ගෝලීය මූල්‍ය අර්බුදය නිසා කාම්බෝජයේ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය අසීරුවේ
International credit crisis hits Cambodian MFIs
(2009 මාර්තු 13)
වර්තමාන ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ අන්තර්ජාතික ණය වෙළඳපල කඩාවැටීම හේතුවෙන් දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල කුඩාමූල්‍යකරණ අංශයට (microfinance sector) සැපයෙන ණය පහසුකම්ද අඩුවේදැයි තිබූ සැකය තහවුරු කරමින් කාම්බෝජයේ කුඩාමුල්‍යකරණ අංශයට අන්තර්ජාතිකව සැපයෙන ණය විශාල වශයෙන් අඩුවී ඇති බව වාර්තාවේ.
මේ නිසා කුඩාමූල්‍යකරණ ආයතන හරහා ගොවීන් වැනි අඩු ආදායම්ලාභීන්ගෙන් ණය සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකිවී ඇත. ගෝලීය මූල්‍ය අර්බුදය 2008 දී ඉස්මතුවීමට ප්‍රථම අන්තර් ජාතික බැංකු 50 ක් පමණ කාම්බෝජයේ කුඩාමුල්‍ය ආයතනවලට ණය සැපයීමට පොරොන්දුදෙමින් හා සූදානමින් සිටියද මේවනවිට එම බැංකු සියල්ලම පාහේ ණය සැපයීමෙන් ඉවත්වී ඇති බව කාම්බෝජියාණු කුඩාමූල්‍ය ආයතන සංසදයේ අධ්‍යක්ෂකවරයකු පවසා ඇත.
කාම්බෝජියාණු කුඩාමූල්‍ය ආයතන ණයදීම සඳහා භාවිතා කරණ අරමුදල්වලින් 80% ක්ම අන්තර්ජාතික ආයතනවලින් ලැබෙන විදේශික ප්‍රාග්ධනයවීම මෙම තත්වය මෙතරම් බරපතළවීමට හේතුවී ඇත.
පසුගිය වර්ෂයේදී කාම්බෝජියානු කුඩාමූල්‍ය ආයතනවල මුළු ණය අරමුදල් ප්‍රමාණය පෙර වර්ෂයට වඩා 61% කින් ඉහළ ගොස් තිබුණද මෙම වර්ෂයේදී (2009) එම අරමුදල්වල වර්ධනය 10% තරම් පසුබසිණු ඇතැයි අනුමාන කෙරේ. මේ නිසා මෙම වර්ෂයේදී එම කුඩාමූල්‍ය ආයතනවලට අපේක්ෂිත ණය ඉලක්කයන්ට යෑමට අපොහොසත්වනවා පමණක් නොව ණය සඳහා අයකෙරෙන පොලී අනුපාතයන්ද ඉහළ දැමීමට සිදුවනු ඇත.
ණයලාභීන් ණය ගෙවීම පැහැර හැරීම නිසා අවදානමට ලක්වී ඇති කුඩාමුල්‍ය ආයතනවල ණය කළඹවල (portfolio at risk) ප්‍රතිශතය 1% ටත් වඩා අඩුවුවත් ණයදීම සඳහා අරමුදල් හිඟකම හේතුවෙන් ගොවීන්ගේ ඉඩම් හා නිවාස පවා විකුණා ණය ගෙවීමට බලකෙරෙන තත්වයක්ද උදාවී තිබේ.
මූලාශ්‍රය:
http://www.phnompenhpost.com/index.php/2009030624619/Business/Credit-crunch-hits-MFIs.html
ගෝලීය ධීවර කර්මාන්තයේ වර්තමාන තත්වය විග්‍රහ කෙරෙන The State of World Fisheries and Aquaculture (SOFIA) -2008 වාර්තාව නිකුත්වේ
(2009 මාර්තු 6)
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) මගින් වාර්ෂිකව නිකුත් කෙරෙන ගෝලීය ධීවර කර්මාන්තයේ හා ජලජීවී වගාවේ තත්වය විග්‍රහ කෙරෙන The State of World Fisheries and Aquaculture (SOFIA) -2008 වාර්ෂිකප්‍රකාශනය මෙම මස මුල සතියේදී නිකුත් කෙරින. මෙම කලාපය මගින් අවධානය යොමු කරන තේමාවන් කිහිපයක් අතුරින් මූලික වන්නේ දේශගුණික විපර්යාසයන්ගෙන් ධීවර කර්මාන්තයට වන බලපෑම හා ප්‍රමාණය ඉක්මවා මසුන් ඇල්ලීමෙන් (over fishing) මත්ස්‍ය ගහණයන් හීනවී යෑම හා සමහර මත්ස්‍ය විශේෂ වඳවීයෑමේ තර්ජනයට මුහුණ දීමයි.
