඳහා (scoring) සැලකිළ්ලට නොගැනීමයි. ලකුණු ලබා දීමේදී සැලකිළ්ලට ගනු ලබන්නේ තිබෙන කුමණ සම්පත් ප්‍රමාණයක් වුවත් ලඟාකරගැනීමේදී ස්‍ත්‍රීන් සහ පුරුෂයින්ට ඇතිවන අසමානතාවයයි. උදාහරණයක් වශයෙන් දිළිඳු අප්‍රිකානු රටක්වන ලෙසෝතෝ (Lesotho) රාජ්‍යය මෙම 2008 ශ්‍රේණිගත කිරීමට අනුව ඕස්ට්‍රේලියාව හා ඇමෙරිකාව වැනි සංවර්ධිත රවල්වලට වඩා ඉදිරියෙන් සිටීමට හැකිවී ඇත්තේ අඩු මට්ටමකින් වුවද එම රටේ ඇති අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා අවම ස්ත්‍රී-පුරුෂ පරතරයක් සහිතව ලබා දීමට හැකිවු නිසාය. මෙම සාධක දෙකට (අධ්‍යාපනය හා සෞඛ්‍ය) ලැබී ඇති ලකුණු අනුව ලෙසෝතෝව රටවල් කිහිපයක් සමග පළමුවැනි ස්ථානයේ සිටින අතර සමස්ථ ශ්‍රේණි ගත කිරීමේදී 16 වන ස්ථානයට පත්ව ඇත.
2008, 2007 සහ 2006 වර්ෂවල ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතා ශ්‍රේණිගත
කිරීමට අනුව ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාන
ඇගයීම සඳහා යොදා ගත් සාධක / අනුදර්ශක |
අනුදර්ශක අගය අනුව |
||
2008 |
2007 |
2006 |
|
ආර්ථික කටයුතුවලට ඇති අවස්ථා සහ සහභාගිත්වය Economic opportunities and participation |
99 |
96 |
84 |
අධ්‍යාපනය ලැබීම (Educational attainment) |
65 |
54 |
52 |
සෞඛ්‍යය සහ ආයුෂ (Health and Survival) |
1* |
1 |
1 |
දේශපාලනික සවිබලවීම (Political empowerment) |
5 |
7 |
7 |
|
|
|
|
සමස්ථ ස්ත්‍රී-පුරුෂ සමාජභාව අසමානතා දර්ශකය |
12 |
15 |
13 |
* සෞඛ්‍ය හා ආයුෂ අනුදර්ශක අගය අනුව පළමු ස්ථානයේ රටවල් 36 ක් ඇත.
සමස්ථ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා ශ්‍රේණියේ ඉහළට යමින් පසුගිය වර්ෂ තුනේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය වන අතර ඒ සඳහා මූලිකවී ඇත්තේ සෞඛ්‍ය සේවාව හා දේශපාලන සවිබලවීම අතින් වාර්ෂිකව ලබාගන්නා ස්ථානවල ප්‍රගතිය බව ඉහත වගුවෙන් පෙනී යයි. එහෙත් ආර්ථික කටයුතුවලදී හා අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ලබාගෙන ඇති ස්ථාන ක්‍රමක්‍රමයෙන් පහළවැටීමක් පෙන්නුම් කරන අතර ඒ පිලිබඳ ප්‍රතිපත්ති සාධනය කරන්නවුන්ගේ සැලකිළ්ල යොමුවිය යුතුව ඇත.
මූලාශ්‍ර:
http://www.weforum.org/pdf/gendergap/highlights2008.pdf
http://www.weforum.org/pdf/gendergap/rankings2008.pdf
සංවර්ධනයවන රටවල් මුහුණපාන විශාලතම අභියෝගය දිළිඳුකම අවම කිරීමයි: 2008 ලෝක බැංකු මත විමසුම තහවුරු කරයි
Poverty Reduction Remains Biggest Challenge to Developing Countries: World Bank Group 2008 Global Poll
(2008 නොවැම්බර් 11)
මෙම වර්ෂයේ (2008) මාර්තු - ජූනි කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු ආයතන සමුහය (World Bank Group – WBG) මගින් සංවර්ධිත හා සංවර්ධනයවෙමින් පවතින රටවල් 42 ක පමණ කරනු ලැබූ ගෝලීය මත විමසීමකට (global poll) අනුව වර්තමානයේ ලෝකය මුහුණ දෙන විශාලතම සංවර්ධන අභියෝගය වන්නේ දිළිඳුබව අවම කිරීමයි. ලොව පුරා විහිදී ඇති ලෝක බැංකු පාර්ශව අයතනවලට සම්බන්ධ සංවර්ධනය පිළිබඳ ජනමත නායකයින් (opinion leaders) 2500 පමණ දෙනෙකුගෙන් මෙම මත විමසීම කර ඇති අතර මෙවන් මත විමසීම් තුළින් ලෝක බැංකුව මගින් සහයෝගය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති වඩාත් ඵලදායි කරගැනිමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
ගෝලීය මූල්‍ය අර්බුදය, ආහාර අර්බුදය සහ ඉන්ධන අර්බුදය යන ‘අර්බුද ත්‍රිත්වයට’ (triple crisis) මුහුණපා ඇති අවස්ථාවක කරනු ලැබූ මෙම මත විමසීමේදී දිළිඳු හා පහසුවෙන් අවදානමට ලක්විය හැකි (vulnerable) ප්‍රජා කොටස් දිළිඳුකමින් මුදවා ඔවුන්ගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට ලෝකය පුරා ඇති කැපවීම ඉතා පැහැදිළිව පිළිබිඹුවී ඇත. එම මත විමසුමට අනුව සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානය ලැබිය යුත්තේ දිළිඳුකම දුරැලීමටවන අතර දේශීය ආර්ථිකයන් ශක්තිමත් කිරීමටත් (strengthening domestic economies) දෙවන ස්ථානයටත්, යහපාලනය (governance) ස්ථාපිත කිරීම තෙවන ස්ථානයටත් පත්ව තිබිණ.
