අබලන් බැමි සහ වේලි සහිත ජලාශවලින් සිදුවිහැකි හානි පිළිබඳ අවදානම මගහැරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ණයක්
World Bank approves US$65.33 million credit for the Sri Lanka Dam Safety and Water Resources Planning Project
(මාර්තු 29, 2008)
ශ්‍රී ලංකාවේ වැව් සහ ජලාශවල පැරණිවූ සහ අබලන්ව ඇති බැමි හා වේලි කැඩීයෑම නිසා උද්ගතවිය හැකි අවදානම් තත්වය මගහැරිම සහ එවැනි ජල සම්පත් මනා ලෙස කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍යවන ඇ. ඩොලර් මිලියන 65.33 ක ණය අරමුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟවී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ඇ. ඩොලර් මිලියන 6.33 ක් වනු ඇත.
මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ජලාශ 350 ක් පමණ ලංකාවේ ඇති අතර ඒවායින් බොහොමයක බැමි අබලන්වී ඇති අතර, එවැනි බැමි පිළිසකර කිරීම, මෙහෙයුම් හා නඩත්තු කිරිම සහ ඒවායේ තත්වය පිළිබඳ නිරන්තර විපරමක යෙදීම සඳහා ඇති ආයතනික පහසුකම් ඉතා අල්පය. එසේවුවත් කෘෂිකාර්මික සහ ග්‍රාමීය ජනාවාසවල අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත්, බල ශක්ති උත්පාදනයේදීත්, ජල ගැලීම් පාලනයේදීත් හා ග්‍රාමීය ආර්ථිකයේ වර්ධනයත් උදෙසා මෙම ජලාශයන්ගෙන් සිදුවන දායකත්වය සහ ප්‍රයෝජනය අතිමහත්ය.
මෙවැනි අබලන් බැමි සහ වේලි සහිත ජලාශ 80 ක පමණ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සහ ඒවායේ ප්‍රවේශම්කාරී බව තිරසාරව පවත්වාගෙන යෑමට අවශ්‍ය ආයතනික පද්ධතීන් සංවර්ධනය කිරීම මෙම ව්‍යපෘතියෙන් අපේක්ෂා කෙරේ. මේ ජලාශ බැමි සහ වේලි අතුරින් 32 ක් අවදානම් ගණයට ඇතුළත්වන නිසා ඒවා පිළිබඳ දැඩි අචධානයක් ව්‍යාපෘතිය මගින් සිදුවනු ඇත.
මෙවැනි වැව් හා ජලාශවල ජල පරිහරණය පිළිබඳව ජාතික සැලැස්මක් පිළියෙල කිරීමටත් මෙම ව්‍යාපෘතිය දායකවන අතර එමගින් දැනට පවතින මහවැලි ජල සම්පත් සංවර්ධන සැලැස්මත් යාවත්කාලීන කෙරෙනු ඇත.
ස්වාභාවික ව්‍යසනයන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා පෙර දැනුම්දීමේ හා පෙර සූදානම්වීමේ අවශ්‍යතාවය සුනාමි ව්‍යසනයෙන් පසු දැඩිව දැනෙන වර්තමානයේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මකවීම ඉතා කාලෝචිතය.
කෘෂි ද්‍රව්‍ය සැකසීම සහ අලෙවිකරණය පදනම් කරගත් කෘෂි-කර්මාන්ත ප්‍රවර්ධනය පිලිබඳ ප්‍රථම ගෝලීය සමුළුව : 2008 අප්‍රියෙල් 8 – 11 දක්වා නව දිල්ලි නුවරදී
The first global forum to promote value addition to agricultural produce through agro-industries to be held in India from April 8 – 11, 2008
(මාර්තු 28, 2008)
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනය (United Nations Industrial Development Organization – UNIDO), කාෂිකාර්මික සංවර්ධනය සඳහාවූ අන්තර් ජාතික අරමුදල (International Fund for Agricultural Development – IFAD) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization - FAO) මගින් සංවිධානය කර ඇති කෘෂි නිෂ්පාදන මුලික කර්මාන්ත (agro-industries) පිළිබඳ ගෝලීය සමුළුවක් 2008 අප්‍රියෙල් 8 සිට 11 දක්වා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙනු ඇත. ඉන්දියානු රජයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙවන් ආකාරයේ ප්‍රථම ගෝලීය සමුළුව වන අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය හා දිළිදුකම අවම කිරිම සඳහා කෘෂි දුව්‍ය පාදක කර ගත් කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධනය කිරිමේ වැදගත්කම ඉස්මතු කිරිමයි. මේ සමුළුව සඳහා විවිධ රටවල්වල රාජ්‍ය සහ සිවිල් සංවිධාන, පොද්ගලික ව්‍යාපාර හා අන්තර් ජාතික සංවර්ධන ආයතන නියොජිතයින් 500 ක් පමණ සහභාගිවනු ඇත.
සීඝ්‍රයෙන් සිදුවන ගෝලීයකරණය (globalization), වෙළඳපල ලිහිල්කරණය (market liberalization) සහ නාගරීකරණය (urbanization) තුළ කෘෂි ද්‍රව්‍ය මූලික නිෂ්පාදනයන්ට සහ වෙළඳාමට ඇති ඉඩකඩද සීඝ්‍රයෙන් පුළුල්වන නමුදු ඒ නිසාම මතුවන අභියෝග සහ අවාදානම්ද අධිකය. එම නිසා එවන් කෘෂි ආර්ථික ඉඩප්‍රස්ථා (agro-economic opportunities) නිසි ලෙස හඳුනා ගෙන කෘෂි ද්‍රව්‍ය සැකසීමේ (agro processing) ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම මගින් කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම වැඩිකර ගැනීම සංවර්ධනය වන රටවල්වල අරමුණවිය යුතුය. එසේ නොවුවහොත් සිදුවන්නේ අඩු අගයක් සහිත කෘෂි අමු ද්‍රව්‍යවලට පමණක් (low value raw agricultural products) සිමාවී සිටීමට එම රටවල්වලට සිදුවීමයි.