මෙම වාර්තාවට අනුව සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම හේතුකොට ගෙන මසුන්ගේ සංක්‍රමණික හා ව්‍යාප්ති රටාවන් දැනටමත් වෙනස්වීමට පටන් ගෙන ඇති අතර එම නිසාම මත්ස්‍යයන්ගේ බෝවීම සඳහාද මෙය අහිතකර ලෙස බලපානු ඇත. මීට අමතරව පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සාගරයේ පමණක් නොව මිරිදිය පරිසරයන්ගේද ඇල්ගී ඇතුළු සියළු ආහාර දාමයන් (food webs) වෙනස්කම්වලට භාජනයවනු ඇත. ගෝලීය මත්ස්‍ය නිෂ්පාදනයට මේ මගින් අනපේක්ෂිත හා අහිතකර ප්‍රතිඵල ඇතිවනු නොඅනුමාන බව මෙම වර්තාව සදහන් කරයි.
මෙවැනි පාරිසරික බලපෑම් නිසා මත්ස්‍ය නිෂ්පාදනයේ කඩාවැටීමක් සිදුවුවහොත් ප්‍රථමයෙන්ම විපාක විඳීමට සිදුවන්නේ ධීවර කර්මාන්තයම තම ජීවනෝපාය කරගෙන සිටින දිළිඳු ප්‍රජාවන්ය. එය ඔවුන්ගේ ජීවනෝපායන්ට පමණක් නොව ඔවුන්ගේ සමස්ථ ජීවන තත්වයටම අහිතකර ලෙස බලපානු ඇත. මෙම තත්වය වඩාත් භයානකවන්නේ එවැනි ධීවර ප්‍රජාවන් විසින් සාගරයෙන් නෙළාගත හැකි උපරිම මත්ස්‍ය ප්‍රමාණයම හෝ ඊටත් වඩා ප්‍රමාණයක් දැනටමත් අල්ලාගැනීමෙහි යෙදෙන නිසාය. එවැනි තත්වයක් තුළ මත්ස්‍ය බෝවීමේද අඩුවීමක් සිදුවුවහොත් එය එවැනි ප්‍රජාවන්ට පමණක් නොව පරිසර පද්ධතියන්ටද ඉතාමත් අහිතකරවනු ඇතැයි මෙම වාර්තාව ඉඟිකරයි.
ධීවර කර්මාන්තය පිළිබඳ විවිධ දත්ත හා තොරතුරු අනුසාරයෙන් ඉදිරිපත්කර ඇති වාර්තාවට අනුව 2006 වන විට ලෝකයේ සමස්ථ මත්ස්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 143.7 ක් වේ. වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදන ප්‍රවනතාවයේ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ සාගර නිෂ්පාදනය (marine fish production) ක්‍රමක්‍රමයෙන් අඩුවී අතර මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය (inland fish production) වැඩිවීමයි. 2006 වනවිට මුළු ගෝලීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 29% ක්ම මිරිදිය ජලාශවල මසුන් ඇල්ලීමෙන් (capture) හෝ මිරිදිය ජලජීවී වගාවෙන් (inland aquaculture) ලැබෙන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
|
(වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියනවලින්) |
||||
2002 |
2003 |
2004 |
2005 |
2006 |
|
මුළු සාගර මත්ස්‍ය නිෂ්පාදනය |
100.9 |
98.7 |
103.8 |
103.4 |
102.0 |
මුළු මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය |
32.7 |
34.5 (25.9%) |
36.7 |
39.3 |
41.7 |
සමස්ථ ගෝලීය මත්ස්‍ය නිෂ්පාදනය |
133.6 |
133.2 |
140.5 |
142.7 |
143.7 |
සාගර මත්ස්‍ය නිෂ්පාදනයේද දැකිය හැකි තවත් ප්‍රවනතාවයක් වන්නේ වාර්ෂිකව අල්ලන (capture) මසුන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවන අතර සාගර ආශ්‍රිත ජලජීවි වගාවෙන් (mariculture) වාර්ෂිකව කෙරෙන නිෂ්පාදනය වැඩිවීමයි.
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේවුවද ස්වාභාවික වැව් හා ගංගාවැනි මිරිදිය ජලාශවලින් අල්ලන මසුන් ප්‍රමාණය 25% ක්වන අතර 75% ක්ම ලැබෙන්නේ මිරිදිය ජලජීවී වගාවෙන්ය.
