සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

යුරෝපා රටවල් දිළිඳු රටවල්වලට ආධාර ලබාදීම මඟහැරීමේ ලකුණු 
Signs of EU countries failing to provide aid to poor countries

(2009 මැයි 27)

මේ මස (2009 මැයි) 18වැනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදී පැවති යුරෝපා සංගමයේ විදේශ ඇමතිවරුන්ගේ වාර්ෂික සමුළුවේදී වැඩිපුරම කතාබහට ලක්වූ මාතෘකාවක්වූයේ යුරෝපා සංගමයේ රටවලින් දිළිඳු හා සංවර්ධනයවන රටවලට ලැබිය යුතු ආධාර අපේක්ෂිත මට්ටමක නොතිබීමයි. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වූ එම සංගමයේ මානුෂීය ආධාර පිළිබඳ කොමසාරිස්වරයා පවසා සිටියේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් තම රටවල්වල ප්‍රශ්න පිළිබඳව මිස ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින දිළිඳු රටවල් එම තත්වයෙන් මුදවා ගැනීම සඳහා සැළකියයුතු උනන්දුවක් නොදක්වන බවය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු පවසා ඇත්තේ දිළිඳු හා සංවර්ධනයවන රටවල් යනු ගෝලීය මූල්‍ය අර්බුදයට ඇති විසඳුමේම කොටසක් බවය. එයින් ඔහු අදහස් කරන්නේ දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට අවශ්‍ය ආධාර ලබාදී එම රටවල් මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයෙන් ගලවාගත නොහැකිවුවහොත් සංවර්ධනයවන රටවලටද මූල්‍ය අර්බුදයෙන් පහසුවෙන් මිදිය නොහැකි බවය. වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය නිසා සංවර්ධනයවන රටවල  දිළිඳුබවට පත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 50 ද ඉක්මවන බවත් මේ නිසා 2015 වන විට එම රටවල් ලඟාවිය යුතු දිළිඳුකම පිටු දැකීමේ සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals - MDG) කරා ලඟාවිය නොහැකි බවටත් ලොක බැංකුව කර දැනටමත් අනතුරු අඟවා ඇත.‍

වර්තමානයේ යුරෝපා සංගමයට අයත් රටවල්වලින් සංවර්ධනයවන රටවලට වාර්ෂිකව ලබාදෙන ආධාර ප්‍රමාණය සමානවන්නේ එම රටවල (යුරෝපා සංගමයේ) දළ ජාතික ආදායමෙන් 0.40% කටය. එහෙත් එම ප්‍රමාණය නොසෑහේයැයි යන බලපෑම නිසා 2010 වනවිට තම රටවල්වල වාර්ෂික දළජාතික ආදායමෙන් 0.56%ක් සංවර්ධන ආධාර ලෙස ලබාදීමටද 2015 වන විට එම ප්‍රමාණය 0.7% දක්වා ඉහළ දැමීමටද යුරෝපා සංගමයේ සාමාජික රටවල් 2005 දී එකඟවිය. එහෙත් සත්‍ය තත්වය නම් යුරෝපා සංගමයේ රටවල් 27 න් කිහිපයක් හැර අනෙකුත් රටවල්වලින් වාර්ෂිකව ලබා සංවර්ධන ආධාර ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් තිබීමයි.

යුරෝපා රටවල්වලින් දිළිඳු රටවල්වලට ලබාදෙන සංවර්ධන ආධාර ප්‍රමාණය අඩුවීමට මූලික හේතුව වන්නේ මූල්‍ය අර්බුදයෙන් තම රටවල් ආරක්ෂා කරගැනීමට එම රටවල් පෙළඹී ඇති නිසාය. උදාහරණයක් වශයෙන් දිළිඳු රටවලට ලබාදෙන සංවර්ධන ආධාර මෙන් 45 ගුණයක මූල්‍යාධාර පැකේජයක් 2008 දී තම රටේ බැංකුවලට ලබා දීමට ප්‍රංශ රජය මැළිනොවීය.

