සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

 

'ප්‍රතිසන්ධානය තුළින් සංවර්ධනයයන තේමාවට අදාළ ව්‍යාපෘතිවලට ආධාර සැපයීම සහා ලෝක බැංකුවේ කොළඹ කාර්යාලය ව්‍යපෘති යෝජනා කැවයි.
World Bank’s Colombo office invites proposals to implement projects under the theme ‘Reconciliation for Development’ (2008 ජනවාරි 14)

ලෝක බැංකුවේ සිවිල් සමාජ අරමුදල (Civil Society Fund) මගින් 2008 වර්ෂය සඳහා ව්‍යාපෘති ආධාර සැපයීමට එහි කොළඹ කාර්යාලය ඉල්ලුම් පත් කැඳවීමේ නිවේදනය නිකුත් කර ඇත. මෙම අරමුදල මීට පෙර හඳුන්වන ලද්දේ කුඩා ආධාර වැඩ සටහණ (Small Grants Programe) නමින්ය. ඉල්ලුම් පත් භාරදීමේ අවසාන දිනය 2008 පෙබරවාරි 18 දිනය.

2008 වර්ෂය සඳහා සිවිල් සමාජ අරමුදලේ තේමාව (Theme) ලෙස නම් කර ඇත්තේ ‘ප්‍රතිසන්ධානය තුළින් සංවර්ධනය’ (Reconciliation for Development) යන්නයි. කඩාවැටී ඇති සහජීවන සම්බන්ධතා නැවත ගොඩ නැගීම තුළින් තිරසාර සාමයක් ඇතිකිරීමට ප්‍රායෝගිකව පාදකවන ප්‍රතිසන්ධාන ක්‍රමවේදයක් අඩංගු ව්‍යාපෘති යෝජනා ඉදිරිපත්වෙතැයි අපේක්ෂා කරණ අතර, එම යෝජනා අතුරින් 7 ක් තෝරාගෙන ආධාර මුදල් ලබා දෙනු ඇත. රැපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් එක් ව්‍යාපෘතියකට ලබා දීමට බලාපොරොත්තුවන අතර යෝජනාව ඉදිරිපත් කරන ආයතනයද ඒ සමානම ප්‍රමාණයකින් ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වයක් දක්වන බවට ව්‍යාපෘති යෝජනා තුළ තහවුරු කළ යුතුය.

දැනට ඇති ගැටුම්කාරි වාතාවරණය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සංවර්ධනයට ඉතාමත් අහිතකර ලෙස බලපා ඇති අවධියක විවිධ ප්‍රජා කොටස් වැඩදායී සංවාදයන් (constructive dialogue) තුළ නිරත කරවීම මගින් තිරසාර සාමයක් කරා එම ප්‍රජාවන් යොමුකිරිමට අවශ්‍ය අළුත් ක්‍රමවේදයන් (innovative approaches) මෙම ව්‍යාපෘති යෝජනා තුළ අඩංගුවිය යුතුය.

ගැටුම්වලට ගොදුරුවූ ප්‍රජාවන් සමග හෝ ඔවුන් හා බැඳුනු තේමාවන් පිළිබඳ කැපවීමකින් වැඩකිරීමේ සහ විශ්වාසනීය ලෙස මුදල් කළමණාකරනය කිරීමේ පසුබිමක් ඇති ලියාපදිංචි සිවිල් සංවිධානවලට මේ සඳහා ව්‍යාපෘති යෝජනා එවිය හැක. එක් සංවිධානයකට එවිය හැක්කේ එක් ‍ව්‍යාපෘති යෝජනාවක් පමණි.  

www.worldbank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ kthilakasena@worldbank.org සහ dpeiris@worldbank.org යන ඊමේල් ලිපිනයන්ගෙන් එකකට ලිවීමෙන් හෝ 73/5 ගාළු පාර, කොළඹ යන ලිපිනයෙහි පිහිටා ඇති ලෝක බැංකු කාර්යාලයට පැමිණිමෙන් හෝ 011- 5561318 යන දුරකථන අංකයට ඇතීමෙන් සිංහළ හෝ ද්‍රවිඩ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ව්‍යාපෘති යෝජනා ආකෘති පත්‍ර සහ වැඩි විස්තර ලබා ගත හැක. එම විස්තර සමග ව්‍යාපෘති යෝජනාවක් ලිවීමේ කෙටි පාඨමාලාවක් (Short course in proposal writing) අඩංගු පොත් පිංචක්ද ලබා ගත හැක.


