පොහොසත් රටවල් පොරොන්දුවූ සංවර්ධන ආධාර ලබාදීම මගහරී
Rich countries back out aid pledges
(2010 පෙබරවාරි 27)
ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය සඳහාවූ සංවිධානය නොහොත් Organization for Economic Cooperation and Development – OECD විසින් දැනට සති දෙකකට පමණ පෙර නිකුත් කරන ලද නිවේදනයකට අනුව ඉතාලිය, ජර්මනිය හා ජපානය වැනි සංවර්ධිත රටවල් කිහිපයක් දිළිඳු රටවල් සඳහා පොරොන්දුවූ ආධාර ප්‍රමාණය ලබා නොදීමේ තත්වයක් උද්ගතව ඇත. 2005 දි පැවති G8 ලෝක බලවතුන්ගේ රැස්වීමේදී දිළිඳු හා සංවර්ධනයවන රටවල්වලට 2015 දී ලඟාකර ගතයුතු සහස්‍ර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වාර්ෂික සංවර්ධන ආධාර (development aid) වශයෙන් සංවර්ධිත රටවල් අඩුම වශයෙන් තම රටවල්වල දළ දාතික ආදායමෙන් 0.7% ක්වත් වෙන් කළ යුතුයැයි එකඟවිය. ඒ අනුව 2010 වනවිට යුරෝපා හවුලේ රටවල් ඩොලර් බිලියන 81 ක්ද අනෙකුත් පොහොසත් රටවල් (ඕස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය) ඩොලර් බිලියන 47 ක්ද වාර්ෂිකව ආධාර වශයෙන් ලබාදීමට පොරොන්දුවිය. එසේ ගිවිසගත් ආධාර ප්‍රමාණයවුවද එම රටවල දළ ජාතික ආදායමෙන් 0.51% ක් පමණය.
එහෙත් මේ වනවිට ලැබෙන තොරතුරු අනුව 2010 දී යුරෝපා හවුලෙන් දිළිඳු හා සංවර්ධනයවන රටවලට ලැබෙන ආධාර ප්‍රමාණය ඩො. බිලියන 62 ක් දක්වාද අනෙකුත් පොහොසත් රටවලින් ලැබෙන ආධාර ප්‍රමාණය ඩො. බිලියන 45 ක් දක්වාද අඩුවන බවක් පෙනේ. මේ නිසා 2010 දී ඩොලර් බිලියන 21 ක සංවර්ධන ආධාර හිඟයක් ඇතිවෙතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි විශාල ආධාර හිඟයක් ඇතිවීම දැනටමත් විශාල වශයෙන් ආහාර අර්බුදය හා දරිද්‍රතාවය පැතිර පවත්නා අප්‍රිකානු කලාපයේ රටවල්වලට දැඩිව බලපා හැකි බව OECD නිවේදනයේ සඳහන්වේ.
| 2010 දී ලබාදීමට එකඟවී ඇති ආධාර ප්‍රමාණය (ඩො. බිලියන) | 2010 දී ලබාදිමට සූදානම් ආධාර ප්‍රමාණය (ඩො. බිලියන) | 2010 දී ඇතිවන ආධාර හිඟය (ඩො. බිලියන) | |
| යුරෝපා හවුලේ රටවල්වලින් | 81 |
62 |
19 |
| අනෙකුත් පොහොසත් රටවල්වලින් | 47 |
45 |
2 |
128 |
107 |
21 |
ආධාර දෙන පොහොසත් රටවල් ගිවිසගත් ආධාර ප්‍රමාණය කපාහැරීමට මුලික හේතුව ගෝලීය මූල්‍ය අර්බුදයැයි සිතීමට ඉඩතිබුණද මූල්‍ය අර්බුදය නිසා වැළකී ඇති ආධාර ප්‍රමාණය ඩො. බිලියන 4 ක් පමණ යැයි වාර්තාවන අතර ඉතිරි ඩො. බිලියන 17 ම කපා හැරෙන්නේ දේශපාලනික තීන්දු මතවීම කණගාටුදායකය.
මූල්‍ය අර්බුද හමුවේවුද බෙල්ජියම, නොර්වේ, ස්විඩනය හා ඩෙන්මාර්කය යන ස්කැන්ඩිනේවියානු හා ලක්සම්බර්ග් (Luxemburg) යන රටවල් පොරොන්දුවූ ආධාර ප්‍රමාණය නොඅඩුවම ලබාදීමට කැපවී ඇති බවද වාර්තාවේ.
මූලාශ්‍රය:
http://www.reuters.com/article/idUSLDE61G1F1201002172009 සඳහා ලෝකයේ හොඳම කුඩාමූල්‍යකරණ ආයතන 100 ශ්‍රේණිගත කිරිමේදී ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව දෙවන ස්ථානයට
Sri Lanka’s SANASA Development Bank is ranked second among the world’s best 100 microfinance institutions
(2010 පෙබරවාරි 24)
කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය (microfinance sector) සම්බන්ධයෙන් පුරෝගාමීම ආයතනයවන Microfinance Information Exchange නොහොත් MIX ආයතනය මගින් 2009 වර්ෂය සඳහා සංවර්ධනයවන රටවල්වල ක්‍රියාත්මකවන විශිෂ්ඨතම කුඩාමුල්‍යකරණ ආයතන 100 තෝරාගෙන ශ්‍රේණිගත කිරීමේ වාර්තාව දැනට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලදී. MIX Global 100 යනුවෙන් හැඳින්වෙන මෙම ශ්‍රේණිගත කිරීම මෙවර සඳහා සිදුකර ඇත්තේ තෙවන වතාවටය.
මෙම (2009) ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ විශිෂ්ඨම කුඩාමුල්‍යකරණ ආයතන අතුරින් දෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව සමත්වී ඇති අතර පසුගිය වර්ෂයේ (2008) ශ්‍රේණිගත කිරීමට අනුව 4 වන ස්ථානයේ පසුවූ සණස සංවර්ධන බැංකුව මෙවර තවත් ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකාවේ කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රයට සතුටුදායක ප්‍රවෘත්තියකි.
මෙවර (2009) ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයට පැමිණ ඇති කුඩාමුල්‍යකරණ ආයතන 10 වන්නේ:
කුඩාමූල්‍ය ආයතනය |
රට |
|
| 1. MBK Ventura | ඉන්දුනීසියාව | |
| 2. සණස සංවර්ධන බැංකුව | ශ්‍රී ලංකාව | |
| 3. Shakthi | බංග්ලාදේශය | |
| 4. GFSPL | ඉන්දියාව | |
| 5. CARD Bank | පිලිපීනය | |
| 6. BURO | බංග්ලාදේශය | |
| 7. SKS | ඉන්දියාව | |
| 8. Spandana Bank | ඉන්දියාව | |
| 9. Grameen Bank | බංග්ලාදේශය | |
| 10. Lead Foundation | ඊජිප්තුව |
මෙම ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථාන 10 අතුරින් 7 ක්ද(70%), පළමු ස්ථාන 25 අතුරින් 14 ක්ද (56%ක්) හා පළමු ස්ථාන 100 අතුරින් 28 ක්ද (28%) ලබාගනිමින් දකුණු ආසියාණු රටවල්වල කුඩාමුල්‍යකරණ ආයතන පෙරමුණේ සිටි. මෙම දකුණු ආසියානු රටවල් අතරින්ද පෙරමුණේ සිටින්නේ ඉන්දියාව වන අතර පළමු ස්ථාන 100 අතර ඉන්දියානු කුඩාමුල්‍යකරණ ආයතන 20 ක් (20% ක්ම) තිබීම මගින් ඉන්දියාව කුඩාමූල්‍යකරණ ක්ෂේත්‍රය තුල ලබා ඇති ප්‍රගතිය පෙන්නුම් කරයි.
2009 MIX ශ්‍රේණිගත කිරීමේ සමීක්ෂණය සඳහා කුඩාමූල්‍යආයතන 955 ක් තෝරාගෙන ඇති අතර ඒ සඳහා තිබිය යුතු මූලික සුදුසුකම වී ඇත්තේ 2008 මූල්‍ය වර්ෂයේදී එම ආයතනවල සියළු මෙහෙයුම් වියදම්වලින් (all operational costs) 90% ක් එම ආයතනවල මූල්‍ය ආදායම (financial revenue) මගින් ආවරණය කිරීමට හැකීවීමයි.
