ගෝලීය මූල්‍ය පද්ධතියට ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ආ එක්සත් ජාතින්ගේ සමුළුව විවේචනයට ලක්වේ
UN summit calling reforms in the global finance system criticized
(2009 ජූනි 28)
ගෝලීයව ඉස්මතුව ඇති වර්තමාන මුල්‍ය හා ආර්ථික අර්බුදය සංවර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේද හා එම අර්බුදයන් සඳහා මූල්‍යමය වශයෙන් ගතයුතු පිළියම් කවරේද යන්න සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ සමුළුවක් (United Nations Conference on the World Financial and Economic Crisis and Its Impact on Development) පසුගිය සතියේ ජූනි 24-26 දක්වා දින තුනක් තිස්සේ පැවැත්විණ. වර්තමාන අර්බුදයේ විපාකවලින් මිදීම සඳහා එක් එක් රටවල් හා ජාත්‍යන්තර ආයතන මගින් ක්‍රියාත්මතකළ යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ (financial reforms) පිළිබඳව මෙම සමුළුවේ අවධානය යොමුවූ අතර මූල්‍ය ප්‍රතිපත්ති හෝ මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුකළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැළකේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකල ඇමෙරිකානු නියෝජිතයා කියා සිටියේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සමුළු පැවැත්වීමට හෝ උපදෙස්දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශේෂඥ දැණුමක් හෝ බලයක් නොමැති බවයි.
එසේවුවද සමුළුව අවසානයේදී නිකුත්කළ ප්‍රකාශනය අනුව සංවර්ධනයට බලපාන වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු මූල්‍යමය ක්‍රියාමාර්ගවලදී එක්සත් ජාතීන්ගේ සමුළුවට පුළුල් කාර්යභාරයක් සඳහා ඉඩ ලැබෙණු ඇත.
මෙහිදී යෝජනාවූ ප්‍රධාන කරුණක් වන්නේ ප්‍රතිපත්ති සාධනයේදී හා තීරණ ගැනීමේදී සංවර්ධිත රටවල්වලට පමණක් සීමාවී තිබෙණ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතනද ප්‍රතිසංස්කරණයට භාජනය වෙමින් ඉදිරියේදී සංවර්ධනයවන රටවල්වලටද හා විශේෂයෙන්ම වැඩි කාන්තා සහභාගිත්වයකට ඉඩලබා දිය යුතුබවයි.
තවද වඩාත් කාර්යක්ෂම මූල්‍ය සංචිත (efficient financial reserves) ගොඩනැඟිමට ඉවහල්වන පරිදි දැනට ප්‍රචලිතව ව්‍යවහාරවන ඇමෙරිකාණු ඩොලරය වෙනුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල භාවිතාකරණ විශේෂිත ආදාන හිමිකම් (Special Drawing Rights – SDR) ඒකකය හඳුන්වාදියයුතුයැයි මෙහිදී යෝජනාවිය. මේ යෝජනාවට දැඩිව පක්ෂපාතවූ රටවල්වූයේ චීනය හා රුසියාවයි. එහෙත් මේ යෝජනාවට දැඩිව විරුද්ධවූ ඇමෙරිකානු නියෝජිතයා මෙවැනි ස්වාධීන ආයතන සම්බන්ධයෙන් හෝ ගෝලීය මූල්‍ය පද්ධතිය වෙනුවෙන් තීරණ ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලතල නොමැතියැයි කියා සිටියේය.
රටවල් 192 ක සාමාජිකත්වයක් ඇති එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙම සමුළුව` සඳහා රටවල් 140 ක පමණ නියෝජිතයන් සහභාගිවු අතර ඒ අතුරින් රටවල් 77 ක් අයත්වන්නේ G77 නමැති සංවර්ධනයවන රටවල කණ්ඩායමටය. එම G77 කණ්ඩායමේ රටවල්වල නියෝජිතයින්ට අනුව ගෝලීය ආර්ථික අර්බුදයට හා සංවර්ධනයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙම සමුළුවේදී සාකච්ඡාවට භාජනය කෙරුණද එය ප්‍රමාණවත් නොවූ අතර අපේක්ෂිත මට්ටමකට සමුළුවේ අරමුණු සාක්ෂාත්කර ගැනීමට නොහැකිවිය.
මෙම සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි කාර්ය සීමා ඉක්මවා යන්නේයැයි ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල් චෝදනා කිරීමත්, එහිදී යෝජිත මූල්‍ය ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ආධාර ඉහළ දැමීම යන කරුණු සම්බන්ධයෙන් සංවර්ධිත රටවලට කෙරුණු බලකිරීම් ප්‍රමාණවත් නොවේයැයි සංවර්ධනයවන රටවල නියෝජිතයින් හා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් චෝදනා කිරීමත් මෙහිදී දුටු විශේෂත්වයකි.
වර්තමාන ආර්ථික අර්බුදය තුළ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාවලියට හා විශේෂයෙන්ම මෙම අර්බුදයන් නිසා සංවර්ධනයවන රටවල රැකියා විරහිතභාවය උත්සන්නවීම වැනි ගැටළුවලට අවශ්‍ය පිළියම් පිළිබඳ කිසිදු සඳහනක් අවසාන යෝජනා අඩංගු වාර්තාවේ නොතිබිමද මෙම සංවිධානවල විවේචනයන්ට භාජනයවිය. එපමණක්ද නොව මෙම වාර්තාවේ යෝජනා - විශේෂයෙන්ම ආධාර වැඩිකළ යුතුයැයි සඳහන් යෝජනා පිළිගත යුතුයැයි බලකිරීමක් මෙම වාර්තාව මගින් සිදුනොවී ඇති පසුබිමක් තුළ සමුළු වාර්තාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුවේදැයි යන සැකයත් මතුවෙන බවද එම සංවිධාන පෙන්වා දෙයි. දුප්පත් රටවල්වලට මිත්‍රශීලි ප්‍රතිපත්ති සාධනය කිරීම සඳහා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වැනි ආයතනවලට මෙම සමුළුව හා එහි වාර්තාව මගින් කර ඇති බලපෑමද ප්‍රමාණවත් නොවේය යන්න තවත් විවේචනයකි.
