සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

“ආසියාවේ අනාගත ආහාර අවශ්‍යතා සපුරාගැනීමට නම් පවතින වාරි පද්ධති කාර්යක්ෂම කරගැනීම අවශ්‍යයි”ලෝක ජල සතිය නිමිත්තෙන් අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය නිකුත්කළ ප්‍රකාශනය
IWMI calls to revitalize Asia’s irrigation to ensure future food security

(2009 අගෝස්තු 24)

වාර්ෂිකව යෙදෙන ලෝක ජල සතිය (World water Day) මේ වර්ෂයේද අගෝස්තු 16 – 22 සතිය සියළුම රටවල පාහේ විවිධ අන්දමින් සැමරීමට ලක්විය. ජල කළමනාකරණය සම්බන්ධයෙන් මූලිකවන ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරය කේන්ද්‍රකරගත් අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (International Water Management Institute – IWMI) හා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල්වල පිහිටි එම ආයතනයේ ශාඛා ආයතන මෙම ජල සතිය සැමරීමේ මූලිකත්වය ගන්නා ලදී. මෙවර ලෝක ජල සතියට සමගාමීව IWMI ආයතනය මගින් නිකුත්කරන ලද  “Revitalizing Asia’s Irrigation: To Sustainably Meet Tomorrow’s Food Needs” (හෙට දිනයේ ආහාර අවශ්‍යතා තිරසාරව සපුරාලීම සඳහා ආසියාවේ වාරිමාර්ග පද්ධතිය නඟාසිටුවීම) ප්‍රකාශනය මගින් ආසියාවේ ජල භාවිතය හා කළමනාකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරඇත.

මෙම ප්‍රකාශනයට අනුව ඉතිරි වසර 40 තුළ ආසියාණු ජනගහණයට තවත් පුද්ගලයින් බිලියන 1.5 ක් එකතුවන අතර ඒවන (2050) විට බිලියන 5 ඉක්මවන ආසියානු ජනගහණයට හා ඔවුන්ගේ කෘෂි බෝග
නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය අතිමහත්ය.

ලෝකයේ වාරි ජලය සැපයෙන කෘෂිකාර්මික ඉඩම්වලින් (irrigated land) 40% ක්ම ඇත්තේ ආසියාවේය. තවද ලෝකයේ අනිකුත් සියළුම රටවල වගා ඉඩම් වලින් 18% ක් පමණක් වාරිකරණයවී ඇති නමුත් ආසියාවේ වගා ඉඩම් ප්‍රමානයෙන් 34% ක්ම වාරිකරණයවී ඇත. මෙවැනි අධික වාරිකරණ පසුබිමක් ඇති ආසියාවේ වාරි ජල අවශ්‍යතාවය දිගින් දිගටම පවත්වාගෙනයෑම ආසියාණු රටවලට ඇති ඉමහත් අභියෝගයකි.

 

 

එපමණක්ද නොව වැඩිවන ජනගහණයට සරිලන අන්දමින් කාෂිබෝග නිෂ්පාදනයද වැඩිකරගැනිමට නම්  ඉදිරි වසර 40 තුළදී ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාණු රටවල වාරි ජල ප්‍රමාණය 35% පමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතුය. එහෙත් මෙය ඉතා අසීරු කාර්යයකි. මෙම ගණන් බැලීම් සඳහා දේශගුණික විපර්යාසවල බලපෑම් සැලකිල්ලට ගෙන නොමැති අතර දේශගුණික බලපෑම් නිසා ඇතිවන ජල හිඟයන් සැළකිල්ලට ගතහොත් මෙම වාරි ජල ඉලක්කය ලඟාකරගැනීම තවත් අසීරුවනු ඇත.

මෙම තත්වය තුළ ආසියාණු කලාපයේ රටවල්වලට ගතහැකි පියවර තුනක් පිළිබඳව මෙම ප්‍රකාශනය  ඉඟිකරයි. ඒවා නම්: (1) හැකි තරම් දුරට අහස් ජලයෙන් කෙරෙන (rain fed) වගා බිමි ප්‍රමාණය වැඩි කිරීම (2) දැනට අකර්මන්‍යව පවතින වාරිමාර්ග පද්ධති පිළිසකර කිරීම හා (3) ධාන්‍ය වර්ග ආනයනය කිරීමයි.

දකුණු ආසියාණු කලාපයෙහි වාරි ජලය යොදාගත හැකි ඉඩම් වලින් 94% ක්ම දැනටමත් වගා කෙරෙන නිසා නව වාරිමාර්ග පද්ධති ඇති කිරීමෙන් ඵලක් නොවන බැවින් අහස් ජලයෙන් වගා කළහැකි වෙනත් ඉඩම් ආහාර නිෂ්පාදනය සඳහා තෝරා ගැනීමට සිදුවනු ඇත. එසේ වැඩිපුර ඉඩම් වගාව සඳහා යොදා ගැනීමේදී සිදුවිය හැකි පාරිසරික අනර්ථයන් පිළිබඳවද මෙම ප්‍රකාශනය අනතුරු අඟවා ඇත.