ඉහත සමුළුව අවසානවිට යුරෝපා සංගමයේ සියළුම රටවල් තම රටවල්වලින් ලබා දිය යුතු විදේශාධාර ප්‍රමාණය 2005 එකඟවූ මට්ටමට ගෙනඒමට පොරොන්දුවිය. මානුෂීය හේතු කෙසේ වෙතත් දිළිඳු හා සංවර්ධනයවන රටවලට ලබා දෙන ආධාර අඩුකිරීමේ ඵලවිපාක තම රටවලටත් දීර්ඝකාලීනව අත්විඳින්නට සිදුවේදැයියන බිය නිසාවත් සංවර්ධිත පොහොසත් රටවල් ඉදිරියේදී තම විදේශාධාර ප්‍රමාණය වැඩිකරන්නේ නම් එය සියළුම රටවල්වල යහපතට හේතුවනු ඇත.

මූලාශ්‍රය:
http://euobserver.com/24/28154


ගෝලීය අර්බුදය නිසා 2009 දී දිළිඳුභාවයෙන් මිදීමට සිටි ආසියාවේ පුද්ගලයින් මිලියන 60 කට දිළිඳුභාවය තුළම රැඳී සිටීමට සිදුවනු ඇත - ආසියාණු සංවර්ධන බැංකුව
About 60 million poor people in Asia who would have escaped poverty during 2009 will remain as poor due to global crisis - ADB

(2009 මැයි 13)

වර්තමාන ගෝලීය මුල්‍ය අර්බුදයෙන් පීඩාවට පත්වී සිටින ආසියාවේ සංවර්ධනයවන රටවල්වලට තිරසාර අන්දමින් උපකාරිවීමේ අපේක්ෂාවෙන් ආසියාණු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) ඇ.ඩොලර් බිලියන 55 ක්වු එහි මූලික ප්‍රාග්ධන (capital base) ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 165ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. ඒ අනුව සංවර්ධනයවන ADB සාමාජික රටවල්වලට ක්ෂණිකව අවශ්‍යවන ණයපහසුකම් සැපයීම සඳහා ඇ. ඩොලර් බිලියන 3 ක විශේෂ ණය අරමුදලක් පිහිටුවන ලද අතර ‘චක්‍රීය අර්බුදයන්ට මුහුණදීමේ පහසුකම’(Counter-cyclical Support Facility -CSF) යනුවෙන් හැඳින්වෙන මෙම ණය අරමුදලෙන් අඩු පොළී අනුපාතයන් මත ඉතා ඉක්මණින් ණය ලබාගැනීමට සාමාජික රටවල්ලට හැකිවණු ඇත.

ප්‍රාග්ධන ප්‍රසාරණයත් සමග ආසියාණු සංවර්ධන බැංකුව දැනට නිකුත්කරණ ඇ.ඩොලර් බිලියන 22 ක පමණ වාර්ෂික ණය ප්‍රමාණය 2009 හා 2010 දී ඇ.ඩො. 32 ක්වා දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරයි. මේ මගින් ව්‍යාපෘති ආයෝජනයන්ට  (project investments) පමණක් නොව අදාළ රටවල්වල (මූල්‍ය) ප්‍රතිපත්ති සැලසුම් කිරීමට හා  වෙනත් ධාරිතා වර්ධන කටයුතුවලටද මූල්‍ය සහාය ලබාදීමට  ආසියාණු සංවර්ධන බැංකුව බලාපොරොත්තුවේ.

ඇමෙරිකාව හා යුරෝපය වැනි සංවර්ධිත ආර්ථිකයන්ගේ බිඳවැටීම නිසා එම රටවල්වලට භාණ්ඩ අපනයනය කිරීමෙන් තම ආර්ථිකයන් ගැටගසාගත් බොහෝ සංවර්ධනයවන ආසියාණු රටවල් වර්තමාන ගෝලීය අර්බුදය හමුවේ දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. එම තත්වය මගහරවා ගැනීමට තම රටවල්තුළ (අභ්‍යන්තර) පාරිභෝජනය ඉහළ දැමීම (increased domestic consumption) කළයුතුවුවත් එය සංවර්ධනයවන රටවලට ඉතා අපහසු කාර්යකි. එය වඩාත් දුෂ්කර වන්නේ ගෝලීය මූල්‍ය අර්බුදය අපේක්ෂා කළාට වඩා ත්‍රීවව හා දීර්ඝ කාලීනව ඇදෙමින් පවතින නිසාය.

