සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

2009 ඉන්දිරා ගාන්ධි සාම සම්මානය බිල් ගේට්ස්ට
2009 Indira Gandhi Peace prize awarded to Bill Gates

(2009 ජූලි 26)

ඉන්දියාව විසින් වාර්ෂිකව පිරිනමන ඉන්දිරා ගාන්ධි සාම ත්‍යාගය මේවර පිරිනැමුණේ මයික්‍රොසො‍‍ෆ්ට් ආයතනයෙහි සම-නිර්මාතෘ බිල් ගේට්ස් වෙතය. සාමය (Peace), නිරායුධකරණය (Disarmament), සංවර්ධනය (Development) හා නව ආර්ථික මාවතක් (a new economic order) හඳුන්වාදීම යන කරුණු සඳහා කැපවන පුද්ගලයින් හා සංවිධාන වෙත මෙම ඉන්දිරා ගාන්ධි සම්මානය පිරිනමණු ලබයි. මේ සම්මානය සඳහා බිල් ගේට්ස් තෝරා ගෙන තිබෙන්නේ පසුගිය කාලයතුළ ඔහු සහ ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් මහත්මිය මෙහෙයවන බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම  මගින් ඉන්දියාවේ සංවර්ධන ව්‍යාපෘති හා විශේෂයෙන්ම සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සඳහා ලබාදී ඇති අතිවිශාල මූල්‍ය අනුග්‍රහය සැළකිල්ලට ගනිමිනි.

ලොවපුරා සෞඛ්‍ය සංවර්ධන කටයුතු සඳහා පමණක් ඇ. ඩොලර් බිලියන 12 ක් පමණ වැය කරණ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මේ දක්වා ඉන්දියාවට ලබාදි ඇති ආධාර ප්‍රමාණය ඇ. ඩොලර් බිලියනයක් පමණවීම විශේෂත්වයක්වන අතර එම මුදල්වලින් විශාල ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ  ඇත්තේ ඒඩ්ස් රෝගය වැළැක්විම හා පෝලියෝ රෝග නිවාරණය සඳහාය.

මූලාශ්‍රය:
http://www.google.com/hostednews/ap/article/ALeqM5ioXwx7Kh04FJVBuL6tqnrAUk449QD99LEKGO0


දිළිඳු රටවල් නිදහස් වෙළඳපල ආර්ථිකයෙන් තරමක් දුරට බැහැරවිය යුතුය
Poor countries should move away from free market approach

(2009 ජූලි 25)

වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට (UN Conference on Trade and Development - UNCTAD) අනුව මෑතකදී ඉස්මතුවූ ගෝලිය ආර්ථික අර්බුදය නිසා 2006 – 2007 අවධියේදී දිළිඳු රටවල්වල සංවර්ධනයට පාදකවූ අපනයන වෙළඳාම (exports), වි‍දේශ නියුක්තික මුදල් සම්ප්‍රේෂණය (foreign remittances) හා විදේශාධාර (foreign aid) වැනි සාධකයන් බොහෝමයක් අඩපණවිය. UNCTAD වලට අනුව මෙම ගෝලීය අර්බුදයට ප්‍රධාන හේතුව සංවර්ධිත රටවල් අනුගමනයකළ පාලනයකින් තොර නිදහස් වෙළඳපල මුල්කරගත් නව ලිබරල් සංවර්ධන මොඩලයවන (free market oriented neo-liberal development model) අතර සංවර්ධනයවන රටවල් තවදුරටත් එම සංවර්ධන ආකෘතිය මත රැඳී සිටීමෙන් පලක් නොවනු ඇත.

ඉතාමත් දිළිඳු - විශේෂයෙන්ම අප්‍රිකාණු රටවල් බොහොමයක් සංවර්ධිත රටවලට භාණ්ඩ අපනයනය (commodity exports) කිරීමෙන් හෝ සංචාරක කර්මාන්තය වැනි සිමිත සේවා කිහිපයක් මත රැඳී සිටි අතර ගෝලීය අර්බුදය නිසා සංවර්ධිත රටවල භාණ්ඩ වෙළඳපල (commodity markets in developed countries) කඩාවැටීමෙන් හා සංචාරකයන් නොපැමිණීමෙන් උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත. මෙම තත්වය වඩාත් උග්‍රවන්නේ එවැනි ඉතා දිළිඳු රටවල් තම ආහාර ද්‍රව්‍ය ආනයනය (food imports) කිරීම සඳහා භාණ්ඩ අපනයන ආදායම මත යැපී සිටින බැවිනි. මීට අමතරව ආර්ථික අර්බුදය නිසා සංවර්ධිත රටවල්වලින් දිළිඳු රටවලවලට යැවෙන විදේශාධාර ප්‍රමාණයද සැළකියයුතු මට්ටමකින් අඩුවීම දිළිඳු රටවල්වලට ඉතාමත් අහිතකර ලෙසින් බලපා ඇත. 

UNCTAD වලට අනුව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතනවලින් ලබාදෙන උපදෙස් මත උද්ධමනය පාලනය කරමින් (controlling inflation), අයවැය පරතරයන් අඩුකරමින් (reducing budget deficits) හා පෞද්ගලික අංශයට ආර්ථිකය විවෘත කරමින් දිළිඳු රටවල් කටයුතුකළද වර්තමාන අර්බුදය හමුවේ එම රටවල් පිළිසරණක් නොමැති අසරණ තත්වයකට පත්ව ඇත. එහෙත් එම රටවල් අනුගමනයකළ නිදහස් වෙළඳපල ප්‍රතිපත්ති අනුව පෞද්ගලික අංශය මගින් අපේක්ෂාකළ ආයෝජනයන්ද සිදුනොවූ අතර වර්තමාන මූල්‍ය අර්බුදයතුළ සිදුවූයේ පෞද්ගලික ව්‍යාපාර අංශය බේරා ගැනීමට රජයන්ට මැදිහත්වීමට සිදුවීමයි.