එසේ තෝරාගැනීමෙන් පසු ප්‍රධාන නිර්ණායක 3 ක් (ranking criteria) පාදකකරගත් දර්ශක කිහිපයක් සඳහා ලකුණුදීමක් මගින් (scoring) මෙම MIX ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. එම නිර්ණායක හා දර්ශක වන්නේ:
නිර්ණායක |
දර්ශක |
1. ණයලාභී ආවරණය (Borrower Outreach) |
1.1. ණයලාභී සංඛ්‍යාව (Number of borrowers) |
| 1.2. ණයලාභීන් සංඛ්‍යාව අදාල ප්‍රදේශය ණය ලබාදීමේ විභවතාවය ඇති ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස (number of borrowers as a percentage of potential market relevant area) | |
| 1.3. ණයලාභීන් සංඛ්‍යාවේ වාර්ෂික වර්ධන වේගය (Annual growth rate of borrowers number) | |
| 1.4. ඉතිරිකිරීම් (තැන්පතු) ප්‍රමාණය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (deposits as a percentage of borrowings) | |
| 1.5. තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව ණයලාභීන්ගේ ප්‍රතිශතයක් ලෙස (depositors as a percentage of borrowers) | |
| 2. කාර්යක්ෂමතාවය (Efficiency) |
2.1. ණයලාභියෙකු ආවරණය කිරීමට වැයවන මුදල අදාළ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස (cost per borrower as a percentage of Gross National Income of the relevant country) |
| 2.2. ලාභය ණය කළඹේ ප්‍රතිශතයක් ලෙස (profit as a percentage of the average loan portfolio) | |
| 2.3. දින 30 ක් ඉක්මවූ නොපියවීමේ අවදානමට ලක්ව ඇති ණයකළඹේ ප්‍රතිශතය (loan portfolio at risk over 30 days) | |
| 2.4. කපාහරින ලද ණය අනුපාතය (loan write off ratio) | |
| 3. විනිවිදභාවය (Transparency) | 3.1. MIX තොරතුරු කේන්‍ද්‍රයට තොරතුරු ලබා දී ඇති වර්ෂ ප්‍රමාණය (Number of years of providing information to MIX) |
| 3.2. MIX තොරතුරු කේන්‍ද්‍රයට විගණනයකරන ලද මූල්‍ය වාර්තා සැපයීම (presenting audited financial reports to MIX) |
MIX ආයතනය මගින් මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පසුගිය වර්ෂ දෙකේදි (2007 හා 2008) ණයලාභී ආවරනය යටතේ යොදාගත් දර්ශකයක් ලෙස අදාළ කුඩාමූල්‍යකරණ ආයතනය ණය ලබා දුන් ණයලාභීන් සංඛ්‍යාව එම ප්‍රදේශයේ සිටින දිළිඳු ජනගහණයේ ප්‍රතිශතය උපයෝගී කරගෙන තිබුණි. එහෙත් 2009 ශ්‍රේණිගත කිරීමේ වාර්තාවෙහි මෙම දර්ශකය හඳුන්වා ඇත්තේ ණයලාභීන් සංඛ්‍යාව අදාළ ප්‍රදේශය ණය ලබාදීමේ විභවතාවය ඇති ජනගහණයේ ප්‍රතිශතයක් ලෙසින්ය. මෙයින් හැඟෙන්නේ කුඩාමූල්‍යකරණ ආයතන ණය ලබාදීම සඳහා දිළිඳු ප්‍රජාව පමණක් ඉලක්ක කරගත යුතුය යන ස්ථාවරයෙන් MIX ආයතනය බැහැරවී ඇති බවයි. මෙය එතරම්ම පුදුමවිය යුතු කරුණක් නොවන්නේ ලෝකයේ සමස්ථ කුඩාමූල්‍යකරණ පද්ධතියම ලාභ ඉපයීමේ අරමුණ මූලික කර ගනිමින් දිළිඳුකම දුරැලීම දෙවන අරමුණ බවට පත්කරගෙන තිබීමයි.
මූලාශ්‍රය:
http://www.oecd.org/document/..html
තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යෑම නිසා 2011 දී ගෝලීය ව්‍යසනයක් ඉස්මතුවිය හැක
The Global economy could be in crisis in 2011 due to escalation of oil price above US$ 100 per barrel
(2010 පෙබරවාරි 24)
කැනේඩියානු ආර්ථික විශේෂඥයකුවන ජෙෆ් රුබින්ට (Jeff Rubin) අනුව දැනට ඩොලර් 75 ක් පමණවන බොර තෙල් බැරලයක (ලීටර 159 ක්) මිල ඉදිරි මාස 12 දී ඩොලර් 100 සීමාව ඉක්මවනු ඇත. ඔහුගේ මෙම අනාවැකිය නිවැරදිවනු ඇතැයි සිතීමට ඇති සාක්ෂියවනුයේ වර්ෂ 2005 වනවිට බොර තෙල් බැරලයක මිල ඩොලර් 50 සීමාව ඉක්මවනු ඇතැයි වර්ෂ 2000 දී ඔහු කල අනාවැකිය 2004 වනවිටම සත්‍යවූ නිසාය. ජෙෆ් රුබින්ට අනුව තව වර්ෂයකින් ඩොලර් 100 ඉක්මවන තෙල් බැරලයක මිල ඉන් නොනැවතී 2012 වනවිට ඩොලර් 225 පමණ ඉහළ යනු ඇත. ඔහුගේ මෙම අනාවැකිය සත්‍යවුව හොත් එය ගෝලීයකරණවූ ආර්ථිකයේ අවසානයවනු ඇත (end of the globalized economy).
ඉන්ධන තෙල් මිල ඉහළයෑමට ප්‍රධාන හේතුව වන්නේ සම්මත නිධිවලින් (conventional deposits) දැනට සැපයෙන ඉන්ධන ප්‍රමාණය වර්තමාන ගෝලීය ආර්ථිකය ක්‍රියාත්මකවන ආකාරයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සපුරාලීමට අපොහොසත්වන නිසාය. දැනට ලෝකයේ සියළුම සම්මත නිධිවලින් දිනකට බොර තෙල් බැරල් මිලියන 75 ක් පමණ සැපයෙන අතර දිනකට සියළුම රටවල් භාවිතා කරන බොර තෙල් බැරල් ප්‍රමාණය මිලියන 85 ක් පමණවේ. මෙයින් පෙනී යන්නේ සමහර රටවල්වල ඇති ස්වාරක්ෂක තොග (buffer stocks) වැඩිපුර අවශ්‍ය ප්‍රමාණය පිරිමැසීමට යොදා ගන්නා බවයි. මෙම ගැටළුවට පිළියම් වශයෙන් සම්මත නොවන (non-conventional) ස්වාභාවික නිධිවලින් තෙල් කැනීමට සමහර රටවල් පෙළඹි ඇත. එහෙත් නිධිවලින් තෙල් ලබාගැනීම ඉතාම දුෂ්කර හා වියදම් අධික ක්‍රියාවකි.
ගෝලියකරණයවූ ආර්ථිකය වර්තමානයේ හැසිරෙන ආකාරයට හා ගෝලීය ජනගහණය වැඩිවිමේ ප්‍රවනතාවය අනුව දැනට බැරල් මිලියන 85 ක් පමණවන දෛනික ගෝලීය ඉන්ධන භාවිතය වර්ෂ 2030 වනවිට බැරල් මිලියන 118 පමණ දක්වා වැඩිවිය හැකියැයි ගණන් බලා ඇත. මෙසේ ඉන්ධන භාවිතය වැඩිවිම ඇමෙරිකාව වැනි සංවර්ධිත රටවල්තුල සිදුවන නමුදු ඉන්ධන භාවිතය වැඩිවීමේ වේගය අතින් ඉදිරියෙන් සිටින්නේ අධික වේගයෙන් ආර්ථික වර්ධනය සිදුවන චීනය හා ඉන්දියාව වැනි රටවල්ය. උදාහරණ ලෙස ගතහොත් 1995 – 2005 දක්වා කාලයතුල ඇමෙරිකාවේ දෛනික ඉන්ධන භාවිතය බැරල් මිලියන 18 සිට 21 දක්වා - 37% කින් වැඩිවූ අතර එම කාලය තුලම චීනයේ දෛනික ඉන්ධන භාවිතය බැරල් මිලියන 3.5 සිට 7.0 දක්වා - 100% කින් වැඩිවිය.
ආර්ථික විශේෂඥ ජෙෆ් රුබින්ට අනුව ඉන්ධන මිල මෙසේ සීමාරහිතව වැඩිවිය නොහැකි අතර එක් අවස්ථාවකදී ගෝලිය ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්වනු ඇත. මීට උදාහරණයක් දක්වන ඔහු පවසන්නේ 2008-2009 ඉස්මතුවූ ගෝලීය ආර්ථික අර්බුදයට හේතුව ලෙස බොහෝ විද්වතුන් දැක්වූයේ ඇමෙරිකාවේ සිදුවූ උපමූලික උකස් වෙළඳපල කඩාවැටීම (subprime mortgage crisis) වුවද ඊටත් වඩා ඒ සඳහා බලපෑවේ 2008 දී බොර තෙල් බැරලයක මිල ඩොලර් 95 ක් දක්වා ඉහළ යෑමයි. එසේ නම් ඔහු අනුමාන කරන පරිදි ඉදිරි වර්ෂ දෙක තුල බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 – 200 පමණ දක්වා ඉහළ ගියහොත් ඉස්මතුවිය හැකි ආර්ථික අර්බුදය ගෝලීය ව්‍යසනයක් බවට පත්විමටද ඉඩකඩ තිබේ. මෙම අනාවැකියෙහි භයානක බව ඇත්තේ එය අවුරුදු 10 කින් හෝ 50 කින් සිදුවන දෙයක් නොව ඉදිරි වර්ෂ දෙක තුලදී පමණ සිදුවීමට ඉඩකඩ තිබෙන නිසාය.