මේ තත්වය කෙතරම් ආසියාණු කලාපයට බලපෑ ඇත්ද යත් 2007 දී 9.5% ක්වූ ආසියාණු රටවල්වල සමස්ථ ආර්ථික වර්ධන වේගය 2008 දී 6.3% ක් දක්වා අඩුවූ අතර ADB ඇස්තමේන්තුවට අනුව 2009 දී ආසියාණු කලාපීය සමස්ථ ආර්ථික වර්ධන වේගය 3.4% ක් දක්වා අඩුවනු ඇත.

මෙය ඉතා බරපතල ලෙස තත්වයක් ලෙස සැළකිය යුතුවන්නේ සංවර්ධනය හා දිළිඳුකම අඩුකිරීම අතින් ආසියාණු රටවල් පසුගිය දශක කිහිපයතුළ ලබාගත් ප්‍රගතිය ආපස්සට යෑමක් වර්තමාන ගෝලීය අර්බුදය මගින් සිදුවන නිසාය.  ADB මගින් නිකුත්කර ඇති Asian Development Outlook 2009 නමැති වර්තමානයේ ආසියාවේ සංවර්ධනය විග්‍රහ කෙරෙන වාර්තාවට අනුව මෙම වර්ෂයේදී දිළිඳු භාවයෙන් මිදීමට සිටි  ආසියාවේ පුද්ගලයින් මිලියන 60 ක් පමණ වර්තමාන ගෝලීය අර්බුදය නිසා තවදුරටත් අන්ත දිළිඳුභාවයේම රැ‍‍ඳෙනු ඇති අතර එම සංඛ්‍යාව 2010 වන විට මිලියන 100 දක්වා වැඩිවනු ඇත. මෙවැනි ඇස්තමේන්තු ආසියාව සම්බන්ධයෙන් බරපතළ වන්නේ ලොකයේ දිළිඳු ජනගහණයෙන් 66% ක්ම ඇත්තේ ආසියාවේ වන බැවිනි..

2007 දත්තයන්ට අනුව ලෝකයේ අඩුබර දරුවන්ගෙන් 60% ක්ද, මාතෘ මරණවලින් 50% ක්ද හා සනීපාරක්ෂිත නිවාස නොමැති පවුල්වලින් 75% ක්ද සාගින්නෙන් පෙළෙන ලෝක ජනගහණයෙන් තුණෙන් දෙකක්ද ඇත්තේ ආසියාණු කලාපයේය. එවැනි තත්වයක් මධ්‍යයේ ගෝලීය මූල්‍ය අර්බුදය නිසා දිළිඳු පුද්ගලයින්ට අවශ්‍ය අධ්‍යාපනික, සෞඛ්‍ය හා සහණ සේවා (safety nets) පවත්වාගෙන යෑමට සංවර්ධනයවන ආසියාණු රටවල් අපොහොසත්වුවහොත් එම රටවල්වල මානව සංවර්ධනය තදබල ලෙස පිරිහෙණු ඇත.

ආසියානු සංවර්ධන බැංකුව ආසියාණු කලාපයේ රටවල්වල සමාජ ආර්ථික සංවර්ධනය හා විශේෂයෙන්ම දිළිඳුභාවය අවම කිරීමේ අරමුණින් එහි ප්‍රාග්ධනය කෙතරම් පුළුල් කළද එයින් එතරම් ඵලක් නොවේයැයි ආසියාණු කලාපයේ බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල මතයවී තිබේ. ADB සහාය ඇතිව ක්‍රියාත්මක කරණ විශාල පරිමාණයේ වාරිමාර්ග වේළි, බලශක්ති ජණන ව්‍යාපෘති හා අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති නිසා පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අවතැන්වීමත් පාරිසරික ගැටළු ඉස්මතුවීමත් වැනි කරුණු මෙම විවේචනයන්ට පාදකවී ඇත. තවද එවැනි ව්‍යාපෘති බොහෝවිට සැලසුම්ව ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර අංශයට උචිත පරිදි නිසා දිළිඳුකම අවමකිරීම වැනි අරමුණු සාක්ෂාත් කරගැනීමට ආසියාණු සංවර්ධන බැංකුවට අවංක ඕනෑකමක් ඇත්දැයි යන්නත් යන්න මෙම විවේචනයන්තුළින් ඉස්මතුවේ. එම නිසා එවැනි විවේචනයන් ජයගැනීමටනම් ආසියාණු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව වැනි සංවර්ධන මූල්‍යායතන කළ යුත්තේ ඒවා මගින් මූල්‍යාධාර සපයන ව්‍යාපෘති මගින් කෙතරම් පුද්ගල සංඛ්‍යාවක් දිළිඳුබවින් මුදවාගැනීමට හැකිවූවාද යන්න තහවුරු කිරීම සඳහා අවශ්‍ය මිණුම්දඬු එම ව්‍යාපෘති සැලසුම්වලට අන්තර්ගත කිරීමයි.

