සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

MIX කුඩාමූල්‍යකරණ තොරතුරු කේන්ද්‍රය මගින් 2008 සඳහා කරනලද ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ තෙවන විශිෂ්ඨතම කුඩාමූල්‍ය ආයතනයට බවට ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව නම් කෙරේ.
Sri Lanka’s SANASA is ranked third among the world’s best 100 microfinance institutions by the MIX

(2008 දෙසැම්බර් 27)

කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රයේ තොරතුරු කළමනාකරණය පිළිබඳව පුරෝගාමී ආයතනයවන මයික්‍රොෆිනෑන්ස් ඉන්ෆෝමේෂන් එක්ස්චේන්ජ් නොහොත් MIX ආයතනය මගින් 2008 වර්ෂය සඳහා MIX Global 100 නමැති සංවර්ධනයවන රටවල්වල ක්‍රියාත්මකවන විශිෂ්ඨතම කුඩාමුල්‍යකරණ ආයතන 100 ක් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව එළිදක්වා ඇත. මෙය MIX ආයතනය මගින් කුඩාමුල්‍යකරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ දෙවන වාර්ෂික ප්‍රයත්නයයි.

මෙම 2008 ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ විශිෂ්ඨම කුඩාමුල්‍යකරණ ආයතන අතුරින් තෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව සමත්වී ඇති අතර එම එම ජයග්‍රහණයේ පැසසිය යුතු කරුණවන්නේ 2007 වර්ෂයේ ශ්‍රේණිගත කිරීම අනුව 137 වන ස්ථානයේ පසුවූ සණස බැංකුවට මෙවර 3 වන ස්ථානය ලබාගැනීමට හැකිවීමයි. එහෙත් කණගාටුවට කරුණවන්නේ 2007 ශ්‍රේණිගත කිරීමට අනුව දෙවන ස්ථානයේ පසුවූ සබරගමුව සංවර්ධන බැංකුව මේවර පළමු ස්ථාන සියයට ඇතුළත් නොවීමයි.

මෙවර (2008) ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයට පැමිණ ඇති කුඩාමුල්‍යකරණ ආයතන 10 වන්නේ:

කුඩාමූල්‍ය ආයතනය

 

රට

 

1. MBK Ventura

 

 

ඉන්දුනීසියාව

2. SKS

 

ඉන්දියාව

3. සණස සංවර්ධන බැංකුව

 

ශ්‍රී ලංකාව

4. Cashpor

 

ඉන්දියාව

5. BRAC

 

බංග්ලාදේශය

6. JVS

 

නේපාලය

7. FMFB

 

පකිස්ථානය

8. Tamweelcom

 

ජෝර්දානය

9. BANTRA

 

පේරු රාජ්‍යය

10. Al Amana

 

මොරොක්කෝව

‍මෙම ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථාන 10 අතරින් 6 ක්ම (60%ක්) දකුණු ආසියාණු කලාපීය රටවල්වල් වන අතර පළමු ස්ථාන 25 අතුරින්ද 10 ක් (40%ක්) දකුණු ආසියාණු රටවල්වීම තුළින් එම කලාපයේ කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය ලබා ඇති ඉහළ ප්‍රගතිය මැනවින් පෙන්නුම් කරයි.

MIX 2008 ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානය ලබාගත් ඉන්දුනීසීයාවේ MBK Ventura ආයතනයත්, දෙවන ස්ථානයට පත් ඉන්දියාවේ SKS ආයතනයත්, 8 වන ස්ථානයට පත් ජොර්දානයේ Tamweelcom ආයතනයත් බංග්ලාදේශ ග්‍රාමීන් බැංකු ක්‍රමවේදය ප්‍රවර්ධනය කෙරෙන ග්‍රාමීන් පදනමේ (Grameen Foundation)  හවුල්කාර ආයතනයන්වීම විශේෂත්වයකි.  වාණිජත්වයෙන් තොර  දිළිඳුකම පිටුදැකීම පිළිබඳවූ කුඩාමූල්‍යකරණය පිලිබඳ වැඩිපුර කතාබහ කරණ බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකුව හා ඊට අනුබද්ධ ග්‍රාමීන් පදනමේ හවුල්කාර කුඩාමුල්‍ය ආයතන 17 ක්ම ‍ශ්‍රේණිගත කරනලද කුඩාමුල්‍ය ආයතන 100 ට ඇතුළත්වීම ග්‍රාමීන් ක්‍රමවේදයේ ජයග්‍රහණයක් ලෙස සැළකියහැක.

