දේශගුණික විපර්යාසවලින් වන හාණි වැළැක්වීම සඳහා ආසියාණු සංවර්ධන බැංකුව නව අරමුදලක් පිහිටුවයි.
ADB establishes a new Climate Change Fund
(2008 මැයි 18)
දේශගුණික විපර්යාසයන්වල බලපෑම අඩුකිරීමේත්, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා ආසියා පැසිපික් කලාපයේ රටවල්වලට වන හාණි අවම කිරීමේත් අරමුණින් ‘දේශගුණික විපර්යාස අරමුදල’ (Climate Change Fund) නමින් නව අරමුදලක් පිහිටුවීමට ආසියාණු සංවර්ධන බැංකුව තීරණය කර ඇත. මේ සඳහා ඇ. ඩොලර් මිලියන 40 ක් මූලිකව වෙන් කරන අතර ඉදිරියේදී වෙනත් සංවර්ධන හා ව්‍යාපාරික ආයතනද මෙම අරමුදලට දායකවනු ඇතැයි බැංකුව අපේක්ෂා කරයි.
දේශගුණික විපර්යාසයන්ට ගොදුරුවීමේ විශේෂ ප්‍රවනතායක් ආසියා පැසිපික් කලාපයේ රටවල් පෙන්නුම් කරයි. මේ නිසා වර්ෂ 2020 වනවිට මෙම කලාපයේ පුද්ගලයින් බිලියන 1.2 ක් පමණ ජල හිඟයකට මුහුණපානු ඇති අතර දකුණු සහ මධ්‍යම ආසියාණු රටවල කෘෂි නිෂ්පාදනය අඩකින් පමණ පහත වැටෙනු ඇතැයිද ගණන් බලා ඇත. බැංකොක්, ජකර්තා, මැනිලා, මුම්බායි සහ ෂැංහයි වැනි වෙරළාශ්‍රිත ආසියාණු නගර විශාල වශයෙන් ගංවතුර තර්ජනයට මුහුණපාන අතර ඉදිරි ශත වර්ෂයේදී බංග්ලාදේශය සහ මාලදිවයින වැනි රටවල්වල ‘දේශගුණික අවතැන්වූවන්’ (climate refugees) දැකිය හැකි තත්වයක් උදාවේ.
තවද අධික ලෙස හරිතාගාර වායු (greenhouse gases) පරිසරයට මුදා හැරීම ඉන්දියාව සහ චීනය වැනි වේගයෙන් සංවර්ධනයවෙමින් තිබෙන ආසියාණු රටවල් තුළ දැනටමත් සිදුවන අතර 2030 වන විට මුළු හරිතාගාර වායු නික්මවීමෙන් 42% කට වගකීමට සිදුවීමෙන් මෙම පරිසර හානිය සඳහා වැඩිපුරම දායකවන කලාපයද නුදුරු අනාගතයේදී ආසියාව වනු ඇත. මේ නිසා ගල් අඟුරු බලාගාර වැනි පරිසර දූෂ්‍ය බලශක්ති ජනන ක්‍රමවලින් ඈත්වී පවිත්‍ර බලශක්ති ජනන තාක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට මෙම රටවල්වලට සිදුවේ.
දේශගුණික විපර්යාස නිසා සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය, ව්‍යාපෘති ආයෝජනයන්, පර්යේෂණ සහ අදාළ වෙනත් කටයුතු සඳහා ආසියාණු පැසිපික් කලාපයේ සංවර්ධනයවන රටවල්වලට මෙම අරමුදල මගින් ආධාර සැපයෙනු ඇත. දේශගුණික විපර්යාස නිසා සමහර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් අත්හැරීමටත් හා වෙනත් ජීවනෝපායන් ඇරඹීමටත්, වාසභූමිවලින් ඉවත්ව අළුත් වාසස්ථාන කරා යෑමටත් වැනි සමාජ හාණිවලට ගොදුරුවීම් අවම කිරීමේ ප්‍රයත්නද සඳහාද මෙම අරමුදල සහායවනු ඇත.
