ආසියාණු සංවර්ධන බැංකුව පෞද්ගලික ව්‍යපාර පෙරටුකරගත් ව්‍යාපාරික මාදිලියේ සංවර්ධන ආයෝජනයන් සඳහා නැඹුරුවීමට දරන තැත පිළිබඳව සිවිල් සංවිධානවල විරෝධය
ADB’s long term strategy to partnership with private business sector receives criticism
(අප්‍රියෙල් 18, 2008)
ඉදිරි වර්ෂ 12 දී (2008 සිට 2020 දක්වා) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ආසියාණු සංවර්ධන බැංකුවේ නවතම දීර්ඝකාලීන උපාය මාර්ගික රාමුව (Long Term Strategic Framework) ලොවපුරා සිටින සිවිල් සංවිධාන කණඩායම්වල දෝෂ දර්ශනයට ගොදුරුවී ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ පෞද්ගලික ව්‍යාපාර අංශය පෙරටු කර ගත් සංවර්ධන ක්‍රමවේදයක් කෙරෙහි නැඹුරුවීමක් මෙම සැලැස්ම තුළ දක්නට ලැබීමයි. සිවිල් සංවිධානවලට අනුව ආසියාණු සංවර්ධන බැංකුවේ ප්‍රධාන තේමාවක්වන දිලිඳුකම දුරැලීමට මෙම ක්‍රමවේදය බාධාවක්වනවා පමණක් නොව දූෂණය සඳහාද එය තුල වැඩි ඉඩකඩක් ලැබෙනු ඇත.
මේ වර්ෂයේ මැයි මස පැවැත්වෙන ආසියාණු සංවර්ධන බැංකුවේ වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මෙම උපාය මාර්ගික රාමුවට අනුව පෞද්ගලික ව්‍යාපාරික ආයතන හරහා කරනු ලබන ‘ව්‍යාපාරික මාදිලියේ’ සංවර්ධන ආයෝජනයන් මගින් වෙළඳපළ මුල්කරගත් ආර්ථික සංවර්ධනයක් (market led economic growth) කරා යෑමට ආසියාණු රටවලට හැකිවනු ඇතැයි ආ. සං. බැංකුව විශ්වාස කරයි. මෙයට හොඳම උදාහරණයක්වන්නේ පවිත්‍ර බලශක්ති ව්‍යාපෘති (clean energy projects) සඳහා ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් පෞද්ගලික සමාගම් තුළින් කිරීම බලාපොරොත්තුවන බව කිරිමට ආ. සං. බැංකුව මෑතකදී නිවේදනය කර තිබීමයි.
මේ අනුව ආ. සං. බැංකුවේ සංවර්ධන ආයෝජනවලින් දැනට 12% ක පමණ ලබා ගන්නා පෞද්ගලික ව්‍යාපාර අංශයට 2020 වනවිට එම ප්‍රමාණය 50% දක්වා වැඩිකර ගැනීමට හැකිවනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් දිලිඳු ප්‍රජාවගේ මූලික අවශ්‍යතාවන සෞඛ්‍යය, අධ්‍යාපනික හා ජලය වැනි සේවාවල යටිතල පහසුකම් දියුණු කිරිම සඳහාවූ ආයෝජනයන් 20% ක පමණ ප්‍රමාණයේ පවතිනු ඇත.
නීත්‍යානුකූල රජයන් හරහා සංවර්ධන ආයෝජනයන් කිරීමෙන් බැහැරවෙමින් ව්‍යාපාර අංශය සමග අත්වැල් බැඳගැනීමට දරන තැත පිලිබඳව ආසියානු සංවර්ධන බැංකුව ලැජ්ජා විය යුතුයැයි පවසන සිවිල් සංවිධාන රාජ්‍ය ආයතන දූෂිතයැයි යන මතය තුළ මෙවන් තීරණයකට එළඹෙන්නේ නම් පෞද්ගලික ව්‍යාපාර අංශය කිසිදු ප්‍රජා වගවීමකින් තොර බවද අමතක නොකළ යුතුයැයි අවධාරණය කරයි. එපමණක්ද නොව ලෝකයේ බොහෝ මූල්‍ය අර්බුදවලට (1997 දී ආසියාණු මූල්‍ය අර්බුදය ඇතුළුව) පෞද්ගලික ආයතනවල දූෂණ විශාල වශයෙන් බලපා ඇති නිසා පෞද්ගලික ව්‍යාපාර අංශය වඩාත් කිට්ටුකර ගැනීම මගින් ආසියාණු සංවර්ධන බැංකුව තවමත් පාඩමක් ඉගෙන නොගෙන ඇති බවද මතක් කර දෙයි.