2008 MIX ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණය සඳහා කුඩාමූල්‍යආයතන 971 ක් තෝරාගෙන ඇති අතර ඒ සඳහා තිබිය යුතු මූලික සුදුසුකම වී ඇත්තේ 2007 මූල්‍ය වර්ෂයේදී එම ආයතනවල සියළු මෙහෙයුම් වියදම්වලින් (all operational costs) 90% ක් ආවරණය කිරීමට මූල්‍ය ආදායමට (financial revenue) හැකීවීමයි.

එසේ තෝරාගැනීමෙන් පසු 2007 වර්ෂයට අදාළ ප්‍රධාන නිර්ණායක 3 ක් (ranking criteria) පාදකකරගත් ලකුණුදීමක් මගින් (scoring) මෙම MIX ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

 

නිර්ණායක

 

උප නිර්ණායක

 

 

ණයලාභී ආවරණය (Borrower Outreach)

 

ණයලාභී සංඛ්‍යාව (Number of borrowers)

ණයලාභීන් සංඛ්‍යාව එම ප්‍රදේශවල දිළිඳු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස (number of borrowers as a percentage of poor population in the relevant area)

ණයලාභීන් සංඛ්‍යාවේ වාර්ෂික වර්ධන වේගය (Annual growth rate of borrowers number)

ඉතිරිකිරීම් (තැන්පතු) ප්‍රමාණය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (deposits as a percentage of borrowings)

තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව ණයලාභීන්ගේ ප්‍රතිශතයක් ලෙස (depositors as a percentage of borrowers)

 

කාර්යක්ෂමතාවය (Efficiency)

ණයලාභියෙකු ආවරණය කිරීමට වැයවන මුදල අදාළ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස (cost per borrower as a percentage of Gross National Income of the relevant country)

ලාභය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (profit as a percentage of the average loan portfolio)

දින 30 ක් ඉක්මවූ නොපියවීමේ අවදානමට ලක්ව ඇති ණයකළ‍ඹේ ප්‍රතිශතය (loan portfolio at risk over 30 days)

කපාහරින ලද ණය අනුපාතය (loan write off ratio)

 

විනිවිදභාවය (Transparency)

MIX තොරතුරු කේන්‍ද්‍රයට තොරතුරු ලබා දී ඇති වර්ෂ ප්‍රමාණය (Number of years of providing information to MIX)

MIX තොරතුරු කේන්‍ද්‍රයට විගණනයකරන ලද මූල්‍ය වාර්තා සැපයීම (presenting audited financial reports to MIX)

MIX ආයතනය මගින් කරණලද මෙම ශ්‍රේණිගත කිරීමේදී කුඩාමූල්‍යකරණයේ සාර්ථකත්වය පිළිබිඹු කෙරෙන සාධක කිහිපයක් සැළකිල්ලට ගෙන ඇති නමුත් මෙම ශ්‍රේණිගත කිරීම එම කුඩාමුල්‍ය ආයතන සම්බන්ධයෙන් පරිපූර්ණ නිගමනයන්ට එලඹීමට තරම් ප්‍රමාණවත්වේයැයි සිතිය නොහැක. එහෙත් කුඩාමුල්‍යකරණයේ පරමාර්ථ හා කුඩාමුල්‍ය ආයතන ගමන් කරන දිසාව සම්බන්ධව දැනට ඉස්මතුවෙමින් තිබෙන සංවාදය වඩා අර්ථවත් කිරීමට මෙම MIX ප්‍රයත්නය හේතුවනවාට සැකයක් නැත.

