සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවත් තුළ කෘෂිකර්මය වැදගත් අන්තර්ගතයක්විය යුතුයි
Agriculture should be an important element in climate change talks

(2009 අප්‍රියෙල් 12)

2009  දෙසැම්බර් මාසයේ කෝපන්හේගන්වල (ඩෙන්මාර්කයේ) පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ න්‍යාය පත්‍රයට අඩංගුවිය යුතු කරුණු විමසා බැලීම සඳහා විවිධ කතිකාවන් (negotiations) මේ දිනවල පැවැත්වෙමින් තිබේ. මෙම කෝපන්හේගන් සමුළුව ගැන මෙතරම් උනන්දුවක් දැක්වෙන්නේ 1997 සම්මතවූ දේශගුණික විපර්යාස පිළිබඳවූ ‘කියෝටෝ සම්මුතියෙහි’ (Kyoto protocol) පැහැදිළි වෙනසක් සිදුවියයුතුයැයි යන අදහස ඉස්මතුවෙමින් පවතින නිසාය. සමහරෙකුට අනුව මෙම කෝපන්හේගන් සමුළුවේදී ‘කියෝටෝ සම්මුතිය’ වෙනත් සම්මුතියක් මගින් ප්‍රතිස්ථාපනයවීමටද (replace) ඉඩඇත.

මෙම කෝපන්හේගන් දේශගුණික විපර්යාස සමුළුව සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබෙණ සාකච්ඡාවල වැදගත් මාතෘකාවක් බවට කාෂිකර්මය පත්ව ඇත්තේ දැනට සම්මතවී ඇති ‘කියෝටෝ සම්මුතිය’ තුළ කෘෂිකර්මය වැදගත් අන්තර්ගතයක් නොවීම හා කෘෂිකර්මය හා දේශගුණික විපර්යාස අතර සම්බන්ධය බලවත් මාතෘකාවක් බවට පත්ව තිබීමත්ය.

දේශගුණික විපර්යාස සඳහා බලපාන වැදගත් සාධකයක්වන හරිතාගාර වායුවලින් 14% ක්ම ඍජුවම කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු නිසාත් තවත් 17% ක් ඉඩම් භාවිතය හා කැලෑ එළිකිරීම් වැනි වක්‍රාකාර හේතූන් නිසාත් සිදුවෙන අතර දේශගුණික විපර්යාස නිසා ලෝකයේ දිළිඳු ප්‍රජාවගෙන් 50% ක් පමණවන ගොවීන්ටද අපමණ හානි විඳීමට සිදුව ඇත. ගංවතුර, නියඟයන්, කෘමි වසංගත හා අස්වනු අඩුවීම නිසා ඔවුන්ගේ ආදායම් හා ජිවන තත්වයන් කඩා වැටෙන අතර සාගින්න හා ලෙඩරෝග වැනි පීඩාවන්ද ඉහළ යමින් සිටී.

කෘෂිකර්මය හා දේශගුණික විපර්යාස අතර තිබෙන මෙම ද්වන්ධ බලපෑම (dual influence) අවම කිරීමට නම් දැනට අනුගමනය කෙරෙන ඉඩම් භාවිතයේ (land use) හා පස සැකසිමේ (soil tillage) ක්‍රමද, සෝදා පාළු ඉඩම් ප්‍රථිස්ඨාපනය කිරීම්ද (restoration of degraded land), තණ බිම් කළමනාකරණයද (grassland management), වාරි ජලය හා පොහොර භාවිතයද වඩා කාර්‍යක්ෂම, පරිසර හිතකාමී හා ඵලදායී අයුරින්  කිරීමට ගොවීන්ට උපකාරී කරමින් ඔවුන් ඒ සඳහා පෙළඹවිය යුතුය.

එහෙත් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයන් (research), තාක්ෂණ සංවර්ධනය හා ප්‍රචලිතය (technology development & dissemination), ආයතිනක සංවර්ධනය (institutional development) වැනි දෑ සඳහා විශාල ආයෝජනයන් මූලිකව කළ යුතුය. එවැනි ආයෝජනයන් දේශගුණික විපර්යාස අවම කිරීමට පමණක් නොව දිළිඳු ගොවීන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත් හා ඔවුන්ගේ දරිද්‍රතාවය අවම කිරීමටත් ඉමහත් පිටිවහලක්වනු ඇත.