මූලාශ්‍ර:
http://english.aljazeera.net/news/americas/2009/06/2009626195424388692.html
http://www.reuters.com/article/latestCrisis/idUSN26351379
http://www.un-ngls.org/spip.php?article1403 (ඡායාරූපය)
අපේක්ෂාකළ තත්වයට වඩා බරපතළව ඇති ගෝලීය ආර්ථික අර්බුදයෙන් වඩාත් පිඩාවට පත්ව ඇත්තේ සංවර්ධනයවන රටවල කාන්තාවන්ය. (Developing nations suffer most due to deepening global economic crisis) (2009 ජූනි 28) ලෝක ආර්ථික වර්ධන වේගය 2010 දී 2.3% ක් දක්වා පහල බසිනු ඇතැයි ලෝක බැංකුව දැනට මාස කිහිපයකට පෙර (මාර්තුවේදී) අනාවැකි පලකළද ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව එම වර්ධන වේගය ඊටත් වඩා (2.0% දක්වා) පහත වැටෙනු ඇත. ලෝක බැංකු ගණනය කිරීම්වලට අනුව ලෝකයේ ප්‍රධානම ආර්ථිකයන් ලෙස සැළකෙන ඇමෙරිකාවේ, ජපානයේ යා යුරෝපයේ වාර්ෂික ආර්ථික වර්ධන වේගයන් මේ වසරේදී 3.0%ක්, 6.8% ක් හා 4.5% ක් වශයෙන් පිළිවෙලින් පහත බසිනු ඇත. එපමණක්ද නොව ලෝක ආරථිකය පවත්වාගෙන යැමට තුඩුදෙන ප්‍රධානම සාධකයවන ගෝලීය වෙළඳාමද (Global trade) මෙම වර්ෂයතුළ 9.7% කින් පමණ පහළබසිනු ඇතැයිද ලෝක බැංකුව අපේක්ෂා කරයි. මෙසේ පහත වැටෙන ගෝලීය ආර්ථිකය තුළ දිළිඳු හා සංවර්ධනයවන රටවලට ගලායන මුදල් ප්‍රමාණය (ආයෝජනයන්, විදේශ රැකියා සම්ප්‍රේෂණ හා විදේශාධාර) සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙමින් පවතී. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 2007 වර්ෂයේදී ඇ.ඩොලර් බිලියන 1200 ක් පමණවූ විදේශ සේවා නියුක්තික මුදල් සම්ප්‍රේෂණ (foreign employee remittances) ප්‍රමාණය 2009 වර්ෂයේ ඇ.ඩොලර් බිලියන 363 ක් පමණ දක්වා (30% කින්) පහත වැටෙනු ඇත. වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (United Nations Conference for Trade and Development – UNCTAD) අනුව 2008 අගවනවිට සංවර්ධනයවන රටවල්වලට ආයෝජනයන් ලෙස ගලා එන මුදල් ප්‍රමාණය 21% කින් පමණ අඩුවී ඇති අතර, 2009 මුල භාගයේදී පමණක් එම ප්‍රමාණය 54% කින් අඩුවී තිබේ. සංවර්ධනයවන රටවල ආර්ථිකයට මෙම තත්වය බරපතළ ලෙස බලපානු ඇතැයි UNCTAD සංවිධානය අනතුරු අඟවයි. මෙවැනි කරුනු නිසා දිළිඳු හා සංවර්ධනයවන රටවල්වල දරිද්‍රතාවය, සාගින්න හා රැකියා විරහිතභාවය වැඩිවනු ඇත. මෙම නිසා 2009 වර්ෂයේදී සංවර්ධනයවන රටවල් සමස්ථයක් ලෙස අත්කරගනු ඇතැයි අපේක්ෂාකළ 2.1% ආර්ථික වර්ධන වේගය තවත් (1.2% ක් දක්වා) පහත බසිනු ඇතැයි ලෝක බැංකුව පෙන්වා දෙයි. මෙම වර්ෂයේ (2009) අවසාන භාගයවනවිට වර්තමාන ගෝලීය ආර්ථික අවපාතය ආපසු හැරී නැවත වර්ධන තත්වයකට පත්විය හැකිවුවද සංවර්ධිත රටවල්තුළ පාරිභෝගික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම බොහෝ කලක් යනතුරු අඩු මට්ටමක තිබෙනු ඇතැයි අනුමාන කෙරේ. එසේ සංවර්ධිත රටවල් භාණ්ඩ මිල පහත වැටී තිබෙනතුරු සංවර්ධනයවන රටවල්වල අපනයන ආදායමද අඩු මට්ටමක තිබෙනු ඇත. ගෝලීය ආර්ථිකය නැවතත් වර්ධන මාවතකට එළඹුනද ඒ මගින් වැඩි හා ඉක්මන් වාසි ලැබිය හැකි වන්නේ සංවර්ධිත පොහොසත් රටවල්වලට පමණක් නිසා දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලටද එසේ නැවත වර්ධනයවන ගෝලීය ආර්ථිකයේ වාසි ලබාගත හැකිවන අයුරින් දැන් සිටම අවශ්‍ය ආධාර ලබා දීමට පියවරගත යුතුයැයි ලෝක බැංකුවේ අදහසයි. මූලාශ්‍ර: http://www.bloomberg.com/apps/news?pid=20601087&sid=aa.G5sUn4lyo