කෘෂි අමුද්‍රව්‍ය සැකසීම තුළින් කෘෂිකාර්මික අස්වනු ටොන් එකක අගය දළ වශයෙන් ඇ. ඩොලර් 180 කින් වැඩි කරගැනීමට සංවර්ධිත රටවල් සමත්වී ඇති අතර සංවර්ධනයවන දිළඳු රටවල්වල කෘෂි අස්වනුවල අගය වැඩිවීම ටොන් එකකට ඇ. ඩොලර් 40 ක් තරමට පමණක් සීමාවී ඇත. සංවර්ධනයවන රටවල් තුළ ඇති මෙම තත්වය වෙනස්කරගැනීමට නම් කෘෂිකර්මාන්තය කේන්‍ද්‍රවී ඇති ග්‍රාමීය ප්‍රදේශතුළ කෘෂි සැකසුම්වලට අදාළ තාක්ෂණික, ව්‍යාපාර කළමනාකරණ, මුල්‍යකරණ සහ අලෙවිකරණ කටයුතු සඳහා අවශ්‍ය පසුබිම හා ධාරිතාවය (තොරතුරු සහ දැනුම, කුශලතා සහ යටිතල පහසුකම්) ප්‍රවර්ධනය සිදුවිය යුතු අතර මෙම ගෝලීය සමුළුවේදී එම කරුණු සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකරණු ඇතැයි අපේක්ෂා කෙරේ.
මූලාශ්‍රය: http://www.fao.org/newsroom/en/news/2008/1000793/index.html
ඝණ අපද්‍රව්‍ය මගින් නිකුත්වන මීතේන් වායුව රැස් කර දහණය කිරීම සඳහා ගෙවීම: ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අවම කිරීමේ නව්‍ය ප්‍රයත්නයක්
Methane emission reduction purchase agreement: an effort to reduce to global warming
(මාර්තු 27, 2008)
පරිසරය උණුසුම්වීමට හා ඒ මගින් අහිතකර දේශගුණික විපර්යාසයන්ඇති කිරිමට විශාල වශයෙන් දායකවන ‘හරිතාගාර වායු’ (green house gases) වායු ගෝලයට නික්මීම අවම කිරීමේ ඉන්දුනීසියාව තුළ සිදුකෙරෙන ව්‍යාපෘතියක් සඳහා ව්‍යාපාරික සමාගමක් සමග ලෝක බැංකුව මේ මස මුල් සතියේදී ගිවිසුමකට එළඹගෙන ඇත.
මෙම ගිවිසුමට අනුව ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි බෙකාසි නගරය තුළ ඉවත්කෙරෙන ඝන අපද්‍රව්‍ය පුරවන විශාල භූමි ප්‍රදේශයකින් නික්මෙන මීතේන් වායුව ක්‍රමානුකූලව එකතුකොට දහනයට වන්නට සැලැස්වීම සඳහා අදාළ ව්‍යාපාරික සමාගමට ගෙවීමක් කරනු ලබයි. වායුව උණුසුම් කිරිමට කාබන් ඩයොක්සයිඩ් මෙන් 21 ක් ගුණයකින් සමත් මීතේන් වායුව පරිසර දූෂණයට තදින්ම බලපාන සාධකයක් ලෙස සැලකේ.
පරිසර දූෂණ වැලැක්වීමේ තාක්ෂණය පිළිබඳ විශේඥ දැනුමක් ඇති ව්‍යපාරික සමාගමට ඝණ අපද්‍රව්‍ය පිරවූ භූමියෙන් මීතේන් වායුව ඉවත්කොට දහනය කිරිම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ බෙකාසි නගර සභාවයි. ලෝක බැංකු ගිවිසුමට අනුව සිදුවන්නේ දහනයකරන සෑම මීතේන් වායු ටොන් එකක් සඳහා එම සමාගමට ගෙවීමක් කිරීමයි. මේ සදහා කාබන් ඩයොක්සයිඩ් සමතුල්‍යකරණ (carbon dioxide equivalent) අනුව ගණන් බලන අතර කාබන් ඩයොක්සයිඩ් ටොන් එකක් සඳහා ඇ. ඩොලර් 5 – 10 ක් අතර ගෙවීමක් සිදුකරණු ලැබේ. මෙම ව්‍යාපෘතිය තුළින් නික්මෙන කාබන් ඩයොක්සයිඩ් වායු ටොන් 250,000 සමකල හැකි මීතේන් වායු ප්‍රමාණයක් සඳහා මෙම සමාගමට ලෝක බැංකුව ගෙවීමක් කෙරෙනු ඇත.
වෙනත් අන්දමකින් කිවහොත් මෙහිදී සිදුවන්නේ වායු ගෝලයට හරිතාගාර වායු නික්මීම අවම කිරීමේ කාබන් ඩයොක්සයිඩ් ඒකක 250,000 ක් ලෝක බැංකුව විසින් මිලට ගැනීමයි (purchase of carbon dioxide equivalent Certified Emission Reduction – CER units). මෙම ගිවිසුමට අනුව මීතේන් වායුව ‘විකිණීමෙන්’ ලැබෙන ආදායමින් 17% ක් බෙකාසි නගරයේ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට ප්‍රජාව විසින්ම මෙහෙයවන යාන්ත්‍රණයක්ද මෙම ගිවිසුම මගින් ස්ථාපිතවී ඇත.
අහිතකර දේශගුණික විපර්යාස අවම කිරිම සඳහා ගනු ලබන මෙවැනි ප්‍රයත්නයන් පහසු කරවීම සිදු කරනු ලබන්නේ කියෝටෝ සම්මුතියට අනුව 2002 දී නෙදර්ලන්ත රජය විසින් පිහිටුවන ලද Clean Development Mechanism (CDM) නමැති ආයතනික යාන්ත්‍රණයයි. මෙම CDM යාන්ත්‍රණය මගින් හරිතාගාර වායු නික්මීම අවම කිරීමට අමතරව පරිසරයට මිත්‍රශීලී විකල්ප බල ශක්ති උත්පාදන ප්‍රයත්න ප්‍රවර්ධනය සඳහාද මුල්‍ය අනුග්‍රහයන් සිදුකරනු ලබයි.
මූලාශ්‍රය: http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:21671538~menuPK:51062075~pagePK:34370~piPK:34424~theSitePK:4607,00.html
සිංහරාජ වනාන්තරය ලෝකයේ ස්වභාවික පුදුම හතට ඇතුලත් කිරීම සඳහා අවස්ථාවක්
You can vote now to include Sinharaja forest among the seven new wonders of nature
(මාර්තු 22, 2008)
විවිධ සන්දර්භයන් පාදක කරගනිමින් ලෝකයේ විශ්මිතම දේවල් සහ ස්ථාන හත බැගින් තෝරා ගැනීමේ ප්‍රයත්නයක් ‘New 7 Wonders’ නමැති ආයතනය විසින් 2007 ජූලි 7 දින ආරම්භ කරන ලදී.