එම නිසා වර්තමාන ගෝලීය ආර්ථික පසුබැස්ම හොඳ අවස්ථාවක් කරගනිමින් නව ලිබරල් සංවර්ධන ආකෘතියෙන් මිදී රාජ්‍ය ආයෝජන (public investments) කේන්ද්‍රීය කරගත් සංවර්ධන මාවතකට දිළිඳු රටවල් එළඹිය යුතුයැයි UNCTAD වල අදහසවේ. මෙයින් අදහස් කරන්නේ වෙළඳපල මාවතෙන් සහමුලින්ම ඉවත්වූ රාජ්‍ය විසින් පමණක් පාලනය කරන ආර්ථිකයක් කරා යෑම නොවන බව අවධාරනය කරන UNCTAD දිළිඳු රටවල්වල රජයන් විසින් යම්දුරකට විදේශ විනිමය හා ප්‍රාග්ධනය පිටතට ගලායෑම පාලනය කළයුතු අතර මාර්ග, විදුලිය හා සන්නවේදන යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා රාජ්‍ය වියදම් සාපේක්ෂකව වැඩිකළ යුතුය. එවැනි ක්‍රියාමාර්ග මගින් දීර්ඝ කාලීනව එම රටවල්වල දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවනු අතර මූලික අවශ්‍යතා සඳහා විදේශ ආදායම් මතම යැපී සිටීමට සිදු නොවනු ඇත.

එහෙත් ආරම්භයේදී දිළිඳු රටවල්ට මුහුණදීමට සිදුවිය හැකි ගැටළුව වන්නේ රාජ්‍ය වියදම් සඳහා අවශ්‍ය තරම් මුදල් නොතිබීමයි. සාමාන්‍යයෙන් රාජ්‍ය වියදම් සඳහා මුදල් ලැබෙන්නේ බදුවලින් වුවද දිළිඳු රටවල බදු ආදායම එම රටවල දළ ජාතික ආදායම හා සසඳනවිට එතරම් විශාල ප්‍රමාණයක් නොවේ. එමනිසා මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ලබා ගන්නා ණය ආධාර, ගෙවුම් ශේෂය (balance of payments) සමතුලිතව තබා ගැනීමට භාවිතාකිරීමට අමතරව රාජ්‍ය අංශය මගින් සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය සදහා යොදා ගන්නේ නම් එය දිළිඳු රටවල්වල දීර්ඝ කාලීන උන්නතිය සඳහා ප්‍රයෝජනවත්වනු ඇත.

මූලාශ්‍රය:
http://news.bbc.co.uk/2/hi/business/8154121.stm


ධීවර නිෂ්පාදනය ඉහළ දැමීමට ඉන්දියාව දරණ උත්සාහය
India plans to enhance its fish production considerably

(2009 ජූලි 24)

වර්තමානයේ ටොන් මිලියන හතක පමණ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනයක් ඇති ඉන්දියාව එම නිෂ්පාදන ප්‍රමාණය ඉදිරි වර්ෂ 3 ඇතුළතදී 40% කින් පමණ වැඩි කිරීමට සැලසුම් කරමින් සිටී. වර්ෂයකට සාගර මත්ස්‍ය අස්වැන්න (marine fish catch) ටොන් මිලියන 2.9 ක් හා මිරිදිය අංශයෙන් (inland sector) ටොන් මිලියන 4.2 ක් පමණ ලබාගන්නා ඉන්දියාව ලෝකයේ තෙවන විශාලම සාගර මත්ස්‍ය නිෂ්පාදන රටවන අතර ලෝකයේ දෙවන විශාලම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන රට ලෙසද සැළකේ. එසේවුවද එම නිෂ්පාදන ප්‍රමාණයෙන් සෑහීමකට පත්නොවන ඉන්දියාව තම රටේ මත්ස්‍ය නිෂ්පාදනය මෙන්ම එයින් ලැබෙන ආදායමද ඉදිරි වර්ෂ 3 තුළදී විශාල වශයෙන් ඉහළ දැමීමට අපේක්ෂා කරයි.

මේ සඳහා දේශීය වෙළඳපල මෙන්ම අපනයන වෙළඳපලද ඉලක්ක කරගත් ඒකාබද්ධ මත්ස්‍ය නිෂ්පාදන වැඩසටහනක් වෙත ඉන්දියාවේ සියළුම ප්‍රාන්තවල අවධානය යොමු කරවීමේ ප්‍රයත්නයක් මේ මස මුලදී ආරම්භවිය. මෙම වැඩසටහන තුළින් සාම්ප්‍රදායික කුඩාපරිමාණ ධීවරයාගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ සිට විශාල පෞද්ගලික සමාගම් මගින් ශීත ගබඩා (cold storage) පවත්වාගෙන යෑමත් දේශීය හා අපනයන වෙළඳපල සදහා මසුන් සැකසීමත් වැනි විශාල පරාසයක්තුළවූ  ධීවර කටයුතු සංවර්ධනය කිරීම සිදුවනු ඇත.