සංවර්ධිත සහ සංවර්ධනයවන රටවල ඒක පුද්ගල පාරිභෝජන විෂමතාවයන් ගෝලීය සංවර්ධනයට බලපාන්නේ කෙසේද?
The effect of per capita consumption inequalities between developed and developing countries on global development

(2008 ජනවාරි 12)

2008 ජනවාරි 2 දින ඇමෙරිකාවේ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) පුවත්පතෙහි පළවන ලිපියකට අනුව සංවර්ධිත රටවල්වල ඒක ප්‍රද්ගල පරිභෝජනය හෝ වැයවීමේ ප්‍රමාණය සංවර්ධනය රටවල්වල මෙන් දළ වශයෙන් 32 ගුණයකි. මෙහිදී සංවර්ධිත රටවල් යනුවෙන් අදහස්වන්නේ උතුරු ඇමෙරිකාව (කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය), බටහිර යුරෝපීය රටවල්, ජපානය සහ ඔස්ට්‍රේලියාව වන අතර, සම්පත් ලෙස ඉන්ධන, දැව, ලෝහ, ආහාර ආදියට අමතරව ජනිතවන අපද්‍රව්‍ය (waste) සහ වායුගෝලයට පිටකරනු ලබන හරිතාගාර වායුද සැලකේ. 

සංවර්ධනයවෙමින් පවතින රටවල අතර ඉතා අධික පාරිභෝජන රටාවක් පෙන්නුම් කරණ චීනයේ පවා ඒක පුද්ගල පාරිභෝජන ප්‍රමාණය ඇමෙරිකාවට වඩා 11 ගුණයකින් අඩුය. ඉතා අඩු පාරිභෝජන රටාවක් ඇති අප්‍රිකානු රටක්වන කෙන්යාවේ එම ප්‍රමාණය ඇමෙරිකාවට වඩා 32 ගුණයකින් අඩුය.

තව වර්ෂ 50 කදී ලෝක ජනගහණය බිලියන 9 ක් දක්වා වැඩිවේයැයි ගණන් බලා ඇත. එහෙත් අද ලෝකය හමුවේ ඇති ප්‍රශ්නය වැඩිවන ජනගහණය නොව සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඇති පාරිභෝජන විෂමතාවයයි. සංවර්ධනයවෙමින් පවතින රටවල්ද සංවර්ධිත රටවල් ප්‍රමාණයටම පාරිභෝජනය වැඩිකළහොත් එය ලෝක ජනගහණය බිලියන 72 ක් පමණ‍ට වැඩිවූවා ලෙස සැලකිය යුතුවේ. එමනිසා එය කිසිසේත්ම අපේක්ෂාකළ නොහැකි තත්වයකි.

උදාහරණයන් වශයෙන් චීනය පමණක් ඒක පුද්ගල පරිභෝජනය ඇමෙරිකාවේ ඒක පුද්ගල පරිභෝජනය තරමට වැඩිකළ‍හොත් ලෝකයේ ඉන්ධන සහ ලෝහ අවශ්‍යතාවය දෙගුණයකින් ඉහළ යනු ඇත. චීනය සහ ඉන්දියාව පමණක් ඒක පුද්ගල පරිභෝජනය ඇමෙරිකාවේ ඒක පුද්ගල පරිභෝජන ප්‍රමාණයට වැඩිකළහොත් ලෝකයේ සියළු සම්පත් භාවිතය තුන්ගුණයකින් ඉහළ දැමිය යුතුය. දැනටමත් බලවත් සම්පත් හිඟතාවයකට මුහුණපා සිටින අවධියක මේවා කිසිදිනක ප්‍රායෝගික නොවන උපකල්පනයන්වේ.

මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට කිසිදාකවත් සංවර්ධිත රටවල්වල අද පවතින ඒක පුද්ගල පරිභෝජන ප්‍රමාණයට ලඟා විය නොහැකිවා පමණක් නොව, එම විෂමතාවය පසුබිම්කොට ගෙන සංවර්ධනයවන රටවල් තුලින් සංවර්ධිත රටවල්වලට එරෙහිව විරෝධාකල්පද ගොඩනැගෙනු ඇත. 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ලවුනු ත්‍රස්ත ප්‍රහාරයද මෙවැනි විරෝධාකල්පවල එක් ප්‍රථිපලයක් ලෙස ඉඟිකරන මෙම ලිපිය මගින් මෙම පරිභෝජන විෂමතාවය නිසා ඉදිරිකාලයේදී අනෙකුත් සංවර්ධිත රටවල්වලට එරෙහිවද ත්‍රස්ත ක්‍රියා මතුවිය හැකිබව පෙන්නුම් කරයි.