පැරණි හා අකර්මන්‍යව පවතින වාරි පද්ධති නවීකරණය කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරවන මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති පැරණි දැදුරු ඔය වාරිමාර්ග ක්‍රමය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ සඳහා මනා ආදර්ශයක් සපයන බවද පෙන්වා දෙයි. 

මේ අතර ඉන්දියාව ඇතුළු බෙහෝ රටවල ගොවීන් අතර ප්‍රචලිත වෙමින් පවතින ගැඹුරු ලිංවලින් (deep wells) ජලය පොම්ප කිරීමේ වාරි ක්‍රමයද ප්‍රවේශම් සහිතව දිරි ගැන්විය යුතුයැයි මෙම ප්‍රකාශනයේ සඳහන්වේ. වැව් හා පොකුණු වැනි වාරි පද්ධතිවලින් මෙන් පොළොව මතුපිට ජලය (surface water) රැඳවූ ජලය භාවිතය වෙනුවට පොම්ප කිරීමෙන් භූගත ජල තට්ටුවෙහි (ground water) ඇති ජලය ඇදගැනීම කරන නිසා එම ජල තට්ටුවෙහි ඇති ජලධර (aquifers) වලට හානි සිදුවිය හැක. එම නිසා තෝරාගත් ප්‍රදේශවල පමණක් මෙම පොම්ප වාරි ක්‍රමය ප්‍රචලිත කිරීම සිදුකළ යුතුය. දැනටමත් ඉන්දියාවේ පමණක් මෙවැනි ජල පොම්ප මිලියන 19 ක් පමණ සංඛ්‍යාවකින් වාරි ජලය සැපයෙන අතර ඉන්දියා‍වේ වාරි ජල ප්‍රමාණයෙන් 60% ක්ම භූගත ජල පොම්ප මගින් සැපයේ. මෙම වාර්තාව පෙන්වා දෙන අන්දමට මුළු ලෝකයේම භාවිතාවට ගන්නා භූගත ජලයෙන් හරි අඩක් පමණම භාවිතා කරන්නේ  දකුණු ආසියාණු රටවල්ය.

පාරිසරික වශයෙන් අනතුරුදායකවුවද භූගත ජල පොම්ප කිරීම පාලනයකළ නොහැක්කේ පොළොව මතුපිට ඇති ජලය ගබඩා කරන හා බෙදා හරින වැව්, අමුණු හා ඇළවේලි පද්ධතීන් නිසි ලෙස නඩත්තුකිරීම හෝ නවිකරණය නොකිරීම නිසා ඒවායේ ඵලදායිතාවය අඩුවීම නිසාය. එම නිසා ගැඹුරු ලිංවලින් ජලය පොම්ප කිරීම නැවැත්වුවහොත් දකුණු ආසියාවේ කෘෂි නිෂ්පාදනය සැළකියයුතු ලෙසින් කඩා වැටෙනු ඇත.

පසුගිය දශක කිහිපයතුළ සමහර අන්තර් ජාතික සංවර්ධන ආයතන මගින් හඳුන්වාදී දිරිගන්වන ලද ගොවීන් සම්බන්ධකරගත් සහභාගිත්ව වාරි කළමනාකරණ ක්‍රමයන් (Participatory Irrigation Management – PIM) මගින්ද අපේක්ෂිත ප්‍රථිඵල අත්නොවුන අතර එවැනි බොහොමයක් වාරි ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාවය තිබූ තත්වයටත් වඩා පහත වැටී ඇත.  එම නිසා ගොවීන් විසින්ම ආරම්භ කරන ජලය පොම්ප කිරීමවැනි පෞද්ගලික ප්‍රයත්නයන් වඩාත් සැළසුම් සහිතව කිරීමට දිරිගැන්වීම වඩා ඵලදායීවනු ඇතැයි මෙම ප්‍රකාශනය පෙන්වාදෙයි. ඒ සඳහා කැපවන රාජ්‍ය හා වෙනත් ආයතනවල තාක්ෂණික හා කළමනාකරණ ධාරිතාවය ඉහළ නැංවීමද අත්‍යවශ්‍ය කරුණකි.

මෙම ප්‍රකාශනය පෙන්වා දෙන පරිදි ආසියාවේ වාරි කර්මාන්තය අද ඇත්තේ අතරමංවූ තත්වයකය. ආයෝජන හිඟ කමින් හා පරිසර බාධක නිසා වසර කිහිපයක් අත්හැර දමා අකර්මන්‍යව ඇති වාරි මාර්ග පද්ධති පිළිසකර කිරීමේ අවශ්‍යතාවය යළිත් මතුවි තිබේ. ඒ සම්බන්ධයෙන් අතීතයේ ලබාගත් අසාර්ථක අත්දැකීම් පිටු දැක අනාගත ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට නම් නව්‍ය (innovative) වාරි කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කල යුතුය.