එහෙත් අවාසනාවකටමෙන් 1997 දි සම්මතවූ දේශගුණික විපර්යාස පිළිබඳ කියොටෝ සම්මුතියේ කෘෂිකර්‍මයට එතරම් වැදගත් අවධානයක් යොමුවී නොමැත. මෙම සම්මුතිය යටතේ ක්‍රියාත්මකවන ‘පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණය’ (clean development mechanism – CDM) යටතේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කාර්මික අංශයට විනා කෘෂිකර්මය අංශය තුළ මූල්‍ය ආයෝජනයන් සඳහා ලැබී ඇති ඉඩකඩ ඉතාමත් අප්‍රමාණවත්ය.

මේ අඩුපාඩුව පිළිබඳ අවධානය යොමු කරන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ‘පසට කාබන් අවශෝෂණය කරවීම’ (carbon sequestration) වැනි ‍දේශගුණික විපර්යාස අවම කිරීමේ යාන්ත්‍රණයන් සඳහා කෘෂිකර්මයට බොහෝ ඉඩකඩක් ඇති බැවින් 2009 දෙසැම්බර් මස කෝපන්හේගන් සමුළුවේදී එකඟවීමට අපේක්ෂිත එක්සත් ජාතීන්ගේ සම්මුතියට කෘෂිකර්මය ප්‍රධාන තේමාවක් ලෙස අන්තර්ගත කළ යුතුයැයි අවධාරනය කරයි.

මූලාශ්‍ර:
http://www.ifpri.org/2020/focus/focus16/focus16br01.asp
http://www.fao.org/news/story/en/item/11356/icode/


මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස ලබාදෙන උත්තේජක පැකේජයන් තුළින් නව අර්බුද ඉස්මතුවිය හැක
Stimulus packages may create new hazards

(2009 අප්‍රියෙල් 10)

ලෝකයේ බොහෝ රටවල්වලට මුහුණ දීමට සිදුවඇති මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම රටවල්වල රාජ්‍ය මැදිහත්වීමෙන් මූල්‍ය ආධාරක උත්තේජක පැකේජයන් (financial support stimulus packages) හඳුන්වාදීම මේවන විට සිදුවෙමින් පවතී. මෙම උත්තේජක පැකේජයන් මගින් ඩොලර් බිලියන ගණනක ණය ආධාර පෞද්ගලික අංශයේ බැංකු හා වෙනත් මූල්‍යායතන වෙත ලබාදෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ආහාර සමාගමක්වන නෙස්ලේ හි (Nestle) සභාපතිවරයා මෙන්ම ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් සුවිස් (Credit Suisse) නමැති බැංකුවේ උපසභාපතිවරයාද වන පීටර් බ්‍රාබෙක් (peter Brabeck) පවසන්නේ මෙවැනි උත්තේජක පැකේජයන් නිසා නව අර්බුදයන් ඇතිවිය හැකි බවයි. ඔහු ඉස්මතුකරණ ප්‍රධාන කරුණ වන්නේ එවැනි උත්තේජක පැකේජයන් සඳහා සමහර රටවල් දැනටමත් මුදල් අච්චු ගැසීම (money printing) අරඹා ඇති බවත් ඒ නිසාම ලොව පුරා දීර්ඝකාලීන උද්ධමනයන් (long term inflation) ඇතිවීමේ පෙර සළකුණු මතුවී ඇති බවත්ය. එවැනි උත්තේජක පැකේජයන් හඳුන්වාදීම නිසා සමහර රටවල දළ ජාතික ආදායමෙන් 10% ක පමණ මූල්‍ය හිඟයන් (fiscal deficits) පවා ඉස්මතුවී ඇත. මෙවැනි මූල්‍ය අර්බුදයකදී රාජ්‍ය මැදිහත්වීම් අත්‍යවශ්‍යවුවත් ඒවා ඉතා තීව්‍ර හා කෙටිකාලීන (strong and short interventions) විය යුතු බව පවසන ඔහු යම්හෙයකින් මෙම රාජ්‍ය මූල්‍ය උත්තේජක ආධාර වැඩසටහන් සඳහා මුදල් අච්චුගැසීම සිදුවුවහොත් හා  ඒවා දීර්ඝකාලීනව පවත්වාගෙන යෑමට සිදුවුවහොත් එමගින් එම රටවල ආර්ථිකයන්ට බරපතළ හානි සිදුවිය හැකිබව පවසයි. එවැනි පියවරවල් පෞද්ගලික මූල්‍ය අංශය ඕනෑවට වඩා ආරක්ෂා කිරීමක් (protectionism) ලෙස සැළකිය හැකි අතර එය එම පෞද්ගලික ව්‍යාපාර අංශවල වර්ධනයට අහිතකර ලෙසද බලපානු ඇත.

