සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා අරමුදල් ගොඩ නැගීමට ලෝක බැංකුවෙන් ප්‍රථම වරට ‘හරිත බැඳුම්කර’ නිකුත් කරයි
World Bank’s first ‘green bonds’ launched to raise funds for climate action projects

(2009 ජනවාරි 23)

වාර්ෂිකව වැඩිවන ගෝලිය උණුසුම, දේශගුණික විපර්යාස, ස්වාභාවික විපත් හා ඒ මගින් ඇතිවන සමාජ හා ආර්ථික පසුබෑම් හමුවේ පරිසර හිතවාදී චර්යාවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුගමනය කිරීමට ගෝලීය ප්‍රජාවට සිදුවී තිබේ. මේ පසුබිම තුළ ලෝකයේ සියළුම රටවල පාහේ විවිධ ආයතන දේශගුණික විපර්යාස අවම කිරීමේ විවිධ ක්‍රියාකරකම් (climate action) සඳහා එළඹ තිබෙණ අතර වරින්වර ඒ සඳහා නවක්‍රමවේදයන්ද හඳුන්වා දෙමින් සිටී. මේ අතුරින් අසන්නට ලැබෙණ නවතම ප්‍රවෘත්තිය ලැබෙන්නේ ලෝක බැංකුව මගින් මෑතකදී හඳුන්වාදුන් ‘හරිත බැඳුම්කර’ (green bonds) මගින් පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා අවශ්‍ය අරමුදල් එකතුකිරීමේ ක්‍රමයයි. මෙම හරිත බැඳුම්කර සංකල්පය වර්ෂ කිහිපයක පටන් ඇමෙරිකාණු මූල්‍ය ප්‍රජාව තුළ රැව්දුන් නමුත් අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මකවූ ප්‍රථම අවස්ථාව මෙයවිය හැක.

රාජ්‍ය (භාණ්ඩාගාර) බැඳුම්කර (Treasury Bonds – T Bonds)  හෝ වාණිජ බැංකු බැඳුම්කර (Bank bonds) නිකුත් කිරීම මගින් මුදල් ආයෝජනය කරන්නන්ට විශ්වාසදායක දීර්ඝ කාලීන ස්ථිර තැන්පතුවකට ඉඩ ලබාදෙන  ලබාදෙන සංකල්පයම ලෝක බැංකුව මගින් නිකුත් කරන ලද ‘හරිත බැඳුම්කර’ තුළද දක්නට ඇත. එහෙත් ‘හරිත බැඳුම්කරයක’ විශේෂත්වය වන්නේ එසේ ආයෝජනය කරන මුදල් අනිවාර්යෙන්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියකට යොදවන බවට දෙන ප්‍රතිඥාවයි.

ලෝක බැංකුව මගින් මෙසේ ප්‍රථම වතාවට ස්වීඩනයේ කොටස් තැරැව්කාර බැංකුවක් (stock brokering Bank) හරහා ඇ. ඩොලර් මිලියන 350 ක හරිත බැඳුම්කර නිකුත් කිරීමට සමත්විය. පරිසරය මුල්කරගත් තිරසාර සංවර්ධනය හා සමාජ වගකීම් පිලිබඳ උනන්දුවක් දක්වන විවිධ ආයතන කිහිපයක් මගින් ලබා ගන්නා ලද අවුරුදු 6 කින් කල් පිරෙන මෙම බැඳුම්කර සඳහා ස්වීඩන භාණ්ඩාගාර බැඳුම්කරවලට වඩා වැඩි පොලී අනුපාතයක් ලැබෙනු ඇත. එසේම මෙම හරිත ආයෝජන එම ආයතනවල ව්‍යාපාරික සමාජ වගකීම් (corporate social responsibilities - CSR) ඉටුකිරීමටද දායකවනු ඇත.

මෙම හරිත බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගන්නා ලද අරමුදල්  ලෝක බැංකුව විසින් සංවර්ධනයවන රටවල් තුළ ක්‍රියාත්මක කෙරෙන පහත සඳහන් අන්දමේ පාරිසරික (හරිත) ව්‍යාපෘති සඳහා යොදවනු ඇත.