එහෙත් ආසියාවේ පමණක් නොව සියළුම සංවර්ධනයවන රටවල්වල ආර්ථික වර්ධනය (economic growth) සඳහා කෘෂිකර්මයෙන් වැදගත් කාර්යභාරයක් සිදු නොවන්නේය යන මතය පෙරදැරි කරගත් ජාත්‍යන්තර සංවර්ධන ආයතන විසින් ශ්‍රී ලංකාව වැනි රටවල්වල වාරිමාර්ග සංවර්ධනය අධෛර්යමත් කිරීම එම වාරිමාර්ග පද්ධති අකර්මන්‍යවීමට මූලික හේතුවක් බව අප අවබෝධ කරගත යුතුය. 2007 ඉස්මතුවූ ලෝක ආහාර අර්බුදයත් ඉන්පසුව පැනනැඟුන ගෝලීය මූල්‍ය අර්බුදයත් සමගම කර්මාන්ත හා සේවා අංශවලට වඩා කෘෂි ක්ෂේත්‍රයෙහි වැදගත්කම ඉස්මතුවන්නට පටන්ගැනීම නිසා ජාත්‍යන්තර සංවර්ධන ආයතනද කෘෂිකර්මය නඟාසිටුවීම සඳහා නැවත පෙළගැසෙන බවක් පෙනෙන්ට තිබේ.

එමනිසා මෙම අවස්ථාව නිසි හා උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගනිමින් තම රටවල්වල කෘෂි ආර්ථිකය ගොඩ නඟා ගැනීමට සංවර්ධනයවන රටවල් පෙළඹිය යුත්තේ වෙන කිසිවක් නිසා නොව නුදුරු අනාගතයේදී කෘෂිකර්මය සංවර්ධනය කරගැනීමට එම රටවල්වලට ලැබෙන අවසාන අවස්ථාව මෙය විය හැකි නිසාය.

මූලාශ්‍රය:

http://www.iwmi.cgiar.org/SWW2009/PDF/Revitalizing%20Asia's%20Irrigation.pdf

ප්‍රථම ලෝක මානුෂීයවාදී දිනය සැමරේ
First World Humanitarian Day Observed worldwide

(2009 අ‌ගෝස්තු 21)

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක මානුෂීය සේවා  දිනය (World Humanitarian Day) ප්‍රථම වරට පෙරේදා (අගෝස්තු 19) දිනයේදී සමරන ලදී. මෙම දිනය වෙන් කරඇත්තේ ලොව පුරා විවිධ රටවල සේවයේ යෙදි සිටියදී ප්‍රහාරයන්ගෙන් මරණයට පත්වූ මානුෂීය සහණ සේවකයින් සිහිපත් කිරීම සඳහාය. මිට වසර හයකට පෙර ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට එල්ලකළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයවූ දිනය මේ සඳහා තෝරා ගෙන ඇත. එම ප්‍රහාරයේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවකයින් 22 නෙකු මිය‍ගියේය.

පසුගිය වසර 12 ක පමණ කාලයතුළ ලොවපුරා මානුෂීය සහණ සේවකයින් 800 ක් පමණ මියගිය අතර විවිධ සංවර්ධන ආයතනවල සේවයේ යෙදී සිටින සහණ සේවකයින් අවදානමට ලක්වන ප්‍රවනතාවය වැඩිවන බවද පෙනීයයි.  1998 දී ප්‍රහාරවලට ලක්වෙමින් මියගිය සහණ සේවකයින් ගණන 36 ක් වන අතර 2008 වර්ෂයේ එම සංඛ්‍යාව 122 ක්විය.

සහණ සේවකයින් සඳහා ප්‍රචන්ඩත්වය වැඩි වශයෙන්ම එල්ලවන රටවල් තුන ලෙස සුඩානය, ඇෆ්ගනිස්ථානය හා සෝමාලියාව පිළිගැනෙන අතර මෙම වර්ෂයතුළ (2009) සෝමාලියාවේ පමණක් ප්‍රහාරවලින් මරණයට පත්වූ සහණ සේවකයින් ගණන 8 ක් වන අතර 13 දෙනෙකු තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇත.

මූලාශ්‍රය: http://ochaonline.un.org/News/WorldHumanitarianDay/tabid/5677/language/en-US/Default.aspx
(ඡායාරූපය: රොයිටර්)


විදේශිය ව්‍යාපාරයන්ට සේවා සපයන ගෝලීය BPO කර්මාන්තයේ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකාව
Sri Lanka is advancing in the global BPO industry

(2009 අගෝස්තු 20)
විදේශ රටවල්වල ව්‍යාපාර සඳහා විවිධ සහය සේවාවන් සපයන රටවල් අතුරින් වඩාත් ආකර්ෂණීය රටවල් 50 ශ්‍රේණිගත කෙරෙන ‘ගෝලීය සේවාස්ථාන දර්ශකය’ Global Services Location Index (GSLI) මෙම (2009) වර්ෂයේ මැයි මාසයේ නිකුත්වු අතර එම ශ්‍රේණිගත කිරීමට අනුව 2007 වසරේ 29 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙම වසරේ 16 වන ස්ථානයට පැමිණ තිබේ. මෙම වර්ධනාත්මක සිදුවීම ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක් ලෙසින් බොහෝ ව්‍යාපාරික විශ්ලේෂකයින් (business analysts) හඳුන්වාදෙන ලදී.