ලෝකයේ ස්වාභාවික පුදුම හත තෝරා ගැනීම සඳහා අන්තර් ජාලය ඔස්සේ ස්ථාන නම් කිරීමටත් එම ස්ථාන තෝරා ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරිමටත් එම ආයතනයේ වෙබ් අඩවිය මගින් මේ දිනවල අවස්ථාව සලසා ඇත. එවරස්ට් කන්ද, ගංගා නදිය, මාලදිවයින් දුපත් ආදී විවිධ ස්ථාන 77 ක් පමණ මේ වනවිට ඒ සඳහා යෝජනාවී ඇති අතර ඒ අතරට ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තරයද ඇතුලත්වේ. මේ සඳහා ඡන්දය භාවිතා කිරිම http://www.new7wonders.com/nature/en/nominees/asia/ යන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැක.
අදවන විට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය අනුව ස්ථාන 77 ක් අතුරින් සිංහරාජ වනාන්තරයට හිමිව ඇත්තේ 51 වන ස්ථානයයි. දැනට ඉදිරියෙන්ම සිටින ස්ථාන 10 න් 8 ක්ම ඇත්තේ ආසියාව තුළය.
2015 ට පෙර ශ්‍රී ලංකාව දරිද්‍රතාවය අවම කිරීමේ සහස්‍ර සංවර්ධන ඉලක්කයට යෑමේ පෙර මග ලකුණු: 2006/07 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණ වාර්තාවෙන් ඉස්මතුවන කරුණු
Signs of Sri Lanka reaching Millennium Development Poverty Reduction Goal before 2015: Findings of the Household Income and Expenditure Survey – HIES 2006/07
(මාර්තු 21,2008)
2006 සහ 2007 වසර අතර කාලය තුළ ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව (www.statistics.gov.lk) විසින් පවත්වන ලද ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණයේ (Household Income and Expenditure Survey - HIES) මූලික වාර්තාව මේවනවිට ප්‍රකාශකර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් 15.2%ක් පමණක් දිළිඳු ගණයට අයත්වන බව පෙනී යයි. 1980/81 වර්ෂයේ සිට සෑම අවුරුදු 5 ක් පාසාම පවත්වනු ලබන මෙම සමීක්ෂණයෙහි පසුගිය වතාවල සහ 2006/07 ප්‍රථිපල දෙස බලනවිට පැහැදිළිව පෙනෙන කරුණක් නම් සමස්ථයක් ලෙස මුළු රටේම දරිද්‍රතාවය වැඩි වශයෙන්ම අඩුවී තිබෙන්නේ පසුගිය වර්ෂ 5 තුළ බවයි.
ප්‍රදේශ |
දිළිඳු ගණයට අයත්වන පුද්ගල අනුපාතය |
|||
1990/91 |
1995/96 |
2002 |
2006/07 |
|
සමස්ථ ශ්‍රී ලංකාව (Sri Lanka) |
26.1 |
28.8 |
22.7 |
15.2 |
|
|
|
|
|
නාගරික ප්‍රදේශ (Urban sector) |
16.3 |
14.0 |
7.9 |
6.7 |
ග්‍රාමීය ප්‍රදේශ (Rural sector) |
29.5 |
30.9 |
24.7 |
15.7 |
වතුකර ප්‍රදේශ (Estate sector) |
20.5 |
38.4 |
30.0 |
32.0 |
මූලාශ්‍රය: ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය 2006/2007, ශ්‍රී ලංකාවේ ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණදෙපාර්තමේන්තුව
1990 වේදී 26.1% වූ සමස්ථ දරිද්‍රතා අනුපාතය 2015 වනවිට අඩක් කරගැනීම නොහොත් 13.0% දක්වා අඩු කරගැනීමේ සහස්‍ර සංවර්ධන ඉලක්කය (millennium development goal) ලඟා කරගැනීම ශ්‍රී ලංකාවට එතරම් අපහසු කාර්යයක් නොවන බව මෙම සමීක්ෂණ වාර්තාවෙන් තහවුරු කෙරේ.
මෙම සමීක්ෂණ ප්‍රථිඵලවලින් ඉස්මතුවන වැදගත්ම කරුණවන්නේ මෙතෙක් කල් දරිද්‍රතාවය අඩුවීමේ වේගය ඉහළින් පවත්වාගෙන ආ නාගරික ප්‍රදේශ අභිබවමින් ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවය විශාල ප්‍රමාණයකින් අඩුවීමයි. මෙය ඉතාමත්ම සතුට දනවන ප්‍රවෘත්තියක්වන අතර රටේ ජනගහණයෙන් 80% පමණ සිටින ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවය විශාල වශයෙන් අඩුවීම මුළු රටේම දරිද්‍රතාවය 15.2% ක් දක්වා අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක.
එහෙත් අප කණගාටුවිය යුතු කරුණවන්නේ රටේ ආර්ථිකයට අතිමහත් දායකත්වයක් සපයන වතුකර ජනතාවගේ (estate sector) දරිද්‍රතාවය නැවතවරක් වැඩිවීමේ ප්‍රවනතාවයක් දැක්වීමයි. මෙම අංශයේ දරිද්‍රතා අනුපාතය 1995/96 වසරවනවිට විශාල වශයෙන් (38.4%) වැඩිවී 2002 වසරවනවිට 30.0% දක්වා අඩුවුනද 2006/07 සමීක්ෂණයට අනුව නැවත 32.0% ක් දක්වා වර්ධනය වී ඇත. මෙයින් අදහස් කරන්නේ වතුකර ජනගහණයෙන් සෑම පුද්ගලයන් තිදෙනෙකුනගෙන්ම එක් අයෙක් දුප්පත් බවය. ශ්‍රී ලංකාව තුළ වතුකර ජනගහණය 5.5% ක් වැනි සුළුතරයක්වුවද මෙවැනි අධික දරිද්‍රතාවයක් තිබීම තුළින් සමාජයීය ගැටළු ඉස්මතුවීමට බොහෝ ඉඩකඩ සැලසේ.
අප අමතක නොකල යුතු අනිත් කරුණ වන්නේ අවුරුදු 5 කට වතාවක් සිදුකරණ මෙම ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය සමීක්ෂණ වාර්තාවලින් ශ්‍රී ලංකාවේ සත්‍ය දරිද්‍රතාවය පිළිබිඹු නොකරන වගයි. එයට හේතුව වන්නේ ගැටුම්වලට භාජනයවී (conflict affected) තිබෙන උතුරු සහ නැගෙනහිර දිස්ත්‍රික්ක මෙම සමීක්ෂණ මගින් ආවරණය නොකිරීමයි. එහෙත් 2006/2007 සමීක්ෂණයේදී නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක ආවරණය කරන්නට ලැබීම තරමක හෝ ශුභදායී ප්‍රවනතාවයක් ලෙස සැලකිය හැක.