|
පාරිභෝගික භාණ්ඩවල ගෝලීය වෙළඳපල දර්ශකය (මූලාශ්‍රය: http://www.wto.org/english/news_e/pres09_e/pr554_e.htm)
විදේශ සේවා නියුක්තික මුදල් සම්ප්‍රේෂණ වාර්ෂික වර්ධන වේගය (මූලාශ්‍රය: http://blogs.worldbank.org/peoplemove/)
සංවර්ධිත ආරථිකයන්වල වාර්ෂික වර්ධන වේගය (මූලාශ්‍රය:http://siteresources.worldbank.org/)
|
ජාත්‍යන්තර ආයෝජකයින්ට විකිණෙමින් තිබෙන දිළිඳු රටවල කෘෂිකාර්මික ඉඩම්
Agricultural land grab by international investors
(2009 ජූනි 25)
පසුගිය දශක කිහිපය තුළ වඩාත් ලාභදායීවූ හා ජාත්‍යන්තර ආයෝජකයන්ට (international investors) වඩාත් ආකර්ෂණීයවූ මෝටර් රථ, ගුවන්යානා, ඛණිජ තෙල් හා බැංකු වැනි වාණිජ අංශයන් 2008 වර්ෂයේදී උද්ගතවූ ගෝලීය මූල්‍ය අර්බුදයත් සමගම ඉතාමත් පසුගාමී හා අවදානම් සහගත තත්වයකට ඇදවැටී ඇති අතර කොටස් වෙළඳපලවල් හරහා එවැනි අංශවල මුදල් ආයෝජනය කළ ආයෝජකයින් හා එවැනි ආයෝජනයන් කළමනාකරණය කරන ආයෝජන සමාගම්ද (Investments managing companies) මේනිසා අතරමංවී ඇති තත්වයක් පෙනෙන්ට තිබේ. මෙම පසුබිම තුල නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කිරීමෙහි යෙදී සිටින ආයෝජකයින්ගේ අවධානයට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ලක්වී ඇති බවටද තොරතුරු අනාවරණයවෙමින් තිබේ.
කර්මාන්ත හා සේවා අංශ (industrial and service sectors) තරම් කෘෂිකර්මය ලාභදායී ආර්ථික අංශයක් නොවන්නේය යන මතය අනුව පසුගිය දශක කිහිපය තුලම කෘෂි අංශයෙහි ආයෝජනය කිරීමට පොද්ගලික ආයෝජකයින් පමණක් නොව ලෝක බැංකුව වැනි ජාත්‍යක්තර සංවර්ධන ආයතන පවා මැළිවිය. එම නිසාම කෘෂිකර්මය යනු ‘දුප්පත් ගොවීන්ටම සීමාවූ ජීවනෝපායක්’ ලෙස කොන්වී තිබිණ. එසේවුවද 2007 හා 2007 අවධියේදී සිට ඉස්මතුවු ගෝලීය මූල්‍ය අර්බුදයත්, ආහාර අර්බුදයත්, ජෛව ඉන්ධන සඳහාවූ බෝග වගාවත් හා කෘෂිද්‍රව්‍ය පදනම්වූ කර්මාන්ත සඳහාත් ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙන ඉල්ලුමත් හා සාම්ප්‍රදායික සේවා හා කර්මාන්ත අංශවල කඩාවැටීමත් හමුවේ කෘෂිකර්මය වාණිජ වශයෙන් වැදගත් අංශයක් ලෙස වර්තමානයේ ඉස්මතුවෙමින් පවතී.
මෙම මාසයේ මුල් භාගයේදී ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය සඳහාවූ අන්තර්ජාතික සංවිධානයද (OECD) ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසා සිටියේ වාණිජ ආයෝජනය සඳහා වර්තමානයේ ඇති හොඳම අංශය ලෙස කෘෂිකර්මය සැළකිය හැකි බවයි. කෘෂිකර්මාන්තය කෙරෙහි වර්තමාන ජාත්‍යන්තර ව්‍යාපාර අංශයෙහි අවධානය ලක්වී ඇත්ද යත් ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයෝජන සමාගම් කිහිපයක මෙහෙයවීමෙන් ‘Global Ag-Investing’ නොහොත් ගෝලීයව ඇති කෘෂි ආයෝජන අවස්ථා හඳුනාගැනීමේ විශේෂ සමුළුවක්ද මෙම සතියේ (2009ජූනි මස 22 හා 23) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පවත්වනලදී. ලෝකයේ අතිදැවැන්තම කෘෂිව්‍යාපාරික සමාගම්, JP Morgan Chase වැනි විශාල මූල්‍ය ආයෝජන සමාගම්, ලෝක බැංකුවට අනුබද්ධිත ව්‍යාපාරික ආයෝජනවල නියුතු IFC ආයතනය හා නෙදර්ලන්තයේ Rabo Bank වැනි ජාත්‍යන්තර සංවර්ධන බැංකුද මෙම සමුළුවට සහාභාගීවිය. මෙම සමුළුවෙහි වැඩි වශයෙන්ම අවධානය යොමුවූයේ කෘෂි ඉඩම් හා කෘෂි යටිතල පහසුකම් සඳහා ඇති ආයෝජන අවස්ථා කෙරෙහිය.