මූලාශ්‍රය
http://www.mixmbb.org/Publications/001-IND/01-IND.ANLS/MFI%20Analysis/2008%20MIX%20Global%20100%20Composite.pdf

http://www.grameenfoundation.org/resource_center/newsroom/news_releases/~story=361

ළමා සංවර්ධන දර්ශකයක්  ප්‍රථම වරට හඳුන්වාදෙයි
Save the Children – UK introduces a Child Development Index

(2008 දෙසැම්බර් 16)

ලමා රැකවරණය සම්බන්ධයෙන් පුරෝගාමී එක්සත් රාජධානියේ Save the Children  ආයතනය මගින් එක් එක් රටවල ළමා සංවර්ධනය සංසන්දනාත්මකව මිණීම සඳහා ඉවහල්වන ළමා සංවර්ධන දර්ශකයක් (Child Development Index – CDI) නිර්මාණයකර එළි දක්වා ඇත. මෙම පොදු දර්ශකය පිළියෙල කිරීම සඳහා පාදක කරගෙන ඇත්තේ ඒ ඒ රටවල් මගින් වාර්ෂිකව නිකුත් කෙරෙන ළමයින්ට අදාළ නිර්ණායකයන් 3 ක් වූ: අවුරුදු 5 ට අඩු වාර්ෂික ළමා මරණ අනුපාතය, අවුරුදු 5 ට අඩු අඩු බරැති ළමයින්ගේ ප්‍රතිශතය හා පාසැල් යායුතු එහෙත් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසැල් නොයන ළමයින්ගේ ප්‍රතිශතයයි.

රටවල් 137 ක් සඳහා 2000 සිට 2006 දක්වා වර්ෂ හයක කාලයකට පිළියෙල කරන ලද ළමා සංවර්ධන දර්ශක අගයන් පිළිවෙලින්  ශ්‍රේණි ගත කිරීමේදී ළමා සංවර්ධනය අතින් ප්‍රථම ස්ථාන තුණ පිළිවෙලින් ලැබී ඇත්තේ ජපානය, ස්පාඤ්ඤය හා කැනඩාවටයි. මෙම ශ්‍රේණිගත කිරීමේදී දකුණු ආසියානු රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාව වන අතර ශ්‍රේණිගත කරන ලද රටවල් 137 අතුරින් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 74 වන ස්ථානයයි.

 

2000 – 2006
කාලය සඳහා ළමා සංවර්ධන දර්ශක අගය

රටවල් 137 ක් අතුරින් ලබා ගත් ස්ථානය

ජපානය

0.41

1

ස්පාඤ්ඤය

0.57

2

කැනඩාව

0.73

3

මැලේසියාව

4.11

24

තායිලන්තය

5.79

38

ශ්‍රී ලංකාව

12.27

74

මාලදිවයින

15.10

82

භූතානය

20.08

86

බංග්ලා දේශය

26.32

98

ඉන්දියාව

26.62

100

පකිස්ථානය

33.59

119

නයිජර් ජනරජය

58.47

137

දකුණු ආසියානු රටවල් අතුරින් අතින් ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීමේදී ඉහළ ස්ථානයක සිටියද එම ළමා සංවර්ධන දර්ශක වාර්තාවට අනුවම පසුගිය වර්ෂ 18 පමණ කාලය තුළදී මෙම දර්ශකයේ ප්‍රගතිය අතින් දකුණු ආසියාවේ පහළම ස්ථානයේ පසුවන රටවල් තුන අතරට ශ්‍රී ලංකාවද අයත්වේ. අනිකුත් රටවල් දෙක වන්නේ ඉන්දියාව හා පකිස්තානයයි. එම කාලය තුළ වඩා වැඩි ළමා සංවර්ධන වේගයක් දක්වා ඇති රටවල් තුන වන්නේ පිළිවෙලින් මාලදිවයින, බංග්ලා දේශය හා භූතානයයි.