මීට අමතරව ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරිමට ඉවහල්වන පවිත්‍ර බලශක්ති (clean energy) ජනන සහ කාබන් මූල්‍යකරණ (carbon financing) වැනි ව්‍යාපෘති සඳහාද මෙම අරමුදල මගින් ඉදිරියේදී ආධාර සැපයෙනු ඇත. මෙයින් අපේක්ෂා කරන්නේ පරිසරයට අවම කාබන් නික්මවීමකින් යුත් ආර්ථිකයන් කරා යෑමට පහසුකරවීමයි (transition to low carbon economies).
මූලාශ්‍ර: http://www.adb.org/Media/Articles/2008/12474-asian-climates-changes/
ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ (LOLC) කුඩාමූල්‍යකරණ කටයුතු ප්‍රවර්ධනයට ජර්මානු තාක්ෂණ සහයෝගිතා ආයතනයේ (GTZ) සහය
GTZ to assist Lanka ORIX Leasing Company (LOLC) to promote microfinance activities
(2008, මැයි 16)
ලංකා ඔරික්ස් ලීසිං සමාගම (LOLC) නමැති ඉතා ප්‍රමුඛ ගණයේ විවිධ හා විශේෂයෙන්ම කල්බදු මූල්‍ය සේවා සපයන ව්‍යාපාරික ආයතනයේ කුඩාමූල්‍යකරණ වැඩ සටහණ (microfinance programme) ප්‍රවර්ධනය කිරීම සඳහා ආධාර හා පහසුකම් සැපයීමේ එකඟතා ගිවිසුමක් එම ආයතනය හා ජර්මාණු තාක්ෂණික සහයෝගිතා ආයතනය (GTZ) අතර පසුගියදා අත්සන් තැබිණ. GTZ ආයතනය සහ ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය සඳහාවූ ජර්මාණු රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකාවේ මූදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරණ කුඩාමූල්‍යකරණ අංශය ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහණ යටතේ මෙම ආධාර හා පහසුකම් LOLC ආයතනයට සැපයේ. මෙම වැඩ සටහණේ පරමාර්ථය වන්නේ කුඩාමූල්‍යකරණ ආයතන හරහා ශ්‍රී ලංකාවේ දුප්පත්ම ප්‍රජා කොටස්වලට මූල්‍ය පහසුකම් සැපයීමයි.
මෙසේ ගිවිසගත් එකඟතාවයට අනුව ප්‍රධාන කරුණු තුනක් සඳහා LOLC ආයතනයට ආධාර හා පහසුකම් සැපයේ. ඒවානම්:
- නොදියුණු සහ පහසුකම් අඩු ප්‍රදේශවල LOLC සමාලමේ ශාඛා කාර්යාල පිහිටුවීමට
- කුඩා මූල්‍යකරණය සඳහා LOLC සමාගමට අවශ්‍ය තොරතුරු තාක්ෂණික යටිතල ව්‍යුහයක් (IT infrastructure) ගොඩනැගීම සහ ප්‍රවර්ධනය කිරීම
- LOLC සමාගමේ කුඩාමුල්‍යකරණ අංශයේ සේවක දැණුම හා ධාරිතාවය ඉහළ නැංවීම
කුඩාමුල්‍යකරණය කෙමෙන් කෙමෙන් ප්‍රමුඛ පෙළේ බැංකු සහ මූල්‍යසේවා ආයතනවලට (blue chip banks and financial institutions) ප්‍රගමණයවීමේ සහ ඒ සඳහා දායක ආයතනද සහය දැක්වීමේ ගෝලීය ප්‍රවනතාවය ශ්‍රී ලංකාවේ සනිටුහන් කරණ අවස්ථාවක් ලෙස මෙම එකඟතා ගිවිසුම සැලකිය හැක.
එපමණක්ද නොව කුඩාමුල්‍යකරණය (microfinance) යනු කුඩා ණයදීම් (microcredit) පමණක් නොව ඊට අමතරව කල්බදු (leasing) සහ කුඩා රක්ෂණ (micro-insurance) වැනි පරිවාර මුල්‍ය සේවා සැපයීම බවත්, එවැනි සේවා ලබා දීමට හැක්කේ සාම්ප්‍රදායික රාජ්‍ය නොවන ආයතනවලට වඩා LOLC වැනි ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනවලට බවත් අවබෝධ කරගැනීමට මේ ප්‍රවෘත්තිය ඉවහළ්වනු නිසැකය.