තචද යහපාලනය (good governance) සහ වෙළඳපොල මුල්කර ගත් ආර්ථික ක්‍රමයන් (market based economic policies) වැනි හොඳ ප්‍රතිපත්ති අනුගමනය කිරිමතුළින් තම රටවල්මෙන්ම ඉහළ ජීවන තත්වයක් (higher living standard) ලඟාකරගත හැකියැයි සංවර්ධිත රටවල් පැවසුවද ගෝලීය සම්පත්වල සීමිතභාවය නිසා එය තදබල චංචාසහගත පිළිවෙතක්යැයි පවසන මෙම ලිපිය සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ සංවර්ධිත රටවල් තම ඒක පුද්ගල පරිභෝජනය අඩුකරගනිමින් සංවර්ධනයවන රටවල්වලට සම්පත් ඉතිරිකර දීමයැයි අවධාරණය කරයි.

මෙසේ ඒක පුද්ගල පරිභෝජනය අඩුකිරිම තුලින් සංවර්ධිත රටවල්වල ජීවන තත්වයන්ට එතරම් බලපෑමක් නොවන අතර මේ සඳහා කලයුත්තේ මනා ලෙස සම්පත් කළමනාකරණ කිරිමයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය බටහිර යුරෝපයට වඩා දෙගුණයකින් වැඩිවුවද, බටහිර යුරෝපයේ රටවල ජීවන තත්වය සෑම අතකින්ම (ආයු කාලය, සෞඛ්‍ය සේවා, ලදරු මරණ අනුපාතය, සමාජ ආරක්ෂණය, ප්‍රසිද්ධ පාසැල්වල ගුණාත්මක බව ආදී) ඇමෙරිකාවට වඩා වැඩිය. මෙයින් අදහස් කෙරෙන්නේ ඇමෙරිකාවේ ඉන්ධන පරිභෝජනය ඉතාමත් අකාර්යක්ෂම බවය.

සංවර්ධිත රටවල්වල ඒක පුද්ගල පාරිභෝජන ප්‍රමාණය අඩුකිරිම සඳහා අතිශයින්ම වැදගත්වන්නේ දේශපාලනික කැපවීමකින් යුත් තීන්දු ගැනීමක්වන අතර, ප්‍රමාදවී හෝ ගෝලීය උෂ්ණත්වය අඩු කිරිම සඳහා කියෝටෝ ගිවිසුමට අත්සන් කිරිමට නව ඕස්ට්‍රෙලියානු අගමැතිවරයා ගත් තීන්දුව මෙතෙක් එම ගිවිසමට අත්සන් නොකළ සංවර්ධිත රටවල්වලට මනා ආදර්ශයක්වනු ඇත.

මූලාශ්‍රය:http://www.nytimes.com/2008/01/02/opinion/02diamond.html?pagewanted=1&_r=1


ගෝලීයකරණය අතින් ශ්‍රී ලංකාව පසු බැස්මක
Sri Lanka looses its place in the Globalization ranking

(2008 ජනවාරි මස 12)

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල සමාජ-ආර්ථික වෙනස්කම් සඳහා බෙහෙවින් බලපෑම් කළහැකි සාධකයක් ලෙස ගෝලීයකරණය සැලකේ. වාසිදායක ප්‍රථිපල අත්කර දෙමින් බලවත් විවේචනයන්ට ලක්වන සහ සංවර්ධන රටවල්වලට ඇතුවත් බැරි නැතිවත් බැරි ගෝලීයකරණය සාපේක්ෂකව මැණීම සඳහා දර්ශකයන් (Globalization Index) නිර්මාණය කර ඇති අතර මෙම දර්ශකයන් භාවිතා කරගනිමින් අන්තර් ජාතික ආයතනයන් තුනක් මගින් තෝරා ගත් රටවල් කිහිපයක් සඳහා වාර්ෂිකව ගෝලීයකරණ ශ්‍රේණිගතකිරිම් (Globalization ranking of selected countries)දෙකක් එළිදක්වනු ලබයි.

ඒ.ටී කියනි සහ ෆොරින් පොලිසි (A.T. Kearney and Foreign Policy) යන ආයතන මගින් 2007 වර්ෂය සඳහා එලිදක්වන ලද ගෝලීයකරණ ශ්‍රේණිගත කිරීමට අනුව රටවල් 72 ක් අතුරින් ශ්‍රී ලංකාවට 56 වන තැන හමුවන අතර, 2006 සහ 2005 වර්ෂවල එම ආයතනවලම ශ්‍රේණිගත කිරිම්වලට අනුව පිළිවෙලින් 46 සහ 43 ස්ථාන හිමිවී ඇත. මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ගෝලීයකරණය අතින් හිමිවන ස්ථානය ක්‍රමක්‍රමයෙන් පහත බසින බවයි. 2006 සහ 2007 වර්ෂය අතරදී ශ්‍රී ලංකාව ස්ථාන 10 කින් පහත බැසීම විශේෂත්වයකි.