පසුගිය දශකයක් පමණ කාලයතුල වෙරළාසන්න කලාපයට පමණක් සීමාවූ ඉන්දියානු සාගර මත්ස්‍ය නිෂ්පාදනය කිසිදු වර්ධනයකින් තොරව එකම මට්ටමේ පැවතීම ප්‍රධාන අභියෝගයක් ලෙස සළකමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම (deep sea fishing) පුළුල් කිරීම කෙරෙහිද ඉන්දියාවේ අවධානය යොමුවී ඇත.

මීට අමතරව ඉතා ආකර්ෂණීය 6% ක පමණ වාර්ෂික වර්ධන වේගයක් සහිත මිරිදිය හා කිවුල්දිය (fresh and brackish water) මත්ස්‍ය හා ජලජීවී නිෂ්පාදනයද තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සැලසුම් කරන ඉන්දියානු ධීවර බලධාරීන් පවසන්නේ ඒ සඳහා ප්‍රයෝනයට ගතහැකි මිරිදිය ජලාශ හා පොකුණු වැනි ජල ප්‍රභවයන්ගෙන් 40% ක් හා කිවුල්දිය ජලාශවලින් 13% ක් පමණක්  දැනට භාවිතා කරන බවය. එම නිසා සියළුම ප්‍රාන්ත රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් ප්‍රයෝජනයට ගත හැකි ජලජීවී වගා ජලාශ ප්‍රමාණය වැඩිකිරීමටද ඉන්දියාව අපේක්ෂා කරයි. මත්ස්‍යයන්ට අමතරව ඉන්දියානු ජලජීවී වගාවෙන් වැඩිපුරම නිෂ්පාදනය වන්නේ කරඅඬු ඉස්සා වන අතර (Tiger prawn) මෙයින්ද සෑහීමකට පත් නොවන ඉන්දියාව කකුළුවන් (crabs) හා මොදා (sea bass) වැනි මත්ස්‍යයන් වගා කිරීම ප්‍රචලිත කිරීම කෙරෙහිද අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවේ.   

තම වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය හා එහි අගය විශාල වශයෙන් වැඩිකිරීමට අපේක්ෂාකරන ඉන්දියාව ඒ සඳහා රාජ්‍ය-පෞද්ගලික සංයුක්ත සහභාගිත්ව මොඩලය (Public Private Partnership -  PPP model)  යොදා ගැනීමට සැලසුම් කිරීම විශේෂත්වයක් ලෙස දැකිය හැක. ඒ මගින් ධීවර කර්මාන්තයට අදාල පෞද්ගලික ආයෝජනයන් දිරිගැන්වෙන අතර නිෂ්පාදන (production) , ගබඩා කිරීම් (storage) සැකසුම් (processing) හා වෙළඳපල (market) යටිතල පහසුකම් ඉදිකිරීම, කළමනාකරණය හා නඩත්තුව සඳහා පෞද්ගලික අංශයට වැඩි අවකාශයක් ලැබෙනු ඇත. ප්‍රතිපත්ති සාධනය හා ධීවර ව්‍යාප්ත සේවය (Fisheries extension services) ශක්තිමත් කිරීම රාජ්‍ය අංශයේ මූලික වගකීමක් වනු ඇත.

මෙම ධීවර සංවර්ධන වැඩසටහන දියත් කිරීම සම්බන්ධයෙන් මෙම මස මුල් සතියේදී පැවැත්වූ සමුළුවක් අමතමින් ඉන්දියානු ධීවර ඇමතිවරයා ප්‍රකාශ කලේ මෙසේ ක්‍රියාත්මක කෙරෙන සියළුම ධීවර සංවර්ධන ප්‍රයත්නයන් පරිසර හිතකාමී (environment friendly) අයුරින්ද, ජෛව විවිධත්වය ආරක්ෂාවන (protecting bio-diversity) ලෙසින්ද හා විවිධ ප්‍රජා කොටස් කෙරෙහි සාධාරණ වනසේද (equitable) සිදුවිය යුතු බවයි.

http://orissadiary.com/CurrentNews.asp?id=13242

හරිතාගාර වායු මුදාහැරීම අඩුකිරීම පිළිබඳවූ මතභේද මැද G8 දේශගුණික විපර්යාස සාකච්ඡා බිඳවැටේ.
Disagreement on reducing greenhouse gas emissions grinds G8 climate talks to a halt

(2009 ජූලි15)

පසුගිය සතියේදී ඉතාලියේදී අවසන්වූ ලෝක ආර්ථික බලවතුන්ගේ G8 සමුළුවෙන් ලෝක ප්‍රජාව අපේක්ෂාකළ ප්‍රධාන කරුණක්වූයේ මුළු මහත් ගෝලිය ප්‍රජාවට පමණක් නොව සියළු ජෛව හා පරිසර පද්ධතියන්ට තර්ජනයක්ව පවතින දේශගුණික විපර්යාස අවම (climate change reduction) කිරීමට මූලිකවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් එකඟතා හා තීරණයන්ට එළඹේය යන්නය. ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය මෙතරම්ම යොමුවීමට හේතුව මේ වර්ෂය අවසානයේදී (2009 දෙසැම්බර් මස) ඩෙන්මාකයේ කොපන්හේගන්වල පැවැත්විමට නියමිත ජගත් දේශගුණික විපර්යාස සමුළුවේදී (UN climate change talks) ලෝක ආර්ථික බලවතුන් හැසිරෙන ආකාරය පිළිබඳව මෙම G8 සමුළුවෙන් යම් ඉඟියක් ලැබෙතැයි යන අනුමානයයි. එහෙත් අවසානාවකටමෙන් මෙම සමුළුවේදීද දේශගුණික විපර්යාස අවම කිරීමට තුඩු දෙන කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට G8 නායකයින් අපොහෝසත්විය.