මූලාශ්‍ර:
http://www.adb.org/Media/Articles/2009/12870-adb-annual-meetings/
http://www.adb.org/Media/Articles/2009/12877-adb-annual-meetings/
h http://www.irinnews.org/report.aspx?ReportID=84228
ttp://www.adb.org/Media/Articles/2009/12882-adb-annual-meetings/


ගෝලීය මූල්‍ය අර්බුදයෙන් අවදානමට පත්වන විදේශ සේවා නියුක්තිකයන් විකල්ප ආදායම් මාර්ගවලට යොමු කිරීමේ ප්‍රයත්න
Promoting investment opportunities for migrant workers vulnerable due to global crisis

(2009 මැයි 8)
සංවර්ධනවන රටවල්වලින් පොහොසත් හා සංවර්ධිත රටවල්වලට ගොස් සේවය කරන සංක්‍රමණික සේවකයින් (migrant workers) විසින් උපයා එවන විදේශ මුදල් ප්‍රමාණය (foreign remittances) අතිමහත්ය. ලෝකයේ සියළුම සංවර්ධනයවන රටවල්වලට මේ අන්දමින් වාර්ෂිකව ගලා එන මුදල් ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 283 ක් පමණ වන අතර එය එම රටවල්වලට වාර්ෂිකව ලැබෙන විදේශ ආධාර (ඇ.ඩොලර් බිලියන 120 ක් පමණ) වලට වඩා දෙගුණයකටත් වැඩිය. එහෙත් වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ මෙම සංක්‍රමණික සේවා ආදායම 2009 දී 5% - 8% ත් පමණ ප්‍රමාණයකින් පහළ බැසීමට ඉඩ ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා ඇත.

අග්නිදිග, නැගෙනහිර හා මධ්‍යම ආසියාණු රටවල් තම රටවලට සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම දැනටමත් නවත්වා ඇත. 2008 සිටම කාර්මික හා සේවා අංශවලට විදේශ සේවකයින් බඳවා ගැනීම මැලේසියාව නතර කළ අතර 2009 පෙබරවාරි සිට තාවකාලික සංක්‍රමණික සේවකයින්ට වීසා නිකුත් කිරීම දකුණු කොරියාව අත්හිටුවා ඇත. තායිලන්තයද එහි සේවය කරණ 500,000 ක් පමණ විදේශ සේවකයින්ගේ සේවා දීර්ඝ කිරීම නැවත්වීමට තීරණය කර ඇත. මධ්‍යම ආසියාණු රටක්වන කසකස්ථාන් (Kazakhstan) රාජ්‍යයද කුශලතා අඩු නුපුහුණු සේවකයින් (less skilled workers) බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මීට අමතරව ඉතාලිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හා බොහෝ යුරෝපා රටවල්වල කර්මාන්ත හා සේවා අංශ පසුබෑමකට ලක්ව ඇති නිසා එම රටවල්වල පුරවැසියන්ද රැකියා විරහිත තත්වයට පත්වෙමින් සිටී. එම නිසා ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් විදේශ සේවකයින් බඳවා ගැනීම සීමා කිරීමට එම රටවල්ද පියවර ගෙන ඇත.