එවන් ව්‍යසනයක ප්‍රථිඵලය විය හැක්කේ ගෝලීයකරණයෙන් ඉවත්වූ, කුඩා වාහන හා පාපැදි භාවිතා කරන, දේශීය නිෂ්පාදනයන් (විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදන) මත බෙහෙවින්ම යැපෙන, සරල දිවි පෙවතකට හුරු ප්‍රජාවන් බිහිවීමය.
මූලාශ්‍ර:
http://www.heatingoil.com/blog/economist-jeff-rubin-talks-225-oil-2012-global-economy201/
http://www.opec.org/Home/basket.aspx
අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට රුකුලක්වනු ඇත
Expansion of broadband internet facilities is essential for Sri Lanka’s economic growth
(2010 පෙබරවාරි 23)
සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රගතිය හා මෙහෙවර සම්බන්ධයෙන් වාර්ෂිකව ලෝක බැංකුව මගින් නිකුත් කරන වාර්තාව 2009 සඳහා පසුගිය දෙසැම්බර් මස එළිදක්වන ලදී. Information and Communications for Development 2009: Extending Reach and Increasing Impact, නමැති මෙම අධ්‍යයන වාර්තාවට අනුව පසුගිය දශකය තුල සිඝ්‍රයෙන්ම වර්ධනයවූ තොරතුරු තාක්ෂණ ක්‍රමය වන්නේ ජංගම දුර කථනයවන අතර බොහෝ රටවල්වල ආර්ථික වර්ධනය සඳහා එය බෙහෙවින් පිටිවහල්වී ඇත. 2002 වර්ෂය වනවිට ලෝකයේ භාවිතාවන සාමාන්‍ය දුරකථන සංඛ්‍යාව (fixed line phones) ඉක්මවීමට ජංගම දුරකථනවලට හැකිවූ අතර, බිලියන 6 ක් පමණවූ ලෝක ජනගහණය තුල 2008 වනවිට ජංගම දුරකථන බිලියන 4 ක් භාවිතා වෙමින් තිබේ. Economist සඟරාවට අනුව ජංගම දුරකථන තාක්ෂණය තරම් වේගයෙන් ප්‍රචලිතවූ වෙනත් තාක්ෂණයක් නොමැත.
දැනුම පදනම්වූ ආර්ථිකයන් (knowledge based economies) සඳහා යොමුවීමේ ප්‍රවනතාවය බොහෝ රටවල්තුල ඉස්මතුවෙමින් තිබෙන අවධියක ඒ සඳහා තොරතුරු තාක්ෂණයෙන් (Information Communication Technology – ICT) ලැබෙන්නේ අනඟි දායකත්වයකි. අදහස්, සේවාවන් හා තාක්ෂණයන් ලඟාකර ගැනීමට හා බෙදා ගැනීමට (to access and share ideas, services and technologies) දායකවන තොරතුරු තාක්ෂණය අන් කවර කාලයකටත් වඩා සීඝ්‍රයෙන් ගෝලීය ආර්ථිකය ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීමට සමත්ව ඇත. එසේ ගෝලියකරණයවූ ව්‍යාපාරික ලෝකයතුල තරඟකාරිත්වයෙන් ජයගැනීම සඳහාද ඉතා වැදගත් මෙවලමක්වන තොරතුරු තාක්ෂණය නවසොයා ගැනීම් (innovations) සඳහාද විශාල වශයෙන් ඉවහල්වේ.
තොරතුරු සන්නිවේදනය සඳහා භාවිතාවන තාක්ෂණය ක්‍රම 4 වන්නේ - සාමාන්‍ය දුරකථන (fixed telephones), ජංගම දුරකථන (mobile phones), ඇමතුම් පාදක අන්තර්ජාල පිවීසිම (dial up internet) හා අධිවේගී පුළුල් කලාපිය අන්තර්ජාල පිවිසිමයි (high speed broadband internet). මෙම ක්‍රම හතර අතුරින් ව්‍යාපාරික ක්ෂේත්‍රය විශාල වශයෙන් භාවිතා කරන්නේ අධිවේගී පුළුල් කලාපිය අන්තර්ජාල පහසුකම් වන අතර රටක ආර්ථික වර්ධනය සඳහා වැඩි වශයෙන්ම දායකත්වය ලබා දෙන්නේ broadband ඉන්ටනෙට් පද්ධතිය බව මෑතකාලීන අධ්‍යයනවලින් පැහැදිලිවේ.
රටවල් 120 ක දත්ත භාවිත කරමින් ලෝක බැංකුව කරන ලද විශ්ලේෂණයකට අනුව සංවර්ධනයවන රටක් තුළ broad band ඉන්ටනෙට් පහසුකම් භාවිතය 10% කින් ඉහළ නඟින විට ඒ මගින් එම රටෙහි ආර්ථික වර්ධනය 1.3% කින් පමණ වැඩිවනු ඇත. එසේම තවත් අධ්‍යයන වාර්තාවකට අනුව broadband ඉන්ටනෙට් භාවිතා කරන්නන් සංඛ්‍යාව 1% කින් ඉහළ යනවිට රටක අපනයන ප්‍රමාණය 4% කින් පමන ඉහළ යෑමේ හැකියාවක්ද ඇත. තොරතුරු තාක්ෂණය යොදා ගන්නා ව්‍යාපාර අතරින් නිෂ්පාදන ක්ෂේත්‍රය (manufacturing sector) අභිබවමින් ප්‍රමුඛස්ථානය ගෙන ඇත්තේ බැංකු, රක්ෂණ, සෞඛ්‍ය, සංචාරක වැනි ව්‍යාපාර අඩංගුවන සේවා ක්ෂේත්‍රයයි (service sector). තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් පුළුල්වි ඇති සංවර්ධිත රටවල්වල සේවා ක්ෂේත්‍රය එම රටවල්වල ආර්ථිකයන්ගෙන් (දළ ජාතික ආදායමෙන්) 73% කට පමණ දායකවන අතර, සංවර්ධනයවන රටවල්වල සේවා ක්ෂේත්‍රයද එම රටවල්වල ආර්ථිකයන්ගෙන් 50% කට තරම් ප්‍රමාණයකට දායකවේ. සේවා කෂේත්‍රයේ හා තොරතුරු තාක්ෂණයේ ඇති මෙම සහසම්බන්ධය නිසාම තොරතුරු තාක්ෂණය සඳහා සේවා ක්ෂේත්‍රය තුළ ජනිතවී ඇති ගෝලීය වෙළඳපල (global IT market in the service sector) වාර්ෂිකව ඇ.ඩොලර් බිලියන 325ක් පමණ වෙතැයි තක්සේරුකර ඇත.
මෙම තොරතුරු තාක්ෂණ වෙළඳපලෙන් තුනෙන් එකක්ම පමණ (ඩොලර් බිලියන 100 ක්) අයත්වන්නේ එක් රටකින් තව රටකට අපනයනයවන තොරතුරු තාක්ෂණය පාදක ව්‍යාපාර සැකසුම් සේවා ක්‍රියාවලියකටය (Business Process Outsourcing - BPO). මෙයින් අදහස් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව හා යුරෝපීය රටවල විවිධ සේවා සපයන ආයතන (බැංකු, ආරක්ෂණ සමාගම්, ආරෝග්‍යශාලා, හෝටල් ආදිය) තම ව්‍යාපාරවල දෛනික ව්‍යාපාරික දත්ත හා තොරතුරු අඩුවියදම් සහිත රටකට යවා විශ්ලේෂණය කරගැනීමයි. IT-BPO යනුවෙන් ප්‍රචලිත මෙම තොරතුරු තාක්ෂණ සේවා අපනයන වෙළඳපලහි කොටස්කරුවකු වීමට ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනයවෙමින් තිබෙන රටවල් කිහිපයක් නිරන්තර උත්සාහයක නිරතවෙමින් සිටී. මෙම IT-BPO වෙළඳපල ජය ගැනීමට අවශ්‍ය ප්‍රධාන සාධකයන් වන්නේ අඩු පිරිවැය (low cost) , අධිවේගී පුළුල් කලාප අන්තර්ජාල පහසුකම් (high speed broadband internet facilities) හා මනා ආයෝජන පරිසරයක් (good investment climate). මෙම සාධකයන් සපුරාලමින් වාර්ෂිකව ඩොලර් බිලියන 100 ක් පමණවන IT-BPO වෙළඳපලෙහි ප්‍රමුඛයා බවට පත්ව ඇති ඉන්දියාව වාර්ෂිකව ඩොලර බිලියන 20 ක් ඒ මගින් උපයයි. මෙය ඉන්දියාවේ වාර්ෂික අපනයන ආදායමෙන් අඩක් පමණවීම එහි ඇති වැදගත්කම කෙතෙක්දැයි වටහාගැනීමට හේතුවේ. එපමණක්ද නොව ඉන්දියානු BPO කර්මාන්තයට පුද්ගලයින් මිලියනයකට පමණ රැකියා අවස්ථා සැපයීමටද හැකිවි තිබේ.