මෙහිදී රැස්වූ ආර්ථිකව බලවත් සංවර්ධිත රටවල් 8 හා ආර්ථිකව නැඟී එන සංවර්ධනයවන රටවල් 9 ක් තම රටවල් මඟින් වෙන වෙනම ලඟාකරගතයුතු ගෝලීය උණුසුම අඩුකිරීමට තුඩු දෙන ඉලක්ක නිශ්චිතව ප්‍රකාශ කිරිමට මැළිවිය. ගෝලීය උෂ්ණත්වය පූර්ව-කාර්මීකරණ කාලයේ තිබූ මට්ටමට (pre-industrial level) වඩා  සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් ඉක්මවා කිසිසේත් වැඩිනොවිය යුතුයැයි හා 2050 වනවිට සියළුම රටවල්වලින් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය සමස්ථයක් ලෙසින් 50% කින් අඩුකළයුතුයැයි යන තීරණවලට G8 සමුළුවට සහභාගිවූ සියළුම රටවල් එකඟවිය. මේ සඳහා දායකත්වය ලෙසින් තම රටවලින් මුදා හැරෙන වායු ප්‍රමාණය 2050 වනවිට 80% කින් අඩුකිරීමටද සංවර්ධිත රටවල් මුලදී එකඟගත්වය පළකළේය.

ආර්ථිකව බලවත් G8 රටවල්වල නායකයින්ගේ මතයවූයේ වනවිට 2050 වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය 50%කින් අඩුකිරීමේ ඉලක්කය වෙත යාමේ ප්‍රයත්නයට අනිවාර්යෙන්ම චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා මෙක්සිකෝව වැනි කාර්මිකව හා ආර්ථිකව නැඟී එන සංවර්ධනයවන රටවල්ද දායකවියයුතු බවයි. එසේ නොවුනහොත් තම රටවල් මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය 80%කින් අඩු කිරීමට G8 රටවල් ගන්නා ප්‍රයත්නයෙන්ද කිසිදු ප්‍රථිපලයක් නොවනු ඇතැයි ඔවුන් විශ්වාසයයි.

එහෙත් තම රටවල්වලින් මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම ප්‍රතික්ෂේප කරන ආර්ථිකව නැඟී එන සංවර්ධනයවන රටවල් ප්‍රකාශ කරන්නේ එසේ කළහොත් කාර්මික හා ආර්ථිකව සංවර්ධනයවී දිළිඳුකම දුරැලීමට තම රටවල් ගන්නා උත්සාහය අසාර්ථකවී දරිද්‍රතාවය තුළ හිරවී සිටීමට සිදුවනු ඇතැයි යන්නයි. එම නිසා  සංවර්ධිත රටවල් හා සමග එකවරම හා එකම වේගයෙන් හරිතාගාර වායු ප්‍රමාණය අඩුකළයුතුයැයි සංවර්ධනවයන රටවල්වලට කරන බලකිරීම අසාධාරණයැයි එම රටවල නියෝජිතයින් ප්‍රකාශ කර ඇත. ඔවුන්ට අනුව සංවර්ධිත රටවල් මෙන් හරිතාගාර වායු පිටකරමින් කාර්මිකරණයවී පොහොසත්වීමට සංවර්ධනයවන රටවල්වලටද ඉඩදිය යුතුය. වෙනත් අන්දමකින් සංවර්ධනයවන රටවල් ප්‍රකාශ කරන්නේ දශක බොහෝ ගණනක් සංවර්ධිත රටවල් වායුගෝලය දූෂණයකළ වරදට තම රටවල්වල සංවර්ධනය පාවා නොදිය යුතුය යන්නයි.

වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය අඩුකිරීම සම්බන්ධයෙන් සංවර්ධනයවන රටවල් දරන විරෝධාකල්පය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉතාලි අග්‍රාමාත්‍යවරයා මෙම සමුළුවේදී විමසා සිටියේ ලෝකයේ බිලියන 5 ක් පමණ ජනයා (සංවර්ධනයවන රටවල ජනගහණය) පෙර පරිදිම හරිතාගාර මුදා හරිනවානම් පෙහොසත් රටවල් 8 ක් (G8 රටවල්) පමණක් එම ප්‍රමාණය අඩුකිරීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද යන්නය.

හරිතාගාර වායු මුදා හැරීම අවම කිරීම සම්බන්ධයෙන් සංවර්ධිත පෙහොසත් රටවල් හා සීඝ්‍රව සංවර්ධනයවන රටවල් අතර මතුවූ ‍මෙම මතභේදයේ අශුභම ප්‍රතිඵලයවූයේ 2050 වනවිට තම රටවල් මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය 80% කින් අඩුකිරීමට සංවර්ධිත රටවල් මුලදී පළකළ එකඟතාවයද බිඳ වැටී එය අවසාන සමුළු ප්‍රකාශනයට ඇතුලත් නොවීමයි. එම නිසා ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස අඩුකිරීම සම්බන්ධයෙන් මේවර G8 සමුළුව ලබාගත් එකම ජයග්‍රහණය වන්නේ ගෝලීය උණුසුම පූර්ව කාර්මීකරණ අවධියේ මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් ඉක්මවා යෑමට ඉඩ නොදිය යුතුය යන තීරණයට එළඹීම පමණය.

