සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අන්තර් ජාතික ගිවිසුමක්: ධීවර යාත්‍රා වරායවලට පිවිසීමේදී කොන්දේසි
International agreement to combat illegal fishing

(2009 පෙබරවාරි 28)

නිතිවිරෝධී, පාලනයකින් හා වාර්තාකරනයෙන් තොර මසුන් ඇල්ලීම (Illegal, Uncontrolled and Unreported – IUU fishing) වැළැක්වීම සඳහා ධීවර යාත්‍රා වරායවලට පිවිසීමේ කොන්දේසි (Port state measures) ඇතුලත් අන්තර්ජාතික ගිවිසුමකට එළඹීමට  එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization – FAO) මූලිකත්වයෙන් හා රටවල් 60 පමණ නියෝජනයෙන් 2009 ජනවාරි අග සතියේදී රෝමයේ පැවති පස් දින සාකච්ඡාවාරයක් අවසානයේදී තීරණයවී ඇත.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම ආරම්භවීමෙන් පසු එයට දායකවන රටල්වල ධීවර වරායන්ට ඇතුළුවීමට ප්‍රථම ධීවර යාත්‍රා විසින් මසුන් ඇල්ලීමෙහි නිරතවූ ප්‍රදේශ, යාත්‍රාවතුළ ඇති මසුන් වර්ග හා ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලබා දිය යුතුවේ. එසේ තොරතුරු ලබා නොදෙන ධීවර යාත්‍රා සඳහා ජලය, අයිස් හා ඉන්ධන වැනි පහසුකම් සැපයීමට හෝ මසුන්ගොඩ බෑම සඳහා වරායවලට ඇතුළුවීමට හෝ නැංගුරම්ලෑමට අවසර නොදෙනු ඇත.

නිසි අවසරයකින් තොරව ධීවර කර්මාන්තයේ යෙදීම (unauthorized fishing), ආරක්ෂිත මත්ස්‍ය විශේෂ ඇල්ලීම (catching protected species), අනුමත කෝටාවට (quota) වඩා සමහර මත්ස්‍ය වර්ග ඇල්ලීම හා නීති විරෝධී දැල් ආම්පන්න භාවිතය වැනි ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට හානිදායක පියවරවල් පාලනය කිරිමට මෙම ගිවිසුම මගින් හැකිවනු ඇත.

ප්‍රමාණය ඉක්මවා සාගර මත්ස්‍ය සම්පත නෙලා ගැනීම නිසා (over fishing) ඇ. ඩොලර් බිලියන 6 ක පමණ වාර්ෂික ආදායමක් සහිත ගෝලීය සාගර ධීවර කර්මාන්තය දැනටමත් තර්ජනයට ලක්ව ඇති බව පවසන FAO සංවිධානයට අනුව සාගර මත්ස්‍ය සම්පතින් 25% ක්ම ප්‍රමාණය ඉක්මවා  නෙලීමට ගොදුරුවී ඇත. එම නිසා මෙවැනි අන්තර් ජාතික ගිවිසුමකට එලඹීමට ගත් තීරණය මත්ස්‍ය සම්පත තිරසාරව නෙලා ගැනීමට හැකිවීමේ වැදගත් පියවරක් ලෙස සැළකිය හැක.

බොහෝ සංවර්ධිත රටවල් තම මුහුදු සීමාවන් තුළ කෙරෙන මුර සංචාර මගින් මෙවැනි නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කළද ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවන නිසා සංවර්ධනයවන රටවල්වලට එය අසීරු කරුණකි. එම නිසා මෙවැනි අන්තර්ජාතික ගිවිසුමක් මගින් ධීවර යාත්‍රා සඳහා වරායන්ට ඇතුළුවීමේ කොන්දේසි පැනවීම තුළින් නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය පහසුවෙන් පාලනය කරගැනීමට සංවර්ධනයවන හා සංවර්ධිත රටවලට හැකිවනු ඇත.

මෙම ගිවිසුම ක්‍රියාත්මකවීම ඇරඹිමෙන් පසු ධීවර යාත්‍රා හා ඒවායේ කටයුතු පිලිබඳව තොරතුරු ජාලයක් ගොඩ නඟා ගැනීමට ගිවිසුමට අයත් සාමාජික රටවලට හැකිවනු අතර ඒ මඟින් තොරතුරු ලබා නොදෙන හා නීති කඩකෙරෙන යාත්‍රා අපලේඛණ ගතකිරීමට (black listing) හා ඒවා පිලිබඳ දැඩි විමසිල්ලෙන් සිටීමටත් හැකිවේ.