විශාල ඇමෙරිකාණු රක්ෂණ සමාගමක්වන AIG සඳහා ලැබුණු උත්තේජක පැකේජයේ මුදල් භාවිතා කරමින් එහි විධායක නිලධාරින්ට බෝනස් ගෙවීම් සිදුකර ඇති ප්‍රවෘත්තිය වැනි හේතූන් ඔහුගේ මෙම අනතුරු ඇඟවීමට පාදකවනවාට නිසැකය.

‍ගෝලීය ජල සංරක්ෂණය පිළිබඳව ඉතා උනන්දුවක් දක්වන පුද්ගලයකු ලෙසද ප්‍රසිද්ධ නෙස්ලේ සභාපතිවරයා ලෝකයේ ඛණිජ තෙල් හිඟයක් මතුවීමට ප්‍රථම ජල හිඟයක් ඇතිවිය හැකියැයි අනතුරු ඇඟවීමක්ද කර ඇත. මිලක් නොමැති භාණ්ඩයක් (commodity without a price) ලෙස ජලය පරිහරණය කිරීම එය අපතේ යෑමට හේතුවක් බව තර්ක කරණ ඔහු ජලය සඳහා වාණිජ මිලක් ගෙවීමට සැලැස්වීමෙන් ජලය සංරක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරයි. මෙය දිළිඳු රටවල් හා විශේෂයෙන්ම දිළිඳු ගොවීන් සඳහා මතභේදාත්මක අදහසක්වුවද, සමහර රටවල් ජෛව ඩීසල් (bio diesel) ලීටර් 1 ක් නිෂ්පාදනය කිරීමට ජලය ලීටර් 9100 ක් යොදා ගන්නා අයුරු සළකා බලනවිට ජලය සංරක්ෂණය කිරීමට නම් ඒ සඳහා මිලක් නිම කල යුතුයැයි යන අදහස බැහැරකළ නොහැක.

මූලාශ්‍රය: http://www.ft.com/cms/s/0/c398c08e-1de8-11de-830b-00144feabdc0.html


බදු මගහැරීමට සංවර්ධනයවන රටවල්වල පුද්ගලයින් විදේශ බදු-ක්ෂේමස්ථානවල පවත්වාගෙන යන මුදල් තැන්පතු ප්‍රමාණය ඇ. ඩොලර් ට්‍රිලියන 6.2 ක්
US$ 6.2 trillion deposits in tax havens by developing country individuals

(2009 අප්‍රියෙල් 06)

ඔක්ස්ෆැම් ආයතනය මගින් කරණ ලද ගවේෂණාත්මක විශ්ලේෂණයකට අනුව සංවර්ධනයවන රටවල්වල පුද්ගලයින් (individuals) විසින් බදු නොගෙවා විදේශ මුදල් තැන්පතු පවත්වාගෙන යෑමට හැකි රටවල්වල නොහොත් ‘බදු ක්ෂේමස්ථානවල’ (tax havens) තැන්පත් කර ඇති මුදල් සම්භාරය ඇ. ඩොලර් ට්‍රිලියන 6.2 ක් (US$ 6,200,000,000,000) පමණවේ. ‍මෙම ප්‍රමාණය වර්තමාන මූල්‍ය අර්බුදයෙන් රටවල් මුදා ගැනීම සඳහා පසුගිය සතියේ G20 ලන්ඩන් සමුළුවේදී අනුමතවූ මුළු ණය මුදල (ඇ.ඩොලර් ට්‍රිලියන 1.1) මෙන් හය ගුණයක්වීම පුදුම සහගතය.  එපමණක්ද නොව වාර්ෂිකව සංවර්ධනයවන රටවලින් මෙම බදු ක්ෂෙමස්ථාන කරා ඩොලර් බිලියන 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් ඇදී යයි.