පූර්ව කාර්මිකරණයට අවධියේ තිබූ මට්ටමට වඩා වර්තමාන ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.8 කින් වැඩි අතර, විද්‍යාඥයින්ට අනුව දැනටමත් වායුගෝලයට මුදාහැර ඇති හරිතාගාර  වායු ප්‍රමාණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉදිරියේදී සෙන්ටිග්‍රේඩ් අංශක 0.6 කින් වැඩිවීම අනිවාර්යෙන්ම සිදුවනු ඇත. එම නිසා අපට වළක්වාගන්නට ඇත්තේ ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.6 කින් වැඩිවීම පමණි. ඒ සඳහා ගෝලීය ප්‍රජාවට එකඟවීමට ඇති හොඳම අවස්ථාව විය හැක්කේ මෙම වර්ෂයේ (2009) දෙසැම්බර් මස කෝපන්හේගන්වල පැවැත්වීමට නියමිත ජගත් දේශගුණික විපර්යාස සමුළුවයි. එහෙත් මෙවර G8 සමුළුවේදී ඉස්මතුවූ මතභේදවලින් පෙනී යන්නේ ජගත් ප්‍රජාව එම අවස්ථාවද මගහැරගණු ඇති බවයි.

මූලාශ්‍ර:

http://www.nytimes.com/2009/07/09/world/europe/09prexy.html?_r=2&hp
http://www.ft.com/cms/s/0/2ded2ba2-6c84-11de-a6e6-00144feabdc0,dwp_uuid=1491273a-66fd-11de-925f-00144feabdc0.html
http://www.breakingnews.ie/world/g8-leaders-in-crunch-climatechange-talks-418004.html (ඡායාරූපය)


එක්සත් රාජධානි විදේශාධාර සඳහාවූ නාමය UKAid යනුවෙන් වෙනස්වේ
United Kingdom rebrands its international aid as UKAid

(2009 ජූලි 11)

එක්සත් රාජධානියෙන් සැපයෙන විදේශාධාර හැඳින්වීමට භාවිතාකළ කෙටි නාමය වන DfID (Department for International Development) වෙනුවට UKAid (United Kingdom’s Aid) යන නාමය භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය රජය තිරණයකර තිබේ. මෙම නාමික වෙනස් කිරීමට හේතුව DfID යන නම මගින් එම විදේශාධාර ලබා දෙන්නේ එක්සත් රාජධානියයැයි නිශ්චිතව නොහැ‍ඟෙන නිසාය. ඇමෙරිකාව තම විදේශාධාර USAID හා කැනඩාව තම විදේශාධාර CIDA ආදී වශයෙන් බොහෝ ආධාර ලබාදෙන රටවල් තම විදේශාධාර ඒජන්සි තම රටවල්වල අනන්‍යතාවය පිළිබඹුවන ලෙස නම් කර ඇත. එම නිසා තම රටින් ලබා දෙන විදේශාධාර සඳහාද නිශ්චිත අනන්‍යතාවයක් සහිත නමක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ අන්තර්ජාතික සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමහර සංවර්ධන ආයතන කියා සිටින්නේ නමට වඩා විදේශාධාරවල වැදගත්වන්නේ අවශ්‍ය අවස්ථාවන්හිදී, අවශ්‍ය ප්‍රමාණයට, කාර්යක්ෂමව, ඵලදායි ලෙසින් හා විනිවිදව පෙනෙන ලෙස එම ආධාර ලබාදීම බවයි. එහෙත්  එක්සත් රාජධානියේ අන්තර්ජාතික සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුව උදාහරණයක් ගෙන දක්වමින් පෙන්වා සිටින්නේ පකිස්ථානයේ භූමිකම්පාවෙන් අවතැන්වූ පුද්ගලයන්ට තාවකාලික නිවාස තැනීමට DfID මගින් අවශ්‍ය මුදලින් 55% ක් වැයකළමුත් එම අවතැන්වූ පුද්ගලයින් සිතා සිටින්නේ ඒවා ලබාදුන්නේ නෝර්විජියාවෙන් පමණක්ය යන්නය. එසේ භුමිකම්පාවවූ ප්‍රදේශවලට ගිය එක්සත් රාජධානි නියෝජිතයින්ටම අවතැන්වූවන් කියා ඇත්තේ ඔවුන් නොර්විජියාවට ස්තුතිවන්තවන බවය. එයට හේතුව ඉතිරි මුදල වැය කර ඇති නොර්විජියාණු සරණාගත සභාව (Norwegian Refugee Council) මගින් එම ස්ථානවල ඔසවා ඇති ධජය තුලින් ‘නෝර්විජියාණු’ අනන්‍යතාවය කැපී පෙනෙන නිසාය.

එක්සත් රාජධානියේ අන්තර්ජාතික සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත්කළ ධවල පත්‍රිකාවක් මගින් UKAid යන නව නාමය ප්‍රකාශ කෙරුණ අතර එම පත්‍රිකාව තුළින්  බ්‍රිතාන්‍ය විදේශාධාර ප්‍රමාණයේ හා ප්‍රතිපත්තිවලද පැහැදිලි වෙනස්වීම්ද දැකිය හැක. නව නම්කිරීමත් සමගම එක්සත් රාජධානියේ අන්තර්ජාතික සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුවේ ලාංඡනයද වෙනස් කර ඇත (නව ලාංඡනය දකුණු පස රුපසටහණින් දිස්වේ)

මූලිකව දැකිය හැකි සුභවාදී වෙනස වන්නේ විදේශාධාර සදහා එක්සත් රාජධානිය 2010-2011 සඳහා වෙන්කර ඇති මුදල පවුම් බිලියන 9.0කට ආසන්නවීම වන අතර එම ප්‍රමාණය 2009/10 සඳහා වෙන්කළ ප්‍රමාණයට වඩා පවුම් බිලියන 2.8 කින් වැඩිය. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන දළ ජාතික ආදායමෙන් 0.7% ක් විදේශාධාර ලෙස ලබාදීමේ ඉලක්කය 2013 වන විට සඵල කරගැනීම‍ට එක්සත් රාජධානිය සමත්වන බව පෙනීයයි.