ස්විට්සර්ලන්තයේ රාජ්‍ය තාක්ෂණික ආයතනය (Swiss Federal Institute of Technology, Zurich) නොහොත් ETH මගින් වාර්ෂිකව පළකරන ගෝලීයකරණ ශ්‍රෙණිගත කිරීමේදී ද, 2006 දී රටවල් 122 ක් අතුරින් 83 වන ස්ථානය ලබා ගන්නා ශ්‍රී ලංකාව 2007 වර්ෂයේ ලබා ඇත්තේ 86 වැනි ස්ථානයයි.

ගෝලීයකරණ දර්ශකය සහ ගෝලීයකරණ ශ්‍රේණිගත කිරිම් වල සම්පූර්ණ ලැයිස්තු පහත් දැක්වෙන වෙබ් අඩවි මගින් ලබා ගත හැක.

http://globalization.kof.ethz.ch/ http://www.foreignpolicy.com/story/cms.php?story_id=3995

ගෝලීයකරණ දර්ශකය නිර්මාණය කිරිම සඳහා පහත දැක්වෙන සාධක නොහොත් මිණුම් දඬු භාවිතා කෙරේ.

අ) ආර්ථික ගෝලීයකරණය (Economic Globalization)

මුදල් ගලා යෑම

අන්තර් ජාතික වෙළඳාම දළ ජාතික අදායමේ ප්‍රතිශතයක් ලෙස

  1. ඍජු විදේශ ආයෝජන දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස
  2. ප්‍රාග්ධන කොටස් ලෙස ඍජු විදේශ ආයෝජන දළ ජාතික අදායමේ ප්‍රතිශතයක් ලෙස
  3. විදේශිකයින්ට වැටුප්ලෙස ගෙවන ප්‍රමාණය දළ ජාතික අදායමේ ප්‍රතිශතයක් ලෙස

මුදල් ගලා යෑමට ඇති සීමා බන්ධන

  1. දළ තීරුබදු අනුපාතය
  2. අන්තර් ජාතික වෙළඳාම මත අයකළ බදු ප්‍රමාණය ප්‍රවර්තන ගිණුමේ (current account) ප්‍රතිශතයක් ලෙස
  3. වක්‍ර ආනයන බදු අනුපාතයන්

ආ) සමාජ ගෝලීයකරණය (Social Globalization)

පෞද්ගලික සම්බන්ධතා

  1. විදේශයන්ට අමතන දුරකතන ඇමතුම් කාලය
  2. පෞද්ගලික අරමුදල් ගලා ඒම දළ ජාතික අදායමේ ප්‍රතිශතයක් ලෙස
  3. විදේශ සංචාරකයින් සංඛ්‍යාව
  4. රටේ පදිංචි විදේශිකයින් සංඛ්‍යාව මුළු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස
  5. අන්තර් ජාතික ලිපි සංඛ්‍යාව මුළු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස

තොරතුරු ගලායෑම

  1. අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ (internet users) සංඛ්‍යාව (ජනගහණයේ අනුපාතයක් ලෙස)
  2. අන්තර්ජාල සත්කාරකයින් (internet hosts) සංඛ්‍යාව (ජනගහණයේ අනුපාතයක් ලෙස)
  3. කේබල් රූපවාහිණී භාවිතාකරන සංඛ්‍යාව (ජනගහණයේ අනුපාතයක් ලෙස)
  4. රේඩියෝ භාවිතා කරණ සංඛ්‍යාව (ජනගහණයේ අනුපාතයක් ලෙස)
  5. අන්තර්ජාතික ප්‍රවෘත්ති පත්‍ර වෙළඳාමේ මුළු පිරිවැටුම (දළ ජාතික අදායමේ ප්‍රතිශතයක් ලෙස)

සංස්කෘතික ආසන්නතාවය

  1. මැක්ඩොනල්ඩ් (McDonald) ආපනශාලා සංඛ්‍යාව (ජනගහණයේ අනුපාතයක් ලෙස)
  2. ඉකියා (IKEA) වෙළඳහල් සංඛ්‍යාව (ජනගහණයේ අනුපාතයක් ලෙස)
  3. අන්තර්ජාතික පොත් අලෙවියේ මුළු පිරිවැටුම (ජනගහණයේ අනුපාතයක් ලෙස)

ඇ) දේශපාලනික ගෝලීයකරණය (Political Globalization)