දිස්ත්‍රික්ක මට්ටමේ දරිද්‍රතා දත්ත නිරීක්ෂණය කිරිමේදී එක්වරම අවධානයට යොමුවන්නේ ගැටුම් නිසා දශක දෙකකට වැඩිකලක් මෙම සමීක්ෂණය මගින් ආවරණය කිරීමට නොහැකිවූ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක දෙකේ දරිද්‍රතා අනුපාතයන් කෙරෙහිය. මෙම දිස්ත්‍රික්ක දෙකේ දරිද්‍රතාවය කොලඹ සහ ගම්පහ හැරුණු කොට අනිකුත් සියළු දිස්ත්‍රික්කයන්ට වඩා අඩුය. (මඩකලපුව - 10.7% සහ අම්පාර 10.9%). එසේනම් ගැටුම්කාරී වාතාවරණයක් තුළ දරිද්‍රතාවය වැඩිවිය හැකියැයි යන අනුමාන කීරිම එතරම් නිවැරදි නොවන බව මෙම සංඛ්‍යා අපට ඒත්තු කරවයි.
දිස්ත්‍රික්ක |
දිළිඳු ගණයට අයත්වන පුද්ගල අනුපාතය |
|||
1990/91 |
1995/96 |
2002 |
2006/07 |
|
කොළඹ |
16.2 |
12.0 |
6.4 |
5.4 |
ගම්පහ |
14.7 |
14.1 |
10.7 |
8.7 |
කළුතර |
32.3 |
29.5 |
20.0 |
13.0 |
මහනුවර |
35.9 |
36.7 |
24.9 |
17.0 |
මාතලේ |
28.7 |
41.9 |
29.6 |
18.9 |
නුවරඑළිය |
20.1 |
32.1 |
22.6 |
33.8 |
ගාල්ල |
29.7 |
31.6 |
25.8 |
13.7 |
මාතර |
29.2 |
35.0 |
27.5 |
14.7 |
හම්බන්තොට |
32.4 |
31.0 |
32.2 |
12.7 |
මඩකලපුව |
- |
- |
- |
10.7 |
අම්පාර |
- |
- |
- |
10.9 |
කුරුණෑගල |
27.2 |
26.2 |
25.4 |
15.4 |
පුත්තලම |
22.3 |
31.1 |
31.3 |
13.1 |
අනුරාධපුර |
24.4 |
27.0 |
20.4 |
14.9 |
පොළොන්නරුව |
24.9 |
20.1 |
23.7 |
12.7 |
බදුල්ල |
31.0 |
41.0 |
37.3 |
23.7 |
මොණරාගල |
33.7 |
56.2 |
37.2 |
33.2 |
රත්නපුර |
30.8 |
46.4 |
34.4 |
26.6 |
කැගල්ල |
31.2 |
36.3 |
32.5 |
21.1 |
මූලාශ්‍රය: ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය 2006/2007, ශ්‍රී ලංකාවේ ජනලේඛණ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික්ක මට්ටමේ දරිද්‍රතා අනුපාත විමර්ශනය කිරීමේදී පැහැදිළිව පෙනෙන තවත් වැදගත් කරුණක්වන්නේ සමීක්ෂණය මගින් ආවරණයවූ සියළු දිස්ත්‍රික්කවල දරිද්‍රතා අනුපාතය අඩුවෙද්දී අධික වතුකර ජනගහණයකින් යුක්ත නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් දරිද්‍රතා අනුපාතය ඉහළ ගොස් ඇති බවය. මෙම ඉහළ යෑම සාමාන්‍ය වැඩිවීමක් නොව ඉතා අධික (22.6% සිට 33.8% දක්වා) වැඩිවීමකි.
සුනාමි ව්‍යසනයට ගොදුරුවූ (සහ මෙම සමීක්ෂණයට භාජනයවූ) සියළුම දිස්ත්‍රික්කවල දරිද්‍රතා අනුපාතයන්වල ඉතා විශාල අඩුවීමක්ද මෙම සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි. මෙයට හොඳම උදාහරණය වන්නේ 2002 වනවිට 32.2% දක්වා වර්ධනයවී තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතා අනුපාතය 2006/07 වනවිට 12.7% දක්වා සීඝ්‍රයෙන් අඩුවීමය. සුනාමි ව්‍යසනයෙන් පසු අවුරුදු 2 – 3 ක පමණ කාලයක් තුළදී දරිද්‍රතා අනුපාතයේ මෙවැනි විශාල අඩුවීමක් පෙන්නුම් කිරීමද බලාපොරොත්තු නොවන අන්දමේ අසාමාන්‍ය ප්‍රගතියක් ලෙස සැලකිය හැක.
20006/07 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය තුළින් මතුකර ඇති තවත් විමතිය දනවන කරුණක් වන්නේ දරිද්‍රතා අනුපාතය අඩුවීමත් සමග (නොහොත් ආදායම වැඩිවීමත් සමග) සම්මත පෝෂණ ශක්ති ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි ජන අනුපාතය වැඩිවීමයි. පහත වගුවේ දැක්වෙන පරිදි අඩු ආදායම් ලබන සහ අධික දරිද්‍රතා අනුපාතයක් ඇති වතුකරයේ සම්මත පෝෂණ ශක්ති ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි ජන අනුපාතයට වඩා (32.7%) අධික ආදායම් ලබණ සහ අඩු දරිද්‍රතාවයක් ඇති නාගරික ප්‍රදේශවල සම්මත පෝෂණ ශක්ති ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි ජන අනුපාතය දෙගුණයකින් (65.0%) වැඩිය.
ප්‍රදේශ |
2006/07 |
පරිභෝජනය මගින් සම්මත පෝෂණ ශක්ති ප්‍රමාණයවන කිලෝ කැලරි 2030 ලබා ගැනීමට අපොහොසත් ජනගහණ අනුපාතය |
සමස්ථ ශ්‍රී ලංකාව (Sri Lanka) |
15.2 |
50.7 |
|
|
|
නාගරික ප්‍රදේශ (Urban sector) |
6.7 |
65.0 |
ග්‍රාමීය ප්‍රදේශ (Rural sector) |
15.7 |
49.2 |
වතුකර ප්‍රදේශ (Estate sector) |
32.0 |
32.7 |
මූලාශ්‍රය: ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය 2006/2007, ශ්‍රී ලංකාවේ ජනලේඛණ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සීඝ්‍රයෙන් අඩුවීමේ ලකුණු මෙසේ පහළවෙද්දී දරිද්‍රතාවය පාදකකොට ගත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ‘දිළිඳුකම අවම කිරිමේ’ සංවර්ධන ප්‍රයත්නයන් ඉදිරියේදී කුමණ දිසාවක් ගනු ඇත්දැයි පිළිබඳ විමසිලිමත්විය යුතුය.“අනියම් ලෙස පාරිභෝජනයවන ජලය” නමැති සංකල්පය සඳහා ස්ටොක්හෝම් 2008 ජල ත්‍යාගය පිරිනැමේ.