මීට අමතරව අභ්‍යන්තර ගැටුම් අවසන්කරමින් සංවර්ධනය සඳහා සූදානම්වන රටවල් (countries emerging from conflicts) සඳහා ලබන වර්ෂයේදී පවුම් බිලියන එකක පමණ (ඇ.ඩොලර් බිලියන 1.6 ක් පමණ) ආධාර ප්‍රමාණයක් ලබාදීමට UKAid සූදානම්වන බවක්ද වාර්තාවේ. මෙවැනි පශ්චාත් ගැටුම් සහිත රාජ්‍යයන් 20 ක් පමණ හඳුනාගෙන ඇති අතර එම රටවල්වල පොලිස් හා අධිකරණ පද්ධති සංවර්ධනය කිරීමටද අවිබිම තැබූවන් හා සේවයෙන් ඉවත්වන සොල්දාදුවන්ට රැකියා බිහිකිරීමේ ප්‍රයත්නවලටද මෙම ආධාර යොදා ගැණෙනු ඇත.

මාතෘ හා ළදරු මරණ, හා  පාසැල් නොයන ළමුන්ගේ ප්‍රතිශතයන් අවම කිරීම සඳහාවු 2015 දී දිළිඳු හා සංවර්ධනයවන රටවල් ලඟාකරගතයුතු සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals) සපුරා ගැනීම සඳහා UKAid  විශේෂ අවධානයක් යොමු කරණ බවක්ද වාර්තාවේ.

මූලාශ්‍ර:
http://www.dfid.gov.uk/About-DFID/Quick-guide-to-DFID/How-we-do-it/What-is-UKaid/
http://www.independent.co.uk/news/uk/home-news/britains-help-to-the-third-world-to-be--rebranded-ukaid-1731251.html
http://news.bbc.co.uk/2/hi/uk_news/politics/8135413.stm


ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂාකිරීම සඳහා දිළිඳු රටවල දේශීය තිරසාර කෘෂිකර්මය නඟා සිටුවීමට G8 සමුළුවේදී ඇ.ඩොලර් බිලියන 20 ක ආධාර
G8 pledge US$ 20 Billion to poor countries to produce their own food in a sustainable manner

(2009 ජූලි 10)

මෙම මස (ජූලි ) 7සහ 8 යන දින දෙක පුරා ඉතාලියේ පැවති G8 නමැති ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම රටවල් අටේ ( ඇමෙරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව හා ජපානය) නායකයන්ගේ සමුළුව කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුවීමට කරුණු තුනක් ප්‍රධාන වශයෙන් හේතුවිය. ඒවා නම්:

  • කාර්මිකරණය මගින් අධික ලෙස වායුගෝලයට නික්මවන හරිතාගාර වායු (green house gases) නිසා ඉහළ යන ගෝලීය උණුසුම හේතුකොට ගෙන ඉස්මතුවන දේශගුණික විපර්යාස (climate change) අවම කිරීම සඳහා G8 රටවල් කුමන ආකාරයේ යෝජනා හා එකඟතාවලට පැමිණේද? හා එම යෝජනා හෝ එකඟතා මෙම වර්ෂය අවසානයේ කොපන්හේගන් නුවර පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස සමුළුව (Climate Change summit in Copenhagen) කෙරෙහි කෙසේ බලපාන්නේද යන්නත්,
  • ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ දිළිඳු රටවල් මුහුණ දෙන දරිද්‍රතාවය හා ආහාර අර්බුදය පිටුදැකිම සඳහා පොහොසත් හා සංවර්ධිත රටවල් කුමන අන්දමේ සහයක් දක්වයිද යන්නත්, හා
  • මූල්‍ය හා ආර්ථික අර්බුදයකට මැදිවී සිටින පොහොසත් සංවර්ධිත රටවල් තම රටවල් විසින් සංවර්ධනයවන රටවලට ලබාදීමට බැදී සිටින විදේශාධාර සම්බන්ධයෙන් කුමන තීරණවලට එළඹේද යන්නත්ය.

මෙම ආර්ථිකව බලවත්ම රාජ්‍යයන් අටට අමතරව G5 නමින් හැඳින්වෙන ආර්ථිකව ඉස්මතුවවන රටවල් කණ්ඩායම (බ්‍රසීලය, ඉන්දියාව, චීනය, මෙක්සිකෝව හා දකුනු අප්‍රිකාව) හා ඊජිප්තුවද මෙම සමුළුවේ නිරීක්ෂක රටවල් ලෙස සහාභාගිවීම විශේෂත්වයක් විය.