  1. රටතුළ ඇති තානාපති කාර්යාල සංඛ්‍යාව
  2. අත්සන් කර ඇති අන්තර් ජාතික ගිවිසුම් / එකඟතා සංඛ්‍යාව
  3. සාමාජිකත්වය ලබා ඇති අන්තර්ජාතික ආයතන සංඛ්‍යාව
  4. එක්සත් ජාතීන්ගේ දූතමෙහෙවරයන්ගේ (සාම සාධක හමුදාවැනි) සහභාගීත්වය - (participation in UN missions)

රටක සංවර්ධනය කෙරෙහි අවිධිමත් ආර්ථික ක්‍රියාවලියක දායකත්වය මැණීම සහා ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය
ADB assistance to measure the informal sector
(2008 ජනවාරි 7)

ආසියානු රටවල්වල ආර්ථික වර්ධනයන් සීඝ්‍රයෙන් ඉහළ යන නමුදු එම ආර්ථික වර්ධනයන්ගේ ප්‍රතිලාභ වැඩිපුර ගලා යන්නේත් එම නිසාම ජිවන තත්වයන්ගේ ඉහළ යෑමක් වැඩිපුර දක්නට ඇත්තේත් වැඩි ආදායම්ලාභී නොහොත් පොහොසත් ‍පවුල්වලටය. මේ නිසාම සංවර්ධනයවන ආසියානු රටවල දුප්පතුන් සහ පොහොසතුන් අතර ඇති ආදායම් පරතරය නොහොත් අසමානතාවය (Income inequality) දිළිඳුකම තරම්ම උග්‍ර සමාජ ප්‍රශ්නයක් බවට පත්වී ඇත.

දිළිඳු ප්‍රජාවන්ට වැඩි වැඩියෙන් රැකියා අවස්ථා ලබා දිම මේ ප්‍රශ්නයට ඇති හොඳම විසඳුම බව පිළිගැනෙන නමුදු, දිළින්දන් සඳහා රැකියා අවස්ථා වැඩිපුර ජනිතවන අවිධිමත් ආර්ථික අංශ හෝ  ක්‍රියාවලිය (informal economic sectors) පිළිබඳ ඇති දැනුම සහ තොරතුරු අල්පය. මේ නිසාම මෙම අවිධිමත් ආර්ථික අංශය විධිමත්ව නගා සිටුවීමට දක්වන්නේද අල්ප සැලකිල්ලකි.

අවිධිමත් ආර්ථික ක්‍රියාවලියක් යනුවෙන් අදහස්වන්නේ ලියා පදිංචි නොවුන, තාවකාලිකව හෝ වරින් වර පමණක් ක්‍රියාත්මකවන, රැකියා හෝ ආයෝජන පිළිබඳ සංඛ්‍යා ලේඛණ විධිමත් ආකාරයකින් ලබා ගත නොහැකි, මූල්‍ය හෝ නිෂ්පාදන තොරතුරු තබා නොගන්නා, අවිධිමත් හො කුඩා මූල්‍ය සේවාවන්ගෙන් ණය ලබා ගන්නා, අඩු තාක්ෂණයෙන් සහ අසංවිධානගත නිෂ්පාදන ක්‍රියාවලියක් සහිත, ආදායම් බදු නොගෙවන, ප්‍රධාන සංවර්ධන ප්‍රවාහයෙන් හා සංවර්ධන සැලසුම්වලින් බැහැරවූ සහ ඒ නිසාම බදු හෝ වෙනත් සහණාධාර නොලබන සහ නිරන්තර සමීක්ෂණයන්ට භාජනය නොවන ආර්ථික ක්‍රියාකාරකම්ය. මේවා බොහෝවිට සවයං රැකියාගණයට ඇතුලත්වේ.

එහෙත් බොහෝ සංවර්ධනයවන රටවල මෙම අවිධිමත් අංශයෙන් දිළිඳු පුද්ගලයින් සඳහා ජනිතකරවන අනියම් හො තාවකාලික රැකියා අවස්ථා සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයක්වන අතර ඒ මගින් එම පවුල්වල දෛනික ආර්ථිකය පවත්වා ගැනීමට සිදුවන මෙහෙයද අතිමහත්ය. සවර්ධනයවන රටවල කෘෂිකාර්මික නොවන රැකියාවලින් 50% ක්ම ‍බිහිකිරිමට අවිධිමත් ආර්ථික අංශය සමත්වන අතර කෘෂිකාර්මික නොවන දළ ජාතික නිෂ්පාදනයෙන් 30% ක දායක්තවයක් මෙම අංශය සපයයි.