BPO නමැති (Business Process Outsourcing සඳහා කෙටි යෙදුම) ආකර්ෂණීය පදයෙන් හඳුන්වන්නේ ව්‍යාපාර සඳහා අවශ්‍ය සහය සේවා (backup support services for businesses) පිටස්තර ආයතනවලින් ලබා ගැනීමයි.  ඇමෙරිකාව, යුරෝපය හා ජපානය වැනි සංවර්ධිත රටවල්වල ව්‍යාපාරවලට අවශ්‍ය මෙවැනි සේවාවල්වලින් වැඩි කොටසක් සංවර්ධනයවන රටවල්වලින් ලබා ගන්නා අතර ඒ තුළින් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඉන්දියාව, චීනය, මැලේසියාව, පිලිපීනය හා ශ්‍රි ලංකාව වැනි සංවර්ධනයවන රටවල්වලින් අඩු වේතනයන්ට තාක්ෂණික ශ්‍රමය ලබා ගැනීමය. විදේශවලට අනුයුක්තවූ මෙම BPO ක්‍රියාවලිය වඩාත් ප්‍රචලිතවී ඇත්තේ ව්‍යාපාරික ක්‍රියාවලියන් සඳහා අවශ්‍ය දත්ත (data) හා තොරතුරු (information)  පරිගණක තාක්ෂණය මගින් විශ්ලේෂණය කරගැනීමටය. ඒ සඳහා සංවර්ධිත රටවල් තම රටවල්වල දත්ත නිවේශකයින් (data entry persons) හා පරිගණක ක්‍රමලේඛකයින් (computer programmers) සේවයේ යොදවා ගතහොත් ඒ සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. එම නිසා සංවර්ධිත රටවල්වල ඇති රක්ෂණ සමාගම් (insurance companies), ආරෝග්‍යශාලා (hospitals), විශ්‍රාම අරමුදල් (pension funds), බැංකු (Banks) වැනි විශාල ව්‍යාපාර පද්ධතිවල දත්ත හා තොරතුරු විශ්ලේෂණය කරවා ගැනීම කොන්ත්‍රාත් පදනමක් මත සංවර්ධනයවන රටවල්වල පිහිටුවා ඇති BPO මධ්‍යස්ථාන මගින් කරවා ගනු ලබයි.

මේ සඳහා පරිගණක දත්ත නිවේශකයන් විශාල සංඛ්‍යාවක් සේවයේ යොදවා ගන්නා BPO මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් සංවර්ධනයවන රටවල ක්‍රියාත්මක වේ. අන්තර්ජාල පද්ධතිය ඔස්සේ සංවර්ධිත රටවල්වල ඇති ව්‍යාපාරවලින් දෛනිකව ලබාගන්නා දත්ත විශ්ලේෂණය කොට නැවත යැවීමේ මෙම ක්‍රියාවලිය සංවර්ධනයවන රටවල්තුළ විශාල BPO කර්මාන්තයක් (BPO industry) බවට පත්වී තිබේ. ගෝලීය වශයෙන් මෙම විදේශවලට අනුයුත්ක BPO කර්මාන්තයෙන් ජනිතවන මුළු වාර්ෂික ආදායම ඇ. ඩොලර් බිලියන 150 ක් පමණවේ. 

ඉහත දැක්වූ ‘ගෝලීය සේවාස්ථාන දර්ශකය’ මත සංවර්ධනයවන රටවල් ශ්‍රේණිගත කිරීම මගින් ඇත්තෙන්ම සිදුකරනු ලබන්නේ තරඟකාරිව මෙම BPO කර්මාන්තයේ කොටස්කරුවන් වීම සඳහා සංවර්ධනයවන රටවල් ඇති සූදානම හා සුදුසුකම් සැසඳිමකට ලක්කිරීමයි. මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරන A.T. Kearney නමැති ජාත්‍යන්තර සමාගම පවසන්නේ ඒසඳහා ප්‍රධාන මිනුම් දඬු තුනක් යොදාගන්නා බවයි.

  • අඩු පිරිවැය වාසිය (Low cost advantage): මේ සඳහා මූලිකවන්නේ අඩු ශ්‍රම ගෙවිම්/වේතන (staff costs) හා අඩු පොදුකාර්ය පිරිවැයයි (overhead costs).
  • කුසලතා ඇති සේවක බලකායක් (skilled workforce): මූලික අධ්‍යාපන පසුබිමක් සහිත අවම උත්සහායකින් පුහුණුකර සේවයේ යෙදවීමට හැකි පුද්ගලයින්
  • ව්‍යාපාර පවත්වාගෙන යෑමට සුදුසු පරිසරයක් (Business environment): අන්තර්ජාල යටිතල පහසුකම් ඇති, ගැටුම්වලින් තොර හා සමාජ දේශපාලනික වශයෙන් ස්ථාවර වටපිටාවක්.