  • හරිතාගාර වායු නික්මීම අඩුකිරිම සඳහා දැනට පවතින බලාගාර ප්‍රතිසංස්කරණය කිරීම
  • සූර්ය හා සුළං බලාගාර ඉදිකිරීම
  • හරිතාගාර වායු නික්මීම අවම කිරීමට ඉවහල්වන නව තාක්ෂණ සංවර්ධනය
  • වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ දැමීමේ / ඉන්ධන වෙනස් කිරීමේ ප්‍රයත්නයන්
  • මීතේන් වායුව නික්මීම අඩු කිරීමට ඉවහල්වන කසළ කළමනාකරණය සංවර්ධනය
  • බලශක්තිය කාර්යක්ෂමවූ නිවාස ව්‍යාපෘති සංවර්ධනය
  • වනනාශනය තුරන් කිරීමේ (avoiding deforestation), නැවත වනරෝපණය කිරීමේ (reforestation) හා තිරසාර වන කළමනාකරණ (sustainable forest management) ප්‍රයත්න
  • ජලය හිඟ බව හා ලවණතාවය වැනි ආතතීන්ට ඔරොත්තු දෙන (stress resilient) බෝග ප්‍රවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය ඉහළ දැමීමේ ප්‍රයත්න (මේ මගින් වන නාශනය වළක්වාගත හැකිය)

පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම කෙතරම් දුරට සංවර්ධන, මූල්‍ය හා ව්‍යාපාරික ප්‍රජාවන්ගේ විඥානය තුළට කිඳා බසිමින් තිබේදැයි අවබෝධ කරගැනීමට මෙම නවතම සංවර්ධන අරමුදල් එකතු කිරීමේ (development fund raising)  ප්‍රයත්නය ඉවහල්වනු ඇත. ඒ හා සමගම හරිත ආයෝජන (green investments),  හරිත ගිණුම් (green accounts) හා හරිත ගෙවීම් (green disbursements) වැනි නව ‘හරිත’ යෙදුම්ද ව්‍යාපාරික හා මූල්‍ය ශබ්ද මාලාවට එකතුවෙමින් තිබෙණු දක්නට හැකිය.

මූලාශ්‍රය:
http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:22024264~pagePK:34370~piPK:34424~theSitePK:4607,00.html?cid=ISG_E_WBWeeklyUpdate_NL


ජෛව ඉන්ධනවලට ‘තිරසාර’ ලේබලය ඇලවීමට තවමත් ඉක්මන් වැඩිය
It is too early to label biofuels as ‘sustainable’

(2009 ජනවාරි 23)

ජෛව ඉන්ධන (fossil fuel) නිෂ්පාදනය හා භාවිතය සාධාරණීය කිරීමත් පෙට්‍රල් හා ඩීසල් වැනි පරිසරයට හානිකර ෆොසිල ඉන්ධනවලට ඇති හොඳම විකල්පය ජෛව ඉන්ධන බවට ඒත්තු ගැන්වීමත් අරමුණු කරගනිමින් ප්‍රතිජනන ඉන්ධන සංගමය (Renewable Fuels Association) මගින් එක්සත් රාජධානියේ පුවත්පතක පළකරන ලද දැන්වීමක ‘ෆොසිල ඉන්ධන වෙනුවට ඇති තිරසාර විසඳුම ජෛව ඉන්ධනය’ ( Biofuels – a ...sustainable answer to OPEC’s oil) යනුවෙන් කරන ලද ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් පාරිසරික මාධ්‍යවේදියෙක් (environmental journalist) එක්සත් රාජධානියේ ‘ප්‍රචාරණ ප්‍රමිති සංගමයට’ (Advertising  Standards Association) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී පැමිණිල්ලේ තර්කයවූයේ ජෛව ඉන්ධන ‘තිරසාර’ නොවන නිසා මෙම දැන්වීම මගින් ජනතාව නොමඟ යැවෙන බවත්ය. මෙම පැමිණිල්ල විභාගකළ ප්‍රචාරණ ප්‍රමිති සංගමය ජෛව ඉන්ධන ‘තිරසාර’ නොවේයැයි තීරණය කරමින් එම දැන්වීමේ ‘ජෛව ඉන්ධන තිරසාර’ යැයි යන යෙදුම ඉවත්කළ යුතුයැයි තීන්දුකරණ ලදී.

ඉරිඟු, උක් සහ එලවළු තෙල් වැනි කෘෂි භෝග හා වෙනත් ශාකවර්ග යොදා ගනිමින් විශාල පරිමාණයෙන් ජෛව ඉන්ධන නිෂ්පාදන කිරීම ගෝලීය ආහාර හිඟයට හේතුවක් පමණක් නොව ඒ සඳහා විශාල ප්‍රමානයෙන් කැලෑ ඉඩම් එළිකිරීම බරපතල පාරිසරික ප්‍රශ්නවලටද හේතුවක්වන නිසා ජෛව ඉන්ධන නිෂ්පාදනය දැඩි මතභේදයකට පත්ව ඇති මොහොතක එක්සත් රාජධානියේ ප්‍රචාරණ ප්‍රමිති සංගමය ලබාදුන් මෙම තීන්දුව ඉතාමත් තීරණාත්මක එකක් ලෙස සැළකිය හැක.