එහෙත් එවැනි මූල්‍ය ආයතන සැලකිළිමත්විය යුත්තේ තම මූල්‍ය සේවා මුලින් අරමුණු කරගත් පරිදි සත්‍ය වශයෙන්ම ‘දුප්පත්ම කොටස්’ වෙත ගලා යන්නේද යන්න පිලිබඳ සොයා බැලීමටයි. එසේ නොවුණහොත් එය දුප්පතුන්ට පමණක් නොව ඒ සඳහා ආධාර සපයන දායක ආයතනවලටද කරණ අසාධාරණයක් වනු ඇත.
සහල් අපනයන කරන රටවල් පහක් සංවිධානගතවීමට දරණ වෑයමට විරෝධය
Proposed formation of a rice cartel (OREC) by five rice exporting countries is opposed
(2008 මැයි 15)
දැනට ලෝකය පුරා මතුවී තිබෙන ආහාර අර්බුදය සහ විශේෂයෙන්ම සහල් සහ වෙනත් ධාන්‍යවල මිල ඉහළ යෑම මේවනවිට සංවර්ධනයවෙමින් පවතින සහ ඉතා දුප්පත් රටවල්වලට ඉතා අහිතකර අන්දමෙන් බලපා ඇත. එයට පිළියම් සෙවීම සහ යෙදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) වැනි බලවත් අන්තර් ජාතික ආයතන මේවනවිටත් විවිධ අන්දමේ ක්‍රියා මාර්ගවලට එළඹ ඇති අතර පොහොසත් රටවල්වල බලවත්ම සංවිධානයවන ‘G8 කණ්ඩායමේ’ අවධානයද මේ පිළිබඳ යොමුවීම වැදගත් ලෙස සැලකිය හැක.
එහෙත් මේවනවිට බෙහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ පසුගියදා (අප්‍රියෙල් 30) තායිලන්ත අගමැතිවරයා විසින් ‘ඔරෙක්’ නමින් සහල් අපනයන කරන රටවල්වල සංවිධානයක් (Organization for Rice Exporting Countries – OREC) පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්ය. මෙවැනි යෝජනාවක් පිළිබඳ තැති ගැනීමට මූලික හේතුවක් විය හැක්කේ එම නමටම සමාන ‘ඔපෙක්’ (OPEC) යනුවෙන් හඳුන්වන ලෝකයේ ඛණිජ තෙල් අපනයනය කරණ රටවල සංවිධාන කාටලය (cartel) නොහොත් එකමුතුව විසින් ඛණිජතෙල් මිල පහත නොවැටෙන අයුරින් තම රටවල බොර තෙල් නිෂ්පාදන ප්‍රමාණයේ සැපයුම පාලනය කිරීමයි. සහල් සඳහාවූ OREC කාටලයද OPEC මෙන් මිල පහත නොවැටීම සඳහා සහල් සැපයුම පාලනය කළහොත් ආසියාණු කලාපයේ පමණක් ආහාර සුරක්ෂිතභාවයට එමගින් සිදුවන හාණිය හා තර්ජනය ඉමහත්විය හැක.
සහල් අපනයනයේදී ලොව ඉදිරියෙන්ම සිටින රටවල් පහම ආසියානු රටවල්වන (තායිලන්තය, කාම්බෝජය, වයට්නාමය, ලාඕසය සහ මියන්මාරය) අතර යෝජිත OREC සාමාජිකයින් වනු ඇත්තේද මෙම රටවල් ය. මෙම රටවල් අතුරින් වැඩිම වාර්ෂික සහල් අපනයන රටවන්නේ තායිලන්තය (ටොන් මිලියන 10 ක් පමණ) වන අතර ලෝකයේ සහල් අපනයනයෙන් 50% ක් අයත්වන්නේද මේ රටවල්වලටය.