ගෝලීය වශයෙන් කෘෂිකර්මය කෙරෙහි ඇතිව තිබෙන අවධානය හා ආකර්ෂණය පිළිබඳව අප සතුටුවිය යුතුවිය යුතුවුවද ජාත්‍යන්තර වාණිජ ව්‍යාපාරික අංශය කෘෂි ඉඩම් සඳහා ආයෝජනය කිරීමට සූදානම්වීම ප්‍රවේශමින් සැළකිල්ලට ගතයුතු කරුණකි. එයට හේතුව දැනටමත් සමහර අප්‍රිකාණු, ලතින් ඇමෙරිකාණු හා ආසියාණු කලාවලවල දිළිඳු රටවල් කිහිපයක කෘෂි ඉඩම් අක්කර මිලියන ගණනක් චීනය, කොරියාව, ඉරානය හා ඊජිප්තුව වැනි පොහොසත් රාජ්‍යයන්ගෙන් (rich nation states) හා ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම්වලින් දීර්ඝ කාලීන බද්දට ගෙන කෘෂිවගාවන්ට මෙන්ම ජෛව ඉන්ධන භෝග වගාව සඳහාද යොදා ගෙන තිබීමයි. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (International Food Policy Research Institute – IFPRI) විසින් පළකර ඇති ප්‍රකාශනයකට අනුව 2006 – 2009 අතර කාලයතුළ පමණක් එවැනි විශාල පරිමානයේ කෘෂි ඉඩම් බද්දට ගැනීමේ ගනුදෙනු 54 ක් සිදුවී තිබේ. මේ අතර මැඩගස්කරයේ අක්කර මිලියන 3 ක් පමණ DAEWOO නමැති කොරියාණු සමාගම විසින්ද, සැම්බියාවේ අක්කර මිලියන 5 ක් චීන සමාගමක් මගින්ද මිලට ගැනීම වාර්තාවන අතර වඩාත් ආසන්නම අන්තර්ජාතික කෘෂි ඉඩම් ගනුදෙනුව වන්නේ එක්සත් අරාබි ජනරජයේ සමාගමක් විසින් පකිස්ථානයේ කෘෂි ඉඩම් අක්කර ලක්ෂ 8 ක් පමණ මිලට ගැනීමයි. මෙවැනි කෘෂි ඉඩම් අත්පත්කර ගැනීම සඳහා ඇ. ඩොලර් බිලියන ගණනක් ගෙවා ඇති බවද වාර්තාවේ.
ලෝකය පුරා මෙසේ කෘෂිකාර්මික ඉඩම් අත්පත් කිරීම පෙන්නුම් කරන වර්තමාන ඉඩම් කොල්ලකෑමේ සිතියම දෙස බැලුවහොත් විශාල වශයෙන් කෘෂි ඉඩම් අත්පත් කරගන්නා රටවල් වන්නේ සවුදි ඇරබියාව, එක්සත් එමීර් රාජ්‍යය, කොරියාව සහ චීනය බව පෙනී යයි. මේ අතර ඉන්දියානු සමාගමක්ද දකුණු ඇමෙරිකාණු රටක්වන පැරගුවේවල ඉඩම් හෙක්ටෙයාර් 10,000 පමණ බද්දට ගෙන ඇත. එහෙත් ඉදිරිකාලයේදී, නිව්යෝර්ක්වල පැවති සමුළුව වැනි ප්‍රයත්නවල ප්‍රතිඵලයන් ලෙස මෙම සිතියම විශාල වශයෙන් වෙනස්වී ඇමෙරිකාව හා නෙදර්ලන්තය වැනි රටවල් ඉඩම් අල්ලා ගන්නා රටවල් අතරට එක්වීමට ඉඩ ඇත.
කෘෂි ආහාර නිෂ්පාදනයේ නාමයෙන් සිදුවන මෙම විශාල පරිමාන කෘෂි ඉඩම් බද්දට ගැනීම 'අන්තර්ජාතික ඉඩම් මංකොල්ලයන්’ (international land grabs) ලෙස දැකිය හැක්කේ මෙවැනි කෘෂිකාර්මික ප්‍රයත්නයන් මගින් ඉඩම් අයිති රටට හා එම ඉඩම් සාම්ප්‍රදායිකව බුක්තිවිඳි දිළිඳු ගොවීන්ට සත්‍ය වශයෙන්ම සෙතක් සිදුනොවන නිසාය. මෙවැනි ඉඩම් ගනුදෙනු පිටුපස බොහෝවිට දේශපාලනඥයින් හා ඩොලර් මිලියන ගණන්වල අයථා කොමිස් ගැනීම්ද ඇති බවටද වාර්තාවේ. එවැනි පසුබිමක්තුළ එම ඉඩම්වල කෘෂි නිෂ්පාදන වැඩිමිලට අපනයන වෙළඳපලට ඇදීයනු ඇති අතර එමගින් ඉඩම් අයිති රටේ ආහාර සුරක්ෂිතතාවය අපේක්ෂිත පරිදි තහවුරු නොකෙරෙනු ඇත. එපමණක්ද නොව අවසානයෙදී සිදුවිය හැක්කේ දේශීය ගොවීන් අන්තර්ජාතික සමාගම්වල ගොවිබිම් කම්කරුවන් බවට පත්වීමය. 
මීටත් වඩා ඉස්මතුවන බරපතළම ප්‍රශ්නයවන්නේ මෙසේ අක්කර මිලියන ගණනින් යුත් ඉඩම්වල කෘෂිවගාවන් ලාභදායීව සිදුකිරීම සඳහා යාන්ත්‍රික ක්‍රම (mechanical methods) යොදා ගැනීමත්, අතිවිශාල ලෙස වාරිජලය සැපයීමට සිදුවීමත් හා විශාල වශයෙන් රසායනික පෙහොර හා කෘමිනාෂක යොදා ගැනීමත් නිසා සිදුවන පාරිසරික හානියයි. යාන්ත්‍රික හා විශාල පරිමාණ කර්මාන්ත ස්වරූපයේ කෘෂිකර්මය (large scale industrial agriculture) මගින් සිදුවන පරිසර හානිය ඉතා හොඳින් වටහාගෙන තිරසාර කෘෂිකර්මාන්තය සඳහා කුඩාප්‍රමාණයේ වගාවන් (small scale sustainable agriculture) ප්‍රචලිත කිරීම ලොව පුරා සිදුවෙමින් තිබෙන වර්තමානයේදී මෙවැනි විශාල ප්‍රමාණ කෘෂිවගාවන්ට යොමුවීම ඉතා අවසනාවන්ත ප්‍රවනතාවයක් ලෙස දැකිය හැකිය.