2007 ශ්‍රේණිගත කිරීමේදී 29 ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2009 ශ්‍රේණිගත කිරීමේදී 16 ස්ථානයට ප්‍රගමණයවීමේදී මෑතකාලීනව ලැබූ යුද ජයග්‍රහණය හේතුපාදක නොවන්නේ 2009 වාර්තාව සැකසිම සඳහා භාවිතා කරඇත්තේ 2008 වර්ෂයට අදාළ තොරතුරු නිසාය. මෙම ශ්‍රේණිගත කිරීමේ වාර්තාව පවසන පරිදි BPO කර්මාන්තයට උචිත රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණිමට මූලිකවම හේතුපාදකවී ඇත්තේ අනිකුත් රටවලට සාපේක්ෂකව අඩු පිරිවැයක් සහිත රටක්වන නිසාය.

මේ අනුව අපට පෙනී යන්නේ ඇඟළුම් කර්මාන්තය (garment industry හා විදේශ සේවා නියුක්තිකයන් (foreign employed labour) වැනි ප්‍රධාන වශයෙන්ම ශ්‍රමය අලෙවි කිරීමෙන් ආදායම් ලැබීමේ ක්‍රම දෙකට අමතරව BPO කර්මාන්තයත් ශ්‍රී ලංකාවේ ශ්‍රමය අලෙවි කිරීම මගින් ආදායම් ලබා ගන්නා තෙවන කාණ්ඩය ලෙස ගොඩනැගෙනු ඇති බවයි. මෙම ආදායම් කාණ්ඩ 3 ටම තිරසාරව පැවතිය හැකිවන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රම පිරිවැය අඩු මට්ටමක පවතින්නේ නම් පමණි. එහෙත් ගැටුම්කාරී තත්වයෙන් මිදීමෙන් අනතුරුව වැඩි කලක් නොගොස් ශ්‍රී ලංකාව සිංගප්පුරුව හෝ හොංකොං වැනි රටවල් මට්ටමට සංවර්ධනයවේයැයි සමහර ආර්ථික විශ්ලේෂකයින් හා දේශපාලනඥයින් කර ඇති අනාවැකි නිවැරදි වුවහොත් සිංගප්පුරුව හා හොංකොංවල මෙන් ‍අප රටේද ශ්‍රම පිරිවැය ඉතා වැඩිවනු ඇත. එසේවුවහොත් BPO කේන්‍ද්‍රයක් ලෙස පැවතීමට ශ්‍රී ලංකාවට නොහැකිවනු ඇත. මෙයට හොඳම උදාහරණ වන්නේ 2009 BPO ශ්‍රේණිගත කිරීමේදී පහළට වැටුනු මධ්‍යම යුරෝපීය රටවල්වන පෝලන්තය, හන්ගේරියාව, ස්ලෝවැකියාව හා චෙක් ජනරජයවැනි රටවල්ය. සංවර්ධනයත් සමගම ශ්‍රම පිරිවැය ඉහළයෑම එම රටවල් තවදුරටත් BPO සඳහා ආකර්ෂණිය ස්ථාන නොවන තත්වයට පත්කොට තිබේ.

එහෙත් ඉන්දියාව හා චීනය වැනි රටවල්වලට මෙය එතරම් ගැටළුවක් නොවන්නේ එම රටවල්වල සිටින බිලියන ගණනක්වන අධික ජනගහණයත් සමගම BPO කර්මාන්තය සඳහා ඇතුළුවීමට සුදානමින් විශාල අඩු ආදායම්ලාභී ජනගහණයක් සිටීමයි. විදේශවලට අනුයුක්ත ගෝලීය BPO කර්මාන්තයෙන් වාර්ෂිකව ජනිතවන ආදායමෙන් 63% ක් පමණ ලබාගන්නේ ඉන්දියාවන අතර එම ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 90 ක් (මිලියන 90,000) පමණවේ. එහෙත් ශ්‍රී ලංකාවේ වාර්ෂික BPO ආදායම වන්නේ ඩොලර් මිලියන 250 ක් පමණවන අතර එය ඉන්දියාවේ BPO ආදායමින් 0.3% ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි.

තම රටේ අඩු ආදායම්ලාභී ජනගහණය BPO කර්මාන්තයතුළට රිංගවීමේ උපායක් ලෙසින් වසර ගණනක සිටම ඉන්දියානු රජය ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව ලිවීමටත්, කතා කිරීමටත් හා පරිගණක දැනුම ලබා දීමටත් අවශ්‍ය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන ලදී. එහෙත් එවැනි උපාය මාර්ගයක් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් අඩු මිල පරිගණක ශ්‍රම බලකායක් (low cost computer labour pool) ගොඩනැඟිය යුතුද නැද්ද යන්න විමසා බැලිය යුත්තේ ඉන්දියාව හා චීනය වැනි රටවලට සාපේක්ෂකව එහි ඇති කුඩා ජනගහණය පමණක් නිසාම නොව වර්තමාන සාමකාමී වාතාවරණය තුළ BPO වලට වඩා වැඩි අගයකින් යුත් ව්‍යවසායික අවස්ථා (high value enterprise opportunities) ප්‍රයෝජනයට ගනිමින් සංවර්ධනයවිය හැකි නිසාය.