IT-BPO වෙළඳපලහි ඉදිරියෙන්ම සිටින රටවල් 50 හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර A.T. Kearney ආයතනය මගින් වාර්ෂිකව එළිදක්වන ශ්‍රේණිගතකිරීමේ Global Services Location Index 2009 නමැති 2009 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 16 වන ස්ථානයට පත්ව ඇති අතර, 2008 වර්ෂයේදී 29 ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ස්ථාන 13 කින් ඉදිරියට ඒම විශිෂ්ඨ ප්‍රගතියක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි.
පසුගිය වාර්ෂික ශ්‍රේණිගත දෙකෙහිම ඉදිරියෙන්ම සිටීමට BPO කර්මාන්තයේ ප්‍රමුඛයාවන ඉන්දියාවට හැකිවීමත් හා 2009 ශ්‍රේණිගත කිරීමේදි එහි මුල් ස්ථාන පහට පත් රටවල් 5 ම ආසියානු රටවල්වීමත් සුවිශේෂී ලක්ෂණයන්වේ.
IT-BPO වෙළඳපලෙහි ඉදිරියෙන්ම සිටින රටවල් 50 ශ්‍රේණිගත කිරීමේ 2009 වාර්තාව
Global Services Location Index 2009
(වරහන් තුල දැක්වෙන්නේ 2008 ශ්‍රේණිගතකිරීමේදි ලබාගත් ස්ථානයයි)
|
|
IT-BPO ප්‍රමුඛතා ශ්‍රේණියේ පළමු ස්ථානයේ පසුවන ඉන්දියාවේ හා 16 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ අධිවේගී පුළුල් කලාප අන්තර්ජාල පහසුකම් ඇති පුද්ගල ප්‍රතිශතය පිළිවෙලින් 0.46% ක් හා 0.33% කි. ඒ අතර එතරම් වෙනසත් නොමැතියැයි පෙනුනද ඉන්දියාවේ මිලියන 1130 ක් පමණවන අතිවිශාල ජනගහණයක් සඳහා 0.46% ප්‍රතිශතයකින් අධිවේගී පුළුල් කලාප අන්තර්ජාල පහසුකම් සැපයීම හා මිලියන 20 ක් පමණවන ශ්‍රී ලංකාවේ ජනගහණයකින් 0.33% කට එම පහසුකම සැපයිම අතර විශාල ප්‍රායෝගික වෙනසක් ඇති බව වටහා ගත යුතුය. ඊට අමතරව ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ශ්‍රී ලංකාවට වඩා ඩො. 500 ත් පමණ අඩු නිසා අඩු වේතනයන් මත (අඩු පිරිවැයකින්) අදාළ IT-BPO සේවා සැපයීමේ වාසියද ඉන්දියාවට හිමිවේ.
| පුළුල් කලාප අන්තර්ජාල (broadband internet) පහසුකම් සඳහා දායකත්වය ලබාගත් ජනගහණ ප්‍රතිශතය | 2009 BPO ශ්‍රේණිගත කිරීමේ ලබාගත් ස්ථානය | 2008 ඒක පුද්ගල දළ ජාතික ආදායම (ඇ. ඩොලර්) | |||
2003 |
2007 |
2008 |
|||
| ඉන්දියාව | 0.01 |
0.27 |
0.46 |
1 |
1,215 |
| මැලේසියාව | 0.44 |
4.53 |
6.18 |
3 |
6,970 |
| ශ්‍රී ලංකාව | 0.01 |
0.31 |
0.33 |
16 |
1,780 |
| සිංගප්පූරුව | 10 |
19 |
26 |
35 |
34,760 |
මූලාශ්‍රය: Information Economy Report - 2009 (UNCTAD)
මැලේසියාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම (ඩො. 6970) ඉන්දියාවට හා ලංකාවට වඩා ඉතා ඉහළ අතර ඒ නිසාම එහි සේවා පිරිවැයද වැඩිවිය හැක. එහෙත් මෙම ශ්‍රේණිගත කිරීමේදී මැලේසියාව 3 ස්ථානයට පත්ව ඇත. එවැනි වාසිදායක් තත්වයක් පවත්වාගෙන යාමට මැලේසියාවට හැකිවී ඇත්තේ මිලියන 25 ක් පමණවූ එහි ජනගහණයෙන් 6.18% කටම අධිවේගී පුළුල් කලාප අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවි ඇති නිසාය.
ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයින් මොඩලයක් ලෙස ගන්නා සිංගප්පූරුව 2008 IT-BPO ප්‍රමුඛතා ශ්‍රේණියේ ලැබෙන්නේ 11 වන ස්ථානය අත්වු අතර 2009 ශ්‍රේණිගත කිරීමේදි 35 වන ස්ථානයට ඇද වැටී ඇත. මිලියන 5 ක් පමණවු එහි ජනගහණයෙන් 26% කටම අධිවේගී පුළුල් කලාප අන්තර් ජාල පහසුකම් තිබුණද සිංගප්පූරුව IT-BPO සේවාව සඳහා ආකර්ෂණීය ස්ථානයක් නොවන්නේ ඇ. ඩොලර් 34,760 පමණ අධික ඒකපුද්ගල දළ ජාතික ආදායම සහිත එහි සේවා පිරිවැයද ඉතා අධිකවන බැවිනි.
ඉහත දැක්වූ උදාහරන තුනෙන් (ඉන්දියාව, මැලේසියාව හා සිංගප්පූරුව) පැහැදිලි වන්නේ සංවර්ධනයවන රටවල් මගින් ගෝලීය IT-BPO වෙළඳපල ආකර්ෂණය කර ගැනීමට නම් අධිවේගී පුළුල් කලාප අන්තර්ජාල පහසුකම් අනිවාර්යෙන්ම වැඩි දියුනුකරගත යුතු බවයි. එහෙත් රටක ආර්ථික වර්ධනය (ඒකපුද්ගල දළ ජාතික ආදායම) යම් සීමාවක් ඉක්මවූ පසු IT-BPO වෙළඳපල සඳහා එම රටෙහි තරඟකාරිත්වය හීනවනු ඇත.
මූලාශ්‍ර:
http://www.worldbank.lk/...PK:233047,00.html
Information Economy Report UNCTAD – 2009
http://www.atkearney.com/index.php/..services-location-index-gsli-2009-report.html
http://siteresources.worldbank.org/DATASTATISTICS/Resources/GNIPC.pdf
මන්දගාමීව යථා තත්වයට පත්වන ලෝක ආර්ථිකය තුළ සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන මුදල් සොයා ගැනීම සංවර්ධනයවන රටවල්වලට අභියෝගයක්වනු ඇත.
Developing countries will encounter financing shortages amidst slowly recovering global economy
(2010 ජනවාරි 28)
2008 දී උද්ගතවූ මූල්‍ය අර්බුදය නිසා කඩාවවැටුනු ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීමේ වේගය මේ වසරතුලදී අඩාලවනු ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කරන නවතම වාර්තාවක් පෙන්වාදෙයි. Global Economic Prospects – GEP 2010 නමැති මෙම වාර්තාවට අනුව එම මුල්‍ය අර්බුදයට ලක්වූ විවිධ මුල්‍ය හා වෙනත් කර්මාන්ත සඳහා ලබාදුන් මූල්‍ය උත්තේජක (ආධාර) පැකේජයන්වල (financial stimulus packages) බලපෑම ක්‍රමයෙන් හිනවීම මෙයට හේතුවයි. එසේ ඉස්මතුවූ ගෝලිය මූල්‍ය අර්බුදය නිසා තවදුරටත් දරුණු විපාක ඇතිවිය නොහැකි නමුත් ගෝලීය ආර්ථිකයේ වර්ධන වේගය පූර්ව මූල්‍ය අර්බුද සමයේ (pre- crisis period) තත්වයට පත්විම සඳහා අඩුම වශයෙන් තව අවුරුදු 10 ක්වත් ගතවනු ඇතැයි මෙම වාර්තාව අනුමාන කරයි.
වර්ෂ 27 කට පසු (1982) සමස්ථ ලෝක දළ ජාතික නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය 2009 දි ඍණ වර්ධන අගයක් (-2.2%) දක්වා පහළ වැටුනු අතර සංවර්ධිත රටවල්වල ආර්ථික වර්ධන වේගය 2009 දී -3.3% ක් තරම් අඩුවිය. සංවර්ධිත රටවල්වල ඇතිවූ ආර්ථික කඩාවැටීමත් ඒ හා සමගම එම රටවල්තුළ පාරිභෝගික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩුවීමත් නිසා සමස්ථ ලෝක වෙළදාමද කඩා වැටුනු අතර ලෝක වෙළඳාමේ (world trade) වාර්ෂික වර්ධන වේගය 2009 දී -14.4% තරම් පහළට වැටින.