මෙම පැමිණිලි විභාගයේදී ජෛව ඉන්ධන ‘තිරසාර’ යැයි තහවුරු කිරීමට ප්‍රතිජනන ඉන්ධන නිෂ්පාදනයිනගේ සංගමය ඉදිරිපත්කළ තර්කවන්නේ:

  • ෆොසිල ඉන්ධන ක්ෂයවී යන බලශක්ති ප්‍රභවයක් වන නමුත් ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන්නේ ශාකමය ද්‍රව්‍ය වලින් නිසාත් එවැනි ශාක නොකඩවා වගාකළ හැකි නිසාත් එය ප්‍රතිජනන බලශක්ති (renewable energy) ප්‍රභවයක් ලෙස සැළකිය හැකිය.
  • පසුගිය වර්ෂයේ (2008) ඉස්මතුවූ ගෝලීය ආහාර හිඟය ජෛව ඉන්ධන නිෂ්පාදනය නිසා ඇතිවුවක් නොව නියඟයන් හා ජලගැලීම් වැනි දේශගුණික සාධකද, චීනය වැනි වේගයෙන් වර්ධනයවන ආර්ථිකයන් සහිත රටවල්වලින් ආහාර ද්‍රව්‍යවලට ඇති අධික ඉල්ලුමද, ආහාර මිල ඉහළ යාහැකියැයි යන අපේක්ෂාවන් මත ආහාර තොග රැස්කිරීමට පෙළඹුන ආයෝජකයන්ද (speculative investors) , සමහර රටවල් මගින් ආහාර අපනයනය (වෙළඳාම) සීමා කිරීමට ගත් පියවරද නිසා ඇතිවූවකි.
  • ජෛව ඉන්ධන භාවිතයේදී පරිසරයට හානිකර හරිතාගාරවායු (green house gases) නික්මීමේ ප්‍රමාණය ෆොසිල ඉන්ධනවලට වඩා අඩුවන අතර එම තත්වය වඩාත් දියුණු කරගැනීම සඳහා උපකාරීවිය හැකි තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණයන් සිදුවෙමින් පවතී.
  • ෆොසිල ඉන්ධන යනු ක්ෂයවන සීමාසහිත බලශක්ති ප්‍රභේදයක් නිසා ඒවායේ මිල දිගින් දිගටම  ඉහළ යා හැකි නමුත් අඩු හා ස්ථාවර මිලක් පවත්වාගෙන යාහැකි නිසා  ජෛව ඉන්ධනවල ආර්ථික තිරසාරත්වය (economic sustainability) වැඩිය.

එහෙත් ප්‍රචාරණ ප්‍රමිති සංගමය තම තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ  ෆොසිල ඉන්ධනවලට විකල්පයක් ලෙසින් වර්ධනයවීම සඳහා ජෛව ඉන්ධනවලට හොඳ අනාගතයක් ඇති නමුත් ඊට ප්‍රථම සැළකිළ්ලට ගතයුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුවිය යුතු බවයි. මෙයින් ප්‍රධාන කරුණ වන්නේ ඉන්ධන බෝග වගා කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණයයි. වර්ෂ 2020 පමණවන තුරු ජෛව ඉන්ධන බෝග සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය තිබේයැයි ගණන් බලා තිබුණද 2020 න් පසුව ජෛව ඉන්ධන බෝග වගා කිරීමට අවශ්‍ය තරම් ඉඩම් ප්‍රමාණයක් තිබේද යන්න සැක සහිතය. මේ නිසා එවැනි බෝග වගා කිරීම සඳහා කැලෑ ඉඩම් එළි කිරීමට සිදුවුවහොත් එම කැලෑ මගින් අවශෝෂණය කරන කාබන් (carbon) ප්‍රමාණය අඩුවී ජෛව ඉන්ධනවලින් අපේක්ෂා කරන පාරිසරක වාසිය අහෝසි විය හැක. එම නිසා මුලින්ම සිදුවිය යුත්තේ ජෛව ඉන්ධන බෝග වගාකිරීම සඳහා දැනට වගා නොකරන හා කැලෑ රහිත මුඩු ඉඩම් භාවිතා කළයුතුයැයි  පොළඹවන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. එසේ නොවුනහොත් වාතයේ කාබන් ප්‍රමාණය වැඩිවීමට පමණක් නොව කැලෑ එළිකිරීම නිසා පාරිසරික ජෛව විවිධත්වයට (bio-diversity) හානීවීමටද ජෛව ඉන්ධන භාවිතය දායකවනු ඇතැයි එම තීන්දු ප්‍රකාශයේ සඳහන්වේ.

තවද ජෛව ඉන්ධන සඳහා බෝග වගා කිරීම මගින් දුප්පත් ප්‍රජාවන්ට යම් ආර්ථික වාසි සිදුවිය හැකිවුවත් කෘෂි බෝග හා කෘෂි ඉඩම් ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා හැරවීම (diversion) ආහාර හිඟයන් ඇතිවීමට තුඩුදිය හැකි අතර එය ඉතාමත් දුප්පත් හා පහසුවෙන් හාණිවලට ගොදුරුවිය හැකි(vulnerable) ප්‍රජාවන්ට අහිතකර ලෙස බලපෑ හැක. එවන් තත්වයන් මගහැරවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමද ජෛව ඉන්ධන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට පෙර සිදුවිය යුතුයැයි මෙම තීන්දුව මගින් අවධාරණය කර ඇත.