දෙදිනක්පුරා පැවති මෙම G8 සමුළුව අවසානවනවිට දේශගුණික විපර්යාස හා විදේශාධාර සම්බන්ධයෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණ නමුත් දිළිඳු රටවල්වල ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා සතුටුදායක අන්දමේ ප්‍රතිචාරයක් ලැබිණ. සමුළුව අවසානයේ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ආර්ථික බලවතුන් කියා සිටියේ ගෝලීය ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා ඉදිරි වර්ෂ 3 තුළදී ඇ. ඩොලර් බිලියන 20 ක ආධාර ලබාදෙන බවය.

මෙසේ ලබා දෙන ආධාරවලින් සුළු කොටසක් විවිධ ආපදා තත්වයන් තුළදී ලබා දෙන ද්‍රව්‍යමය ආහාර ආධාර (material food aid) වනු ඇති අතර වැඩි කොටසක් වෙන්වනුයේ දිළිඳු හා හානිදායක රටවල් (poor and vulnerable countries) මගින් සැලසුම් කෙරෙන තිරසාර කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සඳහාය. දිළිඳු රටවල් මගින් තම රටවල්වලට අවශ්‍ය ආහාර තම රටවල්තුළම තිරසාරව නිෂ්පාදනය කිරීම සඳහා ආධාර විශාල ප්‍රමාණයක් ලබා දීමට ලෝක ආර්ථික බලවතුන් ගත් මෙම තීරණය බොහෝ රටවල් හා ජාත්‍යන්තර ආයතනවල පැසසුමට ලක්වී ඇත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ප්‍රධානියාට අනුව මෙය ඉතා වැදගත් හා ‍ඓතිහාසික  තීරණයක් වන අතර ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙහි ප්‍රතිපත්තිවල ප්‍රධාන වෙනසක් සනිටුහන් කරණ අවස්ථාවක් ලෙස මෙය දැකිය හැක.

සමුළුව අවසානයේ G8 නායකයින් ඇමතූ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා සිටියේ මෙයින් නොනැවතී සංවර්ධිත රටවල් ලබා දෙන විදේශාධාරවලින් 17%ක් වත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වෙන් කරණ ලෙසය. 1970 දශකයේ ආසියාණු හා ලතින් ඇමෙරිකානු රටවල් මුහුණ දුන් සාගතයෙන් මිදීමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ එවක ලබාදුන් විදේශාධාරවලින් 17%ක්ම කෘෂිකර්මය සඳහා වැය කිරීම බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහුගේ මෙම ප්‍රකාශයට හේතුවන්නේ 1980 වනවිට විදේශාධාරවලින් කෘෂිකර්මයට වෙන්වූ 17% පමණ ආධාර ප්‍රමාණය වර්තමානයේදී 5% ටත් වඩා පහළ බැස තිබීමය (දකුණුපස ග්‍රැෆික් සටහන බලන්න).

දැනටමත් ලෝකයේ ජනගහනයෙන් බිලියනයක් පමණ දරිද්‍රතාවයෙන් හා සාගින්නෙන් පෙළෙන අතර වර්තමානයේ බිලියන 6.5 ක් පමණවන ලෝක ජනගහණය 2050 වන විට බිලියන 9 ක් පමණ වනවිට ආහාර නිෂ්පාදනයද  දෙගුණයකින් වැඩිකිරීමට අවශ්‍ය අභියෝගය හමුවේ කෘෂිකර්මයට වෙන්කෙරෙන විදේශාධාර ප්‍රමාණයද සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවිය යුතුයැයි යන්න පිළිබඳ කිසිදු විවාදයක් නොමැත.

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේවුවද තිරසාර දේශීය කෘෂිකර්මය නඟා සිටුවීම සඳහා දිළිඳු රටවල්වලට ඩොලර් බිලියන 20 ලබාදීමට ගත් තීරණය පිළිබඳව ලෝක ආර්ථික බලවතුන්ට පැසසුම් කළ යුතුය. එහෙත් පසුගිය දශකයතුළ බොහෝ ආධාර දෙන රටවල් තම ආධාර-පොරොන්දු (aid promises) පැහැරහැර ඇති නිසාවෙන් මෙවර G8 සමුළුවේදී ලබාදීමට පොරොන්දුවූ ඩොලර් බිලියන 20 වත් නියමිත පරිදි ලබාදුනහොත් එම රටවල් පිළිබඳ කඩවී ඇති විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත.

මූලාශ්‍ර:  
http://www.fao.org/news/story/en/item/24457/icode/
http://www.reuters.com/article/homepageCrisis/idUSLA521526._CH_.2400
http://www.g8italia2009.it/G8/Home/News/G8-G8_Layout_locale-1199882116809_1246708087198.htm (ඡායාරූපය)


ගෝලීය ආර්ථිකය අර්බුදය හමුවේ මුලින්ම රැකියා අහිමිවිය හැක්කේ කාන්තාවන්ගේය
Women workers are often first to be laid off during the global economic crisis

(2009 ජූලි 8)

වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය හේතුකොට ගෙන සංවර්ධිත රටවල්වල තුළ පාරිභෝගික භාණ්ඩ සදහා ඇති ඉල්ලුම පහළ බැස ඇති බැවින් සංවර්ධනයවන රටවල්වල ඇති අපනයන මුල්කර ගත් ඇඟළුම් හා ඉලෙක්ටොනික වැනි කර්මාන්තද අර්බුදයකට මැදිවී ඇත. මෙම තත්වය තුළ සංවර්ධනයවන රටවල්වල සමහර කර්මාන්ත හා ඒවාට සම්බන්ධ සේවා ක්ෂේත්‍ර තුළ රැකියා අහිමිවීම පිළිබඳව ප්‍රවෘත්ති නිරන්තරයෙන් වාර්තාවේ. මේ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් එළිදක්වන එක්සත් රාජධානියේ ඔක්ස්ෆැම් (Oxfam UK) ආයතනය පෙන්වා දෙන්නේ වර්තමාන ගෝලීය අර්බුදය නිසා ඉස්මතුවන විරැකියා තත්වයෙන් වඩාත් පිඩාවට පත්වන්නේ කාන්තාවන් බවය.