OREC සංකල්පය පිළිබඳ ප්‍රවෘත්තිය පළවු වහාම වඩාත් කැළඹීමකට පත්ව ඇත්තේද ආසියානු රටක්වන පිලිපීනයයි. එයට හේතුව ලෝකයේ වැඩිම සහල් ආනයනය කරණ රට පිලිපීනය වීමයි. එක් අවදියකදී සහල්වලින් ස්වයංපෝෂිතවූ පිලිපීනය පසුව සහල්වලට වඩා අගයෙන් වැඩි වගාවන්ට (high value crops) පෙළඹීම නිසා සහල් නිෂ්පාදනයට වඩා ආනයනය කිරිම ආර්ථික වශයෙන් උචිත ලෙස සැළකීය.
පිලීපීනය මෙන්ම යෝජිත OREC රටවල් පහද කලාපීය වශයෙන් ඉතා ප්‍රබල සංගමයක් වන ‘ආසියාන්’ නොහොත් ගිනිකොණ දිග ආසියානු ජාතීන්ගේ සංගමයට (Association of South East Asian Nations – ASEAN ) අයත්වීමයි. පිලිපීනයට අනුව යෝජිත OREC කාටලය ‘ආසියාන්’ සංගමයේ සහයෝගිතාවය සහ එකමුතුව පාවා දීමේ පියවරක් ලෙස සැළකිය හැක. ඛණිජ තෙල් නිපදවන රටවල OPEC සංවිධානයමෙන් අනිකුත් කලාපීය රටවලට ආර්ථික තර්ජනයක් එල්ලකළ හැකි විය හැකි සංවිධානයක් බවට OREC පත්විය හැකි බව පිලිපීනයේ මතයවන අතර කලාපයේ සහල් වෙළඳාමෙන් 75% ක්ම මෙම රටවල් පහ අතේ තිබීම මෙම තත්වයට හේතුවේ.
මෙම අර්බුදකාරී තත්වය වාසියකට හරවා ගැනීමට බලාපොරොත්තුවන පිලීපීනය තුළ කෘෂිකාර්මික සංවර්ධනය සඳහාවූ ආයෝජනයන් ඉහළ නැංවීමටද ඒ මගින් සහල් නිෂ්පාදනය සහ ඵලදායිතාවය වැඩිකරගැනීමටත් සහල්වලින් ස්වයංපෝෂිතවීමට දැඩි උනන්දුවක් ඉස්මතුවෙමින් පවතී. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙමින් සිටින අතර සියළුම කෘෂි ව්‍යාප්ත සේවා ආයතනද ඒ සඳහා සූදානමින් තබා ඇත.
යෝජිත OREC කාටලය සම්බන්ධව ආසියාණු සංවර්ධන බැංකුවෙන්ද (ADB) දැඩි විරෝධයක් මතුවී ඇත. ආසියාණු සංවර්ධන බැංකුවට අනුව එවන් කාටලයක් මගින් නිදහස් සහල් වෙළඳාමට අනිසි බලපෑම් ඇතිවිය හැකි අතර එමගින් සහල් නිෂ්පාදණය, අපනයන හා ආනයනය කරණ රටවල්වලටද අවාසි සිදුවිය හැක.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආසියාණු කලාපීය නියෝජිතයාද යෝජිත OREC කාටලය දැනට පවතින ආහාර හා සහල් අර්බුදයට කිසිසේත්ම උචිත විසඳුමක් පියවරක් නොවන බැව් ප්‍රකාශ කොට ඇත. ඒමගින් ආහාර අර්බුදය දෙගුණවීමට පවා තුඩුදිය හැකි බව ඔහුගේ මතයයි. එපමණක්ද නොව OREC කාටලයක් පිහිටුවීම දීර්ඝ කාලීන වශයෙන් යෝජිත OREC සාමාජික රටවලටම අවාසි ගෙන දිය හැකි කරුණකි. පිලිපීනය මෙන් අනික් රටවල්ද වැඩි වශයෙන් සහල් නිපදවීම සඳහා පෙළඹුනහොත් තායිලන්තය වැනි යෝජිත OREC රටවල සහල් සඳහා ඉල්ලුම අඩුවී එම රටවල්වල දුප්පත් ගොවීන්ට අනිසි විපාකවලට මුහුණදීමට සිදුවේ.