The ‘Virtual Water’ concept wins Stockholm Water Prize for 2008
(මාර්තු 21, 2008)
සෑම වර්ෂයකම මාර්තු 22 වෙනිදාට යෙදෙන ලෝක ජල දිනයට (World Water Day) සමගාමීව ස්විට්සර්ලන්තයේ ස්ටොක්හෝම් ජල ආයතනය (Stockholm Water Institute) මගින් ජලය සංරක්ෂණය සඳහාවූ නව්‍ය ප්‍රයත්නයන් වෙනුවෙන් පිරිනමන ස්ටොක්හෝම් ජල ත්‍යාගය (Stockholm Water prize) 2008 වර්ෂය සඳහා ලැබී ඇත්තේ ලන්ඩනයේ කින්ග්ස් විද්‍යාලයේ මහාචාර්ය ජෝන් ඇන්තනි ඇලන්ස්ටය.
ජල කළමනාකරණය හා සංරක්ෂණය පිළිබඳ සාධක අවබෝධ කරගැනීම සහ සන්නිවේදනය කිරීම සඳහාත් කෘෂිකර්මය, දේශගුණ විපර්යාස, ආර්ථික විද්‍යාව සහ දේශපාලනය වැනි ක්ෂේත්‍රයන් කෙතෙක් දුරට ජල කළමනාකරණය හා සම්බන්ධදැයි පෙන්වීම සඳහාත්වූ නව සංකල්ප හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඔහු විසින් සිදුකර ඇත.
2008 ස්ටොක්හෝම් ත්‍යාගය ලැබීම සඳහා මූලිකවී ඇත්තේ 1993 දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද “අනියම් ජලය” නොහොත් “අනියම් ලෙස පාරිභෝජනයවන ජලය” (virtual water) යන සංකල්පයයි. මෙම සංකල්පයේ පදනම වී ඇත්තේ පානය කිරීම, සේදීම සහ ස්නානය කිරීම වැනි ඍජු භාවිතයන්ට පමණක් ජල පරිභෝජනය සීමා නොවේය යන්නයි. එවැනි ඍජු භාවිතයන්ට අමතරව ආහාර සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය සහ වෙළඳාම වැනි අවස්ථාවලදී භාවිතයවනු ලබන ජලයද පරිභෝජනයේ කොටසක් ලෙස සැලකිල්ලට ගතයුතුය යන්න මේ මගින් අදහස් කෙරේ.
උදාහරණ වශයෙන් පෙන්වා දෙන අයුරු ලන්ඩනයේදී පානය කරනු ලබන එක් කෝපි කෝප්පයක් පානය කිරීමේදී එය සෑදීමට ගන්නා ජලය ප්‍රමාණයට අමතරව කෝපි වගා කිරීමේදී, සැකසීමේදී, ඇසිරීමේදී සහ ලන්ඩනයට නැව් මගින් ප්‍රවාහණය කිරිමේදී භාවිතාවන ජලය ප්‍රමාණයද ගණන් ගත යුතුය. ගණනය කොට ඔප්පුකර ඇති පරිදි ලන්ඩනයේ කෝපි කෝප්පයක් පානය කිරිමට භාවිතාවන මුළු ජලය ප්‍රමාණය ලීටර් 140 කි.
ඉහත උදාහරණයෙන් සහ ‘අනියම් ජල’ සංකල්පයෙන් ගම්‍යවන තවත් කරුණක් වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයේදී සහ ආනයනයේදී වක්‍රාකාරයෙන් නෙහොත් අනියම් ලෙස ජල ආනයනය සහ අපනයනය (export and import of virtual water) සිදුවන බවයි. මැද පෙරදිග වැනි ජලය හිඟ රටවල්වලට ජලය බහුලව භාවිතාවන කෘෂි ද්‍රව්‍ය ගෙන්වීම ‘ජල ආනයනයක්’ ලෙස පෙන්වා දෙන මෙම සංකල්පයට අනුව ලෝකය පුරා වාර්ෂිකව ජලය ලීටර බිලියන ගණනක් අනියම් ලෙසින් ආනයනය සහ අපනයනය කෙරේ. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, ආජන්ටීනාව සහ බ්‍රසීලය වැනි කෘෂි අපනයන රටවල් ‘අනියම් ජල අපනයන’ (virtual water exporters) රටවල් ලෙසින් හා ජපානය, ඉතාලිය සහ ඊජිප්තුව වැනි රටවල් ‘අනියම් ජල ආනයන’ (virtual water importers) රටවල් ලෙසින්ද සැලකිය හැක.
ඇමෙරිකාවේ ඉතා ජනප්‍රිය ආහාරයක්වන හැම්බර්ගර්ස් එකක් සඳහා භාවිතාවන අනියම් ජල ප්‍රමාණය ලීටර් 2400 ක් තරම් අධික වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙහි එක් පුද්ගලයෙකු දිනකට අනියම් ලෙසින් ජලය ලීටර 6800 ක් වැනි විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන බව ගණන් බලා ඇත. මෙය මහජන චීනයේ ඒක පුද්ගල දෛනික අනියම් ජල පරිභෝජනය මෙන් තුන් ගුණයකි.
අනියම් ජල පරිභෝජනය කමැති මෙම සංකල්පය මගින් ඉස්මතුවන මෙවැනි තොරතුරු ගෝලීය වශයෙන් ජල සංරක්ෂණය සඳහාවූ පර්යේෂණ සහ ප්‍රතිපත්ති සැලසුම්කරණයේදී ඉතා වැදගත්වන අතර ජල සංරක්ෂණය හුදෙක් ජලය පමණක් සම්බන්ධ කරුණක් නොව අන්තර්ජාතික වෙළඳාම, ආහාර නිෂ්පාදනය සහ ආහාර සුරක්ෂිතතාවය වැනි පුළුල් සාධකයන්ද ඒ හා බැඳී ඇති බව තේරුම් ගැනීමටද මෙම සංකල්පය වැදගත්වේ.