මූලාශ්‍ර:
http://newsrilanka.com/2009/08/sri-lanka-ranked-among-the-top-20-global-outsourcing-destinations/
http://www.atkearney.com/index.php/News-media/geography-of-offshoring-is-shifting.html
http://www.bpo.biz/bpo-news-blog/
http://www.itpro.lk/?q=node/2702


අනාවැකි බිඳලමින් ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන් එවන මුදල් ප්‍රමාණය ස්ථාවරව පවතී.
Sri Lanka remittances stable despite crisis situation

(2009 අගෝස්තු 16)

ශ්‍රී ලංකා මහ බැංකුව නිකත්කරන ලද පුවත් නිවේදනයකට අනුව 2009 වර්ෂයේ මුල් මාස 5 තුළ විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ඇ. ඩොලර් මිලියන 1308.6 ක් එවා ඇති අතර එම ප්‍රමාණය 2008 මුල් මාස 5 තුළ එවන ලද මුදල් ප්‍රමාණයට වඩා 2.9% ක වැඩිවීමකි.

මෙම ප්‍රවෘත්තිය තරමක් වැදගත්වන්නේ ගෝලීය ආර්ථික අර්බුදයට මැදිවී සිටින අවධියක ශ්‍රී ලංකාව ඇතුළු සියළුම සංවර්ධනයවන රටවලට තම විදේශ සේවා නියුක්තිකයින්ගෙන් වාර්ෂිකව ප්‍රේෂණයවන  මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී 2009 දී  එය 5% - 8% පමණ ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි බොහෝ ආර්ථික විශ්ලේෂකයින් අනාවැකි පළකර ඇති නිසාය. මේ පිලිබඳ අනතුරු ඇඟවීම කරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) හා ලෝක බැංකුවයි. විදේශිකයින්ට සේවා සැපයෙන සංවර්ධිත හා ‍ මැදපෙරදිග රටවල්වල ආර්ථිකයන් ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පසුබෑමකට ලක්වී සිටීම මෙවන් පසුබෑමකට හේතුව වේ.

මෙවන් අනතුරු ඇඟවීමක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට ප්‍රේෂණයවන විදේශ සේවා නියුක්තික මුදල් ප්‍රමාණය 2009 වර්ෂයේ මැද පමණවන විටත් තරමක වර්ධනයක් පෙන්වීම සතුටුදායක ප්‍රවෘත්තියක්වනවා නිසැකය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ කෙරෙන කතාබහේදී නිතර ඇසෙන ගෙවුම් ශේෂය (balance of payments) අවමව තබා ගැනීම සඳහා විදේශ සේවා නියුක්තික සම්ප්‍රේෂණ ඉතා වැදගත්වන අතර එම විදේශ නියුක්තික ආදායම  අපේ දළ ජාතික ආර්ථිකයෙන් 9% කට පමණ ආසන්නවේ. එපමණක්ද නොව පසුගිය දශකය තුළම වාර්ෂික දළ ජාතික ආදායමේ වර්ධන වේගය අභිබවා වර්ධනයවීමට විදේශ සේවා නියුක්තික සම්ප්‍රේෂණ ආදායමට හැකිවිය. එහෙත් 2005 සිට එම වාර්ෂික වර්ධනය ක්‍රමයෙන් හීනවී ඇති අතර ඒ පිළිබඳවද ආර්ථික විශේෂඥයින්ගේ සැළකිල්ල යොමුවිය යුතුය.

තවද සමහර මූල්‍ය විශ්ලේෂකයන්ට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව එවන විදේශ සේවා නියුක්තික මුදල් ප්‍රමාණයෙන් නිල වශයෙන් වාර්තාවන්නේ අඩක පමණ ප්‍රමාණයක් පමණි. එම වාර්තා අනුව ඇ. ඩොලර් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් විධිමත් මූල්‍යායතනවලින් පරිබාහිරවූ නිත්‍යකූල නොවන මාර්ගයන්ගෙන් ලැබේ. එම නිසා මෙසේ අවිධිමත්ව රටතුළට සම්ප්‍රේෂණයවන මෙම විශාල මුදල් ප්‍රමාණය විධිමත් මූල්‍ය පද්ධතිය හරහා ගලා එන්නට සැළසුවහොත් එය රටේ ආර්ථික අභිවෘද්ධියට ඉමහත් රුකුළක්වනු ඇත. එහෙත් එය කළ යුත්තේ නීතිමය බලපෑම්වලින්ම නොව විදේශ සේවා නියුක්තිකයින් වඩා දිරිමත් කෙරෙන නිර්මාණශීලී පෙළඹවීමකිනි.

මූලාශ්‍ර:
Central Bank of Sri Lanka
http://ictsd.net/i/news/bridgesweekly/34043/
http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:21987705~pagePK:64257043~piPK:437376~theSitePK:4607,00.html?cid=ISG_E_WBWeeklyUpdate_NL


දිළිඳු රටවලට G8 සමුළුව මගින් ලබාදුන් ඩොලර් බිලියන 20 යා යුත්තේ එම රටවල කුඩාපරිමාණ ගොවීන්ටමය
The US$ 20 billion aid of G8 should be spent on small holder farming

(2009 අගෝස්තු 08)