වාර්ෂික වර්ධන වේගය (%) Annual growth rate (%) |
||||||
2006 |
2007 |
2008 |
2009 |
2010* |
2011* |
|
| ගෝලිය දළ ජාතික නිෂ්පාදිතය Global GDP | 4 |
3.78 |
2.01 |
-2.2 |
2.7 |
3.2 |
| සංවර්ධනයවන රටවල දළ ජාතික නිෂ්පාදිතය Developing countries GDP | 7.3 |
7.6 |
5.4 |
1.2 |
5.2 |
5.8 |
| සංවර්ධිත රටවල දළ ජාතික නිෂ්පාදිතය Developed countries GDP | 2.8 |
2.6 |
0.5 |
-3.3 |
1.8 |
2.3 |
| දකුනු ආසියානු කලාපයේ දළ ජාතික නිෂ්පාදිතය South Asia GDP | 9 |
8.5 |
5.7 |
5.7 |
6.9 |
7.4 |
| ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය Sri Lanka GDP | 7.7 |
6.8 |
6 |
3.6 |
5 |
6 |
| ලෝක වෙළඳාම World trade | 9.3 |
6.7 |
2.9 |
-14.4 |
4.3 |
6.2 |
| දකුනු ආසියානු රටවල ස්ථාවර ප්‍රාග්ධන ආයෝජන Fixed Investments South Asia | 14.6 |
13.6 |
7.6 |
4.1 |
9.7 |
10.2 |
*2010 හා 2011 සඳහා ඇත්තේ පුරෝකථන (forecast) අගයන්ය
මූල්‍ය ආයතනවලින් අවදානමක් නොතකා විශාල වශයෙන් ණය ලබාදීම 2008 දී ඉස්මතුවූ ගෝලිය මුල්‍ය අර්බුදයට ප්‍රධානම හේතුවක්වූ නමුදු ව්‍යාපාරිකයින්ට ඉතා පහසුවෙන් හා අඩු වියදමකින් තම ප්‍රාග්ධන පහසුකම් ලබාගැනීමට හැකිවීම 2003-2007 අවධියේ බොහෝ රටවල ආර්ථික සමෘද්ධිමත් භාවයටද හේතුවක්විය. එයින් පසුව ඉස්මතුවූ මූල්‍ය අර්බුදයෙන් බැටකෑ බැංකු හා වෙනත් මූල්‍යායතන ණය ලබාදීමේදී අවදානමකින් තොර වඩාත් ප්‍රවේශම්කාරි පිළිවෙතක් අනුගමනය කිරීමට වර්තමානයේ පෙළඹී තිබීම ප්‍රාග්ධන පිරිවැය (cost of capital) ඉහළ යෑමට හා ප්‍රාග්ධන සැපයුම අඩුවීමටද හේතුවිය හැක. මෙම තත්වය සංවර්ධනයවන රටවල ආර්ථික වර්ධනයට බාධාවක් වනු ඇති අතර මේ නිසාම ඉදිරි වර්‍ෂ 5 – 7 ත් අතර කාලයතුළ සංවර්ධනයවන රටවල ආර්ථික වර්ධන වේගය අපේක්ෂාකළ මට්ටමටත් වඩා 0.2% - 0.7% අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇත.
ආර්ථිකව ඉතා සමෘද්ධිමත්වූ හා පහසුවෙන් මෙන්ම අඩුවියදමකින් ණය පහසුකම් ලබාගැනීමට හැකිවූ 2006 – 2007 අතර කාලය තුල දකුනු ආසියානු කලාපයේ රටවල සමස්ථ ස්ථාවර ප්‍රාග්ධන ආයෝජනය (fixed capital investments) වාර්ෂිකව 13% ත් 14% ත් අතර වේගයකින් වර්ධනයවූ නමුත් 2009 වනවිට එම වේගය 4.1% දක්වා අඩුවී ඇත. මෙම ලෝක බැංකු වාර්තාවට අනුව 2011 වර්ෂය වනවිට පවා දකුනු ආසියානු කලාපයේ රටවල වාර්ෂික ස්ථාවර ප්‍රාග්ධන ආයෝජන වර්ධන වේගය 11% ඉක්මවනු නොඇත.
මෙම වාර්තාව පෙන්වා දෙන අන්දමට සංවර්ධනයවන රටවල ආර්ථිකයන් යථා තත්වයට පත්කර ගැනිමට ඇති ප්‍රධාන බාධාව වන්නේ සංවර්ධන ආයෝජනයන් (development investments) සඳහා ඇති තරම් ප්‍රාග්ධනය නොමැතිවීමයි. සංවර්ධනයවන රටවල ප්‍රාග්ධන අවශ්‍යතා සැපයෙන ප්‍රධානතම ප්‍රභවයන්වන අපනයන ආදායම (export income), ඍජු විදේශ ආයෝජනයන් (Foreign direct Investments- FDI) හා විදේශ සේවා නියුක්තික සම්ප්‍රේෂන (remittances) සංවර්ධිත රටවල ආර්ථිකයන් හා ගැට ගැසී ඇති නිසා සංවර්ධිත රටවල්වල ආර්ථිකයන් යථා තත්වයට පත්වනතුරු සංවර්ධනයවන රටවල්වල ආර්ථික ආයෝජනයන්ද පහළ ම්ටමක තිබෙනු ඇතැයි අනුමාන කෙරේ.
සංවර්ධනයවන රටවල් සඳහා මෙම අනුමානයන් සත්‍යවිය හැකි වුවත් ඉදිරි වර්ෂ කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුගිය දශක කිහිපයට සාපේක්ෂකව අසාමාන්‍ය ලෙසින් ඉහළ යනු ඇතැයි අපේක්ෂාකළ යුතුය. දශක තුනක කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය පරාජයත් කිරීමත් සමගම රටතුල ඉස්මතුවි තිබෙන සාමකාමී පරිසරය විදේශ ආයෝජනයන්ට හා සංචාරක කර්මාන්තයට ඉතා ආකර්ෂණීය වීම මීට එක් හේතුවක්වන අතර 2009 අගභාගයේ කොළඹ කොටස් වෙළඳපල (Colombo share market) තුල සිදුවූ පිබිදීම මේ සඳහා ඇති හොඳම සාධකයයි. මීට අමතරව උදාවි ඇති සාමකාමී පරිසරය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගන්නා ණය නැවත ගෙවීම සම්බන්ධයෙන් යහපත් වාර්තාවක් ඇති ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් තබන ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ණය ලබාදීමට පෙළඹීම නිසා ප්‍රාග්ධන ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එතරම් ගැටළුවක් නොවනු ඇත.
මේ නිසා සංවර්ධනයවන රටවල් අතර ඉදිරි දශකයේදී ඉතා සීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම අනිවාර්යෙන් අපේක්ෂාකල යුතුය.
මූලාශ්‍රය:
ස්‍ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතාවය අවම කරගැනීම අතින් ශ්‍රී ලංකාව 16 වන තැනට
Sri Lanka placed 16th in the Global Gender Gap Index Ranking 2009
(2010 ජනවාරි 20)
වර්ලඩ් ඉකොනොමික් ෆෝරම් (World Economic Forum) නමැති සංවිධානය මගින් වාර්ෂිකව සිදුකෙරෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා (gender inequalities) පිළිබඳ ගෝලීය සමීක්ෂණයේ 2009 වාර්තාවට (Global Gender Gap Report 2008) අනුව රටවල් 134 ක් අතුරින් ශ්‍රී ලංකාව 16 වන ස්ථානයට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ අසමානතාවය අනිකුත් රටවලට සාපේක්ෂකව ඉතා අඩු මට්ටමක තිබෙන බවය. එනමුත් 2008 මෙම ශ්‍රේණිගතකිරීමේදී ලැබූ ස්ථානයට (12) වඩා ස්ථාන 4 ක් පහළ බැස තිබීම කණගාටුවට කරුණකි.
2009 ශ්‍රේණිගත කිරීමේදී (2008 දී මෙන්ම) පළමු ස්ථාන 20 ට අයත් රටවල් අතර සිටින ආසියාතික රටවල් දෙකින් එකක් ශ්‍රී ලංකාව වීම සතුටට කරුණකි. අනික රටවන්නේ පිලිපීනය වන අතර 2008 දී 6 වන ස්ථානයේ පසුවූ පිලිපීනයද 2009 ශ්‍රේණිගත කිරිමේදී 9 වන ස්ථානයට පත්ව ඇත. සංවර්ධනය සම්බන්ධයෙන් අප බොහෝවිට ආදර්ශයට ගන්නා සිංගප්පූරුව (85), ජපානය(75), ඇමෙරිකාව (31), කැනඩාව (25) හා ඕස්ට්‍රේලියාව (20) වැනි අධි සංවර්ධිත රටවල් බොහොමයක් මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටිමින් එම රටවල ස්‍ත්‍රී-පුරුෂ සමාජ භාවයේ පරතරය සාපේක්ෂකව වැඩිබව පෙන්නුම් කිරීම විශේෂ කරුණක් ලෙස දැකිය හැක.