වාර්ෂිකව මියයන අවුරුදු 5 ට අඩු ළමයින් සංඛ්‍යාව මිලියන 9.2 ක් පමණවීමත්, එම ප්‍රමාණයෙන් 97% ක් මිය යන්නේ සංවර්ධනයවන රටවල් 68 ක් තුළවීමත්, ලෝකයේ ළමා ජනගහණයෙන් 25% ක් පමණම  අඩුබර වීමත් (underweight) , ළමා ජනගහණයෙන් තුණෙන් පංගුවක පමණ වර්ධනය බාලවීමත් (stunted growth), මිලියන 75ක් පමණ පාසැල් යායුතු වියේ ළමයින් පාසැල් නොයෑමත් හා එම සංඛ්‍යාවෙන් වැඩි කොටසක් ගැහැණු ළමුන්වීමත් ලෝකයේ ළමා අයිතිවාසිකම් හා සුභසිද්ධිය පැහැර හැර ඇති බවට ඇති නිදසුන් කිහිපයකි.

මෙම වාර්තාවට අනුව මෙවැනි ළමා සංවර්ධන දර්ශකයක් හඳුන්වාදීම මගින් දැනට ලෝකයේ බොහෝ රටවල බහුලව දැකිය හැකි ළමා දිළිඳුකම හා ළමා අයිතිවාසිකම් අහිමිවීම කෙරෙහි එම රටවල් රජයන්ගේ වැඩි අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට භාවිතාවන ගෘහස්ථ ආදායම වැනි දත්ත (household income data) මත පදනම්වූ ආර්ථික සංවර්ධන දර්ශක ළමා සුභසිද්ධිය පිළිබඳ එතරම් හොඳ වැටහීමක් ලබා නොදීම ළමා සංවර්ධනය කෙරෙහි ඇති උනන්දුව හීනවීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දෙන මෙම වාර්තාව සංවර්ධනයවන රටවල දේශපාලන හා සංවර්ධන තීන්දු (political and policy choices) එම රටවල  ළමා හිමිකම් හා සුභසිද්ධිය කෙරෙහි ඍජු හා සැළකියයුතු අන්දමේ බලපෑමක් ඇති බවද පෙන්වාදෙයි.

මූලාශ්‍රය
http://www.savethechildren.org.uk/en/7129.htm


ගෝලීය මූල්‍ය අර්බුදය නිසා අන්තර්ජාතික වෙළඳාම හා විදේශ සේවා නියුක්තික මුදල් සම්ප්‍රේෂණද 2009 වනවිට අඩාලවිය හැක
World trade and remittances could drop due to global financial crisis

(2008 දෙසැම්බර් 7)

ගෝලීය මූල්‍ය අර්බුදයේ එක් ප්‍රතිඵලයක් ලෙස මේවනවිට අන්තර්ජාතික වෙළඳාමද (world trade) ක්‍රම ක්‍රමයෙන් අඩාලවෙමින් පවතී. පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ රටවල් යම්කිසි ආර්ථික ප්‍රගතියක් ලබාගෙන තිබුණේ නම් එයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක්වූයේ ලෝක වෙළඳාමයි.  1982 සිට මේ දක්වා ලෝක වෙළඳාමේ වාර්ෂික වර්ධන වේගය (annual growth rate of world trade) කිසිවිටෙකත් පසුබා නැති අතර සංවර්ධනයවන රටවල්වල වෙළඳාමේ වාර්ෂික වේගය මේවනවිට 8% දක්වා  ඉහළ නැග ඇත. එසේවුවත් ලෝක බැංකු තොරතුරුවලට අනුව 2009 වනවිට ලෝක වෙළඳාම 1982 න් පසු පළමුවරට පහත බසිනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම වෙළඳ පසු බැසීම ආහාර අර්බුදයෙන් දැනටමත් බැට කා ඇති සංවර්ධනයවන රටවල්වල ආර්ථිකය වසර කිහිපයකින් ආපස්සට ගෙන යාහැකි  තරම් ප්‍රබලවනු ඇතැයිද අනුමාන කෙරේ.