ජෛව ඉන්ධන සඳහා ආහාර බෝග ඍජුව භාවිතා කරනවාට වඩා ආහාර නිෂ්පාදනයේදී ඉවතයන කොටස් (agricultural and food waste) මෙන්ම ආහාරමය නොවන ශාක කොටස්ද භාවිතා කිරීමට උපයෝගීවන තාක්ෂණයන් හැකි ඉක්මනින් දියුණු කිරීමද ජෛව ඉන්ධනවල තිරසාරත්වය ඇති කිරීමට ඉවහල්වනු ඇතැයි මෙම තීන්දු ප්‍රකාශයේ සඳහන්වේ.

ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීමේදී හා භාවිතා කිරීමේදී අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ප්‍රමිතීන් (standards) හා ඒකාකාර ගෝලීය සහතික කිරීමේ පද්ධතීන් (uniform global certification systems) තවමත් නොමැතිවීම ප්‍රධාන ගැටළුවක් බව පෙන්වා දෙන මෙම තීන්දුව ජෛව ඉන්ධන නිෂ්පාදනය හා භාවිතය ප්‍රළුල්වීමට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය නීති හා  ප්‍රමීතීන් හඳුන්වාදී තිබිය යුතුයැයි පෙන්වාදෙයි.

ජෛව ඉන්ධන ෆොසිල ඉන්ධනවලට වඩා ආර්ථික වශයෙන් තිරසාරවුවද ඉහත සඳහන්කළ පාරිසරික හා සමාජීය කරුණු සළකා බලනකල ජෛව ඉන්ධන සඳහා ‘තිරසාර’ ලේබලය ඇලවීමට තවමත් ඉක්මන් වැඩියැයි පවසන මෙම තීන්දුව දැන්වීම් ඔස්සේ ජෛව ඉන්ධන තිරසාරයැයි ගම්‍ය කිරීමට දරණ උත්සාහය මහජනයා නොමඟ යැවීමක්යැයි ප්‍රකාශ කරඇත. 

මූලාශ්‍රය:

http://www.asa.org.uk/asa/adjudications/Public/TF_ADJ_45582.htm

ගෝලිය බැංකු ප්‍රජාව තිරසාර සංවර්ධනයට යොමුවීම දිරිමත් කෙරෙන තිරසාර බැංකුකරණ සම්මානය
Sustainable Banking awards announced for 2009

(2009 ජනවාරි 15)

අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රජාවතුළ ජනප්‍රිය ‘ද ෆිනෑන්ෂල් ටයිම්ස්’ (The Financial Times) සඟරාව හා ලෝක බැංකුවට අනුබද්ධිත අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (International Finance Corporation – IFC) එක්ව සංවිධානයකර පිරිනමන තිරසාර බැංකුකරණය සඳහාවූ 2009 සම්මාන (Sustainable Banking Awards – 2009) සඳහා ඉල්ලුම්පත් කැඳවීම දැන් අරඹා ඇත.

මෙම තිරසාර බැංකුකරණය සඳහාවූ සම්මාන පිරිනමනු ලබන්නේ සමාජ, පාරිසරික හා ව්‍යාපාරික යහපාලනය (social, environmental and corporate governance) යන සාධකයන් බැංකු සේවාතුළට අන්තර්ගත කිරීමේදී පිළිබිඹු කෙරෙන නායකත්වය හා නිරිමාණශීලීත්වය (leadership and innovation) උදෙසාය. 2006 සිට ඇරඹුන මෙම තිරසාර බැංකුකරණ සම්මානය මගින් ලබාදෙන පණිවුඩය වන්නේ වර්තමානයේ අප මුහුණ දෙන සමාජ විෂමතා, දරිද්‍රතාවය, පාරිසරික ගැටළු හා දූෂණයෙන් තොර ව්‍යාපාරික යහපාලනය වැනි ප්‍රශ්නවලට පිළියම් නොසැපයෙන සාම්ප්‍රදායික හා වාණිජත්වය පමණක් පදනම් කරගත් බැංකු පද්ධතියක් තිරසාර නොවන බවය. එවැනි බැංකු පද්ධතියක් කෙටිකාලීනව මූල්‍යමය වශයෙන් ලාභ ලැබුවද සමාජීය හා පාරිසරික සංවර්ධනය කෙරෙහි උනන්දු නොවන්නේනම් දීර්ඝකාලීනව තිරසාර නොවනු ඇත.