මෙම ඩොලර් ට්‍රිලියන 6.2 සංවර්ධන රටවල්වලම තිබුණි නම් එම රටල්වලට ලැබිය යුතු වාර්ෂික බදු ආදායම ඇ. ඩොලර් බිලියන 64 සිට 124 ක් දක්වා පමණවේ. ලොකයේ සියළුම සංවර්ධනයවන රටවල්වලට දිළිඳුකම දුරැලීම සඳහාවූ සංවර්ධන ආධාර (development aid) වශයෙන් වාර්ෂිකව ලැබෙන්නේද ඩොලර් බිලියන 103 ක් පමණ මුදලක්වීම නිසා ආධාර ලබා දෙන බොහෝ රටවල් (donor countries) මෙම ‘බදු ක්ෂේමස්ථාන’වල ඇති මුදල් පිළිබඳ ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත. එහෙත් බැංකු තැන්පතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ මුවාවෙන් එම රටවල් තැන්පත්කරුවන් හෝ තැන්පත් මුදල් ප්‍රමාණයන් ගැන තොරතුරු ලබාදීමෙන් වැළකී සිටී.

මෙම බදු ක්ෂේමස්ථානවල තැන්පත්කර ඇති මුදල් පිළිබඳ තොරතුරු සැපයිය යුතුයැයි බල කෙරෙන යෝජනාවක් මේවර G20 සමුළුවේදී අනුමතවීම මෙයට  හොඳම උදාහරණයවේ. මේ සඳහා මූලිකත්වය ගත්තේ ප්‍රංශය හා ජර්මණියයි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාද මෙම යෝජනාවට පක්ෂව කටයුතු කතාකළද බ්‍රිතාන්‍යයට අයත් ජර්සි (Jersey) , අයිල් ඔෆ් මෑන් (Isle of Man) සහ කයිමන් දූපත් (Cayman islands) වැනි ස්ථාන කිහිපයක්ද මෙවැනි බදු ක්ෂේමස්ථානයන් බව නොරහසකි. මෙවැනි බදු ක්ෂේමස්ථාන පිළිබඳ විස්තර http://en.wikipedia.org/wiki/Tax_haven වෙබ් අඩවියෙන් ලබාගත හැක.

සංවර්ධනයන රටවල්වල පුද්ගලයින් විසින් මෙවැනි බදු ක්ෂේමස්ථානවල පවත්වාගෙන යන බැංකු තැන්පතු පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකිවුවහොත් කූට ව්‍යාපාරිකයින්, අල්ලස් හා දූෂණවලට සම්බන්ධ නිලධාරීන් සහ දේශපාලඥයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වැනි ‘කළු සල්ලි’ (black money) උපයන්නන් කවුදැයිද යන්නත් හෙළිවනු ඇත. එම නිසා G20 සමුළුවේදී කළ මෙම යෝජනාව කෙතරම් දුරට ක්‍රියාත්මකවේදැයි යන්න සැක සහිතය.  

මූලාශ්‍රය:
http://www.oxfam.org/en/pressroom/pressrelease/2009-03-13/tax-haven-could-deliver-120bn-year-fight-poverty


දිළිඳු ප්‍රජාවන් දේශගුණික විපර්යාසවලට ගොදුරුවීම අවම කිරීමට රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමේ පෙත්සමක්
Petition urging world leaders to protect poor from climate change related disasters

(2009 අප්‍රියෙල් 4)

වර්තමානය ලෝකය මුහුණ දෙන බරපතලම ගැටළුවවී ඇත්තේ ගෝලීය උණුසුම වැඩීවිමත් ඒ හා සමගම සිදුවන දේශගුණික විපර්යාසත්ය. එම තත්වය වඩාත් බරපතල වන්නේ බොහෝ රටවල්වල හා ජාත්‍යන්තර ආයතනවල අවධානය වර්තමාන මූල්‍ය / ආර්ථික අර්බුදය කෙරෙහි යොමුව තිබීමයි. මෙම දේශගුණික විපර්යාස නිසා වැඩිපුරම බැටකන්නේ ගෝලීය උණුසුම වැඩිකිරීමට අඩුවෙන්ම දායකවන දිළිඳු ප්‍රජාවන් වන අතර ඒ නිසා ඇතිවන දේශගුණික විපර්යායස උපද්‍රවවලට මුහුණදීමට අවශ්‍ය සම්පත් නොමැතිකමින් වැඩිපුරම ආපදාවට පත්වන්නේද ඔවුන්ය. ‍ ඔවුන්ගේ සාගින්න හා ලෙඩරෝග උත්සන්න කිරීමට මෙම දේශගුණික උපද්‍රව හේතුවේ. මෙය ඉතා අසාධාරණය. එම නිසා එම තත්වය මැඩලිය යුතුය.