පසුගිය මස (ජූලි)  7 සහ 8 දිනයන්හි ඉතාලියේ පැවති G8 රාජ්‍ය නායක සමුළුවේදී දිළිඳු රටවල්වල කෘෂිකර්මය නගාසිටුවීම සඳහා ඇ. ඩොලර් බිලියන 20 ක් වැනි අතිවිශාල මුදලක් අනුමත කිරීම එම රටවල සාගිනි තත්වය මගහරිමින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සංවර්ධිත පොහොසත්රටවල් මගින්ගන්නා ලද ඓතිහාසික තීරණයක් ලෙස සටහන්වනු ඇත. බොහෝ විද්වතුන්ට අනුව මෙම දැවැන්ත කෘෂිකාර්මික සංවර්ධන ප්‍රයත්නය අනිකුත් ගෝලීය සංවර්ධන ප්‍රයත්න (සෞඛ්‍ය හා අධ්‍යාපනික වැනි) හා ඒකාබද්ධව ඇතිකරනු ලබන සුභවාදි ප්‍රථිපල 2015 වන විට දිළිඳු රටවල් ලඟාකරගත යුතු සහස්‍ර සංවර්ධන ඉලක්කවෙත යාමට බෙහෝ ලෙසින් ඉවහල්වනු ඇත.

එහෙත් ඇ. ඩොලර් බිලියන 20 ක් වැනි දැවැන්ත මුදලක් දිළිඳු රටවල කෘෂිකර්මය සඳහා වෙන් කිරීම අහඹු සිද්ධියක් නොව වර්ෂ හත අටකට පෙර සිටම එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ව්‍යාපෘතිය (UN Millennium development project) මගින් කරනුලැබූ බලපෑම්වල ප්‍රතිපලයකි. මෙම ව්‍යාපෘතිය දිගින් දිගටම අවධාරනය කළේ දිළිඳු රටවල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට නම් එම රටවල්වල කුඩා ඉඩම්හිමි (අක්කර දෙකකට පමණ අඩු) ගොවීන්ගේ (small holder farmers) වගාවන්වල ඵලදායිතාවය වැඩිකළ යුතු බවය. සාගින්නෙන් පෙළෙන බොහෝ ‍දිළිඳු රටවල වැඩි දෙනෙකු එවැනි කුඩාපරිමාණ ගොවියන්වුවද හොඳ අස්වැනු ලබාදිය හැකි බීජ වර්ග (improved seeds) , පොහොර (fertilizer), කෘෂිකාර්මික උපකරණ (agricultural tools) හා යන්ත්‍රෝපකරණ (agricultural machinery) ලබාගැනීමට නොහැකි කමින් ඔවුන්ගේ අස්වනු ඵලදායිතාවය ඉතා පහළ මට්ටමක තිබීම එම රටවල සාගිනි තත්වයට ප්‍රධානම හේතුවයි.

එම නිසා 2002 සිටම එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ව්‍යාපෘතියට දායකවූ විද්වතුන් පවසන්නේ G8 මුදල් අනුමත කරගැනීමට ගත් වෙහෙසෙහි ප්‍රථිපල දැකීමට නම් වහා ක්‍රියාත්මක වෙමින් දිළිඳු රටවල කුඩා ‍පරිමාණ ගොවීන්ට පොහොර හා වැඩිදියුණු කරනලද බිජ වර්ග සහණදායී අඩුමිලට (subsidized rates) හෝ අවශ්‍යවුවහොත්  නොමිලයේම ලබා දීමටද කටයුතු කළයතු බවයි. ඒ තුළින් අස්වනු සරුවී ඔවුන්ගේ ඉතිරි කිරීම්, පිරුණු අටු කොටු, ගොවිපල සතුන්, වර්ධනයවූ ළමා සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි වත්කම් වර්ධනයවනු ඇත. මෙසේ වර්ධනයවන වත්කම් නිසා මූල්‍ය ආයතන මගින් ණය පහසුකම් ලබා ගැනීමටද ඔවුන් සුදුසුකම් ලබනු ඇත.

එහෙත් යුහුසුළුව හා ඵලදායීව මෙම කටයුත්ත කිරීම සඳහා ඉස්මතුවිය හැකි ප්‍රධානම බාධකය විය හැක්කේ ගෝලීය සංවර්ධන හා දායක ආයතන පද්ධතිය තුළ ඇති ආයතනික නිලධාරීවාදයයි (institutional bureaucracy). G8 සමුළුව මගින් අනුමතවූ මෙම ඩොලර් බිලියන 20 න් කොටසක් ලබාගෙන දිළිඳු රටවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේවනවිටත් දායක ආයතන හා අන්තර් ජාතික සංවර්ධන ආයතන කිහිපයක් පෙළගැසෙමින් තිබෙණවා වියහැක. එවැනි ආයතන මෙම මුදල්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් සහයෝගිතාවයන් ගොඩනැඟීමට (partnership building) , වැඩමුළු හා සම්මන්ත්‍රණවලට (workshops and seminars), විශේෂඥ උපදෙස් සඳහා(expert consultations)  , ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා (air travel) හා වෙනත් පොදුකාර්ය වියදම් සඳහා (overheads) වැයකරනු ඇත. මේ මගින් මුදල් නාස්තිවනවා පමණක් නොව අපේක්ෂිත වැඩසටහන ඇරඹීමටද බොහෝ කාලයක් ගතවනු ඇත.