2001 දී ඉස්මතුවූ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වෙමින් ක්‍රමානුකූලව සැලසුම්වූ මෙම ගිවිසුම පිළිබඳ පිළිබඳ සියළු කටයුතු අවසන් කොට අදාළ රටවල් මගින් අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රථම තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්විය යුතු වේයැයි FAO සවිධානය අපේක්ෂා කරයි. එපමණක්ද නොව මෙම ගිවිසුම ක්‍රියාත්මකවීමට පෙර අදාළ සාමාජික රටවල්වල ජාතික හා කලාපීය ධීවර ආයතනවලට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, සන්නිවේදන උපකරණ හා පුහුණු කිරීම් ආදිය වර්ධනය කරගැනීම සඳහා සහයෝගය ලබා දීමද අත්‍යවශ්‍යම කරුණකි.

මූලාශ්‍රය හා ධීවර යාත්‍රා වරායවලට පිවිසීම නිරීක්ෂණය විස්තර කරෙන පිළිබඳ වීඩියෝ දර්ශනයක් සඳහා http://www.fao.org/news/story/en/item/9998/icode/ වෙබ් අඩවියට පිවිසෙන්න.


ගෝලීය ආර්ථික අර්බුදය නිසා 2009 දී ආසියානුවන් මිලියන 140 ක් දිළින්දන් බවට පත්විය හැක
Global economic crisis could push 140 million Asians to poverty in 2009

(2009 පෙබරවාරි 27)

ලෝක කම්කරු සංවිධානය (International Labour Organization – ILO) මගින් 2009 පෙබරවාරි මැදදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය හේතු කොටගෙන මෙම (2009) වර්ෂයේදී ආසියානු රටවල්තුල පමණක් පුද්ගලයින් මිලියන 140 ක් පමණ දිළිඳුභාවයට තල්ලුවීමේ අවදානමක් ඇති අතර මේ සඳහා ප්‍රධාන සාධකයක් විය හැක්කේ මිලියන 23 කට පමණ රැකියා අහිමිවීමයි.

නාගරික ප්‍රදේශවල ඇති කර්මාන්තශාලා වැසීයෑමේ තර්ජනයක් මෙම ගෝලීය ආර්ථික අර්බුදය නිසා ඇති අතර එමනිසා ග්‍රාමීය ප්‍රදේශවලින් රැකියා අවස්ථා සඳහා නාගරික ප්‍රදේශකරා ඇදී ඒමද අඩුවිය හැක. මෙම තත්වය තුළ අර්ථසාධක අරමුදල් වැනි සමාජ ප්‍රතිලාභවලින් තොර හා ඉතා අඩු වේතන සහිත තාවකාලික කෘෂිකාර්මික රැකියා අවස්ථා කෙරෙහි යොමුවීමට ග්‍රාමීය තරුණ තරුණියන්ට සිදුවනු ඇත. එවැනි රැකියා බොහෝවිට අවිනිශ්චිත හා වේතනනවලින් තොර ගෘහස්ථ ස්වයං රැකියා ගණයට (unpaid family workers) අයත්වේ. එවැනි පුද්ගලයින් හා පවුල් ඉතා පහසුවෙන් සමාජ ආර්ථික පීඩාවන්ට ගොදුරුවිය හැකි (vulnerable) අතර දැනටමත් දකුණු ආසියාවේ පමණක් එවැනි තාවකාලික ගෘහස්ථ රැකියාවල යෙදෙන පුද්ගයින් සංඛ්‍යාව මිලියන 500 පමණ වේ. මෙම සංඛ්‍යාව 2009 වර්ෂයේදී තවත් මිලියන 30 කින් පමණ වැඩීවීමට ඉඩ ඇතැයිද මෙම වාර්තාව පෙන්වා දෙයි.

මෙසේ රැකියා අහිමිවීමේ තත්වය දැනටමත් ඉන්දියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි අධික ජනගහණයන් ඇති රටවල්තුල උද්ගතවෙමින් ඇති අතර බොහෝවිට එවැනි රැකියා අහිමිවීම්වලට ගොදුරුවන්නේ කුඩා පරිමාණ කර්මාන්තශාලාවල තාවකාලික තොන්ත්‍රාත් පදනම් මත සේවයේ නියුතු කාන්තාවන්ය. ILO වාර්තාව පෙන්වා දෙන අන්දමට මෙවැනි රැකියා අහිමිවීමේ අර්බුදය මගින් කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය, ළමයින් සේවයට යෙදවීම, ගෘහස්ථ පෝෂණය පහත වැටීම, ළමුන් පාසැල් යැවීමට නොහැකිවීම වැනි සමාජ ගැටළු රාශියක් උද්ගතවීමට හැක.

වර්තමාන ආර්ථික අර්බුදයට පිළියම් ලෙස බොහෝ රටවල් ආර්ථික උත්තේජක පැකේජයන් (onomic stimulus packages) හඳුන්වාදීමට පියවර ගෙන් ඇතත් ඊට අමතරව දිළිඳු හා පීඩාවට පත්විය හැකි පුද්ගලයින් හා පවුල් නිශ්චිතව ඉලක්ක කරගත් රැකියා ජනන වැඩසටහන් මෙන්ම පෝෂණය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැනි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල් සඳහාද උත්තේජක පැකේජයන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව මෙම වාර්තාව අවධාරණය කරයි.


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්