මේ පිළිබඳ සියළුම රටවල්වල රාජ්‍ය නායකයන් දැනුවත් කිරීම සඳහා යැවෙන පෙත්සමක් ඔක්ස්ෆැම් (ජාත්‍යන්තර) ආයතනය මගින් පිළියෙල කර ඇති අතර ඔබටත් ඒ සඳහා දායකවිය හැකිය. එම පෙත්සමින් මූලිකව අරමුණු කෙරෙන්නේ:

  • දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම ක්‍රියා මාර්ගයකදී ලෝකයේ දිළිඳුම ප්‍රජාවන් පිළිබඳ සැලකිළි වීම තහවුරු කිරීම සඳහා සියළුම රටලවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹවීමත්,
  • වර්ෂ 2050 වන විට වායු ගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය 80% කින් අඩු කිරීම අරමුණ කරගෙන උපරිම ප්‍රමාණයෙන් හා හැකි තරම් වේගයෙන් තම රටවල්වලින් මුදාහැරෙන වායු ප්‍රමාණය අඩුකිරීමට සියළුම පොහොසත් රටවල් පියවර ගතයුතුයැයි බලකිරීමටත්,
  • ඉතා දිළිඳු හා පහසුවෙන් ව්‍යසනවලට ගොදුරුවිය හැකි ප්‍රජාවන්ට දේශගුණික විපර්යාසවලට අනුගතවීමට අවශ්‍ය සහයෝගය ලබාදීම අන්තර්ගත ජාතික සංවර්ධන සැලසුම් නිර්මාණය කිරීමට සියළුම දිළිඳු රටවල්වලට  බලකිරීමටත්,
  • දේශගුණික විපර්යාසවලට අනුගතවීම දිළිඳු රටවල සඳහා දිළිඳු ප්‍රජාවන්ට අවශ්‍ය අරමුදල් හා තාක්ෂණය දැනට ලබා දෙන ආධාරවලට අමතරව ලබා දීමට පොහොසත් රටවලට බලකිරීමත්ය.

 http://www.oxfam.org/en/campaigns/climatechange/petition යන වෙබ් අඩවිය තුලින් ඔබටත් මෙම පෙත්සම යැවීම සඳහා දායකවිය හැක.


ගෝලීය ආර්ථිකය බේරා ගැනීමට ඩොලර් ට්‍රිලියන 1.1 ක් G20 සමුළුවෙන්
US$ 1.1 trillion from G20 to save global economy

(2009 අප්‍රියෙල් 3)

ගෝලීය ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්නවීම වැළැක්වීම සඳහා ඇ. ඩොලර් ට්‍රිලියන 1.1 ක නොහොත් ඩො. බිලියන 1,100 ක (ඩොලර් 1,100,000,000,000) අරමුදලක් ස්ථාපිත කිරීමට 2009 අප්‍රියෙල් 2 වන දින පැවති G20 ලන්ඩන් සමුළුවේදී එම රටවල රාජ්‍ය නායකයන්ගේ එකඟත්වය පළවිය.

ඒ අතරම මෙවැනි අර්බුදයක් නැවත පැනනැඟීම වැළැක්වීම සඳහා දැඩි මූල්‍ය නීති පද්ධතියක් මගින් බැංකු හා වෙනත් මූල්‍ය ක්ෂේත්‍රවල මූල්‍ය කළමනාකරණය පාලනය කිරීමටද G20 නායකයෝ එකඟවිය. වර්තමාන මූල්‍ය අර්බුදයට ප්‍රධානම හේතුව ‘පාලනයකින් තොර ඇංග්ලෝ-සැක්සන් ධනවාදී ආර්ථික මොඩලයැයි’ (hands-off Anglo-Saxon capitalist economic model) සමුළුවට පෙර සිටම ප්‍රංශ ජනාධිපතිවරයා හා ජර්මන් චාන්සලර්වරිය කළ චෝදනාව මෙම සමුළුව තුළ යම්කිසි මතභේදාත්මක තත්වයක් උදාකළ බවද මෙහිදී සඳහන්කළ යුතුය.