එම නිසා OREC කාටලය පිහිටුවීමට යෝජිත සාමාජික රටවල් පෙර සිහි තබා ගත යුත්තේ සහල් යනු ඛණිජ තෙල් මෙන් නොව නොයෙකුත් පාරිසරික සහ දේශගුණික සාධක මත යැපෙන නිෂ්පාදනයක් නිසාත් සහල් යනු බොහෝ රටවල (සහ විශේෂයෙන්ම දුප්පතුන්ගේ) ආහාර සුරක්ෂිතභාවයේ මුලිකාංගයක්වන නිසාත් සහල් වෙළඳාම අසීමිත කේවල කිරීමකට භාජනය කළහොත් එයින් අනිසි විපාක OREC සාමාජික රටවලටද අත්විය හැකි බවය.
කාන්තාවන්ට අහිතකර ලෙස බලපෑ හැකි ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා යොමුවන විශාල පරිමාණයේ කෘෂිකර්මාන්තය
Large scale bio-fuel production may increase marginalization of women
(2008, මැයි 9)
එතනෝල් වැනි දියර ජෛව ඉන්ධන (liquid bio-fuel) සහ ජෛව ඩීසල් (bio-diesel) නිෂ්පාදනය සඳහාවූ කෘෂි වගාවන්ට විශාල වශයෙන් සහ සීඝ්‍රයෙන් යොමුවීම සංවර්ධනයවෙමින් පවතින රටවල්වල ග්‍රාමීය ප්‍රදේශවල ජිවත්වන කුඩා පරිමාණ ගොවීන්, ඉඩම් හිමියන් සහ කාන්තාවන්ගේ ජීවනෝපායන්ට අහිතකර ලෙස බලපාන අතර ඒ මගින් ඔවුන් ආර්ථික වශයෙන් කොන්වීමකටද තුඩු දෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් සිදුකරන ලද නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.
මෙම අධ්‍යයනයට අනුව එවැනි ජෛව ඉන්ධන නිපදවීමට නම් ඉරිඟු (maize) සහ ඔයිල් පාම් (oil palm) වැනි වගාවන් විශාල වශයෙන් වගා කළ යුතු අතර ඒ සඳහා විශාල ඉඩම්වලට අමතරව බීජ, ජලය, පොහොර සහ රසායනික ද්‍රව්‍ය වැනි යෙදවුම් (inputs) අධිකව භාවිතා කළ යුතු අතර එවැනි වගාවන් සඳහා දියුණු තාක්ෂණ ක්‍රමද යොදා ගැනේ. එහෙත් සාම්ප්‍රදායිකව අඩු යෙදවුම් ප්‍රමාණයක් යොදා කුඩා ඉඩම් කැබලිවල සරල තාක්ෂණයන් මගින් ආහාර සඳහා වගා කටයුතු සිදුකරන දිළිඳු ගොවීන්ට සහ විශේෂයෙන්ම කාන්තාවන්ට ජෛව ඉන්ධනවලට අවශ්‍ය වීශාල පරිමාණ වගාවන්ට යොමුවීම අපෝහොසත්වනු ඇත.
මෙයින් සිදුවිය හැකි අහිතකරම බලපෑමවිය හැක්කේ මෙවන් වගාවන්ට අවශ්‍ය විශාල වතුයායවල් පිහිටුවීම සඳහා සාම්ප්‍රදායික කුඩා ගොවි ඉඩම් මිලට ගැනීම සිදුවීමයි. මේ නිසා දිළිඳු, සාම්ප්‍රදායික හා කුඩා ඉඩම් හිමි ගොවීන් ක්‍රම ක්‍රමයෙන් ගොවිතැනින් ඉවතට තල්ලුවී යාහැකි අතර එවන් කුඩා පරිමාණ කෘෂිකර්මයේ විශාල කොටස්කරුවන් වන කාන්තාවන්ට මේ මගින් බලවත් සමාජ හා ආර්ථික අවාසියක් සිදුවනු ඇත. අවසානයේදී එවැනි විශාල වතුයායවල්වල ඉතා අඩු වේතනයන් හා කාර්ය තත්වයන් යටතේ නුපුහුණු කම්කරුවන් ලෙස රැකියාවල් කිරිමට කාන්තාවන්ට සිදුවනු ඇත. දැනටමත් මේ තත්වය සමහර ලතින් ඇමෙරිකානු හා කැරිබියානු රටවල උද්ගතවී තිබේ.