එහෙත් යතාර්ථය නම් ‘කුඩා ප්‍රමාණය’ යනු ව්‍යාපාර ප්‍රජාවට කොහෙත්ම නොගැලපෙන දෙයක්වීමය. වැඩිලාභ ලැබීමට නම් ව්‍යාපාර ප්‍රජාව ඒ සඳහා එළඹෙන්නේ විශාල පරිමානයෙනි. එහෙත් එවැනි ව්‍යාපාරික සමාගම් සඳහා තම රටවල්වල කෘෂි ඉඩම් බද්දට දෙන දේශපාලඥයින් අවබෝධ කරගතයුත්තේ අවුරුදු ගණනකට පසු තම රටවල්වලට ඉතිරි වන්නේ මුඩුවූ කාන්තාර වැනි බිම් පමණක්බවය.
මූලාශ්‍ර:
http://www.ifpri.org/pubs/bp/bp013.asp?utm_source=IFPRI+Media+Listserv&utm_campaign=d82d366929-Land_Brief_4_29_094_29_2009&utm_medium=email
http://www.reuters.com/article/ousiv/idUSTRE55K21220090621?pageNumber=1&virtualBrandChannel=0
http://www.thenews.com.pk/print1.asp?id=175135
http://www.theglobeandmail.com/servlet/story/RTGAM.20090505.wmadagascar05/BNStory/International/home
http://www.globaldashboard.org/wp-content/uploads/land_grab.jpg
http://www.ipsnews.net/news.asp?idnews=46724
http://www.treehugger.com/2183020327_b58ae4301a_o.jpg
වාණිජ බැංකු ක්ෂේත්‍රයට නව මඟකට තල්ලුකරණ ජාත්‍යන්තර තිරසාර බැංකු සම්මානය
Sustainable Banking award: Encourages paradigm shift for commercial Banks
(2009 ජූනි 11)
ව්‍යාපාරික තොරතුරු සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රචලිත ෆිනෑන්ෂල් ටයිම්ස් සඟරාව (Financial Times) හා ලෝක බැංකුවට අනුබද්ධිත අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (International Finance Corporation –IFC) හා එක්ව වාර්ෂිකව පිරිනැමෙන ‘තිරසාර බැංකු සම්මානය’ (Sustainable Banking award) 2009 වර්ෂය සඳහා හිමිව ඇත්තේ නෙදර්ලන්තයේ ‘ට්‍රියඩෝස්’ (Triodos) බැංකුවයි. එහි දෙවන ස්ථානය හිමිවන්නේ එක්සත් රාජධානියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවටය.
හතරවන වරට පරිනැමූ මෙම වාර්ෂික තිරසාර බැංකු සම්මානය සඳහා තෝරාගනු ලබන්නේ සමාජ සංවර්ධනය (social development), පාරිසරික සංරක්ෂණය (environment conservation) හා ව්‍යාපාරික යහපාලනය (corporate governance) වැනි ගුණාංග තම බැංකු ව්‍යාපාර ක්‍රියාවලිය තුළට අන්තර්ගත කිරීමේදී නායකත්වය (leadership) හා නිර්මාණශීලීබව (innovation) විදහාපාන බැංකු හා කුඩාමූල්‍යකරණ ආයතනයි.
මේ සඳහා සමස්ථ තිරසාර සම්මානයට අමතරව තවත් කාණ්ඩ කිහිපයක් සඳහාද සම්මාන පිරිනැමීම සිදුවිය.
සමස්ථ තිරසාර බැංකු සම්මානය (Sustainable Bank of the Year):
පළමු ස්ථානය - Tiodos Bank (නෙදර්ලන්තය)
දෙවන ස්ථානය - Standard Chartered Bank (එක්සත් රාජධානිය)
ආර්ථිකව ඉස්මතුව එන කලාපවල ඇති තිරසාර බැංකු සම්මානය (Sustainable Bank in emerging economies):
සමස්ථ ජයග්‍රාහක බැංකුව - Itau Unibanco (බ්‍රසීලය)
අප්‍රිකා/ මැදපෙරදිග කලාපීය ජයග්‍රාහක බැංකුව - Equity Bank (කෙන්යාව)
නැගෙනහිර යුරෝපා කලාපීය ජයග්‍රාහක බැංකුව- Industrial Development Bank (තුර්කිය)
ලතින් ඇමෙරිකා කලාපීය ජයග්‍රාහක බැංකුව- Itau Unibanco (බ්‍රසීලය)
මූලිකා අවශ්‍යතා (ආහාර, ජලය, නිවාස ආදිය) සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ පුරෝගාමිත්වය සඳහා සම්මානය (Achievement in basic need financing):
ජයග්‍රාහක බැංකුව- MicroEnsure (එක්සත් රාජධානිය)
දෙවන ස්ථානය - Water Capital (මෙක්සිකෝව)
අඩු ආදායම් හා දිළිඳු පුද්ගලයින් සඳහා බැංකු සේවා සැපයීමේ පුරෝගාමිත්වය සදහා සම්මානය (Achievement in Banking at the Bottom of the Pyramid):
ජයග්‍රාහක බැංකුව- Root Capital (ඇ. එකසත් ජනපදය)
දෙවන ස්ථානය - WIZZIT (දකුණු අප්‍රිකාව)
තිරසාර ආයෝජක සම්මානය (Sustainable investor of the year):
ජයග්‍රාහක ආයතනය- Global Environment Fund (UNDP)
දෙවන ස්ථානය - E+Co (ඇ. එකසත් ජනපදය)
ඉතාමත් ප්‍රබල ව්‍යාපාරික අංශයක්වන වාණිජ බැංකු ක්ෂේත්‍රය සාම්ප්‍රදායික මූල්‍ය තිරසාරත්වයෙන් ඔබ්බට ගෙන යමින් සමාජ හා පරිසරාත්මක තිරසාරත්වයද (social and environmental sustainability) ඒ තුළට අන්තර්ගත කිරීමට ගන්නා මෙවැනි ප්‍රයත්නයන්වල වටිනාකම වඩාත් ඉස්මතුවන්නේ වර්තමාන ගෝලීය අර්බුදයත් හා දිනෙන් දින තීව්‍ර වෙමින් තිබෙණ දේශගුණික විපර්යාසවල බලපෑමත් නිසාය.එම නිසා බැංකුවලටම සාම්ප්‍රදායිකවූ ආයෝජන ඇගයීම්වලින් (traditional investment appraisals) බැහැරව රටක තිරසාර සංවර්ධනයට බාධා පමුණුවන සමාජ හා පාරිසරික අවදානම් අවම කළ හැකි ආයෝජනයන් කෙරේද වාණිජ බැංකු යොමුවිය යුතු කාලය පැමිණ ඇත.