වර්තමාන මුල්‍ය අර්බුදයට හේතු පාදකවූ කරුණු කිහිපයක් කෙරේ අවධානය යොමුකළ මෙම සමුළුවේදී බැංකු හා මූල්‍යායතන නිලධාරීන්ට ගෙවන ප්‍රසාද දිමනා සම්බන්ධයෙන් සිමාවන් පැනවීම, බදුසහන සඳහාවූ ක්ෂේමස්ථාන (tax havens) පිළිබඳ විමසිලිමත්වීම හා හානිකර අවස්ථාවන්හිදී ඒවාට තහංචි පැනවීම, විශාල ඉදිරි රක්ෂණ අරමුදල් (large hedge funds) හා මූල්‍යායතන තක්සේරු කරන ආයතන  (rating agencies) මගින් සිදුවිය හැකි වැරදි වැළැක්වීමට පියවර ගැනීම ආදී ක්‍රියා මාර්ගවලට එළඹිය යුතු බවටද තීරණය විය. මෙක්සිකෝව, මැලේසියාව. පිලීපීනය හා උරුගුවේ වැනි රටවල්වල බදු සහන යටතේ තැන්පත්කර හෝ ආයෝජනය කර ඇති අතිවිශාල අරමුදල් පිළිබඳ තොරතුරු බැංකුවල රහස්‍යභාවය (banking secrecy) ආරක්ෂා කිරීමේ මුවාවෙන් හෙළි නොකිරීම බොහෝ රටවල්වල බදු ආදායම නොලැබී යාමට හේතුවක්වී ඇති බැවින් එම අරමුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බලකෙරෙන යෝජනාවක්ද මෙම සමුළුවේ අනුමතවිය. ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට අනුව කිසිදු පාලනයකින් තොර ‘ගොපල්ලන්ගේ මූල්‍ය වෙළඳපල’ (cowboy financial market) පාලනය කිරීමට ගත් පියවරයන් ලෙස මෙම තීරණ සැළකිය හැකිය.

මෙම G20 සමුළුවේ යෝජනාවූ මූල්‍ය පැකේජය සඳහා සංවර්ධිත රටවලින් දායක කරණ ඇ. ඩොලර් ට්‍රිලියන 1.1 ක මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ලබා දෙණ අතර, එම මුදල් ණය ආධාර ලෙස ලබා දිමේදී ප්‍රමුඛත්වයක් ලැබෙණුයේ ඉන්දියාව, බ්‍රසීලය හා චීනය වැනි සීඝ්‍ර ආර්ථික වර්ධනයන් සහිත රටවල්වලටය (emerging economics). මෙම නිසා G20 සමුළුවෙන් ලැබෙන මුදල්වලට අමතරව IMF මගින් ලබා දීමට දැනටමත් සැලසුම් කර ඇති ඇ. ඩොලර් බිලියන 500 ක පමණ ණය අරමුදලින් වැඩි කොටසක් අඩු ආදායම් සහ දිළිඳු රටවල්වල සඳහා ලබා දීමට හැකිවනු ඇත.

මීට අමතරව මුල්‍ය අර්බුදය නිසා කඩා වැටෙමින් ඇති ජාත්‍යන්තර වෙළඳාම (international trade) පණ ගැන්වීම සඳහා ඩොලර් බිලියන 250 ක ණය ආධාරයක් ලබා දීමටද G20 සමුළුවේදී තීරණයවිය. වර්ෂ 25 කට පසු ප්‍රථම වතාවට කඩාවැටීමක් පෙන්නුම් කරණ ලෝක වෙළඳාම 2010 වනවිට 9% කින් පමණ පහත බසිනු ඇතැයි අනුමාන කෙරේ.

මෙම G20 සමුළුවෙන් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ආධාරවලට අමතරව බොහෝ රටවල් විවිධ ‘උත්තේජක පැකේජයන්’ (stimulus packages) මගින් තම රටවල්වල ආර්ථිකය කඩාවැටීම වැළැක්වීමට මෙම සමුළුවට පෙර සිටම පියවරගෙන තිබු බවද අමතක නොකළ යුතුය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට අනුව මෙම උත්තේජක පැකේජයන්ගේ මුළු වටිනාකම ඇ. ඩොලර් ට්‍රිලියන 5 ක් පමණ වේ.

G 20 සමුළුවෙන් නිකුත්කර ඇති නිවේදනයක් අනුව එහි තීරණ හා දැනටමත් ක්‍රියාත්මක ‘උත්තේජක පැකේජයන්’ නිසා ඉදිරි වර්ෂයේදී ගෝලීය ආර්ථිකය 4% කින් පමණ ඉහළ යනු ඇත. මේ නිසා ඇතිවූ අපේක්ෂාවන් කොපමණද කිවහොත් සමුළුව පැවැත්වුනු අප්‍රියෙල් 2 වැනි දින අවසානවනවිට යුරෝපයේ හා ඇමෙරිකාවේ කෙටස් වෙළඳපල දර්ශකයන් 4% කින් පමණ වැඩිවී තිබිණ.