සාමාජික රටවල අවිධිමත් ආර්ථික අංශයේ වැදගත්කම සැලකිල්ලට ගන්නා ආසියානු සංවර්ධන බැංකුව එම අංශය පිළිබඳ සමීක්ෂණයක් කිරිම සඳහා සංවර්ධනයවන සාමාජික රටකට ඩොලර් ලක්ෂ පහ බැගින් ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත. අදාළ රටේ ජාතික සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට ලබා දෙන මෙම ආධාරය මගින් කරණ ලබන සමීක්ෂණය තුළින් එම රටේ අවිධිමත් ක්‍රියාවලියෙහි ඇති ප්‍රධාන ලක්ෂණ, ජනිත කරන රැකියා ප්‍රමාණය, ආදායම් සහ රැකියා ජනිත කිරීමේ විභවය, දිළිඳුකම තුරන් කිරිමට ඇති හැකියාව ආදී වැදගත් කරුණු රාශියක් ඉස්මතුකරගැනීමට අපේක්ෂිතය.

මූලාශ්‍රය: http://mms.adb.org/e-Notification/url.asp?ID=41642&DOCID=12937


වෙනත් රටවල පදිංචි වෘත්තීය සහ ව්‍යාපාරික පුරවැසියන් දිළිුකම පිටු දැකීමේ ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීම සහා දිරිමත් කරවන ඉන්දියානු ප්‍රයත්නය
Mobilizing well placed Non-Residents to build a National Movement for Social Development – the Indian summit
(2008 ජනවාරි 7)

වෙනත් රටවල පදිංචි වෘත්තීය සහ ව්‍යාපාරික ඉන්දියානු පුරවැසියන් සඳහා වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන සමුළුව මේවරද 2008 ජනවාරි 8 දින පැවැත්වීමට නියමිතව ඇති අතර, මේවර සමුළුවේ තේමාව වන්නේ ඉන්දියාවේ පවතින දරිද්‍රතාවය පිළිබඳ පිටරටවල සිටින ඉන්දියානු පුරවැසියන් දැනුවත් කිරිම තුළින් එම දරිද්‍රතාවය පිටු දැකීම සඳහා ඔවුන්ගේ සහය ලබා ගැනීමයි. මේවර පැවැත්වෙන දෙදින සමුළුවේදී වෙනත් රටවල් 43 පදිංචි ඉන්දියානු පුරවැසියන් 1000 ක් පමණ සහභාගීවීමට නියමිතව ඇති අතර ඉන්දියාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඒ සඳහා සහාගිගීවිමට නියමිතය. මෙහිදී වැඩිම අනේවාසික පුරවැසියන් සංඛ්‍යාවක් නියොජනය කරනු ඇත්තේ මැලේසියාවෙන් (138) සහ ඇමෙරිකාවෙන් (125) ය. දිළිඳු ජනගහණයන් අධික ප්‍රාන්ත කිහිපයක ඇමතිවරුන් සහ ප්‍රධාන ඇමතිවරුන්ද සහභාගිවන මෙම සමුළුවට සමගාමීව ප්‍රාන්ත 17 ක් සහ විශාල පරිමාණ ව්‍යාපාරික ආයතන 50 ක නියෝජනයකින් යුත් ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.

‍ඇමෙරිකාවේ ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයක සඳහන් ‘එක් පවුලක් සඳහා ඩොලර් 50 ක පමණ කුඩා ණයක් දීම මගින් එම පවුල දිළිඳු බවින් මුදාගත හැකිය’ යන පාඨය ආදර්ශයට ගනිමින් ඒ සඳහා අනේවාසික ඉන්දියානු පුරවැසියන්ගේ දායක්ත්වය ලබා ගැනීමට මෙම සමුළුවේ සංවිධායකින් බලාපොරොත්තුවේ. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක ආදායම් පාලන කොට්ඨාශ 6500 ක කාන්තා සහ ළමා සංවර්ධනයට අවශ්‍ය අරමුදලක් මේ මගින් ස්ථාපිත කරීමට අපේක්ෂිතවුවද, මේ සමුළුව හුදෙක් අරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයකට වඩා ඉන්දියාවේ සමාජ සංවර්ධනය සඳහා අනේවාසික ඉන්දියානුවන් සහභාගීකරගැනීමේ පුළුල් ජාතික ව්‍යපාරයක් ගොඩ නැගීමේ ප්‍රයත්නයක් ලෙස ඔවුන් සලකයි. 