මෙම තත්වය තුළ විදේශ රැකියාවල නියුතු පුද්ගලයින් සැළකියයුතු ප්‍රමාණයක් දැනටමත් තම රටවල්වලට නැවත පැමිණෙමින් සිටී. දකුණු ආසියාණු රටවල් අතුරින් මේ ගැටළුවට මුහුණ දෙන රටවල් අතරින් ඉන්දියාව, බංග්ලා දේශය හා ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් ගනී. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 2009 දී සමස්ථයක් ලෙස සංවර්ධනයවන රටවලට විදේශ නියුක්තිකයන් එවන මුදල් ප්‍රමාණය 2009 දී 5 % ත් 8% ත් අතර ප්‍රමාණයකින් පහතබැසීමට ඉඩ තිබේ.
ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයන්ගේ මෙරටට සම්ප්‍රේෂණය කරන විදේශ විනිමය ප්‍රමාණය පසුගිය වසර පහ තුළ 16% ක දළ වාර්ෂික වර්ධන වේගයකින් වැඩිවූ අතර 2007 දී එම ප්‍රමාණය ඇ. ඩොලර් මිලියන 2,700 විය. එම ආදායම ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායමෙන් 11% ක්වීම සුවිශේෂී කරුණකි. එපමණක්ද නොව පිටරැටියන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල කෙරෙන වාර්ෂික ඍජු විදේශ ආයෝජන (Foreign Direct Investments – FDI) ප්‍රමාණයට වඩා විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය හය ගුණයකින් පමණ වැඩිය. නොයෙකුත් රටවල් හා අන්තර්ජාතික සංවර්ධන ආයතන මගින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලබා දෙන නිල සංවර්ධන ආධාර (Official Development Aid – ODA) ප්‍රමාණයමෙන් දෙගුණයක් විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබයි. තවද එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් 25% කට පමණ සමානවන අතර එය දෙවැනි වන්නේ රෙදිපිළි අපනයන (garment exports) ආදායමට පමණි. ඉහත දැක්වූ සංඛ්‍යා ලේඛණ බොහොමයක් විධිමත් බැංකු ක්ෂේත්‍ර තොරතුරු මූලාශ්‍ර කොට ගෙණ ගොඩනැගුණු ඒවාවන නමුත් අවිධිමත් ක්‍රම (informal methods) මගින් ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයින් එවන මුදල් ප්‍රමාණය මුළු මුදල් ප්‍රමාණයෙන් 30% ක් පමණවේයැයි අනුමාන කෙරේ.

ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයින් බොහෝ දෙනෙකු අඩු ආදායම්ලාභී හා ග්‍රාමීය පසුබිමකට අයත් බැවින් ඔවුන් තම රටට එවන මෙම විදේශ මුදල් එම පවුල්වල දිළිඳුකම හා සමාජ-ආර්ථික අවදානම් අවම කරගැනීමට බොහෝදුරට දායකවේ. මීටත් වඩා ජාතික වශයෙන් මෙම විදේශ විනිමය ප්‍රමාණය වැදගත්වන්නේ නිරන්තරයෙන් ශ්‍රී ලංකා රජයට මුහුණදීමට සිදුවන ආනයන-අපනයන වෙළඳ ගෙවුම් ශේෂය (import-export trade deficit) පියවීමටය. එම වෙළඳ ශේෂයෙන් 70% ක් පමණ පියවීමට ශ්‍රී ලාංකික විදේශ සේවා නියුක්තිකයින් එවන වි‍දේශ විනිමය ප්‍රමාණවත්ය.

එවන් පසුබිමක වර්තමාන ගෝලිය මූල්‍ය අර්බුදය නිසා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් වාර්ෂිකව ලැබෙන විදේශ විනිමය ආදායම 5% කින් පමණ අඩුවුවහොත් එය ශ්‍රී ලංකාව වැනි රටවල්වල ජාතික ආර්ථිකයනට ඉතා අහිතකර ලෙස බලපානු ඇත.