මූලාශ්‍රය: http://www.asiantribune.com/?q=node/10118වියට්නාම ධීවර කර්මාන්තයේ තිරසාරත්වය උදෙසා බෝට්ටු සංඛ්‍යාව අඩු කිරීමට සැලසුම් කරයි
Vietnam to reduce its commercial fishing fleet to ensure fishing industry’s sustainability
(මාර්තු 11, 2008)
සාගර ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපාන අයුරින් අධික ලෙස මත්ස්‍ය සම්පත් නෙලීම (overfishing) පාලනය කිරිමේ අරමුණින් වෙරළාසන්න මුහුදේ මසුන් අල්ලන බෝට්ටු සංඛ්‍යාව 40% කින් පමණ අඩු කිරීමට වියට්නාම් කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේ 2006 වර්ෂයේදීය. වියට්නාම් වෙරළාසන්න මුහුදේ තිරසාර ලෙස නෙළිය හැකි උපරිම මත්ස්‍ය සම්පත් ප්‍රමාණය (Maximum Sustainable Yield - MSY) වර්ෂයකට ටොන් 800,000 ක් පමණ වුවද මේවනවිට ලබා ගන්නා අස්වැන්න ටොන් 1,100,000 ඉක්මවා යමින් තිබීම මෙම තීරණයට හේතුවිය.
එම තිරණයට අනුව දැනට 86,000 ක් පමණ වන බෝට්ටු සංඛ්‍යාව 2010 වන විට 50,000 පමණ දක්වා අඩු කිරිමට සැලසුම් කර තිබිණ. එහෙත් මෙසේ බෝට්ටු සංඛ්‍යාව අඩු කිරීමෙන් රැකියා අහිමිවන ධීවරයින් සංඛ්‍යාව ඉතා විශාලවන නිසාත් විකල්ප ආදායම් මාර්ග කෙරේ ඔවුන් යොමු කිරීම ඉතා අසීරු කරුණක්වන නිසාත් 2010 දී සැලසුම්කළ ඉලක්කවෙත ලඟාවීමට නොහැකිවේයැයි අපේක්ෂා කෙරේ. මේ සඳහා ඇති විශාලම බාධකය වී ඇත්තේ අඩු අධ්‍යාපනයකින් යුක්තවන ධීවරයින් අළුත් රැකියා කෙරෙහි යොමු කිරීමට අපහසුවීමයි.
මේ සඳහා දැනට යෝජනාවී ඇති උපායමාර්ග වන්නේ:
අ) සැලසුම්කළ බෝට්ටු අඩුකිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ ප්‍රාදේශීය ආයතනවලටම පැවරීම.
ආ) ඒ ඒ ප්‍රදේශවල බෝට්ටු අළුතින් සෑදීම ක්‍රම ක්‍රමයෙන් අඩු කිරිම.
ඇ) මසුන් වගාව (Aquaculture) සඳහා ධීවරයින් උනන්දු කරවීම.
ඈ) ධීවරයින්ට වෙනත් වෘත්තීය පුහුණු ලබා දීම.
ඉ) විදේශ රැකියා සඳහා ධීවරයින් යොමු කිරිම.
වෙරළාසන්න මුහුදේ නෙලිය හැකි මත්ස්‍ය සම්පත් ප්‍රමාණය උපරිම මට්ටමට ලඟාවී ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට වියට්නාමයෙන් ලැබෙන මෙම ප්‍රවෘත්තිය දේශපාලනික වශයෙන් අභියෝගකාරී තීරණ ගැනීමට අනගි පූර්වාදර්ශයක්වනු නොඅනුමානය.
මුලාශ්‍රය: www.thanhniennews.com/business/?catid=2&newsid=35566
කොන්දේසි මත දිළිඳු පවුල්වලට මුදල් ආධාර සැපයීම: දිළිඳුකම අවම කිරීමේ මෙක්සිකෝ ආදර්ශනය අමෙරිකාවේ නිව්යෝක් නගරයටද හඳුන්වා දෙයි
New York City to introduce Mexico’s ‘Conditional Cash Transfer’ model to reduce poverty
(මාර්තු 9, 2008)
සංවර්ධනය පිළිබඳ ආදර්ශ බොහෝවිට ගලා යන්නේ උතුරුකරයේ සංවර්ධනයවූ රටවල්වල සිට දකුණු අර්ධගෝලයේ සංවර්ධනයවෙමින් පවතින රටවල්වලට හා සංවර්ධනය වෙමින් පවතින එකිනෙක රටවල් අතරය. එහෙත් සංවර්ධනයවෙමින් පවතින ලතින් අමෙරිකානු රටක්වන මෙක්සිකෝවේ ක්‍රියාත්මක ඉතාමත් සාර්ථක දිළිඳුකම අවම කිරිමේ වැඩසටහණක් අමෙරිකාවේ නිව්යයෝක් නගරයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහාද හඳුන්වාදීමට ගෙන ඇති උත්සාහය සංවර්ධන විසඳුම් ගලායන දිසාව සහමුලින්ම වෙනස්වූ බවක් පෙන්නුම් කරයි.
ඔපචුනිදාදේස් (Opportunidades) නමැති මෙක්සිකාණු දිළිඳුකම දුරැලීමේ වැඩසටහණේ මුලික ක්‍රමව්දය වන්නේ යම් යම් කොන්දේසි මත අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් ආධාර සැපයීමයි. මුදල් ආධාර ලබාදෙන සම්ප්‍රදායික දිලිඳුකම දුරැලීමේ වැඩසටහණ්වලට වඩා මෙම ක්‍රමය වෙනස්වන්නේ මුදල් ලබා දීමට පෙර අදාළ පවුල විසින් වගකීම් කිහිපයක් ඉටුකළයුතු වීමයි. උදාහරණයක් ලෙස නිව්යෝක් නගරයේ වැඩසටහණට සම්බන්ධ අඩු ආදායම්ලාභී පවුල් විසින් මාසයකට දෙවරක් ලබාදෙන මුදල් ආධාරය ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ නිශ්චිත ඉලක්ක කිහිපයක් සපුරා ගතහොත් පමණි. උදාහරණ:
- එම පවුලේ දරුවන් නොකඩවා පාසැල් යෑම සහ අධ්‍යපාන වාර්තාවල උසස් ප්‍රගතියක් වැඩි ලකුණු ලබා ගැනීම මගින් දැක්වීම.
- පවුලේ පාසැල් ශිෂ්‍යයින් පුස්ථකාල සාමාජික්ත්වයක් ලබා තිබීම
- ගුරුවර-දෙමාපිය රැස්වීම්වලට පවුලේ වැඩිහිටියන් සහභාගිවීම
- පවුලේ සාමාජිකයින් සෞඛ්‍ය සේවාවලට වාර්ථා කිරීමෙන් නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකර ගැනීම.