සංවර්ධිත පොහොසත් රටවල්වලින් හා චීනය වැනි සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති රටවල්වලින් නොයෙකුත් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම එම රටවල වර්තමාන ආර්ථික පසු බැස්ම නිසා අඩුවී ඇති අතර එම භාණ්ඩ හා සේවා සපයන සංවර්ධයවන වන දුප්පත් රටවල්වලට මෙම තත්වය දැනටමත් අහිතකර ලෙස බලපා ඇත. ඊට අමතරව ඉල්ලුම ඇති භාණ්ඩ පවා එක්රැස් කිරීමට හා නැව්ගත කිරීමට අවශ්‍ය වෙළද ආයෝජනයන්ද (trade finance) නොමැතිකම බෙහෝ සංවර්ධනයවන දුප්පත් රටවල අපනයන වෙළඳාම පසුබැසීමට හේතුවී ඇත. ලෝක වෙළඳාම සඳහා පමණක් සංවර්ධනයවන රටවල් තුළ වාර්ෂිකව ආයෝජනය කෙරෙන මුදල ඩොලර් ට්‍රිලියනයක් පමණවේ. එහෙත් ගෝලීය මූල්‍ය අර්බුදය හේතුවෙන් භාණ්ඩ ආනයනය හා අපනයනය සඳහා අවශ්‍ය ණය පහසුකම්, බැංකු ඇප (Bank gurantees) ණයවර (letters of credit) ආදී මූල්‍ය ආයෝජන පහසුකම් ලබාගැනීමට හා සංවර්ධිත රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී තිබිය යුතු ප්‍රමිතීන් (export standards) පවත්වාගෙන යෑමට අවශ්‍ය පිරිවැය දැරීමට ඇති දුෂ්කරතාවයන්ද අන්තර්ජාතික වෙළඳාම අඩාල කිරීමට එක් හේතුවක්වී ඇත. මෙම තත්වය නොකඩවා පැවතියහොත් දුප්පත්ම රටවල අපනයන ආදායමට හා ආර්ථිකයන්ට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් එවැනි දුප්පත් රටවල් 78 ක් සඳහා ප්‍රදානයන් (grants) හා දීර්ඝ කාලීන සහණ ණය පහසුකම් (subsidized long term loans) සැපයීමට ලෝක බැංකුව ඉදිරිපත්ව ඇති අතර ඒ සඳහා ඩොලර් බිලියන 100 ක් පමණ වෙන්කර ඇති බව වාර්තාවේ.

අන්තර්ජාතික වෙළඳාම මන්දගාමීවීමට තවත් හේතුවක්වී ඇත්තේ සංවර්ධිත රටවල් ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ගැලවීමේ ආරක්ෂක පියවර (protectionist measures) ලෙස තම රටවලින් මුදල් පිටතට ගලාගෙන යෑම වැළැක්වීම සඳහා ආරක්ෂණ තීරුබදු (tariffs) සහ වෙළඳ බාධක (trade barriers) දැමීමටත් අපනයන දිරිගැන්වීම සඳහා දේශීය නිෂ්පාදනවලට සහණාධාර දීමට පෙළඹීමත්ය.

2008 නොවැම්බර් 15වන දින පැවති G20 රටවල්වල සමුළුවේදී ලෝක වෙළඳාමට අශුභ ලෙස බලපෑ හැකි එවැනි තීරුබදු හා වෙළඳ බාධක පැනවීමෙන් වැළකීමට එම ‍රටවල් ප්‍රතිඥා දීම සංවර්ධනයවන රටවල සතුටට කරුණක්වන අතර එම ප්‍රතිඥා කෙතරම් දුරට ක්‍රියාත්මක කෙරේද යන්න පිළිබඳවද ලෝක වෙළඳ සංවිධානය (World Trade Organization – WTO) විමසිලිමත්විය යුතුය.

අන්තර්ජාතික වෙළඳාම මන්දගාමීවීමට අමතරව විදේශ රැකියා නියුක්තියන්ගෙන් සංවර්ධනයවන රටවල්වලට සම්ප්‍රේෂණයවන මුදල් (remittances) ප්‍රමාණයද ගෝලිය මූල්‍ය අර්බුදය නිසා සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන අංශය (UNCTAD) අනතුරු අඟවා සිටී. සංවර්ධිත හා පොහොසත් රටවල සේවයේ නියුතු සංවර්ධනයවන රටවල්වල ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව තම රටවල්වලට එවන මුදල් ප්‍රමාණය 2009 වන විට 1% ත් 6% ත් අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට ගණන් බලා තිබේ. මෙය සුළු පටු ප්‍රමාණයක් නොවන්නේ සමහර රටවල මෙම ආදායම එම රටවල්වල දළ ජාතික ආදායමෙන් 25% ක් පමණවන නිසාය. ඉන්දියාවට වාර්ෂිකව ලැබෙන විදේශ රැකියා සම්ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 27 ක් පමණවේ.