මේ පිළිබඳව උදාහරණ කිහිපයක් උපුටා දක්වන මෙම අධ්‍යයන වාර්තාව ඉන්දියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලා දේශය හා කාම්බෝජය වැනි රටවල අපනයන ක්ෂේත්‍රතුළ රැකියා අහිමිවන පුද්ගලයින්ගෙන් 60% ත් 80% ත් අතර ප්‍රමාණයක් කාන්තාවන් බව පෙන්වා දෙයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව වර්තමාන ගෝලිය අර්බුදය නිසා මෙම වර්ෂයතුලදී පමණක් සංවර්ධනයවන රටවල කාන්තාවන් මිලියන 22 කට පමණ රැකියා අහිමිවිය හැකියැයි පෙන්වා දෙයි.

සාමාන්‍යය තත්වයන්තුළ වුවද ඉතාමත් අඩු පහසුකම් හා වේතන ලබන කාන්තාවන් වර්තමාන විරැකියා පසුබිම තුළ දැඩි ලෙස පීඩාවට පත්වන වනබව පෙන්වා දෙන මෙම වාර්තාව එසේ විරැකියාවට පත්වන බොහෝ අවස්ථාවලදී ඔවුන්ට පූර්ව දැනුම් දීමක් හෝ අනුමත වන්දි ගෙවීම්ද නොකරන බවද සඳහන් කරයි. රැකියා අහිමි නොවුවද මූල්‍යමය වශයෙන් අපහසු තත්වයට පත් බොහෝ කර්මාන්තශාලාවල වේතන ‍ගෙවීම් පමාවීමද, අතිකාල දීමනා කපා හැරීමද හා වෙනත් පහසුකම් අඩු කිරීමද නිසා සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අනිකුත් සාමාජිකයින්ද දැඩි අසීරුතාවයනට පත්වේ. මෙහි වඩාත්ම අවසානාවන්ත තත්වය වන්නේ රැකියා අහිමිවන අවස්ථාවලදී හෝ පහසුකම් අඩුකරන අවස්ථාන්වලදී මුලින්ම ඒ සඳහා ගොදුරුවන්නේ කාන්තාවන් වීමයි. කාන්තාවන් මෙසේ විරැකියාවට පත්වීම, ඔවුන්ගේ රැකියාවල ආදායම් මට්ටම අඩුවීම හා රැකියාවන් සම්බන්ධයෙන් කාන්තාවන් මුහුණදෙන අවිනිශ්චිත හා අවදානම් බව බෙහෝ දුප්පත් පවුල්වල දරිද්‍රතාවය වැඩිවීමට හා ජීවන තත්වය පහළ බැසීමට ඍජුව බලපාන බව නොරහසකි.

වර්තමාන ගෝලීය ආර්ථක අර්බුදය නිසා සැළකිය යුතු පුද්ගලයින් සංඛ්‍යාවකට රැකියා අහිමිවුවද නොයෙකුත් රාජ්‍ය අනුග්‍රාහික වැඩසටහන් මගින් අළුත් රැකියා ජනිත කිරීමට හැකිව ඇතැයි සමහර රටවල් වලින් වාර්තාවේ. පිලිපීනයෙන් ලැබෙන වාර්තාවකට අනුව කාන්තාවන් වැඩි ප්‍රතිශතයක් නියෝජනයවන ඇඟළුම් හා ඉලෙක්ට්‍රෙනික අංශවල 42,000 කට රැකියා අහිමිවුවද රජය මගින් ක්‍රියාත්මකකරන යටිතල පහසුකම් ඉදිකරන ව්‍යාපෘතියක් මගින් 41,000 කට රැකියා අවස්ථා ලබා දී ඇත. එසේම ශ්‍රී ලංකාවේද 2009 පළමු කාර්තුවේ පමණක් ඇඟළුම්, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත අංශවල 192,000 කට රැකියා අහිමිවූ නමුත් එම කාලය තුළ කෘෂිකාර්මික හා සේවා අංශවල නව රැකියා 203,000 ක් ජනිතවූ බව වාර්තාවේ. එහෙත් මෙම ඔක්ස්ෆැම් වාර්තාව පෙන්වා දෙන්නේ කාන්තාවන් වැඩි ප්‍රතිශතයක් නියෝජනයවන අංශවල රැකියා විරහිත වන නමුත් අළුතින් රැකියා ජනිතවන්නේ කාන්තාවන් අඩුවෙන් නියෝජනයවන අංශවල බවයි. එම නිසා කාන්තා විරැකියාව වැඩිවීමට එය හේතුවක්වනු ඇත.

මෙම පසුබිම තුළ ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීම සඳහා ගනුලබන සියළුම වැඩහටහන් තුළ කාන්තාවන්ගේ විරැකියාව හා වෙනත් ආර්ථික අවදානම් අවම කිරීමට අවශ්‍ය පියවරයන් අනිවාරයෙන්ම අඩංගු කළ යුතුය.

මූලාශ්‍රය:
http://www.oxfam.org.uk/resources/policy/economic_crisis/downloads/impact_economic_crisis_women.pdf