- පවුලේ වැඩිහිටි සාමාජිකයින් ස්ථිර රැකියාවක යෙදීම හෝ රැකියාක් අතරතුර යම් රැකියා පුහුණුවක් ලැබිම.
- බැංකු ගිණුමක් අරඹා තිබීම.
සාම්ප්‍රදායික මුදල් හෝ ආහාර සහණාධාර සැපයීම වෙනුවට මෙවැනි කොන්දේසි මත මුදල් ආධාර සැපයීම (Conditional Cash Transfer – CCT) මගින් ස්වෝත්සහයෙන්ම දිළිඳුකමින් මිදීමට දිළිඳු පවුල් වඩා ධෛර්යමත්වන බව මේ සම්බන්ධව කරණලද ඇගයීම් වලින් පෙනී ගොස් ඇත.
මෙක්සිකෝවේ ජනගහණයෙන් 25% ක් පමණවන පවුල් මිලියන 25 ක් පමණ මෙම වැඩ සටහණ මගින් වාර්ෂිකව ඩොලර් බිලියන 2.5 ක් ලබා ගනිමින් ප්‍රතිලාභ ලබති. තවත් ලතින් අමෙරිකානු රටක්වන බ්‍රසීලයේ දිළිඳු පවුල් මිලියන 46 ක පමණද මෙවන් වැඩසටහණකින් ප්‍රතිලාභ ලබමින් සිටිති.
මේ වැඩසටහණේ ප්‍රගතිය පිළිබඳව උන්නදුවක් දැක්වූ ලෝක බැංකුව විසින් කරණලද විශේෂ අධ්‍යයනයකට අනුව මෙක්සිකොවේ ‘ඔපචුනිදාදේස් ‘ වැඩසටහණේ ප්‍රතිලාභි පවුල්වලින් 4.9%ක් පළමු වර්ෂය අවසානයේදීම දිළිඳුකමින් මිදුණ බවත් දෙවන වර්ෂය අවසානයේ දිළිඳුකමින් මිදුණ පවුල් සංඛ්‍යාව 18% ක් පමණ ඉහළ ගොස් ඇති බවත් පෙනීයයි. මේ සාර්ථකත්වය නිසාම අමෙරිකාවේ නිව්යෝක් නගරයට මෙම වැඩ සටහණ හඳුන්වා දිමට ලෝක බැංකුවේ විශාල උත්සාහයක් ගෙන ඇති අතර එම වැඩ සටහණට මුල්‍යාධාර සපයන්නේ අමෙරිකාවේ රොකෆෙලර් පදනමයි (Rockefeller Foundation).
ලෝක බැංකු අනුග්‍රහයෙන් මෙවන් වැඩ සටහන් කිහිපයක් ආසියානු හා අප්‍රිකානු රටවල් කිහිපයක් තුළ දැනටමත් ආරම්භ කර ඇති අතර කෙටි කාලයකින් දිලිඳුකම තුරන් කිරිමට එම වැඩසටහන් විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:21642718~pagePK:64257043~piPK:437376~theSitePK:4607,00.html‘ප්‍රාග්ධන වෙළඳපල හඹා යන කුඩා මූල්‍යකරණය’ : දකුණු ආසියාවේ කුඩා මූල්‍යකරණ ආයෝජන ප්‍රවර්ධනය සඳහාවූ සම්මන්ත්‍රණය
‘Microfinance cracking the capital markets’: The conference for Microfinance Investment in South Asia
(මාර්තු 03, 2008)
දිලිඳුකම පිටු දැකීමේ අරමුණ පෙරදැරිකරගත් හා මෙතෙක් කල් දායක ආයතන මත යැපුණු කුඩා මුල්‍යකරණ ආයතන (microfinance institutions) ක්‍රම ක්‍රමයෙන් ලාභාංශ පෙරදැරිකරගත් ප්‍රාග්ධන වෙළඳපල (capital markets) හඹා යෑමේ ප්‍රවනතාවය පිලිබඳ කලක සිට ඉඟිපළවෙමින් පවතී. මුලින්ම ලතිනු අමෙරිකානු කලාපය තුළ දක්නට ලැබුනු මෙම ප්‍රවනතාවය මෑතකාලයේදී ඉන්දියානු කුඩා මුල්‍යකරණ ආයතන සමහරක් තුළද දක්නට ලැබිණ. 2008 අප්‍රියෙල් 29, 30 ෙදදින තුළ ඉන්දියාවේ දිල්ලි නුවර පැවැත්වීමට සැලසුම්කර ඇති සම්මන්ත්‍රණය හා එම සම්මන්ත්‍රණයට යොදාගෙන ඇති ‘ප්‍රාග්ධන වෙළඳපල හඹා යන කුඩා මූල්‍යකරණය’ (Microfinance cracking the capital markets) නමැති ශීර්ෂ පාඨය මෙම ප්‍රවනතායේ උචිචතම අවස්ථාවක් පිළිබිඹු කරයි.
එවැනි අවස්ථාවක ලතින් අමෙරිකානු කලාපය තුළ කුඩා මුල්‍යකරණ ක්ෂේත්‍රය පෞද්ගලික වාණිජ ප්‍රාග්ධනය කෙරෙහි යොමුවීම දැඩිව අනුමත කරණ සහ කුඩා මූල්‍ය ප්‍රවර්ධනයේ පුරෝගාමී ආයතනයක්වන ඇක්සියොන් අන්තර්ජාතිකය (Accion International) හා සුප්‍රසිද්ධ අන්තර්ජාතික වාණිජ බැංකුවක් වන ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව (Standard Chartered Bank) මෙම සම්මන්ත්‍රණයේ සත්කාරක (hosts) ආයතනවීමද පුදුමයක් නොවේ.
වාණිජ ලාභ අපේක්ෂාවෙන් ආයෝජන අවස්ථා හඹා යන ව්‍යාපාරිකයින් පිරිසක් හා දිළිඳුකම පිටුදැකීමට අවශ්‍ය ප්‍රාග්ධනය සොයා වෙර දරණ පිරිසක් අතර සිදුවන හමුවක් ලෙස මෙම සම්මන්ත්‍රණය සැලකිය හැක.