ආසියාණු කලාපය තුළ දිළිඳුබව තුරන් කිරිම තවමත් ප්‍රධාන අභියෝගයක්වී තිබියදී වෙළඳපළ හා පෞද්ගලික ව්‍යාපාර අංශය මුල් කර ගත් සංවර්ධන ප්‍රයත්නයන්ට එලඹීම තදබල පාරිසරික ගැටළු ඇති කිරීමට තුඩුදිය හැකියැයි යන අනතුරු ඇඟවීමද මෙම විරෝධතා තුල පිළිබිඹුවේ. ලාශාංශ පමණක් ප්‍රධාන අරමුණ කරගෙන ක්‍රියාත්මකවන පෞද්ගලික ව්‍යාපාර පරිසර දූෂණයේ ප්‍රධාන වගකිවයුත්තා ලෙස ඓතිහාසිකව ඔප්පුවී තිබියදීත් ආසියානු සංවර්ධන බැංකුවේ මුලික ප්‍රතිපත්තියක් වන පරිසරය ආරක්ෂා කරගැනීම ව්‍යාපාර අංශය ලඟා කර ගැනීම මගින් කෙසේ සිදුවේදැයි යන්නද ගැටළු සහගත බවද සිවිල් සංවිධාන පෙන්වා දෙයි.
පෞද්ගලික ව්‍යාපාර අංශයේ පැවැත්මට වඩා ආසියාවේ සිටින මිලියන ගණනක්වන දිළිඳු පුද්ගලයින්ගේ පැවැත්මට ආසියානු සංවර්ධන බැංකුව රුකුලක්විය යුතුය යන්න මෙම සිවිල් සංවිධාන විරෝධතාවයේ මුලික තේමාවවේ.
ශ්‍රී ලංකාවේ වුවද ‘සංවර්ධන’ බැංකු ප්‍රජාව මුල් කරගත් සංවර්ධන තේමාවෙන් බැහැරව වෙළඳපළ මුල් කර ගත් ‘වාණිජකරණයට’ යොමුවී ඇති කාල වකවාණුවක ආසියානු සංවර්ධන බැංකුව මෙසේ පෞද්ගලික ව්‍යාපාර අංශය කෙරේ යොමුවීම එතරම්ම පුදුමයට කරුණක්ද නොවේ.
මූලාශ්‍රය: http://www.southasianmedia.net/cnn.cfm?id=488509&category=Development&Country=SRI%20LANKA
එක්සත් ජාතීන්ගේ ඉහළම තිළිණයවන ‘ඇග්රිකෝලා පදක්කම’ ඉන්දියානු අගමැති මන්මොහන් සිං ට
Indian Prime Minister awarded FAO Agricola Medal
(අප්‍රියෙල් 11, 2008)
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පිරිනමන ඉහළම තිළිණයවන ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ‘ඇග්රිකෝලා පදක්කම’ (Agricola medal) මෙවර හිමිව ඇත්තේ ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාටය. කෘෂිකාර්මික සංවර්ධනය තුළින් සාගින්න නිවීමට ඔහු විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් මෙම තිලිණය ඔහුට හිමිවේ. කෘෂිකර්මය නවීකරණය කිරීමෙන් හා නැවත පනගැන්වීමෙන් එය ඉන්දියානු ආර්ථිකයේ වැදගත් කොටසක් බවට පත්කිරීම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත.