බොහෝ විදේශ සේවා නියුක්තිකයන්ගේ ඉපයීම්වලින් වැඩි කොටසක් එදිනෙදා ගෘහස්ථ පරිභෝජනය සඳහා වියදම් කරණ අතර ආදායම් උත්පාදන ආයෝජනයන් (productive investments) සඳහා වෙන් කෙරෙන්නේ ඉතා සුළු කොටසකි. මේ නිසා අනපේක්ෂිත රැකියා අහිමිවීම්වලින් පසුව ඔවුන් බොහෝ දෙනෙකුට ආදායම් විරහිත ආර්ථික අවදානම් තත්වයන්ට මුහුණදීමට සිදුවේ. 

ගෝලීය මුලය අර්බුදය නිසා සංවර්ධනයවන රටවල්වල විදේශ සේවා නියුක්තික පුද්ගලයින් සැළකිය යුතු සංඛ්‍යාවකට හා ඔවුන්ගේ පවුල්වලට ඉහතකී අවදානමට මුහුණ දීමට සිදුවේ යැයි අනතුරු අඟවන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization- FAO), අන්තර්ජාතික කම්කරු සංවිධානය (International Labour Organization – ILO), සංක්‍රමණිකයන් සඳහාවූ අන්තර්ජාතික සංවිධානය (International Organization for Migration – IOM) හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහාවූ අන්තර් ජාතික අරමුදල (International Fund for Agricultural Development – IFAD) එවැනි පුද්ගලයින්ට තම ඉපයීම්වලින් කොටසක්වත් තම රටවල් තුළම කෘෂිකාර්මික හා ව්‍යාපාරික වැනි ආදායම් උත්පාදන කටයුතුවල ආයෝජනය කිරීම දිරි ගැන්වීමේ ප්‍රයත්න කිහිපයක් දියත් කර ඇත.

IFAD සංවිධානය මේවනවිටත් යුරෝපා කොමිසම (European Commission), ස්පාඤ්ඤ රජය, එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදල (United Nations Capital Development Fund- UNCDF), ලෝක බැංකුවට අනුබද්ධිත CGAP නමැති කුඩාමූල්‍යකරණ ප්‍රවර්ධන ආයතනය හා අප්‍රිකාණු සංවර්ධන බැංකුව (African Development Bank) හා එක්ව සංක්‍රමණික විදේශ සේවා නියුක්තිකයන්ට නව්‍ය මුදල් සම්ප්‍රේෂණ ක්‍රම හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ (Promoting innovative remittance systems and investment channels for migrants) නව ව්‍යාපෘතියක් හඳුන්වාදෙමින් 2009 සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවා ඇත. මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන, කුඩාමූල්‍යකරණ ආයතන, වාණිජ බැංකු හා විශ්ව විද්‍යාල වැනි ආයතනවලට ඉල්ලුම් කළ හැකි අතර 2009 මැයි 29 දිනට පෙර සංකල්ප පත්‍රිකාවක් යැවිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර www.ifad.org/remittances වෙබ් අඩවියෙන් ලබා ගත හැක. 

http://www.fao.org/news/story/en/item/10804/icode/
http://www.iom.int/jahia/webdav/shared/shared/mainsite/policy_and_research/policy_documents/policy_brief.pdf


ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පිඩාවට පත් දිළිඳු රටවල්වලට ලැබෙන විදේශ ආධාර ප්‍රමාණවත් නොවේ
Development aid to poor countries is not enough, especially in the current global economic crisis

(2009 මැයි 3)

ලෝකයේ නොයෙකුත් රටවල්වලින් දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට වාර්ෂිකව ලබා දෙන විදේශ සංවර්ධන ආධාර (Overseas Development Aid – ODA) ප්‍රමාණය 2008 වනවිට ඇ. ඩොලර් බිලියන 120 ක් දක්වා වැඩිවී ඇති බවත් එය 2007 ලබා දුන් විදේශාධාරවලට වඩා 10% ක වැඩිවීමත් බවත් සංවර්ධනය සඳහාවූ ආර්ථික සහයෝගිතා සංවිධානය (Organization for Economic Cooperation for Development – OECD) නිවේදනය කර ඇත.