මීට අමතරව කාන්තාවන් සාමාන්‍යයෙන් ජලය සහ දර ලබා ගන්නා ඉඩම්ද විශාල වතුයායවල් බවට පත්වීම තුලින් දිළිඳු පවුල්වල කාන්තාවන්ගේ දෛනික ජීවන පැවැත්ම මත අනවශ්‍ය පීඩනයක්ද ඇතිවිය හැක.
එම නිසා සංවර්ධනයවෙමින් පවතින රටවල් ජෛව ඉන්ධන නිෂ්පාදනය මූලික කොටගත් වගාවන් ප්‍රචලිත කිරීමට පළමුව කුඩා පරිමාණ ගොවීන්ට සහ කාන්තාවන්ටද එවැනි වගාවන් සඳහා සහභාගිවීමට අවශ්‍ය ඉඩම්, ප්‍රාග්ධනය / ණය පහසුකම් හා තාක්ෂණය ලබා ගැනීමට ඉවහල්වන ප්‍රතිපත්ති කඩිනමින් සම්පාදනය කල යුතුය. එසේ නොවුනහොත් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතාවයන් වැඩිවිය හැකි අතර සාගින්නට සහ දිලිඳුභාවයට කාන්තාවන් ගොදුරුවීමට ඇති ඉඩකඩද වැඩිවනු නොඅනුමානය. ජෛව ඉන්ධන සඳහා වගාවන් කිරීම ගොවීන්ට වැඩි ආදායමක් ලබාගැනීමට හොඳ අවස්ථාවක්වන නමුදු එම වාසි දිළිඳු කොටස් වෙත ගලා යෑමට හැකිවන්නේ ‘දුප්පතුන් සඳහාවූ’ (pro-poor) ප්‍රතිපත්ති ක්‍රියාත්මකවුවහොත් පමණි.
එවන් ප්‍රතිපත්ති මගින් සිදුවිය යුත්තේ දැනටමත් දිළිඳු පවුල් පවත්වාගෙන යනු ලබන කෘෂි ආහාර නිෂ්පාදන (agri-food production) පද්ධතිය සහ බලශක්ති කෘෂිකර්ම පද්ධතිය අතර තුලනාත්මක සංකලනයක් ඇති කිරිම මගින් (balanced integration) පරිසරය සහ දිළිඳු ප්‍රජාවගේ ජීවනෝපාය තිරසාර ලෙස ආරක්ෂා කිරීමය.
මූලාශ්‍රය: http://www.fao.org/newsroom/en/news/2008/1000830/index.htmlආහාර අර්බුදයට මුහුණදීම සඳහා විශාල ලෙස ආධාර සැපයීමට සූදානම්වන ආසියාණු සංවර්ධන බැංකුව
ADB Announces Massive Financial Support for Food Crisis
(2008 මැයි 7)
දිනෙන් දින සහ උග්‍ර ලෙස ඉහළ යමින් තිබෙන ආහාර මිළ පිළිබඳ අර්බුදය නිසා විශල වශයෙන් විපතට පත් ආසියා පැසිපික් කලාපයේ දිළිඳු රටවල්වල දුප්පත් පවුල් සඳහා ක්ෂණික ආධාර වශයෙන් ඇ. ඩොලර් මිලියන 500 ක මුදලක් ලබා දීමට ආසියාණු සංවර්ධන බැංකුව තීරණය කර ඇත. මේ මගින් ක්ෂණිකව ධාන්‍යාහාර, පොහොර සහ වෙනත් කෘෂි යෙදවුම් ආනයනය කිරීමට එම රටවලට හැකිවනු ඇත.