ස්‍ත්‍රී-පුරුෂ සමාජ භාවයේ පරතරය අඩුම රටවල් ලෙස ප්‍රථම ස්ථාන 4 ට පත්ව ඇත්තේ ස්කැන්ඩිනේවියානු / නොර්ඩික් (Scandinavian / Nordic) රටවල් වන අයිස්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය හා ස්වීඩනය වන අතර එම රටවල් හතර පසුගිය වර්ෂ තුන තුලම මෙම ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථාන 4 හි පසුවීමද විශේෂ සිද්ධියකි.
2006 වර්ෂයේදී වර්ලඩ් ඉකොනොමික් ෆෝරම් නමැති ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම වාර්ෂික ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා වාර්තාව මගින් මූලික වශයෙන් සිදු කරනු ලබන්නේ ඒ ඒ රටවල්වල විවිධ සම්පත් (resources) හා අවස්ථා (opportunities) ප්‍රයෝජනයට ගැනීමේදී කාන්තාවන්ට හා පුරුෂයින්ට මතුවන අසමානතා ප්‍රමාණාත්මකව ගණනය කිරීමට භාජනය කිරීමක් මගින් එක් එක් රටවලට ලකුණුදීමක් සිදුකර එම ලකුණු ප්‍රමාණය අනුව සමස්ථ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතා දර්ශක අගයක් (Gender Gap Index) පිළියෙල කිරීමයි. මේ දර්ශක අගයේ අනුපිළිවෙලට අදාළ රටවල් ශ්‍රේණිගත කෙරේ.
මෙම ස්ත්‍රී-පුරුෂ සමජභාවයේ අසමානතා නිර්ණය කිරීම සඳහා ප්‍රධාන සාධක හතරක් සැලකිල්ලට ගෙන ඇත. ඒවා නම්:
අ) ආර්ථික කටයුතුවලට සහභාගිවීම සඳහා ඇති අවස්ථාවන් (ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ අනුපාතය, වේතනවල විෂමතාවය, ආදායම් විෂමතාවය, කළමනාකරන/ තාක්ෂණික හා වෘත්තිය අංශ නියෝජනයේ ස්ත්‍රි-පුරුෂ විෂමතාවයන්)
ආ) අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන් (සාක්ෂරතාවයේ හා ප්‍රාථමික/ද්විතියක/තෘතීයක අධ්‍යපනයට ඇතුළවන ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාව)
ඇ) සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති අවස්ථාවන් (ස්ත්‍රිනිගේ හා පුරුෂයන්ගේ ආයු කාලය)
ඈ) දේශපාලනයේ නියැලීමට ඇති අවස්ථාවන් (පාර්ලිමේන්තුව හා ඇමති මණ්ඩලය නියෝජනයේ ස්ත්‍රී-පුරුෂ අනුපාතය, කාන්තාවන් රාජ්‍ය නායකත්වය ඉසිලු වර්‍ෂ ගණන)
මෙම සාධක මත එක් එක් රටවලට ලකුණු ලබා දීම සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ ඒ ඒ රටවල් වාර්ෂිකව නිකුත් කරන පිළිබඳ සංවර්ධන දත්තයන්ය. මේ සඳහා ඒ ඒ රටවල රාජ්‍ය සංඛ්‍යා ලේඛණ ආයතනවලින් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), අන්තර් ජාතික කම්කරු ආයතනය (ILO), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනෙස්කෝව (UNESCO) වැනි අන්තර්ජාතික සංවර්ධන ආයතනවලින් නිකුත් කරන ලද ලේඛණ භාවිතයට ගෙන ඇත.
2009, 2008, 2007 සහ 2006 වර්ෂවල ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසමානතා ශ්‍රේණිගත
කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාන
ශ්‍රේණිගත කිරීම සඳහා භාවිතාකළ සාධක / අනුදර්ශක |
අනුදර්ශක අගය අනුව ශ්‍රී ලංකාව ලබාගත් ස්ථානය |
|||
2009 |
2008 |
2007 |
2006 |
|
| ආර්ථික කටයුතුවලට ඇති අවස්ථා සහ සහභාගිත්වය (Economic opportunities and participation) | 99 |
99 |
86 |
84 |
| අධ්‍යාපනය ලැබීම (Educational attainment) | 68 |
64 |
55 |
52 |
| සෞඛ්‍යය සහ ආයුෂ (Health and Survival) | 1 |
1 |
1 |
1 |
| දේශපාලනික සවිබලවීම (Political empowerment) | 6 |
5 |
7 |
7 |
| සමස්ථ ස්ත්‍රී-පුරුෂ සමාජභාව අසමානතාවය (Overall Gender Gap) | 16 |
12 |
15 |
13 |
*සෞඛ්‍ය හා ආයුෂ අනුදර්ශක අගය අනුව පළමු ස්ථානයේ රටවල් 25 ක් ඇත.
සමස්ථ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා ශ්‍රේණියේ ඉහළට යමින් පසුගිය වර්ෂ කිහිපයේදීම ප්‍රථම ස්ථාන 20 අතර සිටීමට ශ්‍රී ලංකාවට හැකිවිම ප්‍රශංසනීය වන අතර ඒ සඳහා මූලිකවී ඇත්තේ සෞඛ්‍ය සේවාව හා දේශපාලන සවිබලවීම අතින් වාර්ෂිකව ලබාගන්නා ස්ථානවල ප්‍රගතිය බව පැහැදිළිව පෙනි යයි. එහෙත් ආර්ථික කටයුතුවල නියැලීමේදී හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ස්ත්‍රී-පුරුෂ අසමානතාවය සාපේක්ෂකව වැඩිබව මෙම වාර්තාව මගින් පෙන්නුම් කරයි.
මූලාශ්‍ර:
http://www.weforum.org/pdf/gendergap/rankings2009.pdf
http://trendsupdates.com/countries-where-gender-equality-is-best-and-worst-2008-report/
අවසාන මොහොතේ එකඟවූ කෝපන්හේගන් ගිවිසුම
The ‘Copenhagen Accord’ agreed at the last moment
(2009 දෙසැම්බර් 19)
විවිධ සාධක මත විවිධ රටවල් අතර දින 12 ක් පමණ තිස්සේ ඉස්මතුවෙමින් තිබූ විරෝධතා හා ප්‍රතිවිරෝධතා නිසා අඩාල වෙමින් තිබූ කෝපන්හේගන් දේශගුණික සමුළුව නැවත සාර්ථක මාවතකට ගෙන ඒමට ඇමෙරිකාව, චීනය, බ්‍රසිලය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් අතර එහි අවසාන දිනයේදී ඇතිවූ එකඟතාවයක් මඟින් හැකිවූ අතර එම එකඟතාවයම ‘කෝපන්හේගන් ගිවිසුම’ (Copenhagen Accord) ලෙසින් පිළිගැනීමට සමුළුවට සහභාගිවූ සියළුම රටවල් එකඟවිය.
මෙම කෝපන්හේගන් ගිවිසුමේ මූලික අන්තර්ගතයන් වන්නේ:
- ගෝලීය උෂ්ණත්වය පූර්ව-කාර්මිකරණ අවධියේ තිබූ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක් නොඉක්මවීමට කටයුතු කිරීමට සියළුම රටවල් එකඟවීමටත්, 2015 දී මෙම උෂ්ණත්ව සීමාව පිළිබඳ නැවත විමර්ශනයකර අවශ්‍යවුවහොත් එම සීමාව සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ට අඩුකිරීම
- සංවර්ධිත රටවල්වලින් නිකුත්කරන හරිතාගාර වායු ප්‍රමාණය 2050 වනවිට 80% කින් අඩුකිරීම
- වර්ෂයකට ඩොලර් බිලියන 10 බැගින් 2010 සිට 2012 දක්වා (වර්‍ෂ 3 ක්) දිළිඳු හා සංවර්ධනයවන රටවල් සඳහා දේශගුණික ආධාර වශයෙන් ලබාදීමටත්, 2020 වනවිට එම ප්‍රමාණය ඩොලර් බිලියන 100 ක් දක්වා වැඩිකිරීම
- දේශගුණික ආධාර ලබාගන්නා දිළිඳු හා සංවර්ධනයවන රටවල් හරිතාගාර වායු අඩුකිරීම එකඟවන පරිදි කරන්නේද යන්න අන්තර්ජාතික ක්‍රමවේදයක් මගින් විපරම් කිරීම
- 2010 තුළදී හරිතාගාර වායු නික්මවිම අඩුකිරීම සඳහා එක් එක් රටවල් තම රටවල් ගන්නා පියවරයන් ලිඛිතව ඉදිරිපත් කිරීම හා ගිවිසුමට අත්සන් කිරීම
- මෙම පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් 2010 වර්ෂයතුළ පැවැත්වෙන අතර 2010 නොවැම්බර් මස මෙක්සිකෝවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී මෙම ගිවිසුමට නෛතික හා ක්‍රියාත්මක (legal and operational)පදනමක් ලබාදිම
මෙම ගිවිසුම සම්මත කරගැනිමට විශාල ලෙසින් බාධාකළ බොලිවියා, කියුබා, සුඩාන හා වෙනිසියුලියානු නායකයින්ගේ විවේචනයවූයේ 2020 වනවිට පොහොසත් සංවර්ධිත රටවල් කපාහැරියුතු හරිතාගාර වායු ප්‍රමාණය නිශ්චිතව මෙම ගිවිසුමෙහි නොදැක්වීමත් හා මෙම ගිවිසුමෙහි එකඟතාවයන් සඳහා නෛතික බැදීමක් නොමැතිවීමත් නිසා මෙය කිසිදු අර්ථයක් නොමැති සංවර්ධිත රටවල්වලට තම වගකීම් පහසුවෙන් මඟහැරියහැකි ගිවිසුමක්ය යන්නයි.