දිළිඳුකම දුරැලිම සඳහාවු සහස්‍ර සංවර්ධන ඉලක්ක ලඟාකරගැනීමට හැකිවේද යන්න පිලිබඳ සැකයක් ලොව සෑම පැත්තෙන්ම ඉස්මතුවී ඇති බව මෙම මත විමසුමෙන් පැහැදිළිවු අතර ඒ නිසාම දිළිඳුකම දුරැලීම සඳහාවූ ප්‍රයත්නයන්ගේ ත්‍රීව්‍රතාවය උත්සන්න කළ යුතුය යන්න ජනමත නායකයින්ගේ අදහසවිය.
මෙම මත විමසුමෙන් ඉස්මතුවූ තවත් විශේෂ කරුණු කිහිපයක් වන්නේ:
අ) සංවර්ධනය සඳහා ගෝලීයකරණයෙන් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකාණු (කැරිබියන්) හා අග්නිදිග ආසියාණු (පැසිපික්) කලාපිය රටවල් අනිකුත් කලාපීය රටවල්වලට වඩා ශුභවාදී ලෙස බැලීමත්
ආ) ලෝකය පුරාම දිළිඳු හා පොහොසත් කොටස් අතර පරතරය උත්සන්නවී ඇති බවත්
ඇ) ලෝක බැංකු සමූහයේ පාර්ශවකාර සංවර්ධනයවෙමින් පවතින රටවල් සංවර්ධන ආධාර (development aid) ඵලදායී ලෙස භාවිතා කරන්නේද යන සැකයත්ය.
මුලාශ්‍රය:
යෝජිත දකුණු ආසියාණු ආහාර බැංකුවට මුල්ම ධාන්‍ය තොගය ඉන්දියාවෙන් සහ බංග්ලා දේශයෙන්
SAARC Food Bank receives first stock of grain from India and Bangladesh
(2008 නොවැම්බර් 9)
2008 අගෝස්තු මුල් සතියේදී කොළඹදී නිමාවුන 15 වන සාර්ක් සමුළුවේදී ගන්නාලද වැදගත්ම යොජනාවක් වූයේ දකුණු ආසියාණු රටවල් සඳහා ආහාර බැංකුවක් පිහිටුවිමයි. වර්තමානයේ බොහෝ රටවල් මුහුණ දෙන ආහාර අර්බුදයට මුහුණ දීමට ඇති හොඳ විකල්පයක් වන්නේ හදිසි අවස්ථාවන්වලදී ප්‍රයෝජනයට ගතහැකි ආහාර සංචිතයන් (buffer food stocks) ගොඩනඟා ගැනීම බව මෙම සමුළුවේදී අවධාරනය කෙරින.
මෙම දකුණු ආසියාතික ආහාර බැංකුව පිහිටුවීම පිළිබඳ යෝජනාව මේ මස (නොවැම්බර් 5 දින) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පවත්වන ලද සාර්ක් රටවල්වල කෘෂිකර්ම ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදී අනුමැතියට ලක්වුන අතර ලබන වර්ෂයේදී (2009) මෙම ආහාර බැංකුව ක්‍රියාවට නැංවීමටද එහිදී එකඟවිය. ඒ සඳහා මුලික පියවර ලෙස ඉන්දියාවෙන් සහල් ටොන් 153,000 ක් හා බංග්ලා දේශයෙන් සහල් ටොන් 40,000 ක් ලබා දීමටද එකඟත්වය පළවිය.
ශ්‍රී ලංකාවේ පැවැත්වුන 15 වන සාර්ක් සමුළුවේදී තීරණයවු අන්දමට යෝජිත ආහාර බැංකුවේ ආරම්භක ධාරිතාවය ටොන් 250,000 ක් පමණ වන නමුත් ඉදිරියේදී පැනනඟින අවස්ථානුකූලව එහි ධාරිතාවය ඉහළ නැංවෙනු ඇත.
මෙම සාර්ක් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී කතාබහට ලක්වූ තවත් කරුණක්වුයේ දැනටමත් සමහර දකුණු ආසියාණු රටවල් කිහිපයක් ආරම්භ කර ඇති සහ ලොව පුරා මතභේදයට ලක්වී ඇති ජෛව ඉන්ධන නිෂ්පාදනය (bio-fuel production) සඳහා බෝග වගාවන්ට යොමුවියි. මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් සහිත පිළිවෙතක් අනුගමනය කිරීමට කතිකාවු අතර ජෛව ඉන්ධන නිෂ්පාදනය වැදගත් කරුණක්වන නමුත් ඒ නිසා ආහාර නිෂ්පාදනයට අහිතකර බලපැමක් එල්ල නොවීමට වග බලාගත යුතුය යන්නද තීරණයවිය.
මූලාශ්‍ර:
http://www.thedailystar.net/story.php?nid=62105 http://www.icar.org.in/news/SAARC%20Press2.htm
2007 සංවර්ධන පුවත්