කෘෂිකාර්මික නිෂ්පාදනය අතින් ඉන්දියාව දෙවැනි වන්නේ මහජන චීනයට පමණි. මුළු ජනගහණයෙන් 60% ක් පමණවන ගොවීන් සඳහා ලබා දෙන ණය ප්‍රමාණය පසුගිය අවුරුදු හතරතුළ දෙගුණයක්වී ඇත. 2012 වනවිට ඉන්දියාවේ පලතුරු නිෂ්පාදනය අද ප්‍රමාණයමෙන් දෙගුණයක් කිරීමට අපේක්ෂිත අතර සහල්, තිරිඟු හා මාංශ භෝග (pulses) නිෂ්පාදනයද අදට වඩා ටොන් මිලියන 20 කින් වැඩිකිරිමට ඉන්දියාව බලාපොරොත්තුවේ.
ඉන්දියාවේ පමණක්නොව ගෝලීය වශයෙන්ද දිළිඳුකම හා මන්දපෝෂණය බොහෝ ජන කොටස් අවදානමකට පත්කරන කාල වකවානුවක ආදර්ශවත් දර්ශනයක් සහ අධිෂ්ඨානයක් මගින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ දැමීමට ආචාර්ය මන්මොහන් සිං ගේ නායකත්වයෙන් ඉන්දියාව ගන්නා උත්සාහය ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පැසසුමට ලක්වී ඇත.
මූලාශ්‍රය: http://www.fao.org/newsroom/en/news/2008/1000824/index.html
සීඝ්‍රයෙන් අඩුවන මත්ස්‍ය අස්වැන්න පිළිබඳ පිලීපීන ධීවරයින්ගෙන් අනතුරු ඇඟවීමක්
Philippines’ Fisher folk group warns of worsening deficit in food fish
(අප්‍රියෙල් 8. 2008)
පිලීපීනයේ දිනෙන් දින උග්‍රවන මත්ස්‍ය නිෂ්පාදණය කඩාවැටීමේ ප්‍රවනතාවය පිළිබඳ අනතුරු ඇඟවීමක් කරන එරට ධීවර සමිති 14 ක සන්ධානයක් මගින් පෙන්වා දෙන අයුරු වැඩිවන ජනගහණයේ මත්ස්‍ය පරිභෝජන ඉල්ලුම පිරිමැසීමට රටේ මත්ස්‍ය නිෂ්පාදනය අපොහොසත්වන අතර 2025 වනවිට වාර්ෂික මත්ස්‍ය හිඟය (food fish deficit) අදමෙන් දෙගුණයකින් වැඩිවනු ඇත.
මත්ස්‍ය නිෂ්පාදනය මෙසේ කඩාවැටීමට ප්‍රධාන හේතුව 1970 දශකයේ සිට දුර්වලවූ ධීවර කළමනාකරණය හා කිසිදු පාලනයකින් තොරව සිදුවූ ප්‍රමාණය ඉක්මවා මසුන් ඇල්ලීමයි (overfishing). මේ නිසාම පිලීපීන ජල සම්පත්වලින් නෙලා ගත හැකි උපරිම තිරසාර මත්ස්‍ය අස්වනු ප්‍රමාණය (Maximum Sustainable Yield) 1980 වන විට ඉක්මවා යන ලදී. වර්තමානයේ එම ජල සම්පත්වල ඇත්තේ 1950 දශකයේ තිබූ ස්වාභාවික මත්ස්‍ය සම්පත් තොගයෙන් (fish stocks) 10% - 30% අතර ප්‍රමාණයක් පමණි. එසේම එක් යාත්‍රාවක් සඳහා 1950 වර්ෂයේදී නෙලාගත් අස්වනු ප්‍රමාණයෙන් (fish catch per boat) හයෙන් පංගුවක් පමණක් අද නෙලාගනු ලබයි.