සංවර්ධන ආධාර (Development aid) යනුවෙන් මෙසේ හඳුන්වන්නේ දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල දිළිඳුකම දුරැලීම(poverty alleviation), සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා ඉහළ නැංවිම (improving of health and education services) වැනි දීර්ඝ කාලීන සංවර්ධන වැඩ සටහන් සඳහා ලබා දෙන ආධාර පමණක්වන අතර නොයෙකුත් ආපදා අවස්ථාවන්හිදි ලබා දෙන ‘මානුෂීය ආධාර’ (humanitarian aid) මේ ගණයට අයත් නොවේ. මෙම සංවර්ධන ආධාරවලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් පෝලන්තය හා චෙක් ජන රජය වැනි සංවර්ධනයවන රටවල්වලින් ලැබෙන අතර අතිමහත් බහුතරයක් ලැබෙන්නේ සංවර්ධිත පොහොසත් රටවල්වලිනි. ඍජුවම එක් රටකින් තව රටකට ලබා දෙන ආධාර ‘ද්විපාර්ශවික ආධාර’ (bilateral aid)  ලෙසත් ලෝක බැංකුව, ආසියාණු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ වැඩ සටහණ වැනි අන්තර්ජාතික සංවර්ධන ආයතන හරහා ලබා දෙන ආධාර බහුපාර්ශවික ආධාර (multilateral aid) ලෙසත් හැඳින්වේ.

සංවර්ධනයවන රටවල්වලට වාර්ෂිකව ලබා දෙන ඇ.ඩොලර් බිලියන 120 ක විදේශ ආධාර ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව බොහෝ සංවර්ධන ආයතනවල මතයවී තිබේ. පසුගිය වසරේදී ගෝලීය මූල්‍ය අර්බුදයට ලක්වූ පොහොසත් රටවල වාණිජ බැංකු එයින් මුදවා ගැනීම සඳහා පමණක් ඇ. ඩොලර් බිලියන 8400 ක පමණ ආධාරක පැකේජයක් එම රටවලින් ලබා දුන් පසුබිම තුළ සංවර්ධනයවන රටවලට වාර්ෂිකව ලැබෙන විදේශ ආධාර ප්‍රමාණවත් නොමැතියයි යන මතය වඩාත් තහවුරු වෙමින් පවතී. AIG නමැති ඇමෙරිකාණු රක්ෂණ සමාගමක් සඳහා පමණක් ලබා දුන් මුල්‍යාධාරය ඇ.ඩොලර් බිලියන 173 ක් වන අතර එම ප්‍රමාණය ලෝකයේ සියළුම දිළිඳු හා සංවර්ධනයවන රටවල් වලට වාර්ෂිකව ලැබෙන සංවර්ධන ආධාර ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 50 කින් වැඩිවීම පුදුම සහගතය.

මේ තත්වය වඩාත් කණගාටුවට හේතුවන්නේ සංවර්ධිත පොහොසත්  රටවලින් දිළිඳු රටවල්වලට වාර්ෂිකව ලබාදීමට අපේක්ෂිත හා පොරොන්දුවී ඇති ආධාර ප්‍රමාණයවත් නොලැබීමය. සෑම සංවර්ධිත පොහොසත් රටක්ම තම දළ ජාතික ආදායමෙන් (Gross national Income – GNI) අඩුම වශයෙන් 0.7% ක්වත් සංවර්ධන ආධාර සඳහා වෙන්කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂාකළද සමස්ථයක් ලෙස ගත් කළ දැනට ලැබෙන්නේ එම රටවල දළ ජාතික ආදායමෙන් 0.3% ක් වැනි අපේක්ෂිත ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ආධාර ප්‍රමාණයකි. එම 0.7% ඉලක්කය සපුරාලන්නේ ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩන්, නෙදර්ලන්තය හා ලක්සම්බර්ග් යන රටවල් පහ පමණි.

2010 වන විට තම රටවල් ලබා දෙන මුළු විදේශ සංවර්ධන ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 50 කින් වැඩි කිරීමට OECD රටවල් 2005 දී පොරොන්දුවුවද එම ඉලක්කය සපුරාලන බවක් නම් දක්නට නොමැත. ආර්ථිකව බලසම්පන්නවූ G8 රටවල්වල 2009 වර්ෂයේ සභාපතික්වය උසුලන ඉතාලිය මෙම පොරාන්දුව වැඩියෙන්ම කඩකර ඇති රටවීමද කණගාටුවට කරුණකි.