මේවනවිට ලෝකයේ මහඟුයැයි සැළකෙන අතිවිශාල වාණිජ බැංකු පද්ධතිය (blue chip large international Banks) මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තුළින්ම එවන් සාම්ප්‍රදායික බැංකු හා ආයෝජන ක්‍රමවේදවල ඇති දුර්වලකම් මැනවින් පැහැදිළිවේ.  මෙම පසුබිමතුළ මූල්‍ය ගණුදෙනුවලට පමණක් සීමා නොවී දිළිඳු ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා පිරිමැසීම, විකල්ප බලශක්ති ප්‍රවර්ධනය, දේශගුණික විපර්යාස හමුවේ ඇති අභියෝගයන්ට මුහුණදීමට සූදානම්වීම වැනි පුළුල් සමාජ චර්යාධර්ම පද්ධතියක් තුළ ක්‍රියාත්මකවීමට වාණිජ බැංකුවලට අනිවාර්යෙන්ම සිදුවනු ඇත.

2009 වර්ෂයේ තිරසාර බැංකුකරණය සඳහාවු සම්මාන පහත දැක්වෙන කාණ්ඩ 5 ක් යටතේ පිරිනැමෙනු ඇත. එක් එක් කාණ්ඩයට අදාළ අයදුම් පත්‍රය අදාළ වෙබ් අඩවි පිවිසුම් පුරුක් (links) හරහා ලබාගතහැක. වාණිජ බැංකු, ආයෝජන බැංකු, සංවර්ධන බැංකු, සමූපකාර බැංකු හා කුඩාමූල්‍යකරණ ආයතන වැනි පුළුල් පරාසයක ඇති මූල්‍යායතනවලට මෙම සම්මාන සඳහා අයැදුම් කළ හැක.

මෙම සම්මානවලට අයැදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් පිරික්සා බැලීමේදී තිරසාරවීමට නම් මානව හා සමාජ සංවර්ධනයට තුඩු දෙන කරුණු රාශියකට දායකත්වය ලබාදීමට බැංකුවලට සිදුවෙන බව පෙනී යයි. ඒවායින් සමහරක් වන්නේ:

  • බල ශක්තිය ඉතිරිකර ගැනීම
  • ජලය  ඉතිරිකර ගැනීම
  • කසළ කළමනාකරණය
  • දේශගුණික විපර්යාස අවම කිරීම
  • ජෛව විවිධත්වය /වන සංරක්ෂණය
  • එක්සත් ජාතීන්ගේ පරිසර සංරක්ෂණ සම්මුතීන්ට අනුගතවීම
  • මූල්‍යායතන තුළ සමාජීය හා පාරිසරික වගකීම් වර්ධනය කිරිමට ඉවහල්වන Equator-Principles නමැති මූල ධර්ම 10 ට අනුගතවීම
  • ව්‍යාපාරික ආයතනවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් වාතයට මුදා හැරෙන කාබන් පිළිබඳ තොරතුරු හෙළිකරණ ස්වාධීන Carbon Disclosure ව්‍යාපෘතියට සම්බන්ධවීම
  • එක්සත් ජාතීන්ගේ ආයතනය විසින් ව්‍යාපාරික ප්‍රජාවට හඳුන්වාදී Global Compact  නමැති සමාජ ආචාර ධර්ම පද්ධතියට අනුගතවීම
  • දිළිඳුකම දුරැලීම
  • ආබාධිත පුද්ගලයින් සඳහා සහණ ලබාදීම
  • කාන්තා සවිබලකරණය
  • මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
  • ආදිවාසී ජන කොටස් ආරක්ෂණය
  • සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීම
  • මානව සම්පත් හා ආයතනික වර්ධනය
  • මූල්‍ය විනිවිදභාවය හා ව්‍යාපාරික යහපාලනය

2008 වර්ෂයේදී අනිකුත් විශාල අන්තර් ජාතික වාණිජ බැංකු අභිබවමින් ලෝකයේ තිරසාරම බැංකුව ලෙස සම්මානය ලද බ්‍රසීලයේ Banco Real නමැති බැංකුව තම මෙහෙවර අවධානය (mission focus) යොමුකරණ කරුණු තුන ඉතා ආකර්ෂණීය අන්දමින් People, Profit, Planet යනුවෙන් හඳුන්වාදෙයි. මානව/සමාජ සංවර්ධනය (People), මූල්‍ය ප්‍රතිලාභ (Profit) හා ගෝලීයපරිසරයම (Planet) මෙයින් අදහස් කෙරේ. ව්‍යාපාරික ප්‍රජාව කෙතරම් සීඝ්‍රයෙන් ‘තිරසාර සංවර්ධන’ සංකල්පය වැළඳ ගනිමින් සිටීද යන්න මෙවැනි ප්‍රයත්නවලින් තහවුරුවන අතර තිරසාර සංකල්පය දේශනාකරණ රාජ්‍ය හා රාජ්‍ය නොවන ප්‍රජාවන්ටත් මෙවන් ප්‍රයත්න පාඩමක්වනු ඇත.