ඉහත දැක්වූ හේතු නිසාවෙන්ම බොහෝ රාජ්‍ය නායකයින්ද හා විශේෂයෙන්ම යුරෝපා නායකයින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් නොදැක්වූ නමුත් ඔවුන්ගේ මතයවූයේ කිසිදු ගිවිසුමකට නොඑළඹෙනවාට වඩා යම් ගිවිසුමකට එළඹීම හොඳ බවයි. එම නිසා මෙය ආරම්භයක් ලෙස සළකා මෙතැනින් ඉදිරියට මෙම ගිවිසුම යහපත් එකක් බවට පත්කීරිමට උනන්දුවිය යුතුයැයි යන්න බොහෝ රාජ්‍ය නායකයින්ගේ අදහසවිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට අනුව මෙම ගිවිසුම සඳහා දැනට ලැබී ඇත්තේ දේශපාලනික එකඟතාවයක් (political consensus) පමණක්වන අතර 2010 වර්ෂය තුළදී එය යතාර්ථවාදී (real), ක්‍රියාත්මකවන (operational) හා විපරම් (monitor) කළහැකි ගිවිසුමක් බවට පත්කළ යුතුය. 2010 වර්ෂයේදී කෙරෙන එම ක්‍රියාවලියතුලින් මෙම ගිවිසුම නෛතික බැදීම් සහිතව අන්තර්ජාතික නීතියට අනුකූලකළ යුතුය.
මූලාශ්‍රය:
http://en.cop15.dk/news/view+news?newsid=3073
http://in.reuters.com/article/worldNews/idINIndia-44852720091218
විරෝධතා මධ්‍යයේ නිමවෙමින් තිබෙන කොපන්හේගන් සමුළුව වැඩිදුර තොරතුරු සඳහා................................ හරිතාගාර වායු පිටකිරීම අඩුකිරීමට එක් එක් රටවල් දී ඇති ඉලක්ක පාරිසරික විනාශයක් වැළැක්විමට ප්‍රමාණවත් නොවේ. Emissions pledges not adequate to prevent an environmental catastrophe (2009 දෙසැම්බර් 17) වැඩිදුර තොරතුරු සඳහා................................ හරිතාගාර වායු කපාහැරීමේ යෝජනා අන්තර්ගත කොපන්හේගන් සමුළුවේ පළමු කෙටුම්පත ඉදිරිපත්වේ වැඩිදුර තොරතුරු සඳහා................................ දිළිඳු රටවල් සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3.6 ක දේශගුණික ආධාර ලබාදීමට යුරෝපා හවුල සූදානම් වැඩිදුර තොරතුරු සඳහා................................ සංවර්ධිත රටවල්වලින් වායු ගෝලයට කාබන් පිටකිරිම 40% කින් කපාදැමිය යුතුයැයි සංවර්ධනයවන රටවල් බලකර සිටී. වැඩිදුර තොරතුරු සඳහා................................ සංවර්ධන ආධාර දේශගුණික ආධාර බවට හැරවිමේ සංවර්ධිත රටවල උත්සාහයට දුප්පත් රටවල විරෝධය වැඩිදුර තොරතුරු සඳහා................................ කාබන් පිට කිරීම සම්බන්ධයෙන් සංවර්ධිත රටවල්වලට වඩා සංවර්ධනයවන රටවලට සීමා පැනවීමේ රහසිගත උත්සාහයක් වැඩිදුර තොරතුරු සඳහා................................. කෝපන්හේගන් සමුළුවට රාජ්‍ය නායකයින් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි |
කෝපන්හේගන් සමුළුවට රාජ්‍ය නායකයින් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි
More than 100 Heads of States will attend Copenhagen 2009
(2009 දෙසැම්බර් 07)
වැඩිදුර තොරතුරු සඳහා.................................
කෝපන්හේගන් 2009 දේශගුණික විපර්යාස සමුළුව හෙට ආරම්භවේ
Copenhagen 2009 Climate Change Summit begins tomorrow
(2009 දෙසැම්බර් 06)
2009 දෙසැම්බර් 7 සිට 18 වන දා දක්වා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වීමට නියමිත ගෝලිය දේශගුණික විපර්යාස සමුළුව (Climate change summit) මෙම ශත වර්ෂය තුල මානව වර්ගයාගේ ඉරනම විසඳීමට සමත්වනු ඇතැයි බොහෝ විද්වතුන් හා සංවර්ධන ක්‍රියාකාරකයින් අදහස් පලකරයි. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මේලනය (United Nations Conference on Climate Change – UNFCC) මගින් සංවිධානය කරන මෙම සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන සියළුම රටවල් නියෝජනය කිරීමට නියමිතය.
මෙම සමුළුවේ මූලික අරමුණවී තිබෙන්නේ දේශගුණික විපර්යාස සඳහා තුඩුදෙන හරිතාගාරවායු (Green House Gases - GHG) ප්‍රමාණය කපාහැරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මකවන හා 2012 දී අවසානවන කියෝතෝ සම්මුතිය (Kyoto protocol) අළුත් කිරීම සඳහා නව සම්මුතියකට එළඹිමටය. බෙහෝවිට ‘කෝපන්හේගන් සම්මුතිය’ යනුවෙන් හැඳින්වෙතැයි සිතිය හැකි ඒ මගින් සියළුම රටවල්වලින් නිකුත් කරන මුළු හරිතාගාරවායු ප්‍රමාණය 2020 වනවිට වර්තමාන ප්‍රමාණයෙන් 25% ත් 40% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම දේශගුණික සමුළුව සාර්ථකවීමට සමහරක් රටවල් - විශේෂයෙන්ම සංවර්ධිත හා සීඝ්‍රයෙන් සංවර්ධනයවන රටවල් එළඹිය යුතු එකඟතා එම රටවල්තුල දේශපාලනික අප්‍රසාදයන්ට ලක්වීමට බොහෝදුරට ඉඩකඩ ඇත. එම නිසා එවැනි එකඟතා හා තීරණවලට එළඹිමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දිම සඳහා එම රටවල රාජ්‍ය නායකයින්ම සහභාගිවිය යුතුයැයි සමුළු සංවිධාකයින්ගේ අදහසවී තිබේ.
වැඩිදුර තොරතුරු සඳහා................ගවකුර රෝගය මිහිතලයෙන් තුරන් කෙරේ
Rinderpest disease is completely eradicated
(2009 දෙසැම්බර් 03)
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කාෂිකර්ම සංවිධානයට (Food and Agriculture Organization – FAO) අනුව ගවයන්ට සෑදෙන වසංගත කුර රෝගය (rinderpest disease) මුළුමනින්ම ලෝකයේ සියළුම රටවල්වලින් තුරන් කිරීමට හැකිවී ඇත. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරි මාස 18 තුළ නිකුත් කිරීමට FAO සංවිධානය අපේක්ෂා කරයි.
සත්ව වසංගත රෝගයක් මිනිසා විසින් මුළුමනින්ම තුරන්කර දැමූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙය දෙවැනි වන්නේ 1980 වන විට වසූරිය තුරන්කර දැමීමටය. FAO සංවිධානය මගින් දශක කිහිපයක් මුළුල්ලේ ගෙනගිය ප්‍රයත්නයක ප්‍රථිඵලයක් ලෙස ගව කුර රෝගය තුරන් කිරිමට හැකිවූ බව එම සංවිධානය මගින් නිකුත් කරඇති ප්‍රකාශනයකින් දැක්වේ. කිසි දිනක තුරන්කර නොහැකිවේයැයි සිතූ මෙම වසංගතය පාලනයකර ගැනීමට හැකිවී ඇත්තේ 1960 දශකයේ නිපදවූ එන්නතක් මගිනි.