දිළිඳු හා සංවර්ධනයවන රටවල් සඳහා ලබා දෙණ සංවර්ධන ආධාර ප්‍රමාණය වැඩිකිරීම කෙරෙහි පොහොසත් රටවල් වඩාත් අවධානය යොමුකළ යුත්තේ එම රටවලට ගලා එන විදේශ මුදල් ප්‍රමාණය ගෝලීය මූල්‍ය අර්බුදය නිසා ප්‍රධාන අයුරු තුනකින් අඩුවී ඇති නිසාය. ඒවා නම්:

  • සංවර්ධිත පෙහොසත් රටවලින් දිළිඳු හා සංවර්ධනයවන රටවලට ගලා එන ඍජු විදේශ ආයෝජනයන් (Direct Foreign Investments- FDI) ඉතා විශාල වශෙයන් අඩුවීම. ආයෝජන ප්‍රමාණය 2007 න් පසු වාර්ෂිකව ඩොලර් බිලියන 700 කින් පමණ අඩුවී ඇත. මෙය සමස්ථ වාර්ෂික ගෝලීය විදේශ ආධාර මෙන් පස්ගුණයකට සමානය.
  • පොහොසත් රටවල සිටින විදේශ සේවා නියුක්තිකයන් විසින් දිළිඳු හා සංවර්ධනයවන රටවලට එවන මුදල් ප්‍රමාණය (remittances) අඩුවීම. 2005 – 2007 අවධියේදී වාර්ෂිකව 25% පමණ වර්ධනයවූ සමස්ථ ගෝලීය විදේශ නියුක්තික ආදායම 2009 දී  -5% ක ඍණ වර්ධන අගයක් ගණු ඇතැයි ගණන් බලා තිබේ.
  • පොහොසත් රටවල්වල භාණ්ඩ ආනයනයන් (imports) සැළකියයුතු ප්‍රමාණයකින් අඩුවීම නිසා දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල අපනයන ආදායමද (export income) පහත වැටීම.

මෙම කරුණු හේතුකොට ගෙන දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල අඩුආදායම්ලාභී පුද්ගලයන් විශාල වශෙයන් පීඩාවට හා සමාජ-ආර්ථික අවදානම්වලට පත්වෙමින් සිටී. ලෝක බැංකු ඇස්තෙම්න්තුවලට අනුව මේ නිසා එම රටවල්වල දිළිඳුභාවයට හා සාගින්නට ගොදුරුවන පුද්ගලයින් ප්‍රමාණය මිලියන 50 ඉක්මවනු ඇත. දිළිඳුකම දුරැලීම අතින් දිළිඳු හා සංවරධනයවන රටවල් පසුගිය වසර කිහිපයතුළ ලබා ගත් ප්‍රගතිය මේ නිසා විශාල පසුබෑමකට ලක්විය හැකි බව පවසන එක්සත් ජාතින්ගේ වැඩසටහන එම රටවල්වලට 2015දී ලඟාවීමට අපේක්ෂිත සහස්‍ර සංවර්ධන ඉලක්කවෙත (Millennium Development Goals – MDGs)  ලඟාවීමටද නොහැකිවනු ඇතැයිද අනතුරු අඟවයි.

මේ නිසා සංවර්ධිත පොහොසත් රටවල් තම වාණිජ බැංකු පද්ධතිය රැකගැනීමට දක්වන අවධානයට වඩා වැඩි අවධානයක් දිළිඳු හා සංවර්ධනයවන රටවල් කෙරෙහි දක්වා එම රටවලට ලබාදෙන විදේශ ආධාර ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතුය. එසේ නොවුවහොත් 2011 වනවිට පොහොසත් රටවල ආර්ථිකයන් යථා තත්වයට පත්විය හැකි වුවද ඒවනවිට දුප්පත් රටවල්වල මානව සංවර්ධනය යථා තත්වයට පත්කිරීමට අපහසු අන්දමේ විශාල කඩාවැටීමකට පත්ව තිබිය හැක.

මූලාශ්‍රය:
http://www.oxfam.org/en/pressroom/pressrelease/2009-03-30/aid-still-1993-level-despite-increase


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්