කුඩාමූල්‍යකරණය ලෝක ආර්ථික බලවතුන්ගේ අවධානයට යොමු කිරීමේ පෙත්සමක්
Petition to draw attention of the World’s economic leaders to microfinance

(2009 ජනවාරි 14)

කුඩාමුල්‍යකරණය (microfinance) කෙරෙහි ලෝක ආර්ථික බලවතුන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්  ඇක්සියොන් ජාත්‍යන්තරය (Accion International) නමැති දිළිඳුකම තුරන් කිරීම සඳහා කුඩාමූල්‍යකරණය භාවිතාකරන හා ප්‍රවර්ධනය කරන අන්තර්ජාතික සංවර්ධන ආයතනය මගින් පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීම අරඹා තිබේ. මෙම පෙත්සම යැවෙන්නේ තව දින කිහිපයකින් (ජනවාරි 28 සිට පෙබරවාරි 1 දක්වා) ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) සම සභාපතිවරුන්ටය. ඒ මගින් ආයාචනා කෙරෙන්නේ කුඩාමුල්‍යකරණය සම්බන්ධයෙන් ලෝක ආර්ථික බලවතුන් මෙම සමුළුව මගින් දැනුවත්කරමින් අර්බුදයකට ලක්වී සිටින ලෝක ආර්ථිකය ගොඩනැඟීමට මෙම සමුළුව ගන්නා ක්‍රියාමාර්ගතුළට කුඩාමුල්‍යකරණයත් ඈඳා ගන්නා ලෙසය.

මෙවර ලෝක ආර්ථික සමුළුවේ තේමා පාඨය වන ‘අර්බුදයට ලක්වූ ලෝකය හැඩගැස්වීම’ (Shaping the Post-Crisis World) දෙස බලනවිට ඇක්සියොන් ආයතනයේ මෙම උත්සාහය වැදගත්යැයි සැළකිය හැකිය.  ආර්ථිකව ඉතාමත් බලවත් රටවල් 40 ක පමණ රාජ්‍යයන්, ලෝකයේ ඉහළම පෙළේ බැංකු හා ව්‍යාපාරික සමාගම්වල නියෝජනය සහිතව විවිධ අන්තර්ජාතික සංවර්ධන ආයතන හා සිවිල් සංවිධානවල නියෝජිතයින් ඇතුළු 2500 ක පමණ  සහභාගිත්වයක් මෙවර සමුළුවේදී අපේක්ෂා කෙරේ.

මෙම පෙත්සම මගින් ඉස්මතු කිරීමට උත්සාහ දරන්නේ දිළිඳුකම පිටුදැකීම සඳහා කුඩාමුල්‍යකරණය මහඟු දායකත්වයක් ලබාදී තිබුණද ඒ මගින් තවමත් ලඟාවී ඇත්තේ මිලියන 500 ක් පමණවන දිළින්දන්ගෙන් 10-20% පමණ ප්‍රමාණයකට බවත්, මෙය සෑහීමකට පත්වීය නොහැකි තත්වයක් නිසා ඉදිරි වර්ෂ 10 තුළදී සියළුම දිළින්දන්ට මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කුඩාමුල්‍යකරණය සූදානම්විය යුතුය යන පණිවුඩය ලබාදීමටය. එම නිසා මෙම සමුළුවේ ආරම්භක දේශනයට (opening remarks) කුඩාමූල්‍යකරණය ප්‍රවර්ධනය පිළිබඳ යම් ප්‍රකාශයක් ඇතුළු කරන්නැයි මෙම පෙත්සම මගින් ඉල්ලා සිටී.

කුඩාමුල්‍යකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනැම අයෙකුට http://www.LendToEndPoverty.org/email යන වෙබ් අඩවිය තුළින් මෙම පෙත්සමට දායකවිය හැක.


2009 දී ගෝලීය ආර්ථිකයේ ප්‍රවනතා පිළිබිඹු කෙරෙන ලෝක බැංකු වාර්තාව එළි දකී
Global Economic Prospects – 2009 report of the World bank is launched

(2009 ජනවාරි 13)

2009 වර්ෂයේදී ගෝලීය ආර්ථිකයේ ප්‍රවනතා පිළිබිඹු කරමින් ලෝක බැංකුව මගින් ඉදිරිපත් කෙරෙන Global Economic Prospects -2009 වාර්තාව පසුගිය මාසයේදී (2008 දෙසැම්බර්) එළිදැක්වු අතර ඒ සඳහා තේමාකරගෙන ඇත්තේ 2007 - 2008 වකවාණුවේදී අර්බුදයකට මැදිවූ ඉන්ධන හා ආහාර ද්‍රව්‍ය වැනි වෙළඳ භාණ්ඩය.