2006 දත්තවලට අනුව විදේශ රැකියා නියුක්තිකයන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට එවන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 2.4 කට ආසන්නවන අතර එය අපේ දළ ජාතික ආදායමින් 8.7% ක් වැනි සැළකිය යුතු ප්‍රමාණයකි. එවැනි පසුබිමක් තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් සංවර්ධනයවන රටවලට ගලා එන ඒසා විශාල මුදල් ප්‍රමාණය වර්තමාන මූල්‍ය අර්බුදය නිසා අඩුවුව‍හොත් එය එම රටවල්වල ආර්ථිකයන්ට දැඩිලෙස බලපානු ඇත.

මෙම පසුබිම තුළ සංවර්ධනයවන රටවල්වලට ගෝලීය අර්බුදය එතරම් බලපාන්නේ නැතැයි යන මිථ්‍යාවෙන් මිදී ප්‍රවේශම්කාරී පියවරයන්ට එළඹීම එම රටවල රජයන්ගේ වගකීම වනු ඇත.

මූලාශ්‍ර:
http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:21987705~pagePK:64257043~piPK:437376~theSitePK:4607,00.html?cid=ISG_E_WBWeeklyUpdate_NL

http://ictsd.net/i/news/bridgesweekly/34043/


මහා පරිමාණ අන්තර්ජාතික ‘අඳ ගොවි’ ප්‍රයත්නයන් දිළිඳු රටවලට විනාශකාරී වියහැක
Large scale international tenant farming could be disastrous to poor countries

(2008 ‍දෙසැම්බර් 5)

බ්‍රිතාන්‍යය, චිනය, දකුණු කොරියාව, සෞදි අරාබිය සහ කුවේටයවැනි ධනවත් හා සීඝ්‍රයෙන් සංවර්ධනයවන රටවල් කිහිපයක පෞද්ගලික සමාගම් මගින් අප්‍රිකාවේ රටවල් කිහිපයක කෘෂිකාර්මික ඉඩම් විශාල පරිමාණයෙන් බද්දට (අඳයට) ගැනීම දැනට මාස කිහිපයක සිට වාර්තාවෙමින් පවතී. වගාකිරීමට මුදල් නොමැති නිසා දුප්පත් ගොවීන් තම ඉඩම් අනුන්ට බද්දටදී එම ඉඩම්වලම කම්කරුවන් බවට පත්ව එහි අස්වැන්නෙන් කොටසක් ලබාගැනීමේ සාම්ප්‍රදායික ‘අඳ ගොවි’ ක්‍රමයම නව අන්තර්ජාතික මුහුණුවරකින් ඉස්මතුවීමක් ලෙස මෙම ප්‍රවනතාවය දැකිය හැක.

මේ සම්බන්ධයෙන් ඇති අළුත්ම ප්‍රවෘත්තිය වන්නේ දකුණු කොරියාවේ ‘ඩේවූ ලොජිස්ටික්ස්’ (Daewoo Logistics) නම් සමාගම මගින් බටහිර අප්‍රිකාණු දූපත් රටක්වන මැඩගස්කරයේ (Madagascar) ඉඩම් අක්කර මිලියන 3.2 ක් අවුරුදු 99 කට බදු ගැනීමයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම ඉඩම් ප්‍රමාණය එම රටේ වගාකළ හැකි මුළු ඉඩම් ප්‍රමාණයෙන් අඩක් පමණවීමය. එපමණක්ද නොව ලොව අධිකතම ජනගහණ ඝණත්වය (highest population density) ඇති දකුණු කොරියාවේ ඉඩම් මිල ඉතා අධිකවුවද මෙම සමාගම මැඩගස්කරයෙන් ලබාගත් කිසි දිනක වගානොකළ ඉතා සාරවත් පසක් ඇති (virgin and fertile) ඉඩම්වලට බදු වශයෙන් ගෙවන්නේ අක්කරයකට ඩොලර් 24 ක් වැනි සුළු මුදලකි. එහෙත් මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක ‍කෙරෙන නවීන හා දැවැන්ත කෘෂි ව්‍යපාරයකට (agribusiness) අවශ්‍ය වරායවල්, මහමාර්ග, වාරිමාර්ග, විදුලි බලාගාර වැනි යටිතල පහසුකම් එම සමාගම මගින් ඉදිකරන නිසාත්, විශාල සංඛ්‍යාවකට මේ මගින් රැකියා අවස්ථා ජනිතවිය හැකි නිසාත් සහ නව කෘෂි තාක්ෂණික ක්‍රම තම රටට හඳුන්වාදෙනු ඇතැයි යන අපේක්ෂාව නිසාත්  මැඩගස්කර රජය මෙම ඉඩම් බදුදීම වාසිදායක ලෙස සළකණු ලබයි.  