සියළුම රටවල්වල ධීවර කර්මාන්තයේ (සාගර, මිරිදිය හා ජලජීවී වගාව ඇතුළු) ඍජුවම යෙදී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 43.5 ක් යැයි සඳහන් කෙරෙන මෙම වාර්තාවට අනුව එම සංඛ්‍යාවෙන් 86% ක්ම ඇත්තේ ආසියානු කලාපයේය. මෙය එතරම්ම පුදුමයක් නොවන්නේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය. තායිලන්තය හා වියට්නාමය වැනි අධික ජනගහණයක් ඇති ආසියාණු රටවල් කිහිපයක් ලොව වැඩිම මත්ස්‍ය නිෂ්පාදනය සඳහා දායකවීමය. ලොව පුරා ඇති යාන්ත්‍රික ධීවර යාත්‍රා (motorized fishing fleet) සංඛ්‍යාව මිලියන 2.1 ක් වන අතර එයින්ද 70% ක් පමණ ඇත්තේ ආසියානු රටවල්වලය.
ඍජුවම ධීවර කර්මාන්තයන්ට සම්බන්ධ පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද, මසුන් ගබඩා කිරීම, සැකසීම, අලෙවි කිරීම වැනි ධීවර කර්මාන්තයට වක්‍රව අදාළවන හා ඒවා සම්බන්ධ සේවාවල්වල යෙදී සිටින පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ පුද්ගලයින්ද සැළකිල්ලට ගතහොත් ලොව පුරා මිලියන 500 ක් (බිලියනයකින් අඩක්) පමණ සංඛ්‍යාවක් ධීවර කර්මාන්තයට සම්බන්ධව ඇතැයි මෙම වාර්තාව සඳහන් කරයි.
සාගරය මත්ස්‍ය සම්පතෙන් බහුලයැයි අප සාමාන්‍යයෙන් විශ්වාස කළද මෙම FAO වාර්තාවට අනුව එම මත්ස්‍ය ගහණයෙන් 52% ක්ම උපරිම තිරසාර මට්ටමට (Maximum Sustainable Level) නෙළා ගනිමින් පවතී. 19% ක් ප්‍රමාණය ඉක්මවා අල්ලා ගැනීමේ (over fishing) තර්ජනයට ලක්ව ඇත. ප්‍රමාණය ඉක්මවා ඇල්ලීම නිසා මත්ස්‍ය ගහණයෙන් 8%ක් පමණ මේවනවිට වඳවී (depleted) ගොස් ඇත. 1% ක් වඳවීමට ආසන්නව නැවතත් ප්‍රතිෂ්ඨාපනයවෙමින් පවතී (recovering from depletion). එම නිසා තර්ජනයක් නොමැතිව තවදුරටත් තිරසාරව නෙළාගත හැක්කේ එම මත්ස්‍ය සම්පතින් 20% ක් පමණි.
සාගරයේ හා මිරිදිය ජලාශවල මත්ස්‍ය සම්පත කෙතරම් අඩුවෙමින් පවතීද යත් ලොව පුරා සිටින ධීවරයින් සංඛ්‍යාව 2001 සිට 2006 දක්වා කාලය තුළ 12% කින් අඩුවී තිබේ. මේ නිසා අනාගතයේදී ධීවර ප්‍රජාවන්ට විකල්ප ජීවනෝපාය හඳුන්වාදීමේ අභියෝගයට මුහුණ දීමට බොහෝ රටවල් දැනටමත් සූදානම්වෙමින් සිටී.
ප්‍රමාණය ඉක්මවා මසුන් ඇල්ලීම හා දේශගුණික වෙනස්කම් නිසා ධීවර කර්මාන්තයට ඇතිවන අහිතකර බලපෑම් වැනි තත්වයන්ට මුහුණ දීමට ඇති හොඳම ක්‍රමය වන්නේ FAO සංවිධානයේ මූලිකත්වයෙන් 1995 දී හඳුන්වාදුන් ‘වගකීමකින් යුත් ධීවර කර්මාන්තයක් සඳහාවූ භාවිත සංග්‍රහය’ (Code of Conduct for Responsible Fishing Practices – CCRF) පිළිපැදීමයයි මෙම වාර්තාව පෙන්වා දෙයි. එහෙත් ගැටළුව වන්නේ මෙම භාවිත සංග්‍රහය හුදෙක් ස්වේඡාවෙන් අනුගමනය කළයුතු එකක්වීමය. එම නිසා ධීවර කර්මාන්තය තිරසාරව රැක ගැනීමට නම් මෙම භාවිත සංග්‍රහය ක්‍රියාවට නැංවීම සඳහා උචිත රීති සංග්‍රහයක් හඳුන්වාදීමට සියළුම රටවල රාජ්‍යයන් පෙරමුණ ගතයුතුවේ.
මූලාශ්‍රය:
ftp://ftp.fao.org/docrep/fao/011/i0250e/i0250e.pdf
2007 සංවර්ධන පුවත්