2009 ඇතුළුව ඉදිරි වර්ෂ කිහිපයේදී ලෝක ආර්ථිකය තුළ මෙම භාණ්ඩවල (commodities) ඉල්ලුම, සැපයුම හා මිල කිනම් දිසාවක් ගනියිදැයි ඉඟි කරන මෙම වාර්තාවට අනුව දීර්ඝ කාලයක සිට සංවර්ධනයවන රටවල ආර්ථික සමෘද්ධිය පෙරටුකරගෙන වර්ධනයවූ ගෝලීය ආර්ථිකය අවිනිශ්චිත කාල පර්ච්ඡේදයක් කරා පරිවර්තනයවීම සිදුවන වර්ෂයක් ලෙස 2009 සණිටුහන්වනු ඇත.

2008 වර්ෂයේදී 2.8% ක් පමණවූ ලෝකයේ සියළුම රටවල්වල සමස්ථ ආර්ථික වර්ධන වේගය (GDP growth) 2009 දී 0.9% පමණ දක්වා අඩුවනු ඇතැයි මෙම වාර්තාව පෙන්නුම් කරයි. මේ අනුව 2007 දී 7.9% ක්වූ සංවර්ධනයවන රටවල සමස්ථ ආර්ථික වර්ධන වේගය 2009 දී 4.5% ක් පමණ දක්වා පහළ බසිණු ඇති අතර සංවර්ධනයවූ පොහොසත් රටවල්වල ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් දක්වා පහළ වැටෙණු ඇත.

2007 වර්ෂයවනවිට සංවර්ධනයවන රටවල වෙළඳ හා ආර්ථික ආයෝජනයන්හි (economic and trade investments) වාර්ෂික වර්ධන වේගය (investment growth) 13% ක්වු අතර  2009 දී එම වේගය 3.5% ක් පමණ දක්වා පහත බසිනු ඇතැයි මෙම වාර්තාව පෙන්වා දෙයි.

2009 දී ලෝක වෙළඳාම (global trade) 2.1% කින් පමණ පහත වැටිය හැකි අතර මේ නිසාම බොහෝ රටවල් නොයෙකුත් වෙළඳ ආරක්ෂණ ප්‍රතිපත්තිවලට (protectionist policies) එළඹීමට උත්සාහ කරණු ඇත. එවැනි ආරක්ෂණ ප්‍රතිපත්ති අනුමත නොකරන මෙම වාර්තාව එවැනි ආරක්ෂණ ප්‍රතිපත්ති නිසා ගෝලීය ආහාර හා මුල්‍ය අර්බුදය නැවත වරක් උත්සන්නවීමට ඉඩ ඇතැයිද අනතුරු ඇඟවීමක් කරයි.  

පසුගිය ශතවර්ෂයතුළ ඉන්ධන, ධාන්‍ය ඇතුළු ආහාර වර්ග, ලෝහ ද්‍රව්‍ය වැනි භාණ්ඩවල මිල (commodity prices) ඉහළයෑම වැඩිපුරම සිදුවූයේ 2003 – 2008 අතර කාලවකවාණුවේදීය. 2003 ට සාපේක්‍ෂකව 2008 ඉන්ධන මිල  320% කින් පමණද ද, ලෝහ ද්‍රව්‍යවල මිල 296%කින් පමණද, ආහාර ද්‍රව්‍යවල මිල (විශේෂයෙන්ම ධාන්‍ය මිල) 138% කින් පමණද වැඩිවිය. මෙසේ භාණ්ඩ මිල වැඩිවීමට ප්‍රධාන සාධකයක්වූයේ චීනය හා ඉන්දියාව ඇතුළු සංවර්ධනයවන රටවල්වල අධික ආර්ථික වර්ධන වේගයන්ට (high economic growth) සමගාමීව එම භාණ්ඩ සඳහා වැඩිවූ ඉල්ලුම නිසාය. එහෙත් 2008 අගභාගය වනවිට ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය පහළ බැසීමත්, ඒ සමගම ඉන්ධන, ආහාර හා ලෝහ වැනි භාණ්ඩවලට ඇති ඉල්ලුම අඩුවීමත් නිසා මෙම භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් පහළ බසින්නට විය. මෙම භාණ්ඩ මිල 2009 වර්ෂයතුළදීත් පහළ බසිනු ඇතිමුත් ඉදිරි වර්ෂ 20 ක පමණ කාලය තුළ ඒවායේ මිල 1990 දශකයේ තිබූ මිලට සාපේක්ෂකව වැඩිව තිබෙණු ඇතැයි සිතිය හැකි බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වාර්තාවට අනුව 2009 දී ‍බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 ක පමණ සාමාන්‍ය අගයක් ගනු ඇති අතර ආහාර ද්‍රව්‍යවල සමස්ථ මිලද 2008 ට වඩා 23% කින් පමණ පහළ බසිනු ඇත.