ශත වර්ෂ ගණනක් තුල ලෝකයේ සැම කලාපයකම සංවර්ධිත හා සංවර්ධනයවන රටවල් සියල්ලකම පාහේ පැතිර ගිය ගවකුර වසංගත රෝගය නිසා සිදුවූ ආර්ථික පාඩුව අතිමහත් වන අතර එයින් වඩාත් හානියට පත් කලාප වන්නේ දකුනු ආසියාව, මැද පෙරදිග හා උපසහරානු අප්‍රිකානු කලාපයයි. බටහිර අප්‍රිකානු රටක්වන නයිජීරියාවට 1980 දශකය කුල පමණක් මෙම රෝගය නිසා සිදුවූ පාඩුව ඇ. ඩොලර් බිලියන 2 ක් පමණවන අතර 1994 දී පමණක් පකිස්ථානය තුළ පැතිර ගිය ගවකුර රෝගය නිසා ගවයින් 50,000 ට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.
මෙම ගවකුර රෝගය පාලනය කිරීම හා තුරන් කිරීම නිසා 1965 – 1998 වකවානුව තුල ඉන්දියාව ලැබූ ප්‍රතිලාභය ඩොලර් බිලියන 300 කට ආසන්න වන අතර මේ නිසා අප්‍රිකානු කලාපයේ රටවල් වාර්ෂිකව ඩොලර් බිලියනයක පමණ ප්‍රතිලාභයක් ලබයි. FAO නිකුත්කර ඇති වාර්තාවට අනුව ගවකුර රෝගය තුරන් කිරිම නිසා ශ්‍රී ලංකාවද විශාල වශයෙන් ප්‍රතිලාභ ලබනු ඇත.
මූලාශ්‍රය:
http://www.fao.org/news/story/en/item/35548/icode/
2009 දූෂිතභාවය ශ්‍රේණිගත කිරිමට අනුව රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය
Sri Lanka placed 97th in the Corruption Perception Index – CPI ranking of 180 countries
(2009 දෙසැම්බර් 01)
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International – TI) නමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතනය මගින් 2009 සඳහා පසුගිය මස (නොවැම්බර් 17) නිකුත් කරනු ලැබූ දූෂිතභාවය (corruption) ශ්‍රේණිගත කිරීමේ වාර්තාව අනුව රටවල් 180 අතරින් ශ්‍රී ලංකාවට ලැබි ඇත්තේ 97 ස්ථානයයි. මිට අවුරුදු පහකට පෙර (2005 දී) එම ශ්‍රේණිගත කිරීමේදීම 78 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2009 වනවිට 97 වන ස්ථානය ගැනීම තුලින් පිළිබිඹුවන්නේ අනෙකුත් රටවලට සාපේක්ෂකව ශ්‍රී ලංකාවේ දූෂිතභාවය වැඩිවී ඇති බවය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් මගින් වාර්ෂිකව කරනු ලබන දූෂිතභාවය අනුව රටවල් ශ්‍රේණිගත කිරීම වර්ෂ කිහිපයක් මුළුල්ලේ සිදුවු අතර දූෂිතභාවය තක්සේරු කිරීම ඒ ඒ රටවල සමීක්ෂණ (survey) ක්‍රියාවලියක් සිදුකරන අතර එම සමීක්ෂණ ඇසුරෙන් දූෂිතභාවය ඇතැයි යන්න දනවන දර්ශක අගයක් (Corruption Perception Index – CPI) සෑම රටකටම පිළියෙල කරනු ලබයි. මෙම දූෂිතභාව දර්ශක අගය 1 සිට 10 දක්වා වන අතර දර්ශක අගය අඩුරටවල් වඩා දූෂිත ලෙස සැළකේ.
ශ්‍රේණිගත කිරීම සිදුවන්නේ වැඩිම දර්ශක අගය ඇති (අඩුවෙන්ම දූෂිත) රට පළමු ස්ථානයට තබා ආරෝහණ පිළිවෙලට රටවල් ස්ථානගත කිරිමෙනි. මෙම ශ්‍රේණිගත කිරීම මගින් එක් එක් රටවල්වල දූෂිතභාවය අනිකුත් රටවල්වලට සාපේක්ෂව කෙතරම්දැයි වටහාගැනීමට හැකිවනු ඇත. උදාහරණයක් ලෙස ගතහොත් 2009 දූෂිතභාව දර්ශක අගය 9.4 ක්වු ස්විට්සර්ලන්තය දූෂිත බවින් අඩුම රට ලෙස දූෂිතභාව ශ්‍රේණියේ පළමු ස්ථානය ගන්නා අතර දූෂිතභාව දර්ශක අගය 1.1 ක් ගන්නා සෝමාලියාව එම ශ්‍රේණියේ 180 වන නොහොත් අවසාන ස්ථානයට පත්ව ඇත.
2009 දූෂිතභාවය තක්සේරු කරගැනීමේ සමීක්ෂණයට භාජනයකළ රටවල් 180 අතරින් 5 ට වඩා වැඩි දර්ශක අගයක් ඇති (නොහොත් දූෂිතභාවය අඩුයැයි සැළකිය හැකි ) රටවල් ඇත්තේ 49 ක් පමණි. දර්ශක අගය 5 ට වඩා අඩු රටවල් අතිශයින් දූෂිතයැයි සැළකෙන අතර එවැනි රටවල් 131 ක් ඇත. මෙයින් පැහැදිළි වන්නේ දුෂිතභාවය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පුරා රටවල් අතර ව්‍යාප්තව ඇති බවය.
මෙම දූෂිතභාව දර්ශකය පිළියෙල කිරිම සඳහාවන සමික්ෂණයන් ඒ ඒ රටවල රාජ්‍ය අංශය පමණක් ඉලක්ක කර සිදුකරන බැවින් මෙම දර්ශකය මගින් සත්‍ය වශයෙන්ම පිළිබිඹුවන්නේ රාජ්‍ය අංශයේ දූෂිතභාවය පමණි.


ශ්‍රී ලංකාවේ දූෂිතභාව දර්ශක අගය පසුගිය වර්ෂ කිහිපයතුළ එකම මට්ටමක තිබෙන නමුත් ආසියානු කලාපයේ රටවල් හා සංසන්දනය කරනවිට එම අගය පහළ මට්ටමක (නොහොත් වඩා දූෂිත) තිබීම එතරම් යහපත් ලක්ෂණයක් නොවේ. සංවර්ධනයවීම සඳහා බොහෝ ශ්‍රී ලාංකිකයින් ආදර්ශයට ගන්නා සිංගප්පූරුවේ දූෂිතභාව දර්ශක අගය ඉතා ඉහළ මට්ටමක (දූෂිතබව ඉතා අඩු) තිබෙන අතර එම තත්වයට යෑමට නම් ශ්‍රී ලංකාව තුල විශාල සමාජ විපර්යාසයක් සිදුවිය යුතු බව පෙනේ. දකුණු ආසියානු කලාපයේ ඉතා දිළිඳු රටක් ලෙස සැලකෙන භූතානයේ දූෂිතභාවය ශ්‍රී ලංකාව පමණක් නොව එම කලාපයේ ඉතා සීඝ්‍රයෙන් සංවර්ධනයවන චිනය, මැලේසියාව හා ඉන්දියාව වැනි රටවල්වලටත් වඩා අඩුවීම විශේෂත්වයක්වන අතර එයින් ගම්‍යවන්නේ දූෂිත බවින් තොරවීමට නම් රටක් ආර්ථික වශයෙන් ඉහළ මට්ටමක සිටිය යුතුම නොවන බවයි.
.jpg)

දූෂිතභාවය අඩුකරගැනීම අතින් පසුගිය වර්ෂ කිහිපයතුළ ඉන්දියාවද සැළකියයුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බව පෙනෙන්නේ 2005 දී 2.9 ක්වූ දර්ශක අගය 2009 වනවිට 3.4 ක් දක්වා වැඩිවීමෙන් හා 2005 ශ්‍රේණිගත කිරීමේදී 88 ස්ථානයේ පසුවුවත් 2009 වනවිට 84 වන ස්ථානයට පත්ව ඇති බැවිනි.
දූෂිතභාවය තක්සේරු කිරීම හා ශ්‍රේණිගත කිරීම මගින් පැහැදිළිවන තවත් කරුණක්වන්නේ යුද්ධ හා සිවිල් ගැටුම්වලට මැදිවී තිබෙන සෝමාලියාව, ඇෆ්ගනිස්තානය, මියන්මාරය හා සුඩානය වැනි රටවල්වල දූෂිතභාවය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවයි. ඒ කරුණ සත්‍යයක් නම් යුදගැටුම් නිමවූ ශ්‍රී ලංකාවේද දූෂිතභාවය ඉදිරි අවුරුදු කිහිපය තුලදී අඩුවනු ඇතැයි අනුමානකල හැක. එහෙත් පසුගිය වර්ෂ කිහිපයක දූෂිතභාව දර්ශක අගයන් වෙනස්වූ ආකාරය දෙස බලනකල පෙනී යන්නේ රටක් තුල මුල් බැසගත් දූෂිතභාවය අඩුවිමට සෑහෙන කලක් යන බවය.
මූලාශ්‍රය:
http://www.transparency.org/policy_research/surveys_indices/cpi/2009/cpi_2009_table
පසුගිය මාසවල සංවර්ධන පුවත් |
||
|---|---|---|
2007 |
2008 |
2009 |