ශ්‍රී ලංකාවෙන් මේ සඳහා ලැබෙණ හොඳම උදාහරණයක් වන්නේ අතිශයින්ම වාණිජවූ ‘කොමර්ෂල් බැංකුව’ සුළං හා ජල විදුලි වැනි ප්‍රතිජනන බලශක්තිය නිපදවන ව්‍යාපෘති (renewable energy projects) සඳහා ආයෝජන ණය පහසුකම් සැපයීමට සූදානම්ව තිබීමයි. මෙවැනි ප්‍රතිජනන බලශක්ති උත්පාදනය කිරීම මගින් බල ශක්තිය සදහා ෆොසිල ඉන්ධන භාවිතය අඩුවන අතර එය දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඉමහත් පිටිවහලක්වනු ඇත. එහෙත් මෙවැනි නව ප්‍රයත්නයන් බෙහෙවින්ම අවදානම් සහිත ව බැවින් කොමර්ෂල් බැංකුව සමග එම අවදානම සමානව බෙදාගැනීමට ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය ගිවිසුමකට එළඹ තිබේ.
මූලාශ්‍රය:
www.ftconferences.com/sustainablebanking
ඡායාරූප:
ttp://www.aussieindolanka.com/disimage.asp?newsid=79932
නිර්මාණශීලීම සංවර්ධන ව්‍යාපෘතිය සඳහාවූ ජපාන GDN තිළිණ ප්‍රදානය සඳහා 2009 වර්ෂයට අයදුම්පත් කැඳවීම ඇරඹේ
Entry open for the GDN –Japan Award for Most Innovative Development Project
(2009 ජූනි 8)
The Global Development Network (GDN) නමැති අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ හා ප්‍රතිපත්ති ජාලයේ ජපාන ආයතනය මගින් ඉතාමත්ම නිර්මාණශීලී සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වාර්ෂිකව ලබාදෙන ප්‍රදානයට 2009 සඳහා ඉල්ලුම්පත් කැඳවීම අරඹා ඇත. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ ජපානයේ මුදල් අමාත්‍යාංශයයි.
සංවර්ධනයවන රටවල්වල 2007ට පෙර ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතීන් මේ සඳහා සුදුසුකම් ලබන අතර අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මකකර තිබිය යුතුවන්නේ අදාල රටේම ප්‍රධාන කාර්යාලය ඇති සංවිධානයක්විය යුතුය. 2007 ට පසුව ක්‍රියාත්මක කිරීම ඇරඹූ හෝ සැලසුම්කිරීමට අදහස් කරන ව්‍යාපෘතිවලට මේ සඳහා ඉදිරිපත්විය නොහැක.
ජයග්‍රහණය කරණ ව්‍යාපෘතියට ඇ.ඩොලර් 30,000 ක ප්‍රදානයක් හිමිවන අතර 2010 ජනවාරි මසදී චෙක් ජනරජ අගනුවර පැවැත්වෙන GDN ජාලයේ වාර්ෂික සමුළුවට සහභාගිවීමටද අවස්ථාව සැළසෙනු ඇත.
මෙය තරඟකාරී තේරීමක්වන වන අතර විශිෂ්ඨම සංවර්ධන ව්‍යාපෘතිය තෝරා ගැනීම සඳහා භාවිතා කරන ඇගයීම් දර්ශක (assessment criteria) වන්නේ:
- නිර්මාණශීලී බව/ නව්‍යතාවය (Creativity/Innovativeness) : අදාළ ව්‍යාපෘතිය හා එහි ක්‍රමවේදය අනිකුත් ව්‍යාපෘති සමග සැසඳීමේදී ඉස්මතුවී දැකිය හැකි නිර්මාණශීලී ලක්ෂණ මොනවාද?
- අරමුණ හා ප්‍රථිඵල මිණීම (Objective & Measuring Results) : ව්‍යාපෘතියේ මූලික අරමුණ කුමක්ද? ඒ අරමුණ ලඟා කරගැනීමට අවශ්‍ය ප්‍රතිඵල ලඟා කරගත්තාද යන්න මැණීම සඳහා භාවිතාකළ මිණුම් දඬු මොනවාද?
- ව්‍යාපෘති සැලැස්ම හා ආයතනික ධාරිතාවය (Project Design & Organizational Capacity): ව්‍යාපෘතිය සඳහා නිශ්චිත පියවරයන්ගෙන් සමන්විත හා වර්ෂයකදී පමණ ප්‍රථිඵල ලඟාකර ගැනීමට ඉවහල්වන ප්‍රායෝගික සැලැස්මක් ඇද්ද? එම සැලැස්ම ක්‍රියාත්මක කරගැනීම සඳහා අවශ්‍ය ආයතනික හැකියාව අදාළ සංවිධානයට තිබේද?