දකුණු කොරියාණු සමාගම මැඩගස්කරයෙන් බදුගත් මෙම අතිවිශාල ඉඩම් ප්‍රමාණයෙන් ¾ ක පමණ බඩ ඉරිඟුද (corn) අනිත් ¼ හි ඔයිල් පාම් (oil palm) ද වගාකිරීමට එම සමාගම සැලසුම් කර ඇති අතර දැනටමත් මතභේදයට පාත්‍රවී ඇති ‘ජෛව ඉන්ධන’ නිෂ්පාදනයට මෙම බෝග දෙකම විශාල වශයෙන් යොදා ගැනෙන බවද නොරහසකි. එපමණක්ද නොව ලෝකයේ තෙවන විශාලතම බඩඉරිඟු ආනයනය කරණ රට දකුණු කොරියාව වන අතර මෙවැනි විශාල බඩඉරිඟු ප්‍රමාණයක් යොදා ගන්නේ සත්ව ආහාර නිෂ්පාදනයන්ටය.  මිලියන 20 ක පමණ ජනගහණයෙන් ¾ ක් පමණ දුගී බවින් හා සාගිණින්නෙන් පෙලෙණ මැඩගස්කරය නිරන්තරවම ලෝක ආහාර වැඩසටහණින් (World Food Programme) ආහාර සහණාධාර ලබා ගනියි. එවැනි දුගී ජනගහණයක් ඇති රටක ආහාර භෝග වගාකොට වෙනත් රටක සත්ව ආහාර සඳහා යැවීම කෙතෙක් දුරට සමාජ ආචාර ධර්මවලට එකඟදැයි යන ප්‍රශ්නයට අමතරව පසුගිය දශක කිහිපයේදීම සංවර්ධනයවන දිළිඳු රටවල්තුළ කෘෂිකර්ම සංවර්ධනය අධෛර්යමත්කළ ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර ආයතන’ (international development aid organizations) තවමත් එවැනි රටවල් සඳහා සැළකියයුතු කෘෂිකාර්මික ආධාර ප්‍රමාණයක් ලබාදීමට පියවරක් නොගෙන එම රටවල් දිළිඳු ගොවීන් වගාකළ යුතු ඉඩම් මහ පරිමාණ අන්තර්ජාතික කෘෂි ව්‍යාපාරිකයින් කුණු කොල්ලයට ගන්නාවිට නිහඬව සිටින්නේ මන්දැයි යන ප්‍රශ්නයත් පැන නැ‍‍ඟේ.

වර්තමාන ලෝක ආහාර අර්බුදය හමුවේ බොහෝ ආහාර අපනයන (food exporting) කරණ රටවල් තම අපනයන් සීමා කිරීම නිසාත්, ජෛව ඉන්ධන නිෂ්පාදනයට බඩඉරිඟු වැනි කෘෂිකාර්මික භෝග අධික ලෙස භාවිතය නිසාත් විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය ආනයන කරණ (food importing) රටවල් දිළිඳු රටවල සරුසාර ඉඩම් විශාල පරිමාණයෙන් බදුගෙන තමන්ට අවශ්‍ය භෝග වගාකිරීමට පෙළඹී ඇත. මීට අමතරව වර්තමාන ආහාර මිල ඉහළ යෑම නිසා හා වෙනත් ආයෝජන ක්ෂේත්‍ර කඩාවැටීම හමුවේ මහා පරිමාණ කෘෂිකාර්මික ආයෝජන කෙරෙහි පෞද්ගලික ව්‍යාපාරික සමාගම්වල පමණක් නොව බැංකු සහ වෙනත් මූල්‍ය ආයෝජන ආයතනවල සැලකිළ්ල යොමුවීමද මේ සඳහා තවත් හේතුවකි.