ස්වාභාවික මත්ස්‍ය අස්වැන්න පහළ යෑමට ඇති හොඳම විකල්ප විසඳුම ජලජීවී වගාවයැයි පිලීපන රාජ්‍ය බලධාරීන් කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන මෙම ධීවර සන්ධානයේ සභාපතිවරයා පිලීපීනයේ ජල ජිවි වගා නිෂ්පාදනවලින් 70% ක්ම අයත්වන්නේ මුහුදු ඇල්ගී වගාවට බවත් (sea weeds culture) එම මුහුදු ඇල්ගී කාර්මික නිෂ්පාදන සඳහා මිස ආහාර සඳහා භාවිතා නොවන නිසා එය හොඳ විසඳුමක් ලෙස බැහැර කරයි. තවද ජලජීවි වගා ක්‍රම බොහෝමයක් පරිසරයට අහිතකර තිරසාරී නොවන ඒවා ලෙස විවේචනය කරන මෙම සන්ධානය කූඩු තුළ සහ කොටු තුළ මසුන් වගා කිරීම (cage and pen fish farming) මගින් පිටකරන අපද්‍රව්‍ය වෙරළාසන්න ජල සම්පත් අධික ලෙස දූෂ්‍යවීමට හේතුවී ඇති බවත් අවධාරණය කරයි.
තවද වෙළඳපල මුල්කරගත් රාජ්‍ය ධීවර ප්‍රතිපත්ති විසින් කුඩා පරිමාණ ධීවරයින් සහ මත්ස්‍ය වගාකරුවන් නොසලකා හැරීම නිසා ඔවුන්ට බලවත් අසාධාරණයක් වන බව පවසන මෙම ධීවර සමිති සන්ධානය රටේ සමස්ථ ධීවරයින්ගෙන් (fisheries labour force) 90% ක්ම මෙම කුඩා පරිමාණ ධීවරයින් වීම නිසාත් සමස්ථ මත්ස්‍ය නිෂ්පාදනයෙන් තුනෙන් එකක් ඔවුන්ගේ වීම නිසාත් ඔවුන්ගේ මත්ස්‍ය අස්වැන්න වෙරළාසන්න ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන නිසාත් ඔවුන් සඳහා දැනට වඩා යහපත් ධීවර ප්‍රතිපත්ති ක්‍රියාත්මකවිය යුතු බව ප්‍රකාශ කරයි.
අඩුවෙමින් පවතින මත්ස්‍ය සම්පත ආරක්ෂාකර තිරසාරීව නෙලා ගැනීම සඳහා මෙම සන්ධානය පහත දැක්වෙන යෝජනා ඉදිරිපත්කර ඇත.
- උපරිම තිරසාර මත්ස්‍ය අස්වනු ප්‍රමාණය (Maximum Sustainable Yield) ඉක්මවා නොයන ආකාරයෙන් ධීවර ප්‍රයත්න (fishing effort) පාලනය කිරීම.
- සාපේක්ෂකව අඩුවෙන් මත්ස්‍ය සම්පත් නෙලා ගන්නා අනන්‍ය ආර්ථික මුහුදු කලාපයෙහි (exclusive marine economic zone) මසුන් ඇල්ලීමේ ප්‍රයත්න වර්ධනය කිරීම.
- ජලජීවී වගා අංශයෙහි සමාජ හා පරිසර වගකීම් මීට වඩා වැඩි කිරීමට අවශ්‍ය ප්‍රමිතිකරණයක් හඳුන්වාදීම.
- කුඩා පරිමාණ මත්ස්‍ය වගාකරුවන්ගේ තිරසාර ජලජීවී ව්‍යාපාරවල ප්‍රාග්ධන ආයෝජනයන් වෙනුවෙන් ණය ලබා දීම.
- පශ්චාත් මත්ස්‍ය අස්වනු කල්තබා ගැනීමේ යටිතල පහසුකම් ( ශීතකරණ, අධි ශීතකරණ, ශීතාගාර පහසුකම් ආදිය) දියුනු කිරීම තුළින් නරක්වී අපතේ යන මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය අවම කිරීම.
2007 සංවර්ධන පුවත්