දකුණු ආසියාවේ ක්‍රියාත්මකවන ප්‍රධාන කුඩා මූල්‍යකරණ ආයතන, අන්තර් ජාතික හා දකුණු ආසියානු කලාපීය සංවර්ධන බැංකු, කුඩා මුල්‍යකරණ සහ මූල්‍ය වෙළඳපල විශේෂඥයින්(microfinance and financial market specialists), ආයෝජන අරමුදල් (investment funds), බැංකු තක්සේරු ආයතන (rating agencies), පෞද්ගලික ආයෝජකයින් (private investors) ආදී විවිධ ආයතන සහ පුද්ගලයින්ගේ සහභාගිත්වය අපේක්ෂා කරන මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වන්නේ ආයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරණ කුඩා මූල්‍යකරණ ආයතන සහ එවැනි ආයතනවල ආයෝජනය කිරිමට අපේක්ෂා කරන ආයෝජකයින් අතර අන්නෝන්‍ය විශ්වාසය ගොඩනැගීම මගින් එවන් ආයෝජන ප්‍රවර්ධනය කිරිමයි. තම ආයතන කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය තොරතුරු සමග මනා ලැහැස්තියකින් කුඩා මූල්‍යකරණ ආයතන මෙම සම්මන්ත්‍රණයට සහාභාගිවේයැයි අපේක්ෂා කරන අතර, කුඩා මුල්‍යකරණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වයන්, අභියෝග සහ ප්‍රවනතා පිලිබඳව දැනගැනීමට ආයෝජකයින් උනන්දුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කුඩා මූල්‍යකරණ ක්ෂේත්‍රයේ ආයෝජනයන්ට බලපාන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ නෛතික රාමු කෙරෙහි ආයෝජකයින් මෙහිදී වඩා උනන්දුවක් දක්වනවා නිසැකවන අතර, මෙවන් මොහොතක සංවර්ධනයට කැපවූ දායක ආයතන (donors) සහ සංවර්ධන බැංකු (development Banks) කුමන ස්ථාවරයක් ගන්නේද යන්න දැනගැනීමදවැදගත්වේ. දිනකට ඩොලර් 1 කට අඩු ආදායමක් ලබන දුප්පතුන් මිලියන 500 ක් පමණ සිටින දකුණු ආසියාවේ දිළිඳුකම පිටු දැකීම සඳහා කුඩා මුල්‍යකරණය ගමන් කළ යූත්තේ කුමන දිසාවකටද යන්න තීරණයවීම මෙවන් සම්මන්ත්‍රණයන් මගින් සිදුවේනම්, එවන් පසුබිමක් තුළ රජයන්ගේ සහ දායක ආයතනවල කාර්යභාරයද අවිනිශ්චිත තත්වයක පවතී.
මූලාශ්‍රය: www.accion.org/NETCOMMUNITY/page.aspx?pid=1019&srcid=1908&srctid=1&erid=81037ඇමෙරිකාවේ දිළිඳු පවුල්වලට මූල්‍ය පහසුකම් සැපයීමට ග්‍රාමීන් බැංකුවේ ශාඛාවක් නිවියෝක් නගරයේ පිහිටුවයි.
Grameen Bank of Bangladesh takes microfinance to New York
(මාර්තු 02, 2008)
ඇමෙරිකාවේ දිළිඳුකම පිටු දැකීමේ අරමුණින් කුඩා මූල්‍යකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ බංග්ලාදේශ ග්‍රාමීන් බැංකුවේ ශාඛාවක් මේවනවිට නිව්යයෝක් නගරයේ කුඩා කාමර දෙකක් සහිත ගොඩනැගිල්ලක පිහිටුවා ඇත. ග්‍රාමීන් බැංකුවේ ශාඛාවක් සංවර්ධනයවූ රටක පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙයවන අතර, එම බැංකුවේ ආරම්භකයා වන ආචාර්ය මොහොමඩ් යූනුස්ට අනුව මෙය අත්දැකීම් ලබා ගැනීමේ නියමු ප්‍රයත්නයක් බව සඳහන් කරයි. මෙවැනි කටයුත්තක් සඳහා අභියෝගාත්මකම රට ඇමෙරිකාව වන අතර ප්‍රථිපල පෙන්වීම තුළින් එම අභියෝගය ජයගැනීමට හැකිවුවහොත් ඕනෑම රටක මෙම ආදර්ශනය පහසුවෙන්ම ක්‍රියාත්මක කළහැකි බවද ප්‍රකාශ කරයි.
කුඩා මූල්‍යකරණය ඇමෙරිකාවට අළුත් අත්දැකීමක් නොවන අතර දැනටමත් ආයතන 200 ක් පමණ දිළිඳු පවුල් සඳහා ණය පහසුකම් ලබාදීමේ නිරතව සිටී. එහෙත් විධිමත් බැංකු ක්‍රමයකට සම්බන්ධ නොවුණු මිලියන 28 ක පමණ විශාල ජනගහණයක් තවමත් ඇමෙරිකාව තුළ සිටී. එසේවුවත් එම පවුල්වල මුළු වාර්ෂික ආදායම ඩොලර් බිලියන 510 ක් පමණ විශාල ප්‍රමාණයකි. මෙම දිළිඳු පවුල් චෙක්පත් මාරුකිරීම සහ ණය ලබාගැනීම වැනි බැංකුසේවා ලබා ගන්නේ කොමිස් මුදලට චෙක් මාරු කරන්නන්, උකස් කරුවන් සහ පොලීකරුවන් මගින්ය. මෙවැනි පසුබිමක් ග්‍රාමීන් බැංකු ක්‍රමය හඳුන්වාදීමට ඉතාමත් උචිත වන බව ආචාර්ය යූනුස් ප්‍රකාශ කරයි. මෙම නිවියෝක් ශාඛාව මගින් මුල් මාසය තුළදී පමණක් දිළිඳු කාන්තාවන් 35 කට ඩොලර් 50000 ක පමණ මුදක් ණය වශයෙන් නිකුත් කර ඇති අතර මෙම කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකු බංග්ලා දේශ, ඩොමිනිකන්, හයිටි සහ කොළොම්බියානු වැනි දිළිඳු රටවල සම්භවයක් ඇත්තවුන්වීමද විශේෂත්වයකි.
ඇමෙරිකානු දානපතියන් කිහිපදෙනෙකුගෙන් ලබාගත් ඩොලර් 600,000 ප්‍රදානයකින් නිව්යෝක්වල ආරම්භකර ඇති ග්‍රාමීන් කුඩා මුල්‍යකරණ වැඩසටහණ අවුරුදු පහක් තුළදී ස්වයං තිරසාරත්වයක්ට ගෙන ඒමට සැලසුම්කර ඇත.
මූලාශ්‍රය: http://www.ft.com/cms/s/0/f39adbe2-dc02-11dc-bc82-0000779fd2ac.html
2007 සංවර්ධන පුවත්