මූලාශ්‍ර:
http://www.londonsummit.gov.uk/resources/en/news/15766232/communique-020409
http://www.reuters.com/article/newsOne/idUSTRE5314RX20090402?pageNumber=2&virtualBrandChannel=10504


G 20 සමුළුව හරහා නවමුහුණුවරකින් කරළියට ඒමට සැරසෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
The G 20 London summit and the revamped IMF policies

(2009 අප්‍රියෙල් 1)

හෙට (2009 අප්‍රියෙල් 2 වැනිදා ) ලන්ඩන් නුවර රැස්වන G 20 රටවල්වල නායක සමුළුව වර්තමාන මුල්‍ය අර්බුදය මධ්‍යයේ පැවැත්වෙන ඉතාමත්ම වැදගත් හා තීරණාත්මක රැස්වීම ලෙස සැලකිය හැක. 1930 අවධියේදී ලෝකය මුහුණදුන් මහා ආර්ථික අවපාතයටත් (great depression) වඩා බරපතල අන්දමින් වර්තමාන ගෝලීය මූල්‍ය අර්බුදය වර්ධනයවී ඇති අවස්ථාවක එම 1930 ආර්ථික අවපාතය තුළින් ඉස්මතුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (international Monetary Fund – IMF) හා ලෝක බැංකුව (World Bank) වැනි ‘ගැලවුම්කාර ආයතන’ වර්තමාන මූල්‍ය අර්බුදයට මෙම සමුළුවේදී දක්වන ප්‍රතිචාර එම ආයතනවල අනාගතය තීරණය කරණු ඇති බව බෙහෝ දෙනාගේ විශ්වාසයයි. 1944 ආරම්භවූ බ්‍රෙටන්වුඩ්ස් ආයතන (Breton woods institutions) ලෙස ප්‍රචලිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ කාර්යභාරය පිළිබඳ ප්‍රශ්න කරමින් ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිවියයුතුයැයි යන විවේචන බොහෝ කලක සිට ඉස්මතුවීම නිසාම වර්තමාන මුල්‍ය අර්බුදය එම ආයතනවලට අභියෝගයක් මෙන්ම සේම හොඳ අවස්ථාවක්ද වී ඇත.

එම අවස්ථාව පෑදී ඇත්තේ මූල්‍ය අර්බුදයට පිළියම් වශයෙන් මේවනවිට බොහෝ රටවල් ‘මූල්‍ය උත්තේජක පැකේජයන්’ (financial stimulus packages) හඳුන්වාදී ඇති නමුත් 2009 වර්ෂයේදීවත් මෙම අර්බුදයෙන් මිදීමට එම රටවල්වලට නොහැකි බවට කර ඇති අනාවැකි නිසාය. දැනට ඇති ඇස්තමේන්තුවලට අනුව 2009 තුළදී පවා ගෝලීය ආර්ථිකය (වාර්ෂික දළ ආදායම) 0.5% - 1% කින් පමණ අඩුවන අතර එවැන්නක් සටහන් වන්නේ අවුරුදු 60 කින් පමණ පසුය. එවැනි තත්වයක් බොහෝ රටවල ආර්ථිකයන්ට ඉතා අහිතකරවනු ඇත. එම නිසා 2010 න් ඔබ්බට යෑමට නම් බෙහෝ රටවලට අමතර මූල්‍ය සහයන් අවශ්‍යවනු නිසැකය.

මෙම අභියෝගය නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍යාධාර සැපයීමේ ක්‍රමවේදයේ බොහෝ ලිහිල්කම් දැනටමත් කර ඇති බවත් වර්තමාන මූල්‍ය අර්බුදයට මුහුණදී ඇති අඩු ආදායම් සහිත හා ආර්ථික වශයෙන් ඉස්මතුවෙමින් පවතින රටවල් කෙරෙහි විශේෂිත අවධානයක් යොමු කරඇති බවත් මෙම G20 සමුළුවට පෙරම එහි කළමණාකාර අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