- සමාජ ප්‍රතිලාභ හා තිරසාරත්වය (Social Impact & its Sustainability): කෙටි හා දීර්ඝ කාලීනව දිළිඳුකම තුරන් කිරීම හා සංවර්ධනය කරායෑම සඳහා අදාළ ව්‍යාපෘතිය දායකත්වයක් ලබා දෙන්නේද? එසේ ලබා ගන්නා සමාජ ප්‍රතිලාභ කෙතරම් දුරට තිරසාරව පවත්වාගෙන යාහැකිද? එසේ ව්‍යාපෘති ප්‍රතිලාභ තිරසාරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සංවිධාන ශක්තිය / ධාරිතාවය තිබේද?
- ප්‍රතිගුණන හැකියාව (Replicability) : අදාළ ව්‍යාපෘතිය කෙතරම් දුරට වෙනත් ප්‍රදේශවල, කළාපවල, රටවල්වල හා වෙනත් සමාජ-සංස්කෘතික පසුබිම් තුළ ප්‍රතිනිර්මාණයකර ක්‍රියාත්මක කළ හැකිද?
- පිරිවැය කාර්යක්ෂමතාවය (Cost Efficiency): අදාළ ව්‍යාපෘතියෙහි එක් එක් නිමැවුම් (outputs) සඳහා වැයවූ මුදල් ප්‍රමාණයන් කෙතරම් කාර්යක්ෂමද?
- ධාරිතා වර්ධනය (Capacity building): අදාල ව්‍යාපෘතිය නොකඩවා පවත්වාගෙන යැම සඳහා ප්‍රතිලාභීන්ට අවශ්‍ය දැනුම හා කුශලතාවන් වර්ධනය කළාද? ප්‍රතිලාභීන් කෙතරම්දුරට තම දැනුම හා කුශලතාවය වර්ධනය කර ගැනීමට උනන්දුවූවාද?
- ප්‍රතිලාභී / ප්‍රජා අයිතිය (Local Ownership): අදාළ ව්‍යාපෘතිය මගින් වත්කම් හෝ යටිතලපහසුකම්වල අයිතිය කෙතරම් දුරට ප්‍රතිලාභී ප්‍රජාවටම ලබා දුන්නාද? නැතහොත් එසේ ලබාදීමට සැලසුම්කර තිබේද?
- ප්‍රතිලාභ වර්ධනාත්මකව ව්‍යාප්තවිමේ හැකියාව (Growth Potential & Scalability) : අදාළ ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභ වැඩි පුද්ගල සංඛ්‍යාවකට හෝ භූගෝලීයව ව්‍යාප්තවීමට ඉඩකඩ තිබේද?
- ඵලදායී බව (Effectiveness): ප්‍රථිලාභී ප්‍රජාව හෝ ප්‍රදේශය තුළ දැනටමත් යම් යම් සංවර්ධන ප්‍රථිඵල අත්කරදීමට අදාළ ව්‍යාපෘතිය සමත්වී තිබේද?
ඉල්ලුම් කිරීමේ අවසාන දිනය 2009 අගෝස්තු 24 වැනිදා වන අතර ඒ පිළිබඳ වැඩිවිස්තර පහත සඳහන් වෙබි අඩවි මගින් ලබාගත හැක.
ඉල්ලුම් කිරීම සඳහා තොරතුරු: http://www.gdnet.org/cms.php?id=2009_awards_medals_announcement
පසුගිය (2000 සිට) වර්ෂවල තෝරාගත් ව්‍යාපෘති පිළිබඳව තොරතුරු සඳහා http://www.gdnet.org/cms.php?id=competitions
අරමුදල් හිඟයකට මුහුණදෙමින් සිටින සාර්ථකම අන්තර් ජාතික සෞඛ්‍ය වැඩසටහන
Global Fund to fight AIDS, Tuberculosis and Malaria suffers from fund shortage
(2009 ජූනි 7)
ලෝකයේ පොහොසත් රටවල් වල තුළ පැතිර ගිය මූල්‍ය අර්බුදය (financial crisis) හා සූකර උණ (swine fever) වැනි තර්ජනයන් පිළිබඳව ඉතා කඩිනම් හා තීව්‍ර අනතුරු ඇඟවීමක් අන්තර්ජාතික ප්‍රජාවතුළ සිදුවුවද අප්‍රිකාව හා ආසියාව වැනි කලාප වල දුප්පත් රටවල්වල සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන විශාල තර්ජනයක් පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාවතුළ ඇත්තේ නිහැඬියාවකි. එම තර්ජනය වන්නේ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 140 ක HIV ඒඩ්ස් , ක්ෂය රෝගය (Tuberculosis) හා මැලේරියාව (Malaria) යන බරපතළ රෝග ත්‍රිත්වය පාලනය කිරීමටත් එම රෝගවලට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීමටත් සඳහා ආධාර ලබා දෙන ගෝලීය අරමුදලෙහි The Global Fund to Fight AIDS, Tuberculosis and Malaria මුදල් හිඟවීමයි. 2002 පමණ කාලයේ සිට වර්ධනයවූ මෙම මූදල් හිඟය මේවන විට ඇ.ඩොලර් බිලියන 2 ක් දක්වා ඉහළ ගොස් ඇත. මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සංවර්ධිත පොහොසත් රටවල් ආයෝජනය කරන ඩොලර් බිලියන සිය ගණන් දෙස බලනවිට මෙම ගෝලීය අරමුදලට අවශ්‍ය ඩොලර් බිලියන 2 ක ඉතාමත් සුළු ප්‍රමාණයක් වුවද ඒ මගින් ආරක්ෂාකර ගත හැකි ජීවිත සංඛ්‍යාව මිලියන ගණනක් බව අන්තර්ජාතික ප්‍රජාව කඩිනමින් අවබෝධ ගතයුතුය.