මෙම බාධකය මඟහැරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන ව්‍යාපෘතියට දායකවූ විද්වතුන් පෙන්වා දෙන්නේ G8 අනුමත කෘෂිකාර්මික සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන සංවර්ධන ආයතන දෙකක් හෝ තුනක් සම්බන්ධ කරගෙන අදාළ දිළිඳු රටවල් සමගම ඍජුවම කටයුතු කිරීම යෝග්‍ය බවයි. ඒ හැම රටක්ම තම රටේ කුඩාපරිමාණ ගොවීන්ට බීජ වර්ග, පොහොර, කෘෂි උපකරණ, ගබඩා පහසුකම් හා කෘෂි උපදෙස් සේවා ආදිය ලබාදීමට අවශ්‍ය ක්‍රියාත්මක සැලසුම් පිළියෙලකර එම ආයතන කිහිපය වෙත ඉදිරිපත්කළ යුතුය. එම සැළසුම් ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් විසින් ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුව අවශ්‍ය වෙනස්කම්ද  කිරීමෙන් පසු අවශ්‍ය මුදල් ඉක්මණින්ම නිදහස් කිරීමට කටයුතුකළ යුතුය. ඉන්පසුව නිරතුරවම එම වැඩසටහන් පසුවිපරම්වලට හා විගණනයන්ට භාජනයකළ යුතුවේ.

මෙම යෝජනාව අළුත් අදහසක් නොවන අතර ඒ ආකාරයට ක්‍රියාත්මකවන ඉතා සාර්ථක වැඩසටහන් දෙකක්වන - ‘එන්නත් හා ප්‍රතිශක්තීකරණය සඳහාවූ ගෝලීය සන්ධානය’(Global Alliance on Vaccines and Immunizations) හා  ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව පිටුදැකීම සඳහාවූ ගෝලීය අරමුදලත්’ (Global Fund to Fight Aids, TB, and Malaria) ඒ සඳහාවූ හොඳ නිදසුන්ය.

ඉහත සඳහන්කල විද්වතුන්ට අනුව දිළිඳු රටවල කෘෂිකර්මාන්තය තිරසාරව සංවර්ධනය කිරීමේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රධානතම ආයතන දෙක වන්නේ ලෝක බැංකුව (World Bank) හා කෘෂිකර්මය සංවර්ධනය කිරීම සඳහාවූ ජාත්‍යන්තර අරමුදලයි (International Fund for Agricultural Development – IFAD). එය හොඳ යෝජනාවක් වන නමුදු ලෝක බැංකුව වැනි ගෝලීය කෘෂිකර්මාන්ත සංවර්ධනය සම්බන්ධයෙන් මතභේදාත්මක ස්ථාවරයක් උසුලන සංවර්ධන ආයතනයක් සමග ඉතා දිළිඳු හා කුඩා ඉඩම් හිමි ගොවීන් සඳහා සහණාධාර මට්ටමේ කෘෂි සංවර්ධන වැඩ සටහනක් කරන්නට යෑම තරමක් ගැටළු සහගතවිය හැක. IFAD මේ සඳහා සුදුසු ආයතනයක් වුවද සංවර්ධනයවන රටවල්තුළ වෙළඳපල කේන්ද්‍ර කරගත් විශාල ව්‍යාපාරික සමාගම් සම්බන්ධකරගත් කෘෂි සංවර්ධන වැඩසටහන්වලට එම ආයතනය පුරෝගාමිත්වයක් ලබා දෙන බවක් පෙනෙන්නට තිබේ. එවැනි පසුබිමක් තුල දිළිඳු කොටස් මුල්කරගත් කෘෂිකාර්මික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තිමය මතභේදවලට තුඩු නොදෙන ප්‍රවේශම්කාරී ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට IFAD වලට සිදුවනු ඇත.

ලෝක බැංකුව හා IFAD මෙවැනි අතිවිශාල අරමුදලක් සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යෑම පිළිබඳව පැනනඟින අනික් ගැටළුව වන්නේ  එම ආයතන දෙකම බොහෝවිට තම වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නේ අදාළ රටවල රජයන් සමග පමණක්වීමත් සහ බොහෝ දිළිඳු රටවල්වල රාජ්‍ය ආයතනයන් විනිවිද බවින් තොර, දූෂණයෙන් පිරි හා අකාර්යක්ෂම ඒවාවීමත්ය.

එම නිසා G8 සමුළුවෙන් දිළිඳු රටවල්වල කෘෂි සංවර්ධනය සදහා ලබාදුන් මෙම අරමුදල එම රටවල්වල කෘෂිකර්මාන්තයෙහි පුරෝගාමීන්වූ කුඩාපරිමාණ ගොවීන්ගේ යහපත සඳහාම කඩිනමින්, ඵලදායී ලෙසින් හා ආයතනික නිලධාරිවාදය මගහැර භාවිතා කිරීම සියළුම ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල මූලික වගකීමක්වනු ඇත.    

http://www.guardian.co.uk/commentisfree/2009/jul/26/g8-agriculture-smallholding-aid