මෙම කලාපයේ රටවල්වල මුළු ජාතික වියදමින් 60% ක්ම වැයවන්නේ ආහාර පිණිස නිසා ආහාර මිල ඉහළ යෑම බොහෝ රටවල්වලට දරා ගත නොහැකි කරම් ප්‍රශ්නයක් වන අතර මේ හේතුවෙන් දුප්පත් පුද්ගලයින් මිලියන 1000 ක් පමණ අහේණියට පත්ව ඇත. මෙම ආහාර අර්බුදයෙන් මිදීමට නම් විවෘත වෙළඳාම සහ බෙදා හැරීම පිලිබඳ ප්‍රතිපත්තිමය රාජ්‍ය මැදිහත්වීම් මෙන්ම අන්ත දුප්පත් (poorest) සහ පහසුවෙන් හානිවලට ගොදුරුවිය හැකි (vulnerable) ප්‍රජා කොටස් සඳහාවූ ඉලක්කගත ඍජු ආධාර ක්‍රමයක්ද ක්‍රියාත්මකවිය යුතු බවද ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
ආසියා පැසිපික් කලාපයේ රටවල්වල කෘෂිකර්මාන්තය සහ ස්වාභාවික සම්පත් සංවර්ධනය වෙනුවෙන් 2008 වර්ෂය සඳහා ඇ. ඩොලර් බිලියන එකක් දැනටමත් වෙන් කර ඇති අතර දැනට වර්ධනය වෙමින් පවතින ආහාර අර්බුදය නිසා 2009 වර්ෂය සඳහා එම ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 2 ක් දක්වා දෙගුණ කිරීමටද ආසියාණු සංවර්ධන බැංකුව තීරණය කර ඇත. කෘෂිකාර්මික ඵලදායිතාවය නැංවීම, කෘෂි නිෂ්පාදනවල වෙළඳපල පුළුල් කිරීම සහ කෘෂිකාර්මික අංශය ප්‍රතිව්‍යුහගත කිරීම මේ මගින් අපේක්ෂා කෙරේ.
2008 මැයි මස මුල් සතියේදී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවති ආසියාණු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීමේදී ඉහත තීරණ ගණු ලැබූ අතර ඉදිරි වර්ෂ 12 දී (2020 දක්වා) ආ. ස. බැංකුව අනුගමනය කිරිමට අපේක්ෂිත දීර්ඝ කාලීන උපාය මාර්ගික සැලසුමටද මෙම රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
මූලාශ්‍රය: http://www.adb.org/Media/Articles/2008/12483-asian-food-crisis/
ආහාර හිඟයට පිළියම් යෙදීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ කාර්ය සාධන බලකායක්
UN sets up food crisis task force
(මැයි 5, 2008)
ලෝකයේ සියළුම රටවල් තුළ මේවනවිට මතුවී තිබෙන ආහාර හිඟය නිසා වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ ඉතාම දුප්පත් රටවල්ය. මෙම තත්වය ආර්ථික ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ දැනටමත් එවැනි දුප්පත් රටවල් කිහිපයක් තුළ ආහාර ද්‍රව්‍ය කොල්ලකෑම් වැනි කලබලකාරී තත්වයන් උද්ගතවීම නිසාය.
මෙම තත්වයට මුහුණදීම සඳහා ආරක්ෂණ ආහාර තොග (buffer food stocks) ගබඩා කිරීම, ධාන්‍ය අපනයනය තහනම් කිරීම, මිල පාලනය, කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු සඳහා සහාණාධාර සහ ණය ලබාදීම ආදි විවිධ අන්දමේ ක්‍රියා මාර්ග අනුගමනය කිරිමට බොහෝ රටවල් දැනටමත් පෙළඹී ඇත.