මූලාශ්‍රය: http://www.business-standard.com/economy/storypage.php?leftnm=3&subLeft=1&chklogin=N&autono=309751&tab=r


කුඩා මුල්‍යකරණය පිළිබ  නේපාලයේ පැවැත්වෙන ලෝක සමුළුව
Microfinance World Summit in Nepal from February 14th 2008
(2008  ජනවාරි 5)

දිලිඳුකම පිටු දැකීමේ මෙවලමක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ඉතා සුලභව භාවිතාවන කුඩා මූල්‍යකරණය පිළිබඳ තුන් දින අන්තර් ජාතික සමුළුවක් පෙරවාරි 14 දින සිට නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වීමට නියමිතය. අන්ත දුප්පත් ප්‍රජාවන් (extremely poor communities) ඉලක්ක කරගත් කුඩා මූල්‍යකරනය මගින් ඔවුන්ගේ ආදායම තිරසාරී ලෙස ඉහළ දැමීම මෙම සමුළුවේ තේමාවයි. සංවර්ධනය වන රටවල ජාතික සංවර්ධන උපාය මාර්ගයන්ගේ (National Development Strategies) ප්‍රධාන අංගයක් බවට කුඩා මුල්‍යකරණය පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන්, ප්‍රතිපත්ති සාධකයින් සහ අනිකුත් සියළු පාර්ශවකරුවන් අතර පුළුල් සංවාදයක් ගොඩ නැඟිම සහ එකඟතාවයක් ඇතිකිරීම මෙම සමුළුවේ අරමුණවේ.

කුඩා මුල්‍යකරණ ආයතන 3600 ක් පමණ ක්‍රියාත්මකවන නේපාලයේ මුළු ජනගහණයෙන් 9% ක් පමණ හා දිළිඳු ජනගහණයන් 26% ක් පමණ කුඩා මූල්‍යකරණයෙන් දැනටමත් ප්‍රතිලාභ ලබන අතර දිළිඳු ජනගහණ ආවරණය 31% දක්වා වැඩිකිරිමට ‍නේපාලය බලාපොරොත්තුවේ. ඉන් අදහස්වන්නේ කුඩා මූල්‍යකරණ ආයතනවලින් ආවරණයවන පවුල් සංඛ්‍යාව මිලියන 10 කින් පමණ වැඩිකිරීමයි.

රටවල් කිහිපයක මූල්‍ය ආයතන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් ජාතික සංවර්ධන ආයතන සහ සමූපකාර ආයතනවල නියෝජිතයින් 300ක් පමණ සහභාගිවන මෙම සමුළුව අපේක්ෂිත කුඩා මූල්‍යකරණ ඉලක්ක කරා යෑමට නේපාලයට අවශ්‍ය උපායමාර්ග සැලසුම් කිරීමට ඉවහල්වනු ඇතැයි එහි සංවිධාකයින් බලාපොරොත්තුයව්.

මුලාශ්‍රය: http://www.thehimalayantimes.com/fullstory.asp?filename=aFanata0vfqzpba7Pa8qa.axamal&folder=aHaoamW&Name=Home&dtSiteDate=20080105


හරිතාගාර වායු නික්මීම අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් සංවර්ධනයවන රටවල ගොවීන්ට අනුපූරණ වන්දි ගෙවිය යුතුයි
Proposal to compensate farmers in developing countries for minimizing carbon emissions
(2008 ජනවාරි 1)

පස සහ වනාන්තර සංරක්ෂණය කිරිමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දුප්පත් ගොවීන්ට අනුපූරණ වන්දි ගෙවීම සඳහා කාබන් වෙලඳාම (carbon trading) නමැති සංකල්පය පුළුල් විය යුතුයැයි  කෘෂි සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික අරමුදලේ නොහොත් ඉෆාඩ් සංවිධානයේ (International Fund for Agricultural Development – IFAD) සභාපතිවරයා යෝජනා කර ඇත..

සංවර්ධිත රටවල්වලින් වායුගෝලයට අධික ලෙස හරිතාගාර වායු (greenhouse gases) මුදා හැරීම ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන ප්‍රධාන සාධකයකි. එම හරිතාගාර වායු ප්‍රමාණය කෙටි කාලීනව අඩුකළහොත් එය එම රටවල්වල ආර්ථික සංවර්ධනයට අශුභ ලෙස බලපාන නිසා ඊට හිලව්වීමක් ලෙස සංවර්ධනයවන රටවල වනාන්තර සංරක්ෂණය කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් සංවර්ධිත රටවල් ගෙවීම් කිරීම කාබන් වෙළඳාම යනුවෙන් හැඳින්වේ. වනාන්තර මගින් හරිතාගාර වායු උරා ගැනීමට හැකිවීමේ සිද්ධාන්තය ‍කාබන් වෙළඳාමට පසුබිම් වේ.