තම ආයතනයෙන් මූල්‍යාධාර ලබා ගැනීමේදී සංවර්ධනයවන රටවල්වලට සහ විශේෂයෙන්ම ආසියාණු හා ලතින් අමෙරිකාණු කලාපීය රටවල්වලට ඉතාමත් දැඩි කොන්දේසිවලට යටත්වීමට හා ඒ නිසාම ලජ්ජාශීලී තත්වයන්ට පත්වන්නට සිදුවනවන බව පිළිගෙන ඇති ජත්‍යක්තර මුල්‍ය අරමුදල වර්තමාන මුල්‍ය අර්බුදයේදී එම ප්‍රතිපත්තියෙන් සහමුලින්ම ඉවත්වී ඇති බවත් සංවර්ධනයවන රටවල් සඳහා වඩා මිත්‍රශීලී හා ලිහිල් ණය ලබාදීමේ පිලිවෙතකට සුදානම් බවත් ප්‍රකාශ කර ඇත. මෙම නව ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූලික අවධානය යොමුව ඇත්තේ අවශ්‍යතා මත පදනම්වූ (tailor made), ලිහිල් හා අවම කොන්දේසි සහිත (flexible)  ණය ආධාර ඉතා ඉක්මණින් අවශ්‍ය රටවල්වලට ලබාදීමයි. ඒ සම්බන්ධයෙන් ගෙන ඇති සමහර වැදගත් පියවරවල් කිහිපයක් වන්නේ:

  • සමස්ථ ණය අරමුදල සැළකිය යුතු මට්ටමකින් වැඩි කිරීම. දැනටමත් ඩොලර් බිලියන 50 ක ණය ආධාර මූල්‍ය අර්බදයට ගොදුරුවූ රටවල්වලට ලබා දී ඇති අතර ඉදිරියේදී මුළු ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 500 දක්වා වැඩි කිරිමට අපේක්ෂා කෙරේ. මේ සඳහා දැනටමත් ජපානය ඩො. බිලියන 100 ක්ද යුරෝපා හවුල යූරෝ බිලියන 75ක්ද ලබාදීමට කැපවී ඇත.
  • රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ මූලික මූලධර්ම මනාව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් ඇති හා එවැනි ප්‍රතිපත්ති මනාව ක්‍රියාත්මක කිරීම තහවුරු කර ඇති රටවල් සඳහා ලිහිල් ණය ක්‍රමයක් (flexible credit line) ස්ථාපිත කර ඇති අතර එම ණය අනුමතවීමෙන් පසු අවශ්‍ය ඕනෑම අවස්ථාවක කොන්දේසි සපුරාලීමකින් තොරව නිදහස් කිරීම
  • ණය ලබාදීම සඳහා පූර්ව නිශ්චිත (predetermined) පොදු කොන්දේසි වෙනුවට එක් එක් රටවල්වල අවස්ථානුරූපීව පැණනඟින අවශ්‍යතා සැලකිළ්ලට ගනිමින් හා එම රටවල්වල (මූල්‍ය කළමනාකරණ) ධාරිතාවය මත පදනම්ව ආධාර ලබා දීම
  • සංවර්ධනයවන රටවල් සඳහා නව සහනදායි ණය ක්‍රමයක් හඳුන්වාදීම
  • සහණදායි නොවන ණය (non-concessional loans) ප්‍රමාණය දෙගුණ කිරීම

මේ අනුව බලන කල ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් දැඩි කොන්දේසි රාමුවක ක්‍රියාත්මකවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වර්තමාන මූල්‍ය අර්බුදයේදී රටවල් මුහුණදී ඇති බැරෑරුම්කම අවබෝධ කරගනිමින් අවස්ථානෝචිතව වෙනස්වූ බවක් පෙනෙන්ට තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි මෙම ප්‍රතිපත්ති විපර්යාසය යහපත් ලෙස පෙණුනත් සමහර ආර්ථික විචාරකයන්ට අනුව නුදුරු අනාගතයේදී සංවර්ධනයවන බොහෝ රටවල් එහි (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි) ණයකරුවන් බවට පත්වණු ඇති අතර එම තත්වය විශේෂයෙන්ම දිළිඳු රටවල්වලට සුභදායක තත්වයක් නොවණු ඇත. 


2008 අගෝස්තු පුවත්

2008 ජූලි සංවර්ධන පුවත්

2008 ජූනි සංවර්ධන පුවත්

2008 මැයි සංවර්ධන පුවත්

2008 අප්‍රියෙල් සංවර්ධන පුවත්

2008 මාර්තු සංවර්ධන පුවත්

2008 පෙබරවාරි සංවර්ධන පුවත්

2008 ජනවාරි සංවර්ධන පුවත්

2007 සංවර්ධන පුවත්