ඉන්ධන හා අහාර ද්‍රව්‍ය වල ඉල්ලුම අඩුවීම නිසා ඉදිරි වර්ෂ 20 තුළදී ඒවායේ සැපයුම ඉල්ලුම අභිබවා යනු ඇත (supply of commodities will exceed demand). මෙම තත්වය නිසා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ හා විකල්ප බලශක්ති වැනි දෑ කෙරෙහි ඇති උනන්දුව අඩුවිය හැකි අතර පහළයන මිල හමුවේ කෘෂිආහාර නිෂ්පාදනය කෙරෙහි සංවර්ධනවන දිළිඳු රටවල් දැක්වූ උන්නදුවද පහවිය හැකි යැයි අනතුරු අඟවන මෙම වාර්තාව කෘෂි නිෂ්පාදනය ඉහළ දැංවීමට අවශ්‍ය යටිතල පහසුකම් හා  පර්යේෂණයන් සඳහා විශේෂයෙන්ම සංවර්ධනයවන රටවල් යොමුවිය යුතුයැයි අවධාරනය කරයි.

ඉදිරියේදී ලෝකයේ ආහාර නිෂ්පාදනය ඉල්ලුම අභිබවා යෑමට තවත් හේතුවක් වන්නේ ලෝක ජනගහණ වර්ධන වේගයේ පසු බෑමයි. 1970 – 2005 වූ කාලය තුළ වාර්ෂික ලෝක ජනගහණ වර්ධන වේගය 1.6% ක් වූ නමුත් ඉදිරි වර්ෂ 25 තුළදී එම වේගය 1% ක් පමණක්වනු ඇත. එහෙත් වාර්ෂික කෘෂිකාර්මික ඵලදායිතා වර්ධන වේගය (annual agricultural productivity growth) දැනටමත් 2% ක් පමණවේ. එසේවුවත් ඉදිරියේදී ආහාර සැපයුමට අශුභ ලෙස බලපෑ හැකි සාධක දෙකක් පිළිබඳව අවධානය යොමු කරන මෙම වාර්තාව ඒවා පිළිබඳ සැලකිළිමත් නොවුනහොත් ආහාර සැපයුම අඩාලවීමේ හා මිල වැඩිවීමේ තත්වයක් උද්ගතවිය හැකියැයි පෙන්වා දෙයි.

ඉරිඟුවැනි (maize) ධාන්‍ය ජෛව ඉන්ධන (bio-fuel) නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ආහාර සැපයුමට තදින්ම බලපෑ හැකි කරුණකි. ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා ඉරිඟුවලට ඇති ඉල්ලුම වාර්ෂිකව 7.8% කින් පමණ ඉහළ යමින් තිබේ. ෆොසිල ඉන්ධන (පෙට්‍රල් හා ඩීසල් වැනි) ප්‍රභවයන් ක්ෂයවී යෑමත් හා ඒවායේ මිල වැඩිවීමත් නිසා ඇමෙරිකාව හා යුරෝපීය රටවල් ඉරිඟුවැනි ආහාර ද්‍රව්‍යවලින් ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම තදින්ම දිරි ගන්වමින් සිටී. ඒ සඳහා එම රටවල්වල අලෙවි කරන ඉන්ධන ප්‍රමාණයන්ගෙන් 10% ක් වැනි නිශ්චිත ප්‍රතිශතයක් ජෛව ඉන්ධන විය යුතුයැයි යන විධිනියෝගයන් (mandates)  පැනවීමට අමතරව ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා සහණාධාර සැපයීමටද ඉදිරිපත්වී සිටී. මේ පසුබිම තුළ සංවර්ධනයවන දිළිඳු රටවල වගා ඉඩම් අක්කර මිලියන ගණනින් බද්දට ගෙන ජෛව ඉන්ධන සඳහා ආහාර බෝග වැවීමට විදේශීය සමාගම් දැනටමත් පෙළඹී සිටී.

දේශගුණික විපර්යාස හා පරිසරහිතකාමී ප්‍රතිපත්ති හමුවේ රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් මිදී හරිතමය ක්‍රමවේදයන් අනුගමනය කිරීමටසිදුවීමේදී කෘෂිකාර්මික ඵලදායිතාව අඩුවීමේ ප්‍රවනතාවක් දැකිය හැකිවීම දෙවන කරුණයි. මේ පසුබිම තුළ ජානමය වෙනස්කම් කරනලද බීජ (Genetically Modifies – GM seeds) භාවිතයට පෙළඹීමට ඉඩ ඇතිබවද මෙම වාර්තාවෙන් ඉඟිකර ඇත.

මූලාශ්‍රය:
http://www.worldbank.org/gep2009


 


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්