විවිධ දේශපාලනික අර්බුද සහ යුද ගැටුම් අතරවුවද අන්තර්ජාතික වශයෙන් වැඩිම අවධානයක් දිනා ගැනීමට තරම් ලෝක ආහාර හිඟය සමත්වී ඇති අතර මේ අතුරින් වඩාත්ම කැපී පෙනෙන අන්තර් ජාතික ක්‍රියා මාර්ගය වන්නේ මෙම ප්‍රශ්නයට පිළියම් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් විශේෂ කාර්ය සාධන බලකායක් (task force) ස්ථාපනය කිරීමයි. ගිය සතියේ පිහිටුවන ලද මෙම බලකායේ සභාපතිත්වයද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා විසින්ම දැරීමට ගත් තීරණය ආහාර හිඟය පිළිබඳ ප්‍රශ්නයේ උග්‍රභාවය සනාථ කරයි.
මෙම ප්‍රශ්නයට මුහුණදීමේදී අන්තර් ජාතික ප්‍රජාව ප්‍රතිචාර දැක්වු ආකාරය පිලිබඳ සෑහීමකට පත්නොවිය හැකියැයි පවසමින් ආහාර හිඟය සහ මිල ඉහළ යෑමේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ලෝක නායකයින්ගේ සමුළුවක්ද ලබන ජූනි මාසයේ කැඳවීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා තීරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) ඇස්තමේන්තුවලට අනුව ධාන්‍ය වර්ග, කිරි, මස්, සීනි සහ ආහාර පිසින තෙල් වල 2008 අප්‍රියෙල් මාසයේ මිල මාර්තු මාසයට වඩා 57% කින් ඉහළ ගොස් ඇත. මෙය ඉතාමත් බරපතළ තත්වයක්වන අතර එක්සත් ජාතීන්ගේ ආහාර කාර්ය සාධන බලකාය ප්‍රමුඛව අවධානය යොමු කරනු ඇත්තේ ඉතා දිළිඳු රටවල සාගින්නේ පසුවන්නන්ට ආහාර සැපයීමයි. එසේ නොකළ හොත් මන්ද පෝෂණය සහ කැරළිකාරී තත්වයන් පැතිරී යෑමේ අවදානමක් ඇත.
මෙම හදිසි ආහාර අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණට (World Food Programme – WFP) ඇ. ඩොලර් මිලියන 775 ක් අවශ්‍යවන අතර එයින් ඩොලර් මිලියන 475 ක් සඳහා දායකත්වයක් ලබා දීමට සමහර ආයතනවල එකඟතාවය දැනටමත් ලැබී ඇත.
මීට අමතරව අහාර හිඟය සඳහා දිර්ඝ කාලීන විසඳුම වනුයේ ආහාර භෝග නිෂ්පාදනය සඳහා වඩ වඩාත් ගොවීන් පෙළඹවීම වුවත් ඉන්ධන සහ පොහොර ආදී යෙදවුම්වල මිල අධිකවීම ඒ සඳහා බාධාවක්ව පවතී. එම නිසා ඉතා දිළිඳු රටවල්වල කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය සඳහා ඇ. ඩොලර් බිලියන 1.7 ක සහණාධාර වැඩ සටහණක් ක්‍රියාත්මක කිරිමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) දැනටමත් සැලසුම් කර ඇත.
මේ අතර කෘෂි ආහාරවල මිල අධික ලෙස ඉහළ ගියද එහි වාසිය දිළිඳු රටවල ගොවීන් සඳහා ඉක්මණින්ම නොලැබෙනු ඇති බව ප්‍රකාශ කරන ලෝක වෙළඳ සංවිධානයේ (World Trade Organization) ප්‍රධානියා දැනට ක්‍රියාත්මකවන ගෝලීය කෘෂි වෙළඳ ප්‍රතිපත්තිවල දුර්වලකම එයට හේතුව බව අවධාරණය කරයි. මෙම තත්වය වෙනස් කිරිමට නම් සමහර රටවල් ක්‍රියාත්මක කරන ආරක්ෂාකාරී කෘෂි සහණාධාර සහ තීරුබදු (protective subsidies and tariffs) ප්‍රතිපත්තිවල වෙනසක්විය යුතුය යන්න ලෝක වෙළඳ සංවිධානයේ මතයවී ඇත.
මූලාශ්‍රය: http://www.time.com/time/health/article/0,8599,1735789,00.html
2007 සංවර්ධන පුවත්