එහෙත් දිළිඳු හා සංවර්ධනයවන රටවල කෙරෙන කුඩා පරිමාණ, පරිසර හිතකාමී හා සාම්ප්‍රදායික තිරසාර කෘෂිකර්මය වසාගනිමින් මෙවැනි අන්තර් ජාතික ආයෝජනයන් මගින් කෙරෙන අක්කර මිලියන ගණනින් යුත් කාර්මික කෘෂිකර්මය (industrial farming) පැතිර ගියහොත් සිදුවන සමාජ, ආර්ථික හා පාරිසරික විනාශය අතිමහත්වනු ඇත.

මෙවැනි විදේශ ආයෝජනවල ප්‍රධාන පරමාර්ථය වන්නේ හැකි ඉක්මණින් උපරිම අස්වැන්නක් ලබා ගණිමින් උපරිම ලාභ ඉපයීම මිස සංවර්ධනයවන රටවල ආහාර සුරක්ෂිතභාවය ඉහළ දැමීම හෝ දිළිඳු ගොවීන්ගේ ජීවන තත්වය උසස් කරලීම හෝ කෘෂිකර්මය තිරසාර අන්දමින් පවත්වා ගැනීම හෝ නොවන බව නම් පැහැදිළිය.  උදාහරණයක් ලෙස මැඩගස්කරයේ ඉඩම් බදුගෙන සිටින දකුණු කොරියාණු සමාගමට අනුව හෙක්ටෙයාරයකට බඩඉරිඟු ටොන් 10 ක අස්වැන්නක් ලබා ගැනීමට ඔවුන් අපේක්ෂාකරයි. මෙය මැඩගස්කරයේ දැනට ඇති බඩඉරිඟු ඵලදායිතාවට වඩා  6-7 ත් ගුණයකින් වැඩිය. මෙයින් අදහස්වන්නේ ඒ සඳහා ජානමය වෙනස්කම් කරණ ලද බීජ හා විශාල වශයෙන් පොහොර හා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇති පෙළඹීමයි. 

මෙවැනි මහ පරිමාණ විදේශික කෘෂි ව්‍යාපාර මගින් ගොවි ප්‍රජාවට තම ඉඩම් අහිමිවීමත්, ඔවුන් තම වාසභූමිතුළම අඩු පඩිලබන කම්කරුවන්බවට පත්වීමත්, විශාල අන්දමින් වනාන්තර එළිකිරීමත්, ‍පස සෝදා පාළුවීමත්, විශාල වශයෙන්  පොහොර හා රසායනික ද්‍රව්‍ය භාවිතය හා තනි බෝග වගාවන් (mono-cropping) නිසා ජෛව විවිධත්වයට සිදුවිය හැකි හානිත් නිසා සංවර්ධනයවන  දිළිඳු රටවලට දීර්ඝ කාලීනව අත්විඳින්නට සිදුවන විපාක සුළුපටු නොවනු ඇත. මෙම පසුබිම තුළ ඇති හොඳම විකල්පය වන්නේ සංවර්ධනයවන හා දිළිඳු රටවල් තුළ කුඩා පරිමාණ, තිරසාර හා දේශීය කෘෂිකර්ම ප්‍රයත්නයන් ධෛර්යමත් කිරීමයි. ඒ සඳහා අන්තර්ජාතික සංවර්ධන ආධාර ආයතනවල අවධානය දැනට වඩා යොමුවිය යුතුය.

මූලාශ්‍ර:
http://www.telegraph.co.uk/earth/agriculture/3487668/South-Korean-company-takes-over-part-of-Madagascar-to-grow-biofuels.html

http://www.time.com/time/world/article/0,8599,1861145,00.html

 


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්