බිලියනය තුනක් (3) පමණවන ලෝක ග්‍රාමීය ජනගහණයේ ප්‍රධාන ජීවිකාව කෘෂි කර්මාන්තය වන අතර එයින් තුනෙන් කොටසක් (බිලියන එකක්) පමණ අන්ත දුගී ගණයට අයත්වේ. මොවුන්ගේ දිළිඳුකම අවම කොට ජීවන තත්වයන් නඟා සිටුවීමට ඇති හොඳම මාර්ගයද කෘෂි කර්මාන්තය නඟා සිටුවීම බව පිළිගැනෙන අතර ලෝක බැංකුව මගින් මෑතකදී එළි දක්වන ලද 2008 ලෝක සංවර්ධන වාර්තාව මගින් ( 2008 World Development Report) එය මනාව සනාථ කරයි. මහජන චීනයේ මෑත කාලීන අත්දැකීම් අනුව දිළිඳුකම අවම කිරීම සඳහා කෘෂි ආර්ථිකයේ දායකත්වය වෙනත් අංශයන්ට වඩා 350% කින් වැඩිවන අතර ලතින් අමෙරිකානු රටවල්වල එම ප්‍රමාණය 270% පමණවේ. එසේවුවද වර්ෂ 25 ක පමණ කාලයක ලෙස නොවැදගත් අංශයක් ලෙස දායක අයතන මගින් බැහැර කර තිබූ කෘෂිකර්මය සඳහා මේවනවිට ගෝලීය සංවර්ධන අරමුදල්වලින් (Overseas Development Aid - ODA) ලැබෙන්නේ 18% ක පමණ අඩු දායකත්වයකි.

ග්‍රාමීය කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා වඩා වැඩි අවධානයක් යොමුකිරීමට මේවා ‍හොඳ නිදසුන් වුවද කෘෂිකර්මාන්තය කෙරෙහි දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම සහ ඒමගින් ගොවීනට ඇති අභියෝග සහ අවස්ථාද සැලකිළ්ලට ගතයුතුව ඇත. දේශගුණික ව්‍යසනයන් නිසා සිදුවන බෝග විනාශය ආහාර සුරක්ෂිතතාවය කෙරේ දැඩි අශුභවාදී බලපෑම් කරන අතර, ඒ නිසාම ඉහළ යන ආහාර ද්‍රව්‍යවල මිල දිළිඳු ප්‍රජාවන්ගේ සහ විශේෂයෙන්ම වගා ඉඩම් නොමැති පවුල්වල ගෘහස්ථ ආර්ථිකයනට තදින් බලපානු ඇත. එහෙත් දිනෙන් දින ඉහළ යන ආහාර සහ ජෛව ඉන්ධන (bio fuels) ඉල්ලුම නිසා වැඩි වැඩියෙන් බෝග වගාවන් කෙරෙහි යොමුවීමට ගොවීන් පෙළඹෙනු ඇත.

විශේෂයෙන්ම දිළිඳු ප්‍රජාවන්ගේ යහපත උදෙසා කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමට ඇති වර්තමාන නැඹුරුව හරි හැටි කළමණාකරනය නොකළහොත් ඇතිවන පාරිසරික දුර්විපාකද අධිකවිය හැක. ලෝක බැංකුවෙහි ඇස්තමේන්තුවලට අනුව සංවර්ධනය වන රටවල කෘෂි කර්මාන්තය හේතුකොටගෙන සහ වනාන්තර එලිපෙහෙළි කිරීම නිසා දැනටමත් නික්මෙන හරිතාගාර වායු ප්‍රමාණය මුළු ගෝලීය හරිතාගාර වායු නික්මීම්වලින් 22% කි. එම නිසා කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට ඇති නැඹුරුවත් සමගම පස, ඉඩම්, ජලය සහ වනාන්තර සංරක්ෂණය වැනි පරිසර හිතවාදී වගා තාක්ෂණ ක්‍රම අනුගමනය කිරිමට සංවර්ධනයවන රටවල ගොවීන් පෙළඹවීම මගින් පරිසරයට නික්මෙන හරිතාගාර වායු ප්‍රමාණය අඩුකිරිම අනිවාර්යවේ.

ඉෆාඩ් සංවිධානයේ සභාපතිවරයාට අනුව මෙවන් අඩු කාබන් නික්මීම් සහිත (low carbon emission) කෘෂිකර්මාන්තයක් දිළිඳු ගොවීන් අතර ප්‍රචලිත කිරිම සඳහා සංවර්ධනයවන රටවලට මූලික ආයෝජනයන් අවශ්‍යවන අතර කාබන් වෙළඳාම සංකල්පයම මේ සඳහා උපයෝගී කරගැනීමෙන් එම ආයොජනයන්ට අවශ්‍ය අරමුදල් සැපයිය යුතුය.

මූලාශ්‍රය: www.ifad.org/events/op/2007/carbon.htm

2007 සංවර්ධන පුවත්