පසුගිය වර්ෂ 7 ක පමණ කාලයතුළ මෙම ගෝලීය අරමුදල මගින් HIV ආසාදිතයන් මිලියන 2 ක් සඳහා අවශ්‍ය ඖෂධද, ක්ෂයරෝගය වැළඳුන පුද්ගලයින් මිලියන 4.6 ක් සඳහා ඖෂධද, මැලේරියාව ව්‍යාප්තවන ප්‍රදේශවල පවුල් සඳහා මදුරුනාශක බෙහෙත් ගල්වනලද මදුරුදැල් මිලියන 70 ක්ද ලබාදීමට හැකිවී ඇත. ඒ අනුව බලන කල පසුගිය වර්‍ෂ හත තුළ ලෝකයේ කිසිදු ආයෝජන අරමුදලක් මගින් මෙතරම් සංඛ්‍යාවකගේ ජීවිත ආරක්ෂාකර ගැනීමට පුළුවන්වුනිදැයි යන්න සැක සහිතය.
මෙම ගෝලීය අරමුදලට ලැබෙන ප්‍රදානයන්ගෙන් 50%ක්ම පමණ ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. අනික් 50% ලැබෙන්නේ වෙනත් බහුපාර්ශවීය දායක ආයතනවලින් හා ඒකපාර්ශවීය දායක රටවල්වලිනි. මෙම ගෝලීය අරමුදලට 2009 වර්ෂය සඳහා ඩොලර් මිලියන 900 ක දායකත්වයක් ඇමෙරිකාවෙන් ලැබුනද 2010 ටත් එම ප්‍රමාණයම පමණක් ලබා දීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබීම නිසා කිසිවිටෙකත් එම ගෝලීය අරමුදලට අවශ්‍ය එහෙත් හිඟ ඩොලර් බිලියන 2 ලබා ගැනීමට අපහසුවනු ඇතැයි ගණන් බලා තිබේ. ඇමරිකාව මීට වඩා සාධනීය (positive) පියවරක් ගෙන තම වාර්ෂික දායකත්වය වැඩිකළහොත් මෙම අරමුදලට දායකවන අනිකුත් පොහොසත් රටවල්ද එම පියවරම ගනිමින් තම දායකත්වයන්ද වැඩිකරනු නිසැකය. එහෙත් අවාසනාවකට මෙන් වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය නිසා ඇමෙරිකාවේ ආධාර ලබාදීමේ ප්‍රමුඛත්වය (aid priority) ලැබී ඇත්තේ බැංකුවලට හා General Motors වැනි බංකොලොත් මෝටර් රථ සමාගම් කෙරෙහිය.
මෙම ගෝලීය අරමුදල අදාළ රටවල්වල රාජ්‍ය සෞඛ්‍ය ආයතන හා සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන මගින් පෙන්නුම් කරන සාර්ථකවත්ය නිසාම ඒ සඳහා අවශ්‍ය හිඟ අරමුදල් සොයාදීම කෙරෙහි එක්සත් ජාතින්ගේ සංවිධානයේ අවධානයද යොමුවී ඇත. මේ සඳහා විශේෂයෙන්ම පෞද්ගලික දානපතියන්ගේ (philanthropists),ව්‍යාපාරික අංශවල (business sectors) හා පුද්ගල මට්ටමේ අරමුදල් (private donations) රැස්කිරීමේ ප්‍රචාරක ව්‍යාපාර කිහිපයක් දියත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එයට අනුබද්ධ සංවිධාන කිහිපයක් සැරසේ. මීට අමතරව ‘ළමා එන්නත් බැඳුම්කර’ (Child vaccine bonds) වැනි මූල්‍ය ආයෝජනයන් හඳුන්වාදීමටද මෙම සාමුහික ප්‍රයත්නය මගින් අපේක්ෂා කෙරේ. මෙම සාමූහික මුදල් රැස් කිරිමේ ප්‍රයත්නය පිටිපස සිටින්නේ දැනටමත් ගෝලීය අරමුදලට මුදල් සපයන කණ්ඩායම් කිහිපයකි. ඒවා නම්: Global Business Coalition on HIV/AIDS, Tuberculosis and Malaria; Global Alliance for Vaccines and Immunization (GAVI); International Finance Facility for Immunization (IFFIm).
දිළිඳු රටවල සෞඛ්‍ය කටයුතු සඳහා අරමුදල් හිඟවීමේ ගැටළුව කෙතරම් බරපතළද යත් එක්සත් රාජධානියේ අගමැතිවරයා හා ලෝක බැංකු සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘දිළිඳු රටවල සෞඛ්‍ය කටයුතු සඳහා අරමුදල් එක්රැස්කිරීමේ කාර්ය සාධක කමිටුවක්ද (High-Level Taskforce on Innovative International Financing for Health Systems) මෑතකදී පිහිටුවීමට සිදුවිය. දැනට සතියකට පෙර (මැයි 29 දා) මෙම කාර්ය සාධක කමිටු රැස්වීමේදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා සිටියේ දිළිඳු රටවල සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මෙම හිඟ අරමුදල් ලබා දීමට අපොහොසත් වුවහොත් වර්ෂයකට ළමයින් මිලියන 4 ක් හා වැඩිහිටියන් ලක්ෂ 5 ක් වළකාගතහැකි රෝගයන්ගෙන් (preventable diseases) මියයාහැකි බවයි.
2007 සංවර්ධන පුවත්





.jpg)

